Friday, January 13, 2023

11 වෙනි කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 

10 වෙනි කොටසට මෙතනින් 10

11 වෙනි කොටස




දැඩි අපේක්ෂා භංගත්වයෙන් යුතුව නිවෙසට පැමිණි විශ්ව හැඳ සිටි ඇඳුමින්ම සයනයට ඇද වැටුණේය . තමා ගේ හිතුවක්කාර මනස යම්තාක් දුරට හෝ නම්‍යශීලී වූයේ පාරමී රත්මල්ගොඩ වෛද්‍යවරිය හමුවේය. එහෙත් ඇය පවා තමා ගේ අවශ්‍යතාවය වටහා නොගත්තාය. සිය මනසේ ඇති තදබල පීඩනය ඇය හමුවේ විවෘත කරන්නට යටිසිත කැමති වූයේ ඇය පිළිබඳ ව ඇතිවූ විශ්වාසය හේතුවෙනි. එසේ නොවී ඉන්නා තාක් උපදේශකයන් වෙත යොමුවන්නට තමාට හැකි නම් මේ තරම් කල් තමා මේ අන්දමට විඳවන්නේදැයි ඔහු සිතුවේ නොරිස්සුම් සහගතව ය.

"මොකද මේ ඇඳන් උන්න ඇඳුම් පිටින්ම..."අම්මා කාමරයට පැමිණ විශ්ව දෙස බලමින් ඇසුවාය. උපැස් යුවලද සකසමින් කාමරයේ වූ අසුනකට බරවුණ අම්මා දෙස විශ්ව යාන්තමින් බලා ඉවත බලාගත්තේ ය. හරිබරි ගැසී අම්මා ඉඳගත්තේ හොඳකට නම් නොවන බව විශ්වට ඉවෙන් මෙන් වැටහුණි.හිතේ තදින්ම පවතින්නාවූ නොරිස්සුම දෙගුණ තෙගුණ වන්නට අර අඳිනු ඔහුට දැනෙන්නට විය.

"උදේ පාන්දර ගෙදරින් යනව...එන්නෙ මහ රෑ වෙලා...කතා කරන්නවත් වෙලාවක් නෑ....විශ්ව...දැන් ඉතින් මේ විදියට උන්නා හොඳටම ඇති....දැන් පිළිවෙළක් වෙන්න ඕන ඔයා...." අම්මාගේ ඒකාධිපති ස්වරය විශ්ව තුල තරහව අවුස්සන සුලු වුවද ඔහු මුවින් නොබැණ ඉවසා ගන්නට තත්න දැරීය.

මම මොකක් හරි කියනකොට තමයි උඹට කතා කරන්න බැරි ....මේ දැනුත් ඔලුව අල්ලගත්තේ මං කියන දේවල් අහන් ඉන්න බැරි හින්ද නේ ...

සිය මවගේ නොනවත්වා කියවීම විශ්වගේ යටපත් වී තිබූ තරහ පාලනය කරගත නොහැකි අන්දමට ඉස්මතු කරවන්නක් විය .

පින් සිද්දවෙයි අම්මා ...මගේ පාඩුවේ ඉන්න දීලා පොඩ්ඩක් ඉන්නවද .....මට ඕන ඇති කසාදයක් නැහැ ....මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න දෙන්න ...

විශ්ව ..දැඩි සේ පාලනය කර ගත් කේන්තියෙන් යුතුව පැවසුවේය .....

එක පාරකුත් ගැහැනියකට අහුවෙලා ...නූලෙන් බේරුණේ ...ඒකත් මගේ කල්පනාවෙ හොඳ කමට ...නැත්තං උඹ හිටපු තැන ..අද ගසුත් පැළවෙලා ....ඒ ගෑනි උඹව නාස්ති කරපු හැටියට .....

අම්මාගේ කඨෝර වදන් නොනවත්වා ගලා එද්දී විශ්ව සයනයෙන් නැගී සිටියේ දැඩි ආ වේගයෙනි .....

ඔව් ඔව් ඔව් ...මම එක පිලිගන්නවා ..ඔයාගේ මොලේ නිසා තමයි මං ඒකෙන් බේරුනේ ....එහෙමයි කියලා ඔයා කියන කියන විදියට නටන්න මට බෑ අම්මා ...මගේ ජීවිතයේ මට ඕන විදිහට ඉන්න දෙන්න ....ඕන ඕන විදිහට මාව පාලනය කරන්න මං බබෙක් නෙමෙයි ......කරුණාකරලා මේ කතාව නවත්තන්න දැන් .....

විශ්ව කාමරයෙන් පිටව ගියේ දුරටත් කාමරයට වී අම්මා සමග වාදයට පැටලුන හොත් මේ සංවාදය ඉවර වන්නේ ගෙදර බඩු මුට්ටු සෑහෙන ප්‍රමාණයක් බිඳදමා බව ඉවෙන් මෙන් වැටහුන බැවිනි .

                                                                    *** 

පාරමී රත්මල්ගොඩ සිය නවක වෛද්‍යවරයා වාට්ටුවේ වැඩ කටයුතු ඉතා දක්ෂ අන්දමින් කරගෙන යන දෙස බොහෝ ප්‍රසාදයෙන් බලා උන්නාය.ප්‍රසංගී ගැන ...ඔහු සමගින් කතාබස් කිරීමට අහම්බෙන් දින කිහිපයක්ම ඉඩ ප්‍රස්ථා සැලසුනි.

ප්‍රසංගි සහ රහල්ගේ පෙර වූ සම්බන්ධතාවය පාරමී රත්මල්ගොඩ වාට්ටුවේ සෙසු කාර්ය මණ්ඩලයට නිරාවරණය කළේ නැත . එය ඔවුන් දෙදෙනාගේම පෞද්ගලිකත්වයට හානිකර බව ඇය අවබෝධ කර ගෙන උන්නාය .

" රහල් මෙතනදි ඔයාට ප්‍රසංගිට සලකන්න වෙන්නේ තවත් එක පේෂන්ට් කෙනෙක් විදියට පමණයි ...කිසිම විශේෂත්වයක් මෙතැනදී දක්වන්න යන්න බැහැ ...ඔයා ඒකට එකඟද ...?"

එබඳු දවසක සාකච්ඡාව අවසානයේදී පාරමී සිය නවක වෛද්‍යවරයාගෙන් ඇසුවේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සම්බන්දෙන් කතාවෙන අතරතුරේදීය .

" ඔව් මැඩම් ...මම මගේ රාජකාරියට පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් මැදිහත් කර ගන්නේ නැහැ ...ප්‍රසංගිට තවමත් මාව හඳුනා ගන්නත් බැහැ ...එයාගෙ මතකය කියන දේ කවදා කොහොම එයිද කියන එක තවම හිතාගන්න බැහැ නේ ...."

රහල් පිළිතුරු දුන්නේ වගකීම් ඇති ස්වරයෙනි .

මේ සම්බන්ධයෙන් ඔයා ඉස්සරහට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ .....

පාරමී විමසුවේ ප්‍රසංගිගේ සියලු වෛද්‍ය වාර්තා නැවතත් කියවමිනි .ප්‍රසංගි වාට්ටුවට භාරදී ගියාට පසු ඇගේ දෙමව්පියන් ඉන්පසු කිසිම අවස්ථාවක වාට්ටුවට පැමිණියේද නැත .... පණිවුඩ කිහිපයක් තැබූවද එයට ඔවුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ ද නැත .....

ප්‍රසංගිගේ පේරන්ට්ස්ලා එයා භාර ගන්නේ නැති පාටක් නේද මැඩම් තියෙන්නේ .....මොකද මට ආරංචි වුණා ....ගමේදි කියලා තියෙන්නේ ...අපිට දුවෙක් හිටියේ නැහැ ...එයා මැරුණ කියල අපි හිතාගෙන ඉවරයි කියලා ...මට හිතන්න අමාරුයි ඉවර වුණාට පස්සෙත් ඒ අය ප්‍රසංගිව ආපහු බාර ගනී කියලා .....

රහල් මොහොතක් බිම බලාගෙනම හඬ අවදි කළේය ....

පාරමී නිහඬව කතා කරන්නට ඉඩ දී බලා උන්නාය .

මැඩම් ..... එහෙම වුනොත් මට ප්‍රසංගිව බාර ගන්න පුළුවන්ද ....මම කියන්නේ නීත්‍යානුකූලවම ..... එයාට අනිවාර්යයෙන්ම සනීප වෙයි... ඒත් severe depression එකකට පස්සේ එයා බලාගන්න ඕන විදිය ගැන මට හොඳින් තේරෙනවා ...පොඩි දෙයක් උනත් එයා ආපහු ඒ තත්ත්වයටම වැටෙන්න ...හොඳටම ඇති .....ඉතින් මැඩම් මට වඩා වෙන කෙනෙක් කොහෙද ...එයාව හොඳින්ම බලා ගන්න පුළුවන් 

පාරමී මේ අපූරු පෙම්වතා දෙස බලා උන්නේ කියාගත නොහැකි තරමේ ලෙන්ගතු කමකිනි. නවකතා පොත් වල ,චිත්‍රපට වල මැවෙන චරිත සැබෑ ලෝකයේද මෙසේ ජීවමාන වන අන්දම විටෙක අදහා ගත නොහැකි තරම් ය.

පෙර දවසක අම්මාට මේ අපූරු කතන්දරයේ තමා දන්නා කොටස කියූමොහොතේ අම්මා පැවසූ දේ පාරමී ට සිහිවිය.

දෝණි.... ආදරේ කියන්නේ කවදා කොහේ කොතැනක ඇතිවෙයිද කියලා අපිට ම හිතාගන්න බරි දෙයක්...ඒක ඒ දෙන්නටත් එහෙමයි..මෙතනදි වැදගත්ම වෙන්නෙ ඉරණමේ බලපෑමෙන් වෙන්වුන මේ දෙන්නා ආයෙ අහම්බෙන් මේ වගේම හමුවීම....පුතා හිතනවද ඒ දෙන්නා ආයෙ එක්වෙයි කියල.....

පාරමී අම්මා කියන දේ අසා උන්නා මිසක ඒ මොහොතේ ප්‍රසංගි සහ රහල් ගේ එක්වීම ගැන සිතා තිබුණේ නැත.මන්ද මේ වන විටත් ප්‍රසංගී උන්නේ විශාදයේ මෙන්ම පානය කල අධිමාත්‍රා සහිත බෙහෙත් වල බලපෑමෙන් නිවැරදි මානසික තත්වයක නොවන නිසාය.

මට එහෙම දෙයක් ගැන හිතුණෙ නෑ අම්මා...තාම ඒ ගර්ල් ඉන්නෙ psychosis තත්වයකනෙ ...එයාව ගොඩ ගන්න ලොකු උත්සාහයක් දරන්න වෙනව...ඒ කොහොම කලත් එයාට ආයෙ eposodes ඒවිද කියලත් මට බයක් දැනෙනව...මම රහල්ට කීවෙත් මේ ළමයා සනීප කරගන්න ඉවසීමෙන් වැඩ කරන්න කියල.....

අම්මා පාරමීගේ වදන් අසා මොහොතකට සුසුමක් හෙලුවාය.

නීරෝගී කම හැර සැපතක් ලොවේ කොයින්දා කියන්නෙ ඔන්න ඔය වගේ දේවලට පුතේ....රජෙක් වුණත් ලෙඩෙක් උන දාක කොච්චර දේ තිබ්බත් අසරණ වෙනව..... ඒ කෙල්ලව කොහොම හරි ගොඩගන්න බලන්න්....ගතේ ලෙඩට වඩා හිතේ ලෙඩට බෙහෙත් දෙන්න මගෙ පුතාට පුළුවන් බව මම දන්නව...

මැඩම් ....

පාරමී ආපසු තමා ඉදිරිපස උන් රහල් දෙස බැලුවේ කල්පනා ලෝකයෙන් මිදී යමිනි....

මැඩම් එකපාරටම ලොකු කල්පනාවක ට වැටුණා.....ප්‍රසංගි ගෙ තත්වය ගැන නේද මැඩම් කල්පනා කලේ....

රහල් දුක්බර වුව මද සිනහවකින් යුතුව ඇසීය.

මට මගේ අම්මා කියපු සමහර දේවල් ලෙඩ්ඩුන්ට ට්‍රීට්මන්ට් කරන කොට මතක් වෙනවා රහල්....අම්මා ගේ දැක්ම හරි වෙනස්....අපිට ප්‍රසංගි ව ගොඩගන්න පුළුවන් වෙයි.....අනිවාර්යයෙන් මට ඒක ෂුවර්...අපි ඉන් පස්සෙ බලමු මොකක්ද කරන්න පුළුවන් දේ කියල....

පාරමී අසුනෙන් නැගී උන්නේ තරුණ වෛද්‍යවරයා ගේ මුවෙහි නව බලාපොරොත්තු සමග ඇතිවූ සිනහව දෙස මැදහත් සිතින් බලමිනි....

                                                                            *** 

දැන් උඹ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ....පිස්සු බල්ලෙක් වගේ ගෙදර තියන බඩුමුට්ටු පොඩි කරලා ....මෙහෙම ක්ලබ් ගානේ ඇවිල්ලා ...බේබද්දෙක් වගේ බිබී හිටියම හරියනවද ....

නිසල් .... රෑ බෝවන තුරු අවන්හලට වී මත්පැන්වල ගිලෙමින් සිටින විශ්වගෙන් ඇසුවේ මැඩ ගත නොහැකි කෝපයකිනි. සිය මිතුරා නිස්කාරණයේ විනාශවී යනු දැක දැකම නිහඬව සිටීම ඔහුට කළ හැක්කක් නොවීය ....

වෙන මොකක්ද බං මං කරන්නේ ...අම්මා මගේ ඔළුව ම කන්න හදනවා ...එහෙන් ඔෆිස් එකේ ප්‍රශ්න.....මට තේරෙන්නෙ නෑ බං ...කිසිම දේකින් ගොඩ ඒමක් මට පේන්නෙ නැහැ .....

විශ්ව පැවසුවේ දැඩි සේ කලකිරුණු ස්වරයකිනි ....

දැන් උඹ අර doctor ගාවට යන්නේ නැද්ද .....ඒ ගියපු දවස් ටිකේ නම් උඹට මනුස්ස පාටට හිටිය ...කොහෙද උඹටත් එක දෙයක් එක දිගට කරන්න බෑනේ ...

විශ්ව අතවූ වීදුරුව වැරෙන් මේසය මත තැබීය .....

බම්බුවේ doctor .....එයාගේ බෙහෙත් ටික ඉවර උනාම මම කවුන්සලින් වලට ගියේ ...එයා ලෑස්ති වෙන්නේ ....කවුරුහරි කවුන්සල කෙනෙක් ට මේක මාට්ටු කරන්න ...ඇයි බං ...එච්චර ස්පෙෂලිස්ට් කෙනෙක් වෙලා ඒ මනුස්සයට තේරෙන්නේ නැද්ද ...කෙනෙක්ගේ personal දේවල් ඔහොම හැම එක්කෙනත් එක්කම කියන්න බැහැයි කියල ...

නිසල්ට සිනහා ගියේ විශ්වගේ කෝප සහගත ස්වරයට ම ය .....

ඇත්තටම මොකක්ද බං වුනේ.....උඹ එදා චැනලින් වලට ගියාට ..මට ඒක ගැන ඉන්පස්සෙ කිව්වේ නැහැ .....

විශ්ව හිතේ ඇතිවූ නොරිස්සූමෙන්ම එදින සිදු වූ දේ සිදුවූ දී නිසල් වෙත කියා දැමීය ....

එක අතට බං ඉතින් ඩොක්ටර්ගෙ විදිය ඒක නම් අපි මොකද කරන්නේ ...උඹටයි කියල ඒ මනුස්සය වෙනම councelling චැනල් එකක් කරන්න කියලද......

ඒ උනාට උබට ආපහු ගිහින් එක සැරයක් හරි කතා කරන්න තිබ්බා...

නිසල්ගේ වදනින් නැවත කෝපය ඇවිස්සී ගිය විශ්ව අසල වූ පුටුවකට පයින් ගැසීය ....

මම මොකටද යන්නේ .....මම ආයි කිසිම දවසක ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ නැහැ ...ඒ මනුස්සය ගාවට නම් කීයට වත් යන්නේ නැහැ .....

නිසල් සිය මිතුරාගේ දැඩි කෝපය හමුවේ මොහොතකට නිහඬ වූයේ යම්කිසි සැලසුමක් හිතේ තබාගෙන ය ....

ඉන්පසු එළැඹෙන බ්‍රහස්පතින්දා නිසල් පාරමී රත්මල්ගොඩ හමුවීමට ගියේ පෞද්ගලික චැනලින් සේවාවට ය . ඔහුගේ අභිමතාර්ථය වූයේ සිය මිතුරා ගැන විශේෂඥ වෛද්‍යවරිය ට කරුණු කාරණා පැහැදිලි කර දීමටය .විශ්ව මේ අයුරින් කලබලකාරී ලෙස සහ කෝප සහගත ව හැසිරීමට දිගින් දිගටම පෙළඹුණ හොත් ඔහුගේ ජීවිතයට යම් අනතුරක් වේ දැයි නිසල් බොහෝ සෙයින් බියපත් විය . 

තමන්ගේ වාරය එළඹුන විට නිසල් පාරමී ඉදිරිපසින් අසුන් ගත්තේය .

මැඩම් මං හිතන්නෙ මැඩම්ට මාව මතක නැතුව ඇති ...මං ඊට කලින් දවසේ ආවෙ මගේ යාලුවත් එක්ක මේ මීට මාස දෙකකට තුනකට විතර කලින්...මගේ යාලුවගෙ නම විශ්ව ජයසූරිය .. 

පාරමී විශ්ව ජයසූරියගේ නම කියූ වහාම ඔහුගේ මිතුරා හඳුනා ගත්තාය .

ඔව් මට දැන් මතකයි ....එයා දැන් ගිය සතියෙත් මාව හමුවෙන්න ආවා ....ඔයා කවුද ....

මම නිසල් ....ඇත්තෙන්ම මම මේ වෙලාවේ ඩොක්ටර්ව හම්බවෙන්න ආවේ ....විශ්ව ගැන ටිකක් කතා කරන්නයි ...මොකද විශ්වගේ ජීවිතය ගැන දන්නේ මම විතරයි...

පාරමී නිසල්ට සාවධානව සවන් දුන්නාය. විශ්ව ගේ ළමා වියෙහි සිටම ඇතිවූ මානසික වියවුල් ස්වභාවය නිසල් තම දැනුමේ ආකාරයට පාරමී රත්මල්ගොඩ වෛද්‍යවරිය වෙත දිගහැරියේය. දරුවෙකු හට ළමා වියේ පටන්ම අවැසි වන ආදරය, කරුණාව,දයාව මෙන්ම රැකවරණය නොලැබී යාම හා සමානව අධික නීති මතින් පාලනය වීමෙන් පෞරුෂ දුබලතා ඇතිවීමටද විශ්ව එක් උදාහරණයක් බව පාරමී වටහා ගත්තාය..

මැඩම් මෙහෙම ගියොත් විශ්ව එක්කෝ ජීවිතේ ට හානියක් කරගන්න මට්ටමට යාවි කියල මට බයක් හිතෙනව..එන්න එන්නම එයාගෙ පර්සනල් ලයිෆ් එක වගේම ජොබ් එකෙත් බිස්නස් වලත් තදබල ව ගැටලු එන්න පටන් අරන්.....

නිසල් නවතම තත්වය ගැන පාරමීට කරුණු සවිස්තරව ඉදිරිපත් කලේය

මම මැඩම්ව හමුවෙන්න මෙහෙම එන්න තීරණය කළෙත් විශ්ව මෙච්චර කාලෙකට ටිකක් හරි ඇහුම්කන් දෙන්න කැමති වුනෙ මැඩම්ට විතරක් නිසයි.....ඒ නිසා කරුණාකරල පුළුවන් නම් මේ කාරණය ගැන ටිකක් හිතල අපිට උදව් කරන්න මැඩම්....

නිසල් පිටවී ගිය පසු පාරමී සිය නළලත ට දෑත තබා මොහොතක් නිසොල්මනේ කල්පනා කලේ මින් ඉදිරියට කල හැක්කේ කුමක්ද යන්න සිතමිනි.

                                                                    *** 

කාලය ගෙවී ගියේ පාරමි රෝහලේ කටයුතු වලටම දැඩි ලෙස කාර්යබහුල කරවමිනි . අම්මා සහ මාලනී ගේ ජීවිත තමා වටා කේන්ද්‍ර කොටගෙන සැරි සැරුවද ඒ ජීවීන් දෙදෙනාටම ඉන් ඔබ්බට ළඟා කරගත යුතු ආත්මගත සැනසුමක් තිබිය යුතුයැයි පාරමී වටහා ගත්තාය .

ලොකු මැණිකේ ....දැන් මේ ගෙවල් හොයන , ලෙඩදුක් කලබල ගති අඩු උන නිසා.....අපි දෙන්න සිල් ගන්න එහෙම යමුද ....?

තමා ආලින්දයේ සිටින අතරේ මුලුතැන්ගේ දෙසින් ඇසෙන අම්මා සහ මාලනිගේ සාකච්ඡාව පාරමීගේ සවනත වැකුණේ එවන් සන්ධ්‍යා යාමයකය.

ඒක නං ඇත්ත තමයි මාලනී ....දැන් චූටි මැණිකේ වැඩකටයුතු වලට පුරුදු නිසා අපි දෙන්නා ආපහු සිල් ගන්න යමු ....කොහොමත් චූටි මැණිකේ රට ඉඳන් ආවට පස්සෙම අපිට සිල් ගන්න පන්සල් යන්න බැරිවුනා නේ ...

අම්මා මාලනී ගේ කතාව අනුමත කරමින් පවසනු පාරමීට ඇසුණි ....කෙනෙක් ජීවිතේ වියපත් භාවයට පැමිණෙන විට ආගම ධර්මය වෙත යොමුවීම සාමාන්‍ය දෙයකි . ජීවිතයේ පුරා දරන්නාවූ විවිධාකාර වගකීම් යුතුකම් හා හැලහැප්පීම් අතරේ වියපත්භාවය ළඟාවන විට ඇතිවෙන සංසුන්කම අම්මාටත් මාලනී ටත් පොදු කාරණයකි .

අම්මා සහ මාලනී අනෙක් බොහෝ කාන්තාවන් සමගින් සසඳා බැලූවිට ගත කළේ බොහෝ හැල හැප්පීම් වලින් මිදුණු ජීවිතයකි . ලද දෙයින් සතුටු වීමට සහ ජීවිතේ අනෙකකුට කරදරයක් නොවී විඳීමට අම්මා සමත්වීම මාලනීට ඉබේම පුරුද්දක් වී තිබුණි ....

පාරමී සිය ඇමතුම් දින පොත පෙරලමින් විවේකයක් ගත හැකි දිනයක් සොයා බැලුවාය . කෙතරම් කාර්යබහුල වුවත් ඒ තමාගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් අම්මා සහ මාලනී වෙනුවෙන් ඉටුකිරීමට පසුබට විය නොයුතුයැයි පාරමී රත්මල්ගොඩ තරයේ ම සිතට ගත්තාය .....

රාත්‍රී ආහාරය ගන්නා අතරේදී පාරමී අම්මා සමග කතාබහට එකතු වූයේ තම සිතැඟි අදහස් හෙළි කරමිනි .

අම්මා ලබන සතියේ long weekend එකක් තියෙනවා ...අපි යමුද මාළිගාවටත් ගිහිල්ලා නුවර ටිකක් ඇවිදලා එන්න .....

පාරමී දෙස හිස නගා බැලුව අම්මාගේ මුහුණේ පැතිරී ගියේ ශාන්තිදායක සිනහවකි. 

මමයි මාලනීයිත් මේ කතා කර කර උන්නේ පුතේ ....ආපහු අපි දෙන්න සිල් ගන්න යමුද කියලා ...ගෙදර ඉඳල කොච්චර සිල් ගන්න හැදුවත් හිත එකඟ කරගෙන ඉන්න හරි අමාරුයි .....පරිසරයෙන් එන බලපෑමත් වැඩියි නේ ......මේ සද්ද බද්ද එක්ක බෑ

අම්මා පාරමී දෙස බලා සිනහ වෙමින් පැවසුවාය ....

අනේ ඔව් චූටි මැණිකේ ....දැන් ඉතින් හැමදේම පිළිවෙලක් වෙලා තියෙන වෙලාවේ ...අපිත් ඉන්නට ලබන පෝයෙ ඉඳලා සිල් ගන්න යන්න පුළුවන් කියන එකයි මාත් මේ ලොකු මැණිකේ එක්ක කතා වුනේ.....

පාරමීගේ හිතට යම් ප්‍රමාණයකින් වුව මට පසුතැවිල්ලක් ඇති වූයේ තමා අතින් අම්මාට සහ මාලනීට සිදුවිය යුතු යුතුකම් මගහැරී ගියා දෝ යන හැඟීමෙනි 

             

හෙලෝ පාරමී ......කාලෙකින් නේද බං ....උඹ ට ඉතින් මමම කතා කරන්න ඕනේ ...නිකමටවත් කෝල් එකක් දෙන්න එපා 

දැහැමිගේ නෝක්කාඩු වදන් පාරමීගේ ජංගම දුරකථනය පුරා නින්නාද වෙන මොහොතේ පාරමී උනේ දිවා විවේකයට නිල නිවසට පැමිණෙමිනි.ජංගමය සවනතට තබාගෙනම ආලින්දයේ වූ පුටුවෙහි ඉඳගත් පාරමි ....අත වූ අත්බෑගය පසක වූ කුඩා මේසය මතින් තැබුවාය 

හොස්පිටල් එකට ආවට පස්සෙ යකා බැඳ ගත්තු වගේ තමයි බං ...හැන්දෑ වෙනවා ගෙදර යද්දිත් ...මං කොහොමත් උඹට කෝල් එකක් දෙන්න තමයි උනෙත් අද හෙටම .....

පාරමී සිය පාවහන ගලවා දමා දෙපා නිදහස් කර ගනිමින්ම පැවසුවාය 

ඔව් කෝල් එකක් දෙන්න පස් මහ බැලුම් බල බලා ම හිටපන්කෝ.... හරි හරි කමක් නෑ ....දැන් මොකටද මට කතා කරන්න හිතං උන්න කිව්වේ 

දැහැමි සිනාසෙමින් ඇසුවාය 

අපි ලබන weekend එකේ නුවර යන්න හිතාගෙන ඉන්නේ මොකෝ කියන්නේ එනවද යන්න ....

පාරමී ඇසුවාය ...

අපි කිව්වේ කවුරු කවුරු ද යන්නෙ

අපි කියලා මට කියන්න හැමදාම උන්නේ අපි තුන්දෙනා නේ ...අම්මයි මාලනි ඇන්ටියි මමයි...යනවනම් අම්මටයි උඹටයි එන්න පුළුවන් ...දවසක් විතර නැවතිලා පොඩ්ඩක් විවේකයෙන් ඉදල එමු බං ...මේ ජීවිතයේ දුවනවා දුවනවා ඉවරයක් නෑ... අම්මයි මාලනී ඇන්ටියි පව් ...වයසට ගිහිල්ලත් ඒ මිනිස්සු දෙන්න මගේ වටේම කැරකි කැරකි ඉන්නවා මිස කිසිම ගමනක් බිමනක් යන්නෙත් නැහැ නේ ....මට මහ ගිල්ටි ෆීලින් එකක් එනවා බං 

පාරමී සිය යෙහෙලියට පැවසූයේ මහා වරදකාරී හැඟීමකිනි.

පිස්සුද බං අම්මයි මාලනි ඇන්ටියි කවදාවත් එහෙම හිතන්නේ නැහැ ...අනික ඒ මිනිස්සු දැන් උඹ ගැන හිතන් නැතුව වෙන කවුරු ගැන හිතන්නද ....ඒ වගේම උඹ කරන රස්සාව බැලුවම විවේකයක් නැති වෙන එක අහන්න දෙයක්ද ....මට නම් එන්න පුළුවන් අම්මට එන්න වෙන එකක් නෑ බං ...මං හිතන්නෙ ලබන සති අන්තෙ ලොකු අම්මලගේ ගෙදර යන්න තියෙනවා කිව්වා ....

පාරමී සිය ඇමතුම අවසන් කළේ නුවර ගමනට දැහැමි ගේ සහභාගිත්වය ස්ථීර කර කරගත්තායින් අනතුරුවය 

ගමන ඇරඹුනේ සිකුරාදා දිනයේ උදෑසනිනි.දැහැමි ගේ නිවසින් ඇයව එක්කරගත් පාරමී රිය ධාවනය කළේ අම්මාත් මාලනීත් පසුපස අසුන් ගත් පසුය.

යාලුවො දෙන්නට කතා කරන්න දේවල් තියෙන්නේ ...අපි ඉතින් ඔය වටපිට බල බල යමු මාලනී 

අම්මා දැහැමි ගේ හිස අතගා සිනහ වෙමින් පැවසුවාය . 

අපෝ මෙයත් එක්ක මොනවා කතා කරන්නද අම්මා.. මෙයා ඉතින් දවස් දෙක තුනකට සැරයක් කොහොමත් මට කෝල් එකක් දීල ඉස්පිරිතාලෙ විස්තර ඔක්කොම කියනවා නේ ..... ඒකේ මිනිස්සුන්ගෙ ලෙඩ ගැන අහලම මටත් ටිකක් පිස්සු වගේ....

දැහැමි හඬනගා සිනාසෙමින් පැවසුවාය 

ටිකක් ....හොඳ ටික .....එතන ඉන්න මිනිස්සු දිහා බැලුවම ...මෙයාට ඒ ඔක්කොටම වඩා ඔළුවේ අමාරුකම් තියෙනවා ..... 

පාරමීගේ කතාවට දැහැමි අත මිට මොලවා පහරක් එල්ල කළාය.

හ්ම්ම්..හ්ම්ම්...වාහනයක් එළවන වෙලාවේ දෙන්න දඟලන්නෙ නැතුව ඉන්නව නම් හොඳයි....මං පුතාට කිව්වනෙ ඩ්‍රයිවර් කෙනෙක් ගම්මු කියල මේ ගමනට...එහෙම නම් නිදහසේ කතාබහ කර කර යන්න තිබුණනෙ......

අම්මා නිවුණ ස්වරයෙන් කීවද ඒ බසෙහි වූයේ මඳ තරවටුවකි.

අනේ අම්මා ඩ්‍රයිවර් කෙනෙක් ගත්ත නම් අපි කොහොමද ඔක්කොම එකට මේකෙ යන්නේ ....අනික ඉතිං ගිහිල්ලා ඒ මනුස්සයටත් අපි අස්සෙ ඉන්න කියලද ...නවාතැන් ප්‍රශ්නෙත් එනවනේ ...බයවෙන්න එපා ...මට දැන් ලංකාවේ ඩ්‍රයිවින් හොඳටම පුළුවන් .......

පාරමී හිනැහෙමින් පැවසුවාය ....

ලෝකෙ කොහේ ඩ්‍රයිවින් කළත් ලංකාවේ පාරවල් වල ඩ්‍රයිවින් කියන්නේ අමුතුම දෙයක්..... මේ රටේ පාරවල් වගේම අනිත් වාහන එලවන අයත් ....අමුතුම මිනිස්සු ....වෙන රටවල් වල discipline කියන්නේ අංක එක උනාට ...අපේ රටේ වාහන එලවන අයගෙ නැත්තේම ඕකයි ......මට මුල දවස්වල කොළඹ කිට්ටුව වාහන එලවන කොට.....හැමදාම හවසට හිසරදේ .....

දැහැමි සමගින් කතාබහේ යෙදෙන අතරේ පාරමී පැවසුවාය .

ඒක නං ඇත්ත ...කොච්චර මාර්ග තදබදය තිබුනත් ....මෝටර්බයික් වගේම ත්‍රීවිල් එහෙමත් කොහොමහරි අස්සෙන් දාලා යනවා නේ ...ඒ වගේම තමයි ....මොන තරම් මාර්ග නීති තිබුණත් ඒව අනුගමනය කරන්නේ කීයෙන් කී දෙනාද ....අනික ඉතින් පාරෙ යන මිනිස්සුත් එහෙම නේ ...කහ ඉර... නෑනේ ...දැන් ඒක සුදු ඉර නේ.... ඒක පේන්න තියෙද්දිත් ඔහේ හිතෙන හිතෙන තැන්වලින් පාර මාරු වෙනවා .....

දැහැමි ඇයගේ කතාවට සම්බන්ධ වෙමින් පැවසුවාය.

කාලය ගෙවෙද්දී පරිසරයේ සිහිල ගලා එන ලකුණු පෙනෙද්දී ඔවුන් සිටියේ කඩුගන්නාවේ කන්ද නගමිනි ...

අම්මා මම චුට්ටක් පාර අයිනේ නවත්තන්න ද ......පොඩි රෙස්ට් එකක් අරගෙනම යමු නේද 

පාරමී ඇසුවාය 

අනේ නිකන් හිටපං ...උඹ ඔය මහන්සියට නෙමෙයි නවත්තන්න ඕනේ කිව්වේ ....කාරණා දෙකයි ...එකක් අලිගැටපේර ගන්න ඕන කම අනිත් එක අර බතලේගල කන්ද බලන්න ඕන කම ...හා නැද්ද කියපන් 

දැහැමි සිනාසුනේ අම්මා සහ මාලනීද එම සිනාවට එක්කර ගනිමිනි .... පාසල් විනෝද චාරිකාවක දී මෙන්ම අම්මා සහ මාලනී සමඟ ගිය ගමන් වලදී පවා ඉතා කුඩා කල සිටම පාරමීගේ මේ පුරුද්ද දැන සිටියේ ඔවුන්ය.

හරි හරි ඉතිං .....ඔය තුන්දෙන ඒක දැන දැනම නේ ....මට නිකං මඩ ගහන්නේ ...මෙතනින් යනකොට පොඩ්ඩක් නවත්තලා බතලේගල කන්ද බැලුවෙ නැත්තං මට ඒ ගමන සම්පූර්ණ නෑ වගේ .....

පාරමී සිය කැමරාව ක්‍රියාත්මක කරමින් පැවැසුවාය .ඇත මිහිදුමෙන් වැසී ගිය බතලේගල කන්ද වළාකුළු අඩු හෙයින් පැහැදිලිව දිස් වන්නට විය ... කඩුගන්නාව කන්දේ තද කොළ පැහැයට මුසුවී ගත් තුරු ලතා අතරින් තැනින් තැන ඉඳහිට පෙනෙන රතු පාටින් මල් පිපුනු පිපුණු මැයි මාර ගස් පරිසරයට එක් කළේ අමුතුම සුන්දරත්වයකි.

අපි දෙන්න දැන් කාර් එකට නැගල ඉන්නම් පුතේ ටිකක් හීතලයි වගේ 

අම්මාමා ලනීද සමගින් වාහනයට ගොඩ වූවාය ...පාරමී දැහැමි සමගින් කඩ පේලියේ එහෙට මෙහෙට ඇවිදිමින් අලිපේර කිහිපයක් මිලදී ගත්තාය .

ගෙඩි ගොඩක් ගිහිල්ලා තියාගන්න බෑනේ ...අපි එන්නේ අනිද්දා නෙ....එනකොට ගම්මු මේ ගෙඩි දෙක තුන ඇති ගිහින් කන්න ....උඹේ බඩජාරි කම නම් ඇත්තමයි.....

දැහැමි සිනාවුණේ තව තවත් අලිපේර අල්ලා බලන පාරමීටය.

හ්ම්ම්...යං යං එහෙනම් දැන් දවල්ට කන වෙලාවත් පහුවෙනව ඔය ගමන......අම්මල එපා කියද්දි දවල්ට කෑම හදන් ආවා අන්න...ඉතින් හොටෙල් එකට යන්න කලින් කොහෙ හරි ඉඳන් කාලා යමු......

පාරමී දැහැමිගේ අතින් අල්ලාගනිමින් පාර පැන්නාය.ඒ මොහොතේම එතැනින් ධාවනය වූ රියක උන් අයෙකුගේ දෙනෙත ...අහම්බෙන් ඔවුන් දෙසට යොමු වූයේ ද .....ක්ෂණයකින් එම වාහන පෙළ දිගේ ඇති තදබදය ඔස්සේ ඒ බැල්ම ඉදිරියටම යොමු වූයේද .....කෙටිම කෙටි මොහොතකය.

*************************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)


1 comment: