Tuesday, May 22, 2018

89. හැකි නම් වන්න අන් වතක සිනහවක්

හැම දවසකම , පෙර නාඳුන්නෙක් හට ඔබට හැකි නම් කාරුණික වන්න ...

මම මේ ස‍ටහන පසු ගිය දවසක කියෙව්වා...පොතක තිබිල...

ලෝක ප්‍රකට ඇඩොල්ෆ් හක්ස්ලි..සිය මරණ මංචකයේදී මේ අදහස කියා තියෙනවා...

හිතන්න මඳක්...

ජීවිතය කියන්නේ ක්‍රියාදාම සමුහයකට..මේ ක්‍රියාවන් කරුණාව , දයාව වැනි මානුෂික ගුණාංග වලින් පෝෂණය වුනාම ඒක ජිවිතයට ආශිර්වාදයක් වෙනවා..

ඔබේ ජිවිතයට එන යන දහස් දෙනෙක් ඇති.ඒ හැම කෙනාම ඔබේ ජිවිතයට ආවෙත් ආපසු යන්නෙත් හේතුවක් ඇතුව.ඔවුන් ඔබගේ ජිවිතයේ ඉන්න කාලය තුළදී...ඔබේ හැම දිනයක්ම ඔවුන් හට ඔබෙන් යමක් දෙන දිනයක් වෙන්නට ඇති.ඒ ගැන කිසිදු විටක පසුතැවෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.

හෙට දවසේ නාඳුනන එක අයෙක්ට හෝ ඔබේ කරුණාව, දයාව අවැසි වෙන්න පුළුවන්.ඔබේ එසේ නොදෙන්නට ඔබට හේතු තිබේදැයි සිතන්න.

ඔබට ඔබ අවට ලෝකය සතුටින් පුරවන්න පුළුවන්.හැකි නම් එක දවසකට එක අයෙක්ගේ සිනහවක් වෙන්න...එහෙමත් නැත්නම් ඔබට හැකි නම් ඔවුන්ගේ අවුල් සහගත මනස වෙනස් කර සතුටින් පුරවන්න..

ඔබේ ඒ දවස කෙතරම් වටිනවද..

මගේ කලින් රැකියා ස්ථානය මට හැම දිනයක්ම අලුත් කල තැනක්.මගේ වචනයකින් හරි දිරිමත් වෙලා නැගී සිටින්න බලන් ඉන්න මුණු ගානක් රෝහලේ උන්නා.ඒ හැම දවසම අධික වෙහෙසින් නිමා වුණත්..මම ගෙදර අරන් ගියේ සන්තුෂ්ටිය.අවුරුදු දහ අටක්ම ඒ සතුට මම නොඅඩුව වින්දා.

අද රැකියාව වෙනස් වුණත්..මම උත්සාහ කරන්නේ මගෙන් ඒ දේ වෙන්න ඕන කාටහෝ ඒ දේ නොඅඩුව ලබාදෙන්න.නමුත් මේ අතරේ ඒ දේම හිරිහැරයක් කරදරයක් වන අවස්ථා නැතුව නෙවෙයි.

නමුත් තවත් ජීවිතය ගෙවන්න ඇත්තේ ටික කලක් පමණයි.ඒ නිසා ජිවිතයේ හැම දවසකම සුන්දර යහපත් දෙයක් කරන්න මම කැමතියි.

ඔබට මම කියන්නේ.....ඒ දේදී පවා නිර්මාණශීලි වන්න.සමහරක් විට ඔය කියන සතුට ඔබට ලැබෙන...... කාරුණික වීම කියන්නේ බසයේ හිටගෙන යන කෙනෙක්ට අසුන දීම වෙන්න පුළුවන් , එහෙමත් නැත්නම් උදේට ඔබේ මුණ දෙස විමසිල්ලෙන් බලන වයසක කෙනෙක්ට සුබ උදාසනක් පැතීම වෙන්න පුළුවන්...

මේක මහා දෙයක් නෙවෙයිනේ.....ඔබ දැන් එහෙම හිතන බව මම දන්නවා....

ඒත් හිතන්න...අපි මේ සුළුම දේත් කරන්නේ නැහැ නේද කියල....ඒ නිසා අද ම පටන් ගන්න...ඔබේ සිනහව ට පුළුවන් කෙනෙක්ගේ මුළු දවසම වෙනස් කරන්න....

මම 
විසිරි 

Sunday, May 6, 2018

88. ඔබේ ඇස්දෙක ඔබේ දරුවන්

මේ දවස් ටිකේ තියෙන්නෙ දුවන ජීවිතයක්...

විසිරිත් ඉතින් බල්ලට හැතැම්ම නෑ වගේ ..ගමනෙමයි...
ඒත් ඒ අස්සෙත් ලියන්න කියවන්න කප්පරක් දේවල් එක්කාසු වෙනව....
.
කොහොමත් ගෙදර ඇවිල්ලා හුස්මක් කටක් ගන්නත් කලින් ...සමාජ සේවා වැඩ කටයුතු දුරකතනය දිගේ ගලාගෙන එනවා..තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉතින් මාත් දන්න කියන උදව් කරගෙන ....විස්තර එහෙම හොයල දීල ඉවර වෙලා ...

මං ගැන වද වෙන්නත් වෙලාවක් තිබ්බොත් හොයාගන්නවා...  :D
.
පහු ගිය දවසක ඔන්න ඔහොම අපෙ නංගි කෙනෙක් මට කතා කරනවා...අසල්වාසී අයෙක්ට උදව් කරන්න කියල...

ඒ අම්මා මං දන්න තරමින් සැලකිය යුතු රැකියාවක වගකීම් සහිත තනතුරක් දරන්නියක්...පසුගිය කාලයේ සිදු වූ හදිසි අනතුරකින් ඇයගෙ ස්වාමියා මියගියා දැන් ඉන්නෙ දරු දෙන්නා සහ ඇය...
මෙයින් එක් දරුවකුගේ චර්‍යාමය ගැටලු සහිත තත්වයක් ගැන මගෙන් විස්තර අහගන්නයි මගේ සොහොයුරිය හරහා ඇය මා ඇමතුවෙ...
.
අදාල උපදෙස් දුන්නාට පසුව ඇයගෙ අනෙක් ගැටලුව ලෙස මගෙ සොහොයුරී කීවෙ " අනේ අක්කෙ එයාට ඔය කියන ඒවා කරන්න වෙලාවක් නෑ කියල...සල්ලි ගෙවලා කොහේ හරි ප්‍රයිවෙට් හරි කරගන්න තැනක් තියද අහනව" .

මම නිහඬවම දුරකතනය තැබුවා...පසුව මම මගේ සොයුරියට මේ ගැන කතා කලා...

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ අතිශය කාර්‍ය බහුල අය වෙන්න පුලුවන් ..රැකියාවල් ඉතාම වගකීම් සහිත වෙන්නත් පුලුවන් ..ඒත් ඔබට ඒ සියල්ල එක්ක ඔබේම දරුවා බලාගන්න බැරි නම් දරුවාට අවශ්‍ය රැකවරණය සත්කාර ඔබේ අතින් දෙන්නට අපහසු නම් ...දවසේ පැය ගණන් වැඩ කරල උපයන දේත්...එයින් ලබන ආත්ම තෘප්තිය හෝ වෙන ඕනම ප්‍රතිලාභයකිනුත් ඇති වැඩක් තියද ?
.
ඉස්සර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක්ක සේවා ස්ථානයේ සහ සමාජයේ වැඩ කල කාලයේ....මම දෙමවුපියන්ට මඳක් තදින් උන්නෙ...ඒ නිවැරදි ක්‍රමවේදයකට දරුවන් ට ප්‍රතිකාර කල යුතු නිසා..ඒ වගේම පෞද්ගලික ප්‍රතිකාර වලදීත් (බේරෙන්න බැරිම වෙලාවට කල ) මගෙ home programs වලට ඔවුන් වැඩ කලයුතු වුණා...ඇත්තෙන්ම ඒවායෙ ප්‍රතිපල සාර්ථකයි...
.
දරුවා සාමාන්‍ය දරුවෙක් උනත් විශේෂ අවශ්‍යතා සහිත අයෙක් උනත්....දෙමවුපියන්ගේ නිවැරදි කැපවීම ඔවුන්ගේ අධ්‍යාපන සහ කායික, මානසික සංවර්ධනයට පිටිවහලක් වෙනවා.....
.
ලෝකයේම බර ඔලුවෙ තියන් ගෙදර එන අම්මලා තාත්තලාට මං ආයෙ කියන්න කැමතියි...

ගේට්ටුවෙ එල්ලන්න පොඩි මල්ලක්..අන්න ඒකෙ අර ඔලුවෙ තියන බර එල්ලල ගෙට ගොඩවෙන්න....
ඔබේ ඇස් ඉස්සරහ තියෙන්නෙ ...ලෝකෙ තියන ලස්සනම දේ....ඒ ඔබේ දරුවන්...

විසිරි