Saturday, December 12, 2020

විසි හත්වෙනි කොටස (මගේ ප්‍රේමය ඉසියුම්)

 



නවාතැන් ගන්නා සුන්දර නවාතැනට  පැමිණි පසු එකිනෙකා තම තමන්ගේ කාමර වෙත බඩු බෑගයන්ද සහිතව ඇදුණෝය....අනුත්තරා සිටියේ ඉමහත් දෙගිඩියාවෙනි ....පරාක්‍රම ඇයගේ සිත කියෙවූවාක් මෙන් ඇය වෙත පැමිණ ඇයගේ දෙඋරට අත තබා ගත්තේ ය....

.

" ඇයි මොකද ප්‍රශ්නේ ....?" අනුත්තරාගේ දෑසට එබෙමින් පරාක්‍රම විමසුවේය. ඇය නිරුත්තරව ඔහුගේ දෑස් දෙස ම බලා උන්නාය .....

.

" බයෙන් නේද ඉන්නේ මමත් මේ කාමරේට මේ ඒවි කියලා..."පරාක්‍රම සිනහ  වූයේය .....අනුත්තරා  ආයාසයෙන් සිනහවක් මුවට නගා ගත්තාය ....

.

"එහෙම දේකට නෙමෙයි ....ඒත් අනිත් අය මොනවා හිතයිද කියලා මට මොකද්ද වගේ එකකුත් දැනෙනවා...."අනුත්තරා පැවසුවාය.....පරාක්‍රමගේ මුහුණේ ඇදී ගියේ ඉතාම සුන්දර සිනහවකි ....

.

" ඒක තමයි කිව්වේ බැඳලා එමු කියලා....කොහෙද වෙලාව මදි උනා නේ ....කොහොමත් මම ඔයාට කතාවක් අහන්න කවදාවත් ඉඩ තියන්නේ නෑ තාරා ....මම  සිංගල් රූම් එකක් වෙනමම බුක් කරා....ඒක  හොඳයිනේ  ....." අනුත්තරා ගේ කොපුලකට අත තබමින් පරාක්‍රම පැවසුවේය...ඒ මූණෙ කිසිදු සංකාවක් වූයේ නැත  ....අනුත්තරා ඉමහත් වූ සෙනෙහසකින් යුතුව ඔහු දෙස බලා උන්නාය.... .

.

" කමක් නැද්ද ඒකට..." 

.

"කමක් තියනව....ඒත් බෑනෙ ...අවසර පත්තරේ ට ලියාගන්න එපැයි...හැබැයි ඉතිං කෙල්ලො දෙන්නට නින්ද යනකන් නම් මට කාමරයට යනවා බොරු ...." පරාක්‍රම පැවසුවේ ඉතාමත්ම ආදරය මුසු හඬකිනි.....ඒ හඬ තුල වූයේ පියෙකුගේ අපූරුම ස්නේහයයි......

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"පිස්සොත් දැක්කා මෙහෙව් පිස්සො නොදැක්කා....ඇයි යකෝ වෙනම කාමර බුක් කර ගන්නේ ....දැන් උඹ ඒ කාමරේ හිටියයි කියලා උඹට අනං මනං කියන්න මෙතන කවුරුවත් ඉන්නවද ..." කාමරයක් වෙනම වෙන් කරගන්නා බව පැවසූ විට විදුර කෑගැසූ හැටි පරාක්‍රමට සිහිවිය....

.

"ඒක.. හරි මචං උඹලා ගැන ප්‍රශ්නෙකට නෙමෙයි ...තාරා ගේ ලොක්කි පොඩි ම දරුවෙක්ම නෙමෙයි ....ඒ දරුවා කවදාහරි අම්මා ගැන වැරදියට වචනයක් කියනවා අහන්න මම කැමති නැහැ .... තාරා ඔය දරුවෝ දෙන්න වෙනුවෙන් ජීවිතේ කැප නොකලෙ මොනවද ....එහෙම ගෑනියෙකුට  මුළු ජීවිත කාලෙම තමන්ගේ ගෞරවය කියන දේ හරියට වටිනවා බං ...." පරාක්‍රම බෙහෙවින් හැඟුම්බරව පැවසුවේය ....විදුර සිය මිතුරාගේ උරහිසට  තට්ටු කරමින් එම අදහසට එකඟත්වය පළ කළේ ය .....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නුවරඑළියේ ගතකල දින තුන සොඳුරුම මතකයන් බවට පත්වෙමින් තිබිණ...

පිදුරුතලාගල , ග්‍රෙගරි වැව, වික්ටෝරියා උයන, සඳතැන්න, ලවර්ස්ලීප් දියඇල්ල, හග්ගල ආදී සියලුම තැන් වල සැරිසැරූ පිරිස අතර අනුත්තරා සහ කෙල්ලන් දෙදෙනාද හිතේ හැටියට මුසු වූහ ....

.

" මොකෝ කල්පනාව.....මෙහෙම නවතින්නද...?" සඳතැන්නේ කඳුවලල්ලේ අසිරිය විඳිමින් දෑත පොරවා බලාසිටින අනුත්තරා ගේ උරහිස වටා අතයවමින් පරාක්‍රම ඇසුවේය....කෙල්ලන් දෙදෙනා අනෙක් අය හා හරිහරියට සෙල්ලමේය. සඳතැන්න මුදුනේ තැනිතලාවේ සියල්ලෝම සතුටු සුවයෙනි....

.

" අපි මෙහෙම ගමනක් ආවමයි....අර පේනව නෙ අර දෙන්නට තියන සතුට...ඔයාට පිං...." අනුත්තරා සිය මුහුණ පරාක්‍රම ගේ උරහිසට තදකොට ගත්තාය.....

.

" අපි මාසෙකට පාරක් හරි ඒ දෙන්නත් අරන් කොහෙ හරි යමු තාරා....මම ජීවිතේ හුඟාක් ඇවිද්ද කෙනෙක්....ඒත් තනිවමයි ඒ ඇවිද්දෙ....ඔයාල එයින් හතරෙන් එකක් ඇවිදල නෑ....අපිට කාලය තියනව ඕන තරම්...." අනුත්තරා ගේ කෙහෙ රැල්ලක් අතැඟිල්ලක දවටාගනිමින් පරාක්‍රම පැවසීය....

ලෝකය දකින්නට විඳින්නට සහ සොබාදහමට ප්‍රේම කරන්නට දරුවන්ට උගැන්විය යුතු බව අධ්‍යාපන මනෝ විද්‍යාවේ කෙතෙක් තිබුණද තමා සහ දරුවන් මේ වනතුරු ලෝකය දැක්කේ රූපවාහිනිය තුලින් පමණක් බව අනුත්තරා පරාක්‍රම හා කියූවේ පෙරදාක කතාබහ කරනා මොහොතකය.....

.

" යාන්ත්‍රික ජීවිත තියන දරුවො හදල වැඩක් නෑ තාරා....අපේ දරුවො පොලවෙ පය ගහල ඉන්න ඕන...අක්කල දෙන්න වගේ ඉස්සරහට එන්න ඉන්න අයත්...." පරාක්‍රම පැවසූවට අනුත්තරා ඇස් ලොකු කරගෙන බලා උන්නාය.....ඊලඟ අය.....එතරම් බලාපොරොත්තු ??.....

.

" මොකෝ සද්ද වැහුවෙ....අපි පොඩි මෑන් කෙනෙක් වත් හදමු නේද...මං නාකි පප්පෙක් වෙන්න කලින්...." පරාක්‍රම අනුත්තරා ගේ මුහුණ ඔහු දෙසට හරවාගෙන ඇසූ හැටි අනුත්තරා ට සිහිවිය.....

.

ජීවිතය ගැන අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු පොදි බැඳ උන් යුගයක් සුණුවිසුණු ව ගිය යුගයක ...අලුතින් බලාපොරොත්තු රැගෙන ඔහු ජීවිතය වෙත පැමිණි අන්දම....

.

" මැණිකෙ...ඔය හිතන දෙයක්..මටත් කියලම හිතන්නකො...ඔයා අර ඈත           කඳු දෙකතුනක් එකට ගැටගහන්න වගෙනෙ කල්පනාව...." පරාක්‍රම අනුත්තරා ගේ කොපුලකට සිය කොපුල් තදකරගනිමින් පැවසීය....

.

"  මං කතා කරන්න ලෝබයි....මට මෙහෙම ඉන්න දෙන්න...." අනුත්තරා සිය සුරත ඔසවා පරාක්‍රම ගේ නිදහස් කම්මුල පිරිමැද්දාය ...

.

" ආ ....අමතක උනා...කියමු බලන්න...අර මූණ දික්කරන් උන්න කාරණය....එදා එන ගමන්....මං මේ ඒක අමතක වෙලා වගෙ උන්නට මට ඔක්කොම මතකයි...." පරාක්‍රම අනුත්තරා තමා වෙතට හරවාගනිමින් ඇසුවේය....

.

අනුත්තරා දෑසම දල්වාගෙන ඔහු දෙස බලා උන්නේය...ඒ සුපෙම්වත් දෑසට , ආදරණීය සිනහවට තමා පෙම් කරන තරම්.....ඔහු කවදනම් වටහා ගනීද.....

.

" මෙච්චර කාලෙකට ජීවිතේ නොදැනුණ ලෝබකමක් මට දැනෙන්න ගත්තා .....ලඟ ඉන්න...දැවටෙන්න...මෙහෙම ඉන්න හිත කෑගහන්න ගත්තම ඔයා ලඟට  එන්න බැරිවුණ නිසයි ....එහෙම දුකක් හිතුණෙ...." අනුත්තරා ඇස්වල කඳුලක් දවටාගනිමින් පැවසුවාය....

.

උතුරා යන ආදරයට වැටකඩොලු සීමා නොමැති විට....පරාක්‍රම ඇය ලයෙහි හොවා ගෙන නළලත සෙනෙහසින් සිප ගත්තේය.....

.

🌼🌼🌼🌼🌼🌼🌼 🌼ජීවිතය යනු දුක සහ සතුට මැද දෝලනය වන්නාවූ අපූරුම කාව්‍යයක් බඳුය....විටෙක කඳුලක මෙන්ම විටෙක හසරැල්ලක දැවටෙන ජීවිතය සමබරව ගමනක ගෙනයන්නට හිතන තරම්ම පහසුද නැත.... ජීවිතේ එක් යුගයක විඳි අනන්ත අප්‍රමාණ වේදනාවන්ගේ සේයාවල් හිත තවමත් තවාලයි... සතුට ජීවිතය ට එන විට දුක සම්පූර්ණයෙන්ම ජීවිතය අතහැර යා යුතුය...එවිට සතුට පැමිණ පැලපදියම් වෙන්නට ඉඩහසර සොයාගනු ඇත ....

.

අනුත්තරා ට කොහේ හෝ දවසක කියවූ කවි පෙළක් සිහිවිය. ඒ කවියට එදා තමා පෙම් කලේ අනාගත දිනයක එය තමන්ට ආදේශ වේ යැයි සිහිනෙනුදු නොසිතමිනි.

.

🌼🌼 ආදරය එතරම් ම එතරම් ම ඉසියුම් ද.....? 🌼🌼

ඇසට ඇස හසුවෙන්න මොහොතකට පෙරාතුව

කෝල වෙන නෙත් අගට ස්නේහයක මල් පිපෙන

රතුව යන දෙකොපුලෙක

 මිහිරි හසකැන් දිලෙන

ආදරය එතරම් ම එතරම් ම

 ඉසියුම් ද.....?

අතින් අත පැටලෙමින්

ගිලිහෙනා ඉසුඹුවක

දහක් නෙත් ගැටේදැයි

බියෙන් සිත සැලී ගිය

ඔය නෙතග පිරීගිය 

හැඟුම් යළි යළි කිව්ව...

ආදරය එතරම් ම එතරම් ම

 ඉසියුම්ද....?

ආදරය කියාදෙන... 

මුදු ස්වරය සවන් අග

දවටමින් දෙකොපුලක

 සෙනෙහසේ සුව මැව්ව

දින ගනන් සති ගනන් 

මග බලා ගෙන උන්න

ආදරය එතරම් ම එතරම් ම

 ඉසියුම් ද....?

ප්‍රේමය එතරම්ම ඉසියුම් යැයි ජීවිතයට දැනෙන්නේ දැන් ය.නව යොවුන් හිරිමල් වියේදී වත් නොදැනුන තරමට මේ ප්‍රේමය හිතට සමීපය. පරාක්‍රම ගේ ඇසුර ජීවිතය තමා ගේ මුලු ජීවිතයම නවමු කොට ඇත..

.

කෙල්ලන් දෙදෙනා ගමන වින්දනය කල අන්දම අනුත්තරා ට හීනයක් මෙනි. නිවසට පැමිණි පසුවත් තොරතෝංචියක් නැතුවම කියවනා ගමනේ විස්තර අසා කරුනම්මාද හෙම්බත් ය. 

.

" අනේ නෝනෙ...මේ ගත වෙච්ච කාලයටම මේ දරුවො දෙන්නා මෙහෙම සන්තෝසෙකින් උන්නමද කොහෙද....? තාත්තෙක් කියල මිනිහෙක් උන්න....අඩුගානෙ මේ දරුවො මූදක් අයිනට එක්කගෙන වත් ගියා කියලද...?" කරුණම්මා පැවසුවේ රාත්‍රී ආහාරය පිසින අතරමය.

.

" අනේ ඔව් කරුනම්මෙ...මේ දෙන්න ගිහින් උන්න සතුට දැක්කම මට ඊට එහා මොනවද කියලත් හිතුණ...." අනුත්තරා පැවසුවාය. 

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දික්කසාදය අනුමත වී ලිය කියවිලි පැමිණියේ තවත් දින ගෙවීමකින් පසුය.... 

" කතාකරන්න පුළුවන් ද ....දැන්...."  අනුත්තරා පරාක්‍රම ට ඇමතුමක් ගත්තේ ආරංචිය දැනුම් දෙන්නටය.

.

" ඉපදිලා අවුරුද්දක වගේ ඉඳන් කතාකරන්න පුළුවන් මැණිකෙ....දැන් කියලත් වෙනසක් නෑ...." පරාක්‍රම හිනා මවමින් පැවසුවේය. 

.

" මොකෝ බං හිකි හිකි ගාන්නෙ....මං කීවෙ ඇත්තනෙ....." 

.

" අනේ මේ.....කියන්න ආව දේත් අමතක උනා ...ඔයා එක්ක නම් බෑ අප්පා...." අනුත්තරා හිනාව මැඩගනිමින් පැවසුවාය.

.

" මං එක්ක බෑ ...මොනවද මං එක්ක බැරි.....නංගි මේ....බලාපොරොත්තු දීලා පොරොන්දු දීලා දැන් නම් බෑ කියන්න එපා...තේරුණාද ...." පරාක්‍රම පටන්ගත්තොත් ඔහොම්මය....අනුත්තරා සිනාව තද කොට ගෙන ඒ කියවිල්ල අසා උන්නාය.

.

" තාරා ....මොකෝ කෙල්ල....මේ අවේලාවෙ ගන්නෙ මොකක් හරි වැදගත් කාරණේකට නෙ...." පරාක්‍රම සිය ස්වරය යළි සකසාගනිමින් ඇසුවෙය....

.

" පේපර්ස් ආවා  ...." 

.

" මොන...?"

"ඩිවෝස් පේපර්ස්...."

පරාක්‍රම උතුරා ගිය සතුටින් යුතුව මොහොතක් නිහඬ විය....ඉදින් අවසාන බාධකයද එසේ මගහැරී ගියේය. ..

.

" හවස එනවද ....?" අනුත්තරා ගේ හඬ කෝලය......

.

" බෑ මම ජිම් යන්න ඕන අද ඉඳන්  ...." සුපුරුදු කියවිල්ල අරඹන්නට ඔහු සැරසේ.....

.

" ඉක්මනින් බඳින්න ඕන....ඒ නිසා මම අද ඉඳන් ජිම් යනව ..." අනුත්තරා රතුව ගිය වතින් යුතුව නිහඬ වූවාය..... එහා පසින් පරාක්‍රම හිනැහෙනු ඇසේ...

.

" රතුවෙල ඇති ඔය ටිකට....මං හවස එන්නම්....එහෙනම් තියන්නම් දැන් ...ආදරෙයි වස්තුව ...." ඇමතුම නිමා වූ පසුත් අනුත්තරා ජංගමය දෙසම මොහොතක් බලා උන්නාය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

" ඉක්මනින්ම දවසක් බලලා මේ වැඩ ටික ඉවරයක් කරගම්මු....දැන් ඉතින් බලාගෙන උන්න කාලය හොඳටම ඇති නේ ....වැඩි කාලයක් ඔවුන් නෑ ලබන සතියෙම ලබන සතියෙම ....." බරාඳයේ  අසුනක ඉඳගත් පරාක්‍රම අනුත්තරාගේ අතින් තේ එක ගන්නා අතරේම පැවසුවේය ....අනුත්තරා ඇස් දෙක ලොකු කර ගනිමින් ඔහු දෙස බැලුවාය...

.

"ඇයි මොකද ඔහොම බලන්නේ ....ලබන සතියේදී ඔහොම තව දවස් හතක් ම තියෙනවා කල් මදි කියලා නම් කියන්න එපා ...." 

.

" මං සාරියක්  වත්  අරගෙන නැහැනේ තාම....ඒකට ජැකට් එකකුත් මහා ගන්ඩ ඕනේ නෙ....." අනුත්තරා සෙමින් පැවසූවා ය .....

.

"පිස්සු නම් කියවන්න එපා තාරා....ඒ මොකක් හරි කමක් නෑ සාරියක් අඳින්න .....බෑ බෑ මම සතියයි කල් දෙන්නෙ...." පරාක්‍රම ස්ථිරවම ඔහුගේ අදහස ප්‍රකාශ කළේ ය ....

"අනේ ඉතින් එහෙම පුලුවන්ද...?" අනුත්තරා මැසිවිලි ස්වරයෙන් පැවසුවා ය ..

.

"මේ අහන්න තාරා .....ඇත්තම කියන්න....මට විතරද ඔයාව මගේ ගාවට ගන්න මෙච්චර මේ හදිස්සියක් තියෙන්නෙ ....ඔයාට ඕන කමක් නෑ වගේ කියලත් මට හිතෙනවා ...." පරාක්‍රමගේ කටහඬට තරමක තරහක් ආරූඪ වෙමින් පැවතුණි ...අනුත්තරා වහා ඔහු ළඟ දණ බිම ඔබා ගෙන ඔහුගේ දෝතින් අල්ලා ගත්තා ය ......

.

" අනේ එහෙම නම් හිතන්නවත් එපා .... ඔයාට තරහ ගියාද ....මම මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතුවේ නැහැ .....අනේ සමා වෙන්න  ....." අනුත්තරා පරාක්‍රමගේ කලුව ගිය මුහුණ දෙස බලාගෙනම පැවසුවාය .....

.

" නෑ නෑ එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ ....එහෙනම් හෙට school  ඉවරවෙලා සූදානම් වෙලා ඉන්නකෝ .....අපි යන ගමන් ගිහින් සාරියක් අරගෙන බ්ලවුස් එකක් මහන්න දීලම එමු ....අනවශ්‍ය දේවලුත් තියෙනවා නෙ ගන්න....එහෙම කරමු නේද.." පරාක්‍රම අනුත්තරාගේ හිස මතට අත තබා ගෙන පැවසුවේය ......

.

"හොඳ වෙලාවක් බලන්නත් ඕන ද ....?" අනුත්තරා ඇසුවා ය ...

.

" ඔයා මගේ ජීවිතේට ආවේ  හොඳම වෙලාවට...එතනින් එහාට උන හැමදේම හොඳම දේවල්....ඉතින් ඔයාට ඕනේ නම් හොඳ වෙලාවක් බලන්න ....අපි ඒ ඒ  වෙලාවට ලියාපදිංචි  කටයුතු කරමු.."අනුත්තරා හිස වන සිනහසුනා ය ..

" තාරා  ඒකෙන් පස්සෙ ...හවස හරි රෑ හරි  ....විදුර ල සෙට් එකට ම පොඩි පාටි එකක් දෙන්න ඕනේ....එක්කො ඩිනර් එකක් ලෑස්ති කරමුද...  මම කොහේ හරි හොටෙල්   එකක් බුක් කරන්නම්....."  පරාක්‍රම ඇයගේ අතින් අල්ලාගෙන ම පැවසුවේය...

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

" මේ හැම දේටම කලින් අපි එක දෙයක් කරන්න ඕනේ තාරා....." පරාක්‍රම අනුත්තරාගේ අතින් අල්ලාගෙන  මිදුලට  කැඳවාගෙන යමින් පැවසුවේය ......අනුත්තරා  විමසිලි දෑසින් ඔහුගේ දෙස බැලුවා ය ....

.

"අපි මේක කෙල්ලො  දෙන්නට කොහොමද කියන්නේ....." පරාක්‍රම එය අසනා තුරු ම අනුත්තරා ට ඒ ගැන කල්පනාවක් නොවීය....

" ඒක  ගැන ඇත්තටම මට කිසිම දෙයක් හිතුණේ නැහැ ....ඔයා මේ කියනකං ...."

" මගෙ දරුවො දෙන්නට මේ ගැන  කියන්නට ඕන තාරා... පොඩ්ඩි කොහොම වෙතත් ලොක්කිට දැන් යමක් කමක් තේරෙන දරුවෙක් ...අපි දරුවන්ගේ හැඟීම් වලට ගරු කරන්නට ඕනේ .....හෙට හැන්දෑවට දරුවො දෙන්නත් අරන් අපි කොහෙ හරි යමු ....මම ගිහින් ඒ දෙන්නට කියන්නම් ඔයත් ඒ වෙලාවට ලඟින් ඉන්න ....." 

ඉදින් ජීවිතය නවමු මාවතක බොහෝ දුර ගමනක් යන්නට පාරමී පුරන බව පමණක් ඒ සිත්වල දැවටී තිබුණ මොහොතේ අනුත්තරා පරාක්‍රම ගේ ළයට හිස තබා දෑස් පියාගත්තාය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නැවත හමුවෙමු

විසිරි ❤️🌼🌼🌼🌼🌼🌼🌼


No comments:

Post a Comment