Friday, September 3, 2021

08. අටවෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින් )





 "සර්, තාම මෙතනද ? මම ෆෝන් එකටත් ගත්තා. කන්න ගේන්න කීවට කෑම එකට අතවත් තියලා නෑ."

රත්නායක බිම්සරගේ උරහිසට අත තබා කියූ හඬින් අතීතයේ මතක චාරිකාවක ගොසින් අතරමංව උන් බිම්සර තිගැස්සී මෙන් ඇහැරුණි.

අවසානයට ඇය හමුවුණ දවසේ ඇයගේ නෙතෙහි වූ කඳුලක සිහිල දැනෙමින් තිබූ සිතට පියවි ලොවට ඒමට බොහෝ වේලාවක් ගත්විය.

"සර්ට සනීප නැද්ද?"

රත්නායක යළි ඇසුවේ බිම්සරගේ වත දෙස නෙත් යොමාගෙනය.ඒ වත වෙහෙසකරය.

"නෑ නෑ එහෙම මොකුත් නෑ. රත්නායක යන්න.ඔය කෑම භාජනත් අරන් යන්න.මට කෝපි එකක් විතරක් හදල දීල යන්නකො."

බිම්සර නානකාමරයට වැදුණේ තෝන්තුවී ගිය සිතෙනි.

කාමරයට පැමිණ යළි උණු කෝපි බඳුණද තොලගාමින් ජංගම දුරකතනයේ ගී එකතුව ක්‍රියාත්මක කල බිම්සර දෑස් වසා ගත්තේය.

දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින්

ආ මග ආයෙත් යන්නට ආසයි අප පෙම බිඳුණ තැනින්

ජීවිතයේ අමතක නොකල බොහෝ දේ ඇත්තේ තමාට විතරක්මද ? 

ඇයට ඒ සියල්ල අමතකව ඇත්ද ?

මෙතුවක් කල් තමා උන්නේ හැඟීම් දැනීම් නැත්තෙක් සේ නොවේද?

බිම්සරට එක පිට එක සිතුවිලි සමුදායක් සමග පැනයන් ගලා ආවේය.

මේ සියල්ල කියන්නට කතාකරන්නට ඇත්තේ එකම එක පුද්ගලයෙකි. තවත් කෙසේ නම් මේ සිතට හැංගී ඉන්නට ඉඩ දෙන්නද ?

බිම්සර ජංගමය අතට ගෙන අංකනය කලේ එකම ඇමතුමකටය.

"මචං , මොකෝ බං තත්වෙ.මේ ටිකේ මම දැක්කා වෙන දේවල් ඔක්කොම" 

එහා පසින් ඇමතුමට සම්බන්ධව කටහඬ ගලාආවේය.

"පිස්සු හැදිලා ඉන්නෙ මචං. උඹ ආපහු ආවද ලංකාවට."

බිම්සර සිය දෑතින්ම හිස තෙරපා ගනිමින් පැවසීය

"ඔව් මම ආවෙ පෙරේදා , උඹට නොගත්තේ මේ තත්වය එක්ක බිසි නිසයි."

බිම්සර සුසුමක් හෙලා එහා පසින් කියවෙන දේ අසා උන්නේය.

"උඹට ෆ්‍රී නම් හෙට පොඩ්ඩක් මේ පැත්තේ එනවද ? උදේම" 

බිම්සර ඇසුවේය.

"තාම මම ඩියුටි රිපෝට් කලේ නැහැ. හෙට එන්නම්. මචං මට අවුලක් වගේ දැනෙනවා උඹෙ. මොකුත් බරපතල දෙයක් නෙවෙයි නේද කොල්ලො?"

බිම්සර අඳුරට සිනහවූයේය. මේ සිදුව තිබෙන්නේ ජීවිතයේ බරපතලම දෙය බව ඔහු දන්නේ නම්...

ඒ ඇමතුමට සම්බන්ධව උන්නේ රශිතය. ඔහු විදෙස්ගතව සිට ලංකාවට ආවේ පෙරදවසේ නම් මේ සම්බන්ධව උදව්වක් ගන්නට ඔහුගෙන් හැර වෙන් අයෙක් මෙහි නොමැත.

ලංකාවේ ඒ වන විට ජනප්‍රියම සහ දක්ෂම ස්නායු වෛද්‍යවරුන් අතර රශිත එක් අයෙක් විය. මෙත්මි පෙන්වාගන්නට සුදුසුම පුද්ගලයා ඉතින් ඔහුය.

අනෙක් අතට පාසල් කාලයේ සිදුවූ සියලුම දේ මෙන්ම ඉන්පසු තමා ගතකල ජීවිතය ගැන දැන උන්නේද ඔහු හෙයිනි.මේ අහඹු සිදුවීම හෙට දවසේ ඔහු මවිතයට පත්කරන බව දැන දැනම බිම්සරට මඳ සිනහවක් පහළවිය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

"ඉතින් ඉතින් උඹ මොකද මට හදිසියෙම එන්න කිව්වෙ."

මුහුදු වෙරල අසල අවන්හලකදි හමුවූ රශිත ඇසුවේ බිම්සරගෙනි. 

සිදුවූ පවත් රශිත වෙත පැවසූ බිම්සර සුසුමක් හෙලුවේ මෙහි වර්තමාන තත්වය ගැන තමාහට ඇති අවිනිශ්චිත භාවය සිතේ ඇතිකර ඇති කුකුස හේතුවෙනි.

"විශ්වාස කරන්නත් බැරි තරම් නෙ බං ඔය කතාව. ඒත් බලපන්කො මෙච්චරකල් ඔය මිනිස්සු කොහේද උන්නෙ කියල අපිටම හොයාගන්න බැරිඋනානෙ.

මචන් දැන් කෙලින්ම කියපන්කො. මොකක්ද උඹ කරන්න යන්නෙ?"

රශිත ඇසුවේ බිම්සරගෙනි. අතීතය කෙතෙක් බිම්සර තලාපෙලාලූවේද යන්න රශිත තරම් දැන උන්නෙක් වෙන නොවීය.

"ඉස්සෙල්ලාම මෙත්මිගෙ තත්වය අපි පොඩ්ඩක් බලමු මචං. මම එයා බැඳලද , ඒ මොකුත්ම හෙව්වෙ නෑ. එහෙම නැත්නම් මම වගේම එයත් මං වෙනුවෙන් බලා උන්නා නම්..මම මේ පාර කෙල්ලව මගහැරගන්නෙ නෑ. මොන තත්වයක උන්නත්."

බිම්සරගේ වදන් වල ඇති ස්ථිරසාර භාවය රශිත මනාව හැඳිනීය. සිය මිතුරාගේ හුස්ම ගන්නා රාවය පවා අවුරුදු ගානක් තිස්සේම ඔහු මැනවින් වටහාගත් අයෙකි.

"ඔව් යමු අපි ඉස්සෙල්ලම එයාව බලල එමු."

දෙමිතුරන් දෙදෙනා රෝහල වෙත පැමිණියේ රිද්මාටද එන බව දැනුම් දෙමිනි.

රිද්මා ඔවුන් පිළිගන්නට පිවිසුම් දොර අසල උන්නාය.

"ගුඩ් මෝනින් සුදු අයියෙ..ගුඩ් මෝනින් සර්"

රිද්මා දෙදෙනාව පිළිගත්තාය.

"මොකක්ද යකෝ ඒ දෙවිදියක වෙල්කම් කිරිල්ල. මම කවද්ද උඹට සර් කෙනෙක් උනේ."

රශිත අත ඔසවා රිද්මාට පහරක් ගසන්නට මෙන් පෙරට ආවේය.

"එක පන්තියෙ උන්නා කියල කන්සල්ටන්ට් කෙනෙක්ට අයියේ කියන්න පුලුවන්යැ දෙයියනේ."

රිද්මා පසෙකට පනිමින් පැවසුවාය.

"උඹලට ඉගන ගන්න ඕන කමක් හරියට තිබ්බා නම් උඹ මට කලින් මෙතනට එන්නෙ රිද්මා. අන්න ඒක මතක තියාගනින්. හරි හරි යන්කො අර ළමයව බලල එන්න ඉස්සෙල්ලම."

බිම්සර උන්නේ නිල ඇඳුමෙන්මය.ඉදින් ඔහු වෙත යොමු වෙන දෑස් මගහරින්නට බැරිතරම් වාට්ටුවට යන දෙපස විය. මේ ආඩම්බරකාර පෙනුමැති හමුදා නිලධාරියා වෙත යොවුන් කෙල්ලන් මෙන්ම වැඩිහිටි පාර්ශවයේ කාන්තාවන් පවා බලා සිටිනු රශිත පෙන්වූයේ රිද්මාටය. 

"කොස් ඇති තැනටමලු පොලුත් රිද්මො. එකියෙක් මං දිහා බලන්නෑනෙ බං."

රිද්මා සිනහව වලකා ගනිමින් වාට්ටුවට ඇතුල් වූවාය.

දීර්ඝ නින්දක ගැලී උන් සුලෝචනා ඇහැ ඇරියේ අතට දැනුණ ස්පර්ශයෙනි. ඇය නිද්‍රාවෙන් බරිත දෑස් විවර කරන්නට තැත් කලාය. අපැහැදිලි ඡායාවන් කිහිපයක් තමා අසල සිටිනු ඇයට දැනේ.

"ඔයාට කොහොමද?"

නන්නාඳුනන පිරිමි කටහඬකින් අසයි. සුලෝචනා ආයාසයෙන් දෙතොල දිවගින් තෙමා ගත්තාය. තොල්පටවල් පුපුරා ගොස් බඳුය,. 

"චුට්ටක් වතුර වලින් තොල් දෙක තෙමන්න." 

යළි ඒ පිරිමි හඬය. ඉන් පසු කවුරුන් හෝ තොල් මතට දියබිඳක් තවරනු දැනුණි.

"ඔයාට මාව ඇහෙනවද?"

බොහෝ ඈතක සිට හඬක් සේ ඇසෙයි.

සුලෝචනා හඬ අවදි කරන්නට වෙහෙස දැරුවාය. එහෙත් හඬ පිටවන්නේ නැත. ඇයගේ නෙත් අගින් ගලාඑන්නේ කඳුලු දහරාවකි.

"හරි දරුවො ඔයාට මම කියන දේ ඇහෙනව නම්  අත උස්සන්නකො. කතා නොකලට කමක් නෑ."

ඈතින් ඇසෙන හඬට සුලෝචනා අත ඔසවා සන් කලාය.

"ගුඩ් ගර්ල්. කලබල වෙන්න එපා. අපි හෙමින් සමීප වෙමුකො.දැන් ඔයාව මම චුට්ටක් බලනවා. ඕකේ.?"

විවිධාකාර පරීක්ෂණ රැසක් විටින් විට සිදුකල රශිත ඉන්පසු ස්ක්‍රීනයෙන් පිටතට ගියේය. රිද්මාද ඔහු පසුපස ගියාය. එහෙත්  බිම්සර එලියට නොගොස් විනාඩියක් පමණ ඇය දෙස බලාඋන්නේය.

ඇය ඉන්නේ කොහේ හෝ ඈතකට යොමුව ගිය දෑසිනි.බිම්සර අඩියක් ඇය අසලට ආවේය. යමෙක් අසල රැඳෙනු දැනී සුලෝචනා හිස හරවා බලන්නට තැත්කලාය. එක්වනම හිස පෙදෙසින් ආ වේදනාව ඇයගේ ප්‍රයත්නය මගහැරවීය. ඇය වේදනාවෙන් කෙඳිරිගෑවාය.

"දඟලන්න එපා චූටි. ඔහොම්ම ඉන්න." 

සවනට පහත්ව මුමුණන එවදන් පවා සුලෝචනාට ඇසුණේ බොහෝ දුරක සිට සේය.

එහෙත් එවදන් ඇයට හුරුය. හිසකේ අතරට අතක ස්පර්ශය දැනෙනුද ඒ මොහොතේම සුලෝචනාට දැනුණි.

"මචං පොඩ්ඩක් එලියට වරෙන්"

රශිතගේ ඇමතුමට බිම්සර පිටතට ගමන් කලේ තවත් වරක් ඇයගේ හිසට අතතබා පිරිමදිමිනි.

බිම්සර පිටතට එනවිටත් රිද්මි සමගින් රශිත කතාබහේ යෙදී උන්හ. මුහුණුවල පෙනුමේ හැටියට නම් තත්වය එතරම්ම සුබ පාටක් නැති බව බිම්සරට දැනුනි.

"මචං she is in a terrible shock. So we have to handle her very carefully."

රශිත පැවසුවේ කල්පනා බරවය.

"මේ වෙලාවේ උබ කවුද කියන එක මේ ලමයාට දැනගන්න තියන්න අවශ්‍ය නෑ. මොකද එයාට මෙහෙම කම්පනයක් දරාගන්න අමාරුයි. ඒ නිසා අපිට ඉවසන්න වෙනවා බං"

රශිත පැවසුවේ කල්පනා කරමිනි.

"මචං අපිට කෙල්ලව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ගෙනියන්න බැරිද?"

බිම්සර ඇසුවේ ඇයට අවශ්‍ය ඉහලම ප්‍රතිකාර ලබාදෙන්නට අවැසි බව හඟවමිනි.

"උඹද මේ කෙල්ලගෙ භාරකාරයා.? එහෙම එකේක තැන්වලට ලෙඩෙක් ගෙනියන්න බෑ මනුස්සයො අපිට."

රශිත පැවසුවේ සිය මිතුරාගේ උරහිසට පහරක් ගසමිනි.

"ගෙදර අයගෙන් අහල"

බිම්සර පැවසුවේ සිය අදිටන වෙනස්කර නොගනිමිනි.

"දැන්ම බෑ. එයා ස්ටේබල් වෙනකල් ඉන්න ඕන. මේ වෙලාවේ පොඩි චලනයක් උනත් කෙල්ලට ඩේන්ජරස්. ඒ නිසා දැනට ඔහොම ඉන්න දෙමු. අපි ඉන් පස්සෙ බලමු."

රශිත පැවසීය. 

"එහෙනම් රිද්මා අපි යනව. ආයේ දවස් දෙකකින් වගේ මම එන්නම්. මෙහෙ නියුරොසර්ජන්ව හම්බෙන්නත් ඕනෙ මට."

රශිත පැවසුවේ සමුගන්නට අවැසිබව හඟවමිනි. බිම්සර සිය දෑත කලිසමේ සාක්කු දෙකට හොවාගෙන නොසන්සුන්ව බලාඋන්නේය.

හතර අතින් ඔහු දෙසට යොමුවන දෑස් බැල්මවල් ඔක්කොටම වඩා කරදරයන්ය. මේ මොහොතේ තමාගේ සිතේ ඇති පීඩනය දන්නේ තමා පමණකි. බිම්සරට හිතේ ඇතිව එන කේන්තියද මැඩගන්නට ඒ අතරම සිදුවිය.

"මොකෝ උඹ මලපැනල වගේ?"

ආපසු එන අතර රශිත ඇසුවේ බිම්සර දෙසට එබෙමිනි.

"මොන මලවදයක්ද බන්. අර හොස්පිට්ල් එකට ගියාමත් ඔක්කොම උන් ටික කන්න වගේ බලන් ඉන්නව. මට එපාවෙන්නෙ ඔන්න ඔය වෙලාවට."

බිම්සරගේ කියවිල්ලට රශිත මහ හඬින් හිනැහුණේය. 

"යකෝ උන්ට විතරක් නෙවෙයි, උඹව ඔහොම යුනිෆෝම් එකෙන් දැක්කම මටත් බලන් ඉන්න හිතෙනව. අඩෝ ඒකට කියන්නෙ හැන්ඩ්සම්කම කියල. ඕකට ඔරවන් ගොරවන් නොඉඳ හිනාවෙලා හිටපන්."

රශිත සිය මිතුරාගේ ආවේගය මුදාහරිනු වස් පැවසීය.

"අනෙක මචන් උඹ වටේට ඇස් ඔහොම කැරකෙන්න ගත්තේ අද ඊයෙද කියහන් පොඩ්ඩක්. ඉස්කෝලෙ යන කාලෙ මතක නැද්ද , බුදුඅම්මෝ ඕයි කෙල්ලන්ගෙන් තිබ්බ මලවදේ."

අතීත මතකයන් කෙතරම් නම් සොඳුරුද ? බිම්සරගේ සිතෙහි වූ නොරිසුම ඉවතට පහව ගියේ ඒ මතකයන් සමගිනි.

"යංද ඉස්කෝලෙ පැත්තට රවුමක් ගහල එන්න?"

බිම්සර ඇසුවේ රශිතගේ මුහුණ දෙස බලමිනි. රශිත සිය මහපටැඟිල්ල ඔසවා එයට අනුමැතිය පලකලේය.

🧡🧡🧡🧡🧡🧡


"රත්නායක  ඔතනින් වමට. ඉස්කෝල පාරට දාන්න"

වාහනය නැවතුණේ පාසල් ගේට්ටුව අසලය. පසුගිය සිදුවීම හේතුවෙන් පාසල්වල ආරක්ෂාව පවා තරකොට ඇත. ගේට්ටුවේ උන් හමුදා නිලධාරීන්ගේ ආචාරයට ප්‍රතිආචාර දක්වා රශිත සමගින් පාසල තුලට ගිය බිම්සරට දැනුණේ සුපුරුදු පාසල් සමය අද ඊයේ මෙන් හිත ලඟ සැරිසරන බවය.

අරලිය ගස් පේලියට යටින් උසස්පෙළ පන්තිකාමර තිබූ ඉසව්වට පා ඔසවන දෙමිතුරන්ගේ සිත් තිබුණේ බෙහෙවින් සැහැල්ලුවය. පාසල් කාලය තරම් සුන්දරම අත්දැකීම් ජීවිතයට ගෙන එන කාලයක් වෙන කොහේ නම් සොයන්නද?

"ඕලෙවල් පන්තිය පැත්තටත් ගිහින් එනවද?"

මඳ වේලාවක් තමන්ගේ පන්තියේ සුපුරුදු ස්ථානයන්හි මොහොතකට ඉඳගෙන උන් දෙදෙනා නැගීඋන්නේ පිටත්ව යන්නටය.

රශිතගේ පැණැයට බිම්සරගේ මුවින් එළියට පැන්නේ සිනහවකි. 

"වෙලාවක ආයේ එන්නෙ ඕලෙවල් පන්තියෙ උන්න එකීවත් එක්කගෙනම තමයි මම ඒ පන්තියට."

බිම්සරගේ හඬෙහි වූයේ ස්ථිරසාර බවකි.

"මචං කෙල්ලගේ මෙමරි ඉෂූ එකක් දැනට තියනව. ඒක ටෙම්පරරි එකක් වෙන්න පුලුවන් අර ශොක් එක නිසා. පොඩ්ඩක් පරෙස්සමින් ඕන එයාව හැන්ඩ්ල් කරන්න. උඹ උනත් ඇප්‍රෝච් වෙන කොට පරෙස්සමින්. එක පාරට හොස් ගාල උඹව අඳුන්නල දෙන්න යන්න එපා. ඒක ශොක් එකක් වෙන්න පුලුවන්." 

රශිත සිය මිතුරාව දැනුවත් කලේය. බිම්සර හිස වනමින් එය පිලිගන්නා අයුරක් දැන්වීය.

රශිත සමුගෙන පිටව ගිය පසු බිම්සර නැවත පල්ලිය දෙසට රිය පදවන ලෙස රත්නායකට පවසා ගමන් කලේය. ක්‍රමානුකූලව සමූහ මලගෙවල් ලෙසින් අවසන් කටයුතු පවත්වන්නට සිදුව තිබුණි. ඉදින් ඇතැම් පවුල් වල සියලුම දෙනා ජීවිතයෙන් සමුගෙනය. සමහර පවුල් වල අම්ම සහ තාත්තා සමුගෙන ඇත්තේ දරුවන් ඉතිරිව අසරණ වද්දීය. කෙසේ කෙලෙස ජීවිත අහිමි වුවද ඒ වියෝවන් දරාගන්නට කිසිවෙක්ට නොහැක.

"මේ පැතිවල මිනිස්සු දැන් ඉන්නෙ අලු යට ගිනි වගේ පුතා. කොයි මොහොතේ කොහොම ඇවිලෙයිද කියලා හිතාගන්න අමාරුයි."

දේවස්ථානයේ ප්‍රධාන පියතුමා බිම්සර සමග පැවසුවේ ඉමහත් වේදනාබර හඬකිනි.

"ඔව් ෆාදර්...තැනින් තැන රට පුරාම ඇවිලෙන්න බලන් ඉන්නෙ මිනිස්සු. ඒක ඇවිලුණොත් නම් අර යුද්දෙට එහා එකක් වෙනව.ඒ නිසයි ඇහැ ගහගෙනම ඉන්න ඕන."බිම්සර පිළිතුරු බැන්දේය.

"මේ ටිකට ඔය දරුවො මේ මිනිස්සු එක්ක උන්න එකම සෑහෙන්න වටිනවා පුතා. විශේෂයෙන්ම මේ තරුණ ළමයින්ව මානසිකව  ගොඩ නගන්න ඕනෙ  මේ වැටුණ වැටිල්ලෙන්."

පියතුමා ආපසු දේවස්ථානයට ඇවිද ගියේ බිම්සරට සමුදෙමිනි.

බිම්සර ආපසු ගේට්ටුව දෙසට ඇවිද එන අතර මොහොතකට නැවතුණේ ගේට්ටුකණුවට මුවාවෙමින් ඉන්නා යුවතිය දැකය.ඔහුගේ මුවට සිනහවක් ආවේ අක්කාගේම ඉරියවු දරන්නිය දැකය.

"මොකද මං දැක්කම හැංගෙන්නෙ."

බිම්සර ගේට්ටුව අසල නැවතී ඇසුවේය.කෙල්ල බිමට හැරවූ නෙතින් බලාඋන්නා මිස කිසිවක් නොකිව්වාය.

"ඇයි නංගි , මොකක්ද ප්‍රශ්නෙ?"

බිම්සර හැකිතාක් දුරට හඬ කාරුණික කොට කතාකලේය.

"අපේ අක්කා බලන්න අද සර් ගියා කියල වාට්ටුවෙන් කිව්වා ලොකු ඩොක්ටර් කෙනෙක් එක්ක.මං ඒ ගැන දැනගන්න මේ දුවල ආවේ."

දැරිවිය සෙමින් පැවසුවාය.

"මොනවද දැනගන්න ඕන?"

බිම්සර යළි ඇසුවේය. ඇයටද තමාගේ සහ මෙත්මිගේ අප්‍රකාශිත ආදරය ගැන කියා පලක් නොවේ.

"අක්කා අපිව තාම එච්චර අඳුනන්නෙ නෑ සර්. මූණ දිහා බලන් ඉන්නවා මිසක ලොකු හැඟීමක් පෙන්වන්නෙ නෑ. අම්මා හැමදාම ගෙදර ඇවිල්ලා අඬනවා. අක්කාගේ මතකය එන එකක් නැද්ද සර්.අර ලොකු ඩොක්ටර් එහෙම මොකුත් කිව්වද අක්කා ගැන."

ඇය දිගින් දිගටම අසාගෙන ගියාය. 

තමාට මේ දැනෙන්නේ යම් ප්‍රමාණයක වේදනාවක් නම් ඇයට සහ අම්මාට සිය පවුලේ උන් කෙනා ගැන කෙතෙක් දුක් දැනෙනවා ඇත්ද ?

බිම්සර සුසුමක් හෙලුවේ ඒ බව සිහිවීය.

"අක්කාගෙ මතකය එහෙම වෙලා තියෙන්නෙ කම්පනය නිසා වෙන්න පුලුවන් කියලයි ඒ ඩොක්ටර් කිව්වෙ. ඉතින් අපිට අක්කාව කලබල නොකර ටිකක් බලාගන්න වෙනවා. විශේෂයෙන්ම අම්මාට කියන්න අක්කා ගාවදි අඬන්න වැලපෙන්න එපා කියල. මොකද අක්කාට ඒක ශොක් එකක් වෙන්න පුලුවන්."

බිම්සර ඈත බලාගෙනම පැවසීය. පොඩ්ඩියගේ ඇස්වල කඳුලක් ඉපිද කොපුල් හරහා ගලා හැලුණි.

"සර් අපෙ අක්කව අඳුනනවද?" 

කෙල්ල යළි ඇසුවේ කඳුල පිසලාගනිමිනි.බිම්සර මඳ සිනහවක් පා ඉවතට හැරුණි.කෙල්ල දෑස් නොපියාම බලාඋන්නාය. මඳ දුරක් ඇවිද ගිය බිම්සර ආපසු හැරුණේය.

"මාත් ගියෙ ඔය ඉස්කෝලෙටම තමයි."

එපමණක් කියා ඔහු ආපසු හැරී වාහනය වෙත කඩිනමින් ගියේය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

යළිත් නවාතැන් ගන්නා කෑම්ප් එක වෙත පැමිණි බිම්සර රත්නායක ඇමතුවේය.

"හවස බීච් එක පැත්තට යන්න ඕනෙ."

සිය ප්‍රධානියා මුහුදු රළ සමීපයේ රැඳෙන්නේ හිතේ මොකක් හෝ කාන්සියක් , ගැටලුවක් පැමිණි විට බව රත්නායක දැන උන්නේය.

"හරි සර්.. මම හතරට විතර එන්නම්. සර්ට කෑම කාමරයටම එවන්නද?"

ඔහු ආපසු ඇසුවේය. එයට හිස සලා අනුමැතිය දුන් බිම්සර යළි කාමරයට වැදී දොර වසා ගත්තේය.

හිතේ හැටියට ස්නානය කර කාමරයට එද්දීත් ජංගම දුරකතනය හඬ තලමින් තිබුණි.

බිම්සර එය අතට එන නොරිස්සුමෙන් යළි ඇඳ මතට දැම්මේය.

යළි යළිත් එය නාද වන්නේ ගණන් නොගෙන ඉන්නා තරමටය. 

බිම්සර ජංගමය සවනට තබා ගත්තේ

"යස්.."කියමිනි.

"මොකක්ද අනේ කතාකල ගමන් කඩන් පනින්නෙ?"

එහා පසින් ජංගමයේ වූයේ මේධාය. 

"පිස්සු නටන්නෙ නැතුව කාරණේ කියන්න මේධා. මට වැඩ තියනවා."

බිම්සර සිය ස්වරය අඩුනොකරම පැවසීය.

"ඔයාට කතාකරන්න මට කාරණා තියෙන්න ඕනද ? ඇයි මෙහෙම මට සලකන්නෙ?"

මේධාගේ හැඬුම්බර හඬ දුරකතනය ඔස්සේ ගලා ආවේය.බිම්සරට මොහොතකට දුක සිතුණද මේ කරදරය ඉවසාගන්නට තමාට නොහැකිය.

"මේධා, මං ඉන්නෙ බොහොම බරපතල ප්‍රශ්නයක. ඒක මගේ නෙවෙයි මේ රටේ ප්‍රශ්නයක්. ඉතින් මේ වෙලාවේ ඔයාලා ඔහොම හැසිරෙන්න එපා.ඒක මට කරදරයක්."

බිම්සර සිය වදන්වල සැර පාලනය කරගන්නට තැත් දරමින් පැවසීය.

"අහ් ..රටේ ප්‍රශ්න කියන්නෙ ඔයා හොස්පිට්ල් ගානේ ඇවිදින එකද බිම්සර?"

මේධාගේ හඬ ගලා ආවේ කෝපාවිෂ්ටවය.

"මොන බම්බුවක්ද මේ කියවන්න"

බිම්සරට පාලනය කරගෙන උන් කෝපය වැඩිවූයේ එවදන සමගිනි.

"අර අද ෆේස්බුක් එක පුරාටම කෙල්ලො මැරෙන්න හදන්නේ හොස්පිට්ල් එකේ ඔයාගේ පින්තූර දැකල.මොන විකාරද බිම්සර මෙව්වා.ඕවද ඔයා රටේ ප්‍රශ්න කියන්නේ?"

මේධාගේ ස්වරය ඊර්ශ්‍යාවෙන්ද සමච්චලයෙන්ද පිරීගිය එකක් බව බිම්සරට වැටහුණි. එහෙත් මේ කියන හතරබීරි කතාව කුමක්දැයි වටහාගත යුතුය.

"වට්ද...?"කටට කියවෙන්නට එන නොසරුප් වදනද වලකා ගනිමින් ඇමතුම විසන්ධිකල ඔහු මෙතුවක් කල් අක්‍රියකොට දමා තිබූ මුහුණුපොත් ඉසව්ව යළි සක්‍රිය කලේය. මේධා පවසා ඇති දෑ මොහොතකට ඔහුගේ ඇස් ඉදිරිපිටට දිස්විය.

රශිත සමග රෝහලට ගිය වේලාවේ කවුරුන් හෝ නාඳුනන්නෙක් විසින් බිම්සරගේ විවිධ ඉරියව් සේයාරූ ගතකොට ඇත. ඒවා කිසිවක් බිම්සර දැනුවත්ව නොගත් බව පැහැදිලිය. නමුත් ඒ සියල්ලේම ඔහුගේ කඩවසම් බව අපූරුවට ඉස්මතුවෙමින් තිබුනි.

යළි ජංගමය සක්‍රිය වූයේ රිද්මාගේ නමිනි.

"මොකද?"

බිම්සර කඩාගෙන පැන්නේ පෙර ඇමතුමෙන් තුනී නොවූ තරහද කැටිකරගනිමිනි. රිද්මාට ඒවායේ ගානක් ඇත්තේම නැත. අසල්වැසියා ලෙසින් උන් කාලයේ පවා බිම්සරගේ මේ කුකුල් කේන්තිය ඇයට හුරුය.

"අඩේ සුදු අයියා. මරු ෆොටෝ ටික ඕයි. මාත් එකක දෙකක ඉන්නව. මටත් හෙන ගැම්ම ආන්."

රිද්මාගේ ස්වරයට බිම්සරගේ කේන්තිය පහව නොගියද සිනහවක් මුවට මතුවිය.

"මලවිකාරනෙ ඕයි." 

බිම්සර යළිත් පැවසුවේ නොරිස්සුමෙනි.

"ඕයි අන්න ඒවයෙ සමහරු අහලා මම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද කියලත්. මම යස් කියල රිප්ලයි කරන්නත් බැලුවා. කොහෙද ඒවා දාල තියෙන්නෙ අඳුනන්නෙ නැතිඋන් නෙ. එකියෙක් කියල ඔය ඩොකීව ඔයාට ගැලපෙන්නෑ රත්තරන් කියලත්."

එසේ නම් මේධා ඇවිල ඇති හේතුව සිතාගන්නට පුලුවන. 

බිම්සර ඇමතුමෙන් සමුගෙන ඩෙනිම් කලිසමකට කලු පැහැ ටීශර්ටයක් දමාගත්තේ රත්නායක එනතුරුය. කාලය ඇති හෙයින් මුහුණු පොතේ සේයාරු බලමින් උන් ඔහුට සිනහා ගියේද ඒ රූ වලට කෙල්ලන් දමා ඇති අදහස් හා ප්‍රතිචාර දැකය. කෙසේ වුවත් මුහුණුපොත් ඉසව්ව තමා එතරම් ප්‍රිය කල ඉසව්වක් නම් නොවේ.

හදිසියේ ආ සිතුවිල්ලකට මෙන් මුහුණු පොතේ මෙත්මිගේ නම සටහන්කොට බැලීමට බිම්සරට සිත්විය.

මෙත්මි ධර්මරත්න 

නැත..එලෙස කිසිවෙක් නොමැත.ඔහු සුසුමක් හෙලා ඉන් ඉවතට යන්නට සිතද්දීම යළි නිකමට මෙන් 

සුලෝචනා ධර්මරත්න  ලෙසින් යළි සටහන් කළේය.

ඉතින් ..මේ සිටින්නේ ඇයයි. ඒ වත පාසල් සමයට වඩා සොඳුරුය. පරිණතය. පිරිපුන් බව මඳක් අඩුව ගොසිනි.

බිම්සර ඇයගේ ගිණුමෙහි උඩපහළ ගියේ අරමුණක් නැතිවය.

"සර්...යනවද අපි."

රත්නායකගේ හඬින් දැහනකට සමවැදී මෙන් උන් බිම්සර හිස ඔසවා ඔහු දෙස බැලීය. 

"යං යං" 

ඔහු නැගී උන්නේ දුරකතනය සාක්කුවට දමා ගනිමිනි. මුහුදු වෙරලේ සුපුරුදු ඉසව්වට බිම්සර ඇවිදගිය පසු රත්නායක ජීප් රථය ඈතින් නවත්වාගත්තේය.

වෙරල අයිනේ තනවා තිබූ කුඩා සමර්හට් එකක ඉඳගත් බිම්සර යළිදු ජංගම දුරකතනයෙන් මුහුණු පොත විවෘත කලේය. 

සුලෝචනා ධර්මරත්න 

ඇය ජීවිතයේ පසුගිය කාලය ගෙවූ අන්දම ගන කුඩා හෝ ඉඟියක් ලබාගන්නට තමාහට මේ ඔස්සේ හැකිවනු ඇතැයි ඔහු සිතුවේය.සේයාරූ එතරම්ම තිබුණේ නැති තරම්ය. ඒ හැම එකකම ඇය , අම්මා සහ සොයුරිය සිටිනු මිසක අන් කිසිවෙක් නොවීය. බිම්සර සැනසුම් සුසුමක් හෙලුවේය. පෙම්වතෙක් හෝ සිටිනු හෝ  සිටින්නට  හෝ ඇතැයි යටි සිත කීවේ වරක් දෙවරක් නම් නොවේ.

සුලෝචනා ධර්මරත්න මුහුණුපොතේ කවිකාරියක්ව සිටියාය. ඇය ලියූ කවියක් දෙකක් කියවූ බිම්සර දුරකතන මුහුණතට සිනාවූවේය. තමා කලාකාරයෙක් නොවේ. තමා ගිනිඅවිය සුරතට ගත්තද ඇය අතට ගෙන ඇත්තේ පෑනය.

අවුරුදු ගණනාවක් ආපස්සට මුහුණු පොතේ ගියද සුලෝචනා සම්බන්ධ කිසිදු පුවතක් එයින් උකහා ගන්නට බිම්සරට නොහැකි විය.

අවසානයේ ඇයගේ මුහුණුපොතින් ලබාගත් එකම එක සේයාරුවක් සිය ජංගම දුරකතනයට ගබඩාකරගත් බිම්සර යලි තමාගේ මුහුණුපොත් ගිණුම බැලීය.හිතාගන්නට බැරි වේගයකින් සිය සේයාරූවලට අදහස් වැටෙයි. කෙල්ලන් සශ කාන්තාවන්ගේ අදහස් සහ ප්‍රතිචාරවලට කොල්ලන් දක්වන්නේ උපහාස සහ අපහාසයන්ය. බිම්සර මේ මිනිසුන්ගේ බොලඳකම් දිහා බලාඋන්නේ සිනහසෙමිනි.

"රශිත ..කියපන්."

ඒ මොහොතේ ආ ඇමතුමට බිම්සර සම්බන්ධ වූයේය. 

"මොකක්ද බන් ඔය හෝ හෝ ගාන්නෙ?"

මුහුදු සුලඟ නිසා රශිත කියන්නක් අපැහැදිලි වූ අතර රශිතටද බිම්සර කියන්නක් හරියාකාරව ඇසුණේ නැත.

"මම උස්වැටකෙයියාවට ආවා. පොඩ්ඩක් බීච් එක පැත්තට."

බිම්සර කෑගසා මෙන් පැවසීය.

"අඩෝ මේ ආන් උඹ ඉබේම ජනප්‍රිය වෙලා. කොටින්ම යකෝ මගේ ගෑනිත් මං ගෙදර එනකොට කට ඇරන් බලන් ඉන්නෙ උඹේ රූප ටික දිහා."

රශිත පවසන්නේ හිනාවෙමිනි. 

“මලවිකාර බං.මට ඕවා ගත්තු එකා අහුවුනොත් මම කරන දේ ඌ දනී එහෙනම්”

බිම්සර පැවසුවේය.

"මොනව කරන්නද ඉතින් .ඕවට අර උරචක්කරමාලාව ආවෙ නැද්ද එල්ලි එල්ලි."

රශිත ඇසුවේ මේධා ගැනය.

"ආපෝ බං මතක් කරන්න එපා.අපේ නැන්දලා රට ගිහින් මට කල වින්නැහිය තමා ඔය."

බිම්සර පැවසුවේ කලකිරීමෙනි.

"ඔය මනුස්සයා උඹට හරියන්නෑ බං . මම එදත් උඹට කිව්වා.අදත් කියනවා."

රශිත පැවසුවේ බිම්සරගේ සියලුම ජීවිත කතාන්දරය දන්නේ ඔහු හෙයිනි. 

"උඹ විතරක් නෙවෙයි බං මාත් ඒක මුල ඉඳන්ම දන්නවා. අපේ නැන්දට මම කොහොමත් කියල තියෙන්නෙ නිකම් පෙට්‍රල් පුච්චගන්නෙ නැතුව එයාට කෙරෙන දෙයක් බලාගන්න කියන්න කියල. කොහෙද ඒ වුනාට මේ අම්මණ්ඩි මාව පතාගෙන ආව කියලද මන්දා හිතන් ඉන්නෙ.මගෙන් එක වචනයක අනුබලයක් නැතුව උනත් එන්නෙ එල්ලි එල්ලිනෙ බං"

බිම්සර පැවසුවේය.

"දැන්නම් ඉතින් සුරලෝකෙන් සුරංගනාවො ආවත් උඹේ හිත හොල්ලන්න ආයේ ලැබෙන්නෑ කියල මට සහතිකයි. කෝකටත් පරෙස්සමින් බං.ඔය මේධාගෙ තාත්තා ටිකක් එක විදියක පොරක්නෙ. අනික අර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයියා. ඌ ඔක්කොටම එහා."

රශිත පැවසුවේ සිනහාසෙමිනි.

"අම්මෝ මතක් කරන්න එපා ඒ මලවදකාරයා නම්.ඕකා මගෙන් කීපාරක් ගුටිනොකා බේරුනාද මේ එක එක කේස් වලට."

බිම්සර අකමැත්තෙන් වුවද ඒ මුහුණ සිහිකලේය.

මේධා සම්බන්ධ යෝජනාව තමන් හට ගෙන ආවේ නැන්දාය. තාත්තාගේ ලොකු අක්කා වන ලොකු නැන්දා උන්නේ විදෙස්ගතවය. ඇයගේ ලඟම මිතුරියකගේ දුව යැයි පවසමින් මේධා ගුණවර්ධන තමා වෙත සමීප කරන්නට නැන්දා බොහෝ කාලයක් වෙර දැරුවාය. එහෙත් බිම්සර කිසිදු අනුබලයක් නොදී ඒ යෝජනාව ප්‍රතික්ශේප කලේය. 

එහෙත් නැන්දා තම අභිමතාර්ථය ඉටුකරගන්නටම වෙර දරමින් මේධාහට බිම්සර මුණ ගැස්සවූවාය. දුටුමනතින් බිම්සරගේ පෞරුෂයට බැඳීගිය මේධා බිම්සරගේ නොසැලකිල්ල ගණනකටවත් නොගෙනම ඔහු සිය අයිතියේ ඇතැයි ලෝකයට පෙනෙන සේ හැසිරුණාය.

"මට පාන්ද ? ඕන තරම් ඔහොම නටල නටල හති වැටුණ දාක එයාම යාවිනෙ. ඔන්න නැන්දා එදාට නම් මට ආයෙ අනම් මනම් කියන්න එන්න එපා."

බිම්සර නැන්දාට පැවසුවේ සිය අප්පච්චී ද ඉන්නා තැනය. එදවස අප්පච්චී සිනහවෙන් පමණක් තමා කියන්නක් ඉවසා උන් බවද එහෙත් නැන්දා කේන්තියෙන්  පුපුරා හැලුණ බවද බිම්සරට මතක් විය.

******************************************************************************

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු යළිත් හෙටත්..ආදරයෙන්


මම 


විසිරි

6 comments: