Saturday, December 12, 2020

විසි හයවෙනි කොටස (මගේ ප්‍රේමය ඉසියුම්)

 



ඉදින් ජීවිතය ගලා ගියේ සොඳුරුවමය. මෙතුවක් කල් හැලහැප්පීම් වලින් බහුල වූ අසුන්දර අත්දැකීම් ගහන වූ ජීවිතය අතිශයින්ම සුන්දර වූ එකක් වන්නට පටන් ගෙන තිබේ ...

"හවස මාත් එක්ක ගමනක් යන්න තියෙනවා.. එනවද ...?" පරාක්‍රම අනුත්තරා ගෙන් විමසුවේ පාසල ඇරී නිවසට යන අතර නිවසට යන අතරතුර දී ය ...අනුත්තරා විමසුම් ඇසින් ඔහු දෙස බැලුවාය ...

"ඇයි මොකෝ මාත් එක්ක යන්න බය ද ....?" පරාක්‍රම සිනහසෙමින් ඇසුවේය ..අන්තරා හිස දෙපසට වනා විමසුම් ඇසින් ම ඔහු දෙස බලාගෙන සිටියාය... බොහෝ විටක ප්‍රශ්නය ඇසීම අනුත්තරාගේ සිරිත නො වූ හෙයින් මේ කාරණයේ දී ත් ඇය නිහඬවම ඔහුගේ වචන පිළිගත්තාය ...

.

කෙල්ලන් දෙදෙනාගෙන් ගැල වී පිටතට ඒම කරන්නට අමාරු ලොකුම කාර්යය විය ....වෙන ඕනෑම තැනක අනුත්තරාට තනිවම හෝ වෙන ඕනෑම අයෙක් සමග යාමට ඉඩ තිබුණද පරාක්‍රම  සමග යන ගමන් වලදී කෙල්ලන් දෙදෙනා අනුත්තරා ට ඔහු හා යන්නට ඉඩ තැබුවේ ම නැත ...ඔවුන් එතරම් ම පරාක්‍රමගේ ඇසුරට ප්‍රිය වූවෝ ය ....

.

"කොහොමද පැන ගත්තේ අදත් බොරුවක් කිව්වා ද...?" ජීප් රථයට ගොඩවුණා අනුත්තරා ගෙන් පරාක්‍රම විමසුවේය ....

."කරුණම්මට කියලා ආවා...මට බඩුවගයක් ගන්න ටවුන් එකට යනවා කියල ඒ දෙන්නට කිව්වා ..." අනුත්තරා හිනැහුනාය.

.

" වෙන ගෙවල් වල කෙල්ලො තමයි අම්මට කියලා අවසර ගන්න ඕන ගමන් යන්න ඒකට මේක ....මේ අම්මට එළියට බහින්න කෙල්ලෝ දෙන්නගෙන් අවසර ගන්න ඕන ....මට තියෙන ප්‍රශ්නය ඕක නෙමෙයි ...අපි දෙන්නට මෙහෙම ගියොත් හනිමූන් එකක් නං යන්න වෙන්නෙ නෑ ....මුං දෙන්න ෂුවර් ඒකටත් පැන ගෙන එනවා..." පරාක්‍රම හයියෙන් හිනා වෙමින් පැවසුවේය .... 

රිය පදවන අතරතුර දී අනුත්තරා ගේ සුරත රැගෙන සිය ලයට තුරුළු කරගත් පරාක්‍රම .....ඇය දෙස බැලුවේ ඉමහත් සෙනෙහසිනි .....අනුත්තරා සෙමින් ඔහුගේ මුහුණ ඉදිරිපසට හැරෙව්වා ය ...

.

"පාර බලාගෙන වාහනේ ඩ්‍රයිව් කරන්න ....පාර තියෙන්නේ ඉස්සරහ මගේ මූනේ නෙමෙයි ..."

.

"ඇස් වහන් වුණත් මට ඩ්‍රයිව් කරන්න පුළුවන් නංගී ....ඒ උනාට මගේ ජීවිතේ පාර වැටිලා තියෙන්නේ ඔය මූණ හරහා තමයි ..."  සිය වමතින් ඇයගේ මුහුණ අතගාමින් පරාක්‍රම පැවසුවේය ....

මේ තරම් සෙනෙහසැති පුද්ගලයෙකු ජීවිතයට හමු වීම ම තමා කෙතරම් වාසනාවන්ත දැයි යළි යළි ත් ජීවිත‍ය පහදා දෙන සලකුණක් බව අනුත්තරා වටහා ගත්තා ය

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

පරාක්‍රමගේ ජීප් රථය සුදු වැලි පාර ඔස්සේ ඉදිරියට ඇදෙමින් පැවතුණි ....ඒ පාර දිගේ බොහෝ දුරක් ගිය පසු ගස්වලින් සෙවණ වූ වත්තකට වාහනය ඇතුළු විය .....ඒ ඉසව්ව පුදුමාකාර සුන්දරය .....

.

"බහින්න ..." පරාක්‍රම වාහනයෙන් බැස පැමිණ අනුත්තරා ගේ පසවූ  දොර විවෘත කළේය .....අනුත්තරා  තවමත් දෑසේ පළවූ විමසුම් ඇසින් යුතුවම බිමට බැස්සාය....අනුත්තරා ගේ අත සෙමින් සිය අතෙහි පටලා ගත් පරාක්‍රම ඇයව කැඳවාගෙන ගියේ නිර්මලා නිදන තැනටය....

.

" නිම්...මේ ඉන්නෙ එයා...මං එයාව හම්බ වුනදා ඉඳන්ම හැමදාම ඔයාට එයා ගැන කීවා නෙ මෙතනට ඇවිල්ල...ඉතින් මෙන්න එයා...ඔයාට පෙන්වන්න එක්කන් ආවෙ..." පරාක්‍රම නිර්මලාගේ සොහොන් කොතට සුරත තබාගෙන මිමිණුවේය....අනුත්තරා ඔහුගේ අත දැඩිව ග්‍රහණය කොට ගත්තාය....

"තාරා....නිම් ට ඕන වුණේ එයාටත් වඩා මට ආදරය කරන්න පුලුවන් කෙනෙක් මට ලැබෙන එක....ඒක එයා මාව අතාරින්න වෙන බව දැනගත්ත මොහොතේ ඉඳන්ම මගෙන් ඉල්ලපු දෙයක්....ඒත් අවුරුදුම දහයක්...මම එහෙම අය හෙව්වෙ නෑ ....ඒත් අහම්බෙන් ඔයාව මට හම්බ වුණාම .....නිම් කිව්ව කෙනා ඔයා කියල මට දැනුණා....." පරාක්‍රම සෙනෙහසැති දෑසින් අනුත්තරා දෙස බලා ගෙනම පැවසුවේය.....

.

" ඔයා මට කැමති වෙන්න ගොඩක් කල් ගත්තා ....ඒත් මම හැමදාම මෙතනට ඇවිල්ල නිම් ට වගපල කිව්ව...ඔයා මට ආඩම්බරකම් පෙන්නපුව...මාව මගහැරපුව...මං ඔයාට බැනපුව...ඔක්කොම ....එයා අහන් ඉන්න ඇති...." පරාක්‍රම නොදරුවෙකු සේ කියවාගෙන යයි...අනුත්තරා නිර්මලා ගේ සොහොන අසල දණබිම ඔබාගත්තාය...

.

"අක්කා....මම ඔයාගෙ පණව මගේ පණටත් වඩා ආදරෙන් බලාගන්නම් ....  " අනුත්තරා සෙමින් මිමිණුවාය....පරාක්‍රම ඇයගේ අතකින් අල්ලා ඇයව නැගිට්ටවීය....

.

ප්‍රේමය , ආදරය ,සෙනෙහස ඔය කුමන වචනයකින් කීවද එතන ඇත්තේ පරිත්‍යාගය ම බව කියාදෙන්නට නිර්මලා තරම් ජීවිතය ක් වෙන වේදැයි අනුත්තරා ආපසු ඇවිද එන අතරමගදීත් සිතුවාය....ඒ තරම් සොඳුරු ආදරයක හිමිකරුවෙකු වූ පරාක්‍රම හට තමාගේ සෙනෙහස සෑහේදැයි ඇයට යළිත් සිතුණි.....හිස නගා පරාක්‍රම දෙස බැලූ ඇයට ඔහුගේ මුහුණ පුරා විසිරගිය සුන්දර සිනහව යළි පෙනුණි....

.

" මට නිම් අක්කා වගේ ඔයාට ආදරේ කරන්න පුලුවන් වෙයිද.....මට බයයි..." අනුත්තරා ඔහුගේ සුරත අල්ලාගත්තාය...

.

" එයා වගේ වෙන්න උත්සාහ කරන්න  එපා තාරා..මම ඔයාගෙන් එයාව බලාපොරොත්තු වෙන්නෙ නෑ  ...එයා මගේ මුලු  ජීවිතේ ම උනා    ..ඒ ඒ කාලයෙ....දැන් මගෙ ජීවිතේ ඔයා...ඉතින් ඔයා ඔයාම වෙන්න...වෙලා මට ආදරේ වෙන්න.....එච්චරයි මට ඕන...." වැලි පාර කෙලවර සෙවන දුන් ගසක් යට දී අනුත්තරා සිය ලයට දැඩිව තෙරපා ගත් පරාක්‍රම ඇයව සිප ගත්තේය....ඒ සිප ගැනීම තුළ ආදරයක උණුසුම අපූරුවට ගැබ් ව තිබිණ....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නඩු තීන්දුව අතට ගත් දා අනුත්තරා හට විශේෂ හැඟීමක් දැනුණේ නැත ..එහෙත් ජීවිතය ම මහා හිරවීමකින් නිදහස් වූවාසේ ඇයට හැඟෙයි..කාන්චනා අක්කා සහ අම්මා එපුවත අසා දුක් නොවූවෝය...

.

" ඕකෙම එල්ලිලා උන්න නම් තමා නංගි ට අසාධාරණයක් වෙන්නෙ....දැන් අර කිව්ව මහත්තයාව බඳින්න..." කාන්චනා අක්කා පැවසුවේ අනුත්තරා පරාක්‍රම ගැන ඔවුන්ට නොසඟවා පැවසූ විටය...ඒ අතින් ඔවුන්ගේ වටහා ගැනීම හිතට සැහැල්ලුවක් ගෙන ආවේය.....

.

පරාක්‍රම සැන්දෑවේ නිවෙසට ගොඩ වැදුණේ..කෙල්ලන් දෙදෙනාට කඩචෝරු ගොඩක්ද රැගෙනය...

.

" පුරුදු කරන්නකො....ඉතින් බත් ටිකක් කවාගෙන ඉවරයි....ඕව කන්න අරන්..." අනුත්තරා නෝක්කඩු කීවාය..කෙල්ලන් දෙදෙනා සමග හරි හරියට මුරුක්කු කන පරාක්‍රම අනුත්තරා ගේ කටටද එයින් අහුරක් එබුවේ....." කට වහන් ඕක කනව...." කියමිනි....පවුලක ඇති සම්පූර්ණ බව ස්නේහය උතුරායන මොහොතවල් ජීවිතය පුරා මෙසේ පැතිර තිබුණි..

" මැඩම් ඔප්ෂන්ස් දෙකක් තියනව....කෝකද ගන්න කැමති...." කෙල්ලන් දෙන්නා නිදන්නට වදෙන් පොරෙන් යැවීමට පසු....පරාක්‍රම සුපුරුදු බරාඳයේ කෙටි තාප්පය මත හිඳගෙන අනුත්තරා ලඟට ඇදගනිමින් පැවසීය.....

.

" ඉස්සෙල්ල කියන්නකො ....මොනාද කාරණා දෙක....මම එතකොට කියන්නම්...." අනුත්තරා ඔහුගේ දෑත අල්ලාගනිමින් පැවසුවේය...

.

" බැඳල නුවරඑළියේ යනවද

නුවරඑලි ගිහින් ඇවිල්ල බඳිනවද....." පරාක්‍රම අනුත්තරා ගේ කන්දෙකෙන් අල්ලා දෙපසට සොලවමින් ඇසුවේය....ඔලුව දෙපසට ගසා කන්දෙක මුදාගත් අනුත්තරා හෙමින් පහරක් අතට ගැසුවාය...

.

" එක විදියකට ඉන්නම බැරිද....මගෙ කැලි ගලවන්න හදන්නෙ...හැමදාම ඔහොම යි....එහෙන් මෙහෙන් අදිනව..." නෝක්කඩු හඬින් අනුත්තරා පැවසුවාය....පරාක්‍රම හිනැහෙමින් කට හැදුවේ යමක් කියන්නටය...

.

" ඕන නැති කතාවක් කියන්න ඔය ඒ ගමන හදන්නෙ . ." අතින් ඔහුගේ කට වසමින් අනුත්තරා පැවසුවාය....

.

" හරි හරි ඉතින් කියන්නකො...." පරාක්‍රම සිනහව ගිලගනිමින් පැවසීය..

.

" ලබන සතියෙනෙ නුවරඑළියේ යන්නෙ...ඉතින් ඊට කලින් කලබලේට පුලුවන් ද බඳින්න...." අනුත්තරා ඇසුවාය.....

.

" ඔයාට කොහොමද වෙන්න ඕන කියන්නකො බඳින එක....ඔයා වෙඩින් එකක් ඕන නෑ කීවනෙ...ගත් කටටම.." පරාක්‍රම අනුත්තරාගේ පිට  සිය ළයට තදකරගනිමින් ඇසුවේය ...

.

" අනේ ඔව්....වෙඩින් ඕන්නෑ ..අපි රෙජිස්ට්‍රේශන් එක කරමු...මට උත්සව එපා " අනුත්තරා හිස සෙමින් හරවමින් පරාක්‍රම ට පැවසීය....

.

" ඇයි ලැජ්ජද නාකියෙක් බඳින්න...." පරාක්‍රම ඇසුවේ අනුත්තරා කෝප ගන්වන්නටය.....සිතූ ලෙසම අනුත්තරා ඇවිස්සුණාය...ඔහුගේ අත්වලල්ලෙන් මිදී යන්නට තැත් දරන අනුත්තරා යළිත් අල්ලාගනිමින් පරාක්‍රම මහ හඬින් හිනැහුණේය....

.

" උඹව අවුස්සල ගන්න සතුට මට කිසිම එකකින් ලැබෙන්නෑ ....." පරාක්‍රම අනුත්තරා ගේ කොපුලක් සිප ගනිමින් පැවසීය....

.

" එහෙනම් අපි ට්‍රිප් එක ගිහින් ඇවිල්ල බැඳල පස්සෙ යං හනිමූන් ට්‍රිප්...හරිද....නුවරඑළියේ ගිහින් නම් කෙල්ලො ඩබල මට ඔයාගෙ අතින් වත් අල්ලගන්න දෙන එකක් නැ.....අර පේන්නැද්ද අද දෙන්නගෙ ප්ලෑන්....දෙන්න මගෙ දෙපැත්තෙලු නිදන්නෙත්...." පරාක්‍රම ගේ හඬ බෙහෙවින්ම සංවේදී වෙමින් පැවතුණි.....

අනුත්තරා සිය හිස ඔහුගේ ළයට තෙරපා ගනිමින් උන්නාය...ආදරය හිත්වල උතුරා යමින් යළි යළිත් ඉපදිණ.....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


කාලය ගත ව ගියේ සොඳුරුවය.... පරාක්‍රම ඇතුළු මිතුරු කැලගේ වාර්ෂික විනෝද චාරිකාව නුවරඑළියට යෑමට යොදාගැනීම කෙල්ලන් දෙදෙනාට ඉමහත් සතුටක් විය....අසේල හා දිවි ගෙවූ කාලයේ කෙල්ලන් දෙදෙනා හා විනෝදගමනක් ගියද එය රැවුම් ගෙරවුම් මැද නීති සීමා මැද යන්නට වූ ගමනක් නිසා කෙල්ලන් දෙදෙනා මුලු ගමනේදීම උන්නේ මූණු එල්ලාගෙනය. අනුත්තරා ද හෙම්බත් ව උන්නේ අසේලගේ ක්‍රියාකලාපය නිසාය. 

පරාක්‍රම ගේ සමීපතම මිතුරන් පස් හය දෙනාගෙන් විදුර සහ රංගීට දරුවන් උන්නේ නැත.සෙසු අයගේ දරුවන් තරමක් වැඩුණු අයය.එහෙයින් කෙල්ලන් දෙදෙනාට මුලු ගමනම තමන්ගේ රාජ්‍යය බවට පත්වුණි....

.

ගමන යන දින තුන කරුණම්මා ගමේ ගොස් එන්නට අවසර පැතුවාය.අනුත්තරා සහ දරුවන් සමග වෙනම නිවහනකට ආ දා පටන් ඇය ගමේ ගියේ එකම එක් වරකි. තිදෙනා තනිකොට යෑමේ බියකින් ඇය නිතරම පෙළුණාය.

.

" පරෙස්සමින් ගිහින් එන්න       නෝනෙ...පොඩිදෙන්න බලාගන්න ඉතින් ගොඩක් අය ඉන්නවනෙ...." කරුණම්මා ගෙදර යන්නට පිටත් වෙමින් පැවසුවාය.අනුත්තරා ඇය අත වැඩිපුර මුදල් තැබුවද කරුණම්මා එය ගත්තේ ද නැත....මේ වියපත් ගැහැණිය අනුත්තරා සහ දරුවන් දෙදෙනා ට සැබවින්ම ආදරය කලාය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ගමන පිටත් වන දා උදෑසනින් බසය නිවෙස වෙත ලඟා වන විටත් කෙල්ලන් දෙදෙනා ගේට්ටුවේ එල්ලී නොඉවසිල්ලෙනි...

.

පරාක්‍රම දුටු මනතින් පොඩ්ඩී උඩ පැන ඔහුගේ ඇඟේ එල්ලුණාය....

.

" චූටික්කි ...ඔය මොකද කරන්නෙ...ඇඳුමෙ මඩ ගාන්න එපා අංකල්ගෙ..." අනුත්තරා සැර කලාය.කෙල්ලගේ මුහුණ බෙරිවිය. හැඬුම් මුහුණෙන් පරාක්‍රම ගේ ගෙල මුල හිස සඟවා ගත් ඈ අම්මා සමග තරහ වූවාය....පරාක්‍රම පොඩ්ඩීද රැගෙන බසයට ගොස් අසුනක හිඳුවා ආපසු ගෙට ආවේ බෑගයන් ගැනීමටය....

.

" තාරා පොඩි එකීට කෑගහන්න එපා එහෙම..බලන්න මූණම හපුටු කරන් අර ඉන්නෙ...ඉස්කෝලෙයි ග්‍රවුන්ඩ් එකෙයි බෙරිහන් දෙනව වගේ ගෙදර ත් කෑගහනව... " පරාක්‍රම නොරිස්සුමෙන් කීවේය. අනුත්තරා ඔහුගේ අතින් ඇදගෙන කණ්නාඩිය ඉදිරිපසට ගෙන ගියාය....පරාක්‍රම ගේ සුදු ටීෂර්ට් එකේ පිටුපස දෙපසම  කෙල්ලගේ පාවල වූ දූවිලිය. පරාක්‍රම ට අනුත්තරා ගේ කෑගැසීමට හේතුව වැටහුණේ එවිටය.ඔහු නැවත බසයට ගොස් බෑගයෙන් ටීෂර්ටයක් ගෙන නිවෙසට ආවේය. අනුත්තරා කිසිවක් නොකියා බිමට හැරවුණ නෙතින් යුතු ව බෑගයන් එක තැනකට ගනිමින් උන්නාය....

.

පරාක්‍රම ටීෂර්ටය මාරු කොට ගෙන අනුත්තරා වෙත ආවේය....

.

" දැන් ඇයි ඉතින් බුම්මන් ඉන්නෙ...." පරාක්‍රම අනුත්තරා අසලට විත් ඇසුවේය...අනුත්තරා හිස දෙපසට සලා බෑගයක් ගෙන පෙරට අඩියක් තැබුවාය.පිටුපස සිට බඳ වටා එතුන දෑතින් යළි ඇය ඇදී ගියේ පරාක්‍රම ගේ තුරුලටය.

.

" මං බැන්නෙ නෑනෙ....කෙල්ලට කෑගැහුවම මට දුක හිතුණ..." අනුත්තරා ගේ ගෙල පිටුපසට මුහුණ තදකරගනිමින් පරාක්‍රම මිමිණුවේය ....

.

" මං ඉස්කෝලෙයි ග්‍රවුන්ඩ් එකෙයි කෑගහනව තමා...එහෙම නැතුව පුලුවන් ද ස්පෝට්ස් ටීච කෙනෙක් වෙන්න....ඒත් මම ගෙදර ත් ඒකම කරනව කියන්නෙ...ඔයා මගෙ ගැන දැන දැනත් ඔහොම කියන කොට ...හ්ම්ම්ම්.." අනුත්තරා වේදනාවෙන් යුතුව මිමිණුවාය ....

.

" සොරි තාරා.....මං එහෙම හිතල කීවා නෙවෙයි ....කෝ මේ බලන්න ....හිනාවෙලා ගමන යමු...ඔහොම එපා..." පරාක්‍රම ඇය තම දෙසට හරවාගනිමින් පැවසුවේය.. අනුත්තරා ආයාසයෙන් හිනාවී ඔහුගෙන් මිදී බසයට යාමට බෑග අතට ගත්තාය. එහෙත් හිතේ දුකක් ඉතුරු ව තිබුණි....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කෙල්ලන් දෙදෙනා ඉක්මනින් අනෙක් අය හා මුසු වූහ.අනුත්තරා රංගී අසල හිඳගත්තේ විදුර අනෙක් පිරිමි අය සමග පිටුපස අසුන් වලට ගිය හෙයිනි....

.

" මොකෝ නිකම් බුකවගෙන....අරූ මොනා හරි කීවද...?" රංගී අනුත්තරා ගේ ඇස් අල්ලා ගනිමින් ඇසුවාය...අනුත්තරා මඳ  සිනහවක් පා හිස දෙපසට වැනුවාය...හිත රිදුණු බව සැබවි....එහෙත් පරාක්‍රම පිලිබඳව අන් අයට දොසක් කීම අනුත්තරා කිසිදු විට නොකරන මට්ටමට එළඹ උන්නාය...දෙන්නා මරාගන්නට යන එක වෙනම කාරනයක් වුවත් ඒවා පිටට දිය යුතු නොවේ.....

.

අනුත්තරා සෙමින් හිස හරවා කෙල්ලන් ඉන්නා දෙස බැලුවාය.කෙල්ලන්ට වගේ වගක් නැත.පරාක්‍රම ඒ සියල්ල අස්සෙ ඇය දෙස බලාගෙන සිටී.ඔහුගේ නෙතෙහි පසුතැවුන ස්වරූපයක් දිස්වෙයි....අනුත්තරා මුදු සිනහවක් පා යළි ඉදිරියට හැරුණාය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අනුත්තරා වේගයෙන් පසු පසට ඇදීයන ගස් වැල් වාහන දෙස බලාගෙන වාහනයේ වීදුරුවට මුහුණ තද කොට ගත්තාය.රංගි යාබද අසුනේ නින්දකය.ඇයගේ බෙල්ල කඩාවැටෙනු දුටු අනුත්තරා සෙමින් බෙල්ල වාරු කොට ආසන ඇන්දට හේත්තු කලාය. මොකක්දෝ කියාගත නොහැකි පාලුවක් හිත පුරා විසිර යනු දැනේ..ඇස් කෙවෙණිවලට කඳුලක්ද ..හිත පත්ලට දැවිල්ලක්ද දැනෙමින් පවති...

.

හිස මතට දැනුණ සුපුරුදු උණුසුම් පහසින් අනුත්තරා හිස නගා බැලුවාය...ඇසේ තාමත් පවතින තෙත කඳුලු පටලය උරහිසට තෙත මාත්තු කලද එය පරාක්‍රම ගෙන් සඟවාගත හැකි නොවිය....පරාක්‍රම විමසුම් ඇසින් දෙතොල් සොලවා ඇයි කියා ඇසීය.අනුත්තරා මඳ සිනහවක් පා හිස දෙපසට වැනුවාය....ඇසින් රංගී ව පෙන්නූ හෙයින් ඒ කතාකරන්න ට සුදුසු තැනක් නොවන බව පරාක්‍රම ඉඟියෙන් වටහා ගත්තේය.....සෙමින් අනුත්තරා ගේ හිස වරක් දෙවරක් පිරිමැදි ඔහු ආපසු අසුන වෙත ගියේ බරවූ සිතකින් බව අනුත්තරා ට දැනුණි....

ජීවිතේ කිසිදාක නොවූ තරමේ කාන්සියක් හිතට දැනෙමින් පවතී...ආදරණීය උණුසුමක් , වැළඳගැනීමක්...සෙනෙහස් වදනක් ඉල්ලමින් හිත අරගල කරයි.අනුත්තරා සිතින් විඩාවට පත්වූවාය...පරාක්‍රම පිළිබඳ කියාගත නුහුණු මට්ටමේ ලෝබකමක් දැනෙන්නේ කිමදැයි ....ඇයටම සිතාගත නොහැක.දැනෙන්නේ ඔහු තම ජීවිතය ම වී ඇති බව පමණි.....

.

" අඩේ නින්ද ගියානෙ මට...." රංගී අත්දෙකද හතර අතට විහිදුවමින් නැගී උන්නාය...

.

" නින්ද තමා...බෙල්ල කඩන් වැටෙනව ඒත් ගාණක් නෑ...මං ටිකක් වෙලා අල්ලගෙනත් උන්න...ඉන්පස්සෙ ඔය හේත්තු කරල තිව්වෙ...." අනුත්තරා හිනැහෙමින් කීවාය..

.

" අපෙ මිනිහා මට බනින්නෙම ඕකට...තැනක් නොතැනක් නෑ නිදන්න නම් කියල...අනෙ මට මොකෝ බැන්නට...නින්දෙ සැපත දන්නේ...ඒකට ලොල් එකානෙ..." රංගීගේ කට කතුරක් සේය....මෙතරම් සරල හිනාවෙන් බර ඇය...ඇසුරේ හිතේ වූ කාන්සිය මැකී යනු අනුත්තරා ට දැනුණි.....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දිවා අහරට මග නැවතූ මොහොතේ පරාක්‍රම අනුත්තරා සොයා ආවේය....

.

" තාරා....අවුලෙන් වගෙ ඇයි....උදේ උන දේටද...?" පරාක්‍රම ඇයගේ සුරත අල්ලා ගෙන තමා වෙතට හරවාගනිමින් ඇසුවේය....

.

" අනේ නෑ ....." අනුත්තරා පැවසුවාය ...

.

" එහෙනම් ඇයි මූණ අමුතු වෙලා...හරි නෑ  ....මං බලන් උන්නේ....." පරාක්‍රම ගෙන් ගැලවී යන්නට නම් ලේසියෙන් නොහැකි හැඩය.....

.

" පාලුවක් වගෙ චුට්ටක් දැණුන...." අනුත්තරා වේගයෙන් ඇසි පිය සැලුවේ පරාක්‍රම ගේ සෙනෙහසැති හඬින් යළි සිත හුණුව යද්දීය........

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හමුවෙමු ඉතින් ....

විසිරි 😘❤

No comments:

Post a Comment