Thursday, August 12, 2021

03. තුන්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්)

 



02  කොටස මෙතනින්

********************************************************************************


"අතපය නිකම් තලාදාල වගෙ බං. යුද්දෙ කාලෙවත් මෙච්චර අමාරුවක් තිබුණෙ නෑ"

බිම්සර පැවසූවේ කාමරයේ ඇඳෙහි වැතිරෙමිනි.ආ සැණින් ස්නානය කල ඔහු හෙට දවසේත් ආපසු රාජකාරියට යායුතු බව සිහිකරමින් කල්පනා කලේ අද දවස ගැනය.උදෑසන පූජාවට සිත් සතුටින් ගිය කී දෙනෙක් අද එකම එක තත්පරයක මියයන්නට ඇත්ද? අතපය කැඩි තුවාල වී රෝහල් ගතවන්නට ඇත්ද?

ඔහුට එසැනින් සිහිවූයේ තමා විසින් රෝහලට බාරදුන් ඒ කාන්තාවය.අඩුම ගණනේ ඇය තරුණියක්ද වැඩිහිටි අයෙක්ද යන්නවත් ඇයගේ නැඟණිය විත් තමාට කතා කරන තුරු තමා හට අවබෝධයක් තිබුණේ ම නැත.

ඇයගේ නැගණිය පාසැල් යන වයසේ යුවතියක් වූ හෙයින් මේ කාන්තාවද විසි වයස් වල අයෙකු වන්නට ඇතැයි ඔහු සිතුවේය.

"සර්,මේ..මේක" 

රත්නායක බිම්සරගේ දිවාරාජකාරියේදී අපවිත්‍රව ගිය නිල ඇඳුම සෝදන්නට යවන්නට අතට ගෙන ආපසු හැරුණේය.

"ඇයි මොකක්ද බං?"

බිම්සර ඇඳේ සිටම ඔහුගෙන් ඇසීය.

"සර් මේ සාක්කුවෙ චේන් එකක්"

රත්නායක එම මාලය අතට ගෙන ඔහු වෙත ආවේය.බිම්සර  එය අතට ගත් පසු ඔහුට සිහි වූයේ මෙම මාලය ඇයගේ කරෙහි තිබූ එක බවය.ඇය දෝතට ඔසවාගෙන ඇම්බියුලන්ස් රථයට නගිද්දී සිය නිල ඇඳුමේ බොත්තමක පැටලුණු මාලයෙන් සිය ඇඳුම මුදාගන්නට කාලයක් නොවූ හෙයින් වහා එය මුදන්නට යනවිට කැඩුණ බවත්...එය එසේමම සාක්කුවට දමාගත් ආකාරයත් ඔහුට සිහි විය.

"අර ළමයව හොස්පිට්ල් එකට ගෙනියනකොට මගේ බොත්තමක පැටලුනා බං.ඔන්න මේක කවරෙක දාලා තියා ගනින් හෙට ඒ ගෙදරට බාර දෙමු."

බිම්සර යළිත් රන් දම්වැල  රත්නායකගේ අතෙහි තබමින් පැවසීය.

අද මේ සිදුවීම සිදුවූ ඉසව්ව තමා හට නොහුරු ප්‍රදේශයක් නොවේ.පාසැල් යන කාලයේදී සිය නැන්දනිය ගේ නිවසේ නැවතී සිටියේ මේ ආසන්න පාරකය. අවුරුදු ගණනාවකින් තමා මේ ප්‍රදේශයට නොපැමිණියේ නැන්දා සිය නිවස ද විකුණා දමා විදේශයක උන් සිය දුවණිය වෙත ගිය බැවිනි. පාසල් යන කාලයේ මේ ප්‍රදේශයේ අවට මාවත්වල සැරිසැරුවා ආකාරය බිම්සරට අද මෙන් මතකය.

දැන් අවුරුදු ගණනාවක් ගත වූ හෙයින් මේ ප්‍රදේශවල අයටද තමා පිළිබඳ මතකයක් තියෙන්නට ඉඩක් නැත. අඩුම තරමින් සමකාලීන පාසල් මිතුරු මිතුරියන්වත් අවුරුදු දහයකින් පමණ හමු වූයේ නැත. 

මේ මැරිච්ච මිනිස්සු අතරේ එකට ඉස්කෝලේ ගිය උනුත් ඉන්න ඇති. අර අතපය කැඩිච්චි මිනිස්සු අතරේ අපේම උන් කොච්චර ඉන්න ඇත්ද? බිම්සර කල්පනා කළේ සිතේ ඉපදී ගෙන එන කෝපය මැඩ ගනිමිනි.

**************************************************************************

උදෑසන පිබිදුණු වහාම ලැහැස්ති වී ප්‍රමුදිතා අක්කා බලන්නට රෝහලට පිටත් වූවාය. අම්මාගේ ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවූ නිසා අසල්වාසී නිවසේ අයට අම්මා බලා ගන්න යැයි පවරා ඇය වහා රෝහලට පැමිනියාය.

තාමරී අක්කා ලබාදුන් දුරකථන නොම්මරයට ඇය ඇමතුමක් ගත්තේ රෝහල් ගේට්ටුවට ආසන්නයේදීම ය.

"අක්කේ මම ප්‍රමුදිතා , සුලෝචනා ගෙ නංගි "ඇය අක්කාගේ මිතුරිය ඇමතූයේ සසැලී යන හඬිනි.

"නංගි මම එන්නම් පහලට .ඔයා ගේට් එකෙන් ඇතුලට එන්න."

ප්‍රමුදිතා රෝහල් බිමට ඇතුල් වන විටත් තාමරී ඇය හමුවන්නට පැමිණ සිටියාය.

"අක්කේ අපේ අක්කට කොහොමද ?" 

තාමරිගේ අතේ එල්ලුනු ප්‍රමුදිතා ඇසූයේ සිතේ බලවත්ව නැගී බලවත්ව නැගෙන වේදනාව මැඩපවත්වා ගනිමිනි. අම්මා උන්නද ගෙදර සියලුම දේ අම්මාටද වඩා හොඳින් සොයාබලා කළේ අක්කාය.අක්කා සැම විටම තමාට සැලකුවේ කුඩා දරුවෙකුට පරිද්දෙනි .කිසිම විටෙක කිසියම් ම දෙයක අඩුපාඩුවක් නොකර ඇය තමාව රැක බලා බලා ගත් ආකාරය ප්‍රමුදිතාට සිහිවත්ම දරාගන්නට නොහැකි තරමේ වේදනාවක් ඇයගේ සිතේ ඇති වෙමින් තිබුණි.

"සුලෝ තාම ICU., ඒ උනාට දැන් critical තත්වයෙන් මෙහාට ඇවිල්ලා ඉන්නේ.දැන්ම නම් visitors ලට බලන්න දෙන්නේ නැහැ.කන්න බොන්න කිසිම දෙයක් දෙන්න බැහැ.මං පුළුවන් පුළුවන් හැම වෙලාවටම බලලා නංගිලාට විස්තර කියන්නම් .බයවෙන්න එපා අපි ඉන්නවනේ "

තාමරි ප්‍රමුදිතාගේ හිස අතගාමින් පැවසුවාය.

"මට හිතාගන්න බැරි මං මේ හැමදේම අම්මට කියන්නේ කොහොමද කියලයි අක්කේ.අම්මා ඉන්නෙත් ලෙඩ ගානේ අපේ අක්කට වෙච්ච දේ අම්මට දරාගන්න අමාරුයි අක්කේ"

ප්‍රමුදිතා හෙමින් හෙමින් ඉකිගසමින් පැවැසුවාය .

"මේක අපි කිසිම කෙනෙක් හිතපු දෙයක් නෙවී නංගී. කී දෙනෙක් මැරෙන්න ඇත්ද ? අපි දන්න අය.අපිත් එක්ක එකට ඉස්කෝලේ ගියපු අය ..මටත් තාම මේක හිතාගන්නවත් බෑ නංගී" 

තාමරි පැවසුවේ ප්‍රමුදිතා අස්වසාලමිනි.

ප්‍රමුදිතා ආපසු නිවස බලා පැමිණියේ තාමරීගේ වචනයට එකඟ වෙමිනි . අක්කා අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි යන්න හිතට සැනසීමකි.

නිවස ආසන්නයට පැමිණෙන විට තමා පසු පසුකොට ගමන් ගත් හමුදා ජීප් රථයක් නිවසේ ගේට්ටුව අසල නවත්වනු ඇය දුටුවාය.

ප්‍රමුදිතා වහ වහා නිවස වෙතට ගමන් කළේ ඔවුන් පෙරදා අක්කා රෝහලට රැගෙන ගිය හමුදා නිලධාරීන් දැයි සිතමිනි.

"ආ මේ ඉන්නේ .කොහොමද ළමයො අක්කට" 

රත්නායක ඇසුවේ ජීප්රථය ආසන්නයට පැමිණ නැවතුණු ප්‍රමුදිතාගෙනි.ජීප් රථයේ ඉදිරිපස අසුනේ සිටියේ බිම්සරයි.

"මං මේ හොස්පිට්ල් එකේ ඉදලා එන ගමන් සර් .අක්කා තාම ICU.අක්කගේ යාලුවෙක් හම්බ උනා එහෙ ඩොක්ටර් කෙනෙක්. ඒ අක්ක ගිහින් බලලා ඇවිල්ලා විස්තර කිව්වා.අවදානම් තත්ත්වයෙන් නම් දැන් මේ වෙනකොට මිදිලා කිව්ව ඉන්නේ.ඒත් අපි කාටවත් බලන්න යන්න දෙන්නෙ නැහැ."

ප්‍රමුදිතා පැවසුවේ රත්නායකගේ එහාපස සිට ඉදිරියේ දෙස බලාගෙන සිටින බිම්සර දෙසද බලමිනි.

"අරක ඔය ළමයට දීපන්."

බිම්සර කුටු කුටු හඬින්  රත්නායකට පැවසුවේය.

"හා දරුවෝ ඊයේ ඔයාගේ අක්කා ව ඇම්බියුලන්ස් එකට දාගන්න යනකොට අක්කාගෙ චේන් එක මේ සර්ගෙ ඇඳුම පැටලිලා කැඩිලා ඇවිල්ලා තිබුණා.මෙන්න ඒක ගන්න" 

රත්නායක කවරයකට දැමූ රන්මාලය ප්‍රමුදිතා ගේ අත තැබුවේය.

"අපි යං පල්ලියෙ තව වැඩ තියෙනවා කරන්න."

බිම්සර පැවසුවේ ප්‍රමුදිතා දෙසවත් නොබලමිනි.

ප්‍රමුදිතා ජීප්‍ රථයේ එහාපසින් බිම්සර උන් ස්ථානයට පැමිණියාය.

"සර්ට පිං සිද්ද වෙනව අපේ අක්කා බේරගත්තට.හොස්පිට්ල් එකෙන් කිව්වා ඒ වෙලාවේ ගෙනාවේ නැත්නම් අක්කා බේරගන්න බෑ කියල.පිංසිද්ද වෙනව සර්"

ප්‍රමුදිතාට හැඬුණි

බිම්සර පත්වූයේ දැඩි අපහසුතාවයකටය.ඔහු තමා හට අත්දෙක එකතුකර වැඳගෙන හඬනා යුවතිය දෙසද රත්නායක දෙසද මාරුවෙන් මාරුවට බැලීය.

"යමංකො" 

දත් අතරින් ගොරවමින් ඇඹරෙන සිය ප්‍රධානියා දෙස යටිහිතින් හිනැහෙමින් බලා උන් රත්නායක,

"ළමයො දැන් ගෙදර යන්න.අපිට පල්ලියට යන්න ඕන."

කියා රිය පණ ගැන්වීය.

බිම්සර ඉදිරියට ධාවනය වන රියෙහි සිට රත්නායකට බැනවැදුණේ,

"උඹ උගුඩුවෙක් වගෙ අර කෙල්ල මට වඳින කල් බලන් උන්න.උඹට හෙන ජොලිනේ එහෙම ඒවට"

කියමිනි.රත්නායක හිනාව වලකා ගත්තේ බිම්සර තවත් කේන්ති නොගැස්සවිය යුතු හෙයිනි.

අම්මපා අපෙ සර්ට කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැත්තෙ මේ මූලග්ගාය නිසා වෙන්න ඇති..

ඔහු සිතින් සිතුවේය.

දේවස්ථානය පුරා තාමත් ඇත්තේ සිදුවූ ව්‍යසනයේ නටබුන් ය.තවමත් එකිනෙකා පැමිණ පසෙක ගොඩ ගසාතිබූ සුන්බුන් අතර කිසියම් හෝ ඉඟි සොයති.මන්ද රෝහල් සහ පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් සමහර අය ගේ දත්ත නොලැබෙන හෙයිනි.දේවස්ථානය භාර පියතුමා පැමිණ බිම්සර සමග මොහොතක් කතාකලේය.

"මේ දේවස්ථානය අවුරුදු සියයකට වැඩියි පුතා.ගොඩනැගිල්ල කඩාවැටුණාවේ.ඒත් මේ ජීවිත ටික.දෙවියන් වහන්සේ හමුවට ආ අහිංසක මිනිස්සු ඒ අය."

පියතුමා පැවසුවේ දේවස්ථානයේ ඉහල වහල දෙස බලාගෙනය.බෝම්බය කෙතෙක් ප්‍රබල වීදයත් වහලේ උලුකැට පවා බිම වැටී තිබුණි.එතරම් උස වහලක් ගිගුම් දෙවා බිම වට්ටන්නට නම් ඒ පුද්ගලයා ගෙන ආ පුපුරන ද්‍රව්‍ය වල ප්‍රබල භාවය සිතාගන්නට සාමාන්‍ය ජනතාවට නම් කිසිසේත් නොහැකි වනු ඇත.

"අපිට අවට ගෙවල් එහෙම සර්ච් කරන්න වෙනව .ජීප් එක ගන්න."

බිම්සර පියතුමා ඉවතට යනතුරු සිට රත්නායකට පැවසීය.

"ඉස්සෙල්ල පොඩි රවුමක් දාල. එමුද නෝමල් එකේ."

පරීක්ෂාවන් සඳහා කොළඹින් විශේෂ විමර්ශන කණ්ඩායම් එනතුරු සිටිය යුතුය.එතෙක් අවට ප්‍රදේශය මඳක් සොයාබලා ආ යුතුය. 

ජීප් රථය මාවත් ගානේ ධාවනය වෙද්දී බොහෝ නිවෙස් වල සුදුකොඩි එසවෙනු බිම්සර දුටුවේය.ගෙවල් දෙකතුනකට එකක් මලගෙයක් වී ඇත.මාවත් අසල රැස්ව සිටින්නෝ ජීප්‍ රථය දෙස මලානික බැල්මක් හෙලා තමන්ගේ වැඩෙහි යෙදෙති.බිම්සර කල්පනාවෙන්ම ගමන් කලේය. 

"මෙච්චර මරණ ගොඩක්"

රත්නායක ශෝකී ස්වරයෙන් පැවසීය.

"හෙටානිද්දට තව කොඩි ඉස්සේවි.ඇයි හොස්පිට්ල් වල ඉන්න ක්‍රිටිකල් අය?" 

බිම්සර පැවසුවේය.ඉන් පසු දෙදෙනාගෙන්ම සුසුම් මිස වදනක්වත් පිටවූයේ නැත.

**************************************************************************

ඉදින් ....කතාවේ මේ සියල්ලම සිත්වලට බරවැඩිවන්නට පුලුවන.මන්ද ඒ අතීතය මහදුරක එකක් නොවනා හෙයිනි.නමුත් මේ කතාවේ ගලායෑම ඇත්තේත් ඒ සිදුවීම ඔස්සේමය.ඉදින් ඉවසන්න යැයි ඉල්ලාසිටිමි .

 ( කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)


 හමුවෙමු ආදරය සමගින්



මම

(විසිරි 🧡)

3 comments:

  1. මෙයයිටත් මුලග්ගාය.. හින්නිකිතර කතා ජුන්ඩක් දාල බෑ බ්ලොග් එකේ දානකොට.. ඔය කොටස් දෙක තුනක් එකට හරි දාන්න වෙයි. අපිට කියවන්න දෙයක් ඕනි..

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ...මේවා කියවන්න කම්මැලි හිතෙනවා කට්ටියට එතකොට

      Delete
  2. හ්ම්... මළ මිණි මතින් තම ගමන සකස් කරගන්නා උන්... ...!

    ReplyDelete