Monday, August 9, 2021

02. දෙවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් )

 


01 කොටස මෙතනින්......


********************************************************************************

හතර අතේ විසිරෙන සයිරන් හඬය.ඇම්බියුලන්ස් හඬය.කෑගසන මිනිසුන්ගේ අඳෝනාය.මාවත දිගටම දුවගෙන යන මිනිසුන්ය. 

පල්ලිය පමණක් නොව ඒ ආශ්‍රිත බොහෝ නිවෙස්ද හානිවී ඇත.

ඒ මොහොතේම වේගයෙන් හඹා ආ හමුදා සහ පොලිස් රථ පෙළකි.සියල්ලෝම එක පොදියේ පල්ලිය අසල රැස්කති. සිය පවුලේ අය, හිතෛෂීන් මෙන්ම අසල්වාසීන් ද සොයමින් කෑමොරදෙන්නන්‍ ඒ අතරය.

"පොඩ්ඩක් අයින් වෙන්න අයින් වෙන්න.පිපුරුවේ එක බෝම්බයයි.තව කීයක් පුපුරයිද කවුද දන්නෙ.අයින් වෙලා අපිට මේ ටික බලන්න උදව් වෙන්න" පොලිස් නිලධාරියෙකු සෙනඟ අතරට යමින් පැවසීය. එහෙත් ඒ කියන කිසිවක් වගේ වගකට ගත්තෙක් නම් නැත. සියල්ලන්ටම අවැසි වූයේ  තම තමන්ගේ අය නිරූපද්‍රිතව  සිටින්නේදැයි  සොයා බැලීමටය. නැතහොත් තමන් සමග ආ හිතෛෂින් සොයාගන්නට සුන්බුන් අතර අවුස්සන කිසිවෙක්හට ඒ වදන් නෑසෙන තරම් ය.

මේ සිදුව ඇත්තේ කුමක් විය හැකිදැයි කිසිවෙක්ට නිශ්චය කරගන්නට නොහැකි තරම්‍ ය.පල්ලියේ වහල පවා ගැලවී ගොසිනි.එතරම් ප්‍රෞඪත්වයක් ඇති පැරණි දේවස්ථානයකට පවා හානි කරන්නට නම් පිපිරීගිය බෝම්බය කෙතරම් බලසම්පන්න විය යුතුද?

"ආපහු කොටි ගහන්න පටන් අරන් වගෙ" විස්සෝපයෙන් නිකටට අත තබා ගත් වියපත් වැඩිහිටියෙක් තවකෙක් හා කියනු ඇසේ.

"ඔව් ඉතින් ඔය ඉවරයි ඉවරයි කිව්වට කවුද දන්නෙ ඉවර වෙලාමද කියල?"අනෙකා සිය නිවසේ ගැලවී ගිය ගේට්ටුවේ පලුව ඔසවන්නට තැත් දරමින් පැවසුවේය.

සිය සෙබලුන් හා හරිහරියට එක්ව තුවාලකරුවන් සහ මෘතශරීර මුදාගන්නා තරුණ හමුදා නායකයෙකි.කලු පැහැති නිල ඇඳුම ඔහු විශේෂ බලකායේ බව පෙන්වයි.ක්‍රියාන්විතයේ ගතකල වසර කීපයේදීවත් මේ සා දරුණු විශාල සොහොන් බිමක් එක තැනක ඇතිවූයේ නැත. සියලු ශරීරයන් ලේ දහඩිය සහ දුහුවිල්ලෙන් වැසී ගොසිනි. සිතා ගන්නටවත් නොහැකි තරමේ  බිහිසුනු තත්වයක් මෙතන නිර්මාණය වී හමාරය.

"අනේ පුතේ ...අනේ පුතේ.." බිම්සර නානායක්කාර තම අතින් අදිනා වැඩිහිටි කාන්තාව දෙස හැරී බැලුවේය. කෙස් කඩාවැටී කඳුලු පෙරුන ඇයගේ වත උම්මත්තක විලාසයෙන් ඔහු දෙස යොමුව ඇත.බිම්සර අතින් ඔසවමින් තිබූ බංකුව සිය සගයෙක් අතට මාරුකලේය.

"ඇයි අම්මේ...කියන්න."

ඔහු සිය අතක් ඇයගේ දෙවුර වටා යැවීය.ඇය කෙතෙක් තැතිගැන්වී ඇතද කිවහොත් ඇයට කතාකරගන්නටද නොහැකි තරම්‍ ය.ඇය පල්ලියේ බිමෙන් මඳක් දුරින් වූ තැනකට අතදිගු කර යමක් කියන්නට තැත්කරයි.බිම්සර ඇයගේ මුවට සිය කණ ළංකලේ ඇයගේ හැඬුම හා ඇය කියන්න අපැහැදිලි හෙයිනි.  මේ වියපත් කාන්තාව කලබල ව සිටින්නා සේම දැඩි ලෙස කම්පනයකට ද පත්ව ඇත. 

"මගෙ කෙල්ල..." 

ඒ අම්මා පවසන්නේ කුමක් හෝ අනතුරක් බව බිම්සරට එක් ක්ෂණයකින් වැටහුණි. ඔහු ඇයව සිය ගතින් මෑත්කොට අසල වූ බැම්මක් අසල හිඳුවාලීය.

"රත්නායක....වරෙන් මාත් එක්ක."සිය සහායක සෙබළාට අමතමින් බිම්සර ඒ මව පෙන්වූ ස්ථානයට අඩියට දෙකට දිවගියේය.එය වෙළඳ සලකි.අමාරුවෙන් එතුළට යන්නටවත් නොහැකි තරම් බඩුමුට්ටු සියල්ල කඩාවැටී ඇත.වීදුරු බිඳී සියල්ල සීසීකඩය.බිම්සර සිය සගයාද සමගින් හැකිතාක් දේ එහාටමෙහාට කලේ ඇතුලට යන්නට ඉඩක් පාදාගනිමිනි.අර අම්මා ඔහු පසුපස විත්  එතනම බිම ඉඳගත්තේ පපුවද අල්ලාගනිමිනි.

"කුසුමා අක්කේ , දෙයියනේ මොකද මේ ?" තවත් වැඩිමහල් කාන්තාවක් දුවවිත් ඇයව වත්තන් කොට ගත්තාය.බිම්සර නෙත් කොණින් එදෙස බලමින්ම තවත් ශෝකේසයක් එහාට ඇද්දේය.සුන්බුන් අතරේ කිසිමදෙයක් සොයාගන්නට බැරිතරමට සියල්ල අවුල් ජාලයක් වී ඇත.

“හත් දෙයියනේ .කෙල්ල ඇතුලෙද උන්නේ ...අනේ සර් මේ කුසුම ගෙ දුව , අනේ සුලෝචනා කෙල්ල, අනේ සර් ඉක්මනට බලන්න" ඒ කාන්තාව කෑගැසුවාය.මිනිසුන්ගේ මේ කලබලය විටෙක තමාගේ ඉවසීම පලවා හැර කෝප ගන්වන්නක් වුවද මේ වැනි වාතාවරණයකදී තත්වය මෙසේ නොවේයයි කිව හැකිද? බිම්සර ඉවසීමෙන් යුහුසුලුව යළි සෙවීමෙහි යෙදුණේය

"සර් මෙන්න"

ඇතුලට අඩිය තැබූ රත්නායක  කබඩයට යටවී තිබූ අතක් පෙන්නුවේය.ඔහු යටිතොල නොපිට හරවා කියන්නට ගිය දේ බිම්සරට වැටහුනි.

“අනාවැකි කිය කිය ඉන්නෙ නැතුව ඕක උස්සපන්.”

බිම්සර පැවසුවේ කබඩයේ එක් කොටසකට උරහිස තබා ඔසවමිනි.දෙදෙනාගේ අසීරු ආයාසයකින් පසුව කබඩ් එය ඔසවා පසකට කළ හැකිවිය. එතැන ලේ වැකුණු මුහුනින් සහ කැපීගිය අත්පා තුවාල සහිතව ඉන්නේ ගැහැනියකි.

“මේ යටවුන යටවිල්ලට බේරිලා ඇති කියලා නම් හිතන්න බෑ සර්.” 

රත්නායක පැවසුවේ ඒ කාන්තාව දෙස බලමිනි. වැටී තැලී ගිය සිරුරේ එක් අතක් යන්තමින් සෙළවෙනු බිම්සරගෙ ඇස්කොණට හසුවූයේ ඒ මොහොතේමය.

“පණ තියෙනවා යකෝ .එහාට වෙයන්” 

අඩියට දෙකට එතනට පැනගත් බිම්සර ඇයව දෑතට ඔසවා ගත්තේය. 

“ඉක්මනින් ආපු ඇම්බියුලන්ස් එකක් බලපං.hurry up.”

බිම්සර ඇයවද ඔසවාගෙන සුන්බුන් ගොඩින් එලියට පනින්නට වූයේ කෑගසාගෙනමය.

ඇම්බියුලන්ස් ගණනාවක් එකපෙලට දේවස්ථානය වෙත ඒ මොහොතේත් ඇදෙමින් තිබුණ හෙයින් ඉන් එකක් නවතාගන්නට රත්නායකට හැකිවිය. අප්‍රාණිකව කඩාහැලෙන ස්ත්‍රී ශරීරයද ගෙන බිම්සර ඇම්බියුලන්ස් රථයට නැග්ගා නොවේ පැන්නේය. පෙර මොහොතක ඔහු වෙත ආ අම්මා මහ හඬින් කෑගසා ඔහු පසුපස එනු දැනුනද බිම්සරට එය ගැන බලන්නට හැකි තත්වයක් තිබුණේ නැත.

"හරි අප්..ඉක්මනින්" ඉක්මනින් ඔහු කෑගැසුවේ රියදුරාටය.රියදුරා වේගයෙන් සයිරන් හඬද නන්වාගෙන අසලවූ රජයේ රෝහල වෙත රිය ධාවනය කලේය. බිම්සර රෝගියා රෝහලට බාරදී ආපසු දේවස්ථානය වෙත පැමිණියේ රත්නායක ගෙන ආ ජීප් රථයට නැගීය. ඒ වන විටද දේවස්ථානයේ තත්වය සුපුරුදු ලෙසම ගාලගෝට්ටියකි.

"මේ අර අම්මව ඉන්නවනම් එක්ක වරෙන් . මම පල්ලිය ඇතුලට යනව."

බිම්සර වහ වහා පල්ලිය තුලට වැදුනේ රත්නායක විසින් අත පත්කල ලේන්සුවද ඉවතට ලමිනි.

සෙසු හමුදා සෙබලුන් තවමත් යුහුසුලුව සුන්බුන් අදිමින් සිටිනු පෙනෙයි. මේ හානිය නම් කවදා කෙලෙස යළි සකසන්නද..ඒවා සැකසුවද මේ හානිවීගිය ජීවිත කෙසේ නම් ගොඩගන්නද?

මොහොතකට පසු බිම්සර යළි හැරී බැලුවේ තමා අසල වූ කෙනෙක් සිටිනවා බඳු හැඟීමක් දැනුන හෙයිනි.

"සර්.."

බිම්සර ආපසු හැරී බැලුවේ ගැහැනු ළමයෙකුගේ හඬිනි.

ඒ සමගම උන්නේද අර හඬා වැටුන අම්මාය.

"සර්, මගෙ අක්කා."

ඒ ගැහැණු ලමයාගේ බියපත් මුහුණ බිම්සරගේ හිතට එක්කලේ අනුකම්පාවකි.බොහෝ වේලාවක් හඬා වැලපුණ මුහුණක් ඒ ගැහැණු ළමයාගේ ස්වරූපයෙහිද විය. ඇය තවමත් ඉකිගසන්නීය. 

"ඔයාගේ අක්කද ඒ. මම එයාව හොස්පිට්ල් එකට ගෙනිච්චා, බයවෙන්න එපා.එයාව ඩොක්ටර්ස්ලාට බාරදුන්නා."

බිම්සර පැවසුවේ  ඔවුන් අස්වසාලන හඬිනි. නමුත් තමාහට රාජකාරිමයව එවන් අස්වසාලන හඬක් නැති බව ඔහු මනාව දැන උන්නේය.

"ඔය ඔය ලේ අපෙ අක්කගෙද ?"

ඒ ගැහැනුලමයා අතදිගුකොට බිම්සර ගේ සිරුර දෙස බලත්ම ඔහුටද තම ඇඟදෙස ඉබේම බැලුණි.ඇත්තය, ඇඟපුරා ලේ මිදී ගොසිනි. ඇයව ඔසවාගෙන දිවගියා මිසක ඒ ගැන තමාට කිසිම වගක් නොවූ බව ඔහුට සිහිවිය.

"නෑ නෑ ඒ ඔයාගෙ අක්කගෙ නෙවෙයි.මෙතන කී දෙනෙක්ව අපි හැන්ඩ්ල් කලාද?"

බිම්සර ඉවත බලාගෙන පැවසීය. රත්නායක ඔහුගේ ඉඟියට අනුව වහා ඔවුන් එතනින් ඉවතට රැගෙන ගියේ

"දැන් ඔයාල යන්න.සර්ට මෙතන වැඩ තියනවනෙ."

කියමිනි.

අනපේක්ෂිත අන්දමින් රටම ගිලගත් කුරිරු ත්‍රස්තවාදයක් යළි හිස ඔසවා තිබුණි.මේ ඉතින් වෙනස් ආකාරයේ අන්තවාදී කණ්ඩායමක කුරිරු ක්‍රියාවල ප්‍රතිපල මිසක රටේ පෙරවූ ගැටලුව නම් නොවේ. පොලිසිය සහ හමුදාව එක්ව සියලුම විමර්ශනයන් අරඹද්දී බිම්සරද කාර්යබහුල වූයේ නොසිතූ ලෙසිනි.සුන්බුන් ඉවත් කිරීම නම් තවත් දිනකිහිපයකට අවසන් කල නොහකි තරම් ය. ඒ අතර රටේ විවිධ ස්ථානවලින් තවතවත් මෙවන් බෝම්බ පිපිරවීම් ආරන්චි වන්නට පටන්ගෙනය.ඒ මදිවාට සාමාන්‍ය ජනතාව කුපිත වී ඇතිකරන කලබලද එමටය. මේ සියල්ල සොයාබලන්නට ඉන්නා පිරිසද සීමිතය.

"පිස්සු හැදෙනව බන්. මේ බොඩීස් දැක්කම" බිම්සර වෙහෙසකර දිනයක් අවසානයේ රත්නායක සමග පැවසුවේ අසල වූ බන්කුවක ඉඳගනිමිනි.

"අපි එහෙදිවත් මෙහෙම පුංචි අතදරුවො මෙහෙම දැක්කද කියපන්කො.මේක මහ සක්කිලි වැඩක්නෙ."

බිම්සර පැවසුවේ රත්නායකගේ නිහඬ බව අවබෝධ කරගනිමිනි.කෙතෙක් හමුදාසේවයේ යෙදුනද මේ වැනි කාරණා තමන් කම්පනය කරන බව ඔහුද දැන උන්නේය.

"සර් අපි එහෙනම් කෑම්ප් එකට යමු නේද? මෙතන ඊලඟට කට්ටිය එනව. වටේම පටි ඇද්දානෙ."

බිම්සර කිසිවක්ම නොකියා නැගී උන්නේය. දැන් දැන් ශරීරයෙන් වියලුන ලේ වල පිළී ගඳ දැනෙන්නට අරගෙනය.

"වොශ් එකක් දාගන්නකල් නිවනක් නෑ බන්. කොන්ඩෙත් එක්ක ලේ බලහන් ඇලෙනව."

බිම්සර වාහනයට නගින්නට යන මොහොතේ ඔහුට අර හඬාවැටුණ කාන්තාව සිහිවිය.

ඔවුන්හට කුමක් වූවාද දන්නේද  නැත.

වාහනයට තමා පසුපස එන ලෙස පවසා ඔහු ඒ නිවස දෙසට පියමැන්නේය.

කඩය එහෙම්පිටින්ම සුන්බුන්ගොඩකි.මේ සුන්බුන්වලට හසුවී ඇය  ගැලවුණානම් එය ප්‍රාතිහාර්යයක්මය.

"මේ කඩේ කට්ටියගෙ ගෙවල් කොහෙද අන්කල්."

බිම්සර ඇසුවේ එතන උන් වැඩිහිටි පුද්ගලයෙකුගෙනි.

"අර පිටිපස්සෙ තියෙන්නෙ ඒ ගෙදර තමා මහත්තයා.ඒත් පොඩි කෙල්ලයි කුසුමායි ඉස්පිරිතාලෙට ගියා සුලෝචනා කෙල්ල ගැන මොකුත් ආරංචියක් තියේද බලන්න."

එසේනම් ඔවුන් රෝහලට යන්නට ඇත. තමා තවදුරටත් අද මෙතැන සෙවිය යුතු නැත. බිම්සර ජීප් රථයට නැග්ගේ යන්නට අතින් සන්කරමිනි.

***********************************************************************

ප්‍රමුදිතා  අම්මා සමගින් රෝහල් භූමියේ උදේ සිට හවස් වන තුරු උන්නද අක්කා ගැන කිසිදු ආරංචියක් ලබාගන්නට අසමත් වූවාය. 

"කරදර කරන්න එපා ලමයො.මෙතන එක්කෙනෙක් කියලද ලෙඩ්ඩු. පොඩ්ඩක් ඉන්නකො ටිකක් මෙතන වැඩ ටික සන්සුන් වෙනකල්."

එක් එක් රෝහල් සේවකයන් ලඟට ගොස් අක්කා ගැන විමසන ඇයට විටෙක එවන් ප්‍රතිචාරද ලැබුනි.

"අක්කා ගැන කිසිම ආරන්චියක් හොයාගන්න බැහැනෙ අම්මෙ.අර සර් කිව්වනෙ අක්කව ඩොක්ටර්ස්ලාට බාරදුන්නා කියල."

ප්‍රමුදිතා පැවසුවේ වෙහෙසකර හඬකිනි. රෝහල පුරාම ඇවිද ගොස් ඇඟට පණක්ද නැති තරම් ය.

"අනේ මගෙ කෙල්ල දෙයියනේ"

අම්ම යලිත් හඬා වැටෙන්නට ගත්විට ප්‍රමුදිතාටද ඉවසුම් නැතිවිය.

"අනේ අම්මේ චුට්ටක් ඉවසල ඉන්නකෝ. අක්කට එහෙම කරදරයක් නැතුව ඇති අම්මේ." ප්‍රමුදිතා අම්මාව අස්වසන්නට වෙර දැරුවාය.

"නංගි ඇයි මේ ? ඔයාලගෙ කවුද ඇඩ්මිට් කලෙ? බෝම්බෙට අහුවෙලාද ?"

ප්‍රමුදිතා අබියස වූයේ වෛද්‍ය නලාව කරට දමාගත් යුවතියකි. ඇය කෙතරම් පැටලුම් සහගතව උන්නාද යත් ඇයට ඒ යුවතිය හඳුණාගන්නට වත් නොහැකිවිය.

"මම අක්කගේ පන්තියෙ උන්නෙ.තාමරී. කියන්නකො නංගි.කෝ සුලෝ? කෝ එයා?"

ඇය ඇසුවේ ප්‍රමුදිතාගෙනි. 

"අක්කේ අනේ අක්කේ. බෝම්බයෙන් අපෙ අක්කාව ගෙනාවෙ මෙහෙට.හමුදාවෙන්ලු ගෙනාවේ. අනේ අක්කේ අපිට විස්තරයක් හොයල දෙන්න අක්කගෙ.."

ප්‍රමුදිතාට හයියෙන් හැඬුණේ ඒ මොහොතේමය. 

"මොනවා නංගි සුලෝ..?" 

ඇය කම්පනයෙන් මෙන් ඇසුවේ ප්‍රමුදිතාගෙනි.එහෙත් මේ විස්තර අස අසා සිටින්නට තරම් කාලයක් නම් නොවේ. කලයුතු දේ ඉක්මනින් අසාගෙන ඇයව සෙවිය යුතුය.

"ඉන්න මන් ඉක්මනින් බලන්නම් .ඔයාලා ඔහොම්ම ඉන්න."

ඇය දිවගියේ රෝහල ඇතුලටය. විනාඩි ගෙවි ගොස් කාලය ගතව යන්නට ඇත. ඇතුලට ගිය අක්කාගේ යෙහෙලිය කියූ කෙනාද තව නැත.

"අම්මේ අපි දැන් ගෙදර ගිහින් එමු හෙට උදෙන්ම.මෙතන ඉන්න දෙන එකක් නෑ තව වෙලා අපිට."

ප්‍රමුදිතා අම්මාගේ අතින් අල්ලාගෙනම පැවසුවාය.අම්මා කිසිවක් නොකියා හිස දෙපසට වනා එය ප්‍රතික්ෂේප කලාය. අක්කා ගැන තොරතුරක් දැනගන්නා තුරු තමාටද ගෙදරට යන්නට සිතක් නැත.

ඒ මොහොතේම තාමරී, අක්කාගේ යෙහෙළිය දුව ආවේ එතනටය. 

"නංගි....සුලෝ ඉන්නවා.අයිසීයූ දාල ඉන්නෙ.වෙලාවට එයාව අරන් ඇවිල්ලා තියෙන්නෙ කවුරුවුනත්.තව පොඩ්ඩක් හරි පහු උනානම් ඉවරයි කියලයි ඩොක්ටර්ස්ලා කීවෙ."

කුසුමාගේ ඉහලට ගත් හුස්ම පහලට වැටුනේ එවිටය.ඇස් වලින් ගලාඑන කඳුලේ නිමක්ද නැත.

"අම්මේ දැන් අම්මා නංගි එක්ක ගෙදර යන්න.නංගි මේ මගේ ෆෝන් නම්බර් එක.ඔයා මට කෝල් කරන්න ඕන වෙලාවක.මම අක්කා ගැන බලන්නම්.රෑ වෙන්නත් එනවනෙ . යන්න දෙන්නා."

තාමරී නම්වූ සුලෝචනාගේ යෙහෙලිය පැවසුවේ ප්‍රමුදිතාගේ හිස අතගාමිනි.ඉදින් ආපසු නිවසට යායුතුය, හැමදාම සිනාකටක් පුරවාගෙන තමා එන පෙරමග බලන අක්කා අද නැති බව සිහිව ප්‍රමුදිතාට යළිත් ඉකිගැසුණි

**************************************************************************

(කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)


හමුවෙමු ...ආදරය සමගින්.

මම 

( විසිරි 🧡)

7 comments: