Monday, September 13, 2021

11. එකොලොස්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)


 



තල්ගස් දෙපස වවා ඇති මාවතේ ජීප් රථය ඇදෙනා මොහොතේද බිම්සර උන්නේ දැඩි කල්පනාවකය. තවත් දින කිහිපයක්ම මෙහි ගතකල යුතුව ඇත. අලුයට ගිනි පුපුරු මෙන් ඇවිලි ඇවිලී පවත්නා ප්‍රශ්නයක අවසානයක් කෙලෙස උදාවේදැයි සිතාගන්නටද නොහැක. 

"කලපුව අයිනෙන් ටිකක් නවත්තන්න රත්නායක . හුලන් ටිකක්වත් වැදිලා යන්න."

බිම්සර පැවසුවේ රත්නායක දෙස බලමිනි. රත්නායක ජීප් රථය නවතාලූවේ තල් ගසක් පාමුලය.

බිම්සර රියෙන් නොබැසම ආසන පටිය මඳකට බුරුල් කොට වාහනයේ පසුපසට ඇලවීය.

රත්නායක රියෙන් බැස්සේ සිය ප්‍රධානියාට තනිව සිටින්න ඉඩ දෙමිනි.

රිද්මාගේ ජංගමයට ඇමතුමක් ගත් බිම්සර එහා පසින් ඇය සම්බන්ධ වනතුරු උන්නේය.

"මේක මල වදයක් උනානෙ. ඕයි මේ මට පැයෙන් පැය පුවත් දෙන්න දෙයක් නෑ මනුස්සයො."

රිද්මාගේ හඬට බිම්සරට සිනා ඉපදුණි.

"තව දවස් දෙක තුනක් මෙහෙ ඉන්න වෙනව බං. අනේ බෑ නොකියා මම ආවම මාව කෙල්ල බලන්න එක්ක පලයං හොඳේ. මගෙ හොඳ නංගිනෙ උඹ"

බිම්සර පැවසුවේ සිනාවෙමිනි.

"මේක පුදුම බටර් ගෑමක්නෙ බලන් යනකොට. හරි හරි එනවකො. ඉතින් කොහොමද ඔය පැත්තෙ විස්තර සුදු අයියෙ.?"

රිද්මා ඇසුවේ රෝහලෙන් පිටව සුලෝචනා බලන්නට එහි යන අතරේමය.

"තාම පොඩි පොඩි කේසස් තියනව. එකක වත් මුලක් නම් හොයාගන්න තාම අමාරුයි.ඒකයි ප්‍රශ්නෙ."

බිම්සර පැවසුවේය.

"මම එහෙනම් මේ ඩ්‍රයිව් කරන ගමන්. හෙට උදේම ආයෙ ගන්නකො.අප්ඩේට් එකක් දෙන්න බලන්න."

රිද්මා ඇමතුම අවසන් කරමින් පැවසුවාය.බිම්සර ඇමතුම නිමාවූ පසු සිය දුරකතනයේ ගබඩා කොට ගත් ඇයගේ රූ දෙස මොහොතක් බලාඋන්නේය. 

ප්‍රේමය පුදුමාකාරය. ඉදින් වසර දහයකට මෙහාදීත් තමාහට දැනෙනුයේ එදා අවසන් හමුවේ හිතට දැනුණ හැඟීමමය.බිම්සර සුසුමක් හෙලා ළය සැහැල්ලු කොට ගත්තේය.

************************************************************************************ 

රිද්මා ප්‍රමුදිතාද සමගින් සුලෝචනා මිදුලේ අඹ ගස යට බංකුව වෙත කැඳවාගෙන ගියාය. හවස් යාමයේ පොල් රුප්පාව පිස හමා එන සුලඟ ගතට ගෙන එන්නේ සුවයක්මය.

"අක්කට පින් අක්කේ, ඔයා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද?"

ප්‍රමුදිතා පැවසුවේ රිද්මාගේ දෝතම අල්ලාගෙනය. 

"ඔයා නොදන්නවට මම ඔයාගේ අක්කව ඉස්කෝලෙ කාලෙත් දන්නව නංගි. ඒ කාලෙත් එයා හරිම අහිංසක ළමයෙක්. පාඩුවේම උන්නෙ . හැමෝම එයාට ආදරෙයි."

රිද්මා පැවසුවේ ප්‍රමුදිතාටය. බිම්සර ගැන කොයියම්ම හෝ වේලාවක ඉතින් අනාවරණය කරන්නට වන බව සැබවි. එහෙත් එය කෙසේ මේ අයට නිරාවරණය කරන්නදැයි ඇයටම නොතේරේ.

සුලෝචනාගේ මුහුණ වෙනදාට වඩා පැහැපත්ය. පිරුනු බව ද යළි මුහුණට ලැබී ඇත.

"දැන් කෑම එහෙම කනවනෙ හොඳට නේද නංගි.?"

සුලෝචනාගේ වතට නැඹුරු වෙමින් රිද්මා ඇසුවාය.සුලෝචනා සිනාවුයේ ඔව් කියන්නක් මෙනි.

"දැන් ඔහොම කටුස්සි වගේ ඔලුව වන වන ඉඳලා හරියන්නේ නෑ කෙල්ලෙ. කතාකරන්න ඕන"

රිද්මා සුලෝචනාගේ කණකින් හෙමින් අල්ලා සොලවමින් පැවසුවාය

"දැන් දැන් අපි එක්ක ටිකක් කතාකරනවා මෙයා. නේද ලොකූ.?"

ප්‍රමුදිතා සුලෝචනාව බදාගෙන ඇසුවාය.

"අපි කෝකටත් ස්පීච් තෙරපි වලට දවසක් එක්ක යමුකො. එතකොට ටිකක් අහගන්න පුලුවන්නෙ මොනවද කරන්න ඕන කියල."

රිද්මා පැවසුවාය.

"අක්කේ...මම අහන්නමයි උන්නේ. මේ ...මේ..."

ප්‍රමුදිතා යමක් අසන්නට ගොස් එකෙල මෙකෙල වූවාය.

"මොකක්ද නන්ගි?"

රිද්මා ඇසුවේ ඇයගේ වත දෙස විමසුමෙන් බලමිනි. බොහෝ විට ඔවුන්හට ආර්ථික ගැටලු තිබෙන්නට පුලුවන් යැයි ඇයට කෙතෙක් වැටහුණද ඔවුන්ගේ ආත්මගෞරවයට හානි නොවන අන්දමට ඒ සඳහා ක්‍රියාකල යුතුව ඇත. අම්මා කුලුබඩු ආදිය පැකට් කොට විකුනන බව ප්‍රමුදිතා පැවසුවේ ගිය සතියේය. රිද්මා එයට ඔවුන්ගේ නිෂ්පාදන රෝහල් කාර්‍ය මණ්ඩලයට අලෙවි කරන්නට ක්‍රමවේදයක්ද සකසා දුන්නාය.

"අක්කේ අපේ අක්කව හොස්පිට්ල් එක්කන් ගිය අර ආමි එකේ සර්.එයා දැන් කොහේද ?අඩුමගානේ අක්කට සනීපයි කියන්නවත් ඉන් පස්සෙ ඒ සර්ව හමුවුණේ නෑනෙ" 

ප්‍රමුදිතා ඇසුවාය.

"බිම්සර අයියා මේ දවස් වල ඉන්නෙ බැටිකලෝ වල නන්ගි. මේ ප්‍රශ්නෙම තව තව කොන් එහෙත් තිබ්බනෙ.ඉතින් දැන් සති දෙකක් තිස්සේ එයා එහේ." 

රිද්මාට යටි සිතට දැනුණේ සතුටකි. යාම්තමින් බිම්සරව කැඳවාගෙන එන්නට පොටක් පෑදෙමින් පවතී.

"ඒ සර් නොඋන්නා නම් අපෙ අක්කට මොකක් වෙයිද කියල හිතද්දිත් බයයි අක්කේ."

ප්‍රමුදිතා පැවසුවේ බරවූ කටහඬකිනි. රිද්මා සුලෝචනා ඉදිරිපිටදී කුමක් කියන්නදැයි සිතාගන්නට නොහැකිව නිහඬව බලාඋන්නාය. සුලෝචනාට මේ කතාබහ සම්බන්ධව එතරම් වගේ වගක් නැතිවාසේය. ඇය බලාසිටින්නේ පොල්ගස් වලට ඔබ්බෙන් හිරු බැසයන ආකාරයයි. ඉතා කුඩා දෙයින් පවා සිත සැහැල්ලු කරගන්නට ඇය සමත්ව ඇතුවා වන්නට ඇත.

"අක්කාව දැන් ගෙට එක්ක යමුද නංගි.?"

රිද්මා ඇසුවේ සැන්දෑවීගෙන එනහෙයිනි. සීතල සුලඟ සමහරක් විට දරාගන්නට නොහැකි තරම්ය.සුලෝචනා ගෙතුලට ඇරලවා රිද්මා ආපසු මිදුලට බැස්සේ ප්‍රමුදිතාට අතින් සන් කරමිනි.

"නංගි, මට ඔයා එක්ක පොඩි කතාවක් කරන්න තියනවා. අපි ටිකක් එලියෙන් ඉඳගම්මුද ?"

රිද්මා ඇසුවේ ප්‍රමුදිතා දෙස බලමිනි. රිද්මාගේ මුහුණේ වූයේ තරමක බරපතල පෙණුමකි.

"මොකුත් අවුලක්ද අක්කේ?"

ප්‍රමුදිතා අඹගස යට බංකුවේ රිද්මා අසලින් අසුන් ගන්නා අතරේ ඇසුවාය.

"අනේ නෑ, එහෙම මොකුත් ප්‍රශ්නයක් නෙවෙයි නංගි; ඒත් මේක බොහොම වැදගත් කාරණයක් නංගි."

රිද්මා අඩක් හැරුණේ ප්‍රමුදිතා දෙසටය.

බිම්සර සහ සුලෝචනාගේ අතීත කතාව හැකි තාක් කෙටියෙන් එහෙත් අත්‍යාවශ්‍ය කාරණා සමගින් ප්‍රමුදිතා හමුවේ දිහැරුණි.

"අපේ අක්කා අපි කාටවත් මේ ගැන කියල නෑ අක්කේ, ඒත් අක්කේ එයා කිසිම පිරිමි ළමයෙක්ට කැමති උනේ නැතිවෙනකොට අම්මා ඇහුවා නිතරම කා එක්ක හරි සම්බන්ධයක් තියද කියලත්. මෙහෙදිට වඩා ඔය ප්‍රශ්නේ ආවේ ගමේ ගිහින් උන්න කාලේ. ඒලෙවල් කරන්න අක්කට උනේ එහෙ ඉස්කෝලෙකනෙ අක්කෙ. මට ඒ ප්‍රශ්න ටික අක්කට කියන්න බැරිඋනානෙ."

ප්‍රමුදිතා විස්තර කරමින් උන්නාය.

"ඔව් මට වඩා සුදු අයියට ඒ විස්තර ටික දැනගන්න ඕන වෙලා තිබුණා. අපි එයා ආවම පොඩ්ඩක් ඒ විස්තර කියමු. මේ සිද්ධිය වුණේ බොහොම අහම්බයක් විදියට වගෙම තමා නන්ගි, මේ දෙන්නාගේ මේ සැරේ හමුවීමත් බොහොම අහම්බයක්. නමුත් සුදුඅයියාගේ හිතෙන් ඔයාගේ අක්කව කිසිමදාක ඈත්වෙලා තිබිලා නෑ කියල මේ සිදුවීමෙන් පස්සේ එයා හැසිරුණ විදියෙන් තේරුණා. ඒ වගේම මෙච්චර කාලයකට එයා ටිකක් හරි හිතේ තියන දේවල් කියලා තිබ්බෙ රශිත එක්ක විතරයි.ඔක්කොම හිතේ තියන් එයා හැමෝගෙන්ම ඈත්වෙලා උන්නා."

රිද්මා පැවසුවේ මේ සිදුවීමේ තත්වය ප්‍රමුදිතාට පහදාදෙමිනි.

"හිතා ගන්නත් අමාරු කතාවක් නේද අක්කේ මේක? අපේ අක්කට ඒ අයියවත් මතක නැද්ද දන්නෑ අක්කේ ?"

ප්‍රමුදිතා පැවසුවේ අක්කාගේ මතකයේ ඇති අඩුලුහුඬු කම් ගැන දන්නා හෙයිනි.

"අපි බලමු නංගි. මෙයා බැඳලා නැත්නම් මේ පාරනම් සුදු අයියා කීයටවත් ඔයාගේ අක්කව මගහැරගන්නේ නෑ කියලමයි කියන්නේ නංගි.ඔයා දන්නෑ නංගි මට දවසකට කීපාරක් එයා කෝල් කරකර අහනවද කියල ඔයාගේ අක්කා ගැන."

රිද්මා සිනාවූවාය.ප්‍රමුදිතා සිනාවූවද ඒ සිනහවේ වූයේ ඉමහත් බරකි.

රිද්මා සමුගෙන ගියද ප්‍රමුදිතා නැවතත් අඹගස යට බංකුවේ අසුන් ගත්තේ සුසුමක් හෙළමිනි. අක්කා ජීවිතයේ සතුටක් වින්දේම නැතුවා වන්නට ඇත. ගමේ ගිහින් උන් කාලය ප්‍රමුදිතාගේ මතකයට ආවේ නිතැතින්මය.


අගෝස්තුවේ උසස් පෙළ නිමාවූයේ මාසයෙන් අඩකට වඩා ගිලගනිමිනි. ඉදින් ඒ දෙසැම්බරයේ සුලෝචනා සාමාන්‍යපෙළ ලියන්නට සූදානම් වෙමින් උන්නාය. සැප්තැම්බරයේ මුල නැවත පාසල් පටන් ගන්නට දින කිහිපයක් තබා සුලෝචනාලාගේ ජීවිත උඩුයටිකුරු වූයේ කාලයක් තිස්සේ හමාගිය සුලි සුලඟක මහා බලපෑමක් ලෙසිනි.

විවාහය, පවුල , කුටුම්භය ආදී කුදුමහත් වගකීම් සහ යුතුකම් දරන්නාවූ ඉසව් සියල්ල අතහරිමින් මත්ද්‍රව්‍ය සහ සූදුවේ ගිලුණ තාත්තාගේ අනර්ථකාරී අනියම් සබඳතාද නිමක් නොවී පවුලටම ගැටලු ඇතිකරද්දී අම්මා සහ දියණියන් දෙදෙනා වූයේ ලෝකයට මුහුණ දෙන්නට බයෙන් මෙන්ම ලැජ්ජාවෙනි.

නිවස ඉදිරිපසින් මහහඬින් කෑ ගසමින් ඇසෙන ගාලගෝට්ටිය නිසාම අම්මා එදින එළියට බැස්සේ තව දුරටත් නිහඬව ඉන්නට නොහැකි හෙයිනි. 

"ආ , කුසුමා, මෙහෙ වරෙන් , මෙහෙට වරෙන්.. මට උඹව තමයි මේ හම්බවෙන්න ඕනවෙලා ආවෙ."

කුලී නිවසේ ගේට්ටුව අසල කෑගසමින් උන්නේ තේජාගේ තාත්තාය; එනම් තමන් සිටින කුලී නිවසේ හිමිකරුය.

ඇයි සේකර මහත්තයා, මේ මොකද කෑගහන්නෙ

කිසිවක්ම නොදන්නා අම්මා පෙරට ගියේ එසේ අසමිනි. අධික බීමතින් ගේට්ටු කණුවක එල්ලී උන් සේකර නම්වූ එම තැනැත්තා අම්මා ඔහු අසලට යනවිට ඉදිරියට පැන අල්ලාගත්තේ අම්මාගේ කොණ්ඩයෙනි.

අම්මා පසුපසින් ආ සුලෝචනා අම්මාගේ කොණ්ඩය බීමත් පිරිමියා විසින් අල්ලාගනුද අම්මා වේදනාවෙන් කෑගසනුද දැක පෙරට දිව්වාය.

"අම්මව අතාරින්න , මේ මොන විකාරයක්ද මහත්තයා, කෑවානම් බිව්වානම් ගෙදර ගිහින් ගෙදර අයව අල්ලගන්නකො, මේ අපිට පාඩුවේ ඉන්න දීලා."

සුලෝචනා ස්වභාවයෙන්ම නිහඬ නිසංසල පාඩුවේ ඉන්නා කෙල්ලකි. එහෙත් අම්මාද නංගීද ඇයගේ ලෝකයම විය. ඉදින් මෙහෙව් අතවරයන් දැක දැක කටවසාගෙන ඉන්නට ඇය නොදත්තාය.

"අප්පට බොල මේකිගෙ කටේ සැර , මෙහෙට වර මෙහෙට වර බලන්න උඹේ කටේ සද්දෙ" 

ඔහු අඩියක් පෙරට තබන විට අම්මා සුලෝචනා පසෙකට වසන් කොට ගත්තාය.

"සේකර මහත්තයා , ප්‍රශ්නයක් තියේ නම් කියන්න, නිකම් නිකරුනේ අපිට කරදර නොකර."

අම්මා කෑගැසුවේ ඔහු වලකාලමිනි.

"ප්‍රශ්නයක්...ඔව් එකක් නෙවෙයි ප්‍රශ්න ගොඩක්. උඹේ මිනිහා රටේම ඉන්න ගෑනුන්ට ඉන්න දෙන්නෙ නෑ. උඹ උඹේ මිනිහව හදානොගත්තු නිසා දැන් මට මගේ ගෑනිත් නැතිවෙලයි තියෙන්නෙ."

බීමතින් කෑගසන්නට වූ සේකර අල්ලාගෙන පසෙකට අදින්නට ආවේද ඔහුගේම හෙංචයියන්ය. 

"යං යං සේකර අයියා , අපි ඕවා බලාගම්මු පස්සෙ" 

චුට්ටේ නම් වූ දාමරිකයාද පැවසුවේ අම්මාට පසුපසින් ඉන්නා සුලෝචනාද දෙසද බලමිනි. සුලෝචනාගේ ගතම වෙවුලා ගියේ ඒ මිනිසා බැලූ බැල්මටය. එතරම් නැහැදුණ බැල්මකට හසුවීම පවා ඇය බියෙන් සලිත කරවීය.

"එකක් දැනගනින් කුසුමා , මේවට කොයිවෙලෙක හරි වන්දි ගෙවන්න වෙන්නෙ උඹේ  දෝනියැන්දලාට වෙන්නත් පුලුවන්. එක්කො ඌ එක්කො මම ."

බොහෝ ඈතට යනතුරුද සේකරගේ මෙන්ම චුට්ටේගේද වහසිබස් නොනවත්වාම ඇසුණි.

"අම්මේ"

සුලෝචනා හඬාගෙනම අම්මාගේ ගතට වාරුවූවාය. 

"උඹ මොකටද ලොක්කියෙ ඒ අමනුස්සයො අස්සට ආවේ. නංගිව බලාගෙන ගෙයි ඉන්න තිබුණනෙ. ඕකුන්ගෙ ඇහැටවත් උඹල අහුවෙන්න හොඳ නෑ පුතේ."

අම්මා සුලෝචනාව බදාගනිමින් පැවසුවාය.

"අම්මේ තාත්තා තේජාගෙ අම්මා එක්ක මොකක් හරි..."

සුලෝචනා කියන්නට ආ වාක්‍යය ගිලගත්තේ අම්මාගේ මුහුණේ ස්වරූපය දැකය.අම්මාගේ මුහුණේ වූයේ කෝපයක්ද, දුකක්ද ,වේදනාවක්ද , කලකිරිමක්ද කියා සිතාගන්නට බැරි තරමටම ඒ මුහුණ විරූපව ගොස් තිබුණි. 

"ඕක අද ඊයෙ දෙයක් නෙවෙයිනෙ මගෙ පුතේ. ඒ මිනිහා හදන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි. මටයි මගෙ කෙල්ලො දෙන්නටයි පාරක බැහැල යන්න ඉඩ දෙන්නෙ නැති හැටි ඇත්තටම" 

අම්මා එලිපත්තේම වාඩිවූවාය. නැත එතනටම කඩා වැටුණාය. හිතේ උහුලන ගින්දර මෙතෙකැයි කියන්නට නොහැකිව කුසුමා ඉකිගසමින් හඬන්නට වූවාය.

හැන්දෑව වෙනදාටත් වඩා මූසල යැයි සුලෝචනාට එදා සිතුණි.

"කුසුමක්කේ, කුසුමක්කේ."

ගේ පිටිපස්සේ වැට අසලින් ඇහෙන්නාවූ හඬ කාගේදැයි සුලෝචනාට නිනව් නැතිව ගියේය.අම්මා කුස්සියේ සිට පිලිකන්නේ වැට දෙසට එබුණාය.

"මොකෝ සුසිල් මල්ලි උඹ මේ පැත්තෙන්."

අම්මා ඇසුවේ එලියට බසිමිනි.

"අනේ බුදුඅක්කෙ , උඹට පණිවුඩයක් දීලා මාරුවෙන්නයි ආවෙ. කෙල්ලො දෙන්නත් අරන් කොහෙට හරි පලයන් අක්කෙ. චුට්ටෙයි සේකරකාරයයි අද රෑට උඹලට වැඩක් දෙන්න ඕන කියල කතාවුණා. අර සැම්සන්ගෙ බොන පොට් එකේදි කතාවුණ තැනට එහා පැත්තෙ මම උන්නා උන්දැක්කෙ නෑ. ඉක්මනින් ගන්න පුලුවන් දෙයක් අරන් මෙහෙන් කෙල්ලො දෙන්න එක්ක පලයන් අක්කෙ. මම මේ ආවේ දුවගෙන ඕක කියල යන්න.මට වෙන කරන්න දෙයක් නෑ අක්කෙ.මන් ගියා."

සුසිල් නම් වූ ඔහු ඉක්මනින් අතුරුදහන් වූයේ එසේ පවසමිනි.

"අම්මේහ්..."

සුලෝචනාට කෑගැස්සුනේ අම්මා ගෙට දුවගෙන ආ වේගටය. 

"ලොක්කියෙ අතට ගන්න පුලුවන් ඇඳුමක් කැඩුමක් බෑග්වලට දමාගනින්. අපි කොහෙට හරි යමු ඉක්මනින්."

අම්මා වහ වහා බෑගයකට රෙදි කිහිපයක් ඔබා ගත්තාය. ගේ හරියකට කියා කියන්නට තරම් වටිනා බඩුවක් මුට්ටුවක් තිබුනේම නැත. 

"අම්මේ අපි උදේට ආපහු එනවද ?"

සුලෝචනා කුඩා නැගණියගේ ඇඳුමක් බැගයට ඔබමින් කීවාය.

"මන් දන්නෙ නෑ බං. ඉක්මන් කරපන්. අපි ඉක්මනින් ආරමෙට යන්."

අම්මාට සිහිවූයේ ආරාමය වන්නට ඇත. නැතිව මේ වෙලාවේ අම්මට, නංගීට සහ තමාට නවාතැන් දෙන්නට කිසිවෙක් නොමැත. 

සුලෝචනා සහ නංගීවද රැගෙන ආරාමයට දිවගිය අම්මා හරියටම පන්සලේ බිත්තියේ ඇඳි පටාචාරාවගේ ස්වරූපය ගත්තාය. කෙස් අවුල්වී රෙදි පොඩිවගෙන හැඬූ කඳුලෙන් දිව ආ අම්මාහට ලොකු මෑණියන්ගේ අවසරය පරිදි බණ ශාලාවේ කෙලවරක සිටින්නට ඉඩක් ලැබුණි. 

"හෙට උදේ අපි ගිහින් බලමුකො කුසුමා. දැන් ඔය දරුවන්ට කන්න යමක් දීලා නිදාගන්න දෙන්න." 

ලොකු මෑණියෝ ආවාසගෙයට ඇතුල්වුයේ ඔවුනට කෑමට බීමට යමක් යවනා ලෙස කුඩා මෑණියකට කියමිනි.

රාත්‍රිය එදා ගෙවීගියේ බණශාලාවේ කෙලවරක හැඬුම් සහ සුසුම් අතරේය. පසුවදා කුසුමා නිවෙසට ගියේ ලොකුමෑණියන් සමගිනි. සුලෝචනා සහ නැගණිය පොඩි මෑණියන්හට බාරදී ඔවුන් ගියේ තත්වය කෙසේදැයි නොදන්නා හෙයිනි. 

"අනේ මෑණියනේ.."

කුසුමා පපුවට අත තබාගත්තේ දුටු දසුනෙනි.ගේතුල වූ සියලු බඩුබාහිරාදිය එලියට ඇදදමා තිබුණේ බලන්නට පවා දුක හිතෙන අන්දමටය. සුලෝචනාගේ පොත් පත් ඇදදමා තිබුණේ ලය කම්පාවන අන්දමටය.

"අණක් ගුණක් නැති මේ තිරිසන්නු ආත්ම ගානකට පව්පුරෝ ගන්නව."

ලොකු මෑණියන් පැවසුවේ විසිරගිය බඩු එකතුකරනා කුසුමා දෙස බලාගෙනය.

"මේ විදියට කුසුමාලට මේ තැන ඉන්න බෑනෙ.මොකක් හරි තීරණයක් ගන්න වෙනවා නේද ?" 

එතුමිය නැවත ඇසුවාය.

දිනගණනකට පසු කුසුමා , සුලෝචනා සහ ප්‍රමුදිතා ද සමගින් අනුරාධපුරයටත් සැතපුම් ගණනකට එහා වූ ඇයගේ මහගෙවල් බලා නික්ම ගියේ සියල්ල අතහැර දමාය. 

"අනේ අම්මේ මගෙ පොත් ටික."

සුලෝචනා හූල්ලමින් හැඬුවේ ඇයගේ පොත්පත් වලින් සෑහෙන ප්‍රමාණයක් ඉරාවිසුණු කොට දමා තිබුන හෙයිනි..

"පොලිසි උසාවි ගානෙ  යන්නත් ජීවිතේ පණකෙන්ද රැකගෙන ඉන්න ඕනනෙ අපි."

මේ සම්බන්ධව පොලිසියට යන්න යැයි උපදෙස් දෙන්නට ආ අයට කුසුමා කීවේ එපමණකි.

මිනිසුන් නොමිනිසුන් වන්නට මහකාලයක් ගතවන්නේ නැත. වටිනාම දේ ජීවිත සහ සිය ආත්මයන්ගේ ගෞරවයන් රැකගෙන හිස් අතින් හෝ ගැලව එන්නට ලැබීමයි. කුසුමා දියණියන් දෙදෙනාද සමගින් උපන් ගමට ආවේ රැකවරණය පතමිනි.

************************************************************************** 

"අපිත් ජීවත් වෙන්නෙ කොච්චර අමාරුවෙන්ද ? තවත් කටවල් තුනක් මේ අස්සට දාගෙන මොනව කරන්නද ඔහේ හදන්නෙ.?"

ආ දිනයේම රාත්‍රියේ නෑණන්ඩිය මල්ලීගේ කණට කොඳුරමින් කියනු  කුසුමාට ඇසුණි. එකබඩවැල කඩාගෙන ආ සොහොයුරාගේ ලෙන්ගතුකම් කෙලෙස වුවද නෑනන්ඩිය කියනා දේද සත්‍යයකි. මන්ද ඔවුන්ද ජීවත් වන්නේ බොහෝ අමාරුකම් මධ්‍යයේය.

"අන්තිමට අසරණ වෙලා ආව ගෑණු තුන්දෙනෙක්ව එහෙම බාරනොගෙන කොහොමද රසිකා. ඉවසලා ඉන්න ටිකක් දවසක් . අක්කලා මොකක් හරි පිළිවෙලක් කරගනීනෙ."

මල්ලීගේ හඬ ඉතා සෙමින් ඇසුණි. මල්ලී පව්ය. ඇත්තෙන්ම ඔවුන්ට තමන් බරක් නොවිය යුතුයැයි කුසුමා සිතාගත්තේ ඒ මොහොතේමය.

අම්මා සහ තාත්තා මියගිය පසු සියලුම දේපල භුක්ති වින්දේ මල්ලී වුවද එතනද එහෙමට කියා මහ යස ඉසුරු තිබුණේම නැත. අනෙකුත් ගම්වාසීන්හට මෙන්ම ගොඩින් අක්කර දෙකක් සහ මඩින් අක්කර තුනක් ලද ඔවුහු ස්වභාවධර්මයේ විවිධ බැටකෑම් මධ්‍යයේ ජීවිත ගෙන ගියහ. අව්කාටකේ නැහෙමින් යලමහ වවන්නාවූ බහුතරයක් අසාර්ථක ගොවීන් අතර මල්ලීද එක් අයෙකි. ඔවුන් නව දැනුමක හිමිකාරයෝ වූයේ නැත.

වන්නාට වෙන දෙයක් වුණාවේ කියා සිතාගෙන එදාවේල සරිකරගන්නට මිසක මල්ලීවත් රසිකාවත් දුරට ඉගන ගෙන උන්නේද නැත.මල්ලීට උන්නේ පුතෙක් සහ දුවණියන් දෙදෙනෙකි. කුසුමා විවාහව ගමෙන් එන්නට පෙරම මල්ලී ඉතා අඩුවයසෙන් රසිකාව පෙළවහට ගත්තේය. එහෙයින් මල්ලීට සිටින දරුවන්ගෙන් ලොකු දෙන්නාම සුලෝචනාට වඩා වැඩිමල්ය.ඒ දරුවන්ද ඉගනගන්නා පාටක් ඇත්තේම නැත. මල්ලිගේ ලොකු පුතා ක්‍රිශාන් තාත්තාගේ අඩිපාරේ යමින් ගොවිතැනේ යෙදුණේය. ඔහු සාමාන්‍ය පෙළටවත් පාසල් ගොස් තිබුණේ නැත. කෙසේ වුවත් ගතිගුණ අතින් ක්‍රිශාන් ඉතාම යහපත්වූ තරුණයෙක් විය.

දෙවැන්නී , අකිලා ගාමන්ට් එකක වැඩට ගියාය. ඇය යාන්තමින් සාමාන්‍ය පෙළ සමත්වූවාය. ඒ ගම්මානයේ බොහොමයක් ගැහැනු දරුවන්ද සාමාන්‍ය පෙළට එහායින් ඉගන ගන්නට අවැසිතාවයක් දැක්වූයේ නැත. අවසානයේ ජීවනබරට කරගහන්නට ඔවුන්ට වූ එකම විකල්පය ඇඟලුම් කම්හලක සේවයට යාමය. අවසානයේ අඩුවයසින් විවාපත්වන්නෝ යළි ජීවන චක්‍රයේ යෙදෙන්නේ තම දෙමාපියන් ගතකලා සේමය. මල්ලීගේ පොඩි දුවණිය ඒ වනවිටද පාසල් යමින් උන්නාය. ඇය සුලෝචනාට වඩා බාලවූයේ මාස කීපයකටය. ඉදින් ඇය සමග සුලෝචනාලා එකතුවනු ඇතැයි කුසුමා සිතුවාය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

හමුවෙමු යළිත් ..ආදරයෙන්

මම 


( විසිරි 🧡)

8 comments:

  1. මගෑරුණ එකත් කියවංමයි ආවෙ..
    යංඤං ඈ

    ReplyDelete
    Replies
    1. පාරෙ දකුණෙන් අයිනෙන් යන්න ඈ

      Delete
  2. මාත් ඇවිත් කියවලා ගියා. මේ දෙන්න එකපාරටම බන්දල අහවරක් කරමුද?

    ReplyDelete
    Replies
    1. බැන්දම මොනවයි අහවරක් වෙන්නෙ ඈ

      Delete