Thursday, August 5, 2021

01. ඔබ ආයෙමත් ඇවිදින් - පළමු කොටස

 


පල්ලියේ උදේ පහට ගීතිකා ගැයෙන හඬින් සුලෝචනා ඇහැරගත්තාය. කෙතරම් රාත්‍රී වන තුරු නිදිමරාගෙන වැඩ කලද උදේ පහට සුපුරුදු ගීතිකා හඬින් ඇහැරෙන්නට ඇය හුරුව උන්නාය. 


ඇඳේම සිට ඒ ගීතිකා හඬට මොහොතක් සවන් දුන් ඇය ඇඳෙන් නැගිට උන්නේ  ඇඳ රෙද්ද සකසා පොරෝනයද නවා කොට්ටය යටට කරමිනි.ලා රෝස පැහැගත් පොරෝනය වටා මල් ලියකම් මසා ඇත. ඊට මඳක් තද රෝස පැහැයෙන් සහ සුදු පැහැයෙන් ඉරි වැටී ගිය ඇඳ ඇතිරිල්ල ද එකදු ඉරක් නොමැති වන සේ සකසා තැබීමට සුලෝචනා යුහුසුලු වූවාය. කෙතරම් කාර්යබහුල දවසක් වුවද පිළිවෙලකට පටන් ගත්තාම අගේය. නැත්නම් මුලු දවසම කලබලයෙන් පැටලෙමින් වැඩ කරන්නට සිදුවෙයි.


නිවසේ සිට පල්ලියට මීටර් පන්සියයකට වඩා වැඩි වුවද ගීතිකා හඬ ඇසෙන්නේ මේ ලඟ ලඟම සේය. ඊට එක් හේතුවක් වන්නේ මේ වෙලාවට පාරේ අතොරක් නැතිව දුවන වාහන අඩුවීමය. නැත්නම් මේ වන විට නලාහඬින්ද කෑකොස්සන් ගැසීමෙන්ද මුලු මාවතම කලබලයෙන් පිරීගොසිනි. සුලෝචනා කාමරයේ ඇඳුම් වැටෙන් සිය තුවාය සහ ගෙදරට අඳින ගවුමද ගෙන කුඩා නාන කාමරයට වැදුනාය. අම්මා තවම නින්දේ විය යුතුය. උදෑසන නැගිටීම අම්මාගේ සෙම අවුස්සන්නක් හෙයින් සුලෝචනා අම්මාට උදෙන් නැගිටින්නට ඉඩ දෙන්නේම නැති තරම්ය.


මුහුණ කට සෝදා ඇඳුම් මාරුකර මුලුතැන්ගෙයට පැමිණි සුලෝචනා කේතලය වතුර පුරවා ගෑස් ලිප මත තබා එය ක්‍රියාත්මක කලාය.කුස්සියේ කොණක ඇති කුඩා ශීතකරණය විවෘතකල සුලෝචනා පෙරදා රෑ කපා භාජන වල දමාතිබූ එලවලු සහ පොල්කිරි පිටට ගත්තාය. කෙතෙක් රෑබෝවී ගෙදරට ආවද මේ කටයුත්ත කෙසේ හෝ කරනා හෙයින් ඇයට උදේට ඉතාම පහසුය.නැත්නම් උදේ යමයුද්දයක් ලෙස ඔක්කෝම වැඩ ටික වවාගන්නට වෙන්නේද ඇයටමය.


 අම්මා කාලයක  සිට මුළුතැන්ගෙයි  වැඩකටයුතුවලින් නිදහස් කොට තැබුවේ ජීවිතයේ බොහෝ කාලයක් තිස්සේ අම්මා විඳි දුක් වේදනාවන් වලින් ඇය නිදහස් කොට තැබිය යුතු බව සුලෝචනා  තරයේ විශ්වාස කළ හෙයිනි.

කේතලය විසිල් හඬ නගන විට සුලෝචනා කෝප්ප ටික සෝදා තේ සාදා කෝප්ප වලට වෙන වෙනම වත්කලාය. මිකී මවුස්  කෝප්පය පොඩ්ඩීගේය. අම්මාගේ කෝප්පය සුදුපාට පෝසිලේන් එකකි. තමාගේ කෝප්පය රතු බින්දු වැටුණ කලු කෝප්පයයි.

තේ බඳුන් දෙක රැගෙන අම්මාගේ කාමරයට යන විටත් පොඩ්ඩී නැගිට පාඩම් කරමින් උන්නාය. සුලෝචනා ඇයගේ තේ කෝප්පය මේසය මත තබා පොඩ්ඩීගේ හිස අතගෑවාය. පොඩ්ඩී හිස නගා සුලෝචනා දෙස බලා සිනාවූයේ නිදිමත පිරුණ දෑසිනි.අම්මා නැගිටුවා තේ බඳුන ඇය අතට දුන් සුලෝචනා වහ වහා කුස්සියට ගියේ උදේ සහ දවල් ආහාරය සකසන්නටය. තේ පානයට මොහොතකට පෙර අම්මාගේ හීන් හඬින් නැගෙන කැස්ස සුලෝචනා ගේ සවනත වැකුණේ ඇය යලිත්  අම්මාගේ කාමරය දෙසට  අද්දවා ගනිමිනි .


"ඇයි අම්මා ආයෙම කැස්ස නේද ?" සුලෝචන ඇසූයේ නිහඬවම තේ පානය කරමින් සිටින අම්මා වෙතට පියවර තබමිනි .

"නෑ ලොකු පුතේ ...මේ දවස් වල උදේට ටිකත් සීතලයි නේ .ඉතින් චුට්ටක් වෙලා යනකම් පොඩි කැස්සක් එනවා .උණුවෙන් තේක බිව්වට පස්සේ ඒක හරි යනවා."

 අම්මා පැවසුවේ සිය පිට සෙමින් අතගානා සුලෝචනා ගෙ අතකින් අල්ලා ගනිමිනි.

නිහඬවම යළි මුලුතැන්ගෙයට ඇදුණ සුලෝචනා දිවා ආහාරය සකසන්නට යුහුසුලු වූවාය.

උයන්නට පිහන්නට මෙන්ම කෑම ගන්නටද ප්‍රමාණවත් ඉඩ පහසුකමක් ඇති සුලෝචනාගේ මුලුතැන්ගෙය පිළිවෙලකට සකසා ඇත්තේ ඇයගේම රුචිකත්වයට අනුවය.

වැඩිමනත් බඩුබාහිරාදියෙන් තොර කුඩා වපසරියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් අසුරාතබා ඇත. නිවසන තිදෙනාට සරිලන තරමේ පිඟන් කෝප්ප මෙන්ම උයන පිහන භාණ්ඩද ,කුඩා ශීතකරණය සහ රවුම් මේසයක්ද පුටු තුනකින්ද පමණක් සමන්විත කුඩා මුලුතැන්ගේ හැඩිකරගන්නට සුලෝචනා අකමැති වූවාය.

පොඩ්ඩී තේ බඳුනද රැගෙන සුලෝචනා උයන දෙසට ආවේ පාඩම මොහොතකට නවත්වාය.

මුලුතැන්ගේ කෙලවරක කුඩාමේසයේ පුටුවක් ඇදගත් පොඩ්ඩී තේ බඳුන හෙමි හෙමින් පානය කරන්නට වූවාය.

" අද ක්ලාස් නේද පොඩ්ඩි?" සුලෝචනා නෑඹිලියෙන් සේදූ සහල් රයිස්කුකරයට දමමින් ඇසුවාය. පොඩ්ඩිට ක්ලාස් ඇති දවස් වලට ඇයට දවල්ට කන්න ගෙනියන්නට වෙනම බත් එකක් බඳින්නට ඕනෑය. පොඩ්ඩී කෙතෙක් වැඩුණ කෙල්ලෙක් වුවද ඇය කිසිම කරදරයක් නොමැති කෙල්ලෙකි. අක්කාටත් අම්මාටත් කරදරයක් නොවන්නට උපරිම උත්සාහ දරන්නී, උයාදෙන බත් මුල රැගෙන පන්ති යනවා මිසක අන් කෙල්ලන් හා වැටී කඩචෝරු කන්නට කණුකුණු ගාන්නේද නැත.


" ඔව් ලොකූ, ක්ලාස් ෆීස් දෙන්නත් තියනවා අද. " පොඩ්ඩී තේ බඳුණ සෝදා අදාල ස්ථානයේ නවා තබමින් සුලෝචනා අසලට ආවාය.

" මොනව හරි වැඩක් තියේ නම් කියන්න ලොකූ" පොඩ්ඩී කවදත් සුලෝචනාට උදව් කරන්නට පැකිලෙන්නේ නැත.

" මම සල්ලි පර්ස් එකට දාල ඇති පොඩ්ඩි, ඊයෙ මට ෆෝන් එකේ රිමයින්ඩර් එක ආව අද ෆීස් දෙන්න ඕනෙ කියල." සුලෝචනා එලවලු දෙක ඒදා ලිප මත තබමින් පැවසුවාය.

" ඔයා ගිහින් වැඩක් කරගන්න පොඩ්ඩි. මේ උයන එක සිම්පල් නෙ අනේ. ඔක්කොම මම රෑ ලෑස්ති කරලනෙ තියෙන්නෙ" පොඩ්ඩීව දොරවෙතට තල්ලුකොට ගෙන යමින් සුලෝචනා පැවසුවාය.

" අක්කා ඉතින් මටවත් කුස්සිය අහලකට එන්න දෙන්නෙ නෑනෙ පොඩ්ඩියෙ. එයාට ඔක්කොම කරන්න පුලුවන් කියල ඔක්කොම බදාගන්නව කිසිම විවේකයක් නොගෙනම" අම්මා කාමරයේ සිට පොඩ්ඩීට කියනු ඇසේ. සුලෝචනා එලවලු ටික සෑදෙන තුරු පෙතිපාන් ගෙඩියට රාත්‍රියේ සදාතිබූ සැන්ඩ්විච් පේස්ට් එක ගාන්නට වූවාය.


 උදේටත් කෑම සාදා වහ වහා කඩය අරින්නට අවශ්‍යය. උදෑසනම  විවිධාකාර අවශ්‍යතා සඳහා බොහෝ දෙනා කඩයට පැමිණෙති. ඉතින් මේ ආසන්නයේ ඇති සියලුම බඩුබාහිරාදියෙන් සපිරි වෙලඳසැල ඇයගේ ස්ථානය නිසා සුලෝචනා වහ වහා එය විවෘත කරන්නට සූදානම් වූවාය. 


කඩයට ගියාට පසු ආපසු එන්නට වෙන්නේ දිවා ආහාරය ගන්නටය. අම්මා ටිකකට කඩයේ නවත්වා නිවෙසට දිව එන  ඇය ඉක්මනින් කෑම කා ආපසු කඩයට දුවයන්නීය. හවස් යාමයේ සෙනග අඩුහෙයින් සුලෝචනාට බාහිර උපාධියේ දේශන වල පාඩම් කටයුතු කරගන්නට පහසුය. අම්මා ඇය ආපසු නැවත නිවෙසට ගොස් රාත්‍රී ආහාරයට අවැසි යමක් සකසා තබන්නීය. ඉන්පසු අම්මාගේ දවස ගතවන්නේ  ඇය විසින් සකසන කුලුබඩු පැකට් කිරීමේ ව්‍යාපාරයේ කටයුතු සඳහාය. අම්මාගේ අත්ගුණය නිසාම ඒ ඇය සදන කුලුබඩු ඉතාම රසවත් බව පවසන බොහෝ දෙනා අම්මාගේ කුලුබඩු පැකට් ගන්නටම සුලෝචනාගේ වෙලඳ සලට එන්නෝය.


ඉතාම කුඩාකල සිටම අම්මා ඉගැන්නූ පිළිවෙළ සුලෝචනා මෙන්ම නංගී ප්‍රමුදිතාද මැනවින් ජීවිතයට ආදේශ කොට ගත් හ. ඉතින් ගෙදර දොර මෙන්ම පාසල් කටයුතු පවා ඔවුන් අතින් ඉටුවූයේ අනලස්වය.

"ලොකූ මම යනවා."සුලෝචනා කඩයේ බුදුපිළිමයට මල් තබා වඳින්නට සකසමින් උන්නාය.

නිවසේ සිට කඩයට ඇති කුඩා ඉඩෙහි සිටවූ වතුසුද්ද ගහ හැමදාම මල් පුරාසිටී. ඊට ආසන්නව ආධාරකයක් මතට යැවූ සමන්පිච්ච වැලද මල් සුවඳ විහිදුවාලයි.දවස පුරාම මල් දරන වතුසුද්ද ගහට පරිවාරව , තිදෙනා විසින් එක්ව සිටවූ සීනියාස්,කූඩලු සහ දහස්පෙතියා පාත්ති ද නිතිපතා මල් පුරාදෙයි.


නමුත් සුලෝචනා කඩයේ බුදුපහනට හැමදාම සමන්පිච්ච මල්ම පුදන්නට බොහෝ ආසා කලාය. එකදු නටුවක් උඩට නොහැරෙන්නට මල්වට්ටිය ඉක්මනින් සකසන ඈ...පහන ,හඳුන්කූරු රඳවනය ආදිය පෙරදා පිරිසිදු කොට තැබූ තැනින් ගෙන බුදුපිළිමය අසල තැබුවාය.


පල්ලිය පේනමානයේ ජීවත්වුවද සුලෝචනාලා බෞද්ධය.එහෙත් මේ ප්‍රදේශයේ බෞද්ධ ,කතෝලික ,හින්දු මෙන්ම මුස්ලිම් අයද ඉතාමත් සමගියෙන් සහ සහජීවනයෙන් වෙසෙති.පන්සලට මෙන්ම පල්ලියට අවශ්‍ය වන මොහොතක ඕනෑම කටයුත්තකට සුලෝචනාලාද සෙසු ගම්වාසීන් සමග ගියේ ආගම ගැන භේදයකින් නොසිතාය.


මිදුලේ සමන්පිච්ච වැලෙන් නෙලූ මල් පිරුණ පීරිසිය පොඩ්ඩී ලවා අතගැස්සවූ සුලෝචනා එය බුදුපහන අසලින් තැබුවාය.

සුලෝචනාලා සිටින  නිවෙස පාර අයිනටම වන්නට පිහිටා නැත. ඉදිරිපස ඉසව්වම මල් වවා තණපිඩැලි අල්ලා ඇත. ගේට්ටුව අසලට වන්නට කඩකාමරය ඇත.එයට පිවිසුම වෙනම කුඩා ගේට්ටුවකිනි.නිවසට පිවිසෙන්නට ඇති ප්‍රධාන ගේට්ටුව අවහිර නොවන්නට තාවකාලිකව  කඩකාමරය සැදුවේ සුලෝචනාගේම අදහසකට අනුවය.


පොඩ්ඩී අඩක් නැවී සුලෝචනාට වැඳ කඩයේ දොරෙන්ම පාරට බැස්සාය. පන්ති පවත්වන ස්ථානයට ඒ හැටි දුරක් නැති හෙයින් නංගී පයින්ම ඒ දුර යන බව සුලෝචනා දැන උන්නාය.


"පරෙස්සමින් පොඩ්ඩි.දවල්ට බත් එක ගත්තනෙ..ඔක්කොම දේවල් හරිනෙ" සුපුරුදු සිහිගැන්වීම් සියල්ලම සුලෝචනා මුවින් පිටවෙද්දී පොඩ්ඩී මහපටැඟිල්ල ඔසවා සිනාවූවාය.පොඩ්ඩී දැන් උසස්පෙළ පන්තියේය.ඇය පෙරට වඩා ඇඟපතින්ද සුන්දරව වැඩී ඇත.එහෙත් අම්මා සහ තමා සමග තවමත් සුරතල් වන්නේ පොඩි එකියක් සේමය.


ඉතින් එතැන් පටන් දවස පටන් ගන්නේ යුද්ධයක් පරිද්දෙනි.අද පල්ලියේ පූජාවය.අලුතින් සුදු පිරියම් කොට පිළිසකර කල පල්ලිය කඩේ මිදුලටද පෙනෙන්නේ එහි සුවිසල් බව නිසාමය.රාත්‍රී කාලයට පල්ලියේ ආලෝකය සුලෝචනාලාගේ ගෙමිදුලටම වැටෙයි.


"සුලෝ, ගුඩ්මෝනින්."සසංකා කඩයට ගොඩවෙමින් පැවසුවාය.පාසලේ එකපන්තිවල ඉගන ගත් සසංකා පල්ලියට යන හැමදවසකම පුරුද්දට මෙන් සුලෝචනා බලායන්නට කඩයට ගොඩවන්නීය.

ඇය රෝස පැහැගත් දිගු ගවුමකින් සැරසී උන්නාය. 

"ශා...අද ලස්සන"සුලෝචනා කවුන්ටරයෙන් පිටට ආවේ සසංකාගේ ගවුම අතින් අල්ලමිනි.ඇය වටයක් කැරකී ගවුමේ හැඩ දක්වා සිනාවූවාය.

"අද නාඳින ගවුම් ඉතින් කවදා අඳින්නද කෙල්ලෙ.පූජාවට කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එන්නෙ එකාට එකා නොදෙවනි වෙන්නනෙ"සසංකා පැවසුවාය. මිනිසුන් එකාදෙන්නා පල්ලිය දෙසට ඇදෙන ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙයි.අද විශේෂ පූජාවකි.ඉදින් සෙනගද වැඩි එනිසාමය.


"මං යන්නම්, ඉඳගන්න තැනක් නැතිඋනොත් අම්මාට ඉන්නෙ පල්ලියෙ කියල අමතක වෙලා මට දෙකක් කියයි"සසංකා සුලෝචනාගෙන් මිලදී ගත් සුපුරුදු ඉටිපන්දම් ටිකද ගෙන වහා ආපසු හැරුණාය.හැරුණ වේගයට කවුන්ටරයේ කෙළවරකට ඇයගේ රෝස ගවුම පැටලී වාටිය අසලින් ඉරීගියේය.


"අයියෝ ,අනේ. ඔයාට තියන හදිස්සිය බලන්නකො අප්පා.මේ ගවුමත් පැටලුණා.ඉන්න ඉන්න මම පැටලුම අරිනකල්"සුලෝචනා පැවසුවේ සසංකාගේ ගවුමේ ඇණයට පැටලුණ කොටස මුදාහරිමිනි. 

"චුට්ටනෙ ඉරුණෙ.ඕක පේන්නෑ"සසංකා වහ වහා දිව ගියාය.ගවුමෙන් ගිලිහී ගිය රෝස පැහැති නූලක් ඇණයට දැවටීම තිබෙනු සුලෝචනාට පෙනුණි.

"සසංකා අක්කගෙ ගවුම ඉරුනනේද ලොකූ.?"

පාරට බැස්සද මොහොතකට පමාවෙමින් උන් පොඩ්ඩී ඇසුවාය.

"ඔව් අප්පා මේ කෙල්ලට ගානක්වත් නෑනෙ. අර හිනාවෙවී යන්න ගියේ. ඔයා දැන් එලියට බැහැල ගොඩක් වෙලානෙ පොඩ්ඩී. මොකෝ තාම ඔතන.?"

සුලෝචනා ඇසුවාය.

"නෙතාරා කෝල් කලා අක්කේ. එයාලගෙ වෑන් එකෙන් එනව කියල මටත් යන්න පුලුවන් කිව්වා. ආ...මේ ආවෙ වෑන් එක...යන්නම් ලොකූ.."

පොඩ්ඩී නොපෙනී යනතුරු සුලෝචනා සිනාවෙන්ම බලා උන්නාය.

"ගුඩ්මෝනින් දුව"

"හායි ගුඩ් මෝනින් ස්වීටී"

"ගෝඩ් බ්ලෙස් යූ දුව"

පල්ලියට යන අය වෙතින් සුලෝචනා සමගින් හුවමාරු වූ සිනා කතා එමටය.ආගම් විවිධාකාර වුවත් මිනිසුන් කෙතරම් හදවත් වලින් සුන්දරදැයි සුලෝචනා ඔවුන්හට ප්‍රති උත්තර දෙමින්ම සිතුවාය.කොහොමටත් අසල්වාසී කතෝලික ආගමේ අය හරිම මිත්‍රශීලීය.සුලෝචනාත් පොඩ්ඩී සහ අම්මාත් ඔවුන් සැලකුවේ ඔවුන්ගේම අය සේය.කෑමක් හැදුවත් උත්සවයක් තිබුණත් කෑම පිඟානක් තාප්පයෙන් මේ පසට දිගු නොවූ දවසක් නැති තරම්‍ ය.


පල්ලියේ පූජාව පටන් ගන්නට සීනු හඬ වදින්නට වූවිට සුලෝචනා ආපසු කඩකාමරයට වැදුණාය. අම්මා නිවසට ගොසිනි.උදෑසන කෑම ටික ගත්පසු අම්මා බෙහෙත් ටික බී මොහොතක් ඇලවෙන්නීය.ඖෂධ හේතුවෙන් එන්නාවූ නිද්‍රාශීලි බව ඇයට ටික වේලාවක් යනතුරු අපහසුවක් ගෙන එයි.


සුලෝචනා කවුන්ටරය රෙදි කැබැල්ලකින් පිසදමා බිම අතුගෑවේ පූජාව ආරම්භ වන හඬට සවන් දෙමිනි.පන්සලේ ගාන්ඨාර හඬ මෙන්ම පල්ලියේ ගාන්ඨාර හඬද එක හා සමානව ලයාන්විතව නාදවෙන්නේ හිතට සැනසුමක් එක්කරමිනි. පූජාව අවසන්ව ආපසු යන බොහොමයක් දෙනා කඩයට ගොඩවන්නේ  අත්‍යාවශ්‍ය බඩුයමක් මිලදී ගන්නටය.ඉදින් අවශ්‍ය දෑ සකසා තබා ගත්විට සියල්ලන්ටම පහසුය.


සුලෝචනා කඩකාමරයෙන් පිටතට කුණු ටික අතුගා එය කුණුබඳුනට දමා පසෙකට කොට නැගී උන්නාය.පවනට බඳු වේගයෙන් ත්‍රී රෝද රථයක් පල්ලියට ඇදී ගියේය.

"පූජාවටවත් වෙලාවට එන්න බැරිද මන්දා.යන වේගය බලන්නකො"සුලෝචනා නොපහන් දෑසින් ත්‍රීරෝද රථය දෙස බැලුවාය.මෙහෙම වේගයෙන් යන වාහනයකට දරුවෙක්වත් වැදුණෝතින් සිදුවෙන්නේ දරුණු තුවාලයකි.වාහනයක් අතට ගන්නා සමහරක් දෙනෙක්ගේ අවිචාරවත් බව රිය අනතුරු වැඩිකරන්නක් ව ඇත.


අනික් අතට මේ වෙලාවේ පාරේ සෙනඟ ද බහුලය . මිනිසුන්ගේ මෙවැනි නොපනත්කම් නිසා කීදෙනෙක් නම් මහමග අනතුරු වලට ලක් වන්නේදැයි සුලෝචනා කල්පනා කරමින්ම ආපසු හැරුණාය.සුලෝචනා කුඩා ගේට්ටුවෙන් ඇතුළට විත් කොස්ස බිත්ති මුල්ලක තැබුවාය.වීදුරු කබඩයේ කෙලවරක පැටලුන  රෝස  පැහැ  නූල් කැබල්ල සුලෝචනාගේ නෙත ගැටුණේද ඒ මොහොතේමය.


එක්වනම අහස ගිගුම් දුන්නේය.කඩයේ වීදුරු කබඩ් එකක් තමා වෙත විසිරී පහත්වෙනු සුලෝචනා දුටුවේ දෑතින්ම කන්දෙක වසාගෙන බිමට පහත්වෙද්දීය. අවට හාත්පසින්ම අඳුරුව යනු සුලෝචනාට අවසාන මොහොතේ මතකයේ රැඳුණි.


*****************************************************************************************************************************************


වසර දෙකකට පෙරාතුව අප සියල්ලන්ම සසල කළ ඒ අඳුරු මතකයන් කතාවක් ඔස්සේ ගෙන හැර පෑමට මා සිතා උන්නේ බොහෝ කලක සිටය.

මේ සිදුවීම් බොහොමයක් සත්‍ය ඒවා මත පාදක වුවද මෙම කතාවට ආදේශ කරන ලද්දා වූ ආදර කතාවක් නිර්මාණය වූයේ මගේ මනසේය.

එහෙයින් මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.

මම  ( විසිරි 🧡️ )

11 comments:

  1. අපිනම් එෆ්බී එකෙන් කියවනෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නන්ගී....

      Delete
  2. කතාව හොඳයි නේ . මාත් කියවන්න පටන් ගත්ත

    ReplyDelete
  3. අර මගුල් ඇස් බී එකේ මෙයාගේ පෝස්ට් හොයන්න බල්ලෝ දාන්න ඕනි. ඊට ලේසියි පුරුදු විදියට මේකේ කියවනවා.. ආයේ පටන් ගත්ත ඔන්න එකේ ඉඳල කියවන්න. :)

    ReplyDelete
    Replies
    1. අනේ පේජ් එකේ පිළිවෙලටම යනවනෙ ඒක

      Delete
  4. අඩෙහ්... කටුවපිටිය සිද්ධිය වගෙයි පේන්නෙ. ඔන්න මාත් කියවන්න පටන් ගත්තා.

    ReplyDelete
  5. ඩ්රැකී රෙකම්න්ඩ් කළා හොඳයි කියලා, ටිකක් කියෙව්වා. ඇවිත් කියවන්නන් මගේ රාජකාරි ඉවර වුණාම. හිතට ඇල්ලුවා. ජය වේවා!

    ReplyDelete
  6. අද ආයෙම ඇවිත් කියෙව්වා.... ඉතිං ඊට පස්සේ...

    ReplyDelete