Saturday, December 12, 2020

තිස්වෙනි කොටස (මගේ ප්‍රේමය ඉසියුම්)

 




අනුත්තරා පරාක්‍රම සමග කාංචනා අක්කාගේ මහගෙදර ට යන විටත් අම්මාගේ මෘත ශරීරය රෝහලෙන් නිදහස් කොටගෙන නොතිබිණ...

.

"මට මේව කරගන්න තේරෙන්නෑ නංගියෙ...අනේ මං තනිවුනා...."කාංචනා අක්කා අනුත්තරා බදාගෙන හඬා වැටුණාය...

.

"තාරා ..මම අර මහප්පා එක්ක ගිහින් බොඩි එක රිලීස් කරන් මල් ශාලාවට බාර දීලා එන වැඩ කරන්නම්...ඔයා මෙහෙ බලාගන්නවද...?" මඳක් වේලා ගිය පසු පරාක්‍රම අනුත්තරා පසෙකට කරගෙන ඇසුවේය. අනුත්තරා හිස වනා අනුමැතිය දුන්නාය.පරාක්‍රම පිටව ගිය පසු අනුත්තරා කාංචනා අක්කාට තේ සාදා දෙන්නට මුලුතැන්ගේ වෙතට ගියාය....

.

නවමු මනාලියක වී මේ මහ ගෙදරට පැමිණි මුල් කාලය අනුත්තරා ට සිහිවිය. ඒ කාලයේ අසේලගේ අම්මා තමන්ට සැලකුවේ නුහුරටමය.ඒ තමා දායාද කිසිවක් නොගෙන අසේල සමග ආ හෙයිනි... ඇයගේ මුවින් විටින් විට ආ ඇනුම්පද සමග රිදුණු සිතැතිව තමා මේ මුලුතැන්ගේ තුළට වී හැඬූ දවස් අපමණය.....

.

මං මේ වෙලාවෙ මේ මොනවද හිතන්නෙ...අනවශ්‍ය හැඟීම් වලින් හිත පිරෙන්නට නොදී අනුත්තරා යළි පියවි ලොවට ආවාය.අක්කා ට තේ හදාදී ගෙදර අස්පස් කල යුත්තේ කෙසේදැයි අනුත්තරා මඳක් සිතුවාය.

.

අඩුම තරමේ සාලය හෝ අස් කල යුතුය. දේහය තබන්නට ඉඩක් සකසා ගත යුතුය.අනුත්තරා තවත් කීප දෙනෙක් සමගින් ඒ කටයුතු ඉටු කරන විට රාත්‍රී දහයද පසුවිය.පරාක්‍රම නිවෙසට ආවේ ඒ මොහොතේය..

.

"බොඩි එක ගේන්න හෙට උදේ වෙයි තාරා..අපි ගෙදර ගිහින් ටිකක් ඉඳල එමු උදෙන්ම..."පරාක්‍රම අනුත්තරා වෙත පැමිණ පැවසුවේය.කාංචනා අක්කාගෙන් සමුගත් ඔවුන් ආපසු නිවෙසට එන අතර පරාක්‍රම මාවත අයිනේ වාහනය මඳක් නැවතීය.

.

"ඇයි ...?"අනුත්තරා විමසුම් ඇසින් බැලුවාය.

.

"මං අසේලට කෝල් කලා තාරා...මොක උනත් ඒ මේ අම්මගෙ පුතානෙ...මලගෙදර දැනුම් දෙන්න ඕනෙනෙ....අපි ට එයා අදාල නොවුණට..."පරාක්‍රම පැවසීය...අනුත්තරා නිහඬවම ඔහු දෙස බලා උන්නාය.හීන් තිගැස්මක් නොවුණා නොවේ.

.

" මිනිහ ඒවි...දවස් තුනක් හතරක් අපිට ඒ නිසා මලගෙදර අවසන් කටයුතු කල්දාගන්න වෙනව...."අනුත්තරා නිහඬවම අසා උන්නාය.

.

"ඔයා කවුද කියල කීවද..."අනුත්තරා අවසානයේ ඇසුවාය....පරාක්‍රම ඇය දෙස බැලුවේ මඳ සිනහවක් මුව රඳවාගෙනය....

.

"මෑන් මගෙන් ඇහුව..මං කීවා ඉතින් ...ඒ ගැන ඉතින් ඉන් පස්සෙ කතා කලේ නෑ...කොහොමත් මිනිහට ආරංචි වෙලා ඇති අපි බැන්ද බව...ඕක අපි හංගලා නෑනෙ අම්මා අක්කාගෙන් ඉතින් ..."පරාක්‍රම මේ සා ඉවසුමෙන් කතා කරන අන්දම අනුත්තරා ට පුදුම සහගත විය.

.

" ඒ අම්මට ඔය දරුවන්ගෙන් හිතට කවදාවත් නිදහසක් ලැබුණෙ නෑ...අක්කා කසාද බැන්දෙ නෑ...අසේල කල කී දේවල් එක්ක අම්මා හිතෙන් දුර්වල වෙන්න ඇති....අනෙක අර ගෑණු කෙනා දේපල ලියාගන්න ඒ දවස් වල අම්මා එක්ක රංඩු කලා කියලත් අක්කා කීවා ..." අනුත්තරා සුසුමක් හෙලමින් පැවසුවාය.පරාක්‍රම අනුත්තරා ගේ අත සෙමින් පිරිමැද ඇයව සන්සුන් කරවීය.

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කාංචනා අක්කා පියවි සිහියක නොවුන් හෙයින් සියලු වැඩ කටයුතු අනුත්තරා සොයාබලා කලේ අම්මාගේ වැඩිමහල් සොහොයුරාගේ පවුලේ අය සමගිනි. වාසනාවකට මෙන් කිසිවෙක් අහිතකට වචනයක් හෝ අනුත්තරා ට නොකියූවේ හැම කෙනාම වූ දේ දන්නා හෙයිනි.

නිවසේ සියල්ලන්ම එක්වරම කලබල වූයේ ගේට්ටුව අසල නැවැත්වූ වාහනයකින් බට අසේල දැකීමෙනි.අසේල උන්මත්තක විලාශයෙන් සිය මවගේ දේහය වෙත ආවේය.කාන්චනා අක්කා මහ හඬින් යලි හඬන්නට වූවාය. අසේලගේ ඇස් වල ලොකු කඳුළු ගුලි දෙකක් උතුරා පිටාර යමින් තිබිණ.අනුත්තරා වහා පිටුපස දොරෙන් මිදුලට බැස්සාය.අසේලගේ නෙතට හසුවීමට ඇයට අවශ්‍යතාවයක් නොවීය.පිටුපස මිදුලට පෙනෙන ගෙදර ඉදිරිපස දෙස නෙත් යොමා ඉඳිත්දී අනුත්තරා දුටුවේ අසේලගේ අතින් අල්ලාගෙන ගොස් පුටුවක ඉන්දවන පරාක්‍රම ය.අනුත්තරා ඉහලට ගත් හුස්ම පහලට නොදා බලා උන්නාය.

.

"මම ඕනනම් ඕකගෙ අතපය කඩල හරි ඔයා ළඟට ගෙනල්ල දෙන්නම්...ඒත් හිත ඔයා ළඟ නැති එකෙක් එහෙම ගෙනල්ල වැඩක් නෑ කියල මං දන්නව..."අතීතයේ දිනක තමා පරාක්‍රම ගේ කාර්‍යාලයේ ඉකිගසමින් හැඬූදවසේ ඔහු අසේලව මරන්නට තරම් තරහකින් කියූ අන්දම අනුත්තරා ට සිහිවිය.පරාක්‍රම යනු නිවී ගිය ගිනිකන්දක් බඳු අයෙකි. කෙතරම් නිවුනද ඇවිලුණ විට කෙතෙක් දරුණුදැයි අනුත්තරා දැන උන්නේ රාජකාරිමය කටයුතු වලදී පරාක්‍රම හැසිරෙන ඇතැම් අවස්ථා වලය..

.

සාක්කුවේ වූ ජංගමය කම්පනය වද්දී අනුත්තරා වහා එය අතට ගත්තාය.

"කොහෙද මැණිකෙ හැංගිල ඉන්නෙ..."පරාක්‍රමගේ ආදරණීය හඬ ගලා එයි.

"මං මේ පිටිපස්සෙ මිදුලෙ ..ඇයි "අනුත්තරා ඇසුවාය..

.

"මේ මනුස්සයට කන්න බොන්න දෙන්න ලෑස්ති කරන්න...මේ වෙලාවෙ අනවශ්‍ය කිසිම දෙයක් ඔලුවට ගන්න එපා තාරා...අපි මනුස්සකම විතරක් හිතට ගම්මු...මේ ටික කලා..හෙට අපි ගියා...එච්චරයි නෙ..."පරාක්‍රමගේ වදන් වලින් හිත නිවීගියේය..දරුවන් මෙතන නොසිටියේ වෙලාවටය.කිසිම විටෙක අසේලට යළි දරුවන් මුණ ගැසිය යුතු නැතැයි අනුත්තරා තරයේම සිතා උන්නාය.

සුසාන භූමියේ ආදාහනාගාරයේ චිමිනියේ දුම් රොටු ඉහළ නැගෙන අන්දම අනුත්තරා පරාක්‍රම අසල හිඳ හිස් ඇසින් බලා උන්නාය.අප මෙලොවට ගෙන එන ජීවිතය හැරයන බව නලලත ලියාගෙනම පැමිණෙන්නෙමු...ඉදින් කාලය අවසන් වූ දා අප සියල්ල හැර යායුතුය.එපමණකි...

.

"නංගියෙ...ගෙදර ගිහින් බත් ටිකක් කාලම යං...අම්මා වෙනුවෙන් ...",කාංචනා අක්කා අනුත්තරා ගේ අත්දෙකම අල්ලාගනිමින් පැවසූ විට අනුත්තරා පරාක්‍රම දෙස බැලුවේ කිසිවක් කියාගත නොහැකිවය.ඔහු හිස සලා යමු කීවිට අනුත්තරා ඔහු පසුපසින් ඇදුණාය.

.

සියලු කටයුතු හමාර වී සියල්ලන්ගෙන්ම සමුගත් අනුත්තරා පරාක්‍රම සමග වාහනයට නගින්නට එනවිට අසේල මුහුණට හමුවිය.අනුත්තරා බිම බලාගෙනම වාහනයට නැග්ගාය.පරාක්‍රම අසේලගේ උරහිසට අතක් තබාගෙන නැවතුණේය..

.

"මචං ආපහු යන්නෙ කවදද...."පරාක්‍රම සාමාන්‍ය ස්වරයෙන් ඇසුවේය.අසේල සුසුමක් හෙලා බිම බලාගෙන පිළිතුරු දුන්නේය.

.

"අක්කා දාල ආපහු යන්නෙ කොහොමද පරාක්‍රම, මට දැනුයි බැඳීම් වල වටිනාකම තේරෙන්නෙ.....අම්මා අපිට කොච්චර ආදරේ කළාද....මට ඒක අම්මා යනකල්ම තේරුනෙ නෑ..ඒ වගේම අක්කවත් මට නැතිවෙයි....මෙහෙම ගියොත්....මම ඒ නිසා ඉන්නව .."අසේල ගේ හඬේ වූයේ පරාජිතම ස්වරයකි.

.

"ඒක හොඳයි...උදව්වක් ඕනනම් කියපන් මචං ...වෙච්ච දේවල් ඔළුවෙ තියාගෙන ඉන්න ඕන්නැ අපි...." පරාක්‍රම විටින් විට වාහනය දෙස බලමින්ම පැවසිය..

.

"දුවල දෙන්න සතුටින් ඇති නේද මචං....අන්තිමට දරුවන්ට තාත්තා කෙනෙක් ලැබුණ...මම මහ කාලකණ්ණි මිනිහෙක්...පුලුවන් නම් මට වෙලාවක දරුවො දෙන්න පෙන්නපන්.... මං ආයෙ ඔය ජීවිත අස්සට එන්නෙ නෑ...කිසිම වෙලාවක..." අසේල බැගෑපත් ලෙසින් පැවසුවේ අනුත්තරා අවසන් කටයුතු වලට හෝ දරුවන් ගෙන නොආ නිසාවෙන් යයි පරාක්‍රම ට සිතුණි...

.

"අපි එහෙනම් යනව....ඕනවුනොත් කෝල් කරපන්..."පරාක්‍රම අසේලගේ උරහිසට තට්ටු කර වාහනයට ගොඩ වූයේය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"අපි බීච් යමුද යනගමන්...."පරාක්‍රම වාහනය මඳදුරක් පදවාගෙන යන අතර අනුත්තරා ගෙන් ඇසීය...අනුත්තරා හිස වනා සිනහසුනාය.ඇත්තෙන්ම අනුත්තරා උන්නේ වියවුලෙනි.පරාක්‍රම මේ තරම් අසේල හා කුමක් කතාකලේද යන්න ඇයට ගැටලුවක් විය....

.

සයුරු රළ පෙරළෙන තීරය අබියස අනුත්තරා උන්නේ පරාක්‍රම ගේ ළයට තුරුලු වෙමිනි.පිටුපසින් සිට ඇයව සිය ළයට තුරුලු කොට ගත් පරාක්‍රම අනුත්තරා ගේ ගෙල මුලට මුහුණ හොවාගත්තේය.

.

"තාරා ....ඇයි අවුලෙන්..."පරාක්‍රම ඇසීය....

.

"මොනවද අර තරම් කතාකලෙ....අවශ්‍ය නෑනෙ...."අනුත්තරාගේ ස්වරයට තරහ මුසු ව ඇත.පරාක්‍රම අනුත්තරා සිය දෙසට හරවාගත්තේය...

" මං මනුස්සයෙක් කෙල්ලෙ...අමනුස්සයෙක් නෙවේ....ඒ වගෙ වෙලාවක මිනිහෙක් එක්ක ගණුදෙනු කරන්න ඕන ඒ විදියට..එහෙමයි කියල ආයෙ මිනිහාට මගේ ගෑනිවත් මගෙ දරුවො දෙන්නවත් ළං කරන්න මං වෙස්සන්තර නෙවේ...තේරුණාද...."පරාක්‍රම ගේ හඬින් අනුත්තරා සිය සියලුම කුකුස් හැඟීම් නිවා ගත්තාය....

.

"අපි යමුද...මලගෙයක් නිසා මට මගෙ හාමිනේ ගාව හරියකට තුරුල් වෙන්න වත් හම්බුණෙ නෑ දවස් ගාණකින් .....පොඩි දෙන්නත් බලන් ඇති...."අනුත්තරාගේ නළලත සිඹිමින් පරාක්‍රම පැවසීය....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


ආදරය ජීවිතය ඉවසුම් සහගත කරන්නේද නොඉවසුම් සහගත කරන්නේද එක හා සමාන පරිද්දෙනි...අනුත්තරා පරාක්‍රම හා ගෙවී යන ජීවිතය විඳිමින් උන්නාය.

ලොක්කී දැන් අට වසරේය. වයස දහතුනකි.පොඩ්ඩී ද හතර වසරේය. වාසනාවකට මෙන් කෙල්ලන් දෙදෙනා කිසිම කරදරයක් නොකර ඉගනීමේ කටයුතු වල යෙදුනහ.අනුත්තරා හට එය සතුටක්ම විය.පරාක්‍රම කෙතරම් කෙල්ලන්ට ආදරය වුවත් ඉගනීම් කටයුතු සම්බන්ධව මඳක් තදින් උන්නේය.කෙල්ලන් දෙන්නා පරාක්‍රම ට ආදරය සේම කීකරුද වූහ.

.

අනුත්තරා ගෙන් අවසරය ඉතා අසීරුවෙන් ලබාගෙන අසේලට කෙල්ලන් දෙදෙනා වරක් පෙන්නුවද පොඩ්ඩී ඔහුගේ අසලකටවත් නොගොස් පරාක්‍රම ගේ අස්සට වී උන්නාය.ලොක්කී ඊට වඩා දැනුමැති හෙයින් වචන කිහිපයක් පමණක් කතාකොට ආපසු ආවාය.අසේල තත්වය වටහා ගන්නට ඇත.මේ ඕනෑවටත් වඩා වැඩිය.කෙල්ලන් තම මුහුණ වත් නොබලනු ඇතැයි අසේල සිතුවද ලොක්කී ඊට වඩා පරිණත හැසිරීමක් පෙන්නුවාය.නමුත් නැවත ඔවුන් මුණ ගැසිය යුතු නොවේයැයි පරාක්‍රම එදින තීරණය කලේය.

අනුත්තරා ගේ මුහුණ හොඳටම හොඳ නැති බව පරාක්‍රම ඒ දවස පුරා දුටුවේය.ඇයගේ පසින් එය සාධාරණය.නමුත් මානුෂිකත්වය දරුවන්ට කා වැද්දවිය යුතු බව පරාක්‍රම අත්දැකීමෙන්ම වටහා ගෙන උන්නේය...

.

"මදැයි ඉතින් පිප්පුවා..ඔහොම පුප්පලා පිපිරෙයි...."නිදන යහනේදීත් නෝක්කඩු බැල්මෙන් ඔහු දෙස බලා ඉන්නා අනුත්තරා සිය තුරුළට ඇදගනිමින් පරාක්‍රම පැවසුවේය....

.

"තාරා...ඒ මනුස්සකම ට කල දෙයක්...කවදහරි කෙල්ලො ලොකුවෙලා අපිට කරන්න තිබ්බ චෝදනාවක් නොවෙන්නයි මම ඒක කලේ ...ඒක හිතේ තියන් ඉන්න එපා...තේරුණාද.."අනුත්තරා සුසුමකින් ඒ හැඟීම් ඉවතලූවේ එවදන් අසමිනි.

.

"මම පේපර්ස් බාරදුන්නා අද  .."අනුත්තරා කතාව වෙනස් මගකට ගනිමින් පැවසුවාය. පෙර දවස් කීපයක් තිස්සේ කතාබහ කලේ අනුත්තරා හට රැකියාවෙන් ඉවත්වීමට තිබූ අවශ්‍යතාවයයි.අනුත්තරා ගේ හේතු දැක්වීම් මත පරාක්‍රම අවසානයේදී ඇයගේ කැමැත්තට ඉඩ දුන්නේය.

.

"ඔයාට හිතුණොත් කම්මැලියි ගෙදරම ඉන්න කියල මගෙ ඔෆිස් එකේ ජොබ් එකක් දෙන්නම්කො..."පරාක්‍රම එදින පැවසුවේ හිනැහෙමිනි.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අනුත්තරා ගේ උඩවැඩියා මල් යාය මල් දරමින් තිබුණේ කිසිදා නොවූවිරූ ලෙසිනි. ආදරය , කරුණාව,සැලකිල්ල ජීවිතයට එන දින ගසක් වුවද මල් දරයි.එය සොබාදහමේ රීතියකි.

.

"අම්මට සිරි මල් කුමාරිගෙ මල් යාය..."රංගී අනුත්තරා ගේ උරහිස බදාගෙන කෑගැසුවේ විශ්මයෙනි. ඇත්තෙන්ම දුටුවන් සිත් වසඟ කරවන එකතුවක් ඇය වෙත තිබිණ..

පරාක්‍රම සමග යන හැම ගමනකදීම කොහෙන් හෝ දකින උඩවැඩියාවක් කන්කෙඳිරිගා හෝ රැගෙන ඒම ඇය කල දෙයකි.විටෙක නිහඬවමද විටෙක නෝක්කඩු කියමින්ද මල් පැල අරන් දෙන පරාක්‍රම විටෙක ඇය පුදුම කරවමින් මල් පැල රැගෙන විත් දුන්නේය.

.

"මේ ඒයි....අපි මේක හෝම් බිස්නස් එකකට හරවමුකො..."රංගී එක්වරම අනුත්තරා දෙස බලමින් ඇසුවාය.අනුත්තරා දෑස් විසල් කොට ඇය දෙස බැලුවාය.

.

"ඔන්ලයින් පුළුවන් ...ලස්සන පොට්ස් වලට සෙට් කරල...."රංගී උඩ බලාගෙන කල්පනා කරමින් පැවසුවාය.අනුත්තරා මල් යාය සිසාරා ඇස් යවමින් ඒ ගැන සිතුවාය. පරාක්‍රම එතැනට එන විටත් රංගී ඇයගේ ප්ලෑන විස්තර කරමින් උන්නාය.

.

"මොකද ඩබල මාවයි විදුරයවයි ගෙදරින් පන්නල දාන්නද ඔය ඉරි කොටු ගගහ කල්පනා කරන්නෙ..."අනුත්තරාගේ කරවටා අතක් යවමින් ඇය අසල හිඳගත් පරාක්‍රම ඇසුවේ රංගීගෙනි.

.

රංගී සිය අදහස පරාක්‍රම හමුවේ දිගහැරියාය.

"උඹ හොඳ බිස්නස් ප්‍රමෝශන් ෆීල්ඩ් එකට...අපරාදෙ මොන්ටිසෝරි ටීච කෙනෙක් උනේ..."පරාක්‍රම සිනාසෙමින් පැවසීය.

.

"මං බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් තිබ්බ කෙල්ලෙක් හලෝ...කොහොමත්...අපෙ විදුරයා නිසයි මට ජොබ් එකක් කරන්න නොලැබුණෙ...."රංගි පැවසුවාය..

"ඔය කරන ජොබ් එක මදෑ...ඕකාවත් ඔය මොන්ටිසෝරියට දාල උගන්නපන්...එච්චරකට බූරු වැඩ කරන්නෙ වෙලාවකට..."පරාක්‍රම මහ හඬින් හිනැහුණේය.

.

"තාරා ඒ අදහස නම් නරකම නෑ ..ඔයා හිතල බලන්න.ඔය අගසව් ඉන්නෙ හෙල්ප් කරන්න. "පරාක්‍රම පැවසීය.අනුත්තරා සිය හිස ඒ උරයේ හොවාගෙන නිහඬවම උන්නාය.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

රංගීගේ අනුදැනුම හා ව්‍යාපාර ඉඟි ඔස්සේ ඇරඹුණ උඩවැඩියා මල් ව්‍යාපාරය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වූයේ හිතුවාට වඩා වේගයෙනි.අනුත්තරා අන්තර්ජාලය ට ඔබ්බෙන් ව්‍යාපාර කටයුතු ඇරඹීමට අකමැති වූයේ එය සිය නිදහසට සහ පවුල් ජීවිතය ට බලපානු ඇතැයි සිතූ නිසාය.

.

"තාරා අපි බැංකොක් යමු ලබන මාසෙ දිහාට.එහේ මල් තියනවනෙ ..ඔයාට ඕඩර්ස් ටිකක් දාලම එමු."පරාක්‍රම පැවසීය.අනුත්තරා ගේ ඇස් බලාපොරොත්තු අහුරකින් දිලිසුණි.

.

"මේකට ඇවිදින්න තියේ නම්...බැබලෙන හැටි.."අනුත්‍තරාගේ නහය මිරිකමින් පරාක්‍රම  පැවසුවේය . ආදරය බොහෝ සොඳුරුව ජීවිතය පුරා පැතිර යමින් තිබිණ...පසුගිය වසර තුළ පරාක්‍රම ඇය සහ දරුවන් හැකි සැමවිටම සංචාරයන් සඳහා කැඳවාගෙන ගියේය.කෙතරම්ම කාර්‍යබහුල වුවත් පවුල එක යන මතය ඔහු හිත පුරා නොමැකී තිබුණි.

කණ්ණාඩිය ඉදිරියේ සිට කාර්‍යාලයට යන්නට සැරසෙන පරාක්‍රම දෙස අනුත්තරා බලා උන්නේ ඉමහත්ම ලොබිනි...මේ සා ප්‍රේමයක් මේ මිනිසා කෙරෙහි ඇතිවන්නට හේතුකාරණා කෙතරම්ම නම් තිබේද....

.

"ඔහොම බලන් ඉන්නෙ....හිතෙනව නම් උම්මා එකක් දුන්නට මම එපා කියන්නෑ ඉතින් ..."කණ්ණාඩියෙන් මුව උල් කොට ගනිමින් පරාක්‍රම කියයි..අනුත්තරා සෙමින් නැගිට ඔහු වෙත ගොස් බඳවටා අතයවා ඒ මුහුණ දෙස මඳක් බලා උන්නාය.

.

"ආදරෙයි මං මහ ගොඩක්..." ගෙල වටා එතුන දෑතින් පහත්වූ පරාක්‍රම ගේ නළලත මුදු හාදු කීපයක් තැවරුණි.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

No comments:

Post a Comment