Sunday, August 15, 2021

04. හතරවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්)



03. තුන්වෙනි කොටස ට මෙතනින්

*******************************************************************************

"රත්නායක , යමු හොස්පිට්ල් එකට ටිකක්"

තවත් බොහෝ වේලාවක් සැරිසැරූ පසු එක්වනම බිම්සර, රත්නායක ඇමතීය.විමසුම් ඇසින් සිය ප්‍රධානියා දෙස බැලූ රත්නායක නිහඬවම රිය පැදවූයේ රෝහල වෙතය.

රෝහල් බිමේ තැන තැන සෙනගය.කාගේ හෝ කවුරුන් තුවාල ලබා සිටින්නෝය.එක්කෝ මියගිය අයය.බිම්සර වාහනයෙන් බැස රෝහල තුලට පැමිණියේය.

සතුට ,සාමය උතුරාගිය නගරයක් විශාලා මහනුවරක් වූ ඉක්මන....වාට්ටුවල කොරිඩෝරයන්ගේ පවා තුවාලකරුවන්ය.හමුදා නිලඇඳුමින් ඒ අතරින් ගමන් ගන්නා බිම්සර දෙස සමහර අය බැලුවේ ගෞරවය මුසු දෑසිනි.

වාට්ටු අතරින් ඇවිද යන තරුණ හමුදා නිලධාරියා ඉදිරිපසට කාමරයක දොරක් විවෘත වී ආවේ ගැහැණු ළමයින් රොත්තකි.වෛද්‍ය නිල කබාය සහ ස්ටෙතස්කෝපයන් සහිතව ආ හෙයින් ඔවුන් වෛද්‍යවරියන් බව ඔහුට වැටහුණි.බිම්සර මඳක් කොරිඩෝරයේ මැදින් අයිනට වී ඔවුන් පසුකර ගියේය.

"සුදු අයියා...?" එක්වනම යුවතියකගේ හඬින් බිම්සර ආපිට හැරී බැලුවේය.ගැහැණු ළමුන් ගොන්නේ එක් අයෙක් ඔහු දෙස ඇඟිල්ලක් දිගුකොට ගෙන බලාඉඳී.බිම්සර මොහොතක් දෙකක් ඇය දෙස බලා උන්නේය.

"සිඟිති....?" විශ්මයෙන් මෙන් ඔහුගේ මුවින් එවදන් පිටවෙත්ම අනෙක් කෙල්ලන් මහ හඬින් සිනාවූවේ රිද්මාගේ සුරතල් නාමය ඔවුන්ද දැන උන් හෙයිනි.බිම්සරට තම මුවින් පිටවූ එවදන් ඇදගන්නට හැකිනම් කියා සිතුණි.

"පිස්සුද මනුස්සයො ගෙවල්වලට කියන නම් මේ ප්‍රසිද්ධ තැන්වල කියන්නෙ"

රිද්මා බිම්සරගේ අතක් කෙනිත්තුවාය.අනෙක් කෙල්ලන් බිම්සර දෙසම බලාගත්වනමය.

"මට මතක නමෙන් නෙ මං කතාකරන්නෙ....ඉතින් ඉතින් මෙහෙද වැඩ?"

බිම්සර ගණනකට නොගෙන ඇසුවේය.

"නැත්තං...ඕගොල්ලො ඉතින් අපි උන්නද මළාද කියලවත් අවුරුදු ගාණකින් බලන්න ආවද ? වැඩක් නෑ ඕයි වැඩක් නෑ..තමුසෙල වගෙ අයියලා පොල්පිත්තකිනුත් කපා ගන්න පුළුවන් "

රිද්මා කියවන්නට ගත්තාය.

"කතාකරන කැත....තමන් වැඩ කරන හොස්පිට්ල් එක නේද මේක? " 

බිම්සර ඇසුවේ මතුවන්නට එන සිනහව ආයාසයෙන් වලකා ගනිමිනි.

අනෙකුත් යුවතියන් ඇස් දල්වාගෙන බලාසිටින්නේ රිද්මා සහ තමන් දෙසය.

"ඔව් මේක මගේ රාජ්ජෙ තමා...තමුන් මොකෝ ඉතින් මෙහෙ.?" 

රිද්මා පාසල් කාලයේ පරිදිමය.බිම්සර සිය හිස්වැසුම අතට ගෙන කොණ්ඩය අතරින් ඇඟිලි තුඩු යවා යළි හිස්වැසුම දමා ගත්තේය.

"ඊයෙ ඉඳන් මෙහෙ , තාම ඉන්වෙස්ටිගේශන් ඉවර නෑනෙ.මං නිකම් ආවෙ කැෂුවල්ටීස් බලල යන්න තත්වෙ"

බිම්සර පැවසුවේ කොරිඩෝරයේ බිම පවා ඉන්නා තුවාලකරුවන් දෙස බලමිනි.

"අපිටත් හුස්මක් ගන්න නෑ .තාම ඊයෙ උදේ ආව ගමන්.අපි මේ පොඩ්ඩක් චේන්ජ් කරන් එන්න ක්වාටර්ස් එකට යන්න කියල."

රිද්මා පැවසුවේ යෙහෙළියන් දෙස බලමිනි.

"මාත් යන්න ඕනෙ ආයෙ පල්ලිය පැත්තට.ඕකේ එහෙනම් මං වෙලාවක එන්නම් එහෙ. ඇන්ටියි අංකලුයි මතක් කලා කියන්නකො"

බිම්සර ආපසු හැරුණේ ඇයට සමුදෙමිනි.රිද්මා ඔහුගේ උරහිසට පහරක් ගසා ආපසු ගොස් යෙහෙළියන් හට එක්වූවාය.

"කවුද බං ඒ හැන්ඩියා." 

එක් කෙල්ලක් රිද්මාගෙන් අසනු බිම්සරට යාන්තමට ඇසුණි.යුවතියන්ගේ මෙන්ම කාන්තාවන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන පෙනුමකින් යුත් බිම්සර සිය නිලඇඳුම නිසා තව තවත් කැපී පෙනෙන පෙනුමක් ලද්දේය.එහෙත් සිය හදවත ඒ විෂය සම්බන්ධයෙන් ඇත්තේ උදාසීන භාවයකිනි.එයට හේතුව ඇත්තේ බොහෝ දුරකලක මතකයකය.

"ර්...රිද්මා අක්කී...." තාමරී කොරිඩෝරයේදී ඇයට හමුවූයේ නිලනිවසට යන අතරේය.

"මොකෝ නංගා....කලබලෙන්"

රිද්මා හතිලන තාමරී දෙසම බලා ඇසුවාය.

"අනේ අක්කි අපේ සුලෝචනා ඉන්ජර්ඩ් වෙලා ගෙනාවනෙ.මේ දැන් එයාට ආයෙ ඇරස්ට් එකක් ආවා.ඒ වැඩ ඉවර වෙලා එද්දියි ඔයාව දැක්කෙ ඈතට...මං දුවන් ආවෙ ඔයා දැකල"

තාමරී පැවසුවාය.

"සුලෝචනා කීවෙ...?"

රිද්මා මතකයට නගාගන්නට තැත් දරමින් ඇසුවේ එවන් නමක් ඇයගේ මතකයේ නොවූ හෙයිනි.

තාමරී සහ තමා ඉගන ගත් පාසලේ සිටි සමකාලීන මිතුරියන් අතරවත් එහෙම නමක් ඇයට මතකයේ නොවීය.

"අහ්...සොරි... සොරි ...අක්කිලා සුලෝව දන්නෙ මුල් නමින්නෙ... මෙත්මිව මතකද අක්කා ...අනේ ඉස්කෝලෙ මාත් එක්කම උන්න..අනේ අන්න එයා..." රිද්මාගේ ඇස් නලලට ගියේද ඇය ආපස්සට කොරිඩෝරය දෙසම හැරී බැලුවේද එකසැනිණි.

"මොනව මෙත්මි....එයා එයා කොහොමද ඕකට අහුවුනේ.එයා බුඩිස්ට්නෙ අනේ"

රිද්මා කලබලයෙන් ඇසුවාය.තාමරී සිදුවූ දේ සැකෙවින් ඇයට පැවසුවාය.

"මම ක්වාටර්ස් ගිහින් ඉක්මනින් චේන්ජ් එකක් දාගෙන ICU එන්නම් නංගා."රිද්මා ඇයගෙන් සමුගත්තේ යෙහෙළියන් මගබලා ඉන්නා හෙයිනි.

මගෙත් සිහිය අරයකාගේ නම්බර් එකවත් ඉල්ලගන්න බැරිඋනානෙ කලබලේට...රිද්මා තමන්ටම දොස් පවරාගනිමින් නිලනිවස වෙත ඇදුණාය.ඉක්මනින් ඇඳුම් මාරුකොට තේ බඳුනක් පමණක් බිවූ රිද්මා වහවහා දැඩිසත්කාර ඒකකය වෙත දුව ආවේ මෙත්මි ලෙසින් ඇය දැන උන් සුලෝචනා බලන්නටය.ඒ මොහොතේ ඇය අවදානමෙන් මිදී උන්නාය.

"පල්ලියට කිට්ටුවමද මෙත්මිලාගෙ ගේ තියෙන්නෙ නංගා"

රිද්මා ඇසුවේ තාමරීගෙනි.දැඩිසත්කාර ඒකකයේ ඇඳවල් හතරම මේ අනතුරෙන් අසාධ්‍යව ඇති අයගෙන් පිරීගොසිනි. 

"ඔව් අක්කි, ඒ කිට්ටුවමලු ඉන්නෙ. මටත් පහුගිය කාලෙම සුලෝ ගැන කන්ටෑක්ට්ස් තිබුණෙ නෑ.මම මෙහෙට ආවෙත් ගිය මාසෙනෙ" 

තාමරී පැවසුවේ පසුතැවිලි හඬිනි.මිතුදම් කෙතෙක් ප්‍රබලව එකල තිබුණද අතරමග කාලයකදී ඇතිවන විවිධ දුරස්ථභාවයන් හේතුවෙන් ඔවුනොවුන්ගේ බැඳීම් ගිලිහ ගොසිනි.

"එයාල ඉස්කෝලෙ යන දවස්වල උන්නෙ නම් එහෙ නෙවේ මට මතක හැටියට" 

රිද්මා මතකය අවදිකරන්නට තැත්කලාය.නමුත් තාමරීලා ඇයට වඩා අවුරුද්දක් පසු පන්තියේය.ලොකුවට ආශ්‍රයක් නොතිබුණ හෙයින් ඇය ගැන දන්නේම නැත.

"සුලෝලාට ගොඩාක් ප්‍රශ්න ආවලු අක්කි ඒ කාලෙදි. මම ෆැකල්ටි ගියාම මටත් කෙල්ල මිස් උනා.මට හරිම දුකයි ඒ ගැන"

තාමරී පැවසුවේ ඉමහත් පසු තැවිල්ලකිනි.

"එදා අහම්බෙන් සුලෝගෙ නංගි හොස්පිට්ල් එකේදි හම්බ උනේ නැත්නම් මේ ඔක්කොම ආයෙ මිස් වෙනවා අක්කි. අනේ අපි දිගටම බලමු හොඳේ."

තාමරී ආයාචනාත්මක හඬින් පැවසුවාය.රිද්මා ඇයගේ අතට සෙමින් තට්ටුකලේ බියනොවී ඉන්න යන ඉඟියෙනි.

******************************************************************************

ප්‍රමුදිතා යළිත් වරක් රෝහල වෙත යාමට සූදානම් වූයේ අම්මට බෙහෙත් ටික වදෙන් පොරෙන් මෙන් පොවාගෙන ය .මෙම කාරණා හේතුවෙන් අම්මගේ අධි රුධිර පීඩන තත්ත්වය තව තවත් වැඩි වී ඇත .

"මේ වෙලාවේ අම්මා ටිකක් සන්සුන් වෙන්න. සුලෝචනාත් හොස්පිට්ල් ඉන්න වෙලාවේ අම්මත් මෙහෙම උනොත් මේ පොඩි ළමයට තමයි කරදරේ.ඔයා පුළුවන් තරම් සන්සුන් වෙලා බෙහෙත් ටික බීලා ඉන්නකො අපි සතියකින් විතර ආපහු බලමු" 

නිවස කිට්ටුව සිටිනා වෛද්‍යවරිය වෙත ප්‍රමුදිතා අම්මා රැගෙන ගියේ මේ මොහොතේ දී නැවත අම්මාද රෝහල් ගත කිරීම කළ නොහැක්කක් බැවිනි .

මුළු රෝහලම මේ වන විට සිදුවූ අනතුරට මූලිකත්වය දෙමින් කඩි ගුලක් සේ කලබල වී ඇත.

"නැන්දි අම්මා එක්ක පොඩ්ඩක් ඉන්න.මං ඉස්පිරිතාලෙට දුවලා එන්නම්."

ප්‍රමුදිතා අල්ලපු ගෙදර කාන්තාවට පැවසුවේ මේ මොහොතේ දී සියල්ලන්ම එකිනෙකාට උදව් කරගැනීමට ඇප කැපවී ඉන්නා බැවිනි.

"හරි දරුවෝ ඔයා පරිස්සමින් ගිහින් එන්න .අක්කව බලන්න තාම දෙන්නේ නැහැ නේද?" 

ඇය ඇසුවේ රෝහලට යන්නට සූදානම් වී පාරට බසින ප්‍රමුදිතා ගෙනි.

"ඔව් නැන්දේ අදවත් පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා අක්කගේ යාළුවෙක් ඉන්නවා එයාගේ අහන්ඩ ඕනේ."

ප්‍රමුදිතා එකම බැල්මක් පමණක් වෙළඳසැල දෙසට හෙළුවාය.එය තවමත් සුන්බුන් ගොඩක් පමණි.කවුරුන් හෝ කතා කරගෙන එය අස් පරස් කර දැමිය යුතුය.

******************************************************************************

රෝහලට පැමිණ තාමරීට ඇමතුමක් දුන් ප්‍රමුදිතා ඇයගේ උදව්වෙන් දැඩි සත්කාර ඒකකයේ දොර අසලට පිවිසුණාය .

"දෙවෙනි ඇඳේ ඉන්නෙ අක්කා."

තාමරී පැවසුවේ කලබලයෙන් ඇස් එහෙ මෙහෙ කරමින් අක්කා ව සොයනා නැගනියටය.

"අනේ ඉතින් අඳුර ගන්න වත් බෑ නේ අක්කෙ."

ප්‍රමුදිතාට ඉකි ගැසුනි.

"එහෙම තමයි නංගී.මේ වගෙ තැනකදි ලෙඩෙක්ගෙ ඔක්කොම කටයුතු මැෂින් වලින්නෙ කරගෙන යන්නෙ.අක්කට දැන් හුඟක් අමාරු අඩුයි.බයනොවී ඉන්න."

පෙරදා සුලෝචනා පත්වූ තත්වය නංගීට නොපවසා ඉන්නට තාමරී සිතාගත්තාය.

නිකම් මොකටද ඒ ළමයව කලබල කරන්නෙ.ඇය සිතාගත්තාය.

"මෙතන ගොඩක් වෙලා ඉන්න දෙන්නේ නැහැ නංගි.එනිසා අපි යමු."

තාමරී ප්‍රමුදිතා ද කැදවාගෙන ආපසු රෝහල් කැන්ටිම වෙතට ආවාය.

"ගෙදර තත්වෙ කොහොමද නංගි?"

කෙටිකෑමක් සහ තේ බඳුන් දෙකක් රැගෙන ප්‍රමුදිතා ඉදිරිපසින් හිඳගත් තාමරී කතාබහට එළඹුනාය.

"අම්මට ප්‍රෙෂර් වැඩිවුණා අක්කෙ.ගෙවල් ළඟ ඩොක්ටර් ගෙන් බෙහෙත් ගත්තා.කඩෙත් තාම ඒ විනාස වෙච්ච විදියමයි.අස් කරන්නවත් මට හිතක් නෑ අක්කෙ."

ප්‍රමුදිතා තාමරී ලංකල තේ බඳුන තොලගාමින් පැවසුවාය.

"අම්මා උන්නාට ලොකූ තමා අක්කෙ මුලු ගෙදරම වැඩ හොයල බලල අපි දෙන්නවම බලාගත්තෙ.අනේ එදා උදෙත් මගෙ බත් එක අතට දීලා කඩේට ගියෙ."

ප්‍රමුදිතාගේ කටහඬ බිඳීයමින් තිබුණි.

"මට හරිම දුකයි නංගි . අක්කා මගේ හොඳම යාළුවා .ඒත් ඒලෙවල් ඉවර වෙච්ච ගමන්ම ඔයාලට මොකද උනේ වුනේ කියලා වත් මම දැනගෙන උන්නේ නැහැ.මම අපේ අක්කලගෙ ඒලෙවල් ඉවර උන ගමන්ම ස්වීඩන් වල අපේ පුංචි ගාවට ගියා.ආපහු මම ඕලෙවල් වලට ඇවිල්ල තමා දන්නෙ ඔයාල නෑ කියල. ඒ කාලෙදි තමයි ඔයාලා මෙහෙන් ගිහින් තිබුණේ."

තාමරී පැවසුවේ අතීත සිදුවීම් මෙනෙහි කරමිනි.

"අනේ ඔව් අක්කේ ඒ දවස්වල අපිට ආව ප්‍රශ්න අක්කට ආරංචි වෙන්නත් ඇති. අන්තිමේදී අපි අවුරුදු හයක් විතර අම්මලාගේ ගමට ගිහිල්ලා උන්නේ. එහෙ ඉස්කෝලෙකට මං අන්තිමට ගියේ.ඒ උනාට අක්කේ ඒ දුප්පත් ගම්වල ඉස්කෝලවල මට ඕලෙවල් කරගන්න තරමටවත් පහසුකම් නැහැ. අන්තිමට අපි ආවා ආපහු.ඒ ඇවිල්ලා තමයි මෙහෙ ආයෙ සෙට්ල් උනේ." 

ප්‍රමුදිතා තාමරිට පැවසුවේ සිදු වූ කාරණා ඇය යම්තාක් දුරට දැන ඉන්නා ඇතැයි උපකල්පනය කරමිනි.

"ඔයාලා දැන් ඉන්නෙ රෙන්ට් එකට ද නංගි?"

තාමරි ඇසුවේ ප්‍රමුදිතා ගෙනි.

"ඔව් අක්කේ ඔය ඉන්න තැන දැන් අපි අවුරුදු තුනක් තිස්සේ ඉන්නවා.අනේ කිසිම කරදරයක් නැහැ. ඒ කඩ කාමරයත් අපට වෙනම කුලියක් ගන්නේ නැතුව ඒ ගෙදර කට්ටිය දුන්නෙ."

ප්‍රමුදිතා අසල්වැසි පවුල ගැන සිහිපත් කළේ බෙහෙවින් කෘතඥ වෙමිනි.

"එහෙනම් නංගි දැන් ඔයා ගෙදර යන්න.මට ඕන වුණත් කෝල් එකක් දෙන්න.මං ගැන බලලා ඔයාටත් අප්ඩේට් කරන්නම්."

තාමරිගෙන් සමුගෙන ප්‍රමුදිතා යලි නිවස බලා පැමිණියාය. අක්කා මේ තරමට හෝ සුවවීම  හිතට සතුටකි.එහෙත් ...ඇයගේ සැබෑ තත්වය තාමත් තමන් දන්නේ නැත.

අක්කාගේ කාමරයට ඇතුළුවූ ප්‍රමුදිතා ඇයගෙ සයනයේ මදක් වැතිරුණාය. මේ තමා සහ අක්කා නිදන කාමරයයි .කාමරය පුරාම තිබෙන්නේ ඇයගේ සුවඳ ය .අක්කා කෙතරම් දුරට පිළිවෙලකට  ජීවත්වූ අයෙක් ද යන්න කාමරය දෙස බැලූ බැල්මෙන්ම කෙනකුට සිතාගත හැක

අක්කා රෝහල්ගතව ගෙවෙන සිව් වැනි දිනයද අදය. එදා උදෑසන  නවා තැබූ පොරෝනය තවමත් එසේමය.ප්‍රමුදිතා අක්කාගේ සුවඳ රැඳුණු පොරෝනය සිය මුහුණට තද කොට ගෙන මොහොතක් දෑස් පියා උන්නාය .ඒ තුළින් හමා එන්නාවූ අක්කාගේ සුවඳ  ඇයගේ නෙත් කෙවෙනි යළිත් කඳුළින් තෙමා ලන්නට විය.

*********************************************************************************

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු ...ආදරය සමගින්.

මම

( විසිරි 🧡)

8 comments:

  1. ම්හු.. මදි මදි.. හොඳටම මදි.. රිද්මා ගැලපෙනවා අර බිං කුණ්ඩාට. උන්ව සෙට් කරලා දාන්න.. සුලෝ ගැන මම බලාගන්නම් පුළුවන් විදියකට..

    ReplyDelete
  2. බකමූණට කියන්ඩ ඔ්නෙ මේ කතාව ගැන.

    ReplyDelete
    Replies
    1. සෙට් එකක්ම ඇවිල්ලා ඉන්නෙ ඔත්තුවට

      Delete