Sunday, September 5, 2021

09. නව වෙනි කොටස (ඔබ ආයෙමත් ඇවිදින්)




"අම්මේ, අම්මේ,මේ අර සර් බලන්නකො."

ප්‍රමුදිතා සිය මුහුණු පොතේ දිස්වන බිම්සරගේ සේයාරූ සිය මවට පෙන්වමින් පැවසුවාය.

"කවුද පොඩ්ඩියෙ?"

අම්මා ඇස් කුඩා කරමින් ලොකු කරමින් ඒ රුව ඇසට අල්ලාගන්නට වෙර දැරුවාය.

"ඇයි අම්මේ අර අක්කව හොස්පිට්ල් අරන් ගිය සර්. අම්මෝ මේ කවුරුහරි එයාගෙ ෆොටෝස් දාල හොස්පිට්ල් එකේදිම ගත්තු ඒවා. ආ..මේ අර තාමරී අක්කගේ යාලු ඩොක්ටර්ත් ඉන්නවා.අම්මෝ මේ ෆොටෝස්වලට කෙල්ලො පිස්සු වැටිලානෙ."

ප්‍රමුදිතා පැවසුවේ සිනහාවෙමිනි. මේ රූ වලට තමන්ගේ පන්තියේ කෙල්ලන්ද අනිවාර්‍යයෙන් වහ වැටී සිටිනවා ඇත. ඔහු හඳුනන බවද අක්කා රෝහලට අරන් ගියේ ඔහු බවද දැනගැනීමම තමාට ආඩම්බරයක් වනු ඇත.

"අම්මේ ඒ සර් අපෙ අක්කව දන්නවාවත්ද කියල මට එදා හිතුණනෙ? අක්කාව බලන්න ලොකු ඩොක්ටර් කෙනෙක් එක්ක හොස්පිට්ල් ගියා කියල මට වෝඩ් එකෙන් කිව්ව නිසා එදා පල්ලියට ආව දවසේ මම ගිහින් ඇහුවා."

ප්‍රමුදිතා මේසය මත වූ වතුර වීදුරුව ගෙන මුවට තබා ගනිමින් පැවසුවාය.

"ඉතින්? මොකෝ කිව්වේ?"

අම්මා ලියමින් උන් කොල මිට අතේම තබාගෙන විමසුම් ඇසින් ඇය දෙස බැලුවාය.

"මොකුත් කිව්වෙ නෑ.මාත් ඉගන ගත්තෙ ඔය ඉස්කෝලෙම තමයි කියලා යන්න ගියේ.අක්කලට වඩා වැඩිමල් ඇතිනෙ අම්මේ.සමහර විට අක්කව දන්නවද දන්නෙත් නෑ."

ප්‍රමුදිතා සින්කය මත වූ භාජන එකින් එක සෝදමින් පැවසුවාය.

"අක්කා ඉස්කෝලෙ යනකාලෙත් එහෙමට කලබලේකින් , කැපී පේන්න උන්න ළමයෙක් නෙවෙයිනෙ පුතේ. තමන්ගේ පාඩුවේ ඉගන ගත්තා මිසක. ඇත්තටම කෙල්ලට උපාධියක් කරගන්න බැරිඋනේ අර හේතුව නිසානෙ."

අම්මා ඇසට නැගුණ කඳුල හැට්ට කරින් තෙතමාත්තු කරගත්තාය.

"අම්මා ගෙට යන්නකො. මම ඔය ටික ඉවර කරන්නම්."

අම්මාගේ හිතේ උපන් වේදනාව ප්‍රමුදිතාට මැනවින් දැනුණි. අක්කා සිය ජීවිතයම කැපකලේ අම්ම සහ තමන් වෙනුවෙනි.

ඇයගේ ජීවිතයේ කිසිදු රහසක් තමා හා නොමැති වුවද අක්කා සැමවිටම සිටින්නේ සඟවාගත් දුකකින්යැයි ප්‍රමුදිතාට සිතුණ වාර අනන්තය.

සුලෝචනා බලන්නට අම්මා සමග රෝහලට පිවිසි ප්‍රමුදිතාට ප්‍රධාන වෛද්‍යවරයා හමුවන්නටයැයි හෙදියක විසින් පැවසුවාය. රෝගීන් බලන වේලාව අවසන් වනතුරු අක්කා අසල රැඳී උන් ප්‍රමුදිතා අම්මා සමගින් ප්‍රධාන වෛද්‍යවරයාගේ මේසය අසලට පැමිණියාය.

"ආ මේ සුලෝචනාගේ අම්මයි නංගියි නේද? ඉඳගන්නකො. මිස්,මේ අර නියුරොසර්ජන් ඩොක්ටර් ඇති රෙස්ට් රූම් එකේ පොඩ්ඩක් එන්න කියන්නකො." 

අම්මට සහ ප්‍රමුදිතාට ඉඳගන්නයැයි පවසමින් හෙදියකට පැවසූ ඔහු ලිපිගොනුව ඇදගත්තේ තමා ඉදිරියටය.

මොහොතකින් රශිත පැමිණියේ රිද්මාද සමගිනි. ප්‍රමුදිතා වහ වහා නැගිටින්නට වෙර දැරුවද ඔහු ඇය වලකා වෙනත් පුටුවක ඉඳගත්තේය.

"අම්මා..මේකයි දැන් සුලෝචනාගේ මූලික ප්‍රතිකාර ඉවර වෙන්නයි යන්නෙ. නමුත් එහෙමයි කියන්නේ එයාට සම්පූර්ණයෙන් සුවයි කියන එක නම් නෙවෙයි. එයාගේ අනතුර එක්ක වෙලා තියන සමහර ගැටලු දීර්ඝ කාලීන වෙන්න පුලුවන්."

ප්‍රධාන වෛද්‍යවරයා පැවසුවේ නිවීහැනහිල්ලේය. මේ දෙදෙනාව අනවශ්‍ය ලෙස කලබල කරන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත.

"මේ ඉන්නේ අපිට හම්බවුණ හොඳම ස්නායු සම්බන්ධ ශල්‍ය වෛද්‍යතුමා. ඉතින් අම්මටයි නංගිටයි දෙන්නට ඔන්න සර් පැහැදිලිව කියාවි කරන්න පුලුවන් දේවල්."

ප්‍රමුදිතා ඔහේ බලා උන්නාය.අම්මාට මේ ගැන තේරුමක් ඇත්තේම නැත.අසා සිටිය යුත්තේ තමාය.

"මේකයි සුලෝචනාට අපි හුඟක් පරීක්ෂණ එහෙම මේ වෙද්දි හොස්පිට්ල් එකෙන් කරලනෙ තියෙන්නෙ. ඉතින් ඒවායෙ ප්‍රතිපලවල හැටියට නම් එයාගේ මොළයට එහෙම හානිවෙලා නෑ."

ප්‍රමුදිතාට සැනසුම් සුසුමක් හෙලුනි.

"නමුත් ඇතිවෙලා තියන කම්පනය බරපතල එකක්. ඒ නිසා එයාගේ මොලයේ යම් යම් ක්‍රියාකාරිත්වයන් තාම නම් නෝමල් නැහැ."

රශිත පැවසුවේ බොහෝ ඉවසීමෙනි.

"මේකට මොකක්ද කරන්න පුලුවන් සර්?"

ප්‍රමුදිතා ඇසුවේ වෙවුලන කටහඬකිනි.

"අපිට සැකයක් තියනවා , සුලෝචනා දැන්ම ආපහු ඔය ගෙදරට එක්ක ගෙන ගියොත් එයාට ශොක් එක ආපහු වැඩිවෙන්න පුලුවන් කියල.අපි සුලෝචනාව පෙන්නපු සයිකෑට්‍රිස්ට් වුණත් කිව්වෙම ඒක."

රශිත පැවසුවේය

"සයිකෑට්‍රිස්ට් කෙනෙක්? ඒ කියන්නෙ අක්කට..අක්කට..?"

ප්‍රමුදිතාගේ ඇස් වල කඳුලක් පිරුණි.

"දරුවෝ මේ අහන්න. ඔයා දැන් මොන පන්තියෙද ?"

රශිත වහා ඇසුවේ ඇයගේ වැරදි වැටහීම ගැන අවබෝධයක් ලැබීය.

"ඒ ලෙවල් කරන්නෙ සර්."

ප්‍රමුදිතාගේ හඬ වෙවුලමින් තිබුණි.

"ඔයා ඒ ලෙවල් කරන දරුවෙක් නම් ඔයාට මේ දේවල් තේරුම් ගන්න පුලුවන්. මානසික වෛද්‍යවරයෙක්ට කෙනෙක් පෙන්වනවා කියන්නෙම ඒ කෙනාට මානසික ආබාධයක් තියනවා කියන එකට නෙවෙයි. යම් යම් මානසිකත්වයට අදාල ගැටලු සම්බන්ධයෙන් වගේම ඔය ඔයාගේ අක්කාට ඇතිවෙලා තියන මතකය අඩුවීම වගේ බුද්ධිමය කාරණාවලටත් අපිට මානසික වෛද්‍යවරයන්ගෙන්  උපදෙස් ගන්න වෙනවා. ඉතින් ඒ නිසා වචනයක් ඇහුණ ගමන් ඔහොම කලබල වෙලා බෑ තේරුණාද?"

රශිත පැවසුවේ බොහෝ කාරුණිකවය. ප්‍රමුදිතා සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත්තාය.

"ඉතින් අපිට ඕන්නම් උත්සාහයක් විදියට අක්කව කෙටිවේලාවකට ගෙදරට එක්කන් ගිහින් බලන්න පුලුවන්. ඒත් පෞද්ගලිකවම මම නිර්දේශ කරන්නේ ඕක දැන්ම එපා කියන එක. ඒ නිසා අක්කව ටිකට් කැපුවාම ටික දවසකට වෙන නිදහස් තැනකට එක්ක යන්න තියනවා නම් හුඟාක් හොඳයි."

ප්‍රමුදිතා අම්මා දෙස බැලුවේ අසරණවය.

ඉදින් තමාට මෙතුවක් කල් උන්නේද අම්මා සහ අක්කා පමණි. ඉන්න හිටින්නට ඇත්තේද ඔය කුලියට ඉන්නා වපසරියම පමණි. ඉතින් කොහේ නම් යන්නද ?

ප්‍රමුදිතා නිරුත්තරව බලා උන්නාය.

"අපිට උන්නේ අපි තුන් දෙනා විතරයි සර්. අම්මලාගේ ගමේ අපි කාලයක් ගිහින් උන්නා.ඒත් ඒ පලාත අතෑරලා අපි ආපහු මෙහෙටම ආවේ එපාම වෙලා. අපි දැනට ඔය ඉන්න තැනත් ඉන්නෙ කුලියට. ඉතින් ඇත්තෙන්ම අපිට වෙන යන්න තැනක් නෑ සර්."

ප්‍රමුදිතා සිය තත්වය පැහැදිලි කලාය.

රිද්මා සිය ජංගම දුරකතනයද රැගෙන මොහොතකට පිටතට ගියේ ඇමතුමකට සම්බන්ධ වෙමිනි.ඇය ඉක්මනින් ආපසු ආවාය.

"සොරි සර්..මම එලියට ගියේ අම්මාට කතාකරන්න. අපේ වත්තක් තියනවා කිලෝමීටර් පහක් විතර ඈතට වෙන්න.ඒකෙ ගෙයකුත් තියනවා. ඒ ගෙදර උන්න අය දැන් මාසෙකට කලින් ගියා.ඉතින්  ඔයාල කැමතිනම් මට එතන දෙන්න පුලුවන් තාවකාලිකව මේ ප්‍රශ්න ඉවරයක් වෙනකල්."

රිද්මා පැවසුවේ ප්‍රමුදිතාගේ ආත්මාභිමානයට හානියක් නොවන සේය.

"ඔයාගේ අක්කාට අපි මේ උදව්ව කරන්නේ එයා අපේ ඉස්කෝලෙ ඉගනගත්ත ළමයෙක් නිසා නංගි.ඉතින් ඒ උදව් ගැන මොකුත් අවිශ්වාසෙන් නම් හිතන්න එපා."

රිද්මා පසුව ප්‍රමුදිතාට පැවසුවාය.

"අක්කා එතකොට රෙන්ට් එක?"

ප්‍රමුදිතාට අවශ්‍ය වූයේ ඇත්තෙන්ම දරාගන්නට හැකි මුදලකට එහි සිටින්නට හැකිවේදැයි යන්න දැනගන්නටය.

"මේකයි නංගි...ඔයාලගෙ ආත්ම ගෞරවයට මෙහෙම උදව්වක් නිකම් බාරගන්න බැරුව ඇති කියල මම දන්නව. ඒ නිසා ඔයාලට පුලුවන් ගානක් ඒ වෙනුවෙන් ඔයාල දෙන්න. මේක නිකම් මම මගෙ අම්ම තාත්ත එක්ක කතාකරල ඔයාලට දෙන්නෙ . ඒ වත්තපිටියෙ වගාවක් කරගත්තාම මූලික ගැටලු නැතුව ඉන්න පුලුවන් කලින් අය වගේම."

අක්කා කවදත් වැඩ කලේ දුරදිග බලාය. ඇයගේ වෙනම ගිණුමක නිවෙස් කුලිය සඳහා වසරකට ආසන්න ප්‍රමාණයකට හැමදාම තැන්පතුවක් වෙන්කර තැබුවාය.ඉදින් වසරකට ආසන්නව ගැටලුවක් නොවී ඉන්නට හැක.

වෛද්‍යවරුන් හමුවී නිවසට පැමිණි පසු අම්මා සමගින් ප්‍රමුදිතා කතාකලේ මේ කාරණය සම්බන්ධවය. 

"පොඩ්ඩි කැමතිද?"

අම්මා ඇසුවේ සෙමිනි. 

"අම්මේ මෙතනදි අපි මුල් තැන දෙන්න ඕන අක්කාව ගොඩදාගන්නනෙ.අම්මටයි මටයි ඉන්නෙ අක්කා විතරයි. මට මෙහෙට පන්ති එන්න එච්චර ලොකු දුරක් නෑනෙ අම්මෙ එහෙ ඉඳන්. අපි හෙට ගිහින් ඒ තැන බලල එමුද රිද්මා අක්කා එක්ක."

ප්‍රමුදිතා අම්මාගේ හිස අතගාමින් පැවසුවාය.

"ඔව් පුතේ මට නම් අගුපිලක උන්නත් කමක් නෑ කෙල්ල සනීප වෙනවනම්.අපි ගිහින් බලමු."

අම්මා අනුමැතිය දුන්නේ සුසුමක්ද හෙළමිනි.

පසුදා රිද්මා ඔවුන් කැඳවාගෙන යන්නට පැමිණියේ උදෑසනින්මය.

"මට අද හවස තමා වැඩ. ඉතින් ඔන්න මම උදෙන්ම ආවා දෙන්නව එක්ක යන්න."

රිද්මා පැවසුවේ මිදුල සිසාරා නෙත් යවමිනි. කුඩා වුවත් අපූරුවට කලමණාකරණය කල මිදුලකි.

"රෙන්ට් එකට උන්නත් ඇන්ටිලා මේ ලස්සනට වත්ත පිටිය තියන් ඉන්නෙ.දැක්කමත් ආසයි."

රිද්මා ඇඹරැල්ලා ගසකින් කිරි රසැති ගෙඩියක් හපාකමින් පැවසුවාය.

"ඔය ඔක්කොම අපේ ලොකු කෙල්ලගේ වැඩ නෝනා. එක මොහොතක් නිකම් ඉන්නෙ නෑ. වගාකරන්න, මල්වවන්න හරිම ආසයි.අනේ එහෙම උන්න කෙල්ලටනෙ මෙහෙම දෙයක් උනේ නෝනා."

අම්මාගේ හඬ ඉකියකට හැරුණි.

"හරි අම්මෙ අපි සුලෝචනාව ඉක්මනින් සනීප කරගම්මුකො."

රිද්මා හිතට දැනුන වේදනාව වලකාගනිමින් ඔවුන් සමගින් වාහනයට ගොඩවූවාය.

නගරයෙන් සැතපුම් පහකට පමණ දුරින් පිහිටි අක්කර බාගයක් පමණ වූ එම පොල්වත්ත ප්‍රධාන මාර්ගයෙන් දකුණට හැරෙන අතුරුපාරක පිහිටියේය. අතුරුමාර්ගයට මුහුණ ලා පිහිටි වත්ත මැද කුඩා නිවසකි.කලින් උන්නා කියු අය නික්ම ගොස් ඇති නිසා මිදුල නම් කොලරොඩු වැටී හැඩිව ඇත.

"දැන් ඉතින් සති තුනහතරක් කවුරුවත් උන්නෙ නෑනෙ මෙහෙ.ඒකයි ඔය."

රිද්මා මිදුල දෙස බලමින් පැවසුවාය.ඇත්තෙන්ම ප්‍රමුදිතාට නම් පරිසරය හිතට ඇල්ලුවේ එකපාරටමය.අක්කා හොඳ අවබෝධයකින් උන්නා නම් ඇයද කවදාහෝ බලාපොරොත්තු වූයේ මෙවන් ඉඩමක මෙසේ කුඩාම නිවසකි.

"කාමර දෙකයි, කුස්සියයි,සාලෙයි, ටොයිලට් බාතෲම් එකටම ..මේ ප්‍රමාණය ඔයාල තුන් දෙනාට ඇතිනේද ?" රිද්මා ඇසුවේ ප්‍රමුදිතාගෙනි.

"අනේ අක්කේ ඕනෑවටත් වඩා අපිටමේක නම්.ඔක්කොටම වඩා මට මේ ගස්කොලන් ටික දැක්කම අක්කාගෙ සනීප වෙන එක ගැන විශ්වාසයක් ආවා."

ප්‍රමුදිතා පැවසුවාය. 

"පරිසරයක වෙනස්වීම අක්කාට යහපත්ව බලපාන්න ඕන කියල මාත් විශ්වාස කරනවා නංගි. ඉතින් අපි ඉක්මනින් අක්කව සනීප කරගන්න බලමු."

රිද්මා ආපසු ඔවුන් නිවෙසට හැරලූවේ නිවසේ යතුර සහ බඩුබාහිරාදිය රැගෙන යන්නට ලොරියක අංකයද ඔවුන් අත තබමිනි.

"මේ සතියෙම අපිට ශිෆ්ට් වෙන්න වෙනව නංගි. මොකද සුලෝචනාගෙ ටිකට් කපන්නයි ඉන්නෙ."

රිද්මා පැවසුවේ අම්මාට සහ දුවටය.

"හරි අක්කේ අපි හෙටම බඩුටික එහෙට අදින්නම්."

ප්‍රමුදිතා පැවසුවාය.


***********************************************************************************

නිවෙස් හිමි අය පත්ව ඇති තත්වය මනාව අවබෝධ කරගෙන උන් හෙයින් ප්‍රමුදිතාහට නිවෙස හැරයාම ගැන ගැටලුවක් නොවීය.

"අක්කව සනීප කරන් ඉන්න ඕනනෙ පුතේ ඔක්කොටම කලින්.නැත්නම් මම කීයටවත් ඔයාල මෙහෙන් යනවට කැමති නෑ. කුලියට උන්නා කියල නෑ පුතේ ඔයාල උන්නෙ මගේම අය වගෙනෙ."

ගෙහිමි කාන්තාව පැවසුවේ ප්‍රමුදිතාගේ හිස අතගාමිනි.

"අපිටත් එහෙමයි නැන්දේ, නන්නාඳුනන දිහාක ගිහින් අඳුනන කිසිකෙනෙක් නැතුව ඔක්කොම අලුතින්ම පටන්ගන්නව කියන්නෙ ප්‍රශ්නයක් තමයි. ඒත් නැන්දෙ අක්කා වෙනුවෙන් මේක අපි කරන්නම ඕනනෙ"

ප්‍රමුදිතා ඇයගෙන් සමුගනිමින් පැවසුවේ දෙපා මුල වැඳගෙනමය.

මොන තරම් ගුණයහපත් දරුවො දෙන්නෙක්ද ඒ. කුසුම් වුණත් කාටවත් වචනෙකින්වත් වරදක් නැති ගෑණි.

ගෙහිමි කාන්තාව තමාටම පවසාගත්තාය.

රිද්මා හඳුන්වා දුන් ලොරිය පැමිණි පසු බඩුබාහිරාදිය එයට පටවා ගන්නට අසල්වාසී තරුණ ළමයින් කිහිප දෙනෙක්ම ඔවුන්ට සහය වූහ.

"පොඩ්ඩි නංගි...ඔන්න තමුසෙලා මෙහෙන් ගියා කියල අපිව අමතක කරනව එහෙම නෙවෙයි හරිද ?"

තරුණ කොලු ගැටයෙක් පැවසුවේ අම්මාගේ මුවටද සිනහවක් නංවමිනි.

"නෑ නෑ නැන්දෙ මම කිව්වෙ නරකකට නෙවෙයි.මේකි අන්තිමට ටවුන් එකෙදි අපිව දැක්කත් ගස්සන් යාවි.ඒකයි."

කොල්ලා වරද නිවැරදි කලේ හිසද කසමිනි.

"පිස්සුද පුතේ මේ අක්කල නංගිලා කිසිම දාක එහෙම කරන්නෙ නෑනෙ. ඔයාල මේ ගමේ උන්නේ කොච්චර සමගියෙන්ද ?"

අම්මා පැවසුවේ ප්‍රමුදිතා දෙසද බලා සිනහසෙමිනි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක්ම වූ හෙයින් මහ අමාරුවක් නොවීම සියල්ල අසුරාගන්නට ප්‍රමුදිතාට හැකිවූයේ අම්මාගේ සහයද සමගිනි.අල්මාරිය සහ ඇඳවල් සවිකොට දී ගියේ ලොරි රියදුරු සහ සහායක දෙන්නාමය. 

"අපිත් ඉන්නෙ මේ එහා පැත්තෙ අක්කෙ. ඕනම වෙලාවක මගේ පවුල ඒවි.මම හවස් අතේ එයාව එක්කන් එන්නම්කො මෙහෙට."

ලොරි රථයේ රියදුරු සිරිසේන පැවසුවේ සමුගනිමිනි. 

"අනේ මල්ලියෙ තේ එකක්වත් බොන්න ඉන්න." 

අම්මා පැවසුවේ ඔවුන් කුලියක් ලෙස කිසිම මුදලක් නොගත් හෙයිනි.

"සල්ලි ? පිස්සුද අක්කෙ . මේ ලොරිය දොස්තර නෝනලගෙ තාත්තාගෙ. අපිත් ඒ අයගෙන් ජීවත්වෙන අයනෙ."

ප්‍රමුදිතා රිද්මාගේ මේ  උදව් ගැන දැනගත්තේද එවිටය.

සිරිසේන මාමා විසින් ප්‍රමුදිතාට සහ අම්මාට කන්නට කෑම පාර්සල් දෙකක්ද ගෙනවිත් දී සමුගෙන ගියේය.

"අම්මේ දැන් ටිකක් නාල කියල හන්සි වෙන්න. අපි ඉතුරුවා හෙමීට පිලිවෙලක් කරගම්මුකො."

ප්‍රමුදිතා අම්මාගේ වෙහෙසබර මුහුණ දෙස බලමින්ම පැවසුවාය.

"අපිට දෙයියො බලල වගේ මේ අය පිහිට වුනේ පුතේ. මටත් පල්ලිය දිහා බල බල හිත වාවගන්න බැරුව තමා මේ ටිකේම උන්නෙ."

අම්මා පැවසුවේ තුවායද ගෙන නානකාමරයට වැදෙමිනි.

හවස් යාමයේ ප්‍රමුදිතා මිදුල අතුපතුගා වත්තපිටිය දෙස නෙත්යොමා බැලුවාය.

අක්කාගේ මල්වගාවෙන් ගෙන ආවේ අඩකට පමණ ප්‍රමාණයක පෝච්චිය. බිම්වගාවල් එහෙම්ම තිබෙන්නට හැරියේ... 

"කවුරු වුනත් එන කෙනෙක්ට දැක්කම ආසවෙන්න තියල යමු අපි."

කියා අම්මා කියූ හෙයිනි.

අක්කර බාගයකට නොඅඩු පොල්වත්තේ යටි වගාවන් ලෙස විවිධ බෝගයන් තිබුනි. පොල්ගස්වලින් මෑත්ව තිබෙන්නාවූ නිවෙසට අයිති ඉඩ ප්‍රමාණයේ එලවලු පාත්තිවල නෂ්ටාවශේෂද විය. අම්මාට එතරම්ම සවියක් නැතද කාගේ හෝ උදව් ලබා හෝ පාත්ති ටික සකස් කරදුන්නහොත් ඇය වගාකරනු ඇත. 

ප්‍රමුදිතා මිදුලේ කොනක වූ වතුසුද්ද ගහකින් මල් නෙලා බුදුපහන තබන්නට සූදානම් කලාය.

මිදුලට පැමිණි රථයක නලාහඬින් අම්මා ඉදිරිපසට ඇවිද ගියාය.

"අනේ එන්න එන්න නෝනා."

අම්මගේ හඬින් ප්‍රමුදිතාද වහ වහා ඉදිරියට ආවාය.

රිද්මා පැමිණ උන්නේ රශිත සමගිනි. ඔවුන් දෙදෙනාගේ මුවෙහි වූයේ තෘප්තිමත් සිනහාවකි.

"අක්කව සනීප වෙන්න මහ කලයක් යන්නෙ නෑ කියල මට නම් ඔන්න මේ ගෙදර දැක්කම සහතිකයි."

රශිත පැවසුවේ ප්‍රමුදිතාටය.

"ඔව් නංගි...කලින් උන්න අය එච්චරම ඕන කමකින් වත්තපිටිය වගේම ගේත් තියාගත්තෙ නෑනෙ. මේ තනිදවසට ඔයාල කොච්චර ලස්සනට පිලිවෙලට හදාගෙනද?" 

රිද්මාද පැවසුවේ සතුටිනි.

"අපි කලින් උන්න ගෙදර විතරක් නෙවෙයි අක්කෙ , අර ටික කාලෙකට ගමේ මහ ගෙදරට ගිහින් උන්න කාලෙත් අක්කා මුලු ගෙදරම ලස්සනට පිළිවෙලට හැදුවා. එහේ බාප්පගෙ ළමයි ඒකට කැමති උනෙ නෑනෙ. පුංචිඅම්මත් බයවුණා අපි දිගටම එහෙ ඉන්න ඒවි කියල. අක්කා කිසිම දෙයක් අයිතිකරගන්න හිතලා නෙවෙයි එහෙම කලේ. ඉන්න තැන ලස්සනට තියාගන්න විතරමයි එයාට ඕන වුණේ."

ප්‍රමුදිතා පවසන කාරණාවල බිම්සර සහ සුලෝචනාගේ කතාවේ කිසිවෙක් නොදන්නා මධ්‍ය කාලය අනාවරණය වෙමින් පැවතුනි.

"ඒක නම් ඇත්ත තමා. මෙයාගේ අක්කට අයිති වෙන්න තිබ්බ කෙනාව පවා අයිතිකරගන්න ඒ කාලේ ඕනකමක් තිබ්බෙම නෑනෙ නේද බං."

රශිත රිද්මාගේ කණට කොට කීවේය.රිද්මා සිනහව වලකා ගනිමින් ආලින්දයේ පුටුවක හිඳගත්තාය.

"හෙට අපි එහෙනම් අක්කව එක්ක එමු.මගේ වාහනෙන් අපිට එන්න පුලුවන්. අක්කාට එකපාරටම ගොඩක් ඇවිදින්න එහෙම දෙන්න එපා. දැන් මාසයකට කිට්ටු වෙන්න එනවනෙ හොස්පිට්ල් ඉඳලා. ටික ටික ඕන එයාව ඇක්ටිව් වෙන්න දෙන්න. තේරුණාද නංගි"

රිද්මා පැවසුවේ දොර උලුවස්සට බරව ඉන්නා ප්‍රමුදිතාටය.

"ඔව් අක්කේ. වීල්චෙයා එකත් ඕනද අපෙ අක්කට තාම ?" 

ප්‍රමුදිතා ඇසුවේ සුලෝචනා වාට්ටුවේදී ශරීරකෘත්‍ය සඳහා ගෙනගියේ රෝදපුටුවෙන් බැවිනි.

"නෑ..නෑ..ඒ එහේ ටොයිලට්ස් තියෙන්නෙ ටිකක් දුරින් නිසානෙ. ගෙදරට ඕන නෑ. ඇටෑච් බාතෲම් එකක් තියනවනෙ නංගි මෙහෙ."

රිද්මා පැවසුවාය.

රශිත සහ රිද්මා සමුගෙන ගියේ අම්මා විසින් කඩවා කපාදුන් කුරුම්බා ගෙඩි දෙකක්ද පානය කිරීමෙන් අනතුරුවය.

"රිද්මා උඹට මතකද ඒලෙවල් වලින් පස්සෙ බිම්සර නුවර එළියෙ ගියා."

ආපසු එන අතරේ රශිත ඇසුවේ රිද්මාගෙනි.

"ඔව් සුදු අයියගෙ අම්මාට කැන්සර් එකක් හැදුණනෙ රශී. අයියගේ ඒ ලෙවල් ඉවරවෙනකල් ඕක අයියට හංගගෙනයි ගෙදර අය උන්නේ. අන්තිමට නැන්දව ඔස්ට්‍රේලියා අරන් ගියානෙ සුදු අයියගෙ නැන්දා , ඒ කියන්නෙ එයාගෙ අප්පච්චිගෙ ලොකු නංගි මැදිහත් වෙලා. සුදු අයියටත් ඔස්ට්‍රේලියා යන්න උනානෙ ඒ එක්කම නැන්දා එක්ක."

රිද්මා සිහිකලේ අතීතයේ වූ ඒ අඳුරු සිදුවීම් මාලාවය.

"බිම්සරයා හෙනම අවුලෙන් උන්නෙ මෙත්මිට කියලාවත් යන්න එන්න නොවුන එක ගැන. ඒත් ඌ මට කිව්වා කෙල්ලට පණිවුඩය දෙන්න කියලා. ඒත් ඔය ඔක්කොම වෙලා ඕක කියන්න මම ඒ කෙල්ල උන්න  ගෙදර හොයාගෙන යනකොට එයාලා ඒ ගෙදර නෑ කියන එක තමා ආරංචි උනේ. මොකක් උනාද කොහේ ගියාද කියලා කිසිකෙනෙක් හරිකාරණයක් කිව්වෙ නෑ.  බිම්සරයා ඔස්ට්‍රේලියාවේ ඉඳන් පිස්සුවෙන් වගේ උන්නෙ.එහෙන් අම්මා මෙහෙන් කෙල්ල..."

රශිත සුසුමක් හෙලුවේය.

"ඔතන මෙහෙම ප්‍රශ්නයක් වෙලා තිබ්බා රශී. ඒ කාලේ මට මතකයි අපෙ ලොකු තාත්තා උන්නෙ ඔය කිට්ටුව. මෙත්මිලගේ තාත්තා ටිකක් නෙවේ හොඳටම අවුල් කැරැක්ටර් එකක් කියලා ඒ අය අතරේ ප්‍රසිද්ධ. පවුල් අවුල් සෑහෙන්නත් තිබිලාලුනෙ. අන්තිමට ඔයා දන්නවද රශී...අර තේජා මතකද මෙත්මිට කේස් දාපු ඒ කාලේ. අන්න එයාගේ අම්මා එක්කත් මෙත්මිගෙ තාත්තා පටලැවිලා තිබ්බලු. ඉතින් ඔය කේස් එකක රණ්ඩුවක් වෙලා තමයි අන්තිමට එකපාරටම මේ අය ගෙදරින් අතුරුදහන් උනේ."

රිද්මා පැවසුවේ කල්පනාවෙන් යුතුවය.

"ඔය කේස් එකක්වත් බිම්සරයා දන්නෙ නෑනේ. ඌට අවුරුදු දෙකක් ඔස්ට්‍රේලියා ඉන්න උනානෙ. ඇන්ටිගේ කේස් එකත් එක්ක. කොච්චර උපරිමයෙන් ප්‍රතිකාර කලත් අන්තිමට ඇන්ටි උන්නේ අවුරුදු දෙකයි.අම්මා එක්ක ඕස්ට්‍රේලියා ගිය බිමාට අන්තිමට අම්මගේ කොෆින් එකත් එක්ක එන්න උනේ."

රශිත සිහිපත් කලේ ඒ අතීතයේ නරකම අඳුරුම දේවල්ය.

"අපිට කොහොමත් මේකෙ තියන සමහර හිස්තැන් ටික ගලපාගත්තාම මේ කතාවේ ඔක්කොටම සාධාරණයක් වෙන විදියට ඉදිරිය සිදුවෙයි කියලා ප්‍රාර්ථනා කරන්න පුලුවන් වේවි. එහෙනම් මම මෙහෙම්ම කොළඹ යනවා. හෙට ඩිස්චාජ් කරගෙන මෙහෙ සෙට්ල් කරන ඒවා උඹට කරගන්න පුලුවන්නෙ. අරූ එන එක අපි පොඩ්ඩක් නවත්තමු. මේ වෙලාවේ අනවශ්‍ය ගැටලුවක් වෙන්න දෙන්න අවශ්‍ය නෑනෙ, ඌ හෙන පොපියුලර් වෙලත් ඉන්න එකේ."

රශිත අවසාන වැකිය කීවේ සිනහවකිනි. රිද්මාද ඒ සිනහවට එක් වූවාය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු යළි  ..ආදරයෙන්

මම 


( විසිරි 🧡)

8 comments:

  1. මම ආයෙමත් ඇවිදින් කියෙව්ව. මිනිස්සු හරීඊඊම යහපත් වීම ටිකක් අවුල් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් අපි බාරගන්න විදියටනෙ ඩ්‍රැකී. නරකමම මිනිස්සු වගේම හොඳමම මිනිස්සුත් ලෝකයේ මට හමුවෙලා තියනව. නමුත් මම ලියන්න ආස හොඳ පැත්ත ගැන.

      Delete
  2. ආව. කියවලා කමෙන්ට් එකක් දාන්න ආයෙ එන්නම්

    ReplyDelete
  3. උඩ ඉදං කියවන් එද්දි මං හිතුවෙ මං එක කියල.. මට කලිං අර වවුල් රාජය ඉස්සර වෙලානේ 😁😁

    ආයෙත් එන්නං ඊළඟ කොටස කියවන්ට.. ජය

    ReplyDelete