Saturday, December 12, 2020

විසි අටවෙනි කොටස (මගේ ප්‍රේමය ඉසියුම්)

 



අනුත්තරා පාසල නිමා වී මාවතට එන විටත්  පරාක්‍රම ඇය කැඳවාගෙන යාමට පැමිණ සිටියේ ය .. මාවත අයිනේ නවතා තිබූ රථයේ ඉදිරි පස දොර   ඇය වෙනුවෙන් විවෘත කර දුන් ඔහු අනෙක් පසින් විත් රියදුරු අසුනට ගොඩ උනේය ....

.

"අපි එහෙම තමයි මැඩම් ලට සලකන්න ඕනනෙ....මුළු ජීවිත කාලෙම ඉතින් මට වාහනයේ දොර අරින්න සිද්ධ වෙනවා  මේ ඊට පස්සේ ..." අනුත්තරා  ගේ කණක් සෙමින් මිරිකමින්  පරාක්‍රම  පැවසුවේය ...

"ඉතින් මං කිව්වද දොර අරින්න කියලා මට දොර අරගෙන නැග ගන්න පුළුවන්නේ ..."අනුත්‍තරා නෝක්කඩු බසින් පැවසුවාය...

.

" එහෙම බෑනේ මැණිකෙ...ඔයා මගෙ ආර්‍යාවනෙ ඉතින් .....හරි ඉස්සෙල්ලම කොහෙද යන්න ඕනෙ...." පරාක්‍රම සිනහසෙමින් පැවසීය....

.

අනුත්තරා හට සාරි ගැනීමට සහ අවශ්‍ය අනෙක්දෑ ගැනීමට පරාක්‍රම කිසිදු මැසිවිල්ලක් නොනගා කාලය කැප කලේය.අනුත්තරා විටින් විට ඔහුගේ මුහුණ දෙස බැලුවද කිසිදු නොරිස්සුමකින් තොරව සිනාවෙන්ද විහිළු තහලු වෙන්ද හැසිරුණ පරාක්‍රම ඉක්මනින් ගෙදර යායුතු බවක් සිහි නොකරම සිටියේය....

.

අවසානයේ වාහනයට ගොඩ නැගුණ පසු අනුත්තරා ඔහුගේ බාහුවකට මුහුණ තද කරගනිමින් මොහොතක් උන්නාය...

.

" මොකද මේ....හුරතල් වෙන්න ගත්තෙ එකපාරටම ...."පරාක්‍රම ඇයගේ හිස සිඹිමින් ඇසුවේය....

.

" ඔයාට මහන්සි නැද්ද....කොච්චර වෙලාවක් ද දැන්...ඔයා මට වචනයක්වත් කීවෙ නෑනෙ...." අනුත්තරා හිස නගා පරාක්‍රම දෙස බලමින් ඇසුවාය....

.

" තාරා...ඇයි මං තරහ ගන්නෙ...මට ඔයා වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් කාලය මම වෙන් කරනවනෙ....ඒ ඔයා මගේ වයිෆ් නිසා...ඔයාටයි දරුවන්ටයි මගේ කාලය වෙන් කරන්න මට දෙපාරක් හිතන්න ඕනෙනෑ..." පරාක්‍රම අසුනට හිස තබා ගෙන පැවසීය.....

.

" මට ඔයාව අසේල එක්ක සංසන්දනය කරන්න ඕනෙ නෑ  ඒත් මේ හැමදේම මට හරිම පුදුමයි....හාත්පසින්ම වෙනස්ම මනුස්සයෙක් ...මම බලාපොරොත්තු වුන විදියෙම කෙනෙක් ලැබෙන කොට මම මගේ අතීතය එක්ක සසඳනවා ඔයාව ඉබේම ...." අනුත්තරා පැවසුවාය.....

.

" තාරා....ඔයාගෙ අතීතය අපි ඈත්කරමු අපෙන් හෙමිහිට....හිතන්න...මම ඔයාව නිම් එක්ක සංසන්දනයක් කරන්නෙනෑ....නිම් මගේ අතීතය...ඒක කිසි ඇද පලුද්දක් තිබුණ එකක් නෙවේ ...නමුත් මට ඔයාගෙන් නිම්ව දකින්න ඕනෙ නෑ....අන්න ඒ වගේ අසේලව අපි අයින්ම කරදාමු...." පරාක්‍රම අනුත්තරා ගේ අතකින් අල්ලාගෙනම පැවසුවේය   .

.

" ඒ වගේම ඔයා තෙරුම් ගන්න ඕනෙ...සමහරක් වෙලාවට මට සතිගනන් ඔයාල එක්ක ඉන්න බැරිවෙයි....රට යනකොට...ඒත් පුලුවන් තරම් මම බලන්නෙ ඔයාල තුන් දෙන එක්ක ඉන්න....." 

.

අනුත්තරා ඒ පෙම්වත් දෑස් දෙසම බලාගෙන මොහොතක් උන්නාය....

.

" අපි යං ..හවස කෙල්ලො එක්ක එලියට යන්නත් ඕනෙනේ...මම ඔයාව ඩ්‍රොප් කරල ආපහු යනව  .ගිහින් එන්නම් පහට හරියටම...අපි රෑට කාල එමු..කරුණම්මාට කන්න ගේමු ..." පරාක්‍රම වාහනය පණගන්වමින් පැවසීය ...පරාක්‍රම කෙතරම් පුළුල්ව මිනිස් බැඳීම් ගැන සිතනවාද යන්න අනුත්තරා ට පසක් වෙමින් පැවතිණ.....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හවස ගමන යාමට කෙල්ලන් දෙදෙනා සූදානම් වූයේ නොඉවසිල්ලෙනි....

තමාගේ ජීවිතය වගේම කෙල්ලන්ගේ ජීවිතයද හාත්පසින්ම වෙනස් වන්නට පටන් ගෙනය.ඔවුන් දවස ගෙවන්නේ පුදුමාකාර සතුටකිනි....

..

ඉතාම සුන්දර අවන්හලක් වූ එය කෙල්ලන් දෙන්නාට සෙල්ලම් කරන්නට අවශ්‍ය ඉඩකින්ද යුතුවිය ..ලොක්කී එතරම්ම දැන් දඟ නැතද කෙළිලොල් බවින් අඩුවක් නම් නැත.....

.

" මට ඉතින් ඔන්න අක්ක බබාටයි චූටික්කිටයි කතාවක් තියනව කියන්න...." පරාක්‍රම කෙල්ලන් දෙදෙනා දෙපසින් හිඳුවා ගත්තේ සෙල්ලම අවසානයේ කෑමට යන්නට පෙරය.....

.

" කතාව එතෝට අම්මට අහන් ඉන්න හොඳ නෑද    " චූටික්කී මැදට පැන්නාය....පරාක්‍රම ඇයව උකුලට ගෙන අනුත්තරා හට ඇය උන් ඉඩට අඬගැසුවේය....

.

" නෑ නෑ අම්මත් ඉන්නව....තුන්දෙනාටම...." 

.

" අක්ක බබා ඔයාට තමා මං වැඩියෙන්ම මේ කතාව කියන්නෙ ..චූටික්කිට එච්චර ම තේරෙන්නෙ නැති නිසා....මායි අම්මයි මැරිකරන්න තීරණය කලා ලබන සතියෙ....ඒක ඔයාලට කියන්න ඕනනෙ..." පරාක්‍රම ලොක්කීගේ හිසට අතක් තබා පැවසීය....

.

" මැරි කරනව කියන්නෙ වෙඩින් එකක්ද....සෝයි අලේ....අම්මා මට ලස්සන ගවුමක් ඕන...සමනල්ලු ඉන්න..." පොඩ්ඩී එක්වනම කෑගැසුවාය.....අනුත්තරා සිනහව වාවාගනිමින් පරාක්‍රම දෙස බැලීය....

.

" මං ආසයි ...ඔයාල මැරිකරනවට....මට ඇත්තටම තාත්ති කෙනෙක් ඕන...මගෙ යාලුවො ඔක්කොටම තාත්තිලා ඉන්නව  ..මට නෑ  .." ලොක්කී එක්වනම පැවසුවාය....

.

" කලින් තාත්ති උන්නට එයා ඉස්කෝලෙට වත් ආවෙ නෑ..මගෙ යාලුවන්ට අඳුන්නල දෙන්න උන්නෙනැ.... ඔයා එනව නේද ඉස්කෝලෙටත් 

" කෙල්ලගේ බලාපොරොත්තු උතුරායමින් පැවතුණි....

.

" ඔයා අපේ තාත්ති වෙනාද ....අපේ ගෙදර ද ඉන්නෙ එතෝට...." පොඩ්ඩී පරාක්‍රම ගේ මුහුණ දෝතින්ම අල්ලගෙන ඇසුවාය...

.

" ඔව් චූටික්කිගෙ යි අක්කගෙයි තාත්ති මම....හැබැයි අපි තාත්ති ගෙ ගෙදරට යනව....එතකොට ...එහේ ලොකූ ගෙයක් තියනවනෙ....." පරාක්‍රම පැවසුවේය....පොඩ්ඩීගේ ඇස් ආසාවෙන් බබලන්නට වූයේය....ඇය යලිත් ඔංචිල්ලවට දුවගෙන ගියාය...

.

අනුත්තරා ඇය හා ඔංචිල්ලාවට ගියේ ලොක්කී පරාක්‍රම ළඟ තබාය....ඇයට පරාක්‍රම සමග දොඩමලු වන්නට අවැසි බව අනුත්තරා දැන උන්නාය....පරාක්‍රම ඉඟියෙන් ඇයට යන්නට යැයි පැවසූ විට අනුත්තරා හිස වනා එතනින් පිටව ගියේ එබැවිනි....

.

" තාත්ති....." ලොක්කීගෙ හඬ බිඳෙමින් පැවතුණේ අනුත්තරා එතනින් ගිය විගසමය...පරාක්‍රම ඇයගේ උරහිස වටා අතක් යවා ළඟට ගත්තේය....

.

" අම්මා පව් ....එයා ගොඩක් දවසට රෑ අඬ අඬ උන්නෙ....කලින් තාත්ත එයාට බැන්න....එයා අපිට පෙන්නුවෙ නෑ දුකෙන් කියල.....ඒත් මම ඒක දැක්ක...ඔයා මගෙ අම්මට එහෙම කරන්නෙ නෑනේද තාත්ති...අපිට වගේම අම්මටත් ආදරෙයි නේද....." ලොක්කීගේ ඇස් වලින් කඳුලු පිටාර යමින් පැවතුණි......පරාක්‍රම ගේ ද ඇස් තෙත් ව  ගියේ  කෙල්ලගේ සංවේදී කමටය....

.

" ඔව් දුවේ....ඔයයි නංගියි අම්මයි තුන්දෙනාම මගේ ....මං ඔය තුන්දෙනාටම ආදරෙයි...." පරාක්‍රම ඇයගේ හිස සිඹිමින් පැවසුවේය....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


ඉදින් කාලය පියඹා ගියේය...ආදරයේ මල් වරුසා වහින දිනයක් ජීවිත වලට පමා වී හෝ ලං විය යුතුය....

" කවුද හිතුවෙ ග්‍රවුන්ඩ් එකේ කලන්තෙ දාපු ගෑනුලමයව ජීවිත කාලයටම ඔසවන් යන්න වෙයි කියල...නේද පරාක්‍රම ....?" විවාහය සඳහා අනුත්තරා ගේ පාර්ශ්වයෙන් අත්සන් කරන්නට ඇරයුම් කරන්නට විදුහල්පතිනියගේ නිවෙසට ගිය විට ඇය කීවේ සිනහසෙමිනි.....අනුත්තරා ලැජ්ජාවෙන් බිම බලාගත්තාය....පරාක්‍රම ඇයගේ අතක් අල්ලාගත්තේ ඇය පත්වූ අපහසුතාවයෙන් මුදවන්නටය.....

.

" තාරා එක්ක සම්බන්ධෙ ඇති උනේ එයා අසේලගෙන් වෙන්වුනාට පස්සෙයි මැඩම්....ඒ දවස් වල නෙවෙයි...." පරාක්‍රම වහා එබස නිවැරදි කලේ අනුත්තරා ගැන විදුහල්පතිනිය වරදවා සිතීම වැලැක්වීමටය....

.

" මං දන්නව දරුවො....අනුත්තරා ගැන හොඳින්ම ....කාලයක් ජීවිතේ වැරදුණත් දැන් හරිම කෙනා එයාට හමුවෙලා තියනව....මම එදාට එන්නම් ..සුබ පැතුම් මගෙන්..." අනුත්තරා දැඩිව වැළඳගත් ඇය පැවසුවාය..

.

" මැඩම් කීවෙ ඇත්ත තමා....එදා කලන්තෙ දැම්මෙ බොරුවටද කොහෙද මට කියල වඩවගන්න..." ආපසු එන අතරමගදී පරාක්‍රම පැවසුවේය ....

.

" අනේ යන්න....වැඩේමයි....කවුද ඔයාට කියල වඩවගන්න එහෙම කලෙ ..මම අසනිපෙන්නෙ උන්නෙ එදා....අනික ඉතින් ඔයාට තිබ්බනෙ වැටෙන්න දෙන්න....මොකටද දුවල ආවෙ..." අනුත්තරා ද අතෑරියේ නැත....

.

" දුවල නොආවානම්..නංගි අද ඉන්නෙ අඩිහයක් යට.....එතන තිබ්බ තඩි ගලේ ඔලුව වැදිල....." 

.

අනුත්තරා දෑස් විසල් කොට ඔහු දෙස බලාඋන්නාය .....

.

" ආයෙ මට කණ පැලෙන්න එකක් ගහන්න ලැබුණෙ නැති දුකක් ආවෙ....කලන්තෙ දැම්මෙ නොකා නොබී ඉඳල කියල ඩොක්ටර් කීවම....." පරාක්‍රම මතක අවදි කලේය...

.

" අම්මෝ එදා මට රවපු හැටි...." අනුත්තරා ඔහුගේ බාහුවකට මුහුණ තද කරගනිමින් පැවසුවාය.පරාක්‍රම ඇස් කොණකින් පමණක් බලා දෙතොල් තද කරගත්තේය ....

.

" බය උනාද...." 

"හ්ම්.."

" එහෙනම්...ඇයි ආපහු එදා සල්ලි දෙන්න හැදුවෙ.....මාව තරහ ගස්සපු එකමයි ඒ ටිකේම කලෙ...." පරාක්‍රම වාහනය නැවතුවේ විදුරගේ නිවෙස අසලය.....අනුත්තරා කිසිවක් නොකියාම මඳක් එසවී ඔහුගේ කොපුලක් සිප ගත්තාය....

 " කට්ට කෙල්ල... " පරාක්‍රම අනුත්තරා ගේ නහයෙන් අල්ලා ඇද කීවේය....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

" තාරාගෙ පැත්තෙන් නම් ප්‍රින්සිපල් මැඩම් ඉන්නව අත්සන් කරන්න...මට ඉන්නෙ තනිකර අපතයෙක් ඒකටත්...." පරාක්‍රම විදුර දෙසට අතදිගු කලේ එසේ කියමිනි.....

.

" වැදගත් එවුන්ට තමා යකෝ වැදගත් අයව හම්බ වෙන්නෙ..උඹට මං හොඳ වැඩියි..." විදුරද අතහැරියේ නැත...දෙමිතුරන්හට කතා කරන්නට දී අනුත්තරා රංගී සමග උඩුමහලට වැදුණාය....

.

" අනූ....පොඩි දෙන්නව අපි ඒ සතියෙ මෙහෙ තියාගන්නම් කරුණම්ම එක්ක...." රංගී කාමරයේ අසුනක අනුත්තරා හිඳගත් පසු පැවසුවාය ....අනුත්තරා දෑස් ලොකු කොටගෙන ඇය දෙස බැලූ හැටියට රංගීට මහ හඬින් සිනහ ගියේය.....

.

" ඇයි උඹල දෙන්න බැඳල යන්නෙත් මුන්තුන්දෙනත් අරන්මද.....හම්මෙ මට බෑ මැවිල පේනව. .." රංගී බඩ අල්ලාගෙන සිනහසුනාය....අනුත්තරා විළියෙන් මෙන් ඇඹරුණාය.....

.

" කෙල්ලො දෙන්නට මෙහෙ නුහුරු නෑනෙ...අපි ගාණට ප්ළෑනක් ගහල ගෙන්න ගන්නම්...අපෙ අක්කලගෙ කෙල්ලො දෙන්නත් මෙහෙ එනව නිතරම...සෙට් වෙයි ගානට...." 

.

අනුත්තරා රංගී සමග පහල මාලයට එන විටත් දෙමිතුරන්ගේ කතාව අහවරව නැත....

.

" මේකි බැඳල හනිමූන් යන්න ඉඳල තියෙන්නෙ කෙල්ලො දෙන්නයි කරුණම්මවයිත් අරන් විදුර..." අනුත්තරා රංගීගේ කට වසන්නට තැත් දරද්දීම රංගී කියවාගෙන ගියය....විදුර මහ හඬින් හිනැහුණේද පරාක්‍රම සිනහසෙමින් ඉවත බලාගත්තේද එකවිටය....

.

" ඔයා අපේ ප්ලෑන කිව්වනෙ ...එහෙම කරමු...දවස් කීපයයිනෙ...." විදුර පැවසීය...

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"මොකද රංගි කියන්නෙ ...?" අනුත්තරා සමග ආපසු එන ගමනේදී පරාක්‍රම ඇසුවේය.

" කෙල්ලො දෙන්න කරුණම්මා එක්ක එහෙ තියල යන්න කීවා....." අනුත්තරා හිස නගා පරාක්‍රම දෙස බැලීය. ඒ දෑස පෙම්වත්‍ ය.

.

" තාරා....කොහෙද යන්න ආස...?" පරාක්‍රම වාහනය මඳකට මුහුදු තීරය අයිනේ නැවතුවේය.

.

" කැමති තැනක්...." අනුත්තරා සෙමින් පැවසුවාය...." ඔයා සිලෙක්ට් කරන්න ..." 

" අප් කන්ට්‍රි ද..ඩවුන් සවුත් ද....අනුරාධපුර පැත්තද ...."

" අප් කන්ට්‍රි...."අනුත්තරා වහා කීවාය....

.

" ඔව් ඉතින් සීතලට ගුලි වෙන්න බැරියැ...නේද...." පරාක්‍රම ඇයගේ වත රතුවනු බලා ඇසීය.

.

"ඔයා එක්ක ජීවිතේ බෙදාගන්න එක මට හීනයක් තාරා....ඒක ඇත්ත වෙන්න ගත වුණ කාලය ගැන මට තාම හිතාගන්න අමාරුයි ...." අනුත්තරා ගේ  දෑස තෙත් වූයේ පරාක්‍රම ගේ ඒ ස්වරයටය.... තම සිත තුලද ඇත්තේ ඒ හා සමාන ම හැඟීමක් හෙයින් අනුත්තරා කිසිත් නොකියා ඔහුගේ වත දෙස සෙනෙහසින් බලා උන්නාය.

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

" අපි ගෙදර ආපහු බාර දෙන්න ඕන නේද ....ඒ වැඩ කවද්ද කරන්නෙ....." අනුත්තරා හදිසියේම මතක් වී ඇසුවාය.පරාක්‍රම එය නෑසූකන්ව වාහනය පැදවීය.ඔහු උන්නේ කල්පනාවක හෙයින් අනුත්තරා එය පසුවට අසන්නට කල් දැම්මාය.....

.

අනුත්තරා නිවෙස ගාවින් බස්සවා පරාක්‍රම පිටව ගියේ කෙල්ලන් දෙන්නාට අසුවුව හොත් පැය ගාණකට මිදෙන්නට නොහැකි බැවිනි. අනුත්තරා තේ එකක් බොන්නට ඇවිටිලි කළද ඔහු තවත් වැඩ කටයුතු රාශියක් ඇති යැයි සිතා පිටව ගියේය.

.

අනුත්තරා නිවෙසට පැමිණ කෙල්ලන් දෙන්නාගේ මසා ගෙන ආ ඇඳුම් ඔවුන්ට අන්දවා හැඩ බැලුවාය.කෙල්ලන් දෙදෙනාට පරාක්‍රම වරින් වර ගෙනෙන සපත්තු රාශියක් ඇති නිසා අලුතින් ගන්නට අවශ්‍යතාවයක් ඇති නොවීය .කරුණම්මාට ගෙන ආ සාරියද ඇය බොහෝ කැමති තාලයේ එකක් විය.අවසන සියල්ලෝම සතුටිනි....

.

"අම්මා රංගි ඇන්ටි කීවා දැන් ඉස්කෝලෙ නිවාඩු නිසා දවස් ටිකක් එහෙ ඉන්න එන්න කියල....ශෝභි අක්කිලාත් එහෙ එනව කියල..අපි පාටි එකෙන් පස්සෙ එහෙ යන්නද...." ලොක්කී ඇසුවේ රාත්‍රියේ නිදන්න ගිය විටය .රංගී ගාණට වැඩේට බැස ඇත. 

.

" අම්මට නම් එන්න වෙන්නෑ පුතේ  ....ඔයාටයි නංගිට යි කරුණම්මා එක්ක ඉන්න පුළුවන් ද එහෙ  . ." අනුත්තරා ඇසුවේ චකිතයෙනි....

.

" ඔව් රංගි ඇන්ටි කීවා තාත්තිගෙ ලෑන්ඩ්ස් වගේක වැඩ වගයකට අම්මයි තාත්තයි දෙන්නම යනව කියල....අපි එහෙ ඉන්නම්..." අනුත්තරා ට රංගීගේ කපටි වැඩ අසා සිනහාවක් ද මුවට පැමිණුනි.....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

" රංගි ගානට කෙල්ලො දෙන්නව අල්ලගෙන...." අනුත්තරා කෙල්ලන් දෙන්නා නිදාගත් පසු පරාක්‍රම ට ඇමතුමක් ගනිමින් පැවසීය.....පරාක්‍රම හිනාවෙමින් කතාව අසා උන්නෙය.....

.

" අවංකවම කීවොත් මාත් පණ බයෙන් උන්නෙ.....ළමයි දෙන්නයි කරුණම්මයි එක්ක යන්ද කියල එක්කෙනෙක් අහයි කියල...." පරාක්‍රම ගේ හිනා හඬ ඇසෙයි.....

.

" අනේ මේ ....." අනුත්තරා විළියෙන් ඇඹරුණාය......

.

" තාරා ... ගෙදර ආවට පස්සෙ කෙල්ලන්  දෙන්නට වෙනම රූම් එකක් ඇරෙන්ජ් කරනවද......නැත්නම් මාස්ටර් බෙඩ් රූම් එක ගන්නවද ....?" පරාක්‍රම ඇසුවේය.....

.

" එයාල කොහොමත් වෙනම කාමරයක නිදාගත්තෙ ...මමයි එයාල අස්සට ගියේ ප්‍රශ්න ඇතිවෙනකොට.....හැබැයි මං දන්නෑ....ඔයාට එයාල වෙනම ඉන්න දෙයිද කියල......" අනුත්තරා කීවාය.....

.

" මාරුවෙන් මාරුවට එයාල එක්කත් ඉම්මු...නැත්නම් එකපාරටම අම්මාව මම උදුරගත්තා වගෙ දැනෙන්න පුළුවන් ....", පරාක්‍රම කෙතරම්ම දුරදිගක් සිතනවාදැයි යන්න අනුත්තරා ට සිතාගන්නට නොහැකි තරම් ය....

.

" මේ ගෙදර බාරදෙන එකත් බලන්න පොඩ්ඩක් ....." අනුත්තරා යළිදු කීවාය....සියල්ලටම ඇත්තේ තවත් දින හතරක් පමණි.......

.

ඉදින් ජීවිතය ..හුදෙකලාවෙන් ගතවන අවසාන දවස් මේය....පරාක්‍රම සැනසීමෙන් යුතු ව ජංගමය පසෙක තබා සුසුමක් හෙලීය.....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අනුත්තරා  කණ්නාඩිය ඉදිරි පස සිට නැවතත් සාරිය සකසාගනිමින් උන්නාය .. චාම් ක්‍රීම් පැහැයකට මුසු වූ සාරිය වැඩිමනත් විසිතුරකින් තොරවිය. රංගී යාන්තමින් මෙන් ගැල්වූ ආලේපනයන් ඇය නැවුම් පෙනුමකට ගෙනවිත් තිබිණ. කෙල්ලන් දෙදෙනා සහ කරුණම්මා ඇඳුම් හැඳගත් පසු විදුර ඔවුන් ව තම නිවසට කැඳවාගෙන ගොස් තිබුණි...කෙල්ලන් දෙදෙනාගේ ගාලගෝට්ටිය සමග අනුත්තරා ට නිදහසේ ඇඳගන්නට වත් ඉඩක් නොලැබෙන බව රංගී දැන උන්නාය.

.

" ලස්සනයි කෙල්ලෙ....හරිම පින්පාටයි..." අන්තිමටම මුහුණ දෙස බලාඋන් රංගී සෙනෙහසැති ස්වරයෙන් පැවසුවාය.අනුත්තරා ගේ මුවඟ සිනහවක් මතුවිය.

.

" හරි....අපි එනවා දැන් මෙහෙන්...." රංගී විදුරට ඇමතුමක් දී අනුත්තරා දෙස බැලුවාය...

.

" අන්න අර යකා ඉක්මනින් ඔයාව එක්ක එන්නලු.....මූට දෙයියනේ අල හිටෝලා අල බහිනකල් ඉන්න පුළුවන් ...තැම්බෙනකල් ඉන්නයි බැරි...." රංගී අනුත්තරා ගේ අතින් අල්ලාගෙන වාහනය වෙත ආවේ එසේ කියමිනි.....

.

විවාහය ලියාපදිංචි කරනා කටයුතු පැවතුණේ පරාක්‍රම ගේ නිවසේය. සුන්දරම දෙමහල් නිවසක් වූ එය අපූරුම උයනකින්ද සමන්විත විය.අනුත්තරා වාහනයෙන් බැස උයන දෙස ආසාවෙන් බලා උන්නාය.

.

" යකෝ....තණකොළ ගොඩ දැක්ක එළදෙන වගේ ගස් කොළං දිහා කට ඇරන් බලන් ඉන්නෙ ඒ ගමන.....අද උඹෙ කසාද බඳින දවස....යමං ඇතුළට...." රංගී අනුත්තරා ගේ අතකින් ඇද්දාය....අනුත්තරා සිනහාව තද කොට ගනිමින් ඇය පසුපසින් නිවෙසට ආවාය....

.

පරාක්‍රම සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී විදුර සහ අනෙක් මිතුරන් සමග ඇය එන මග උන්නේය...අනුත්තරා ඒ දෑසේ පැටලුණේ කෝල බවකිනි...පරාක්‍රම මහත් ලොබින් තමා සතුවන්නට යන  සුන්දර ගැහැණිය ලෙස බලා උන්නේය....මේ යෞවනය පසුවී බොහෝ කලකට පසු වුවත් හද ගැහෙන්නේ අලුතින්මය..නැවුම්වය....

.

" මචං  .....ඔහොම බලන් ඉන්න හොඳ නෑනෙ මොක උනත්...බලහන් කපුටා සහ කේජු කෑල්ල කතාව වගෙ නෙ...උඹ අනුත්තරා දිහා බලන් ඉන්නෙ .." විදුර පරාක්‍රම ගේ කණට කොට කීවේද පරාක්‍රම ඔහුට ගහන්නට අතක් එසෙව්වේද එකවිටය.

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

විවාහ රෙජිස්ට්‍රාර් වරිය හමුවේ විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පරාක්‍රම අනුත්තරා අත මුදුව පැළඳවීය...අනුත්තරා සිය දෝතින් ඔහු අත අල්ලාගෙන මුදුව පැලඳවූයේ වෙවුලන හෙයිනි....

.

" මොකෝ කෙල්ලෙ ...වෙවුලන්නෙ...." පරාක්‍රම  සෙමින් එහෙත් ආදරයෙන් ඇසුවේය.අනුත්තරා දෑසේ නැගෙන කඳුළ සඟවා ගනිමින් ඔහු දෙස බලා උන්නාය......

.

"නංගි ...මම මේ අහන්නම උන්නෙ...මූ ඔයාව බඳින්නෙ මේ බලකරල තර්ජනේ කරල එහෙම නෙවේනෙ...." විදුර හෙමින් ඇසුවේ පරාක්‍රම දෙසවත් නොබලමිනි....අනුත්තරා විමසුම් ඇසින් ඔහු දෙස බලා උන්නේ ඇයි යන විමසුම දෑසට ගෙනය...

.

" නෑ මේ...ඔයා පිටගැස්ම හැදිච්ච එකෙක් වගේ ගැහෙන හින්ද ඇහුවෙ....වැඩිහිටියන් විදියට අපි මේවට මැදිහත් වෙන්න ඕනනෙ...." විදුර බැරෑරුම් ස්වරයෙන් පැවසීය....

.

" යකෝ....මේ මගෙ කසාද බඳින දවස..අදවත් උඹෙ කටවහන් හිටපන්කො....වඳින්නම්..." පරාක්‍රම සිනහව ගිලගනිමින් පැවසීය.

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු නිමාවට පසු දිවා ආහාරය ඇනවුම් කර තිබූ ස්ථානයෙන් සපයා දෙනු ලැබීය...

.

" මනමාලි ටිකක් හිටපන් එක විදියකට...අද අපි මේව කරන්නම් ...ආයෙ ලබන සතියෙන් පස්සෙ අපි පොලියත් එක්ක අල්ලන්නම් ඕවට.." මුළුතැන්ගෙයට යන්නට ආ අනුත්තරා ව පරාක්‍රම අසල හිඳුවා රංගී කරුණම්මා සහ අනෙක් යෙහෙළියන් හා කෑම මේසයට අරින්නට පිටත් වූවාය...

.

" කොහෙද දුවන්නෙ ....කහඹිලියාද ..." පරාක්‍රම ඇයගේ අතක් තද කොට අල්ලාගත්තේය...අනුත්තරා බිම බලාගෙන සිනහසුනාය....

.

" ගේ බලන්න ඕනද.....අදම...." පරාක්‍රම ඇසුවේය. අනුත්තරා කිසිවක් නොකියා ඔහු දෙස බලා උන්නාය.

.

පරාක්‍රම නැගී සිට ඇයට අතපෑවේය.අනුත්තරා ඔහු අත අල්ලාගෙනම නැගී උන්නාය..උඩ මාලයේ කාමර අතර කෙල්ලන් දෙදෙනාට වෙන්කළ කාමරය ඉතාම සුන්දර විය.පරාක්‍රම ඔවුන් දෙදෙනා ට අලුතින්ම පොත් මේස සහ කබඩයන් ගෙනවිත් සකසා තිබිණ.අනුත්තරා දෑස විසල් කොට ඔහු දෙස බැලුවේ එය දුටුවිටය....පරාක්‍රම දෙබැම ඔසවා කිමදැයි අභිනයෙන් ඇසීය.අනුත්තරා කිසිවක් නොකියා ඔහු දෙසම බලාඋන්නේ....ඇස් වල පිරීයන කඳුළු වාවාගත නොහැකිවය....

.

" ඔන්න පටන් ගත්ත ....ඇයි තාරා....ඒ මගෙත් දරුවො දෙන්න දැන්....මට අයිතිය තියනවනෙ එයාල වෙනුවෙන් දේවල් කරන්න....." සිය ළයට හිස තදකරගෙන ඉකිබිඳින අනුත්තරා ගේ හිස අතගාමින් පරාක්‍රම පැවසීය.

.

" අද ම කාමර පෙන්වන්න ඕන්නෑ...ගිහින් ඇවිල්ල මේක තව ඇරේන්ජ් කරලම සප්‍රයිස් කරමු...එන්න...."අනුත්තරාගෙ අතින් අල්ලාගෙන යාබද කාමරය පෙන්වූ පරාක්‍රම ඇය එයට කැඳවාගෙන ගියේය.....

.

" මේක අපේ කාමරේ...." අනුත්තරා ගේ මුහුණ දෝතින්ම ගත් පරාක්‍රම කෙඳිරුම් ස්වරයෙන් පැවසීය. 

.

" මෙච්චර කලක් මං පාළුවෙන් දුකින් උන්න කාමරේ...මින් පස්සෙ ආදරෙන් පුරවන්න අයිති ඔයාට.... මගෙන් අතපසු වීම් වේවි තාරා..මම අවුරුදු දහයක් ගෙව්ව ජීවිතේ වෙනස්...හැමදාම රෑ ට බීපු මම....තනියම කියවල අඬපු මම....වෙනස් කරන්න ඕනෙ ඔයායි...." පරාක්‍රම අනුත්තරා ගේ දෑසට එබී පැවසුවේය.....අනුත්තරා ඉමහත් සෙනෙහසින් ඔහුගේ මුහුණ පිරිමැද්දාය....

.

" ඉඹින්නද ...?" පරාක්‍රම ඇයගේ වතට නැඹුරු වෙමින් ඇසීය. ජංගමය නාද වූයේ ඒ මොහොතේමය..

.

" අපිට බඩගිනියි යකෝ....ඉක්මනින් පහලට වරෙන්...උඹ ඔතනම හනිමූන් ගියාද    ..." විදුරගේ හඬ දුරකතනයෙන් අනුත්තරා ටද ඇසුණි .....

.

" ඔය දැක්කනෙ ....මූ නම් මගෙම කරුමෙට හම්බ වුන යාළුවෙක්.....අපි යං මැණික ..." අනුත්තරා ගේ දෙතොල් මතට කෙටි හාදුවක් තැබූ පරාක්‍රම ඇයගේ අතින් අල්ලාගෙන පහල මාලයට ආවේය.....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දිවා ආහාරයට පසු රංගී සහ විදුර කෙල්ලන්වද කරුණම්මාද ඔවුන්ගේ නිවහනට කැඳවාගෙන පිටත් වූ අතර පරාක්‍රම අනුත්තරා සමග නුවරඑළිය බලා පිටත් විය.....

.

" මම ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා...ඔච්චර දුර එලවන්න බෑ....අනික ඔයා ළඟ ඉන්න ඕනෙ ...", වාහනය ට ඇඳුම් බෑග දමා පසුපස අසුනට වූ පරාක්‍රම අනුත්තරා වෙත නඹුරු වෙමින් පැවසීය....අනුත්තරා ඔහුගේ උරහිස ට හිස තබා ගත්තාය.

.

ප්‍රේමය හිත් වලම නිදන් වූ කාලය හමාර වෙමින් පැවතුණි....පරාක්‍රම අනුත්තරා ගේ උරහිස වටා අතයවා සිය තුරුළේ තබා ගත්තේය......

.

" මහන්සි නම් නිදන්න ....." පරාක්‍රම පැවසුවේ දැස් පියා ගෙන සිටින අනුත්තරා ටය...

.

" නිදිමත නෑ....ඒත් මෙහෙම ඉන්න ආසයි ..." අනුත්තරා හිස නොනගාම පැවසුවාය.... ජීවිතය පුරා දැවටෙන ඒ ස්ත්‍රී උණුසුම කෙතරම්ම පෙම්වත්දැයි පරාක්‍රම විඳගත්තේය.....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නවාතැන් පලේ උඩුමහල ට ඈත කඳුයායවල නිවෙන දැල්වෙන එළි අපූරුවට පෙනෙයි.අනුත්තරා පරාක්‍රම ගේ තුරුළට වී ඒ දෙස බලාඋන්නාය..

.

" තාරා.....මොකද හිතෙන්නෙ..."

"හීනයක් වගේ..."

"මටත්  ...."

"ඔයාගෙ යි කෙල්ලො දෙන්නගෙයි ජීවිතේ ලස්සන කරන එක මගේ වගකීමක්.....මං ඒක කරනවා  .... තාරා ...."පරාක්‍රමගේ වදන් එක්මොහොතක නැවතුණි....අනුත්තරා හිස නගා ඔහු දෙස බැලුවාය....

.

" මං කෙල්ලො දෙන්නට තාත්තෙක් වෙනව  හොඳ ම තාත්තෙක්....ඒ වගේම මට ඔයා ආයෙ අම්මා කෙනෙක් කරන හීනයක් තියනවා.....ඒක එහෙම වෙන එක වැරදිද තාරා   ..." පරාක්‍රම ගේ හඬ බෙහෙවින්ම හැඟුම්බර විය....අනුත්තරා ඔහුගේ හිස තම ළයට නැඹුරු කොට හිස සිප ගත්තාය.....

.

" නෑ රත්තරනේ ....මට ඒක දැනෙනවා....ඔයාගෙ පැටියෙක් අපි ඉක්මනින් හදාගම්මු....මං ආසයි ඔයා වගේ තාත්තෙක් ඉන්න දරුවෙක්ගෙ අම්මා වෙන්න ." අනුත්තරා ඔහුගේ හිස කේ අතර ඇඟිලි තුඩු යවමින් පැවසුවාය....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ඉදින් රාත්‍රිය තරුණ විය.. ප්‍රේමය අලුතින්ම අලුතින්ම ඉපිද තිබිණ...උණුසුම් සුසුම් අතර ජීවිතේ තනිකම ඈතට පලා යන්නට ඇත. 

ඈතම ගිරිහිසක කැදැල්ලක අලුත එක්වූ කුරුලු යුවලකගේ හීන් කිචිබිචිය ඇසෙනා උදෑසන තෙක්ම ඒ හෝරාවන් සොඳුරු විය....අනුත්තරා ජීවිතේ නොලද සෙනෙහසක් මුසුව ගත් ඒ අනුරාගයේ වෙලී අවසන නිදිසුවය ලද්දාය....පරාක්‍රම සිය තුරුළේ නිදන පිරිපුන් ගැහැණිය දෙස උදෑසන පිබිද බලා උන්නේය    ....

.

"තාරා ....නැගිටින්න....." පරාක්‍රම ඇයගේ හිස පිරිමදිමින් පැවසීය....අනුත්තරා දෑස හැර බලා ලැජ්ජාවෙන්  ඔහු තුරුලේ යලි සැතපුණාය.... 

.

"තාරා ..මුලු ජීවිතේ ම ඉතින් ඔහොම තමයි අද ඉඳන්......ඔයා මගේ....."පරාක්‍රම සිය බිරිඳගේ උණුසුමැති වත සෙමින් සිප ගනිමින් පැවසුවේය ..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හමුවෙමු යළිත්....

විසිරි ❤️

No comments:

Post a Comment