Wednesday, August 25, 2021

06. හයවෙනි කොටස -( ඔබ ආයෙමත් ඇවිදින්)





විසිරි සිහින: 05. පස්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්) 

"අක්කා වාට්ටුවට දමල අම්මේ" 

තාමරීගේ ඇමතුමක් ලද විගස ප්‍රමුදිතා කෑගැසුවේ සතුට දරාගන්නට නොහැකිවය.දෛවය කෙතෙක් කුරිරු වුවද එය අම්මා සහ තමා වෙතින් අක්කා උදුරාගන්නට තරම්ම අසාධාරණ වී නැත.

"ඉක්මනට ඇඳ ගන්න අම්මෙ අපි යං ඉස්පිරිතාලෙට.ලෙඩ්ඩු බලන වෙලාව නොවුනට කමක් නැහැ.තාමරී අක්කනෙ එන්න කිව්වේ."

ප්‍රමුදිතා අම්මාව හදිසි කළේද නොඉවසිල්ලෙනි.වහ වහා රෝහලට යන්නට සූදානම් වූ දෙදෙනාව රෝහල වෙත ඇරලුවේද අසල්වාසී ත්‍රීරෝද රථ හිමියෙකි.

"අපේ ත්‍රීවීල් පාක් එකේම කීදෙනෙක් මේකෙන් නැතිවුනාද? තුවාල වුණාද ? කුසුමක්කේ ඒ අතින් කෙල්ල ගොඩ ආවා කියන එකම ඇති."

ඔහු රෝහලට ඔවුන් ඇරලවා මුදල්වත් නොගෙනම පිටවගියේය.මේ මිනිස්සු එහෙමය. දුකේදීත් සැපේදීත් එකාවන්ව සිටින්නෝය.

"ඔයාලව එක්ක එන්න කියල කිව්වෙ අපෙ ලොකු ඩොක්ටර් . දැන් අක්කා ඉන්නෙ අපෙ වෝඩ් එකේ.යමු ඉක්මනින් " 

තාමරී පය ඉක්මන් කලේ වාට්ටුවට යාමටය.ප්‍රධාන වෛද්‍යවරයා හමුවී සුලෝචනා ගැන අවශ්‍ය කරුණු කාරණා මේ දෙදෙනාට පහදාදීම ඇයට අවශ්‍ය විය.එය තමා අතින් කියවෙනවාට වඩා ප්‍රධාන වෛද්‍යවරයා වෙතින් පැවසීම වඩාත් උචිතය. 

තිරරෙදි වලින් වටකළ සයනයේ වැතිර ඉන්නා සුලෝචනා දුටුවිට අම්මාගේ ඉකිය හැඬුමකට පරිවර්තනය විය.හදේ සිරව තිබූ වේදනාවන් වක්කඩක් කැඩුවාක් සේ දෝරේ ගලායන්නට විය.

"අනේ අම්මෙ මේ වාට්ටුවක කෑගහල ඔහොම අඬන්න එපා."

ප්‍රමුදිතා අම්මාට කෙඳිරුවේ ඇයව වත්තන් කොට ගනිමිනි. වාට්ටුවේ අය මේ හඬින් හිස් ඔසවා බලනා අන්දමට ප්‍රමුදිතා බියවූවාය.

"අම්මාට අඬන්න දෙන්න දරුවො.තමන්ගෙ දරුවෙක් මෙහෙම ඉන්නව දැකම මොන අම්මාටද අඬන්නැතුව ඉන්න කියන්න පුළුවන්" 

ප්‍රධාන හෙද නිලධාරිනිය ප්‍රමුදිතා ට පැවසුවේ අම්මාට ඉඳගන්නට පුටුවක්ද ළංකරමිනි.

"හැබැයි ඉතින් ඔය දෙන්නට ඉස්සරහට අක්කා ගොඩගන්න සෑහෙන දෙයක් කරන්න වෙනව.ඒකට නම් අඬ අඬ හූල්ලල බෑ."

ඇය අවධාරණය කරමින් පිටවගියේ ප්‍රධාන වෛද්‍යවරයා හට එතුළට එන්නට ඉඩ සලසමිනි.

"කොහොමද තාමරී අපෙ මේ කෙල්ලට.තාම නිදිද?" 

ප්‍රධාන වෛද්‍යවරයා සුලෝචනාගේ කම්මුලකට සෙමින් තට්ටු කලේය.ඉතා අපහසුවෙන් ඇස් පියන් විවර කල සුලෝචනා යළි ඇස් වසා ගත්තාය.

"සුලෝචනා ඔයාට මාව ඇහෙනවද ?"

ප්‍රධාන වෛද්‍යවරයා ඇයගේ අසලට වී කතාකලේය.යාන්තමින් ඇස් පියන් විවර කරමින් ප්‍රතිචාර දක්වන සුලෝචනා වෙතට අම්මාව කැඳවූයේ ප්‍රධාන වෛද්‍යවරයා විසිනි.

"අම්මේ අඬන්නෙ නැතුව දුවට පොඩ්ඩක් කතාකරන්න බලන්නකො."

ඔහු මඳක් ඉවත්වූයේ අම්මාට ඉඩදෙමිනි.

"මගෙ ලොක්කියේ...රත්තරන් පුතේ..."

අම්මා ඉකිය වලකාගනිමින් සුලෝචනා ගේ හිස අතගාමින් කතාකලාය.අම්මාගේ හඬට සුලෝචනා ගේ ප්‍රතිචාර මනාව ලැබිණි.ඇයගේ වැසුණ ඇස් අතරින් කඳුළක් ගලාගියේය.

"එයා රිකවර් වේවි.රෙස්ට් එක ඕන නිසා අම්මල ටිකක් ඉඳල දැන් යන්න.නිතරම හැමෝම එන්න එපා.ඔය දෙන්නාට විතරක් ලෙඩා බලන්න අපි පර්මිෂන් දෙන්නෙ."

වෛද්‍යවරයා පිටව ගියේ ඇඳ ඉහපතේ සටහනක් තබමිනි.හිත් වලට සැනසුම් සුසුමක් හෙලුණේ එවදන් අසාය.

*********************************************************************************************************

විශේෂ විමර්ශනයන් කවදා කෙසේ අවසන් වේදැයි සිතාගන්නට නොහැක.අතුබෙදී ඇති කුමන්ත්‍රණ ජාලයක සියල්ලෝම සිරව ඇතිසේය.බිම්සර ද සිය කණ්ඩායම සමග රජයේ අණපරිදි ප්‍රදේශය පුරා මෙහෙයුම් වල නිරත වූවේය.එහෙත් සියල්ලෙන්ම මිදී හුදෙකලා වෙන මොහොතක බිම්සරගේ කල්පනාබරිත බව රත්නායක නිරීක්ෂණය කලේය.ඔහු සිටින්නේ කම්පනයක සේයා ඇතිවය.එහෙත් එබඳු  ප්‍රශ්න කිරීම් වලට රාජකාරි මට්ටමෙන් ඉඩක් ඇත්තේම නැත.

" මේ කිට්ටුව මම අඳුනන අංකල් කෙනෙක්ගෙ ගෙදරක් තියනව.අද යනගමන් එහෙට ගිහින් යං."

හවස කලින් වැඩකටයුතු ඉවර කළ පසු බිම්සර පැවසීය.රත්නායක ජීප් රථයට නැගුණේ යායුතු දිසාව ගැන අසාදැනගෙනය.

පල්ලිය පිටුපස පාරේ සැතපුමක් දෙකක් පමණ ගිය විට නිස්කලංක වටපිටාවක වූ පොල්වත්තකට ජීප් රථය හැරවුණේ බිම්සරගේ අනුදැනුමෙනි.පොල්වත්ත මැදින් ඇති පාරේ කෙලවර පැරණි තාලයට සැදූ නිවෙසකි.එය වටා ෆාම් ගස් වවා තිබුණි.පොල්වත්තේ තැනින් තැන යටිතල බෝග ලෙස අන්නාසිද ගම්මිරිස් වැල් ද වවා තිබුණි.

ජීප් රථ්යේ හඬට ආලින්දයට විත් බලා උන්නේ සුමනදාස අංකල්‍ ය.

"අනේ අනේ කොල්ලො , අපිව බලන්න එන්න බෝම්බම පත්තුවෙන්න උනා එහෙනම්."

සුමනදාස අංකල් බිම්සරගේ පිටට පහරක් ගසමින් සිනාවූයේ ය.බිම්සර සිනාවී බිමබලා ගත්තේය.ඉස්සරත් සුමනදාස අංකල් තමාහට කතාකලේ ඔහොම්මය.පිටට පහරක් ගසා හෝ උරහිස මිරිකා දමමිනි.

"එන්න එන්න ගෙට ඉතින් .ඔය මහත්තයත් එන්න."

රත්නායකටද ඇරයුම් කල සුමනදාස අංකල් ගේ ඇතුලට පිවිසියේය.

"සර් මම ජීප් එකේම ඉන්නම්.සර් කතාකරල එන්නකො."

රත්නායක පැවසූවේ නාඳුනන කතබහට වඩා ඒ පරිසරය ඔහුට විඳින්නට අවැසි වූ හෙයිනිහෙයිනි. අනෙක ඒ ඒ අයගේ පෞද්ගලික කතාබහට තමා තුන්වැන්නෙක්ව සිටිය නොයුතුය.

"මං ආපහු ලංකාවට ආවෙ ගිය අවුරුද්දෙ අංකල්.ඔපරේශන්ස් කාලෙ ඉවරවෙලා මම පකිස්තාන් ගියා ට්‍රේනින්. අවුරුදු ගාණක් උන්නෙ එහෙ.මේ හදිසියෙ මේකට වම හොස්පිට්ල් එකේදි මට නංගිව හම්බවුනේ."

බිම්සර පැවසුවේය.

"ඔව් ඔව් අපෙ රිද්මා එදාගෙට ගොඩවුනේම සුදු අයියා හම්බවුණා කියාගෙන.

ඒත් ටෙලිෆෝන් නොම්මරෙවත් ඉල්ලගන්න බැරිඋනා කියල කියව කියව උන්න."

සුමනදාස අංකල් බිම්සර සමග පැවසුවේ සිනාසෙමිනි.

"කෝ නංගි, ඇන්ටි එහෙම."

බිම්සර ඇසුවෙ නිවසේ ඇති අසාමාන්‍ය නිහැඬියාව හෙයිනි.

"අම්මයි දූයි සමාජසේවෙනෙ .තුවාල කාරයො වගයක් බලන්න ගියා අර ඒ පැත්තෙ.ඔය එන්නෙ කියනකොටම."

ජීප් රථය අසලින්ම නැවැත්වූ කාරයෙන් මුලින්ම බැස්සේ සුනිලා ඇන්ටීය.මොහොතක් විශ්මයෙන් මෙන් බලා උන් ඇය බිම්සර වැලඳගත්තේ අනේ පුතේ දැක්කකල් කියමිනි.

"අනේ අම්මලටත් පිස්සුනෙ.මේ අවුරුදු ගාණක් අපිව අමතක කරල දාපු පොරවල් බදාගෙන ඉඹින්නෙ."

රිද්මා ගෙතුළට යන්නට ගියේ බිම්සරට පහරක්ද ගසමිනි.

"ඉරිසියා කරන්න එපා හලෝ."

බිම්සර කීවේ හිනැහෙමිනි.

සුනිලා ඇන්ටී බිම්සරට තේ සාදන්නට කියා ගෙතුළට ගියාය.

රිද්මා මුහුණකට සෝදාගෙන යළි පිටතට ආවේ බිම්සර තේ පානය කරන අතරේය.

"මහත්තයා මහත්තයා"

මිදුල දෙසින් කවුරුන් හෝ හඬගසන හඬකින් සුමනදාස අංකල් නැගී උන්නේ "ඉන්න පුතා මම පොඩ්ඩක් බලල එන්නම්" කියමිනි.

"මේ ඕයි. එනවකො පොඩ්ඩක් වත්ත දිහාට යන්න."

රිද්මා වටපිට බලමින් පැවසුවාය.බිම්සර ඇය දෙස බැලුවේ කිමදැයි අසන්නාක් මෙනි.

"යංකො" 

රිද්මා ගෙතුළට එබී,

"අම්මේ මම සුදුඅයියා එක්ක වත්තට යනව ටිකක්"

කියා කෑගැසුවාය.

"ඕයි මම යුනිෆෝම් ඉන්නෙ."

බිම්සර එලියට යන්නට මැලිකලේය.

"මනමාලියෙක් බලන්න යන්න කතාකලෙ නෑ.තමුසෙට කාරණයක් කියන්න තියනව.ඕන්නම් එනව නැත්නම් ඉන්නව."

රිද්මා නොමනාපයෙන් හිස ගැස්සුවාය.

රිද්මාගේ හොරගල් ඇල්ලීම සැකසහිත වුවද ඒ කුමක් නිසාදැයි බිම්සරට හිතාගන්නටත් නොහැක.

"මොකෝ තමුසෙට කොල්ලෙක්වත් හරිගිහින් ද? ආපෝ ඇති යන්තම්."

බිම්සර නැගී උන්නේ හිනාවෙමිනි.කාලයකට පසු තමන්ගේම අය අතරට ආවාක් බඳු හැඟීමක් සිතට දැනේ.

පොල්වත්තේ මඳක් දුරට යනවිට බිම්සර නැවතී උන් පුංචිඅම්මලාගේ නිවස පෙනෙයි.ඒ නිවෙස යළි පිළිසකර කොට අලුතින් කවුරුන් හෝ පදිංචිව ඉන්නවාසේය.

"අරහෙ රෙන්ට් කරලද අලුතින්."

බිම්සර ඇසුවේ ඒ නිවස දෙස බලමිනි.

"ඔව් ගිය මාසෙ අලුතින් කට්ටියක් ආවේ.ඔය ගේ ගත්ත අය ඒක රෙන්ට් කරනවනෙ ඒ කාලෙ ඉඳන්ම."

රිද්මා පොල්වත්තේ ඇලව ගිය කජුගසේ අත්තක ඉඳගත්තාය.

"සුදු අයියේ ඉතින් කියනවකො තමුසෙ තාම බැන්දෙ නැත්ද."

රිද්මා ඇසුවේ කජු අත්තක් අල්ලාගෙන ඒ නිවස දෙස බලාඉන්නා බිම්සරගෙනි.

"දැන් තමුසෙ මාව මේ වත්තට එක්ක ආවෙ මගෙ කසාදයක් ගැන අහන්නද.?අනේ මේ සිඟිති වැඩකට ඇති එකක් කතාකරනවකො."

බිම්සර නුරුස්සනා හඬින් පැවසුවේය. අකමැතිම මාතෘකාවට රිද්මා ද පැමිණීම ඔහු කෝපගන්වන්නක් විය.

"ඕකනෙ බැරි තමුසෙල එක්ක.හොස්ස ළඟින් මැස්ස යන්න බෑ මල පැන්න ගමන්."

රිද්මා ගස්සමින් පැවසුවාය.

"හරි කමක් නෑ මේ අහනවකො.තමුසෙට මතකද අර ඉස්කෝලෙ ඒ ලෙවල් කාලෙ මැරෙන්න ගියා කෙල්ලෙක්ට. අර දහයෙ පන්තියෙ උන්න පොඩි එකියෙක්ට."

රිද්මාගේ හඬින් බිම්සර තිගැස්සී ගියේය.ඒ අතීතය තමන්ට අමතක කරන්නට හැකි නම් තමා මේ සා විඳවන්නේද ?

බිම්සර රිද්මා දෙස බැලුවේ කේන්තියෙනි.ඇය මේ යළි උලුප්පාලන්නේ අමතක කලා යැයි හිතන අතීතයකි.

"සිඟිති මේ ...කාලෙකට පස්සෙ මං මේ ආවේ ඔය පරණ කතා ආයෙ අවුස්සගන්න නෙවේ.තමුන් දන්නව ඒ මං මැරෙන්න ගිය කෙල්ල ගැන වගේම මම කොච්චර ඒ කෙල්ල ගැන වදවුනාද කියලත්.

ඒත් ඒක අහන්න කියන්න කලින් ජීවිතේ හැමදේම වෙනස් වෙච්ච හැටිත් ඔයා දන්නව.ඉතින් ඇයි මේ ..."

බිම්සර කෝපය මැඩගනිමින් කලකිරීම මුසු ස්වරයෙන් ඇසුවේ ය.

"ඒ ළමයා ඊයෙ බෝමබයට අහුවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරල ඉන්නව සුදු අයියෙ."රිද්මා බිම්සරගේ මුහුණ දෙසම බලමින් පැවසුවාය .බිම්සර තිගැස්සී ගියේ ඉද්ද ගැසුවාසේය.

"මොකක් සිඟිති මොකක්.ඒ ...ඒ..එහෙම වෙන්නෙ කොහොමද .එයා බුඩිස්ට්නෙ.අනික එයාල මෙහෙ උන්නෙ නෑ මම අර ගමන ගිහින් එද්දි.ඒක වෙන්නෙ කොහොමද?"

බිම්සර හිසකේ ඇදගත්තේය.

"ඒක ලොකු කතාවක්ලු සුදුඅයියා.ඒවා පස්සෙ හොයාගම්මු.අපි හොස්පිට්ල් යංද එයාව බලන්න."

රිද්මා ඇසුවේ කම්පනයකට ලක්ව මෙන් බලාඉන්නා බිම්සරගෙනි.ඔහු ඇස් ලාරතකට හැරෙමින් පවතී.

බිම්සරගේ ජිප්‍ රථය රිද්මාගේ මෝටර්රථය පසුපසින් රෝහලවෙත ධාවනය විය. රිද්මාට රෝහලට යාමේ හදිසි අවශ්‍යතාවයක් ඇතිබව මවුපියන්ට පවසා ඇය නික්ම යත්ම බිම්සරද ඔවුන්ගෙන් සමුගත්තේ නැවත දිනක එනබවට පොරොන්දු වෙමිනි.

රෝහල් බිමට ජීප් රථය හරවන්න යැයි රත්නායකට පැවසූ බිම්සර රිද්මා සමගින් රෝහල තුලට ඇවිද ආවේය.

වාට්ටු සංකීර්ණයක කොරිඩෝ අතරින් එහෙමෙහෙ ගමන්ගන්නා අය අතර බිම්සර ඇවිද ගියේ තිගැස්මෙන් යුතුවය.

අතීත මතක සිතේ තදින් වෙලී ඇහැර එද්දී බිම්සර සිය හිත පාලනය කොට ගත්තේ ආයාසයෙනි.රිද්මාද නිහඬවම ඔහුට සමාන්තරව ගමන් ගත්තාය.ඇයටද අතීතය සිහිවූයේ එකපෙලටය.

"සුදු අයිය චුට්ටක් ඉන්න.මම වෝඩ් එකෙ බලල එන්නම්."

රිද්මා වාට්ටුවේ දොර අසල ඔහු නවතා ඇතුලට ගියාය.හෙදියන් කිහිප දෙනෙක් සමග කතකරමින් මොහොතක් ගතකල ඇය යළි දොර අසලට විත් 

එන්න

කියා ඔහුට කතාකලේය.බිම්සර තිගැස්ම ළයේ දරාගෙනම වාට්ටුව වෙත ගියේය.

ඇය දැන් කුමන ආකාරයක ළඳක් වන්නට පුලුවන් ද? ඇය විවාහක වන්නටත් ඉඩ ඇත.දරුවන් සිටින්නටත් පුළුවන.කෙසේ වුව ඇය දකින්නට හිත නොඉවසුම් ය.

ස්ක්‍රීනයෙන් වටවු ඇඳක් අසලට ආ රිද්මා එතුළට ගියේ ඔහුටද එන ලෙස සන් කරමිනි.බිම්සර මොහොතක් පැකුලුනේය.රිද්මා ඔහුට යලි රවාබලා 

"එනවා..විකාර නොකර"

කීවේය.බිම්සර ස්ක්‍රීනය මෑත්කරමින් ඇඳ අසලට ආවේද ඔහුගේ දෑස් විමතියෙන් විසල් වූයේද එකමොහොතේය.

"මේ මේ එයා...".

බිම්සර රිද්මාගේ අත තදකොට අල්ලාගත්තේය.

"ඕයි මගෙ අත.රිදෙනව අතාරිනව..මොකෝ මේ?"

රිද්මා හොල්මනක් දුටුවා සේ බිරාන්තව ඉන්නා බිම්සරගෙන් ඇසුවේ අතද ගසාදමමිනි.

"මෙයාව ඊයෙ හොස්පිට්ල් ගෙනාවෙ මම. ශොප් එකක් කඩන්වැටිලා හිරවෙලා ඇතුළෙ උන්නෙ.මමමයි ගෙනාවෙ."

ඔහු රිද්මාට පැවසුවේ පියවුන දෑසින් සිටින්නී දෙසම බලාගෙනය.

ඒ මොහොතේ ලේ වැකී ගිය ඇයගේ මුහුණ ඔහුට හඳුනාගන්නටවත් ඉඩක් මොහොතක් නොවූ අයුරු ඔහුට සිහිවිය.

"ඇහ්....මදෑ....ඉතින් ඕයි අඳුනගත්තෙ නැද්ද?"

රිද්මා ඇසුවේ මේ අපූරු සිදුවීම ගැන ඇතිවූ සතුටිනි.

"ඒ උන්න හැටියට මේ වයසක ගෑනියෙක්ද අම්මෙක්ද කෙල්ලෙක්ද කියලවත් පෙනුන්නෑ .ලේ උතුරනව."

බිම්සර මොහොතක් ඇය අසලට ලංවිය.

පියවගිය නෙත් යට කලුගැසී ඇත.මුහුණම ඉදිමී ඇත.ඔහු කිසිවක්ම නොකියා ඇය අත මත සිය අත තැබීය.මොහොතකට ඒ අත ගැස්සුනාදැයි ඔහුට දැනී නොදැනී ගියේය.

බිම්සර සුසුමක් හෙලා ඇඳේ පාමුලට හේත්තුවී අත්බැඳගත්තේ පපුව හරහාය.

"රිද්මා අක්කී....ඔයා ආව කියල නර්ස්ලා කීවා."

තාමරී ස්ක්‍රීනය මෑත් කරමින් ඇතුලට ආවේ බිම්සර ගැන වගේ වගක් නැතිවය.ආ වේගයෙන්ම දෑත මුවට තබා ගත් ඇය "සොරි" කියා ඔහු දෙස එකමබැල්මක් හෙලිය.

"නංගා මෙයාව දන්නවද?"

බිම්සරව පෙන්නා රිද්මා ඇසුවාය.තාමරී මොහොතක් ඔහුදෙස බලාඋන්නේය.ඔහුද ඇය දෙස බලාඋන්නේ අඳුනාගන්නටය.මේ වසර දහයකට පමණ පසුය.සියල්ලන්ම වෙනස්ව ගොසිනි.

"මේ බිම්සර අයියා.මතකද දැන්වත්?"

රිද්මා ඇසුවෙ තාමරීගෙනි.ඇය ඔහු දෙස,  රිද්මා දෙස මෙන්ම සුලෝචනා දෙසද මාරුවෙන් මාරුවට බැලුවාය.ඇය සිතෙත් විදුලි කෙටුවේ අතීතයයි.

"අනේ බිම්සර අයියා...අඳුනගන්නත් බෑ."තාමරී පැවසුවේ සිතට දැනුණ සතුටටමය.

"ඊයෙ කෙල්ලව අරන් ඇවිල්ල තියෙන්නෙ අයියා.ඒත් මේ කියනකල් ඒ සුලෝචනා කියල එයා දන්නෑ."

රිද්මා පැවසුවාය.

"සුලෝචනා..?"

බිම්සර මිමිණුවේ සිදුවීම වූ ස්ථානයේදීම ඒ නම කාගෙන්හෝ ඇහුණාසේ මතක හෙයිනි.

"මෙත්මිගෙ දෙවනි නම සුලෝචනා අයියෙ."

තාමරී පැවසුවාය.ඇත්තෙන්ම තමා ඇයගේ වතගොත පවා දැන උන්නේ කෙතරම්ම සීමිතවද ?

"පොඩි එකී කිව්වා තමයි මට හමුදාවෙන් අක්කව හොස්පිට්ල් ගෙනිච්චෙ කියල."

තාමරී පැවසුවාය.

සුලෝචනා දෙසට යොමුව ගිය දෙනෙතින් කල්පනාවේ ගැලී ඉන්නා බිම්සර දෙස මොහොතක් බලාඋන් රිද්මා තාමරී ද කැටුව මොහොතකට පිටතට ගියාය.

බිම්සර සෙමින් අඩිය තබා ඇය වත අද්දරට ආවේය.අතීත මතක සලකුණු ඒ මුහුණේ ඇත්දැයි සොයන්නට මෙන් ඇයගේ වත පුරා ඔහු දෙනෙත දිවගියේය.එහෙත් ඇය කිසිවක් නොදැන නිද්‍රාවකය.

"අන්තිමට ඔයාව මට හම්බවුණා ...ඒත්..."

බිම්සර සිය අත ඇයගේ හිස මත තබා සෙමින් පිරිමැද්දේය.ඔහුගේ මුහුණට ආවේ දඟකාරම සිනහවකි.

ඉතින් බොහෝ මතක අවුස්සමින් අද දවස ගතකරන්නට සිදුවන බව බිම්සරට සිහිවිය.

බිම්සර ආපසු එනවිට වාට්ටුවේ හෙදියන් සමග රිද්මා කතබහකය.තාමරීද එතැනය.

"මෙන්න සුදු අයියා මුන් ඔයාට වහ වැටිල."

රිද්මා සිනාසුනේ බිම්සරටය.බිම්සරට සිනාවෙන්නටවත් කල්පනාවක් නොවීය.

"දැන් ඒ ළමයගෙ තත්වෙ මොකද?" 

ඔහු ඇසුවේ රිද්මාගෙනි.

"ක්‍රිටිකල් ස්ටේජ් එකෙන් නම් දැන් අවුට්.ඒත් තාම ඉන්නෙ සබ්කොන්ෂස් වගෙ.කල්පනාව එනව යනව.ඒත් මටහිතෙනව ඉක්මනින් හරියාවි කියල."

බිම්සරට ඇසින් ඉඟියක් කල රිද්මා පැවසුවාය.බිම්සර එය නොදුටුවා සේ ඉවත බලාගත්තේය.

"මම එහෙනම් යනව."

බිම්සර කොරිඩෝරය වෙත ඇවිදයමින් පැවසීය

"එයි සුදු අයියා.නම්බර් එක අදවත් දීල යනව.නැත්නම් මම විස්තරයක් වත් දෙන්නෙ කොහොමද ?"

ඔහු පසුපස දිව ආ රිද්මා ඇසුවාය.සිය පර්ස් එක ඇදගත් බිම්සර නම්වරය රැඳි කාඩ්පත ඇය අතට දී ඔහුගේ ජංගමය ඇයට පෑවේ ඇයගේ අංකය ගන්නටය.

"සුදු අයියා ආ යූ ඕකේ ?"

රිද්මා ඇසුවේ ඔහු වතේ ඇති නොසන්සුන් කම බලමිනි.

"Actually i am not ok සිඟිති . මට අප්ඩේට් දෙන්න."

බිම්සර ආපසු හැරී ගියේ රිද්මා සුසුමක් හෙලද්දීය.

රෝහල තුලට යද්දී තිබුණ ස්වරූපය සිය ප්‍රධානියා ගේ නැති බව රත්නායක අවබෝධ කරගත්තේය.ඔහුගේ මුවේ වූයේ හංගාගත් හිනාවකි.එහෙත් එසැනින්ම ඔහු දෑස බියෙන් පිරේ.සුසුමක්ද මතුවෙයි.

"ස්...සර්..මං මෙහෙම ඇහුවට තරහ ගන්න එපා.මට සර්ගෙ වෙනසක් පේනව."

රත්නායක බැරිම තැන බැනුම් අහන්නට හෝ හිත හදාගෙන ඇසුවේය.

"ආහ්..මොකක්ද ?"

බිම්සර කල්පනා ලොවින් බිමට වැටුණේ ඒ කියමන සමගය.

"නෑ සර්ට මොකුත් ප්‍රශ්නයක් නෙවෙයි නේද කියල ඇහුවෙ"

රත්නායක මාවත දෙසටම හැරවුණ නෙතින් ඇසීය.

"අවුරුදු ගාණක් තිබ්බ ප්‍රශ්නෙකට අද උත්තර හම්බවුණා .ඒත් ඒ උත්තර අසම්පූර්ණයි.ඒ එක්ක තව ප්‍රශ්න ගොඩක් එන්න පටන් අරන්"

බිම්සර පැවසුවේ රත්නායක ගේ මුහුණ දෙස බලමිනි.

" එකින් එක විසඳෙයි සර්.හැමදේම හොඳට වෙයි"රත්නායක සිය ප්‍රධානියා දෙසම බලමින් පැවසීය.

බිම්සර සුසුමක් හෙලුවේය.ඒවා එසේම වේ නම් ඉතින් කොතරම් දෙයක්ද?

කෑම්ප් එක වෙතට පැමිණි වහාම කාමරයට වැදුණ බිම්සර රත්නායකට සිය රාත්‍රී ආහාරයද කාමරයටම එවන ලෙස පවසා නාන කාමරයට වැදුණේය.තරමක් වේලා නානකාමරයේ වතුරමල යටට වී දෑස් වසාගෙනම ඔහු උන්නේ සිතේ හටගැනුණ ගිනිගත් බව නිවාලන්නට මෙනි.අවුරුදු ගණනාවක් තිස්සේ හදවත ගිනිගත්තේ එකම රුවක් වෙනුවෙනි.ඇය එක්වනම අතුරුදහන් වී යළි දැස් අද්දර මතුව ඇත.

සුදු කොට කලිසමක් සහ අත්කැපූ ටීශර්ටයක් ඇඳ කාමරයේ කුඩා ආලින්දයක් බඳු කොටසේ වූ පුටුවට පැමිණි බිම්සර එහි හිසරඳවනයට හිස තබා ගත්තේ දෑස් පියාගනිමිනි.

දුම්වැටියක් දල්වන්නට සිත කරන බලකිරීමට අවනත නොවී ඔහු බොහෝ දුර ඈතක මතක චාරිකාවට එක්විය.


*****************************************************

පාසල් සීනුව වැදෙන්නට අන්තිමම මොහොතේ පාසලට දුව එන කොල්ලන් සහ කෙල්ලන්ට කෑගසා උගුරද බැරෑඬිව ඇත.බිම්සර අසල වූ කරාමය හැර වතුර දෝතක් බීවේය. උදෑසන මේ ශිෂ්‍යනායකයන්ට පැවරෙන රාජකාරිය මහත් වෙහෙසක්ව ඇත. එහෙත් වගකීම වගකීමමය.


" රශිතයා ගේට් එක වහපන්.දැන් ආයෙ එන උන්ව ගන්නෙ පන්සිල් ගත්තට පස්සෙ."ආරක්ෂක නිලධාරීන් සමග රශිත ගේට්ටුව වසන්නට ගියේ බිම්සර අතේ වූ වතුර හිසකේ වලම දවටාගත්විටය.කොපමණ කීවද වෙලාවට එන්නේ නැති කොල්ලන් සහ කෙල්ලන් අපමණය.ඇතමුන්ට සාධාරණ හේතු ඇතද සාමාන්‍ය පෙල සහ උසස්පෙළ ඉන්නා කොල්ලන් නම් අණ්ඩපාලයෝය.උන්ට ප්‍රමාදය ගැන කියන්නට ඇති හේතු කොහෙන් නිර්මාණය වෙනවාදැයි හිතාගන්නටත් බැරිතරම් අරුමපුදුම ඒවාය.


"අනෙ අයියෙ ..ඇතුලට ගන්නකො අපිව ප්ලීස්."කෙල්ලන් කිහිප දෙනෙක් ගේ කිචිබිචි හඬ ගේට්ටුව අසලින් ඇසේ.රශිත ඔවුන්ට බැණ වදින අන්දම ද බිම්සරට ඇසේ.රශිතටද කේන්තිගිය විට හඬ පාලනයක්ද නැති තරම්ය.


ඔහු ගේට්ටුව අසලට ගියේ මේ ගාලගෝට්ටිය අසමිනි.


"වෙලාවට ඉස්කෝලෙ එන්න ගෑනුලමයි උනාම දැනගන්න ඕන.හිටපල්ල පන්සිල් අරන් පාසල් ගීය කියල ඉවරවෙනකල් ඔහොම හිටගෙන"කී රශිත යළි ගේට්ටුව වසාලන්නට තැත් කලේය.


"අනේ අයියෙ අපි එළියෙ ඉන්න බයයි.අර ශෝමෑන් කෙනෙක් ඊයෙත් මේ හරියෙ උන්නා."එක කෙල්ලක් කුටුකුටු ගාමින් කියවයි.බිම්සර නැගෙන්නට ආ සිනහව වලකා ගනිමින්


"ඔන්න ඕකුන් ඇතුලට අරන් අයිනෙන් පෝලිමෙ ඉන්න කියපන්"කියා රශිතට කීවේය.


පොඩි කෙල්ලන් වුව අද පාරේ තියන්නට යෑම විවිධාකාර අවදානම් කටයුතු ඇතිකරයි.


රශිත මුහුණ දෙක කරගෙන ගේට්ටු පලුවේ කුඩාකොටස පමණක් ඇරියේය.එතැනින් රිංගා ආවේ කෙල්ලන් තිදෙනෙකි.නිම්සර ඇස්කොණකින් පමණක් ඔවුන් දෙස බලා අත්බැඳගත්තේ පන්සිල් ගන්නටය.පන්සිල් ගෙන පාසල් ගීය කියූ පසු පමාවී එන ළමුන් පන්තිවලට යවන්නේ නිදහසට කාරණා ඇසීමෙන් අනතුරුවය.


ඒ අතරට කොණ්ඩ දිග කොල්ලන්, රැවුල් නොකැපූ කොල්ලන් ,මෙන්ම සුදුගවුම් කොට කෙල්ලන්ද අහුවන්නේ බැනුම් අහන්නටය.


"දැන් මොකද අද පරක්කු?" බිම්සර පමාවී ආ කෙල්ලන් තිදෙනාගෙන් ඇසුවේ ටිකක් මඩවන්නටමය. උදේ පාන්දර මේ පොඩි එවුන් ටික අවුස්සාගැනීමම දවසටම හිනාවෙවී ඉන්නට හැකි කාරණයකි.


"අයියෙ...මෙව්..මේ...."කෙල්ලන් ගොතගසන්නේ කුමක් හෝ කියාගන්නට බැරිවය.එකෙක් වත් ඔලුව උස්සා මුහුණ බලන්නේ නැත.මුන්ගෙ කට්ටකම....බිම්සරට සිතුණි.


"ඇයි ගොතන් ආ බොරුව අමතක උනාද?",බිම්සර ඇසුවේ සිනහව මතුවන්නට ඉඩ නොදෙමිනි.මේ කෙල්ලන් ටිකක් බයකොට පන්තිවලට යවනවා මිසක විනයභාර ගුරුතුමා වෙත යවන්නට ඔහුට අවශ්‍යතාවයක් නොවීය.


ප්‍රධාන ශිෂ්‍යනායක බිම්සර ඉදිරියේ පොඩි කෙල්ලන් තුන්දෙනා බිමබලාගෙන ඇඹරෙති.


"කියනකල් පන්තිවලට යන්න වෙන්නෙ නෑ ඉතින් "බිම්සර ගේට්ටුව  දෙස බලමින්  කීවේය.  උප ප්‍රධාන ශිෂ්‍යනායක රශිත අනෙක් කොල්ලන්ගේ කොණ්ඩා සහ රැවුල් බලමින් බැණවදිමින් උපදෙස් දෙයි.


"අපි කලින් ආවා ..මේ මේ මෙත්මිට සනීප නැතිවුණා.ඉතින් ආපහු ගියා ....මේ...මේ.."එක කෙල්ලක් ගොතගසමින් කියන්නට යන දේ ඔලුවට වැටහෙද්දී පමා වැඩිය.කෙල්ලන් රතුවීලාය.


බිම්සර ලැජ්ජාවක් ආවද සිය මුහුණ දැඩිකොට ගත්තේය.


"කෝ කවුද මෙත්මි කියන්නෙ."බිම්සර යලි ඇසුවේ අර කෙල්ල කියූ කාරණය අමතක කරදැමුවාක් මෙනි.තුන්දෙනාගෙන් පසුපසම උන් කෙල්ල පැකිලි පැකිලී ඉදිරියට ආවාය.ආවා නොව අනෙක් දෙන්නා ඇයව ඉදිරියට තල්ලු කලහ.


"මොකක්ද පන්තිය?"බිම්සර ඇයගෙන් ඇසීය.ඇය නිහඬය.බිමබලාගෙනම ඉන්නේ ඇතිවුණ ලැජ්ජාවට වියයුතුය.


"අද පන්තියට යන්නෙ නැද්ද? අහපු දේට උත්තර දෙනව"බිම්සර දැඩිහඬින් පැවසීය.


"දහය ඩී "ඇය බිමබලාගෙනම පවසන්නේ කැඩිකැඩීයන හඬිනි.


බිම්සරට දුකසිතුනි.මේ මැඩෙව්වා ඇතිය.


"හරි ...යනවල ඔක්කොම පන්තියට.ආයෙ එහෙම පරක්කු වෙලා ආවොත් හරවල ගෙදර යවන්නෙ...තේරුනාද තුන්දෙනාටම"බිම්සර ඇසුවෙ තුන්දෙනාගෙන්ම වුවත් ඔහුගේ එල්ලය වුනේ මෙත්මි නම්වූ බිම බලාඋන් කෙල්ලය.තුන්දෙනාම ඔලුබක්කන් මෙන් බිමබලාගෙන ඔලු වනද්දී බිම්සරට හිනාගියේය.


"සොරි අයියෙ ...ආයෙ එහෙම වෙන්නෑ"ඒ කෙල්ල ඔලුව උස්සා බලා බිම්සරට පැවසුවේ පන්තියට යන්න හැරෙන මොහොතේමය.බිම්සර තිගැස්සී ගියේ ඒ මුහුණ දුටු මනතිනි.


සුහස් බිම්සර නානායක්කාර  තමන්ගේ පාසැලේ පමණක් නොව අසල පාසල් වල පවා ප්‍රසිද්ධ යෞවනයෙකි.පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා මෙන්ම ශිෂ්‍යභට කණ්ඩායමේ ප්‍රධානියාද වූ ඔහු දුටුවෙක් වරක් හැරී බලන්නට පෙළඹෙන පෞරුෂයක් දරාඋන්නේය.තම පාසලේ පමණක් නොව ප්‍රදේශයේ බාලිකා පාසල්වල කෙල්ලන්ගේද ක්‍රශ් එක වූයේ බිම්සරය.


එහෙත් ඔහු ගැහැණු ළමයෙක් ගේ දෑසක් හමුවේ මෙසේ සසලවී නැත.


ඇය ගේ කඳුලු පිරුණ බියපත් දෑස , මඳක් අවුල්ව ගිය හිසකේ බිම්සරගේ එක බැල්මකට හසුවිය.


"මොකො බං හොල්මනක් දැක්ක වගෙ ඇස් උඩ තියන් බලන් ඉන්නෙ?"


රශිත ඇසුවේ කෙල්ලන් ගිය දෙසම බලා ඉන්නා බිම්සරගෙනි.


"න්..නැහ්...මොකුත් නැ..අපි යං පන්තියට"


බිම්සර පෙරට ඇඳුණේ රශිතට කිසිවක්ම නොපවසාය.පන්තියේ පාඩමේ උන්නද හවස ක්‍රීඩාංගනයේ උන්නද බිම්සරගේ සිත ඔද්දල් කර තිබුණේ ඒ වටකුරු දෑසයි.


හාපැටියෙක් වගෙ.බය වෙලා උන්නෙ.පව්...


ඔහු තමන්ටම මුමුණා ගත්තෙය. කෙතෙක් කෙල්ලන් තමා වටා කැරකුණද ඒ කිසිම කෙල්ලක ගැන බිම්සරට ආකර්ෂණයක් ඇතිවී තිබුණේ නැත.යෞවනය සුන්දරය.කොලු කෙල්ලන්ගේ සබඳතා සාමාන්‍ය දෙයකි.කෙල්ලන්ට විහිළු කරන්නට දඟකම් පාන්නට බිම්සරද කිසිවිටෙක මැලිවූයේ නැත. එහෙත් පාසලේ ප්‍රධන ශිෂ්‍ය නායකයා වීමම තමා යම්තාක් දුරට හැසිරීමේ පාලනයක තබන්නක් බව ඔහු දැන උන්නේය.එහෙත් මේ හැඟීම අමුතුය.


🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡


බිම්සර නැවතී උන්නේ පුංචි අම්මාගේ ගෙදරය.


හයේ පන්තියේදී ශිෂ්‍යත්ව විභාගය සමත්වූ පසු පුංචි අම්මා බිම්සරව සිය නිවෙසට කැන්දාගෙන ආවේ නුවර එලියේ ඔවුන්ගේ ගමේ සිටය. තමන්ට වඩා ආර්ථික අතින් බොහෝ ඉහල තැනක උන් පුංචිඅම්මා බිම්සරගේ සම්පූර්ණ අධ්‍යාපන කටයුතු සිය භාරයට ගත්තේ ඉතා කැමැත්තෙනි. බිම්සරට වඩා වයසින් වැඩිමල් අක්කලා තුන්දෙනෙක් පමණක් උන් පුංචි අම්මාගේ නිවසේ බිම්සරට තිබුනේ ඉතා ඉහලම සැලකිල්ලකි. ඇය නොඅලස්ව කල වියදමට හරියන්නටම බිම්සරද අධ්‍යාපනයෙන් මෙන්ම විෂය බාහිර කටයුතු වලින්ද ඉතා ඉහල දස්කම් දැක්වීය.


අම්මා සහ තාත්තා බිම්සරගේ අධ්‍යාපනය වෙනුවෙන් පුංචි අම්මාගේ මැදිහත්වීම ගැන කිසිම ගැටලුවක් ඇති නොකලේ ඔවුන්හට බිම්සර හැරුණකොට තවත් පිරිමි දරුවන් තිදෙනෙක් ගේ වැඩ කටයුතු බලාකියාගන්නටද තිබුණ හෙයිනි. එහෙත් අම්මා සහ තාත්තා සමග බිම්සරගේ තිබුණු බැඳීම නිවෙසින් පිටව ආවා කියා කිසිදිනෙක අඩුවක් වී තිබුණේද නැත.


පාසල නිමවී නිවෙසට ආවද බිම්සර උන්නේ වෙනම ලෝකයකය. කවදාවත් නොවූ තරමට ඒ පොඩි එකිය තමා සසල කොට තිබිණ.බිම්සර ඉක්මනින් නාගෙනම ඇඳට වැටුණේ ඒ මතක යලි සිහිකරමිනි.


"සුදුමල්ලි ඇයි මේ ආව වෙලේ ඉඳන් ඇඳට වෙලා."


පොඩි අක්කා කාමරයට එන විටත් බිම්සර උන්නේ දෑතම හිසයටට බැඳ සිවිලිම දෙස බලාගෙනය.


බිම්සර තිගැස්සී කල්පනා ලොවින් මිදී යන අන්දම දුටු පොඩි අක්කා සිනාවූයේ 


"මොකද මොකද කොල්ලො ගැස්සුනේ ආ..?" කියමිනි.


"මොනවට  ගැස්සෙන්නද ? විකාරද ?" 


බිම්සර සැරවුනේ සිය හැඟීම් වලකා ගනිමිනි.පොඩි අක්කාට කොණක් අසුවුණොත් ගැලවෙනවා හමාරය.


පොඩි අක්කා හිනාවූයේද නක්කලයටය.ඇය කොහොමත් හරිම සුහදශීලී එමෙන්ම දඟකාර  යුවතියකි.


"අපිත් ඔය වයස පහුකලා කොල්ලො. කෝ කවුද කියපන්කො කෙල්ල ? ලස්සනයිද ඈ?"


පොඩි අක්කා වදේ ගසන්නට වූවාය.


"මඟුලක් කියවන්නේ නැතුව යනව පොඩි අක්කා. මට මේ හිස කැක්කුමක් හැදිලා ඇඳට වෙලා උන්නේ. තමුසෙ මේ බහුභූත කියවන්න ගත්තා."


බිම්සර සැර වූයේ අක්කාටය.ඇයව එලවාගෙන තවත් මොහොතක් සිය මනෝලෝකයේ සැරිසරන්නට ඔහුට අවැසි විය.


"හරි හරි ලොක්කා ..ඕවා එක හීනෙන් එලිවෙන්නෑ. අපිත් ඉන්නෙ මේ රටේමනෙ."


පොඩි අක්කා බිම්සරගේ කකුලෙන් ඇද කාමරයෙන් පිටව යන අතරේ පැවසුවාය.බිම්සර මුවෙන් මතුවන්නට ආ සිනහව වලකා ගනිමින් කොට්ටයට මුහුණ තදකරගත්තේය.


මෙතුවක් කල් නොවුන අන්දමට ඒ කෙල්ල තමා කලඹා ඇත. 


පොඩි කෙල්ලෙක් අප්පා ...ඕලෙවල් කරලවත් නෑ. මං මේ මොනවද මන්දා හිතන්නේ.


බිම්සර හිත පාලනය කොට ගන්නට තැත් දැරුවේය.


පසුදා පාසලට ගිය මොහොතේ පටන් බිම්සර උන්නේ කඩිගුලක් මත ඉඳගෙන ඉන්නා හා සමාන හැඟීමකිනි. ගේට්ටුවේ රාජකාරි අතරේවත් ඇය දුටුවේ නැත. එක්කෝ ඇය තමා එන්නට පෙර පාසලට ඇවිල්ලා වෙන්නට ඇත, නැත්නම් අද පාසල් පැමින නැත. බිම්සර පන්තියට ගොස් රශිතවද මඟහැර දහයේ පන්ති පැත්තට ඇදුණේ වෙනසක් නොපෙනෙන්නටය. අතරමග හමුවන ගුරුවර ගුරුවරියන්ට ගුඩ්මෝනින් කියමින්ද වදනක් දෙකක් කතාකරමින්ද දහයේ සෙක්ශන් එකට යනවිට තරමක් වේලාවද ගොසිනි. තමන්හට උදේම අද පන්තිකාමර විශයයක් නොමැති හෙයින් බිම්සර නිවීහැනහිල්ලේ පන්ති එකින් එක දෙස බලමින් පෙරට ඇදුණේය.


දහය ඩී


එසේනම් මේ ඇය ඉන්නා පන්තියයි. පන්තියේ එකදු සිසුවෙක් නැත. බිම්සර පන්තියට ලන්ව කාලසටහන බැලුවේය.


ගෘහ විද්‍යාව / කෘෂිකර්මය


එසේ නම් කෙල්ලන් ඇත්තේ ගෘහ විද්‍යා කාමරයේ වියයුතුය


බිම්සර ගෘහ විද්‍යා කාමරය පැත්තෙන් ඇවිද ගියේ කාටවත් ඇස ගැසේදැයි හොරෙන් බලමිනි. 


"අනේ බිම්සර පුතා පොඩ්ඩක් මෙහෙට එන්නකො"


ගෘහ විද්‍යා කාමරය පසුකරන විටම එතැන දොර අසල උන් ගුරුතුමිය මඳක් හඬනගා කතාකලාය.


බිම්සර තිගැස්සී මෙන් ඒ දෙස බැලුවේය. කතාකරන්නේ ගෘහ විද්‍යා භාර ගුරුතුමියයි.කියලාවත් කරගන්නට බැරි උදව්වකි.බිම්සර හිනාවක් ආයාසයෙන් මුව තවරාගෙන අය ඉන්නා දෙසට ආවේය.


"පුතා වැඩකටද යන්නෙ?"


ගුරුතුමිය ඇසුවේ බලෙන් කලබලකාරී බවක් ආරූඪ කොට ගෙනඋන් බිම්සරගෙනි.


"ඔව් මැඩම් මේ ප්‍රින්සිපල් සර්ගෙ වැඩකට යන ගමන්.කමක් නෑ ..කියන්න." බිම්සර පැවසුවේ හිතයටින් සිනාසෙමිනි.


 "අනේ පුතා මේ කාමරයේ ෆෑන් එක වැඩ කරන්නෙ නෑනෙ.පොඩ්ඩක් බලන්න පුලුවන්ද?"


ගුරුතුමිය ඇසුවේ ආයාචනාත්මක හඬිනි. 


ෆෑන් එකක් සිංගර් එකෙන් ගෙනල්ල හරි දෙන්නම්කො මැඩම් මෙහෙම උදව්වක් කලාට.


බිම්සර යටි සිතෙන් කියූවේ තමාටමය.


පන්තිකාමරයට බිම්සර එනවිටද කෙල්ලන් සැන්ඩ්විච් හදන්නට පටන් ගෙනය.හිස් වැසුම් දමා මුඛවාඩම් දමා ඒප්‍රන් ඇඳ ඇති හෙයින් මොවුන්ගෙන් දිස් වන්නේ තරමක විකට පෙනුමකි.


ෆෑන් එක නම් හදන්න බැරියැ. මේ බිල්ලො ගොඩේ කෙල්ලව හොයාගන්නේ කොහොමද ඉතින්


බිම්සර පුටුවක් ගෙන තබා ෆෑන් එක පරීක්ෂා කලේ එසේ සිතමිනි. 


"අනේ මෙතූ..පුතේ ඔය පුටුව අල්ලගන්නකො. ඔය අයියා වැටෙයි."


එක්වන ගුරුමව පැවසුවේ බිම්සර තිගස්වමිනි.ඒ වැඩෙත් මැඩම්ම විසඳලා දුන්නා එහෙනම්.


බිම්සර සිනාව වලකා ගනිමින් අවට දෙස හොරෙන් නෙත යොමුකලේය.


කෙල්ල ලංවූයේද බයෙන් බයෙන් මෙනි.බිම්සර බිමට බැස යළි ඉස්කුරුප්පු නියනද නැගෙන පුටුවට නැගෙන්නට සූදානම් වන විට මෙත්මි පුටුව අල්ලාගෙනය.


"මාව වැට්ටුවොත් අල්ලගන්නම්කො"


බිම්සර කුටුකුටු හඬින් පුටුවට නගින අතරේ මුමුණා කීවේ ඇයට පමණක් ඇසෙන්නටය.ඇය කෙතෙක් තිගැස්සුනාද ඇත්තෙන්ම පුටුව මඳක් සෙලවගියේය.


"ඕක හයියෙන් අල්ලගන්නවකො"


බිම්සර සැර කලේ ඇස් දෙක ලොකු කොට බලා ඉන්නා පොඩි කෙල්ලටය.අන්තිමේ ඇය පුටුව දෑතින්ම බදාගෙන උන්නේ ෆෑන් එක හදා ඉවර වන තුරුය.බිම්සර හිතාමතාම අදාල කාර්‍යයට වේලාවක් ගත්තේය. ඒ අතර ඇයටද  හොරෙන් ඇයදෙස විටින් විට බැලුවේය.


ඉන් පසු පුටුවෙන් බිමට බහිනා අතරේ


"මට සැන්ඩ්විච් කෑල්ලක් අරන් එන්න ඕන. ඉන්ටවල් එකට " බිම්සර පැවසුවේය. ඇය බයබිරාන්තව බලාඋන්නා පමණි.පිළිතුරක් ලැබෙනා තුරු නොසිට ගුරුතුමිය වෙතට ගිය බිම්සර ඇයගෙන් සමුගෙන පන්තියට ගියේ මිටෙන් මුදාහල කුරුල්ලෙකු සේය.


*****************************************************************************

"උඹ මොකෝ නිකම් මේ කුරුල්ලා වගෙ අද?"


රශිත ඇසුවේ පමාවී පන්තියට පැමිණි බිම්සරගෙනි.සිය ප්‍රාණසම මිතුරාගෙන් සැඟවිය යුතු තරමේ කාරණයක් ඔහුට නැත.පාසලට  ඇතුල් වූ දා පටන් රශිත සහ බිම්සරගේ මිත්‍රත්වය කිසිදු විටක බිඳීගියේ නැත.


"ඉන්ටවල් එක වෙනකල් හිටපන්කො කියන්නම්."


බිම්සර සිනාවූයේ දඟකාර විලාසයකිනි.හිතේ උතුරායන්නේ නොසන්සිඳුණ කොලුකමය.


"මට ඒ කිව්ව තාලෙ නම් ඇල්ලුවෙ නෑ රජෝ. උඹ මොකාටද මේ නටන්න එන්නෙ කවදාවත් නැතුව."


රශිත ඇසුවේ නලලද රැලිකරගනිමිනි.සිය මිතුරාගේ හැසිරීම ඇත්තෙන්ම වෙනස්ය.


"කියන්නම් කියල කිව්වනෙ . ඉතින් වද නොදී හිටපන්කො."


බිම්සර රශිතගේ බඩට පහරක් ගසමින් පැවසීය.


දිවා විවේකය එත්ම රශිතවද අතින් ඇදගත් බිම්සර පන්තියෙන් පිටතට ආවේ ඇය එතැයි පෙරමග බලමිනි.


"මොකක්ද බන් කියපන්කො.ආව වෙලාවෙ ඉඳන් උබ මේ බෙල්ල කොරවක්කා වගේ දික්කරගෙන හතර වටේ බලන්නෙ."


රශිත බැන වැදුනේ තමාහට කැන්ටිමට යන්නටවත් නොදී ඇදගෙන ආ මිතූරාටය.


බිම්සරගේ නොසන්සුන් මුහුණ එලිය වැටුණේ ඈතින් වටපිට බලමින් හොරගල් අල්ලමින් එන මෙත්මි දුටුවිටය.ඔහුගේ මුහුණේ ඇඳීගිය සිනහව ඔස්සේ ඒ දෙස බැලූ රෙශිතද නැවත නැවත දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවේ 


මේ මොන සමයමක්දැයි 


අසන්නාක් මෙනි.


බිම බලාගෙනම ඔවුන් ඉන්නා තැනට පැමිණි පොඩිත්තිය අත පිටුපසට කොට තබා උන් කෑම පෙට්ටිය ඔහු වෙත දිගුකලාය.


"මේ මොනවද?"


ඇය තවත් අවුස්සනු වස් බිම්සර ඇසුවේ ඇයගේ මුහුණටම එබෙමිනි.


"සැන්ඩ්විච්"


තනිවචනයේ උත්තරයද ආවේ කැඩිකැඩී මෙන්ය.


"කෙනෙක් එක්ක කතාකරනකොට මූණ දිහා බලල කතාකරන්න කියාදීල නැද්ද ගෙදරින්"


බිම්සර ඇසුවේ සැරෙනි.වදනින් වදනට දැරිය තිගැස්සී ගියාය.


රශිත මේ පිස්සුව කුමක්දැයි විමසුම් ඇසින් බලාඋන්නේය.


මේකා නටන්න හදන්නේ පොඩි කෙල්ලෙක් අවුස්සාගෙනය.


රශිතට බිම බලාගෙනම බියෙන් ඉන්නා පොඩි එකිය දැක දුකත් හිතුණි.


"අකමැත්තෙන් වෙන්න ඇති ඒ කියන්නෙ ගේන්න ඇත්තෙ . මට එපා . අරන් යනව ඕක."


බිම්සර ඒ සැරෙන්ම පැවසුවේ බිමබලාගෙනම ඉන්නා කෙල්ලටය. හිතේ ඇතිව ඇත්තේ ඉලන්දාරි දඟකාරකමක සිතුවිල්ලකි.


"මොනවද නංගි ඔය.?"


රශිත ඇසුවේ කාරුණික හඬකිනි.මේ  බිම්සර නටනා විගඩමින් බියපත්වන පොඩි දැරිවිය ගැන ඔහුට අනුකම්පා සිතුණි.


"සැන්ඩ්විච්"


ආයෙම තනි උත්තරයකි.කෙල්ල හිසවත් ඔසවා බලන්නේ නැත.


"කෝ දෙන්න ඕක මෙහෙට. මූට එපා නම් මම කන්නම්." 


රශිත අතදිගු කලේ කෑම පෙට්ටියටය.බිම්සර ඔහුට රවා බැලුවේය.


"ඇයි උඹට එපානෙ. මට කැන්ටිමට යන්නත් නෑ.මම කන්නම් මේක."


රශිත කෑම පෙට්ටිය ගත්තේ බිම්සර රවාගෙනම ඉන්නා විටය.


පොඩි එකී තාම නිසොල්මනේය.


"යනව එහෙනම් පන්තියට .මෙතනට වෙලා තව ඉන්නෙ මොකටද?"


බිම්සර සැරකලේ ඇයටය.හිත ඇතුලෙන් සිනාපහල වෙද්දී මේ කෙල්ලව මැඩවීම ඔහුට ගෙන ආවේ සතුටක්මය. මෙත්මි එක් වරක් පමණක් හිස ඔසවා ඔහු දෙස බලා හඬාගෙනම ආපසු හැරී දිව්වාය.


"මොකක්ද ඌරො අර කල වැඩේ.අර පොඩි එකී දැන් පන්තියට අඬාගෙනනෙ යන්නෙ."


රශිත බැනවැදුණේ සිය මිතුරාගේ  නොදැමුණු ක්‍රියාවටය.


"ඉතින් ගිහින් නලෝපන්.මට මොකෝ"


බිම්සර කෑම පෙට්ටිය උදුරාගන්නට තැත් දරමින් පැවසීය.ඔහුගේ මුහුණේ ඇත්තේ නොසිඳුණ සිනහවකි.


"උඹට දෙන්නෑ.ඒක ගත්තෙ මමනෙ.කන්නෙත් මම"


රශිත එය මෑත් කරගනිමින් පැවසීය.


"මෙහෙ දීපන් මෙහෙ දීපන්.දෙන්නම කමු"


බිම්සර කෑම පෙට්ටිය ඇරියේය 


සැන්ඩ්විච් දෙකක් ලස්සනට අසුරා ඇත.


"මොකක්ද කියපන්කො සීන් එක. ඇත්තටම මේක හෙන රහයිනෙ බන්"


රශිත ඇඟිලි වල දැවටුන මිශ්‍රණයේ කොටස්ද ලෙවකමින් පැවසීය.


"ඌරු ගති තිබ්බට ඉස්කෝලෙදි ඒවා පෙන්වන්න එපා යකෝ.උඹ මේ ඉස්කෝලෙ වයිස් කැප්ටන්,ඒක මතක තියාගනින්."


බිම්සර සිය මිතුරාගේ අතට පහරක් ගසමින් පැවසීය.


"ස්කූල් කැප්ටන් මේ නටන පිස්සුව එක්ක බැලුවම මම මොකක් කලාම මොකෝ."


රශිත පැවසුවේ මිතුරාව ගනනකට නොගනිමිනි.


බිම්සර පෙරදා සිට මේ දක්වා සිදුවූ දේ රශිතට පැවසුවේය


"මචන් , ඒකි පොඩි කෙල්ලෙක්, උඹ අපේ ඉස්කොලෙ විතරක් නෙවේ මේ හතරවටේම ගර්ල්ස්කූල්වලයි අනෙක් ඒවගෙයි ඔක්කොම කෙල්ලන්ගෙ ක්‍රශ් එක. මේක කරන්න එපා බන්.මේ වගෙ කෙල්ලෙක් බයිට් කරන එක පව්"


රශිත පැවසුවේ සිය මිතුරා ඒ පොඩි කෙල්ලව විහිලුවකට ගන්නවායැයි සිතමිනි.


"උඹට පිස්සුද රෙශියා. මම සීරියස්. මට ඒ කෙල්ලව ඊයෙ දැක්කම හිතට ආව ෆීලින් එක අර ගර්ල්ස්කූල් එකේ හවුස්කැප්ටන් බියුටි ක්වීන්ව දැක්කම වත් හිතට ආවේ නෑ බන්.මචන් අනේ මට සප් එක දීපන් ඈ."


බිම්සර සිය මිතුරාට ඇවිටිලි කලේය. ඇත්තෙන්ම ඒ බාලබොළඳිය  තමාගේ හිත අවුස්සාදමා ඇත.


මෙත්මි පන්තියට ගියේ අඬාගෙනය. තාමරී , ඇයගේ යෙහෙලිය කලබල වූයේ පන්තියේ අන්තිම පේලියේ ඩෙස්කුවට හිස ගසාගෙන අඬනා සිය යෙහෙලිය දුටුවිටය.


"මෙතූ, මොකෝ වුනේ කෙල්ලෙ. අනේ අඬන්නැතුව කියන්නකො"


තාමරී ඇයගේ හිස ඔසවන්නට තැත් දරමින් පැවසුවාය.


වෙලාවට පන්තියේ වෙන ළමුන් නැත.සියල්ලන්ම කැන්ටිමට ගොසිනි.


"දැන් අනික් අයත් ඒවි.කෝ ඔලුව උස්සන්නකො.මූණ සෝදගන්න යන් අපි."


තාමරී මෙත්මිගේ බෑගය අවුස්සා ලේන්සුව අතට දුන්නාය. ඇය තාමත් ඉකිගසන්නීය.


කරාමය වෙත ගොස් මුහුණ සෝදා ලේන්සුවෙන් පිසදාගත් පසු මෙත්මි තාමරීහට සිදුවූ දේ පැවසුවාය.


තාමරීට සිනහා ගියේ මහහඬිනි.


"ඕකටද දෙයියනේ මේ එකෙක් මැරිලා වගේ අඬන්න ගත්තෙ. බිම්සර අයියා අනෙක් වුන්ට බනින හැටි අහන් ඉඳලම නැද්ද උඹ."තාමරී ඇසුවේ හිනැහෙමිනි.


"ඊයෙත් කිසිම වැරැද්දක් නොකර අපිට කෑගැහුවෙ.අදත් බැන්නා."


මෙත්මි හූල්ලන්නට වූවාය.


"ඔන්න ඕක අමතක කරපන්.දැන් ටීචත් එනවනෙ.යන් පන්තියට"


මෙත්මිව ඉස්සරකොට ගත් තාමරී පන්තිකාමරයට ගොඩ වැදුණාය.


🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡


පසුදා මෙත්මිට පාසල් ගෙනයන්නට කෑම පෙට්ටියක් තිබුණේ නැත. පොලිතින් භාවිතය තහනම් හෙයින් කෑම පෙට්ටියකට මිස පාසලට කෑම ගෙන ඒම තහනම්ය.අම්මා උදේම බැන වැදුනේ කෑම පෙට්ටිය පාසලේ අමතක කර දමා ආවාටය.


"කමක් නෑ අම්මෙ මම පොඩ්ඩක් කාල යන්නම්.ආපහු දවල්ට ඇවිල්ල කන්නම්.එනකොට පෙට්ටිය අරන් එන්නම්."


මෙත්මි පැවසූවේ අද ආයෙමත් කෑම පෙට්ටිය ලබාගන්නට ඔහු වෙත යායුතු බව සිහිකරමිනි.තාමරීව හෝ යවා කෑම පෙට්ටිය ගෙන්වා ගත යුතුය.


කෑම විවේකයේ මෙත්මි කරාමය වෙතට ගොස් වතුර ටිකක් බී ආපසු එනු දුටුවේ රශිතය. ඔහු ඇය දැක ඇය වෙතට ආවේය.


"ආ නංගිගෙ කෑම පෙට්ටිය." ඔහු කුඩා බෑගයක දමා ගෙන ආ කෑම පෙට්ටිය මෙත්මි අත තැබුවේය. බලෙන් මෙන් බිම්සරව පන්තියේ රඳවා ආවේ මේ නටන්නට යන නැටුම හෙමින් නටපන් යැයි කියමිනි.කීදෙනෙක්ගේ විමසුම් ඇස්වලට මේ වෙද්දීත් මෙය ඉව වැටී ඇත්දැයි කියන්නට බැරිය.


මෙත්මි කෑම පෙට්ටිය අතට ගත්තේ මඳ සිනහවක් පාමිනි.තාමරී දුව ආවේ ඒ මොහොතේය.


"ඇයි කන්න ආවෙ නැත්තෙ?"


තාමරී ඇසුවේ මෙත්මිගෙනි.


"අද මම කන්න ගෙනාවෙ නෑ.කෑම ගේන්න පෙට්ටියක් නෑනෙ."


සිය යෙහෙලිය දෙසට හැරී සිනාවුණ මෙත්මි පැවසුවාය.රශිතට දැනුනේ තරමක සිත් වේදනාවකි.තමාගේ මිතුරා කල විහිලුව නිසා කෙල්ලට අද බඩගින්නේ ඉන්නට සිදුව ඇත.


"ඉතින් මගේ එකෙන් කන්න තිබ්බනෙ."


තාමරී පැවසුවේ තරහා මුසු හඬිනි.


"ඇයි ඉතින් වෙන කෑම පෙට්ටියක් තිබුණෙ නැද්ද?"


රශිත ඇසුවේ අවංකවය.ඊයේ ඇය ගෙනා කෑම පෙට්ටියද ඉතා පිරිසිදු වුවත් පරණ පාටය.


මෙත්මි කිසිවක් නොකියා සිනාවූවාය.ඒ සිනහවේ ඇත්තේ අසරණ භාවයකි.


තාමරී රශිත වෙත ඇසකින් ඉඟිකලේ එසේ නොඅසන්නයැයි කියන්නාක් මෙනි.


"ඊයේ සැන්ඩ්විච් හරිම රසයි නන්ගි.අපි කුඩුවත් ඉතුරු කලේ නෑ ඔන්න." 


රශිත සිනාවෙමින් පවසා ඔවුන්ගෙන් සමුගෙන ගියේය.


"කැන්ටිමට යන්."තාමරී පැවසුවේ නිහඬවම සිනාවී ඉන්නා සිය යෙහෙලියටය.මොන දේ මොන ප්‍රශ්න ආවත් සිනාවී සිටින සිය යෙහෙලිය ගැන තාමරීට ඇත්තේ ලොකුම ලෙන්ගතුකමකි.


"එපා තාමරී, මම උදේ චුට්ටක් කාලා ආවෙ. ආයේ ගෙදර ගිහින් කන්න පුලුවන්."


ඇය එසේ කාටවත්ම කරදර කරන්නට කැමති අයෙක් නොවේ.


"බූරුවො බලපන් තෝ කල දේ."


රශිත පන්තියට ආවේම බිම්සරට බැන වදිමිනි.සිදුවූ පවත් දැනගත් පසු බිම්සරට ඇතිවූයේ දැඩි වේදනාවක් සහ පසුතැවිල්ලක්මය.


"ඉතින් බන් මම විහිලුවක්නෙ කලෙ."


ඔහු සිය මිතුරාගේ මුහුන දෙස බලා පැවසීය.


"මචන් අපි විහිලුවට කරන දේ සමහර අයගෙ ආත්මගෞරවයට උනත් හානිකරන එකක් වෙන්න පුලුවන්.ඒ නිසා අනුන්ගෙ ජීවිත  හැන්ඩ්ල් කරනකොට පරෙස්සමින්."


රශිත පැවසුවේ සිය මිතුරාගේ වේදනාව අවබෝධ කරගනිමිනි


"ගිහින් කන්න අරන් දෙමුද කැන්ටිමෙන්."


බිම්සර ඇසුවේ ක්ෂණිකව හිතට ආ සිතුවිල්ලෙනි.මේ මොහොතේ ඔහු ඉන්නේ දුරක්දිගක් නොපෙනෙන මට්ටමේය.


"ඔය ඉතින් උඹ ආපහු එකක් කරන්න් යනව. ඒකිගෙ හොඳම යාලුවා කතාකරලත් නොගිය එකී උඹ දැන් ගියාම මේන් කියල ගනී කියලද හිතන්නෙ.දුප්පත් ඇති ඒත් ආත්මගෞරවයක් හැමෝටම තියනව කියල අමතක කරන්න එපා."


රශිත පැවසීය.බිම්සර එදා දවසම ගතකලේ තෝන්තුවෙනි.


පාසල නිමාවෙන්නට කලින් ප්‍රධාන ගේට්ටුව අසලට ගිය ඔහු ඇය පාසල නිමවී යනතුරුම බලාඋන්නේය.


මෙත්මි ආවේ සිය යෙහෙලිය සමගිනි.


බිම්සර පෙනෙන මානයට එනවිටම බිම බලාගත් මෙත්මි හිස එසෙව්වේ පාරටද ගියාට පසුවය, බිම්සර ඇය යනදෙසම බලාඋන්නේය.කෙතෙක් බිම බලාගෙන ගියද වංගුවට හැරෙන නිමේශයේ මෙත්මි ආපසු හැරී බැලුවාය.බිම්සර සිය දෙකන අත් දෙකෙන් අල්ලා හිස ඇලයකට නවා දෙතොල හසුරුවා සොරි කීවේය. මෙත්මි ඉක්මනින් බිම බලාගෙන වංගුවෙන් හැරී යන්නට ගියාය.


වංගුවෙන් හැරුණ පසු ආයාසයෙන් සඟවා ගත් සිනහව මෙත්මිගේ මුවින් පිටවගියේය.හිරිමල් සිතට මේ සියල්ල බරවැඩිව යන බව පමණක් ඇයට වැටහෙමින් තිබුණි.


"ඇඟිල්ලෙ තරමට ඉදිමියන් කෙල්ලෙ"


අම්මා හැමදාම කියන කාරණය ඇයට මේ වෙලාවේත් සිහිවිය.


යොවුන් වියේ ප්‍රේමය යනු කිසිත් බරක්පතලක් ඇත්තක් නම් නොවේමය.දුටුමනතින් හිතට ඇතුල්වන්නාවූ ආකර්ෂණය ප්‍රේමයකැයි වරදවා වටහගන්නා බොහොමයක් යොවුන් පෙම්වතුන් ඒ ආදරය බිඳී යන කල වෛරයේ ඉම් සොයායති.


මෙත්මි සම්බන්ධයෙන් තමා සිතතුල ඇත්තේ ආදරයක්මද නැතහොත් ආකර්ෂණයක්ද යන්න බිම්සර තවදුරටත් සිතුවේය.මෙතුවක් කල් කිසිම යුවතියකට තමාගේ මේ අවධානය දිනාගන්නට නම් නොහැකිවිය. කොහොම උනත් තාම තීරණයකට එන්නට කල් වැඩිය.


හිතට ආගන්තුකව ඇතුල් වූ මේ නුහුරු හැඟීම විඳිමින් ඉදිරියටම යායුතු බව පමණක් බිම්සරට සිතුණි.ඇය තවම සාමාන්‍ය පෙල ලියාවත් නැත,තමා උසස්පෙල කඩඉමේය.


ඉතින් සියල්ලටම පෙර ඉගනීමට ඇයට බාධානොකල යුතුය.කාලය  ඕනෑ තරම් ඇත.ආදරය ද විශේෂත්වයද කුමක්දැයි කියාගන්නට බැරි හැඟීම හිතේ තදකරන් ඉන්නා එකත් මිහිරකි.


(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු යළිත් බිම්සර අවදිකරනා අතීත මතක සමගින්...ආදරයෙන්

මම 

කිත්මා දහනායක 

( විසිරි 🧡)

21 comments:

  1. අද කොටස සෑහෙන වෙනදට වැඩිය කැමැත්තෙන් බැලුව. ඔහොම යං.

    ReplyDelete
  2. මාසෙකට කොටස් දහයක් විතර ලියන එක නෙවී වැඩේ.. ඉද හිටල ආවම කියවන එක
    හක්ක පැන්න

    ReplyDelete
    Replies
    1. මම පොඩි පොඩි කොටස් ලියනකොට කමියා කිව්වා කොටස් දිගට දාන්න කියල. ඒකයි කොටස් කීපයක් එකට එකතුකලෙ.ලබන පාර ටිකක් අඩුවෙන් දාන්නම් .ස්තුතියි හොඳේ

      Delete
  3. Replies

    1. ඩ්‍රැකියුලා පරපුරක්ම ඇවිල්ලා. බයෙත් බෑ

      Delete
  4. ඇයි බං මමත් ඇවිල්ලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ආව නම් කියවලා පලයන් මෙතැන අහිංසකියන්ගේ ලේ බීලා තව ඩ්‍රැකියෝ බෝ කරන්නැතිව.

      Delete
    2. තවුසේලා දෙන්නා මේ ඉන්න එකී මදිවටද මෙතැනටත් රිංගලා තව ගෑණු හුටපට හදාගන්න හදන්නේ? බොලා දෙන්නා ආ දෙන්කෝ අද රෑට ගෙදර .....

      Delete
    3. ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ
      වෙන්නම් නුඹල දෙන්නාවම මගෙ නොවෙද?

      කිව්වලු...

      Delete

    4. ඩ්‍රැකියුලා පරපුරක්ම ඇවිල්ලා. බයෙත් බෑ...සාදරයෙන් පිළිගන්නවා ඔක්කොම

      Delete
  5. කතාව නම් පට්ට ලස්සනයි. මේ ෆේස්බුක් එකේ ගියපු කොටස් කීපයක් එකතු කරලා දාලා වෙන්නැති?

    මට හිතට ආවෙ එක ප්‍රශ්නයක් විතරයි. ඒ ලෙවල් කාලෙ ළමයි ඔය තරම් බැරෑරුම් දේවල් හිතයි ද? අපිට නං ඒ තරම් තේරුමක් තිබුණෙ නෑ. සමහරවිට අපි මැට්ටො වෙන්ඩැති ඒ කාලෙ ඒ තරම් අත්දැකීම් නැති.

    ReplyDelete
    Replies
    1. මම පොඩි පොඩි කොටස් ලියනකොට කමියා කිව්වා කොටස් දිගට දාන්න කියල. ඒකයි කොටස් කීපයක් එකට එකතුකලෙ

      Delete
  6. ඩ්‍රැකි සෙට්ටෙක මෙහෙටත් ගොඩ බැහැලා. අනික් ඩ්‍රැකියානිත් එන්න කලින් මං යනව. ඌප්ස්! පරක්කු වැඩියි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මම කිව්ව නේද, තනියම එහෙ මෙහෙ යන්න එපා, මං එනකල් ඉන්න කියල?

      Delete
    2. ඇත්ත. කිව්ව තමයි. ඒ උනාට මේ කතාව ට ඇබ්බැහි වෙනව. ඒකයි දැකපු ගමං ආවෙ.

      Delete
    3. ඩ්‍රැකියුලා පරපුරක්ම ඇවිල්ලා. ඒක නම් මරු අනේ. ඔක්කොම ඔයාගේ යාලුවොද

      Delete
  7. මාත් ආව. දිගට දිගට කියවල නිකං වෙරි වගේ. ආපහු එන්නං...

    ReplyDelete
    Replies
    1. ආ ඔයාව නම් අර කතාවෙදි හම්බවෙච්ච එක්කෙනා නේහ්. මම පොඩි පොඩි කොටස් ලියනකොට කමියා කිව්වා කොටස් දිගට දාන්න කියල. ඒකයි කොටස් කීපයක් එකට එකතුකලෙ.ලබන පාර ටිකක් අඩුවෙන් දාන්නම් .ස්තුතියි හොඳේ

      Delete