Thursday, September 9, 2021

10.දහ වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් )

 



බිම්සර හදිසි රාජකාරි කටයුතු සඳහා නැවත මූලස්ථානයට කැඳවනු ලදුව නැගෙනහිර පළාත වෙත සතියකට යොමුකොට තිබුණි. මේ මොහොතේ වුව රාජකාරිය යනු අංක එක හෙයින් ඔහු කිසිවක්ම නොකියා එයට අනුමැතිය දුන්නේය.

"මොකෝ වෙන්නෙ දැන්."

බිම්සර ඇඳුම් බෑගයද ඇඳ මත තබා යන්නට සූදානම් වෙමින් ඇමතුම ගත්තේ රිද්මාටය.

"අද මේ ඩිස්චාජ් කරන ඩොකියුමන්ට් වල වැඩ. මේකට ගවන්මන්ට් එකෙන් වන්දියක් එහෙම හම්බවෙයිනෙ. ඉතින් ලීගල් ඩොකියුමන්ට්ස් ඔක්කොම යන්න කලින් හරියට ඇරෙන්ජ් කරගන්න ඕන."

රිද්මා පිළිතුරු දුන්නාය.

"කෝ දැන්?"

බිම්සර ඇසුවේ යන්නට මොහොතක් තබා හෝ ඒ රුව දකිනු රිසියෙනි. 

"තාම ඇඳේ. හිටුකො ෆොටෝ එකක් අරන් එවන්න."

රිද්මා සුලෝචනා ඉන්නා දෙසට යමින් පැවසුවාය.

"ඒ සුදු අයියා කෝල් එකක් අරන් දෙන්නද එක්කො. සවුන්ඩ් අඩුකරල වීඩියෝ එකක්?"

රිද්මා දඟකාර හඬකින් ඇසුවාය.

"ඕන්නෑ..ඕන්නෑ..තමුසෙගෙ ඉස්කෝලෙ කාලෙ නොමේරූ ගති තාම හරි ගිහින් නෑ කියල ප්‍රදර්ශනය නොකර ෆොටෝ එකක් අරන් එවනවකො."

බිම්සර පැවසුවේ රෝහල් වාට්ටුවක ඇමතුමක යෙදීමට වඩා ඇයගේ මානසිකත්වය ගැන ප්‍රවේශම් වෙමිනි. රිද්මා සයනය මත හිඳගෙන ඉන්නා සුලෝචනා සමග සිනාවෙමින් ඇයගේ සේයාරුවක් ගත්තාය. ඒ දෙය ගැන පවා සුලෝචනාට ඒ හැටි අවබෝධයක් නොවීය.

"ඔන්න වට්සැප් කලා .බලනවා"

 රිද්මා ඇමතුමේ රැඳෙමින්ම එය යැව්වාය.

"මම අද ඊස්ටර්න් යනවා සතියකට එහෙ ඩියුටි. කොහොමද අරහෙ එක්ක යන ඒවා ඔක්කොම හරිද?"

බිම්සර කල් ඇතුව දැනුවත් වී උන් කාරණා සියල්ල ගැන යළිත් ඇසීය.

"ඔව් එහෙ ඔක්කොම හරි , මම ගෙදරට අත්‍යාවශ්‍ය බඩුත් ගෙනිහින් දැම්මා. තමුසෙ වියදම් දැරුවා කියන්න ගියෙ නෑ මම."

රිද්මා ප්‍රමුදිතා සමගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නට ගියේ සිදුවීමෙන් හානිවූ අයට රෝහල හරහා සුබසාධනයෙන් මුදලක් වෙන්කර ඇති බව පවසමිනි.

"අක්කා සල්ලි පොතට දාල තියෙන්නෙ රිද්මා අක්කේ. ඒත් අක්කාගේ එකවුන්ට් එකට කාඩ් එක එක්ස්ෆයර් වෙලා ගිය සුමානෙ. මේක රිනිව් කරගන්න යන්න ඕන කියකියාත් උන්නේ එයා."

ප්‍රමුදිතා මුදල් ගන්නට මැලිවෙමින් පැවසුවාය.

"මේක ඔක්කොටම දෙන ෆන්ඩ්ස්නෙ නන්ගි. ඒ නිසා අපි ඒ ගැන නොහිතා අවශ්‍යම දේවල් ගම්මු."

රිද්මා පැවසුවේ බිම්සරගේ මුදල් යැයි අනාවරණය නොවීම වඩා සුදුසු යැයි සිතමිනි.

රිද්මා විසින් එවන ලද්දාවූ සේයාරුව දෙස බලාඋන් බිම්සර මෙත්මිගේ මුහුණේ අතීත ස්වරූපයේ තවම ඉතුරුවී ඇති ලකුණු සිතේ මවාගත්තේය. ඇස් ලොකු කොට බලන මොහොතක, තමා බැන වැදුනු විටෙක කඳුලු පිරීයන ලොකු ඇස් දෙක ඔහුගේ මුවගට එක්කලේ මඳසිනහවකි. බිම්සර කිසිවක්ම නොකියා ජංගමය පපුවට ගෙන දෑස් වසාගත්තේය.

පසුගිය කාලයේ සිදුවූ සිද්ධියට සමානවම නැගෙනහිර පළාතේ සිදුවූ කාරණාවල ද අලුයට ගිනි තවම පැතිරෙමින් පවතී. විශේෂ විමර්ශන කණ්ඩායමක් හා සමගින් බිම්සර එහි ගියේ රාජකාරි කටයුතු සඳහාය. මේ මොහොතේ ඇය සමීපයේ ඉන්නට බලකරන සිතට සිය රාජකරියේ බරපතලකම ඒත්තු ගන්වමින් බිම්සර තවතවත් ඉවසුම් සහගත විය.

වේගයෙන් ඇදීයන ජීප් රථ පෙලෙහි බිම්සර උන්නේ එක් රියකය. රත්නායක සුපුරුදු ලෙස එය පැදවූ අතර බිම්සර ඉදිරි අසුනට වී දෑස් මොහොතකට පියාගත්තේය. 

ඉදින් යළි අතීතයම ඇස් අද්දර විය.

උසස්පෙළ හමාරවී බිම්සර නුවර එලියට ගියේ ගෙදරින් ආ හදිසි ඇමතුමේ හේතුවෙනි. ව්භාගය අවසන්ව දිනක් දෙකක් ඉන්නට හිතේ තියාගෙනම උන්නේ මෙත්මිට කියායන්නට අවැසිවූ හෙයිනි. අප්‍රකාශිත වූවද එය ප්‍රේමයම බව සිත වටහාගෙන හමාරය. එහෙත්,  

"සුදු පුතේ හෙටම ගෙදර එන්න." යැයි අප්පච්චී පැවසුවිට කුමක් හෝ බරපතල කාරණයක් ඇතිබව බිම්සරට එදා වැටහුණි. නැත්නම් කීයටවත් අප්පච්චී එසේ කියන්නේ නැත. 

"කමක් නෑ, හෙට ගෙදර ගිහින් ලබන සතිය දිහාට ආපහු ඇවිල්ල බලල යනවා" යැයි ඔහු සිතාගත්තේය. ඉදින් ගමට ගිය පසු සියල්ල තිබුණේ උඩුයටිකුරුවීය.

මාස හයකින් විභාගය නිසා ගෙදර නොඑන්නයැයි අම්මා සහ අප්පච්චී මගින් මගටම කීමේ බරපතල හේතුව බිම්සරගේ දෑස් ඉදිරිපිට දිස්ව තිබුණි.

අම්මා...ඇය උන්නේ පිළිකාවක අවදානම් අදියරට පැමිණය.

"ඇයි අප්පච්චී මෙච්චර කාලයක් මට මේවා හැංගුවේ" 

බිම්සර ඇසුවේ වේදනාවෙන් හඬාවැටෙමිනි.

"සුදු පුතේ, අපි කරන්න ඕන ප්‍රතිකාර අම්මට අඩුවක් කලේ නැහැ. දැන් ඉතින් අපි ලොකු නැන්දාගේ ඇරේන්ජ්මන්ට් වලට අනුව අපි  එහේ ගිහින් ඉතුරු වැඩ ටික කරගම්මු."

ඉතුරු සති දෙක ගතවූයේ අම්මා සමග විදෙස්ගතවන්නටය. ආපසු ඉතින් ඇයව හමුවන්නට කිසිදු කාලයක් ඉතුරුව තිබුණේ ද නැත. 

"මචං රශියා..අනේ බං අර පොඩි එකීව පොඩ්ඩක් බලපන්.මේ වෙච්ච කාරණා ටික කියලා මම එනකල් පරෙස්සමින් ඉන්න කියපන්. මම ගිහින් එහෙ ඇරෙන්ජ්මන්ට් ටික සෙට් වුණ ගමන් කෝල් එකක් දෙනවා කිව්ව කියපන්. කොහොමහරි කොහෙට හරි..."

බිම්සර ඒ මොහොතේද උන්නේ අම්මා සමග ගුවන්තොටුපලට යමිනි. සිතේ ඇති වේදනාව මෙන්ම කලබලකාරී බවද අතිමහත්ව ප්‍රකාශවූ ඒ හඬින් සියල්ල අවබෝධ කරගත් රශිත ඔහුගේ පණිවිඩය ඇයට ලබාදෙන්නට පොරොන්දු වූවේය.

ඕස්ට්‍රේලියාවට ගොස් සතියකට පමණ පසු රශිත ඇමතූ තමන්ට දැනගන්නට ලැබුණේ යහපත් කාරණයක් නම් නොවේ.ඉදින් එදා පටන් ඇය අතුරුදහන්ව ගියාය. කිසිදු සලකුණක් හෝ නොතබා ඇය අම්මා සහ කුඩා නැගණිය සමග යන්නට ගොස් තිබුණි. ජීවිතයේ අතිමහත්ම දුෂ්කරකාලය පැමිණියේ ඉන්පසුවය. අම්මා ජීවිතය සමග දැඩිසේ ඔට්ටු ඇල්ලුවාය. බිම්සර අම්මා ලඟම සිය හිත් තැවුල් අමතක කර රැඳී උන්නේය. . 

ඉඳහිටක රශිත ඇමතුවද ඔහුට කිසිදු කාරණයක දැනගන්නට ලැබුණේද නැත.

ඉදින් ජීවිතය හිස්වම යන්නට විය. ඕස්ට්‍රේලියාවේ ජීවිතය බිම්සරට වෙහෙසකර එකක් වූයේම අම්මා සම්බන්ධ කාරණා හෙයිනි. ඒ අතර උසස්පෙල ප්‍රතිපල ආවද බිම්සර තරමක් හොඳ   ප්‍රතිපල ලබා තිබුනද විශ්ව විද්‍යාලයට යෑම ඔහු ප්‍රතික්ෂේප කලේය. අම්මා සුව වන තුරු ජීවිතයේ ඉතින් අන් අරමුණක් ඇතැයි ඔහුට නිනව්වක්  නොවූ තරම්ය. අවසානයේ වසර දෙකක සියලු වෙහෙස වතුරේම යවමින් අම්මා දෑස් පියාගත්තේ සියලුම දුක්වේදනාවන්ට සමුදෙමිනි. බිම්සර ආපසු ලංකාවට පැමිණියේ සියලු බලාපොරොත්තු අහිමිවූවකු සේය.

"සුදුපුතේ ඔයා අම්මා වෙනුවෙන් කරන්න ඕන හැමදේම කලා. හිතන්න අම්මා දුක් නොවිඳ සැනසීම ලැබුවා කියලා දැන්."

අප්පච්චී පැවසුවේ බිම්සර හඬාවැටෙනා අන්දම දැකදැක සිටිනු නොහැකිවය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

"අප්පච්චී මම හමුදාවට ඇප්ලයි කලා."

සති ගණනාවකට පසු බිම්සර පැවසුවේය. ඒ රටේ බිහිසුණුම කාලයක යුද සෙවණැලි ඇතිරෙමින් තිබූ සමයේය.ඉදින්  එක්වනම බිම්සරගේ අදහසට අනුමැතියක් දෙන්නට අප්පච්චීට නොහැකිවිය.

"මට කරදරයක් වෙන්නෙ නෑ අප්පච්චි. මම පරෙස්සම් වෙන්නම්. අහන්න අප්පච්චි, මට හිත හදාගන්න හොඳම දේ මේක. මට ඒ නිසා බෑ නොකියා යන්න දෙන්න"

බිම්සර අප්පච්චිගේ පාමුල දණගසාගෙන ඔහු දෝත අල්ලාගෙන පැවසුවේය. බොහෝ කල්පනාවකට පසු අප්පච්චී බිම්සරගේ හිස අතගා ඔහුට ආශිර්වාද කලේ ඒ ගමනටය.

"අප්පච්චියි මල්ලිලයි බලාගන්න මම ඉන්නව අප්පච්චි. බයවෙන්න එපා. මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ."

බිම්සර හමුදා පුහුණුවට යන්නට එළියට බැස්සේ ඒ පොරොන්දුව අප්පච්චීට දෙමිනි.

ඉදින් කාලය ගතව ගියේ ඉතාම දරුණු සමයකයට යටවීය.ජීවිතාශාව දල්වන්නාක්වූ කිසිවක්ම නොවූ සිය දිවියට වූ එකම අවශ්‍යතාවය වූයේ අප්පච්චී සහ මල්ලිලා රැකබලා ගන්නට මෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නටම පමණකි. හතර අතින් යුදගිනි ඇවිලෙනා රටක සමහරක් විට ජීවිතයම අවිනිශ්චිත වූ සමයක ඔහු හිතක් නැත්තෙකු සේ ඔහේම උන්නේය. දරුණුම ගණයේ නොවූවද ඉඳහිටක වූ සමහරක් අනතුරුද ජීවිතය තවත් හයිය බව ඔහුට කියාදුන්නේය. 

ඉතාම කලාතුරකින් පමණක් නිවාඩු ලබා නුවරඑළියේ නිවසට ගියද බිම්සර උන්නේ තමා විසින්ම ගොඩ නගාගත් ලෝකයක හුදෙකලාවීය.

යොවුන් වියේ හද ඔද්දල් කළ ප්‍රේමය සලකුනක් නොතබාම සැඟව ගිය හිත බිඳුණු ප්‍රේමවන්තයෙකු පමණක් අවසානයේ ඉතුරුවී තිබුණි.

ඉතාම කලාතුරකින් පමණක් එකී ඉසව්වට වරක් දෙකක් ආවද ඒ ගමනද පැය කිහිපයකට පමණක් සීමාව ආපසු යන්නක් විය. රශිත හැකිතාක් දුරට මෙත්මි ගැන සොයාබැලූවද කිසිදු හෝඩුවාවක් ඇය ගැන තේජාගෙන් හෝ ලබාගන්නට නොහැකි විය.

"අපේ අම්මාත් අන්තිමට අපිට නැතිවුනේ ඔය ගෑණු නිසා.අපේ අම්මයි උන්ගේ තාත්තයි අතර සම්බන්ධයක් තියනව කියල ඒ මහ අම්මණ්ඩි අවුලාගත්තු ඇවිලීම නිසා අන්තිමට අපේ අම්මා රට ගියා. අපිට කල දේට ඕකුන්ට ඔහොම වෙලා මදි."

තේජාගේ ද්වේශ සහගත වදන් නොඅසනු රිසිව ඉන් පසු රශිතද ඒ ගැන ඇසුවේම නැත.

යුද්ධය නිමාවූයේ රටටම සහනයක් අත්කරදෙමිනි. සෙස්සන් ජයපැන් බොන මොහොතේ පවා බිම්සර උන්නේ හුදෙකලාවය. උතුරුකරයේ කරදිය සුලඟින් නැහැවුන කලපුවක් අසල බිම්සර බලාඋන්නේද ඈත සිය ජයග්‍රහණය සමරන සෙබල පිරිස දෙසය.

මේ තරම් කුඩා රටක ඇය සැඟව ගියායයි සිතීමද විටෙක විහිලුවක් මෙන් විය. බිම්සර සිය උත්සාහය අත්නොහැර ඇයව සොයන්නට වෙර දැරීය. නමුත් මෙත්මි හෝ ඇයගේ මව ගේ කිසිදු නෑදෑ අයෙක් නොවූ නිසාවෙන් ගම්පළාතක් ගැන හෝ සොයාගන්නට නොහැකි වී තිබුණි.

ඉතින් ඒ අයට වූ දේ දැනගන්නට ඉඩ ලැබෙන්නේ දැන්ය. උන්නේ කොහිද වූයේ කිමෙක්ද යන්නම මහා ප්‍රහේලිකාවකි.

නැගෙනහිර පළාතේ ගැටලු නිමව එනවිට ඇයව රිද්මාලාට අයත් පොල්වත්තේ නිවෙසට ගෙනගොස් තිබෙනු ඇත. ඉදින් රිද්මා හරහා ඇය බලන්නට යන්නට සැලසුමක් සාදාගන්නේ කෙලෙසකදැයි බිම්සර කල්පනා කරමින්ම උන්නේය.

අදාල ලියකියවිලි කටයුතු නිමාවූ පසු ප්‍රමුදිතාගේ සහයද ඇතිව රිද්මා, සුලෝචනා සිය රියට නංවාගත්තාය. 

"අක්කා අපි ඔන්න අද යන්නෙ අලුත් ගෙදරකට."

ප්‍රමුදිතා අක්කාගේ හිසකේ අතරට ඇඟිලියවමින් පැවසුවාය. සුලෝචනාගේ මුහුණේ මඳ සිනහවක් ඉපිද ආවද එය සජීවී සිනහවක් නම් නොවේ. 

සිදුවීම සිදුවී මාසයකට වැඩිකාලයක් ගතවුවද ඇයගේ එම සජීවී බව තවම යථා තත්වයට පැමිණ නැත.ඉදින් එයට කාලය අවැසි බව වෛද්‍යවරුන් පැවසූහ.

අක්කාගේ හිසකේ ගණව ඇත. ගෙදරට ගොස් වතුර එකක් රත්කොට ඇය නැහැවිය යුතුය. කෙතෙක් අපහසුතා දරාඋන්නද දිනපතා ස්නානය කල ඇයට යන්තමින් ස්පොන්ජ් බාත් එකකින් සෑහෙන්නට සිදුවිය.

සුලෝචනා කැඳවාගෙන නිවසට යන අතරමග දී ප්‍රමුදිතා අම්මා අමතා එන බව පවසාඋන්නාය. අම්මා සිරිසේන මාමාගේ බිරිඳ වූ ඈන් නැන්දා සමගින් කාමරය අස්පරස් කොට යළි සකසන්නට ඇත. අක්කා කැමති අන්දමේ ආහාර සකසන්නට අම්මාට ඕනෑ වූයේ පෙරදා පටන් ය.

ගේට්ටුව විවරකොට වාහනය ගෙවත්තට දැමූ රිද්මා ප්‍රමුදිතාගේ සහයද ඇතිව සුලෝචනාට බසින්නට උදව්කලාය. නුහුරු ලෙස පියවර ඔසවමින් රියෙන් බට සුලෝචනා දැස් විදහා බැලුවේ හාත්පස හරිත වර්ණයෙන් දිදුලන පරිසරය දෙසය.

"ගස් දැක්කම ආස හිතුණා නේහ්.."

ප්‍රමුදිතා අක්කාගේ දෑසට එබෙමින් පැවසුවාය. සුලෝචනා මඳ සිනහවකින් හිස නගා සිය නැගෙණියගේ වත දෙස බලාඋන්නාය. තවමත් ඇයට නිසි ආකාරව අදහස් ප්‍රකාශනයට මුහුණේ මස්පිඬු ක්‍රියානොකරයි. 

"පොඩ්ඩියෙ අක්කාව ගෙට එක්කන් එන්නකො. පස්සෙ පුලුවන්නෙ වටපිටාව බලන්න"

අම්මා ගෙතුල සිට පැමිණෙමින් පැවසුවාය.

"යමු අක්කෙ ගෙට" ප්‍රමුදිතා අක්කාගේ අතකින් අල්ලාගත්තේ එහා පසින් වාරු දෙන රිද්මා අනුව යමිනි.

"මගෙ කෙල්ල..රත්නත්‍රයේ සරණයි මගෙ අම්මට."

අම්මා ඉකිය වලකාගන්නට තැත් කරමින් සුලෝචනා බදාගත්තාය.

"මම වතුර ලොකු ,මුට්ටියක් රත්කරල ඈන් නැන්දා එක්ක බාත්රූම් එකට ඇල්ලුවා. පුතේ අක්කව නෑව්වට කමක් නැද්ද කියල අර දොස්තර නෝනාගෙන් අහන්න."

අම්මා පිටි අත්ලෙන් කඳුලු පිසිමින්ම පැවසුවාය.

"කමක් නෑ අම්මා. නාවන්න.එහෙදිත් මම හිතන්නෙ කෙස්ටික වෙනම හේදුවා ස්ටාෆ් එකේ අය."

රිද්මා පැවසුවේ ගෙතුලට එබෙමිනි.ඇය උන්නේ ජංගමය ඔස්සේ බිම්සරට සියලු තොරතුරු කෙටි පණිවිඩ ඔස්සේ වාර්තාකරමිනි.

"තමුසෙ මට අප්ඩේට් නොවැරදීම දෙනවා ඔන්ටයිම් හරිද ?"

බිම්සර උදේම රාජකාරි සඳහා පිටවයන්නට පෙරද පැවසීය.

"ඕවට ගෙවන්න වෙයි සුදු අයියා හරිද ?" 

රිද්මා සිනාසුනේ එසේ කියමිනි.

"ඉස්කෝලෙ යන කාලේ අර කොල්ලො දෙන්නෙක්ම පස්සෙන් ආව කාලෙ උඹව බේරගත්තා මතකද ? ආන්න ඒවට මේ ණය ගෙවන්නෙ උඹ."

බිම්සර සිනාවූයේ කාලයකට පසු හදවතේ ඉපදෙනා සැහැල්ලුවෙනි.

රිද්මා පිටව ගියේ දිවා ආහාරයද ඔවුන් සමග රැගෙනය. අම්මා සහ ප්‍රමුදිතා එක්ව උණුවතුරෙන් නහවනු ලැබූ සුලෝචනා දිවා ආහාර ගත් වහාම නින්දට වැටුණාය.

"කොහොමත් එයාට අවශ්‍ය විවේකය. ඒ නිසා ටිකක් ඔහොම ඉන්න දෙන්න. හවස් වෙලා ඇහැරවාගන්න.දැන්ම එලියට එක්ක යන්න එපා. බැලන්ස් මදිනෙ.මම හෙට අනිද්දා එන්නම්. අපි බලමු එතකොට. දැනට කාමරයෙන් සාලෙට ඉස්තෝප්පුවට වගෙ පරෙස්සමින් එක්ක යන්න."

රිද්මා පිටවයන මොහොතේ ප්‍රමුදිතා සහ අම්මාහට උපදෙස් දුන්නාය.

"අපි ඒ විදියට කරන්නම් අක්කේ." 

ප්‍රමුදිතා ඇයට රිය ගන්නට ගේට්ටුව හැර දෙමින් පැවසුවාය.

"අම්මේ අක්කට පරණ මොකුත් මතක් කරන්න යන්න එපා." ඔහොම ඉන්න දෙමු ටිකක් දවස්. අක්කා ඉන්නෙ කම්පනය නිසා ඇතිවුන බලපෑමෙන් කියල අර ඩොක්ටර් රශිතත් කිව්වා. හෙමි හෙමීටලු හරියන්නෙ."

ප්‍රමුදිතා පැවසුවේ ඈන් නැන්දා සමගින් මුලුතැන්ගේ පුටුවක හිඳගෙන කතාබහේ යෙදෙන අම්මා වෙත යමිනි.

"ඔව් ඔව් අක්කෙ. පරෙස්සමින් ඕන කතාබහ කරන්න. මෙහෙට එහෙම කිසිකෙනෙක් යන්නෙ එන්නෙ නෑනෙ පිට අය. ඒ නිසා පාඩුවේ උන්නැහැකි."

ඈන් නැන්දාද ප්‍රමුදිතාගේ වදන් ස්ථීරකරමින් පැවසුවාය.

"එයාම මොනව හරි මතක් වෙලා ඇහුවොත් මොකද අපි කරන්නෙ"

අම්මා ඇසුවේ ප්‍රමුදිතාගෙනි. රිද්මා අක්කා එන අතරමග පැවසූදේ ඇයට එවිට සිහිවිය.

"සමහරක් විට ඔය සිදුවීම එයාගෙ මතකයෙන් සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින් තියෙන්නත් පුලුවන්ලු අම්මා. හැබැයි මතක තිබිලා ඇහුවොත් අපි පරෙස්සමින් ඕන උත්තර දෙන්න."

සවස්යාමයේ ප්‍රමුදිතා මිදුල අතුගෑවේ අඳුර වැටෙන්නට පෙර අක්කා අවදිකොට තේ බඳුනද අතට දෙමිනි. සුලෝචනා ආලින්දයේ පුටුවකට එක්කරගෙන විත් හිඳුවා තබා ඇය මිදුල අතුගාන්නට වූවාය. වැලි අතුල මිදුලේ අයින්දිගටම තණකොල පාපිස්සක් බඳුය. අනවශ්‍ය අන්දමට වැවී නොඑන හෙයින් හැඩිවන්නේද නැත. 

"මම මේ අයින් දිගට පාත්ති හදලා දාස්පෙතියායි සීනියාසුයි දාන්න ඉන්නෙ අක්කේ.එහෙම හොඳයිනේ. මල් පිපුණාම ලස්සනට තියේවි."

ප්‍රමුදිතා අක්කා දෙස බලමින්ම පැවසුවාය. සිනාවකින් පමණක් ප්‍රතිචාරය දක්වන්නිය දෙස බලා සිටින්නටත් බැරිතරම් දුකක් දැනේ.

"අන්න ඈන් නැන්දා කිව්වා එහෙ රාජපොහොට්ටුයි හෙන්දිරික්කයිත් තියනව කියල ගෙනල්ල දෙන්නම් කියල."

අම්මා අක්කාගේ අසලින් සිට ගත්තේ එසේ කියමිනි. 

සුලෝචනා හිස යාන්තමින් හරවා අම්මා දෙස බලා සිනාවූවාය. 

කොහොම දුවල පැනල උන්න කෙල්ලද දෙයියනේ...අම්මාට දැනුනේ වාවාගන්නට අසීරු වේදනාවක්මය. එහෙත් සුලෝචනා ඉදිරිපිට හඬාවැටෙන්නට නොහැක.

"සිරිසේන මාමා අන්න පිටිපස්සේ පාත්ති ටිකක් හදවගන්නත් එක්ක අර ලොරියෙ වැඩකරන ළමයව එවනව කිව්වා. කන්න බොන්න හරි අපි ගහක් කොලක් වවාගම්මු නේද පොඩ්ඩියෙ." 

අම්මා පැවසුවේ ඉදල පසෙක තබා ගස්වලට වතුර බටය අල්ලන ප්‍රමුදිතාටය. 

"ඔව් අම්මේ , ඈන් නැන්දා එදා ඈට වර්ග පැකට් ටිකක් ගේන්නම් කිව්වා පොලේ ගියාම."

ප්‍රමුදිතා මතකය අවුස්සමින් කීවාය. වතුර බටයට ඇඟිලි කෙලවර තබා ගස්වලට නැහැවී යන සේ විදින ආකාරය දෙස බලා ඉන්නා ප්‍රමුදිතාට අක්කා පෙරදිනවල වතුර දමන අතරේ තමා සමග වතුර ගසාගන්නා ආකාරය මතක් වී අක්කා දෙස බැලුණි. සුලෝචනාද නංගී දෙස බලාඋන්නේ ඒ මතකයක් හිතට ආවාක් මෙනි. 

ප්‍රමුදිතා අක්කා දෙසට වතුර බටය හරවා 

"විදින්නද ආ..."ඇසුවේ සිනානගමිනි. සුලෝචනා සිනාවූයේ අත්දෙකින්ම මුහුණ වසා ගනිමිනි.

අනේ ඔයා ඉක්මනින් සනීප වෙන්න මගේ අක්කේ

ප්‍රමුදිතා සිතින් වැලපෙමින් මුහුණේ සිනහවක් නගා ගත්තාය.

"සරල සුන්දර දේවල් අක්කට මතක් වෙන්න දෙන්න , කිසිම වෙලාවක එයාව කලබල වෙන දේවල් මතක් කරන්නවත් එපා."

රිද්මා පැවසුවේ රෝහලෙන් ටිකට් කපා එන්නට පෙරාතුවය. ඇය ඒ කාරණය අවධාරණය කලේ අක්කාහට පෙර දිනක වාට්ටුවේ දී වූ සිදුවීමක් සිහිකරය.

සුලෝචනා වාට්ටුවේ සයනයේ හිඳගෙන ඉන්නා මොහොතක යාබද ඇඳක රෝගියෙක් බලන්නට ආ ගැහැණු ළමයෙක් ඇය දෙස බලා සිනාසී තිබුණි. ඉදින් සුලෝචනාද ඇයට මිතුරු සිනහවක් පෑවාය. ඒ ගැහැණු ළමයා පැවසූ ආකාරයට ඇය සුලෝචනා සමගින් කතාබහ කරන්නට සිතා ඇයගේ සයනය වෙත එන්නට තැත් දැරූ මොහොතේ ඇයගේ ගවුමේ කෙළවර ඇඳේ ඇණයක දැවටී ඉරීගොස් ඇත. ඒ මොහොතේ ඇය ඇඳ උන්නේ රෝස පැහැති ගවුමකි. 

මේ සිදුවීම දුටු වහාම සුලෝචනා දෑතින්ම දෙසවන වසා ගෙන කෑගසන්නට වූ බව ඒ ගැහැණුළමයා පැවසුවාය.

ඉතින් ඇය තවම සිටින්නේ සිදුවීමට අදාල කම්පනයේ ඇතැම් ලකුණුද සමගිනි.

"අපි ඕකට කියන්නෙ Post Traumatic Stress Disorder කියල නංගි. යම් කම්පනදායක සිදුවීමක් එක්ක එයාලා ඔහොම තැතිගැනෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් එදා ඒ ආසන්න සිදුවීමක් වෙන්න ඇති මෙහෙම වෙන්න අක්කට. අපි හරියටම දන්නෙ නෑනෙ මොකක්ද ඒ එයා එහෙම බයවෙන්න හේතුව කියල."

රිද්මා පැවසුවාය.

"නෑ අක්කේ මම ඒක මොකක්ද කියලා දන්නවා. ඔය දවසේ අක්කා කඩේ ඉද්දි එයාගේ යාලුවා ආවා චර්ච් යන්න.මට මතකයි මම දැක්කා ගෙදර ඉඳන් එනකොට එයා ඇඳලා උන්නෙ රෝස පාට ගවුමක්. අක්කා කෑගැහුවා අන්න ගවුම පැටලිලා ඉරුණා කියලත් ඒ වෙලාවෙ. ඒ අක්කා කලබල වෙලා එලියට යනකොට ශෝකේස් එකේ කොණකට ගවුම පැටලිලා තිබ්බා. අක්කට ඕක මතක් වෙන්න ඇත්තේ."

ප්‍රමුදිතා සිදුවීම ගලපා පැවසුවාය.

"ඒක එහෙනම් හරියටම හරි නංගි..අක්කාගේ මතකයේ පෙර මතකය තියනවා. ඒ සිදුවීම් එයාව කම්පනය කරන්නට ඇති. එහෙම ඒවා වෙන්න දෙන්න එපා. කිසිම කෙනෙක් දැන් ඔය සිද්දිය එයාට ඇහෙන්න කතාකරන්න එපා දැන්ම."

රිද්මා පැවසුවාය.

අම්මාගේ කාලය ගෙවුනේ අක්කාව බලාගන්නටමය. එහෙත් පවුලේ ආදායම් මාර්ගයන් සියල්ල අවහිරව ගොසිනි. තැන්පතු මුදල් සියල්ල අවසන් වන්නට පටන් ගෙනය. රිද්මාගේ පියා මැදිහත්ව වන්දි මුදලක් සඳහා ලියකියවිලි බාරදුන්නද ඒ සම්බන්ධ වැඩකටයුතු මඳක් පමාවෙමින් පවතී.මන්ද ප්‍රමුඛත්වය දුන්නේ මියගිය අය සම්බන්ධ කටයුතුවලට හෙයිනි.

රාත්‍රී ආහාරයට පසු අක්කා නින්දට යවා අම්මා ප්‍රමුදිතා සමගින් කතාබහ කලේ ඉදිරියට කලයුතු දේ ගැනය.

"පුතේ මට ආපහු තුනපහ පැකට් හදන එක කරන්න දැන් පුලුවන්නේ."

අම්මා පැවසුවේ හදිසියේ ආ සිතුවිල්ලෙනි. ඇත්තෙන්ම කාලය කාර්යබහුලව අවශ්‍ය නොවන හෙයින් මෙය පහසුවෙන් කරගෙනයන්නට හැක. 

"ඒක නම් ඇත්ත අම්මේ. අරහෙ ඉන්න කොටත් අම්මගේ තුනපහ අහලා කොච්චර කට්ටිය ආවද. අම්මට අක්කා බලාගන්න ගමන් පුලුවන් නේද ඒක හෙමීට කරන්න."

ප්‍රමුදිතා ඇසුවාය. ඇය තව මාස දෙකකින් උසස්පෙළට සූදානම් විය යුතුව ඇත. දැනටමත් කාලය පාඩම් වලින් බොහෝ ඈත්ව ගොසිනි.

"ඔව් අපි ඕක කරමු පුතේ, ඒකෙන් හොඳ ආදායමක් ලැබුණා නේ , මට ඈන් එක්ක ඕකට බඩුගෙන්න ගන්න එක කතාකරගන්න පුලුවන්."

අම්මා මුලුතැන්ගෙයට ඇවිදයමින් පැවසුවාය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු යළිත් 

මම 


( විසිරි 🧡)

2 comments: