Saturday, December 12, 2020

තිස් එක්වෙනි කොටස (මගේ ප්‍රේමය ඉසියුම්) අවසානය





 කාලය ගලා යෑම නැවැත්විය හැකි නම් එය නැවතිය යුත්තේ කිනම් දිනකදැයි අනුත්තරා සිතුවාය.පරාක්‍රම හමුවූ දා පටන් ගතවන හැම දිනකම ඔහු සිය අණසක තම ජීවිතය පුරා පැතිරෙව්වේ තමාටත් හොරෙන් මෙනි.අද ඔහු සිය ජීවිතයේ සහකරුය.මතක් වන මොහොතක කෝල සිනහාවක් මුවට ගෙනෙන තරම් හිතුවක්කාර දඟකාරකම් අදටද ඔහුගේ නිමක් නැති තරම් ය....

.

"අම්මා තාත්තාව සප්‍රයිස් කරන්න කේක් එකක් හදලා කෑම ගොඩාක් හදලා...."හැම  අවුරුද්දකම සේම මෙවරත් පොඩ්ඩීගේ කටින් රහස එළිනොවිය යුතුය. පරාක්‍රම ගේ හැම උපන්දිනයක්ම සප්‍රයිස් එකක් කරන්නට තැත් දැරූ මොහොතවල් කාබාසිනියා කලේ පොඩ්ඩීය.ඇයට කට වසා ගෙන ඉන්නටම බැරිතරම් ය.....අන්තිමේ උපන්දිනය දාට පෙරම පරාක්‍රම අනුත්තරා සහ ලොක්කීගේ සියලු උප්පරවැට්ටි දැනගෙනය.මෙවරද එය එසේ නොවන්නට ලොක්කී සමගින් අනුත්තරා ලොකු උත්සාහයක් ගත්තාය.

.

පරාක්‍රම සති තුනක් මෙ වර විදෙස් ගතව සිට පැමිණෙන්නේ හරියටම උපන්දිනය දාටය. ඉතින් ලෝකයේ සිදුවන ඕනෑම ලොකු දෙයක් දන්නා පරාක්‍රම ට සිය උපන්දිනය නම් කිසිම දාක මතක හිටින්නේ නැත. 

.

"ඉපදුණාට පස්සෙ ආයෙ ඕකෙ සිහිකරකර මතක තියාගන්න දෙයක් තියද ..."ඇතැම් විට පරාක්‍රම කාගේ හෝ උපන්දින උත්සවයකට ගොස් එන අතරමග කියා හිනැහෙයි.

නමුත් ..ඒ කෙසේ කීවද අනුත්තරා සාදන කේක් එක මෙන්ම කෑම වර්ග නම් පරාක්‍රම අගය කරමින් කයි....

.

"අපරාදෙ මැණිකෙ මං හොටෙල් වලින් අර මෙලෝ රහක් නැති තෙලුයි පිටියි කාපු අවුරුදු දහය...."ඇතැම් විටක පරාක්‍රම අනුත්තරා කෑමක් හදන මොහොතක ඇය අසල හිඳ කියවයි..... අනුත්තරා අසල රැඳෙමින් ඇයව අවුස්සන්නට තරම් පරාක්‍රම කැමති අන් යමක් නැතිතරම් ය.

පොඩ්ඩීද අක්කා සහ අම්මාගේ මෙවර නිහඬ බව දැක කට අමාරුවෙන් පරෙස්සම් කොටගෙන උන්නාය.පරාක්‍රම විදෙස් ගත නිසා මෙවර උපන්දින සැමරුමක් නැතැයි ඇය සිතුවා වන්නට ඇත.අනුත්තරා ද ලොක්කීද එය එසේම වන්නට හැර නිහඬව උන්නොය.

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"තාරා මම එයාපෝට් දැන්...මොනවද තව මෙහෙන් ඔයාලට ගේන්න ඕනෙ..."කටුනායකින් බට විගස පරාක්‍රම හැමදාම අසන පැනය සුපුරුදු ලෙසින්ම අසයි.කෙල්ලන් දෙදෙනාට චොක්ලට් තොගයක් ඔහු රැගෙන එන්නේ අනුත්තරා ගේ නොක්කාඩු මැදය. 

.

"අනේ මොකුත් එපා රන්....ගෙදර එන්නකො එහෙ මෙහෙ යන්න එපා ....මහන්සිනෙ...",අනුත්තරා පැවසුවාය.

.

"කොහෙ යන්නද කෙල්ලෙ...සති තුනක් මගෙ කෙල්ලො තුන්දෙනා ළඟ නැතුව මං උන්න අමාරුව දන්නෙ මමනෙ...."පරාක්‍රම පැවසුවේය.

.

පරාක්‍රම පැමිණි වාහනය පිටව ගිය පසු අනුත්තරා ඔහු වෙත ගියේ සිනාපිරි මුවෙනි...

.

"හැපි බර්ත්ඩේ රත්තරන් ..."ගෙල වටා දෝත යවා පරාක්‍රම ගේ කම්මුල් දෙකම සිප ගත් අනුත්තරා ආදරය පිරුණ ඇසින් ඔහුදෙස බලා උන්නාය.පරාක්‍රම ඇය දැඩිව වැලඳගෙන මඳක් වේලා උන්නේය.

.

"අද සප්‍රයිස් ඛන්නා නැද්ද....නැත්නම් මෙලහකට අම්මගෙ ප්ලෑන මට කියලනෙ  .මොකෝ පොරට අමතක වෙලාද අද....", පරාක්‍රම අනුත්තරා ගෙන් ඇසුවේ හිනැහෙමිනි..

"එයා එක්ක සප්‍රයිස් වැඩ බෑ...අපි මේ පාර ඉතින් නිහඬවම උන්නා..."අනුත්තරා පැවසුවාය...

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 

හවස් යාමයේ රංගී සහ විදුර පමණක් ඇරයුම් ලැබූ සුන්දර උපන්දින සාදයක් විය. අනුත්තරා සඟවා තිබූ අපුරුම කේක් එක රැගෙන ආවේ උයනෙහි තැබූ කුඩා මේස්‍යටය...අලංකාර ටිෂූ කොලයකින් වැසූ කේක් එක එතුවක් වේලා ලොක්කීවත් දැක්කේ නැත.අනුත්තරා එය සඟවාගෙන ම නිර්මාණය කළාය.

.

"ඔන්න මගෙ නෝනා සුපුරුදු ස්ප්‍රයිස් එක දෙන්න හදන්නෙ මේ පාරත්.."පරාක්‍රම විදුරට හිනැහෙමින් කීවේ රංගී සමග කේක් එක රැගෙන එන අනුත්තරා පෙන්වමිනි....

.

උයනේ කුඩා මේසයක් මත තැබූ කේක් එක වැසූ ටිෂූ කොළය ඉවත් කරන ලෙස අනුත්තරා පරාක්‍රම ට දෑසින් පැවසුවාය.පරාක්‍රම අසුනෙන් නැගීසිට කේක් එක වැසූ කොළය ඉවත් කළේද ඔහුගේ දෑස විසල් ව ගියේද එක් විටය......

.

"තාරා......", පරාක්‍රම ට කියාගන්නට හැකිවූයේ එපමණකි....

Happy birthday to be Dad

පරාක්‍රම අදහාගත නුහුණු ලෙස ඒ අකුරු පෙල දෙසත් අනුත්තරා දෙසත් යළි යළිත් බැලුවේය...අනුත්තරා ගේ ඇස් වල කඳුළු පිරී උතුරාගලා යමින් පැවතුණි....

.

" ඒ කියන්නෙ එයා ඇවිල්ලා....මගෙ කොල්ලා ඇවිල්ලා.." පරාක්‍රම අනුත්තරා දෝතට ඔසවා ගත්තේය.අනුත්තරා හඬමින්ම ඔහුගේ ගෙල මුල හිස හොවා ගත්තාය....

.

කෙල්ලන් දෙදෙනා කෑගසාගෙනම අම්මා සහ තාත්තා ගේ දෙපසින් එල්ලුණහ ..ඔවුන් දෙදෙනා සිදුවූ දෙය වටහා ගත්තේ රංගී කණට කොට කී පසුය. ඉදින් උතුරා යන හිනාවන් පිරි මොහොතක් එසේ ගෙවීගියේය....... විදුර අතවූ කැමරාවේ ඒ සියලු සොඳුරු මොහොතවල් එකිනෙක සටහන් විය.

.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"මට මේක හීනයක් වගේ තාරා.....ඔයා කවද්ද දැනගත්තෙ ..",පරාක්‍රම රාත්‍රීයේ උඩුමහලේ බැල්කනියට වී අනුත්තරා සිය දෙපා මත හිඳුවාගනිමින් ඇසීය....ඔහුගේ හඬ වෙවුලමින් තිබිණ....අනුත්තරා ඒ මුහුණ දෝතටම ගත්තාය..

.

"සැකයක් තිබුණා...ඕක කීවනම් ගිය වැඩේ හරියට කරනොගෙන දුවන් එනවනෙ...මම ටෙස්ට් එක කලේ ඊයෙ . .ඉතින් බර්ත්ඩේ සප්‍රයිස් ගිෆ්ට් එකටම දෙන්න කියල ඒ පැය ගාණත් ඉවසන් උන්නා....",අනුත්තරා පරාක්‍රම ගේ මුහුණ සිපිමින් පැවසුවාය....

.

"තාරා....මාව සම්පූර්ණ කළාට ඔයාට පින්....",පරාක්‍රම අනුත්තරා ළයට තුරුලු කොට ගනිමින් පැවසුවේය.... ඒ දෙහද එකම රිද්මයකට ගැසෙන යාමයේ අලුතින් ජීවය ලද ඒ ලේ බිඳුවද අලුතින්ම ජීවය ලබා පිබිදෙමින් තියෙන්නට ඇත.

🌼🌼🌼🌼🌼🌼🌼 නිමි 🌼🌼🌼🌼🌼🌼

.

පසුවදන 

ඉතින් ඉසියුම්ම වූ ඒ ආදරය එතකින් නිමියේයැයි මම නොකියමි.පරාක්‍රම ට පෙම් බඳින මමත් ඔබත් සිටිනා තුරු ආදරය අවසන් වන්නේද නැත.එහෙත් ...කතාවක් පටන් ගන්නා සඳ එයට අවසානයක් තිබිය යුතුමය.මේ එයට සුදුසුම තැන බව මම සිතමි.

.

ඉදින්....සයිබර් නවකතාවක් ජීවිතයට ලියන්න නොසිතූ මට දෙවනි කතාව ලෙස "මගේ ප්‍රේමය ඉසියුම් " ලියන්නට දිරි දුන්නේ ඔබය....පරාක්‍රම ට පෙම්බැඳි ඔබ අනුත්තරා ට ඉරිසියා වූයේද නැත.ඔබ යනු අන්න ඒ තරමටම සුන්දර කියවන්නන් රොත්තකි..

.

කතාව දමා මොහොතක් ගතවන්නට පෙර එක පිට එක එන කමෙන්ටු දහරේ නැහැවෙන මම වාහනය කිලෝ මීටර් තිහ හතලිහක් පදවා ගොස් රථගාලට දැමු සැනෙන් කියවන්නේ ඒ හිනා අහුරු ගොඩයි...දවසම මා ජීවයෙන් පුරවාලූයේ ඔබේ ඒ දඟකාර සිතුවිලි බව නොකියා කොහොමද.....

.

ඉතින් අහම්බයක් නොවූවද පරාක්‍රම සහ අනුත්තරා අප අතරම සුලු සුලු වෙනස්කම් සහිතව ඇතුවා වන්නට ඇත.එහෙයින් අපි පරාක්‍රම ගේ පෙම්වතියන් වී සදාකල් ආදරයම කරමු.....

.

අනේක වරක් තුති.....

යළි දු නිමිත්තක් ලද දිනක යළි ආදරණීයව පැමිණෙන තුරු විසිරි ගේ ආදරයද ඔබ ළඟම තබාගන්න......

ආදරෙයි

මීට

පරාක්‍රම 

අනුත්තරා සහ

විසිරි

❤❤❤

11 comments:

  1. 😀

    /* XXXII තිස් එක්වෙනි කොටස */

    XXXII = 32

    ReplyDelete
    Replies
    1. මේක මුළ සිටම තිබුණු නොගැලපීමක් බව දැන් දන්නවා
      නමුත් දැන් නම් ඒක කැපී පේනවා!

      Delete
    2. ඒකට හේතුව පෙරවදනට පලවෙනි අන්කය යෙදීමයි රසික

      Delete
    3. එය මම නිවැරදි කරන්නම්... done

      Delete
  2. Thanks a lot for a great work

    ReplyDelete
  3. හරිම ලස්සනයි,,,,
    තවත් මේ වගේම සොදුරු කතාවක් ලියන්න.....

    ReplyDelete