Saturday, December 12, 2020

විසි නවවෙනි කොටස (මගේ ප්‍රේමය ඉසියුම්)

 




කාලය ගත වන්නේ සිතන්නටවත් නොහැකි තරම් වේගයෙන් යැයි අනුත්තරා ඉතාම ලෝබකමින් යුතුව සිතුවාය...සතියක් ගෙවී යන්නට ආසන්නය. කෙල්ලන් දෙන්නා පාසල් නිවාඩුව හෙයින් රංගීගේ නිවසේය.රංගීගේ සහෝදරියන්ගේ දුවලා සමග සෙල්ලමට වැටී ඉන්නා ඔවුන්හට අනුත්තරා නැති අඩුව එතරම්ම ගාණකට නොමැත.නමුත් පරාක්‍රම ගැන නම් ඔවුන් දෙන්නාම වද වෙති....

.

" අම්මා ....කෝ ශෝයි.....ආ...ආ..නෑ තාත්තා  ..."ලොක්කී පටල පටලා අසන්නීය.තාම කෙල්ලන්ට පරාක්‍රම ශෝයි අංකල් නමින් තාත්තා වී ඇත්තේ නුහුරුවටය.වරක් දෙකක් ඇමතුමකදී ශෝයි අංකල් කීවා කියා පරාක්‍රම කෙල්ලන් සමග බොරුවට තරහ වී දවසක්ම උන්නේය...

.

" මේ අලිබබෙකුත් පටන් ගත්තා අර දෙන්න මදිවට...මටයි රංඩු බේරල ඉවරයක් නැත්තෙ...." අනුත්තරා යාන්තමින් තෙත ඇතිව නානකාමරයේ සිට විත් ඇඳට වැටෙන පරාක්‍රම ගේ හිස බලෙන් පිසදාමින් පැවසුවාය. පරාක්‍රම අත්වලල්ලක් හදා ඇයගේ බඳ වටා යවම්න් මුහුණ තදකොට ගෙන දෑස් පියා උන්නේය.

.

" කොහොම හරි තාත්ත කියල කියවන්න ඕනෙ....හෙට යාලුවෙනව...." අනුත්තරා දෙස හිස නගා බලමින් පරාක්‍රම පවසයි.අනුත්තරා හිස පිසදා අවසන ඔහුගේ නහයද මිරිකමින් බැල්කනියට ගොස් තුවාය වනා දමා ආපසු ආවාය.....

.

" හෙට යන්න බෑ වගේ ..." අනුත්තරා සයනයට ඇද හිඳුවාගෙන සිය හිස ඇයගේ උකුලට තබා ගත් පරාක්‍රම මිමිණුවේය.අනුත්තරා ගේ සිතෙහි වූයේද ඒ හා සමාන ලෝබකමකි...

.

"එක ගෙදරට නෙ යන්නෙ ඉතින් ..... කලින් වගෙ නෙවේනෙ ...." අනුත්තරා ඔහුගේ හිස පිරිමදිමින් පැවසුවාය.....

.

" ඒත් ඉතින් මෙහෙම නිදහසක් කොහෙද තාරා....ඔයත් වැඩට යයි...මාත් යයි...හවස එයි....දරුවො ...කරුණම්මා...යාලුවො...ඔය ඔක්කොම අතරෙ අපේ කාලය බෙදේවි....",පරාක්‍රම ඇයගේ මුහුණ සෙමින් පිරිමදිමින් පැවසීය....

.

" ඒකට නේද ජීවිතේ කියන්නෙ....අපි දෙන්නට තනිවෙන්න බෑ නෙ....මේ ගතවෙච්ච තනි කාලෙට වඩා ඔයයි මායි අනෙක් අය වටේට තියන් ඉන්න ජීවිතේ ලස්සන වෙයි...."අනුත්තරා පරාක්‍රම ගේ නලලත සිඹිමින් පැවසුවාය......

.

"මට චූටි දෙයක් කියන්න තියනව ....හැබැයි ටීච මට ගහන්න බනින්න බෑ ඔන්න....." පරාක්‍රම අනුත්තරා ගේ අත් අල්ලාගෙනම පැවසීය....අනුත්තරා විමසුම් ඇසින් ඔහු දෙස බලා උන්නාය....

.

"ඒ හොර බැල්ම නම් මට ඇල්ලුවෙ නෑ මහත්තයෝ.....", අනුත්තරා පරාක්‍රම ගෙන් දෑත මුදාගනිමින් ඇසුවාය.

.

"ඔයාල උන්න අර ගෙදර....ඒක ඉතින් වෙන කාගෙවත් නෙවේලු....මගේමලු හරිද...."පරාක්‍රම හිස කසමින් පැවසීය. අනුත්තරා දෑස් විසල් කොට ගෙන පරාක්‍රම දෙස බැලුවේත් ඉන් පසු ඇඳෙන් නැගී උන්නේත් එක සැණෙකිනි....

.

"ඔයා....ඔයා....ඇයි එහෙම...." අනුත්තරා ගේ හඬ වෙවුලීමකට පත්වෙමින් තිබිණ....පරාක්‍රම ඇය අතින් ඇද සිය ඇකයේ හිඳුවාගත්තේය...

.

"ඔයා මගෙන් ඉල්ලුවේ විශ්වාස..ආරක්ෂා සහිත තැනක්...ඔයාල හතරදෙනාට...මට දෙන්න පුළුවන් උපරිම ආරක්ෂිත තැන මම දුන්න...හැබැයි ඔයාගෙ ආත්ම ගෞරවය ට හානි කලේ නෑ...මම...ඔයා ගෙදරට කුලියක් ගෙව්වා...මං වැරදි නෑනෙ තාරා ඉතින් ...."පරාක්‍රම ඇයගේ මුහුණ දෝතට ගෙන ඇසීය..... අනුත්තරා නිහඬවම ඔහු දෙස බලා උන්නාය.....

.

" ඒ සල්ලි වෙනම එකවුන්ට් එකක තියනව....ඒවා අයිති මගෙ කෙල්ලන්ට...." පරාක්‍රම අනුත්තරා සිප ගනිමින් පැවසීය. පරාක්‍රම යන චරිතයේ තමා ගවේශණය නොකල ඉසව් බොහෝ ඇති බව අනුත්තරා ට වැටහිණි.....ඇය ඉමහත්වූ සෙනෙහසකින් ඔහු වෙත තුරුලු වූවාය....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අනුත්තරා සහ පරාක්‍රම නිවෙසට ආවේ කෙල්ලන් රංගීගේ නිවසේ සිටියදීමය. කරුණම්මා ඔවුන් සමග නිවෙසට ආවේ කෙල්ලන්ගේ කාමරය සකසාගන්න උදව් කරන්නටය.

.

" ඒ දෙන්න ආස වෙයි...." ජනෙල් තිර දමා ඇඳවල් සකසා අවසන අනුත්තරා කාමරයේ හැඩ බලමින් කීවාය. පරාක්‍රම ඇයගේ බඳ වටා අතක් යවමින් ඇය සිය තුරුළට ගත්තේය.....

.

" ඔයාට සතුටු නැද්ද...." 

.

" දැන දැනම අහන්නෙ....මේ තරම් ජීවිතේ සතුටක් අපිට දෙනවට ඔයාට පිං.." අනුත්තරා සිය හිස පරාක්‍රම ගේ වතට බර කරගනිමින් පැවසුවාය....

.

" අනේ නංගි  ..පිං පෙට්ටිය පිරිලා තියෙන්නෙ...ඔයා ගාවම ඕවා තියාගන්න ...හරිද...." පරාක්‍රම මහ හඬින් හිනැහුණේය...

.

නිවෙසක හිනාවක් උතුරායන විට ඒ නිවස එළිය වන බව අනුත්තරා වටහා ගනිමින් උන්නාය....කෙල්ලන් එන්නට පෙර අනුත්තරා මිදුලට බැස්සේ නිවස වටා ඇති සුන්දර උයන නැරඹීමටය....

.

" අන්න ඔයාගෙ ඕකිඩ් ටික ගෙන්නුව මං...." පරාක්‍රම ඇයගේ අතින් අල්ලාගෙන මිදුලේ කොණකට කැඳවාගෙන ගියේය...ඕකිඩ් එකතුව සඳහා අපූරු ඉඩක් එහි සකසා තිබිණ....

.

"නොදන්න ඒවට අතදාන්න ගිහින් ඔය මලක පොහොට්ටුවක් වත් කැඩුණොත් මට ගුටි කන්න වෙන නිසා...ඔන්න පැල ඔක්කොම ඔහොම්ම තිබ්බා...ඔයා ඉතින් ඒවා ඔයාට ඕන තාලෙට හදාගන්න....."

.

අනුත්තරා ඇඟිලි තුඩින් එසවී පරාක්‍රම ගේ කොපුලක් සිප ගත්තේ ....සතුට උතුරායන විටය.....

.

" තාරා....අදින් පස්සෙ මේ ගෙදර ,මිදුල වගේම මගේ ජිවිතෙත් හැඩ කරන එක ඔයාට බාරයි...." පරාක්‍රම ඇයගේ හිස අතගා පැවසීය. එතරම්ම වගකීමක් බරපතල වගකීමක් පරාක්‍රම ඉතාම සියුම් අන්දමින් තමා අතතැබූ හැටි අනුත්තරා බලා උන්නේ සැනසීමෙනි

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

රංගී සහ විදුර සමග නිවෙසට ආ කෙල්ලන් දෙන්නා වාහනයෙන් පැන්නේ පිමි දෙකටය.ඒ පිම්ම නැවතුනේද පරාක්‍රම ගේ තුරුලේය.... 

.

"අනේ අනේ බොරු ආදරේ....දැන් සතියක් උන්නා....අම්මාවයි තාත්තාවයි නැතුව....අන්න බොලේ දැක්ක ගමන් අපි කැලේ....", විදුර කෙල්ලන් දෙන්නා අවුස්සන්නට විය.

.

"ඉතින් විදුර අංකල්මනෙ කිව්වේ...තාත්තාගෙ ලොකු වැඩකට ඒ දෙන්න ගියෙ කියල...අපිට කීවෙ කරදර නොකර ඉන්න කියල.." ලොක්කී රවාගෙන ම පැවසුවාය....

.

"ලොකූ වැඩක් නේන්නම්...හරියකට කරගත්තද කියල තාත්තව පැත්තකට කරගෙනම අහන්න ඕන....", විදුර කෙල්ලන්ට නෑසෙන්නට රංගීට කීවේය.

.

පරාක්‍රම කෙල්ලන් දෙන්නාද අනුත්තරා ද සමග උඩුමහලට ගියේ විදුරලා වෙනත් ගමනක් යන්නට පිටව ගියාට පසුය.ඔවුන්ගේ කාමරය හැර එතුළට දෙන්නාට යන්නට හැර පරාක්‍රම අනුත්තරා සමගින් දොර අසල නැවතුණේය.

.

"තාත්තී....." පොඩ්ඩී එක පාරටම අඬන්න ගත්තාය....අනුත්තරා කලබල වී පොඩ්ඩී දෙස බැලුවේ හිතාගන්නට බැරිවය....

"අනේ තැන්කිව් සෝ මච් තාත්තී....අයි ලව් ඉට්....අයි ලව් දිස් රූම් සෝ මච්...." පොඩ්ඩීට සිංහල අමතක වන්නේ හැඟීම්බර වන විටය.ඇය කාමරය පුරා හඬමින්ම ඇවිදිනු දැක පරාක්‍රම සහ අනුත්තරා ට හිනාගියේය...ලොක්කී තවමත් අන්දමන්ද වීලා මෙන් කාමරය දෙසම බලාගෙන සිටින්නීය.....

.

"අක්කා බබා....ඇයි පුතේ ..." පරාක්‍රම ඇයගේ හිසට අතක් තබා ඇසුවේය....ලොක්කී කිසිවක් නොකියා හිස දෙපසට වනා පරාක්‍රම බදාගත්තාය.....

.

"ඔයා ආස නැද්ද....එහෙනම් අපි වෙනස්කරමු...", පරාක්‍රම ඇයගේ හිස අතගෑවේය....

.

"මං ඉස්සර පොත් මේසයක් ඉල්ලුවම තාත්තා මට කෑගැහුව....තියන එකක් තියන් ලියනව..අලුතින් ගන්න ඕන්නෑ කියල....මට ඒක මතක් උනා...."ලොක්කී බිම බලාගෙනම කීවාය...පොඩි හිත් වල තාම අඳුරු පැල්ලම්‍ ය..ඒවා මකන්නට තව කල් යනු ඇත.

.

"අක්කා බබා...මේ අහන්න පුතේ   ." පරාක්‍රම ඇය අසළ දණ බිම ඔබා ගත්තේය....

.

"අපි ආයෙ ඒවා මතක් කරන්න ඕන නෑ...මමයි ඔයාලගෙ තාත්තා...ඔයාලට ඕන හැමදේම ඔයාල මට කියන්න ඕනෙ....අපි හතරදෙනා තමා මින් පස්සෙ මේ ගෙදර....." ලොක්කී හඬාගෙනම පරාක්‍රම ගේ ගෙල මුල හිස තබා ගත්තාය.අනුත්තරා දොර හැරගෙන පිටට විත් හඬන්නට ගත්තේ මේ සියල්ල දරාගන්නට නොහැකිවය

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අනුත්තරා කරුණම්මා සමග මුළුතැන් ගෙයට වැද රාත්‍රී ආහාරය සැකසුවාය. මෙතුවක් කල් අවන්හල් ගානේ සැරිසැරූ පරාක්‍රම ගෙදරකින් ආහාරයක් ගන්නට බලා සිටී.අනුත්තරා පුදුමාකාර ආශාවකින් කෑම පිළියළ කළාය..

.

"ඇස් වහක් කටවහක් නෑ නෝනේ ...මට දැනෙන සන්තෝසේ කියලා නිම කරන්න බැහැ ...දරුවො දෙන්න වගේම නෝනත් ඉන්නේ පුදුම සන්තෝෂයකින් ....පරාක්‍රම මහත්තයා වුණත් මේ ජීවිතේ ට අලුතෙන් ම පුරුදු වේවි ...රත්නත්‍රයේ සරණයි ....", කරු ණම්මා ඇඳ සිටි  හැට්ටයෙන් ඇස කඳුල තෙත මාත්තු කරමින් පැවැසුවාය .....

.

අනුත්තරා ඒ බසට සවන් යොමු කරමින් සිය එකඟතාවය පළ කරමින් හිස වැනුවාය....ජීවිතේ යනු කෙතරම් සුන්දර දෙයක් දැයි අනුත්තරා  වටහා ගනිමින් සිටියාය...තව  නොබෝ දිනකින් පාසල්නිවාඩු කාලය  සමාප්ත වෙයි...ඉන්පසු යළි වැඩට යා යුතුය  .. දරුවන් දෙදෙනා ද සුපුරුදු ලෙස ම පාසැල් වෑන් රථයේ යැවිය හැක ...පරාක්‍රම ගේ නිවහන සහ තමන් පෙර විසූ ස්ථානය එතරම් ලොකු දුරකින් පිහිටා තිබුණේ නැති හෙයින් දරුවන්ට පාසල් කියන්නේ වෙනම ගැටලුවක් ඇති නොවේ .....

.

රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු අස්පරස් කිරීමේ කටයුතු කරුණම්මා තමන් වෙතම පවරා ගත්තාය ...

"නෝනා ගිහින් එහේ වැඩ ටික කරගන්න කෝ..මට මේවා කරන්න පුළුවන්   ....." අනුත්තරා  කාමරයට යන විටත්   පරාක්‍රම සහ කෙල්ලන් දෙදෙනා උඩුමහලෙහි ආලින්දයේ හරි හරියට කතා බහකි ...

.

",දැන් ඉතින් රෑ වෙලා කට්ටියම නිදා ගත්තොත් හොඳයි ....."අනුත්තරා කෙල්ලන් දෙදෙනා ව නාන කාමරය වෙත කැඳවාගෙන යමින් පැවසුවා ය ....

.

"අම්මා...ඔයාලත් නිදාගන්නෙ අපිත් එක්ක ද.."ලොක්කී ඇසුවේ ඇඟ සෝදා ඇඳුම් ඇඳගන්නා අතරේ ය....

.

"ඔයාලා කැමති විදියක් ....",අනුත්තරා වැඩිමනක් ගණනකට නොගෙන පැවසුවාය ...

.

"නංගිටයි මටයි මේ කාමරේ තනියෙන් නිදා ගන්න පුළුවන්....මට අපේ ටීචර් කිව්වා ළමයි ලොකු වෙනකොට තනියෙන් නිදා ගන්න එක හොඳයි කියලා ...ඒ නිසා නංගියි මායි අපේ කාමරයේ නිදා ගන්නම් ..."කෙල්ල දවසට දෙකට පැහිලා ය ....අනුත්තරා සිනහසෙමින් ලොක්කී ගේ ඔලුව අත ගෑවාය   

"ඔයාලට ඕන වෙලාවට අපිත් එක්ක නිදාගන්න එන්න පුළුවන් පුතේ....ඒ උනාට ටීචර් කියපු කතාව ඇත්ත ...දැන් ඒකෙ පෞරුෂය වැඩෙන්න නම් එයාලා ලොකුවෙනකොට තමන්ගේ වැඩ කටයුතු තනියෙන් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ....අම්මා තාත්තා ඉන්නේ එයාලගේ උදව්වට විතරයි ..."අනුත්තරා කෙල්ලන් දෙදෙනාට දෙදෙනාට කාමරයේ සිටින්නට ඉඩ හැර තමන් ගේ නිදන කාමරයට පැමිණියාය.

..

"මොකද දෙන්න කියන්නේ ...අම්මා ගාවම නිදාගන්න ඕනේ කියනවද...එහෙම නම් අපි ඒ කාමරේට යමු ...." පරාක්‍රම විමසුවේය.අනුත්තරා  ලොක්කී කියූ ඒ කතාව පරාක්‍රමට පැවසූයේ සිනහ වෙමිනි.

.

"ඒ ටීචර් නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් ...අනේ හොයාගෙන ගිහිල්ල උම්මා දෙක තුනක් දෙන්නම ඕනේ  ...මෙහෙම උදව්වක් අම්මා තාත්තවත් කරන්නේ නැහැ ..." පරාක්‍රම ගේ හිනා හඬ කාමරයෙන් පිටතට විහිදී යයි ....

.

"හිතේ ඇති ගිහින් අනිත් ටීචර්ලටත් උම්ම දෙන්න..ඒක කොහෙද මාත් එක්ක ..."අනුත්තරා ඉනට අත් දෙක තබා ගෙන දඟකාර හඬකින් පැවසුවාය ...

.

"මෙන්න වැඩක්....ඕකට තමයි කියන්නේ හිරේ වැටෙනව කියලා ....අනේ ඉතින් යසට උන්නු මටත් වෙච්ච දෙයක් ....දැන් ඉතින් මේ ටීචර් කියන විදියට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි සිද්ධ වෙන්නේ ....අසරණ මං ..." 

ඒ සොඳුරු නිදන කාමරය තුළ ආදරය සහ සෙනෙහස සමගින්  සතුට උතුරා යමින් තිබුණි

"තාරා....හෙට ඉඳන් මම ඔෆිස් යන්න ඕනෙ....දැන් සතියකට වැඩියිනෙ අරුන්ට ඔක්කොම බලාගන්න දීල...."පරාක්‍රම අනුත්තරා ළයට තුරුලු කොට ගෙන පැවසුවේය....අනුත්තරා නිහඬවම අසා උන්නාය. කෙසේ වුවද සාමාන්‍ය ජීවිතය ට මුහුණ දිය යුතුය...කුටුම්භය රැකගනිමින් ජීවිතය ගෙන යා යුතුය. ඉවසීම තව තවත් ප්‍රගුණ කරගත යුතුය....

.

"මං දෙයක් අහන්නද....?",අනුත්තරා හිස ඔසවා ඇසුවාය. පරාක්‍රම විමසිල්ලෙන් යුතුව ඇයගේ මුහුණ දෙස බැලීය.

.

"මං රස්සාවෙන් අයින් වෙන්නද...?" එය අනුත්තරා පෙර ජීවිතයේ කිසිදාක සිතූ දෙයක් නොවේ...ඇය සිය ස්වාධීනත්වය නගා ගත්තේ රැකියාව තුළිනි.අසේල හැර යද්දීත් අනුත්තරා අභිමානය රැකගෙන ඔලුව උස්සාගෙන උන්නේද එය නිසාය.

.

"ඇයි එක පාරටම.....?"පරාක්‍රම ඇසුවේය...

.

"මං ටීචින් කළාට...ඒක පන්තිකාමරයේ ඉඳන් කරන එකක් නෙවෙයි...අනික ග්‍රවුන්ඩ් ගානෙ දවස් ගණන් ගතවෙන එකක්...දැන් ඉතින් අවුරුදු ගාණක් ම වැඩ කලානෙ....මට හිතෙනව ...මගේ මහත්තයා මටයි දරුවන්ටයි  අඩුවක් නොකර ඉඳී කියල හැමදාම...ඉතින් මං ගෙදර ඉන්න ආසයි...." අනුත්තරා ට ඒ ඇයමද කියා සිතාගන්නට නොහැකි ය....තම සිතුවිලි වෙනස් වී ඇති අන්දම .....

.

"තාරා.....මං ඔයාගේ තීරණ වලට බලපෑම් කරන්නෙ නෑ කවදාවත්....ඔයාල තුන් දෙනාට මුලු ජීවිතේ ම සැපෙන් ඉන්න මගේ වත්කම් ඉහටත් උඩින් කියල ඔයා දන්නවනෙ....ඒත් ඔයා ගෙදරට කරගෙන සාම්ප්‍රදායික ගෑණියෙක් කරගන්න මට ඕන නෑ.....ඒකයි මම ඔයාට ඔයා වෙන්න දීල බලන් ඉන්නෙ...." පරාක්‍රම පැවසීය......

.

"හ්ම්ම් . ..මම ඒක ගැන හිතල බලන්නම්..."අනුත්තරා සෙමින් පැවසුවාය...

සිහින් සඳරැසක් ජනෙල් තිරමතින් එබී යළි සැඟවගත් මොහොතක...ආදරය උතුරා යන දෙහදක් යළි ඒකාත්මික වෙමින් පැවතිණ......

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කරුණම්මා ද සමගින් ඕකීඩ් උයන සකසන්නට අනුත්තරා බොහෝ සති අන්තයන් ගත කළාය. ගහක මලක කොලයක සතුටක් ලබන්නට වත් පුහුණු නොවූ ජීවිතය යළි පණගසාගෙන එන අන්දම මල් පැල වලටද දැනුණාසේය....එකින් එක පොහොට්ටු බරිත වන උඩවැඩියාවන් ආවරණ ගෘහයක් තනා එහි තැන්පත් කරන කටයුතු අනුත්තරා කලේ පුදුම ආසාවෙනි..කෙල්ලන් දෙදෙනා හරිහරියට අම්මාට උදව් කළහ.

.

දාඩිය වැකුණ වතින් මිදුලේ සිට ගෙට ආ අනුත්තරා කාමරයට වැදෙන විට ද පරාක්‍රම පරිගණකය ඉදිරිපසය....

.

"ඕක අස්සෙ ඉඳල පුස්කයි...චුට්ටක් එලියට බහින්න එන්නකො..."අනුත්තරා ස්නානයට පසු තෙත හිසකේ බිඳක් පරාක්‍රම ගේ මුහුණට ගසමින් පැවසුවාය. කම්මැලි සිනහවක් නගා ගනිමින් පුටු ඇන්දේ පිටුපසට හිස තබා ගත් පරාක්‍රම අනුත්තරා ගේ අතින් ඇද ඇකයේ හිඳුවා ගත්තේය.

.

"ඉවරද වැඩ ටික...."අනුත්තරා පරාක්‍රම ගේ හිස කේ අතර ඇඟිලි යවමින් හිස වැනුවාය...ඇත්තෙන්ම හිත පිරී ඇත්තේ තමා ආසා කරන හැම දෙයක්ම හිමි වූ සතුටිනි..

.

"ඔහොම කරන්න එපා ...මට නිදිමත එනවා..මේ ඩොකියුමන්ට් ටික අදම මේල් කරන්න ඕන තාරා....මට තේ එකක් ගේනවද...."පරාක්‍රම අනුත්තරා ගේ කොපුලකට හාදුවක් තවරමින් ඇසීය. ජීවිතය කෙතරම්ම කාර්‍යබහුල වුවත් මේ ගෙවන කාලය තුළ පරාක්‍රම සිය ආදරය නොසඟවා දරුවන්ට සහ ඇයට ලබා දෙන අපූරුව අනුත්තරා වින්දාය......

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"තාත්තී  ..... අනිද්දා ඉස්කෝලෙ පටන් ගන්නව...පේරන්ට්ස් ල එන්නෝන....දෙන්නම එන්න කීව ටීච...",ලොක්කී පැවසුවේ කෑම මේසයේදීය..මේ නිවස්නයට ආ පසු හතර දෙනා එකමේසයට හිඳ කෑම ගත යුතු බව පරාක්‍රම පැවසුවේ..පළමු දිනම ලොක්කී කෑම පිඟාන ගෙන රූපවාහිනිය ඉදිරියට යද්දීය....දරුවන් හුරුව උන්නේ එලෙසය.එය එසේ වන්නට තමා ද හේතු කාරණා වූ බව අනුත්තරා දැන උන්නාය.....නමුත් මේ සියල්ල වෙනස් වන කාලයයි.....

.

"කීයටද පුතේ  ."පරාක්‍රම ඇසුවේය...

"නවයට .." අනුත්තරා පරාක්‍රම දෙස බැලුවේ ඔහුට අත්‍යාවශ්‍ය ගමන් කීපයක් ඇති බව දන්නා හෙයිනි....

.

"මං යන්නම්... ඔයාට මීටින් වගයක් නේද.." අනුත්තරා සෙමින් ඇසුවාය...

.

"පිස්සුද   .. ..ඒක හවසට දාගන්න පුළුවන් ...තාරා අමතක කරන්න එපා මේකයි එක....."පරාක්‍රම අනුත්තරා ට තදින් පැවසීය.

.

"හරි පුතේ අම්මයි මායි එනවා...."ලොක්කීගේ මුහුණ උතුරාගියේ මල් සිනාවකි......

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


කෙල්ලන් දෙදෙනා පාසල් වෑන් රථයේ යවා පරාක්‍රම ත් අනුත්තරා ත් පාසලට යන්නට සූදානම් වූයේ කඩිනමිනි. සුදු පැහැ අත්දිග කමිසයට කලු කලිසම ඇඳ ටයි පටයක් පැළඳි පරාක්‍රම වෙතින් දිස් වූ කඩවසම් පෙනුම ඔහුගේ සැබෑ වයස පවා සඟවන සුලු විය.

.

"බය වෙන්න එපා නෝනෙ....හස්බන්ඩ් හැන්ඩියා තමා...ඒ වුනාට මං ඇහැක් ඇරල ඔය එක ටීච කෙනෙක් , අම්මෙක් දිහා බලන්නෙ නෑ නෑමයි..."කණ්ණාඩිය තුළින් තමා දෙස බලාඉන්නා අනුත්තරා දෙස බලමින් පරාක්‍රම පැවසූවේ හිස පීරමිනි....

.

"වැඩේමයි...වෙන නැත්නම්..." අනුත්තරා දිව අදිමින් කීවාය....

.

"වෙන උන්නට ඔය ආඩම්බරකාර ටීචත් මගෙ ගාව නෙ නැවතුණේ....."පරාක්‍රම තමා වෙතට පැමිණි අනුත්තරා සිය ළයට තදකොට ගනිමින් පැවසීය....

.

"ඇඳුම් ටික පොඩි වෙනව ...ආයෙ මුල ඉඳන් අයන් කරන්න වෙන්නෙ..."අනුත්තරා ඔහුගෙන් මෑත්වූයේ එසේ කියමිනි....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

පාසල් ප්‍රධාන ශාලාවට ඇතුල් වන මොහොතේ පැමිණ උන් සියලු දෙනාගේ ඇස් පරාක්‍රම වෙත යොමු වනු දැක අනුත්තරා ට මඳ චකිතයක් ඇතිවිය...පරාක්‍රම නෙත් කොනින් ඇය දෙස බලා යාන්තමින් අත අල්ලාගත්තේය. පරාක්‍රම යනු වචනයේ පරිසමාප්තියෙන්ම කඩවසම් අයෙක් බව කීමට අලුතින් වචන නුවුමනා වූ කල..අනුත්තරා පරාක්‍රම ගේ පසෙකින් ඉඳගත්තේ සියුම් ආඩම්බරයක් ද ඇතිවය.

.

ප්‍රධාන ශාලාවේ රැස්වීම අවසන පන්තිකාමර වලට යායුතු වූ අතර...පළමුව පොඩ්ඩීගේද දෙවනුව ලොක්කීගේද පන්ති වලට යන්නට කාලය ලැබිණ..

.

"තාත්තී..."පරාක්‍රම දුටු විගස පොඩ්ඩීට කෑගැසුණේ පන්තියේ ඉන්නා බවත් අමතක වෙමිනි .පරාක්‍රම හිනැහෙමින් දෙතොලට ඇඟිල්ලක් තබා ඇයට ශ්...ගෑවේ සියල්ලන්ම ඔහු දෙස බලා උන් හෙයිනි.ගත වූ අවුරුදු ගණනටම පියා නොමැතිව මව පමණක් ආ දෙමාපිය රැස්වීම් වලදී පොඩ්ඩී සමහර දරුවන්ගේ පියවරුන් දෙස බලා උන් අන්දම අනුත්තරා ට මතකය.

.

ලොක්කීගේ පන්තියේ රැස්වීම අවසන දෙමවුපියන් පිටව යද්දී අනුත්තරා සහ පරාක්‍රම මඳකට නැවතුණේ ගුරුතුමිය ගේ අභිනයෙන් කියූ සලකුණෙනි.

.

"මට හරිම සන්තෝසයි ....ඔය දෙන්නා පැමිණීම ගැන....මං සිදුවුණ හැම දේම ගැන උන්නේ කල්පනාවෙන්...මට ලොකු බයක් තිබුණා සඳූපා ගේ හැසිරීම් රටාව ගැන...එයා තාත්තා ගේ වෙන්වීම වුණ දා ඉඳන් මට හැමදේම කිව්වා...ඒ දරුවා මිසිස් අනුත්තරා ට තිබ්බ ආදරේ නිසාම එයාගේ මානසිකත්වය ඔයාට හැංගුවා...නමුත් මට කීවා..ඒක වටිනවා...අද කාලේ වෙන දේවල් බැලුවම නව යොවුන් වියෙ ඉන්න මේ දරුවො ජීවිතවලට මොකක් කරගනීද කියල අපි ඇහැගහගෙන ඉන්නම ඕනෙ...." 

අනුත්තරා මේසයට යටින් වූ ඇයගේ අත්දෙක අඹරාගත්තේ වේදනාවෙනි...පරාක්‍රම සෙමින් ඇයගේ අත අල්ලාගත්තේය.අම්මා කෙනෙකුගේ වේදනාව අහස තරම්ම උසය.

"ඔයාලා දෙන්නා විවාහ වෙන බව සඳූපා මට ඇවිල්ල කීවේ පුදුම සතුටකින් .එයා අම්මටත් වඩා මේ තාත්තා ගැන මා එක්ක කියෙව්වා හරියට. දැන් මට තේරෙනවා සඳූපා ගේ සම්පූර්ණ චර්‍යාව යථා තත්වයට පත්කරන්න මේ තාත්තා හේතුවුන බව....ඇත්තෙන්ම මට සතුටුයි...."

.

අනුත්තරා සහ පරාක්‍රම පාසලෙන් පිටව ආවේ දරුවන්ද සමගිනි.වෑන් රථයට පණිවුඩයක් යවා දරුවන්ද සමග දිවා ආහාරය ගන්නට අවන්හලකට ගිය ඔවුන් නිවෙසට එන තුරුත් කෙල්ලන්ගේ තොරතෝංචියක් නැති කතාබහට හූමිටි තියන්නට පරාක්‍රම ට සිදුවිය.

.

"තිශූකා කියනව අපේ තාත්තා හැන්ඩ්සම්ලු....ඇක්ටර් කෙනෙක් වගේ ලු..."පරාක්‍රම අනුත්තරා දෙස බලා ශර්ට් කොලරය එසවීය.

.

"අක්ක බබා තිශූකා කණ්ණාඩි දාල උන්නෙ නෑ නේද අද...." අනුත්තරා සිනහසෙමින් ඇසුවාය....

.

"ඉරිසියාකාරි...."පරාක්‍රම ඇයට සෙමින් පහරක් ගැසීය....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නිවෙසට පැමිණි පසු ඇඳුම් මාරු කරගත් පරාක්‍රම අනුත්තරා ගේ අතින් ඇදගෙනම සයනයට වැටුණේ....

.

"තාත්තෙක් වෙන එක මෙච්චර අමාරුයි කියල දැන්නෙ තේරෙන්නෙ...."කියමිනි....අනුත්තරා දෑතින්ම මුව වසාගෙන සිනහසුනාය.

.

"මං කීවෙ තාත්තෙක් ගෙ යුතුකම් වගකීම් ගැන බං...."පරාක්‍රම අනුත්තරා ගේ සිනහවේ අර්ථය වටහාගෙනය. 

"නැතුව ඉතින් මේ දැන් වුණත් මට තාත්තෙක් වෙන්න අදාල වැඩ කටයුතු නම් බැරි නෑ....",පරාක්‍රම මහ හඬින් හිනැහුණේය.

.

"අනේ මේ...."අනුත්තරා දනිපනි ගා නැගී උන්නාය.....

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ජීවිතය යනු අවිනිශ්චිත අවස්ථා සමුදායක එකතුවකි....සතුට කෙතරම් අතළඟ උනත් දුක ජීවිතය ට එන්නේ අහම්බයන් ලෙසය.

.

"අනේ නංගී...අම්මා...."කාංචනා අක්කා ගේ හැඬුම් මුසු ඇමතුම ආවේ හැන්දෑවේය.මඳකලක් අසනීපයෙන් උන්නද අම්මා එතරම්ම දුර්වලව නොඋන්නාය.එහෙත් හදිසියේ ආ හෘදයාබාධය ඇය ගේ ජීවිතය නිමාව වෙත ගෙන ගොස් ඇත.

.

"අනේ අක්කේ...."අනුත්තරාට මහ හඬින් හැඬුණි...හැදූ දරුවන් දෙදෙනාගෙන්ම හිත් සැනසීමක් නොලද ඒ අම්මා ජීවිතය නිමා කොට යන්නට ගොසිනි.මීට දින කිහිපයකට පෙර ඇය බලන්නට පරාක්‍රම සමග ගිය දිනයේද අම්මා පරාක්‍රම ගේ අත්දෙක අල්ලාගෙන බොහෝ දේ කියා හඬා වැටුණාය...

.

"මේ වගේ රත්තරන් කෙල්ලෙක් ලබන්න පින තිබ්බට අපේ එකාට ඒ පින තියාගන්න බැරිඋනා පුතේ .දැන් පිටරටක ගිහින් නොවිඳිනා දුක් විඳිනව. කොහෙද යන ජරා ගෑනියෙක් ට අහුවෙලා හැමදෙම නැතිකරන්...."පරාක්‍රම නිහඬවම අසා උන්නේය...

.

"අනුත්තරා මට දුවෙක් මිසක් ලේලියෙක් උනේ නෑ පුතේ ....මගෙ කෙල්ලව රජෙක් වගේ මහත්තයෙක් ට තමා හිමිවෙන්න ඕන....තෙරුවන් සරණයි දෙන්නටම..."එන්නට මොහොතකට පෙර දෙන්නාගේම අත් අල්ලාගනිමින් ඇය පැවසූ හැටිද අනුත්තරා ට සිහිවිය....

.

"අපි යං තාරා....ගිහින් එතන වැඩ ටික බලල එමු...දරුවො කරුණම්මා එක්ක උන්නාවෙ..."පරාක්‍රම වහ වහා සූදානම් වූයේ අනුත්තරා ටද ඉක්මනින් සූදානම් වෙන ලෙස පවසමිනි.....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼



No comments:

Post a Comment