Sunday, August 22, 2021

05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්)



04 වෙනි කොටස ට මෙතනින්

ප්‍රමුදිතා  නිවසට එනවිට අම්මා උන්නේ එහා ගෙදර නැන්දා සමගින් ඉස්තෝප්පුවෙහි ඉදාගෙන කතා බහේ යෙදෙමිනි .ඇය නැන්දා පිටව ගිය පසු කාමරය වෙත පැමිණියේ 

"පුතේ කොහොමද අක්කට" අසමිනි.

"මම ICU එකට ගාවට ගිහින් බැලුව අම්මා.අක්කට උන්නට වඩා ගොඩක් හොඳයි හැබැයි අපිට ඇතුලට ගිහින් බලන්න බැහැ.තව චුට්ටක් හරි ගියාම වාට්ටුවකට දාවි එතකොට අපි යමුකෝ බලන්න"

ප්‍රමුදිතා අම්මාගේ හිස අතගාමින් පැවසුවාය.

ප්‍රධාන ගේට්ටුව අසල වාහන නලා හඬක් ඇහෙන්නට විය.

"බලන්න පුතේ කවුද කියලා"

අම්මා සයනයෙන් නැගී සිටින්නට තැත් දරමින් පැවසුවාය.

"අම්මා ඉන්න මම පොඩ්ඩක් ගිහින් බලන්නම්."

ප්‍රමුදිතා අත්බෑගය පුටුව මතට දමා ආපසු ගේට්ටුව අසලට පැමිණියාය.හමුදා ජීප් රථයේ සිටියේ රත්නායකයි.

"කොහොමද දරුවො අක්කට?"

රියදුරු අසුනේ සිට ඇය දෙසට එබෙමින් රත්නායක ඇසුවේය 

"අනේ සර් , අක්කා තාම අයි සී යූ එකේ.ඒ වුනාට දැන් කලින් තිබ්බට වඩා ගොඩක් හොඳයි .අපිට බලන්න යන්න දෙන්නේ නැහැනේ .මම අද ගිහිල්ලා මෙහෙ ආවා විතරයි.වාට්ටුවකට දානකම් ඉතින් බලන් ඉන්න වෙනවා."

ප්‍රමුදිතා පැවසුවාය.

අද පැමිණ සිටින්නේ ඔහු පමණි .ඔහුගේ ප්‍රධානියා ලෙස පෙනුණු ඒ නිලධාරියා අද නැත .ප්‍රමුදිතාගේ විමසිලිමත් දෑස සොයන්නේ තමන්ගේ ප්‍රධානියා බව දැනගත්  රත්නායක  

"සර් පල්ලියෙ දාලයි මං මේ ටවුන් එක පැත්තට යන්න ගියේ.එහෙනම් මං ගිහින් එන්නම් දරුවො.මොන හරි උවමනාවක් වුනොත් කියන්නකො." කියා රිය පණ ගන්වා ගත්තේය  

ජීප් රථය නොපෙනී යන තුරු බලා උන් ප්‍රමුදිතා සුසුමක් හෙලා ආපසු හැරී ආවාය.

"කවුද දරුවො ඒ ආවේ?" 

අම්මා දොර අසලටම විත් ඇසුවාය.

"අර එදා අක්කාව ඉස්පිරිතාලෙට අරන් ගියපු හමුදාවේ සර්ලා . අක්කට කොහොමද කියලයි ඇහුවේ?" 

ප්‍රමුදිතා  පිළිතුරු දෙමින් ගෙතුලට යන්නට සැරසුනාය .ඉතින් රාත්‍රී ආහාරයට කුමක් හෝ සරල දෙයක් සාදාගත යුතුය .කන බත් පිඩක් පවා උගුරෙන් පහළට නොයන තරමට අක්කාට සිදු වූ දේ ඇයව කම්පනයකට පත්කොට ඇත.එහෙත් අම්මාගේ නිරෝගී බව ගැන මේ මොහොතේ තමා සිතිය යුතුය .

"පුතේ දැන් ඔය උයන්න මහන්සි වෙන්න එපා.අපේ ගෙදර ඉඳිආප්ප හදනවා. මං අම්මටයි ඔයාට ඉඳිආප්ප ටිකක් එවන්නම්" 

එහා ගෙදර නැන්දා තාප්පයෙන් මෙපසට එබෙමින් පැවසුවාය.

ප්‍රමුදිතා ඇය දෙස ස්තුති පූර්වක බැල්මකින් බලා යළි කාමරයට වැදුණාය.

 ප්‍රමුදිතා  අල්මාරිය ඇර ඒ දෙස මොහොතක් බලා උන්නාය .තමා හා අක්කාට මහා ගොඩක් ඇඳුම් නැතුවද අක්කා ඒ සියල්ල පිළිවෙලකට සෝදා නවා තැන්පත්කොට තබන්නේ දුටුමනතින් ප්‍රිය උපදවන ආකාරයට ය.ඇයගේ සුපුරුදු සුවඳ මුලු කාමරය පුරාම තවමත් පැතිර ඇත .ප්‍රමුදිතා නැගී එන ඉකිය වලකා ගනිමින් අල්මාරිය වසා දැමුවාය.

*****************************************************************************

"පට්ට මහන්සියි බන්. එලියට යන්න ඕන මට ටිකක්."

රත්නායක අමතා බිම්සර පැවසුවේ ආපසු කෑම්ප් එකට එන අතර මගදීය. සිය ප්‍රධානියා කුමක් හෝ වියවුලක පසුවන බවක් රත්නායකට වැටහේ. ඒත් ඒ කුමක්දැයි ඔහුට නිශ්චය කරගත නොහැක.

"කොහෙටද සර් යන්න ඕන?"

රත්නායක එපමනක් පමණක්ම ඇසුවේය.

"උස්වැටකෙයියාව පැත්තට යමු . ගිහින් ඉක්මනින් චේන්ජ් එකක් දාගෙන."

බිම්සර එපමණක්ම කියා ඇස්පියාගත්තේ අසුනේ හිස රඳවනයට හිස තබාගනිමිනි.

රත්නායක ජීප් රථය  නැවැත්වූයේ උස්වැටකෙයියාව මුහුදු තීරයේය.තද කලු පැහැති ටීශර්ටයකින්ද නිල්පැහැ ඩෙනිම් කලිසමකින්ද සැරසගත් බිම්සර වාහනයෙන් බිමට බැස්සේ අතවූ බියර් කෑනයද ගෙනමය. 

"මන් චුට්ටක් මෙහෙන් ඉන්නම්."

බිම්සර එපමණක් කියා මුහුදුවෙරල අද්දර තනවා තිබූ කුඩා සමර්හට් එකක් වෙත ගියේය.

ඔහු එසේ පවසන්නේ තනිව සිටින්නට අවැසි නිසා බව දන්නා රත්නායක ජීප් රථය ඔහු පෙනෙන දුරකින් නවත්වා බලාඋන්නේය.

බිම්සර බියර් කෑනය හෙමි හෙමින් පානය කරන අතරේ ඈත මුහුදු තීරය දෙස අව්කණ්නාඩි අතරින් බලාඋන්නේය.

හිතේ කුමක් හෝ අතහැරී යාමක අඩුව හැම විටම ජීවිතයට ඉතින් දැනේ.

මේ දින දෙකේදීම ඒ අඩුව තමා යළි පෙළන්නේ සුපුරුදු ඉසව්වට යළි පැමිණි නිසාවිය යුතුය.ඉතා තුරුණු වියෙහිදී සතුටින් කෙළිදෙලෙන් ගතකල ඒ ප්‍රදේශය තමාහට හිස් වන්නට පටන් ගත් යුගය ඔහුට තවම මතකය.

බිම්සර හිසකේ ඇදගත්තේ අධික නොසන්සුන් බවෙනි.

ජංගමය කම්පනය වනු දැනෙන්නේ කලිසමේ සාක්කුවෙනි.

"අප්පච්චි..."

බිම්සර අමතුමට සම්බන්ධ වූයේ බියර් කෑනය පසෙක තබාය.

"පුතේ කොහොමද ඔහේ තත්වය?"

අප්පච්චිගේ හඬ හිතේ දාහය නිවාලන තරමේ ස්වරයකි.

"මෙහෙ ගැන නම් කතාකරල වැඩක් නෑ අප්පච්චි. මෙච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්න හැටි දැක්කම එපාවෙනව අප්පච්චි."

බිම්සර පැවසුවේ හිතේ නැගෙන වේදනාවෙනි.

"මාත් නිවුස්වලින් දිගටම දැක්කා සුදුපුතේ. පරෙස්සමින් වැඩ ටික කරගන්න .තාම අවදානම පහවෙලා නෑනේ.මගෙ පුතාත් පරෙස්සමින් වැඩ ටික කරගන්න. තෙරුවන් සරණයි."

අප්පච්චී ඇමතුම නිමාකරමින් පැවසුවේය.

හිතේ හටගන්නා සියලුම දුක්වේදනා ,මොහොතකින් නිවාලන්නට අප්පච්චීට හැකිවන්නේ විශ්වකර්ම බලයක් බඳු ස්වරයෙන්මය.

හිතේ කාන්සිය උතුරා යන ඕනෑම මොහොතක අප්පච්චී එය ඉවෙන් මෙන් දැන ඇමතුමක් දෙන්නේ telepathy නිසාදැයි බිම්සරට විටෙක සිතෙයි.හිස්වූ බියර් කෑනය අතදරාගෙන බිම්සර නැගී උන්නේ තවත් දවසක නිමාව ඈත ක්ෂතිජයෙන් සනිටුහන් වන රන් පැහැ ඉරෙහි අවසන් රේඛාවන්ද දැක්කාට පසුවය.

"අප්පච්චී කෝල් කලා."

එපමණක් කීම රත්නායකට සිය ප්‍රධානියා ගේ මුගුණේ අඳුරු වළාකුළු මැකී යන්නට හේතුවට ප්‍රමාණවත්ය.ඔහු සැනසුම් සුසුමක් හෙලා රිය පණ ගන්වා ගත්තේය.

******************************************************************************

අතිශය කාර්යබහුල සතියක් ගෙවී යන විට රට තුළ පැන නැග්ගේ අහුමුලු වලින් හිස ඔසවන ජාතිවාදයක සලකුණු ය.වසර ගණනාවක් තිස්සේ එක් ජාතික ජාතිවාදී අරගලයක් හේතුවෙන් බැට කෑ සාමාන්‍ය ජනතාවගේ දුක් කඳුළු සෝසුසුම් මෙන්ම රුහිරු වැගිරීම් ද දේපල හානි හා අවතැන් වීම් ද දුටු බිම්සරට මේ හිස ඔසවා ඔසවාගෙන එන අඳුරු වලාකුළු වල බරපතළ කම මොනවට වැටහෙන්නට විය.

"අපිට මෙතනින් නම් ගැලවෙන්න හම්බෙන්නෙ නැහැ බං

ඒ ගමන තැනින් තැන පටන් අරගෙන නේද ?"

බිම්සර ධාවනය වන රියෙහි සිට රත්නායකහට පැවසීය.

"මිනිස්සුන්ට කුපිත වෙන්න එක පොඩි කාරණයක් තිබ්බත් ඇති සර්. අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ ...කොනකින් ගිනි පුපුරක් තිව්වම ඇති ...කට්ටිය හොඳට තෙල් දාගෙනම ඇවිලෙනවා.ඒකෙනුත් අන්තිමට වෙන්නේ අහිංසක මිනිස්සු ටික දෙනෙක් දෙපැත්තෙන්ම මැරෙන එකතමයි"

රත්නායක පැවසුවේ සුසුමක් හෙළමිනි.

පල්ලිය පෙනෙන තෙක් මානයේ දී බිම්සරගේ දෑස් නොසන්සුන් වන ආකාරය රත්නායක නිරීක්ෂණය කළේ හොරහිනි.

මෙතන මොකක් හරි හොරයක් තියනවා. ඒක අර පොඩි කෙල්ලට නම් වෙන්න බැහැ. ඒ ළමය තාම ස්කෝලෙ යන පුංචි ළමයෙක් නේ.එදා අර ඒ ගෑනුළමයගෙ අක්කව ගෙනිච්ච දවසෙ ඉඳන් තමා මේ පැටලිල්ල

රත්නායක තනිවම සිතුවේය .එහෙත් තමාගේ ප්‍රධානියාගෙන් එබඳු දෙයක් ඇසීමට තරම් රාජකාරිමය සම්බන්ධතාවේ ඔවුන් සමීප නොවේ.

"අර ලෙඩාට කොහොමද දන්නෑ නේද සර්?"

රත්නායක  ඇහුවේ ඔවුන්ගේ නිවස දෙස බලමිනි.

"උඹට ඕනෑ නම් ගිහින් අහගෙන වරෙන්." 

බිම්සර  එපමනක් කියා ඉවත බලා ගත්තේය.

දිසාරත්න තිරිංග පෑගුවේ එක්වරමය.

"යකෝ...මරන්නද යන්නෙ මාව" බිම්සරට කෑගැස්සුණි.රත්නායක සිනාවක් පෑවේ හිසකසමිනි.

"ඉන්න සර් මං ගිහින් පොඩ්ඩක් අහල එන්නම් කෝකටත්.

මොනා උනත් ඉතින් සර් ගෙනිහින් බාර දීපු ලෙඩා නේ."

බිම්සර කට කොනකින් සිනහ වී ඉවත බලාගත්තේය.

"මංම හින්දා හොඳයි ඉතිං." රත්නායක හිනැහෙමින් නිවෙස දෙසට ගියේය.

"ගෙදර කවුද ?"රත්නායක කිහිප වරක් හඬනගා කතා කළ ද නිවසේ දොර ජනෙල් සියල්ල වසා ඇත .ඔවුන් කිසිවෙක් ගෙදර නැති බවක් පෙනේ .

තවත් වරක් හඬනගා කතා කරන විට අල්ලපු ගෙදර කාන්තාව තාප්පෙන් එබී බැලුවාය.

"ආ කාවද හොයන්නේ කුසුමක්කාවද ? එයාලා ගියා ඉස්පිරිතාලෙට."

රත්නායක  ඇයට ස්තූති කොට ආපසු ජීප් රථයට පැමිණියේය 

බිම්සර විමසුමෙන් ඔහු දෙස බැලුවේය.

"ගෙදර කවුරුත් නැහැ ඉස්පිරිතාලයට ගිහිල්ලාලු සර්."

රත්නායක දේවස්ථානය දෙසට වාහනය ධාවනය කරමින් පැවසුවේය. රෝහල වෙත යෑමේ හදිසි සිතුවිල්ලක් පහළ වුවද  රත්නායක  එය වරදවා වටහා වටහාගනු ඇතැයි බිම්සරට සිතුනි.

සිඟිති නංගිගෙ ෆෝන් නම්බර් එක වත් මට එදා ඉල්ල ගන්න බැරි වුණා.එක්කෝ අද ආපහු යන ගමන් ඒ පැත්තෙ පොඩ්ඩක් ගිහින් යන්ඩ ඕනේ.

බිම්සර සිතුවේ සියලුම සිද්ධීන් අමතක කොට දමා රාජකාරි කටයුතුවල යෙදෙමිනි .

********************************************************************************

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු යළිත් ...ආදරය සමගින්.

මම 


( විසිරි 🧡)


12 comments:

  1. හ්ම්... කතාව ටිකක් ෆාස්ට් ෆෝවඩ් කරමුද? සතියක් විතර ඉස්සරහට?

    ReplyDelete
    Replies
    1. ඉන්න මම කොටස් කීපයක් එකට දාන්නම් .එතකොට ඉක්මනින් ඒවිනෙ ගානටම

      Delete
  2. මේක නොවරදවා කියවනවා. ලස්සනයි. අපුරු ලෙසින් ගෙත්තම් කරලා තියේනවා. ඔෆිස් කොම්පියුටරෙන් කියෙව්වත් කොමෙන්ට් කරන්නට බෑ.

    ReplyDelete
  3. ඩ්‍රැකියා පෙන්නපු පාර දිගේ ආවෙ. හොඳ වැඩක්. සුභ පැතුම්!

    ReplyDelete
  4. ස්තූතියි බකුස් සහ අසංග.

    තට්ට අයියත් කියවනව කියල කිව්වා. නිදියත් එයි හෙට පාන්දරිම්ම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . තට්ටයා (අයියා හෝ මල්ලී) කලින්කොටස් කීපයක් කියෙව්වා වගෙ මතකයි ඩ්‍රැකී

      Delete
  5. බ්ලොග් එකේ අප්ඩේට් වෙන වේගේ මදි මැඩම්.. ළඟ ළඟ දාල දිනපතා ෆේස්බුක් එකේ අප්ඩේට් වෙන එකට පැරලල් ගේමු මේකත්.

    ReplyDelete
    Replies
    1. කොටස් තුනහතරක් එකට දාන්න ඕනෙ එහෙනම්

      Delete