Sunday, August 29, 2021

07. හත්වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්)

 


එතැන් පටන් උදාවූ කාලය බිම්සරට මෙන්ම මෙ‍ත්මිටත් ඇස්බැල්මවල් එහෙන් මෙහෙන් හුවමාරු වන , ඉඳහිටක බිම්සරගේ සොඳුරු වදන්, අඩන්තේට්ටම් වලට ලක්වෙන කාලයක් විය.මෙත්මි කෙතෙක් බිම්සර මගහරින්නට තැත්කලද ඔහු ඇය ගැන දැක්වූ අවධානය ඊට එහා ගිය එකක් විය.

"මේ මලවිකාර බල බල මටත් ඉන්න උනානෙ අම්මපා."

දහයේ පන්තියේ කොරිඩෝරයේ ඇවිදයන අතරේ රශිත කියවන්නට විය.

"එහෙම තමා ඩෝ අතිජාත මිත්‍රයො උනාම.දුකට සැපට දෙකටම ඉන්න ඕනෙ."

බිම්සර පැවසුවේ රශිතගේ උරහිසට පහරක් ගසමිනි.

උඩ තට්ටුවේ ඇති පන්තිකාමරය දෙසට නගිමින් සිනහාවෙන දෙමිතුරන් ඉදිරියට පහළට බසිමින් උන්නේ මෙත්මිය.ඇයගේ පසුපසින් ආවේ තාමරීය.රශිත ඉක්මනින් පඩිපෙල නැග උඩට ගියේය.තට්ටු දෙක මාරුවෙන ස්ථානයේ දී බිම්සර මගහරිනු නොහැකිව මෙත්මි බිත්තියටම හේත්තු වූවාය.තාමරී හිනැහෙමින් පහලට දිවගියේ මේ ඇස් ඔට්ටුව ඇයද කලක පටන් දන්නා හෙයිනි.

බිත්තියටම ඇලී මෙන් පහලට බහින්නට තැත් කරන මෙත්මිගේ ගමන අවුරාගෙන බිම්සර බිත්තියට අතක් ගසා හිටගත්තේය.රශිත උඩ තට්ටුවේ සිට මේ සටන බලා හිනැහුණේය. මෙත්මි බිම බලාගෙනම එතනින් ගැලවී යන්නට තැත් දරද්දී බිම්සර ඇයට සමීපව මිමිණුවේය.

"ඇයි චූටි , මට ඔච්චර බය ?"

කඳුළු පිරුණ දෑසින් එතැනින් ගැලවී යන්නට වෙර දරන මෙත්මි දෑස් අයා ඔහු දෙස බැලුවේ ඒ වදන් වල ගැබ්ව තිබූ දයාර්ද හඬටය.

"මට බය වෙන්න එපා.මම නපුරු නෑ.හැබැයි මම..ඔයාට...."

බිම්සරට කියාගන්නට ආ දෙය කියා අවසන් කරන්නට නොහැකි වූයේ රශිත 

"ඒයි සර් එනව ...වරෙන් යන්න"

කියා කෑගැසූ හෙයිනි.ඒ අවසරයෙන් ඔහුගේ අත යටින් රිංගාගත් මෙත්මි  පහලට දුවගියාය. බෝලයක් මෙන් පෙරළි පෙරළී දුවන යුවතිය දැක බිම්සරට හිනාගියෙය.

"මේකි මාව දැක්කම මැරෙන්න හදනවනෙ බයට බං.ඉතින් කොහෙ වචනයක් කතාකරන්නද?"

බිම්සර පැවසුවේ තරහකින්නම් නොවේ.

යොවුන් ප්‍රේමය සොඳුරුය. කියාගන්නට නොහැකි ව ලතවන්නාවූ කාලය තරම් සොඳුරු යුගයක් ඒ ප්‍රේමයේද වෙන නොවේ. යන එන මග ඇස් බැල්ම දවටමින්, නෝක්කාඩු කියවමින් සිටින්නාවූ තත්පරය පවා සිතට එක්කරන්නේ ආහ්ලාදජනක හැඟීමකි.බිම්සර ඕනෑවටත් වඩා ඒ හැඟීම් වින්දනය කරමින් උන්නේය.

"බිම්සර අයියා මේ පැත්තේ කැරකෙන්න ගන්නකොටම මට සැක හිතුණා මෙතූ"

තාමරී පැවසුවේ කල්පනාවේ ගැලෙමින් ඉන්නා මෙත්මිටය.

"පිස්සුද තාමරී, බිම්සර අයියාට වෙන කෙල්ලො නැතුවටද මේ මගෙ පස්සෙන් වැටෙන්නෙ. අනික එයා කවුද මම කවුද?"

මෙත්මි පැවසුවේ නුරුස්සන්නාක් බඳු හඬින් වුවද ඇයගේ යටි හිතේද එම යෞවනයාගේ ඇස් අතර පැටලීම ආශ්වාදයක් නොවී යැයි ඇයටම කියන්නට බැරි තරම්ය.

"අනික උඹ දන්නවනේ මට තියන ප්‍රශ්න ගොඩ. ඉගන ගන්න එක ඇරෙන්න මට වෙන විකල්පයක් නෑ මේ ජීවිතෙන් ගොඩ එන්න. අම්මවයි නංගිවයි කවදාහරි බලාගන්න නම් මට ඉගනගෙන තැනකට එන්න වෙනවා.ඒක මේ හැමදේටම වඩා ලොකුයි මට."

මෙත්මි පැවසුවේ ශෝකී ස්වරයකිනි.

"මම දන්නවා බන්. උඹ මේ ප්‍රශ්න ඔක්කොම මැද්දෙ ඔහොම හිනාවෙලා ඉන්න එකම ඇති.ඒත් කෙල්ලෙ බිම්සර අයියා කියන්නෙ නරක කොල්ලෙක් නෙවෙයි.මෙච්චර කාලෙකට කෙල්ලෙක්ගෙ නමක් එක්ක ඌ පැටලිලා නෑනෙ.අනික අපිම දන්නවනෙ අපේ පන්තිවල ඉඳලා මේ ඉස්කෝලෙ අක්කලයි අනික් ඉස්කෝල වල අක්කල නන්ගිලයි මේකාට මැරෙන්න හදන හැටි.ඒත් මේකා ගනන්වත් ගන්නවද එකෙක්වත්."

තාමරීගේ වදන්වලට මෙත්මි හිස වැනුවේ එය සත්‍යයක් හෙයිනි.

"අම්මෝ උගේ ආඩම්බර

නලුවා වගෙ කියල ඔච්චර උඩ යන්න ඕනයැ.."

"නිකමට හිනාවත් වෙන්නෙ නෑනෙ බන්.."

කෙල්ලන් ඔහු ඔවුන් පසුකර යනවිට පවසන්නේ ඔවැනි දෑය.එහෙත් බිම්සර කිසිම ගනන්කට ගන්නේද නැත.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

ජීවිතය යනු කෙතරම් කටුක අත්දැකීමක්දැයි බිම්සරට අත්දැකීම් නොමැති වුවද මෙත්මි එය වටහා ගෙන උන්නේ ඕනෑවටත් වැඩියෙනි. උදේ හවා අත්දකින ජීවිතයේ කටුක බවට මඳ සැනසීමක් යෞවනයේ මේ චමත්කාර හැඟීම් ගෙන ආවද ඇය එය විඳින්නට සැබවින්ම බිය වූවාය. කප්පරක් ඇති ප්‍රශ්න ගොඩ අස්සට තවත් ගැටලු නම් ඕනෑම නැති බව ඇය තරයේම සිතා උන්නාය.

දන්නා කාලයේ පටන් අඟහිඟකම් සපිරි ජීවිතයක් ගත කලද අම්මා කෙල්ලන් දෙන්නා හදාවඩාගත්තේ කාගෙන්වත් කතාවක් අහන්නට ඉඩ නොතබාය. අම්මාගේ නමටද කිසිම විටෙක කලු පැල්ලමක් එක්ව තිබුණේම නැත. ඒකටත් එක්ක හරියන්නට තාත්තා ගොඩනගාගෙන උන්නේ ප්‍රදේශයටම එකෙක් සේ නම දරන දාමරික ගුණයන්ය. අම්මාද දරුවන්ද දුප්පත්කමින් මිරිකී අපාදුක් විඳිත්දී තාත්තා හට නිලනොලත් පවුල් එමට තිබුණි.අම්මා හැකි සැම ආකාරයෙන් කෙල්ලන්ට අඩුවක් නොවන්නට අඩුමතරමේ කනබොන ටික සපයා දෙන්නට දුක්විඳ හරිහම්බ කලාය.

එහෙත් තාත්තා නිවෙසට කඩා වැදී අම්මාටද පහරදී අතේ ඇති සොච්චමද උදුරාගෙන ගිය දවස් අපමණව තිබුණි. දන්නා කියන නිවෙස් දෙක තුනක වැඩ කරදී කෙල්ලන් දෙන්නාගේ ඕනෑඑපාකම් සපුරන්නට අම්මා දැරූ, එමෙන්ම තවම දරනා ඒ උත්සාහයට කවදා හෝ අම්මාට සැපදායී ජීවිතයක් ලබා දෙන්නට මෙත්මි ඉටා ගත්තාය

බිම්සර ගැන කිසිදු විස්තරයක් නොදැන උන්නද ඔහුගේ ස්වභාවයෙන් සහ ස්වරූපයෙන් ඔහු යමක් කමක් ඇති පවුලක බව මෙත්මි දැන උන්නාය. ඉතින් අල්ලන්නට බැරි අතු අල්ලන්නට මහන්සි විය යුතුම නැත. ඔහු මඟ හැර සිටීමම මෙයට කල හැකි එකම දේය.

බිම්සරගේ හැසිරීමේ වෙනස්කම් අල්ලාගන්නට යොමුවූ තවත් දෙනෙතක් තිබූ බව ඔහුගේ මනසට නොවැටහුණේ මෙත්මි ගැන ඔහු සිත සම්පූර්ණයෙන්ම පිරී තිබූ හෙයිනි. මේ කාලය වනවිට මෙත්මි එකොලහේ පන්තියට සමත්ව උන් යුගය විය. බිම්සරද උන්නේ උසස්පෙල අවසන් මාස කීපයේය . බිම්සර එකොලහේ පන්තිය පැත්තේ සවාරි ගසන්නට නිතර යෑම සැකයක් කොට ගත්තේ තේජාය. ඇය සාමාන්‍ය පෙල පන්තියේ සිටම බිම්සර සම්බන්ධව හිතේ බලාපොරොත්තු තියාගෙනම උන්නාය. බිම්සරගෙන් කිසිදු අනුදැනුමක් හෝ අනුබලයක් නොවූවද ඇය සිය බලාපොරොත්තු අත් හැර දැම්මේද නැත.

කෙල්ලන් විෂයෙහි ඕනෑවට වඩා උනන්දුවක නොඋන්නද බිම්සර යනු සියලුම සිසු සිසුවියන් අතර හිතෛෂීවන්තයෙකි. පාසලේ ප්‍රධාන ෂිශ්‍ය නායකයා ලෙස ඔහු සියලුම සිසු සිසුවියන් සමග සුහදව ලෙන්ගතුව කතාබහ කලේය. තේජා මනෝ ලෝකයෙන් ඒ හැසිරීම් තමාට ආදේශ කොට ගත්තේ වරදවාය.

"රිද්මා එන්නකො පොඩි ගමනක් යන්න."

තේජා  දිවාවිවේකයේ දී කතාකලේ රිද්මාටය.

"කොහේ යන්නද අප්පා., මට මේ නෝට් එකක් ලියාගන්නත් තියනව."

රිද්මා අදිමදි කලද තේජාගෙන් ඇයට බේරුමක් නොවූ හෙයින් ඇය පොත වසා දමා නැගී උන්නාය.

"හොරක් අල්ලන්න යන්නෙ.එන්නකො"

තේජා ඇස්ද කටද නලියවමින් ඇයගේ අතින් ඇදගෙනම  එකොලහේ පන්තිකාමර පැත්තට ගියාය.

"කාගේ හොරද කියන්නකො අනේ?"

රිද්මා මේ හතරබීරි කතාව වටහා ගන්නට නොහැකිව නුරුස්සන අන්දමින් පැවසුවාය.

"එන්නකො මම පෙන්වන්න."

තේජා ඕලෙවල් පන්තියේ කොරිඩෝරයට ගොඩ වැදුනේ සෙරක සේය.එවිටද බිම්සර සිය මිතුරා රශිත සමගින් ඩී පන්තියේ බැම්මට ආසන්නයේ කතාබහකය.

"බිම්සර අයියනෙ.?"

රිද්මා පැවසුවේ තේජා දෙස බලමිනි.

"ඔව් ඔව් ඔයාලගෙ මහ ලොකු බිම්සර අයියා තමා. එයා ඕලෙවල් පන්තිය පැත්තෙ මේ ටිකේ හරියට ඩියුටි වගේ." 

තේජා කීවේ කටද ඇද කරගනිමිනි.ඒ ඇස් වල වූයේ අමුතුම අන්දමේ ද්වේෂයක් බව රිද්මාට නොවැටහුණේ නැත.

"එයා කොහේ ගියාම අපිට ඉතින් මොකද බන්, උඹ මේ මගේ වැඩත් අතැඇරවල මාව ඇදන් ආවේ ඕකටද?" 

රිද්මා නොරිස්සුමෙන් පැවසුවාය.

"මම බිම්සරට ක්‍රශ් කියල උඹ දන්නවනෙ. ඒක අද ඊයේ එකක් නෙවේනේ. ඒ වුණාට ඌ මාව ගණන් ගන්නෙම නෑ. එහෙනම් මේකයි ඕකට හේතුව."

තේජා පැවසුවේ තරහා පිරුණ කටහඬකිනි.

"තේජා මේ අහපන්, ලව් කියන එක බලෙන් ගන්න පුලුවන් එකක් නෙවේ කියල උඹට තේරෙන්නෙ නැත්ද? අනික ඌ කැමති එකියෙක් එක්ක ඌ සෙට් වුණාවෙ.අපෙ අතින් පයින් යනවද ?"

රිද්මා පැවසුවාය.

"ඒව කොහෙද මා එක්ක. මට තාම ඔය කෙල්ල කවුරුද කියලයි හොයාගන්න බැරිඋනේ. ඒකත් මම ම හොයාගන්නම්කො"

තේජා අර අඳින්නේ නම් හොඳකට නොවන බව රිද්මාට වැටහුණි.බිම්සරව මේ සම්බන්ධව දැනුවත් කල යුතුයැයි ඇය සිතාගත්තාය.

"සුදු අයියෙ පොඩ්ඩකට නවතිනවකො."

පාසල් ඇරී බිම්සර යන අතරේ ගේට්ටුව අසල මුරකොටගෙන උන් රිද්මා ඔහුව නැවැත්වීය. බිම්සර ගේ පුංචිඅම්මාගේ නිවසද රිද්මාගේ නිවසද වෙන්වූයේ වතු දෙකක මායිමෙනි. තේජා හිතනවාට වඩා ලෙන්ගතු කමක් බිම්සරට රිද්මාගේ සිතෙහි හැමදාමත් තිබුණි. රිද්මා පමණක් නොව ඇයගේ දෙමවුපියන් පවා බිම්සරට සැලකුවේ සිය පවුලේම දරුවකුට පරිද්දෙනි.

"මොකෝ මේ නිකම් හොරාපොලිස් වගේ තමුසෙ ගේට්ටුව ලඟට වෙලා ඉන්නෙ."

බිම්සර ඇසුවේ සුපුරුදු සිනහව මුව රඳවාගෙනය.

"සුදු අයියෙ මට ඇත්තම කියනව ..තමුසෙ අර ඕලෙවල් පන්තිය පැත්තෙ මොකටද කරකැවෙන්නෙ?"

රිද්මා ඇසුවේ බිම්සරගේ දෑසටම එබෙමිනි. බිම්සර එබසින් තිගැස්සී ගියේය.

"මං ?..පිස්සුද තමුසෙට?" 

බිම්සර කලබල වූ අන්දම බලා රිද්මා සිතයටින් සිනාවූවාය.

"මට ඇති පිස්සුවක් නෑ හලෝ. ඒ වුනාට තමුසෙට පිස්සු වැටිච්ච අම්මණ්ඩිලා තමුසෙ යන එන තැන් ඇහැ ගහගෙන ඉන්නෙ. ඒකයි මම ඇහුවෙ"

රිද්මා සිදුවූ දෑ පැවසුවේ ඉන් පසුවය.බිම්සරට මුල්ම වතාවට තමා දුරදිග නොබලා කරන මේ ක්‍රියාව ගැන බියක් දැනුණි.තමා නිසා ඒ පොඩි කෙල්ලට ප්‍රශ්නයක් වුවහොත් එය සමාව දීගන්නට හැකි කාරණයක් නොවේ.මේ සිදුවීම රශිත දැනගත හොත් තමන්ට අසන්නට වෙන්නේ කුණු බැණුම්ය.

"මං එහෙම එකකට ගියා නෙවෙයි ඒ පන්ති පැත්තෙ, මං පොඩ්ඩක් හවසට එන්නම් ටිකක් කතාකරන්න පොඩි කාරනේකුත් තියනව"

බිම්සර බිම බලාගෙනම යන්නට ගියේ රිද්මාට එසේ කියමිනි.

"එහෙනම් මෙච්චර ගණන් උස්සන් උන්න අපේ ස්කූල් කැප්ටන්ටත් මල්සරා විද්දා ඒ කියන්නේ."

රිද්මා හිනාවෙමින් ගෙදරට ගියාය.

හවස් යාමයේ රිද්මා හමුවන්නට ආ බිම්සර ඇයට සිදුවූ කාරණා පැවසුවේ නිවීහැනහිල්ලේය.රිද්මා මේ යෞවනයාගේ මුහුණේ ඇතිව නැගීයන පෙම්වත් බව දෙස බලාඋන්නාය.

"සුදු අයියෙ ඔය කියන විදියට පොඩි කෙල්ලෙක්නෙ ඒ ළමයා. මොකක් හරි අරුන් කේස් එකක් ඇද්දොත් ඒ කෙල්ල පව් නේද?තමුසෙත් තාම ඒලෙවල් කරලවත් නෑ.ටිකක් ඔය ඒ පන්තියට යන එන එක අඩුකරල ඉන්නව." 

රිද්මා පැවසුවේ සිතේ ඇතිවූ සැබෑ දයාබර හඬිනි.

"ඒ කෙල්ලගෙන් මම අහලවත් නෑ බං.ඒත් මන්දා දවසකට පාරක් හරි දකින්න හිතට ඕන.මට නොදැක ඉන්න හරිම අමාරුයි."

බිම්සර පැවසුවේ බිඳුණු හඬින්ය.

"තේජාලා ශුවර් නෑ අයියෙ. ඒකි ඉන්නෙ ඔයාට වහවැටිලා. ඔය කෙල්ලව හොයාගත්තොත් බනී.ඒකි සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් කියල ඔලුව උදුම්මාගෙනනෙ කොහොමත් ඉන්නෙ."

රිද්මා පැවසුවේ මේ මොහොතේ බිම්සරහට පවත්නා තත්වය වටහාදිය යුතු හෙයිනි.

"ආපෝ මේ ලෝකෙ ගෑනු ඔක්කොම ඉවරයි කිව්වත් මට නම් ඒ වහන්තරාව එපා. කට ඇරියොත් පලාතම ඉවරයි."

බිම්සර පැවසුවේ සිතේ ඇතිවූ නොමනාපයෙනි.

ඉතින් සිතට මෙය මහා බරක්මය.නමුත් ඇය වෙනුවෙන් තමාගේ මේ හැසිරීම පාලනය කරගත යුතුව ඇත. ගැහැණු දැරිවියකට තමන්ගේ නම යනු වීදුරු භාණ්ඩයක් හා සමානය.පාසල් කාලයේදී එයට කලුපැල්ලම් ගසන්නට රොක් වන්නන් අතර ඇය නම රැකගෙන ඉඳීමද අගය කල යුතුය.බිම්සර නිවෙසට ආපසු අවුත් කල්පනා කලේද රිද්මා විසින් තමාහට කී දේය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

ඉතින් කෙතෙක් අසීරු වුවද තමා ගේ සිත පාලනය කරගත යුතුව ඇත.අඩුමගණනේ තමා උසස්පෙල ලියා හමාර කරන තුරු වත්..


එවිට තව දුරටත් තමා මේ පාසලේ සිසුවකු නොවන නිසා මෙත්මිට පාසල තුළ තේජා බඳු අයගෙන් ගැටලුවක් ඒමේ අවස්ථාවද අඩුය. අනෙක ඇය මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයද ලියන්නීය.එයට අවැසි ඉඩකඩද ඇයට ලබා දීම වැදගත්ය.


බිම්සර පසුදා පාසලට ගියේද බෙහෙවින් බරවූ සිතිනි.දිවා විවේකය එලඹෙන විටද ඔහු උන්නේ පොතකට මුහුණ ඔබාගෙනය.


"ඇයි අද යන්නෙ නැද්ද උඹෙ සංචාරෙ. මොකෝ කේස් එක?"


රශිත ඇසුවේ වෙනදාට දහයයි විසිපහ වන විට නලියන සිය මිතුරා දෙස බලමිනි. බිම්සර හිස දෙපසට වැනුවේද පොත දෙසම බලාගෙනය.


"අඩෝ මොකෝ වුනේ ? කියපන්..කියපන්.."


රශිත ඇසුවේ සිය මිතුරාගේ දෑසේ වූ මලානික බව අදහා ගන්නට නොහැකිවය.කිසිම දවසක මොන ප්‍රශ්නය ආවද බිම්සරගේ මුහුණේ  සජීවි සිනහව මැකුණේ නැතිතරම්ය.


"හිතනවට වඩා ප්‍රශ්න එන්න වෙලා බන්."


බිම්සර රශිතහට පැවසුවේ පෙර දවසේ රිද්මා විසින් තමාහට පැවසූ සිදුවීමය.


"අන්තිමේ මම නිසා ඒ කෙල්ලට ඉස්කෝලෙනුත් ප්‍රශ්න ඒවි.ඒ නිසා මම මෙහෙම ශේප් වෙලා ඉන්නම් බන්."


බිම්සරගේ ස්වරයේ වූයේ මහත් වේදනාවකි. රශිත සිය මිතුරාගේ උරහිස වටා අතයවා ලඟට විය.


"තේජා නම් මොන හාල් කෑල්ලක්ද බන්.ඒකි උඹ වටේ කැරකෙන්න ගත්තේ අද ඊයේ ඉඳලා නෙවෙයිනෙ.ඒ වුනාට ඕවයින් ප්‍රශ්න එන්නේ අර කෙල්ලට නම් ඒක ගැන දෙපාරක් හිතන එක හොඳයි තමයි."


රශිත පැවසුවේ සිය මිතුරාගේ උරහිස මිරිකා දමමිනි.


හිත බොහෝ සෙයින් ඔද්දල්ව යනුයේ ඒ රුව නොදුටු හෙයිනි. බිම්සරගේ මුහුණේ මලානික බව ඈත සිට නිරීක්ෂණය කරන්නට වූයේ තේජාය. කලදුටු තැන වල ඉහ ගැනීම වඩා සුදුසු හෙයින් ඇය අඩියට දෙකට ඔහුගේ යාබද පුටුවට ආවේ රශිත එහා මෙහා වන තුරු සිටය.


"අනේ..බිම්සර මට මේ ගාන තේරෙන්නෙ නෑ..කියාදෙන්නකෝ..."


පමණටත් වඩා ස්වරයේ ඇති හුරතලය බිම්සරගේ යටි හිතේ ඇති කලේ බෙහෙවින් තදබල නොරිස්සුමකි.එහෙත් පාඩම් සම්බන්ධ කාරණයක් හෙයින් ඔහු මුවින් නොබැන ඇයට ගණන කියාදෙන්නට ගත්තේය.


තේජා බිම්සරගේ අතමත සිය අත තැබුවේ නොසිතූ පරිද්දෙනි. සම්පූර්ණයෙන්ම ගණනට සිය මනස යොමාගෙන උන් හෙයින් බිම්සරට එක්වනම එය වැටහුණේද නැත.නමුත් ඇය එක්වනම සිය අත තදින් අල්ලාගනු දැනී බිම්සර තිගැස්සී ඇය දෙස බැලුවාය.


ඔහුගේ ඇසට හසුවුණේ ඇය නොව ඒ මොහොතේ පන්තියට පණිවුඩයක් රැගෙන ආ මෙත්මි සහ තාමරීවය. සිතාගන්නට නොහැකි තරමට විසල්වූ පොඩිත්තියගේ දෑස් කඳුලකින් පිරීයනු බිම්සර නොදුටුවා නොවේ. වහා තේජාගේ අත ගස්සා මෙන් ඉවතට හල බිම්සර අසුනෙන් නැගී පන්තිකාමරයෙන් ද පිටව ගියේය. 


ආයාසයෙන් ඇස පිරෙන කඳුල වාවාගන්නා පොඩිත්තිය තේජාගේ කපටි ඇසටද ඉබේම හසුවිය.ඇයට නැගුණේ ජයග්‍රාහී සිනහවකි.


එහෙනම් මෙයයි කෙනා.එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් වට්ටගන්න මේ තේජාට පුලුවන් වුණා එහෙනම්.


යටි සිතෙන් සිනාවෙමින් අසුනෙන් නැගී උන් තේජා මෙත්මිගේ ගමන ඉදිරිපසින් අහුරාගෙනම ඉඳගත්තාය


"මොකෝ නන්ගිලා මේ පැත්තේ ආ.."


තේජාගේ ස්වරය කණට යවුලකින් අනින්නාක් බඳු වුවද මෙත්මි හඬ අවදිකලේ සෙමිනි. 


"අපේ සෙක්ශනල් හෙඩ් මැඩම් බිම්සර අයියට එන්න කියන්න කිව්වා."


තේජා ඇයගේ මුහුණටම එබුණේ වියරු සිනහවක් මවාගනිමිනි.


"ආ...ඇච්චද නන්ගි..එතකොට ඕක කියන්න එන්න වෙන කිසිමකෙනෙක් වෙන උන්නෙ නැද්ද තමුසෙලාගෙ පන්තියෙ. මේ..."


තේජා මෙත්මිගේ මුහුණටම දබරැඟිල්ල සොලවමින් කතාකලේ ඉන්පසුවය.


"තමන් ඇඟිල්ලේ තරමට ඉදිමෙනවා හරිද ? ඔය හිතේ බිම්සර ගැන මොකක් හරි තියේ නම් දැන්ම මේ දැන්ම ඒක අයින් කරගන්නවා. බිම්සර මගේ...තේරුනාද? කාගෙද ?"


තේජා අතවූ පෑනෙන් මෙත්මිගේ නිකට එසෙව්වාය. ඒ ඇස් වල කඳුලු  විසිරෙන්න පටන් ගෙනය.


"අ...ක්....කා..ගෙ"


"හ්ම් යනවා දැන්..මම බිම්සරට පණිවිඩේ දෙන්නම්..ආයෙ එහෙම මේ පලාතක එන්නෙ නෑ තේරුණාද ?"


කෙල්ලන් දෙන්නා පැන දිව්වේ හිතාගන්නටත් බැරිවේගයකිනි.


පන්තියෙන් එලියට දිව යන කෙල්ලන් දෙන්නා රශිතගේ ඇඟේ හැපී මෙන් දිවයනු දැක ඔහු පන්ති කාමරයට ආවේ විමතියෙනි. කිසිවක් නොවූ සේ අසුනට ඇදීයන තේජා ඔහුගේ නෙතට හසුවූයේ ඒ මොහොතේය.රශිත ඇස් කරකවා බැලුවේ බිම්සර ඉන්නවාද කියාය.ඔහු පේන්නටද නැත. කුමක් හෝ ගිනිගෙඩියක් මෙතන පත්තු වී ඇත.රශිත ආ වේගයෙන් හැරී පන්තියෙන් පිටට දිව ආවේය.


බිම්සර උන්නේ අරලියාගස් යායේ කෙලවරක ගසකට හේත්තු වීය. ඔහුගේ ඇස් රතු වී ඇත. 


"මචන් මොකක්ද උනේ?"


රශිත හතිහලමින් ඇසුවේ බිම්සරගෙනි.ඔහු කිසිවක් නොකියා අත වැරෙන් මිටමොලවා අරලියා ගසකට ගැසුවේය.


"අර ප... බැ...ඔක්කොම කෑවා."


රශිත සිදුවූ සියල්ල අසා උන්නේ දැඩි කෝපයකිනි. බිම්සර එතැනින් ආවාට පසු සිදුවන්නට ඇත්තේ කුමක්වුවත් එය යහපත් එකක් නම් නොවේ.රශිත කල්පනා කලේ බිම්සරගේ අතකින් අල්ලාගනිමිනි.


"උඹ පොඩ්ඩක් කලබල නොවී හිටපන් ..මම ඒ පන්තිය පැත්තට ගිහින් එන්නම්.උඹ එන්න එපා."


රශිත බිම්සර වෙතින් මෑත්ව ආවේය. මේ වනවිට එකොලහ වසරට මාරුවී උන් ඔවුන්ගේ පන්තිය වෙත රශිත ගියේ බෝ ගස වටා ඇති මාවතෙන් හැරෙමිනි.


සිතුවා හරිය. එකොලහේ ඩී පන්තියම එක කාලගෝට්ටියකි. කෙල්ලන් සියල්ල එක තැනක වටවීය. කොල්ලන් ආරවුලකට අර අඳින්නා සේය.


"ආ රශිත අයියා ඔයා ආව එක හොඳයි. මොනවද අයියා මේ බලුවැඩ. අපේ කෙල්ලෙක්ට ඔයාලගෙ පන්තියෙ අක්කා කෙනෙක් පාට් දාල."


උස මහත කොල්ලෙක් රශිත අසලට ආවේය . 


"මොකක්ද මල්ලි කේස් එක?"


රශිත ඇසුවේ කිසිත් නොදන්නා පරිද්දෙනි. මේ ආරවුල අවසානයේ කොතනක් දක්වා යනු ඇත්දැයි සිතාගන්නට නොහැක.


"තාමරී මෙහෙ එනවා.වෙච්ච දේ කියනවකො."


අර පිරිමි ලමයා ගේ හඬට එතැනට ආවේ තාමරීය.


තාමරී සිදුවූ දේ පැවසුවේ කම්පනයෙනි.


"අනේ අයියේ අපිටම සෙක්ශනල් හෙඩ් මැඩම් කතාකරල කිව්ව නිසයි අපි එහෙට ආවේ. මේ කෙල්ලගේ කිසි වැරැද්දක් නැතුව ඒ අක්කා මහ කැත විදියට බැන්නෙ."


"අයියෙ ඔයාල ඔයාලගෙ අයව හදාගන්න.වෙන කෙල්ලෙක් නම් කමක් නෑ මෙත්මි කියන්නෙ අපේ පන්තියටම ඉන්න කිසිම ප්‍රශ්නයක් මෙච්චර කාලෙකට හදාගත්තෙ නැති අහිංසක කෙල්ලෙක්.අඩුගානෙ ඒකිට අපේ කොල්ලෙක්වත් වචනයක් කියන්නෙ නෑ.ඒනිසා ප්ලීස් අයියෙ ආයෙ මෙහෙම දේවල් වෙන්න දෙන්නනම් එපා, මොකද එහෙම උනොත් අපේ කොල්ලොත් නිකම් ඉන්න එකක් නැහැ."


ඔහු රශිතට පැවසුවේ දැඩි හඬිනි. රශිත ඒ වදන්  වල වූ සහෝදර ප්‍රේමය මැනවින් වටහාගත්තේය. 


"සොරි මචන් මල්ලි..මම වගකීම ගන්නව.මේක ඇදන් නොයා ඉම්මු. මේකෙන් එහෙම වුනොත් හොඳ නැතිවෙන්නෙ මේ නංගිටමනෙ."


රශිත ඔහුගෙන් සමුගෙන පන්තියට ආවේ බලවත් කේන්තියෙනි.


ඒ මොහොත වන විට බිම්සරද පන්තියට පැමිණෙමින් සිටියේය. රශිත බිම්සරද අතින් ඇදගෙන තේජාගේ මේසය වෙත ගියේය.


"තේජා මොකක්ද තමුසෙ අර කල බලු වැඩේ?"


රශිත ඇසුවේ කෝපයෙනි.


"මං මොකක්ද කලෙ?"


තේජා ඇසුවේ සිනාවෙමිනි. 


"අර එකොලහේ කෙල්ලෙක්ට බැනල තියෙන්නෙ."


රශිත ඇසුවේය.


"ඉතින් ඔයාට ඇති ප්‍රශ්නෙ මොකක්ද මම කොහෙවත් යන හිඟන කෙල්ලෙක්ට බැන්නම.?"


තේජාගේ කට කැඩෙන්නට පහරක් ගසන්නට රශිතට සිතුණි.


"ප්‍රශ්නෙ ද ..ඔව් ප්‍රශ්නෙ තියෙන්නෙ මට..?"


බිම්සර පෙරට ආවේ එසේ කියමිනි. රිද්මා මේ සියල්ල අසා හිඳ පෙරට ආවාය.


"තමුසෙ මොකක් හරි මං ගැන හිතේ තියන් ඉන්නව නම් ඒක මේ කපේදි වෙන්නෙ නෑ කියල මතක තියාගන්නව තේජා. මම මෙච්චර කලුත් තමුන්ට හොඳින් කිව්වා ඒක."


බිම්සර පැවසුවේ කෝපයෙන් වෙවුලමිනි.


"ඒ වගේම බිම්සර මෙන්න මේකත් මතක තියන් ඉන්නවා. තමුන් මට නොලැබෙනව නම් මේකෙ වෙන එකියෙක්ටවත් ලැබෙන්න මම ඉඩ තියන්නෙත් නෑ,තමුන් දන්නවද ඔය තමුන් වහ වැටිලා ඉන්න හිඟන්නි ඉන්නෙත් අපෙ තාත්තට අයිති කුලීගේක කියල.මට එක වචනයයි කියන්න තියෙන්නෙ .,ඕකුන් පවුලම පාරෙ හෙට වෙද්දි. අන්න ඒ නිසා පරෙස්සමින් ඉන්නවා හරිද?"


තේජාගේ කතාව අප්‍රසන්න බවේ උපරිමයටම විත් තිබුණි.


බිම්සර අත මිටමොලවා ඩෙස්කුවට පහරක් ගසා එතැනින් පිටව යනු දුටු තේජා මහ හඬින් හිනැහුණාය.


"ඉවසපන් බං අණක් ගුණක් නැති මේ වගේ එවුන් එක්ක හැප්පෙන්න ඒ කෙල්ලට බෑ. අපි ටිකක් ඉවසමු."


රශිත පැවසුවේ බිම්සරගේ අතකින් අල්ලාගෙනය.


"මට ඒ කෙල්ලට කතාකරන්න විදියක් සලස්සල දීපන් රෙශිතයා, එකම එක දවසක්. ඉන් පස්සෙ ආයේ මම ඒකි ඉගන ගෙන ඉවරවෙනකල් ඒ දිහාවත් නොබලාම ඉන්නම්."


බිම්සර සිය මිතුරාගෙන් ඇයදීය.


"හිටපන්කො ඉවසලා මම ප්ලෑනක් ගහන්නම් කොහොම හරි."


රශිත පැවසුවේ කල්පනාවේ යෙදෙමිනි.

**********************************************************************************

මෙත්මි උන්නේ කම්පනයකට ලක්වය. ඒ කම්පනය ඇතිවූයේ තේජා අක්කාගේ බැනවැදීමට පෙරාතුවය. 


බිම්සර දිනපතා පන්තියට ඒම එක් දිනක වැලකුණු පසු මෙත්මිට දැනුණේ මහත් කාන්සියකි. වදනකින් නොකීවද බිම්සර තමා වෙත පානා සැලකිල්ලට , ඒ ඇස් බැල්මවලට, සිනාවට තමාද බොහෝ සෙයින් නතුව තිබුණි.ඉදින් ඒ කාන්සියෙන් ඉන්නා විටය අංශප්‍රධාන ගුරුමෑණියන් ගේ පණිවුඩය රැගෙන බිම්සර සොයා යන්නට සිදුවූයේ.


එකම එක වතාවක් ඒ ඇස්බැල්ම ලබන්නට මිසක අන් කිසිවක් තමාට අවශ්‍ය නොවීය. එහෙත් පන්තිකාමරයේ දොර අසලදී තමා දුටුවේ සිතම කඩාවට්ටන එකම දසුනකි. බිම්සර අයියා සිටින්නේ තේජා අක්කා සමගය. ඔහු පොතකට යොමුව ගත් නෙතින් සිටියි. තේජා අක්කා ඔහුගේ වතටම බරව සේ සිටියි.එක්වනම ඔහුගේ අත අල්ලාගත් තේජා අක්කා ඔහු වතට තවත් නැඹුරු වනු මෙත්මි බලාඋන්නේ ඔහු තමාහට මේ දක්වා මේ කල රැවටීම ගැන කම්පා වෙමිනි.


තිගැස්සී මෙන් හිස ඔසවා බැලූ බිම්සර අයියා කිසිවක්ම නොකියා පන්තියෙන් පිටව යනුද ඉන්පසු තේජා අක්කාගේ දැඩි වදන් ප්‍රහාරයට ලක්වන්නට සිදුවනුද මෙත්මිට දරාගන්නට නොහැකි විය.


කෙතෙක් පන්තියේ සගයන් ඇය අස්වසන්නට තැත් කලද මෙත්මි හඬා වැටුනේ තමා ගැනම උපන් වේදනාවෙනි. කුලුඳුලේම සිත පෑරෙන්නට වූයේ අනපේක්ෂිත වූ මෙවන් කාරණයකිනි. පාසල නිමවී නිවෙසට ආ පසු මෙත්මිට දැඩිලෙස උණ ගත්තේ එය දරාගන්නට නොහැකිවූවක් හෙයිනි. 


දින ගණනාවක් මෙත්මි පාසලට නොපැමිණීම බිම්සරට කුතුහලයක් ඇතිකරන්නාක් වුවද ඒ සම්බන්ධයෙන් ඔහුට කරගන්නට කිසිවක්ම නොවීය. ඉතින් ඉතිරිව ඇත්තේ බලාසිටීම පමණි.


පෞද්ගලික පන්තිය අවසන්ව බස් නැවතුම්පලට විත් බසය එනතුරු බලාඉන්නා බිම්සරට තාමරී හමුවූයේ එවන් දිනකය.


"නංගි..පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද?" 


බිම්සර ඇසුවේ වරදකාරී හඬකිනි.


"ඇයි අයියෙ?"


තාමරීගේ හඬ පවා නොරිස්සුම් විය.


"ඇයි මෙත්මි ඉස්කෝලෙ නො එන්නෙ?"


බිම්සර ඇසුවේ ඈත කොහේදෝ දිසාවකට නෙත් යොමා ගෙනය.


"ඒ කෙල්ලට ආයෙ ඉස්කෝලෙ එන්න ඉඩ තිබ්බද අයියෙ ඔයාල. ඔයාල ඔක්කොම එකතුවෙලා සෙල්ලම් කලේ ඒ අසරණීගෙ හිත එක්කනේ."


තාමරී පැවසුවේ කේන්තියට වඩා වේදනාවෙනි.


"ඔයාලා හිතනවට වඩා වෙනස් දෙයක් එදා එතන උනේ. නමුත් මට ඒ සිද්ධිය ගැන හරිම අවුල්."


බිම්සර පැවසුවේ තාමරීගේ කෝපය ගැන වටහාගනිමිනි.


බිම්සර විසින් පැහැදිළි කරනු ලදුව තාමරී සිද්ධියේ අගමුල වටහා ගත්තාය.ඉදින් මේ කාරණය මෙත්මිට පැවසිය යුතුය. ඇයගේ සිත පෑරුන තරමක් දන්නේ තමාමිස අන්කවරෙක්ද ?


පන්තිය නිමාවී එන අතරේ මෙත්මි හමුවන්නට තාමරී ඇයගේ නිවහනට ගොඩ වැදුණේ එබැවිනි. තාමරි හමුවට ආවද මෙත්මිගේ මුලු මුහුණම හේ බා ගොසිනි.


මෙත්මිගේ අතින් අල්ලාගත් තාමරී ඇයව මිදුලේ කුඩා බංකුව වෙත කැඳවාගෙන ආවේ සිදුවූ සියල්ල පවසමිනි.


නමුත් සිතූ තරම් ඒ මුහුණේ එළියක් වැටුණේ නැත.


"ඕවා ගැන එච්චර හිතලා වැඩක් නෑ තාමරී. අනෙක මම කලබල වෙන්නෙ මොකටද බිම්සර අයියා මගෙ කවුරුවත් නෙවෙයිනේ.එයාලා ටයිම් පාස් කරන්න මං වගේ කෙනෙක් තෝරාගත්තු එකයි මට දුක."


මෙත්මිගේ හිතේ වූ තුවාලය හොඳ කරන්නට නම් ලෙහෙසි පහසු නොවනු ඇති බව තාමරීට වැටහුණි.ඇය සුසුමක් හෙලා නිහඬ වූයේ එහෙයිනි.


"තේජා අක්කා මට කල තර්ජනයට යටින් හුඟාක් දේ තියනවා තාමරී.කොටින්ම එයාට හෙට උදේ වෙද්දි අපිව මේ ගෙදරින් පාරට වුණත් දාන්න පුලුවන්. මට අම්මයි නංගියි තරම් මොනවද වෙන වටින්නේ තාමරී."


ජීවිතයේ අසරණ භාවය ඉතින් කෙතරම්ම ඛේදනීයද ? තාමරී නිහඬවම ආපසු හැරී ආවේ බෙහෙවින්ම බරවූ සිතිනි.


"තාමරී නංගි...මේ සිද්ද වෙච්ච ඔක්කොම දේවල් අපි දැනගෙනත් මේ දෙන්නා විරසක වෙලා ඉන්න එකවත් අපි හරිගැස්සුවොත් හොඳ නැද්ද? අර යකා විභාගෙට මාසයක් තියාගෙනත් කෙලින්නෙම පිස්සු. මුන් දෙන්නට පොඩ්ඩක් කතාකරන්න ඉඩක් හොයල දෙන්න ක්‍රමයක් නැද්ද ?"


රශිත ඇසුවේ ඔවුන්ගේ හමුවේදී ඉවත බලා මගහැරයන මෙත්මි දෙස බලමිනි.


ඉන්පසු පාසල් ආවද මෙත්මි උන්නේම මුලුගැන්වීය. බිම්සර අහම්බයකින් දකිනා විටෙක පවා මෙත්මි ඉවතට සැඟව යාම ඔහුට ඇතිකලේ ඉමහත් පීඩනයකි.


"මේක කරන්න බෑ බං , අපරාධ කාරයෙක්ට වුණත් නිදහසට කාරණා කියන්න අවස්ථාවක් දෙනවා. උඹට බැරිද මට මෙත්මි එක්ක කතා කරන්න වෙලාවක් හොයල දෙන්න." 


බිම්සර ඇසුවේ රශිතගෙනි. 


"පොඩ්ඩක් හිටපන් අපි පොඩි ප්ලෑන් එකක් ගහල තියෙන්නෙ."


රශිත කල්පනාවෙන් පැවසීය.


සිද්ධියේ අගමුල සියල්ල වටහාගෙන උන් තාමරී රශිත සමගින් සැලසුම් කලේ මේ දෙදෙනා මුණගස්වා කතාබහ කරන්නට අවස්ථාව ලබා දෙන්නටය.


"මෙත්මි මට ගම්පහට යන්න ඕනෙ පොඩි වැඩ වගයකට. පුලුවන්ද සෙනසුරාදා එන්න මා එක්ක ගිහින් එන්න."


තාමරී ඇසුවේ පාසල් ඇරී නිවසට යන අතරමගදීය.


"මම අම්මට කියල එන්නම්, අම්මා ඔයාගෙ වැඩකට යන්න නම් එපා කියන්නෙ නෑනෙ."


මෙත්මි පැවසුවේ අහිංසකව සිනාසෙමිනි. කෙතෙක් වයසින් වැඩුණද අම්මාගේ අනුදැනුම නොමැතිව මෙත්මි කිසිම ගමනක් යන්නට පෙලඹුනේ නැත.අම්මා තමන් සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය කඩන්නට මෙත්මිගේ සිතක වත් නොතිබුණි.


සෙනසුරාදා ගම්පහ යන්නට බසයට ගොඩ වූ යෙහෙළියන් පැයකට නොඅඩු කාලයක් බස් ගමනේ යෙදුනේ සිනහවෙන් සහ කතාබහෙනි . වැරදීමකින් හෝ බිම්සර සම්බන්ධව වචනයක් හෝ පවසන්නට තාමරී වගබලා ගත්තේ මෙත්මිගේ සිතට කරදරයක් නොවන්නටය.


නගරය පුරා රෙදි කඩසාප්පු කිහිපයක ඇවිදීමෙන් අනතුරුව තාමරීගේ යෝජනාවකට අනුව දෙදෙනා පිවිසුණේ කුඩා අවන්හලකටය.


"අම්මේ මගෙ නම් දිව ගිලෙන්න එන්නෙ. මොනව හරි කාලා බීම බොමුද?"


තාමරී ඇසුවේ අසල වූ පුටුවකට බෑග සියල්ලම දමා ඉඳගනිමිනි.


එම කුඩා අවන්හල සෙනග එතරම් ගැවසෙන්නක් නොවූ අතර හිමිකාර යුවතිය එම අවන්හල සුන්දරව පවත්වාගෙන ගියාය. කෙටිකෑම කිහිපයක් ද පළතුරු යුෂ බඳුන් දෙකක්ද ඇනවුම් කල තාමරී ,මෙත්මි සමගින් මිලදී ගත් රෙදිපිළි බලන්නට වූවාය.


"අපිත් මේ කිට්ටුවෙන් වගේ වාඩිවුණාට කමක් නැද්ද දන්නෙ නෑ."


එක්වනම ඇසුණ හඬකින් හිස ඔසවා බැලූ යෙහෙළියන් දෙදෙනා කලබල වූයේ තමන් ඉදිරියේ ඉන්නා අය දුටුවිටය. රශිත ඉදිරියට වී සිනහසෙමින්ද ඔහු පිටුපසට වී බිම්සර ඉවත බලාගෙන සිනාසෙමින්ද එතැන වූහ. මෙත්මි බිම බලාගත්තේ දැනුණ අපහසුතාවටය.


"එන්න එන්න අයියලා කොහෙද මේ බෑරක්ද ?"


තාමරී ඇසුවේ පුරුදු සැහැල්ලු හඬිනි.


"පොඩි වැඩ වගයකට ආවා නංගි. ලබන මාසෙ ඉතින් ඒ ලෙවලුත්නෙ."රශිත පැවසුවේ අසල වූ අසුනක හිඳගනිමිනි.


ඉඩ තිබූ එකම අසුන වූයේ මෙත්මි අසල වූ අසුනයි. බිම්සර එහි ඉඳගනිත්ම මෙත්මි වහා නැගී උන්නාය.


"මෙතු.....ඉඳගන්න..මෙතන විකාර නොකර."


තාමරී තරවටු හඬින් පැවසුවාය.


"අනේ අපි යං..මට ගෙදර යන්න ඕන." 


මෙත්මි පැවසුවේ ඇසට උනා එන කඳුලු වලකා ගනිමිනි.


"චූටි.....මට කතාකරන්න ඕන විනාඩි පහකට. ඉන් පස්සෙ මම කිසිම කරදරයක් වෙන්නෙ නෑ ඔයාට."


බිම්සර මෙත්මිට අතින් අසුන දක්වා පැවසීය.මෙත්මි අසුනට කඩාවැටුණේ තාමරී ඇයගේ අතින් ඇද්ද හෙයිනි.


"වෛරක්කාරයො වගේ තරහාවල් පිරිමහන්න දෙයක් නෑනෙ දෙන්නට. කතාකරගන්න දෙයක් ඉක්මනින් කතාකරගනිල්ල. අපි දෙන්නා එහා මේසෙ ඉන්නම්."


රශිත සහ තාමරී නැගිට ඔබ්බෙන් වූ මේසය වෙතට ගියහ


"වෙච්ච ඔක්කොම දේවල් හරියට දැනගෙනත් ඇයි චූටි ඔයා මෙහෙම කරන්නේ."


බිම්සර ඇසුවේ මෙත්මිගේ දෑසට එබෙමිනි. මෙත්මි ඇසට පිරෙන කඳුලු වලකාගන්නට තැත් නොකලාය. 


"අඬන්න නෙවෙයි මං කිව්වෙ. මේ හැමදේම අද නොකිව්වොත් මට ලබන මාසෙ ඒලෙවල් වලින් ලයිට් කණු ටිකක් අරන් යන්න තමයි වෙන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් තියේ නම් අපි දැන්ම විසඳගම්මු."


බිම්සරගේ හඬ ගැඹුරු එහෙත් මෘදු ස්වරයකින් ගලාආවේය.


"මේ අහන්න , මං ඔයාට වරදක් කරල තියනව කියල ඔයාට හිතෙනවද ? අන්න ඒකට මට උත්තර දෙන්නකො ඉස්සෙල්ලම."


බිම්සර පැවසුවේ මෙත්මිගේ වතට තවත් එබෙමිනි.මෙත්මි කිසිවක් නොකියා හිස දෙපසට වැනුවාය.


"තේජා ඔයාට කිව්ව දේවල් මම දන්නවා චූටි. ඒත් ඒ ඔක්කොම ඇත්ත නෙවෙයි කියල ඔයා දන්නව නේද?" 


බිම්සර යළි ඇසුවේය.


"ඔව්...ඒත් අයියේ තේජා අක්කා මට මං කවුද කියලා තදින්ම කියල දුන්නා.ඔයා දිහා බැලුවොත් හරි හෙට මමයි අම්මයි නංගියි මහපාරෙ ඉන්න බවත් එයා මට කිව්වා."


මෙත්මි ආයාසයෙන් හඬ අවදිකලාය.


"මට තේරෙනව...මෙතනදි අන්න ඒ කාරණය නිසාම මාත් අසරණයි. ඔයාලට හයියක් වෙන්න මටවත් තාම බෑ. ඒ නිසාම මාත් මෙහෙම අයිනකට වෙලා ඉන්නෙ.එහෙමයි කියන්නේ මම ඔයා ගැන ......"


බිම්සර මොහොතකට කතාව නැවැත්වීය.


මෙත්මිගේ දෑස් විසල්වී ගොස් ඇති ආකාරය දුටුවිට බිම්සරට සිනාගියේය.


"ඔහොම බලන්න එපා බං.. මට කියන්න ගිය දේත් අමතක උනා."


බිම්සර සෙමින් ඇයගේ හිසට අතින් ඇන්නේය. ජීවිතයම බරක්ව ගිය කෙල්ලකට ආදරයද බරක් නොවිය යුතුය. ඔහු එය තරව සිතාගෙන උන්නේය.


මෙත්මිගේ මුහුණේ දවසේ ප්‍රථම වතාවට සිනහවක් ඇතිවගියේය.


"හිනාවෙලා ඉන්නවා . එතකොට කොච්චර ලස්සනද?"


බිම්සර මෙත්මි දෙස බැලුවේ සෙනෙහසැති දෑසිනි.


"ලබන මාසෙ ඒ ලෙවල් වෙනකල් අපි ඉස්කෝලෙ එන්නෙ නෑ එච්චර. ඉතින් ඒ නිසා නිදහසේ ඉන්න පුලුවන් ඔයාට. මම මේ හම්බවෙන්න ආවෙත් ඔයාට කතාකරලම යන්න. ඒලෙවල් ඉවර වෙලා මම ගමේ යනවා."


බිම්සර පැවසුවේ ඈත කොහෙදෝ බලාගෙනය. මෙත්මිගේ සිතේ කීරිගැහෙන වේදනාවක් බඳු හැඟීමක් ඇතිවුණි.


"අයියා..එ..එතකොට දිගටම ඉන්නෙ එහෙද ?"


මෙත්මි ඇසුවේ මුමුණන්නාක් බඳු ස්වරයෙනි


"ඔව් මෙහෙ උන්නා කියලත් ඇති වැඩක් නෑනෙ. මේ එක එක බටු ඇට කෙල්ලන්ගේ ගෑස් බලනව හැරෙන්න."


බිම්සර හොරැහින් මෙන් මෙත්මි දෙස බලමින් පැවසීය. ආයෙමත් ඒ ඇස් වලට කඳුලක් පුරා ආවේය.


"ඕකනෙ බැරි වචනයක් එහෙමෙහෙ වෙන්න බෑ ටැප් එක ඇරගන්නව.මම ගිහින් මෙහෙ එන්නත් ඉතින් හේතුවක් ගෙවල්වලට කියන්න එපායැ."


"චූටි...තමුසෙ තාම පොඩියි. මට ඒ නිසා හැම එකම කියන්න බෑ. ඒත් පරෙස්සමින් ඉන්නවා හරිද ?" 


බිම්සර මෙත්මිගේ ඇඟිල්ලකින් අල්ලාගත්තේ සෙමිනි.අනපේක්ෂිත ඒ ස්පර්ශය මෙත්මි තිගස්සවාලූවේය.වහ වහා අත ඔහු වෙතින් ඇදගත් ඇයගේ රතුව ගිය වත දෙස බලාගෙනම බිම්සර සිනාවූවේය.


"මං කවදහරි  එනකල් පරෙස්සමින් ඉන්නව හරිද ?"


බිම්සර මෙත්මිගේ හිසකේ  අවුල් කොට දමා හිනැහෙන්නට තැත් දැරුවේය. 


අතකින් අල්ලාගන්නට, සෙමින් ළයට තුරුලු කොට ගෙන කොපුලක සිපුමක් තබන්නට ඒ ඉලන්දාරි හිතටද අවැසිවී තිබුණද වදනකින් හෝ ආදරය පවසාගන්නට නොහැකිව ඔහු බලාඋන්නේය.


"පරෙස්සමින් යන්න දෙන්නම." 


බිම්සර ඇයට සමුදෙමින් පැවසුවේය. මෙත්මි රතුව ගිය දෑසින් ඔහු දෙස මොහොතක් බලාඉඳ ආපසු හැරුනාය.


********************************************************************************


(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු යළිත් ...ආදරයෙන්

මම 


( විසිරි 🧡)

6 comments: