Friday, September 17, 2021

12. දොලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)

 



ගමට ගිය දවසට පසුවදා කුසුමා මල්ලීට කතාකලේ උදෑසන කුඹුරට යන්නට පෙරය. 

"මල්ලියේ , පොඩ්ඩක් කතාකරන්න ඕනෙ."

කුසුමා මිදුලට බැස්සේ මල්ලීද සමගය. ඒ වනවිට මහගෙයට ඔබ්බෙන් මල්ලී ගොඩනගා තිබූ නිවසේ ඔවුන් ජීවත් වූ අතර මහගෙය පාලුවට ගොස් තිබුණි. 

"අක්කේ..?" 

පියල් කතාකලේ උදැල්ල පසෙක තබාය. මල්ලී සමග කුසුමාගේ වූයේ කවදත් නොසන්සිඳුණු සහෝදර බැම්මකි.

"අපි ආව එක මල්ලිලාට කරදරයි කියල නොදැන මේ ගමන ආවා නෙවෙයි මල්ලියෙ. ඒත් කෙල්ලො දෙන්නගෙ ජීවිත අනතුරේ කියල දැන දැන මම වෙන මොකක් කරන්නද? 

මොකක් හරි පිළිවෙලක් කරගන්නකල් මන් කෙල්ලො දෙන්න එක්ක මහගෙදරට වෙලා ඉන්නද මල්ලියෙ."

කුසුමා ඇසුවේ ඇසට ඉණූ කඳුල ගවුම්කරෙන් පිසලමිනි.

"අක්කට පිස්සුද අක්කෙ, අක්ක වෙන කොහෙ යන්නද මෙහෙ නෑවිල්ල. රසිකා ඔය කියන එව්වා ගණන් ගන්න එපා. එයා අහිතකට කියනව නෙවෙයි. අක්ක දන්නවනෙ අපි ඉන්න තත්වය. ඒ නිසයි එහෙම කියවෙන්නෙ."

අක්කාහට රසිකා කියූ දෑ ඇසී ඇති බව වටහාගත් පියල් කම්පාවෙන් මෙන් පැවසුවේය.

"අනේ රසිකා වැරදි නෑ මල්ලියෙ. අපි හැමදාම මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ. මේ කරදර ඉවර උනාම මොකක් හරිකරගන්නකල් අපිට මහගෙදර අස්පරස් කරගෙන ඉන්න දෙන්න මල්ලියෙ."

කූසුමා පැවසුවාය.

"අනේ අක්කේ ඔය මගෙන් අහන්න ඕන ඒවද ? මේ දේවල් අම්මතාත්තා හරිහම්බ කලේ අපි දෙන්නටම. අක්කාට මහගේ ලියල දෙන්න වුනත් මම ලෑස්ති ඕන වෙලාවක. ඒත් අක්කේ දැන් සෑහෙන කාලෙකින් ඔය ගේ වහලනෙ. අස් කරන්න සෑහෙන්න දේ තියේවි . වේ හුඹස් එහෙමත් ඇතුළෙ බැඳලද දන්නෑ."

පියල් උදැල්ල පසෙක තබා යළි ගෙතුලට ගියේ මහගෙදර යතුර රැගෙන එන්නටය.

"කොහෙ යන්නද ඒ ගමන."

යතුර ද රැගෙන එන පියල් පසුපසින් රසිකා ආවේ එසේ අසමිනි. 

"අනේ නංගියේ, මේ කරදර අස්සෙ අපි තුන්දෙනත් මේ ගේ අස්සෙ වැටිල ඉන්න එක කරදරයි කියල මම නොදන්නව නෙවෙයි. අපි ආපහු යනකල් මහගේ අස්පරස් කරන් ඉන්නද කියල මම ඇහුවෙ."

කුසුමා පැවසුවේ රසිකාගේ මුහුණේ ඇති අඳුරු රේඛා දෙස බලමිනි.මහගෙදර අයිතියට තමා ඉල්ලුම් කරාදෝ යන්න ඇයගේ හිතේ සැකයක්ව ඇති බව කුසුමාට වැටහුණි.

"න්..නෑ..නෑ අක්කෙ, මම මේ එහෙම මොකුත් හිතුවෙ නෑ. ඔය ගේ සෑහෙන්න කාලයක් වහල දාලනෙ තිබුණෙ. ඉතින් ඕකෙ සර්පයො එහෙම ඉඳීද දන්නෙ නෑ. පරෙස්සමින් "

රසිකා මුහුණ සඟවාගෙන පැවසුවාය. සර්පයා හිස ඔසවන්නේ ඇයගේ සිත තුල සිට බව කුසුමාට නොවැටහුණේ නැත. ඉක්මනින් පිළිවෙලක් කරගෙන යන්නට ඕනෑයයි සිතුවද ඒ කෙසේදැයි කියන්නට ඇයට සිතටවත් නො එයි.

අවසානයේ පියල් සිය හිතවතුන් කිහිප දෙනෙක් සමග එක්ව නිවස අස්පරස් කොට දුන්නේය.අක්කාට සහ දුවණියන් දෙදෙනාට සිටින්නට ප්‍රමාණවත් තරමේ නිවෙස අස්කරගත් පසු බියක් වන්නට දෙයක් නොවීය. උන්න සර්පයෙක්ද නොවූයේය.

සර්පයන් බඳු මිනිසුන් අතර සිට ආ තමන්ට මේ තිරිසන් සතුන්ගෙන් නම් අවැඩක් නොවනු ඇතැයි කුසුමා සිතුවාය

සුලෝචනා උන්නේ අන්දමන්ද වූ ස්වරූපයකිනි. කෙසේ වුවත් අතපය දිගහෑර සිටින්නට හැකිවූ නිසා ප්‍රමුදිතා නම් උන්නේ සතුටිනි.ඇය හයක් හතරක් නොදන්නී වත්ත පුරා රිසි සේ දුව ඇවිද්දාය.

"අම්මේ මට මේ පාර ඕලෙවල් කරගන්න බැරිවෙයිද අම්මේ." 

සුලෝචනා ඉකිගසමින් හැඬුවේ සියලුම පොත්පත් වලට වූ අකටයුත්ත නිසා තමා අතරමන් වූ බැව් සිහිවීය.

"ටිකක් බලමු පුතේ. වෙච්ච ඒවායෙ හැටියට අපිට දැන්ම නම් ආපහු එහෙට යන්න බෑනෙ පුතේ."

කුසුමා හූල්ලන්නට වූයේ සුලෝචනාගේ හිස අතගාමිනි.

"අම්මේ කමක් නෑ.මාව මෙහෙ ඉස්කෝලෙකට දාන්න. මම ඕලෙවල් ලබන අවුරුද්දෙ ලියන්නම් මෙහෙන්."

බොහෝ වේලාවක් සිතා අනතුරුව සුලෝචනා අවසානයේ හිතහදාගත්තාය. මතකයේ සැරිසැරූ අතීතය බෙහෙවින්ම කටුකය. ඉතා කුඩා දැරියක්ව උන්නද ප්‍රමුදිතාට ඒ සිදුවීම් යාන්තමින් මතකය. 

අන්තිමේදී අක්කා ගමේ පාසලකට ඇතුළත් වූවාය. අම්මා හොරරහසින් ගොස් අස්වීම රැගෙන ආවේ විදුහල්පතිතුමා සියල්ල දැන උන් හෙයින් කඩිනම් ව කටයුතු කරදුන් හෙයිනි. වසරක් පමාවී සුලෝචනා සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දුන්නාය. පියල් මාමාගේ බාලම  දුවණිය වූ නිත්‍යාද ඒ වසරේම සාමාන්‍ය පෙල ට වාඩිවූවාය. අනෙක් අයට වඩා හැසිරීමෙන් වෙනස්වූ නිත්‍යා මඳක් අහංකාරකමින් හිස උදුම්මාගත් යුවතියක් වූවාය. අක්කාට බොහෝ විට ඇයගේ වෙනස්කම් පාසලේදී දරාගන්නට වූ බව ප්‍රමුදිතාට සිහිවිය.

සුලෝචනා විද්‍යා විෂයයන්ගෙන් උසස්පෙළ කරන්නට ආසාවෙන් උන්නද ඒ ගමේ පාසලේ වූයේ කලා විෂයයන් පමණි. අවසානයේ සුලෝචනාට උසස්පෙළ කරන්නට වූයේද එහිමය. ඒ වනවිට ප්‍රමුදිතාද පාසල් යමින් උන්නාය.ඇයට නම් එතරම්ම ගාණක් නොවූයේ ඇය එම පරිසරයට කැමැත්තෙන් උන් හෙයිනි. 

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

"පොඩ්ඩියෙ රෑ කලුවර වැටෙනකල් ඔතන මොකද ? එන්න ගෙට" 

අම්මා කෑගසන විට ප්‍රමුදිතා අතීත මතකයන්ගෙන් මිදී ගෙතුලට යන්නට නැගී උන්නාය. 

රිද්මා අක්කා පැවසූ අන්දමට බිම්සර අයියාගේ සහ අක්කාගේ ආදරයක් ඇතිවෙමින් තිබී ඇත. එහෙත් එය ඔවුන් අතර තිබී ඇත්තේද අප්‍රකාශිතවය. එහෙත් යොවුන් වියේ සිටිනා ප්‍රමුදිතාට ඒ හැඟුම් බැලුම් වල මිහිරියාව වටහාගන්නට අපහසු නොවූයේද ඇයටද මේ වන විට ඇස් බැල්මවල් අනන්ත අප්‍රමාණව එල්ලවෙමින් තිබෙන යුගයක් හෙයිනි.

ප්‍රේමය අප්‍රකාශිතව පවතින තාක් කෙතෙක් නම් මිහිරිදැයි සිතකට වටහාගන්නට හැකිය.

එහෙත් අක්කා සිටින්නේ ජීවිතයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී අවසනය.ඇයගේ මතකයේ කොතනක හෝ බිම්සර අයියා ඉන්නවාදැයි කියන්නට දන්නේ අක්කාම පමණි. රිද්මා අක්කා පැවසූ අන්දමට මෙය දැන්ම අක්කාගෙන් අසන්නට සුදුසු නොවේ. කෙසේ වුවත් මේ හැමදේම සුබව ඉටුවේ නම් ඊට වඩා දෙයක් ජීවිතයට අවශ්‍ය නැත.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

නැගෙනහිර දිසාවේ රාජකාරි කටයුතු හමාරකොට ආපසු පැමිණි බිම්සර රිද්මා හමුවන්නට පසුදිනම පැමිණියේය. 

"පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ"

රිද්මා ඔච්චම් කලේ බිම්සරගේ නොඉවසිලිමත්කමටය.

"අවුරුදු ගාණක් මෙහෙම බලන් උන්න මට ඉවසීම ගැන කියාදෙන්න එන්න එපා බං."

බිම්සර පැවසුවේ ආයාසයෙන් සිනාසෙමිනි.

"අපි එහෙ යමු.?" 

රිද්මා ප්‍රශ්නාර්ථයක් නැගුවේ බිම්සරගේ මුහුණ දෙස බලමිනි.

"මම පොඩි එකීට සිද්ධිය කිව්වා සුදු අයියෙ. මේක ඉතින් ටික ටික එළි කරන්න වෙනවනෙ. එයාලගෙ අම්මාට හෙමින් මේක කියමු. දැනට යන්කො. මොකද ඔයා නිසයි කෙල්ල බේරුණේ කියන මතකය ඒ අම්මට තියනවනෙ. ඒ පිට දාල අපි යං."

රිද්මා සැලසුම් ක්‍රියාත්මක කලාය.

රිද්මාගේ රියෙහි නැග සුලෝචනාගේ නිවෙස වෙත යාමට බිම්සර තීරණය කලේ හමුදා වාහනයකින් එහි යෑම එතරම් සුදුසු නොවනු ඇතැයි හඟිමිනි. 

"රත්නායක  , අපි ගිහින් එනකල් මෙහෙ ඉන්න එහෙනම්."

බිම්සර රිද්මාගේ රියට ගොඩවෙමින් පැවසුවේය.

"මාව ඩ්‍රයිවර් කරල මේකා මහත්තයා වගේ යන කැත."

රිද්මා රියදුරු අසුනට ගොඩවූයේ කට ඇද කරමිනි.

"තමුසෙගෙ වාහනේ මම එලවන් ගිහින් තව එකක්. මගෙ රිය පැදවීම අන්තිමයි ඕයි. කීපාරක් ජීප් එක හැප්පුවද ගස්ගල් වල."

බිම්සර සිනාවෙන්නට උත්සාහ දරමින් පැවසීය.

"සුදු අයියෙ, තමුසෙ ඩ්‍රින්ක්ස් ගන්නවද ? ඔහොම වාහන හප්පගන්නේ."

රිද්මා රවා බලමින් ඇසුවාය.

"යුනිෆෝම් එකෙන් ඉන්නකල් නෑ. ඒත් බං මම උන්නෙ මොනවගේ මෙන්ටැලිටි එකකද කියල උඹට හිතාගන්නවත් බෑ. අම්මගේ මරණෙයි , මේ කෙල්ලගෙ අතුරුදහන් වීමයි එක්ක මම පිස්සෙක් නොවුනේ යුද්දෙටම ඔලුව ගිය නිසයි එකාතකට."

බිම්සර හෙලූ සුසුමේ බර රිද්මාට මැනවින් අවබෝධ විය.

පොල්වත්තේ ගේට්ටුව තිබුණේ විවරකොටය. රිද්මා ප්‍රමුදිතා අමතා ඔවුන් පැමිණෙන බව දන්වාතැබුවාය.

රිද්මාගේ රිය ගෙමිදුලෙහි නවතන විටද ප්‍රමුදිතා උන්නේ අක්කා සමගින් අඹ ගස යට බන්කුවේ ඉඳගෙනය. රිද්මා රිය නැවතූ විට සුලෝචනා හිස හරවා බැලුවේ රිය දෙසය. ඇයට රිද්මාගේ රිය දැන් හොඳින් හුරුව ඇත.එහෙත් රිද්මාගේ රිය තුල සිටිනා වෙනත් අයෙකු ඇයගේ ඇසට හසුවිය. 

නාඳුනන අය දුටුවිට සුලෝචනාගේ හිතේ ඇතිවන තිගැස්මක් බඳු ස්වරූපයද අනතුරින් පසු ඇයට වූ එක් වෙනසකි. ඇය වහා ඉවත බලාගත්තාය.

"බහිනවා ඉතින්. දැන් තෙපර බබා ආවෙ කෙල්ල බලන්න ඕන කියලනෙ. දැන් මොකෝ මේ.?"

ගල්ගිල්ලාක් මෙන් බලාගෙන ඉන්නා බිම්සර දෙස බලා රිද්මා ඇසුවේ නළලද රැලි කරමිනි.

"මොකක්ද වගේ බං"

බිම්සර සිනහවෙන්නට උත්සාහ දරමින් පවසුවේය.

"අනේ මේ සුදු අයියෙ , මගෙන් අහගන්නෙ නැතුව බහිනව."

රිද්මා රිය අසුනෙන් බැස සුලෝචනාලා උන් දෙසට යමින් පැවසුවාය. ප්‍රමුදිතා නැගී උන්නේ රිද්මා එන දෙස බලාගෙනය.බිම්සර තවත් කෙටි වේලාවක් ගෙන රියෙන් බැස්සේය.

"කොහොමද නංගි?"

සුලෝචනාගෙන් අසමින් රිද්මා ඇය අසල හිඳගත්තාය.

"හොඳයි."

ආයාසයෙන් මෙන් හීන් හඬින් තෙපලූ සුලෝචනා රිද්මාගේ හිසට උඩින් වරක් බලා ඉවත බලාගත්තාය. ඇයගේ ඇස් බැල්ම ඔස්සේ ඇස් යැවූ රිද්මා ඒ දෙසින් එන බිම්සර දැක සුලෝචනාගේ තැති ගැන්මට හේතුව වටහා ගත්තාය.

"ඔයාට මේ අයියව මතකද නංගි?"

රිද්මා ඇසුවේ සුලෝචනා දෙස බලමිනි. සුලෝචනා ඉවත බලාගෙනම නැතැයි හිස වැනුවාය. බිම්සරගේ හිත කීරි ගැසීයන්නට විය.

ඉදින් ඇයට තමා මතක නැත. හිත දවාලූ වේදනාව ඉතින් මෙතෙකැයි කියන්නට නොහැක.

 බිම්සරගේ මුහුණේ වෙනස වටහාගත් රිද්මා ඔහුට කලබල නොවන්නයැයි ඇසින් ඉඟිකලාය.

"අයියෙ..ඉන්න මම පුටුවක් ගේන්නම් අයියට."

ප්‍රමුදිතා ගෙතුලට දුවන්නට තැත් කලාය.

"මෙන්න මෙහෙ හිටපන් බං. එයා ටිකක් ඔහොම හිටගෙන උන්නාවෙ."

රිද්මා ප්‍රමුදිතාගේ අතක් සෙමින් කෙනිත්තුවේ එය වලකාලමිනි.රිද්මා අක්කාගේ ප්ලෑන් නම් අමුතුම ප්ලෑන්ය. ඉතින් ගෙතුලට යාම නවතා ප්‍රමුදිතා එසේම හිටගෙන උන්නාය.

බිම්සර අසල වූ ගසකට පිටදී සිටගත්තේ වම් දණහිස නවා ගසට වාරුකොටය. දෑත් පපුව හරහා බැඳගෙන තමා දෙස බලාඉන්නා තරුණයා දුටුවිට සුලෝචනාට දැනෙනුයේ කුමක් හෝ හුරු බවකි.

"කෝ නංගි අම්මා" 

රිද්මා ඇසුවේ ප්‍රමුදිතාගෙනි. 

"ආ අම්මා එහා පැත්තේ කහ වගයක් වේලනව අක්කෙ."

ප්‍රමුදිතා ගේ දෙසට හැරෙමින් පැවසුවාය.

"මට පොඩ්ඩක් අම්මව හම්බවෙන්න ඕන. අපි චුට්ටක් ගිහින් එමුද ?"

ප්‍රමුදිතාට ඇසක් ඉඟිමරමින් රිද්මා ඇසුවාය.

"හා..ලොකූ ඔයාට මේ අයියා එක්ක කතාකරකර ඉන්න පුලුවන්නෙ.අපි ටක්ගාල ගෙට ගිහින් එන්නම්."

සුලෝචනාගේ ඇස් විසල්ව යත්ම එය නොදුටුවාක් මෙන් ප්‍රමුදිතා රිද්මාද සමගින් ගෙතුලට ගියාය.

ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නට නොහැකි වීම සුලෝචනාට අනතුරෙන් පසු මතක ශක්තියේ දුර්වලකමට අමතරව සිදුවූ අතුරු ආබාධයකි. එහෙයින් සුලෝචනා ඔහේ බලාඋන්නාය.මොළයේ ස්නායු සෛල වලට ඒ කම්පනයෙන් ඇතිවූ තාවකාලික හානිය වුව සුලෝචනාහට කළ බලපෑම සුලුපටුම එකක් නොවීය.

තම ඉදිරිපස සිටින්නා කවුරුන් හෝ වුවත් ඔහු සම්බන්ධ මොකක් හෝ මතකයක් තමාගේ ජීවිතයේ ඇත. ඉදින් එය කුමක්දැයි මතකයට ගලානොඒ.

සුලෝචනා හොරැහින් ඔහු දෙස බැලුවාය. 

නිල් පැහැති ටීශර්ටයකට කලු ඩෙනිම් කලිසමක් හැඳ සිටිනා ඔහු ඉතාම කඩවසම්ය.වරක් දුටුවොත් ආපසු හැරී බලන්නට තරම් සිතෙන්නේය. 

බිම්සර අඩියක් දෙකක් පෙරට විත් ඇය උන් බංකුවේම කෙලවරක හිඳගත්තේය.සුලෝචනා තිගැස්සී ගියාය. 

මේකි තාමත් ඉස්සර වගේමයි. ලඟින් ගියත් ගැස්සෙන තරම්.

බිම්සර යටි හිතින් සිනහවිය.

"ඉතින් කොහොමද ඔයාට දැන් ?"

බිම්සර ඇසුවේ ඇයගේ මුහුණටම එබෙමිනි.

සුලෝචනා තිගැස්සී ගියාය. ඒ හඬ කොහේ හෝ අසා හුරු එකකි. ඇය එය සිහිකරගන්නට මෙන් දෑස් වසා ගත්තාය.හිස ඇතුළාන්තයෙන් රිදුමක් ගලා එන්නේ තදබල ලෙසම හිතන්නට ගියකලය. 

බිම්සර නිහඬව ඇය දෙස බලාඋන්නේය. සුලෝචනා දෑස් තදකොට පියාගෙන සිටින්නීය.

"චූටි.."

බිම්සර යළි හඬ අවදිකලේය.

"ඔච්චර අමාරුවෙන් කල්පනා කරන්න යන්න එපා චූටි. ඒවා මතක් වෙන වෙලාවක මතක් වෙන්න දෙන්න." 

බිම්සර බොහෝ දයාර්ද හඬකින් පැවසුවේය. සුලෝචනාගේ වැසුණ දෑස් පියන් පත් අතරින් කඳුලක් ගලාගියේය.

ඒ ආමන්ත්‍රණය ජීවිතේ කවදාහෝ කොහේහෝ තමා අසා ඇත. කෙනෙක්හට මතකය අහිමිවීම වේදනාකාරී වන්නේ ඒ ජීවිතය හා බැඳුණු සෙසු අයද දවාලමිනි. බිම්සර උන්නේද ඒ වේදනාත්මක සිතුවිල්ලේ දැවෙමිනි. එහෙත් ඉවසිය යුතුව ඇත. කාලය මෙතුවක් කලාක් මෙන් ඉදිරියටද අසාධාරණ නොවනු ඇත.

පොල් රුප්පාවේ තුරු හිස් මුදුණින් හමායන සුලඟ සිහිලසක් දනවාලයි. බිම්සර මොහොතක් නිහඬව ඇය දෙස බලාඋන්නේය.

"දැන් ඔයාට සනීපයි නේද චූටි?"

බිම්සර ඇසුවේ සෙනෙහස මුසු හඬකිනි.

"මම සුලෝචනා, චූටි නෙවෙයි."

ඇය මඳක් තරහෙන් මෙන් මිමිණුවාය.බිම්සරට සිනහා ගියේ ඒ නෝක්කාඩු බසටය. 

"හරි ඉතින් මම කියන්නේ එහෙමනෙ. දැන් කොහොමද සනීපයිද ? තුවාල එහෙම ඔක්කොම හොඳටම සනීපද?"

බිම්සර ඇසුවේය.

"ඔයා දන්නෙ කොහොමද?"

සුලෝචනා වටකුරු ඇස් තවත් ලොකුකරමින් ඇසුවාය.

"දන්නෙද ...දන්නෙ තමුන්ව හොස්පිට්ල් එක්ක ගියේ මම නිසා.?

බිම්සර පැවසුවේ ආඩම්බරය මුසු හඬකිනි. 

සුලෝචනා මතකය අවදිකරගන්නට මොහොතක් තැත්කලාය.සිහිනෙන් ආ හඬක් මෙන් තමා අතිශය වේදනාකාරී ව උන් මොහොතක යමෙක් ඔසවාගෙන යනු ඇයට මතකය. ඒ ඔහුද ..? එසේ නම් ඒ ඔහුද මේ?

සුලෝචනා ඔහු දෙස බලා උන්නාය.

ක්‍රම ක්‍රමයෙන් සුලෝචනාහට එදා දිනයේ වූ සිදුවීම මතක් වන්නට ඉඩ දෙන්නයැයි ඇයව පරික්ෂා කල මනෝ වෛද්‍යවරයා පැවසුවේ ඇය වික්ෂිප්තභාවයෙන් මෙන් ඉන්නා ආකාරය ප්‍රමුදිතා පැවසූ පසුය.

"එයාව ටික ටික ඒ සිදුවීමට අපිට එක්ස්පෝස් කරන්න වෙනවා. නැත්නම් මේක එයාට සදාකාලිකවම ශොක් එකක්ම වෙයි. ටික ටික මතක් කරන්න. හැබැයි ඒ ඉන්සිඩන්ස් එකේ ෆොටෝස් පෙන්වන කොට පරෙස්සමින්. කම්පනයන්ට ලක්වෙන්න ඉඩ තියන පින්තූර එහෙම පෙන්වන්න එපා."

මනෝ වෛද්‍යවරයා පැවසුවේ ප්‍රමුදිතාටය. ක්‍රම ක්‍රමයෙන් ඒ ගැන සුලෝචනාහට කියනා අතරේ දිනක් බිම්සරගේ රෝහල තුලදී යමෙක් ගෙන මුහුණුපොතට දැමූ සේයාරූ සිය ජංගමයේ ගබඩාකොට ගෙන තබා ඒවාද සුලෝචනාහට පෙන්වන්නට ප්‍රමුදිතා සමත් වූවාය.

"ඔයාව හොස්පිට්ල් එක්ක ගෙන ගියෙ මේ සර් තමා." 

ප්‍රමුදිතා විසින් පෙන්වූ ඒ රුව දෙස සුලෝචනා බලා උන්නේ කිසිදා නොදුටු රුවක් දෙස බලාඉන්නවා සේය.

""මෙයාව දන්නවද ලොකූ?"

රිද්මා ඉගැන්නවූ පරිදි ප්‍රමුදිතා අක්කාගෙන් ඇසුවේ ඒ ගැන මතකයක් ඇයට වේයැයි සිතාය.එහෙත් සුලෝචනා හිස දෙපසට වැනුවේ මතක නැති බව පෙන්වමිනි.

ප්‍රමුදිතා විසින් බංකුව මත තබා ගිය ඇයගේ ජංගමය අතට ගත් සුලෝචනා එහි ගබඩාකල රූ සහිත ෆෝල්ඩරය පිරික්සුවාය. බිම්සර ඇය දෙස නෙත් නොපියාම බලාඋන්නේය. ප්‍රමුදිතා විසින් පෙන්වූ සේයාරූ විවෘත කරගත් සුලෝචනා ඒ රූ දෙසද සාමාන්‍ය ඇඳුමින් ඉන්නා බිම්සර දෙසද මොහොතක් මාරුවෙන් මාරුවට බැලුවාය.ඉන් පසු ඒ රූපයක් ඔහු වෙත හරවා පෙන්වූවාය.

"ඔව් ඔය එදා ඔයාව බලන්න හොස්පිට්ල් එකට ඇවිල්ල යනකොට මොකෙක් හරි අරගත්තු ඒවා වගයක්."

බිම්සර සිනාවූවේය.සුලෝචනා ඔහු දෙස බලා උන්නේ සිනා නොමැති දෑසකිනි.බිම්සර දෙබැම ඔසවා කිමදැයි ඇසූවද සුලෝචනා ඔහු වෙතම රැඳවූ නෙතින් යුතුව උන්නාය.

"පින්"

විනාඩි කීපයක් බලා ඉඳීමෙන් අනතුරුව අවසානයේ එසේ සෙමින් මුමුණා ගත්තාය.

"හ්ම්ම්.."

බිම්සර හිසසලා පිළිතුරු දුන්නේය. 

"සනීපයි කියලා වැඩිය එහෙමෙහෙ තනියම ඇවිදින්න එපා චූටි දැන්ම. පරෙස්සමින් තේරුණාද?"

බිම්සර පැවසුවේ ඔවුන්වෙත එන රිද්මා සහ ප්‍රමුදිතා දෙස බලමිනි.රිද්මා ඈත සිටම මහපටැඟිල්ල ඔසවා පැවසූ දෙයට බිම්සර හිස වනා පිළිතුරු දුන්නේය.

"එහෙනම් සුදු අයියෙ අපි යමු නේද ?"

රිද්මා පැවසුවේ  සුලෝචනාගේ හිසද සෙමින් පිරිමදිමිනි. 

"ලබන සතියෙ කොළඹ යන්න ඕනෙ නේද නියුරොසර්ජන්ගේ අපොයින්මන්ට් එකට."

ප්‍රමුදිතාගෙන් රිද්මා  ඇසුවේ ඒ මොහොතේ සිහිවූවා සේය.

"ඇයි ඌට මෙහෙ එන්න බැරිද? මෙයාව මහන්සි කරගෙන කොළඹ ගෙනියන්න ඕනද?"

බිම්සර ඇසුවේ රිද්මාගෙනි. සුලෝචනා ඇස් ලොකු කොටගෙන මේ පුද්ගලයා කියන්න අසා උන්නාය.

"පිස්සුද මනුස්සයො. ගෙදරකට ඇවිල්ල බලන්න ඕන කාලෙ එයා මා එක්ක ආවා. දැන් මේ යන්නෙ චෙකප්ස් ටික. ඉන්ස්ටෘමන්ට්ස් ඔක්කොම උස්සන් එන්නද කියන්නෙ?"

රිද්මා සැරවූවාය. බිම්සර ඔලුව කසමින් ඉවත බලාගත්තේය.

"සුදු අයියෙ පොඩි ප්‍රශ්නයක් තියනවා. මට එදාට සුලෝචනාව එක්ක යන්න එන්න වෙන්නෙ නෑ. මට ස්පෙෂල් මීටින් එකක්."

රිද්මා ඇස ඉඟිකලේ බිම්සරටය.

"ආ...මම එක්ක යන්න එන්නම්. නංගිත් යනවනෙ?"

ඔහු ප්‍රමුදිතා දෙස බලා ඇසුවාය.

"ඔව් අයියෙ මම එනවා."

ප්‍රමුදිතා පිළිතුරු දුන්නාය.සුලෝචනාහට මේ සැලසුම් කිසිවක්ම  අවබෝධ වන්නේද නැති තරම්ය. සුලෝචනා පත්ව ඇති තත්වයෙන් ඇයව ගොඩගත යුතුව ඇතුවා මෙන්ම බිම්සර පිළිබඳ ඇයගේ මතකයද යළි මතුකරගත යුතුව ඇත. රිද්මා රශිත සමගින් සැලසුම් කලේ ඔවුන් දෙන්නා මුණ ගැස්සවීමේ ක්‍රමයන්ය. ඒ කතාබහක ප්‍රතිපලයක් ලෙස රශිත සුලෝචනා කොළඹ ප්‍රධානපෙලේ පෞද්ගලික රෝහලකදී ඇයව පරික්ෂා කිරීමට යොදාගත්තේය.

"ෆ්‍රී අපොයින්මන්ට් එකක් කියපන්  ඇහුවොත්."

රශිත පැවසුවේ සුලෝචනාගේ අම්මාගෙන් මතුව ආ හැකි ගැටලුව ගැන රිද්මා ඇමතූ වේලාවේය.

"එහෙනම් අපි ගිහින් එන්නම්."

රිද්මා නැගී උන්නේ සුලෝචනාගේ හිසද අතගාගෙනමය. පෙරට අඩිය තැබූ රිද්මා සමගින් ප්‍රමුදිතාද ගමන් කරද්දී බිම්සර හැරී බැලුවේ සුලෝචනා දෙසය.

"එහෙනම් මම ගිහින් එන්නම් චූටි" 

සිය සුරත ඇයගේ හිස මතින් තබා සෙමෙන් පිරිමැදි බිම්සර පැවසුවේ සෙනෙහසැති හඬකිනි. සුලෝචනා හිස නගා තමා අබියස සිටගත් බිම්සර දෙස බැලුවාය. කුමක් හෝ හුරුවක් හිතට දැනුනද ඒ මේ යැයි කියන්නට නොහැකි එකකි.

"බුදුසරණයි."

සුලෝචනා මිමිණුවේ ඇසෙන නෑසෙන හඬකිනි. බිම්සර ඉදිරියට තැබූ පය එතැනම නවතා මොහොතක් ආපසු හැරී බලා උන්නේය. ඇයව තරයේ ළයට තදකොට ගෙන සිපගන්නට හිත කියයි. එතරම්ම හිතුවක්කාර බවක් දැන් දැන් හිතට එන්නේ ඇය ළංළංව ඉන්නා හෙයිනි.එහෙත් මේ ඇයව සුව කරගන්නට වෙහෙසිය යුතු කාලයයි. ඉවසීම තවත් කොපමණ කාලයක් තමා ඇසුරේ තිබිය යුතුදැයි තමන්ටම සිතාගන්නට නොහැක. මේ තරම්ම දෛවය තමා පරීක්ෂාවන්ට ලක්කරන්නේ කිමදැයි බිම්සර සිතුවේ නැවත වාහනය වෙත ඇවිද යන මොහොතේය.

"මොකෝ සුදු අයියෙ. අවුලෙන්ද ?"

රිද්මා වාහනය පදවන අතරේ බිම්සරගේ මුහුණට එබෙමින් ඇසුවාය. ඔහු ඉන්නේ තදබල කල්පනාවකය.බිම්සර සුසුමක් හෙලා සිනාසෙන්නට වෙර දැරුවේය.

"මේ ඉවසීම හරි අමාරුයි නංගි. ඔයා දන්නවනෙ මම දැන් කොච්චර කාලයක් මේ දේ නිසා දුක් වින්දද කියල. කෙල්ලව මෙහෙම ඉස්සරහ තියාගෙන බලන් ඉන්න කොට හිතට මාරම අවුල් බං. ඕන එකක් වෙද්දෙන් කියල මේකිව බඳින්න හිතෙනවා බං. එක්කො අර පරණ මතකය නෑවිල්ලම තිබුණාවේ.මට අලුතින්ම එයා ගැන හිතන්න පුලුවන්නෙ.එයාටත් එහෙම්ම හිතන්න දීලා."

බිම්සර පැවසුවේ නව යෞවනයෙකුගේ නෝක්කාඩුවක් බඳු හඬකිනි.

"මොකක්ද මොකක්ද ඕයි මේ කියවන්නේ. අනේ හලෝ මේ තමුසේ දහ අටේ කොල්ලෙක් වගේනෙ මේ හැසිරෙන්නෙ. මෙච්චර කාලයක් රටක් බේරගන්න යුද්දෙට ගිහින් කට්ට කාපු හමුදා නිලධාරියෙක් මේ හැසිරෙන අන්දම අප්පා අදහන්නවත් බෑ මට නම්."

රිද්මා විහිලුවකට ගත්තේ බිම්සරවය.

"මේ අහනවා සුදු අයියෙ, මෙච්චර අමාරුවෙන් කෙල්ලව ගොඩ දාගත්තු එකේ තමුසෙට බැරිද තව චුට්ටක් ඉවසන්න. තව පොඩ්ඩයිනෙ ට්‍රීට්මන්ට් වල තියෙන්නෙත්. නිකම් ඇයි මෙහෙම දුර්වල වෙන්නෙ."

රිද්මා වහා සිය මුහුණේ ඉරියව් වෙනස්කොටගෙන බැරෑරුම් ස්වභාවයක් ගත්තේ බිම්සරගේ ස්වරූපය දැකය.ඇත්තෙන්ම මේ විහිලු කරන්නට සුදුසු මානසිකත්වයක් නොවන බව ඇයට වැටහුණි.

"එතකොටත් කෙල්ලට මතකය නොආවොත් මොකද කරන්නෙ.?"

බිම්සර ඇසුවේ රිද්මා දෙසට හැරෙමිනි.

"ඕක ලොකු මෙමරි ඉෂූ එකක් නෙවෙයි කියලනෙ දැන් රශිතත් කිව්වෙ. ශොක් එකට ආව ටෙම්පරරි එකක්නෙ. බ්‍රේන් ඩැමේජ් එකක් වෙලා නෑනෙ ඒ කියන විදියට. ඉතින් පොසිටිව්ව හිතමු අපි."

රිද්මා පැවසුවේ විශ්වාසය පිරුණ හඬකිනි.

යලි හමුවෙමු...ස්තුතියි

4 comments:

  1. හ්ම්... මේකත් හරියට කුඩු ගැහුව වගේ. මේ කතාව කියවන්න ඇබ්බැහි වෙනව.

    ReplyDelete
  2. ඉතුරු කොටහත් ඉක්මණින් ඕනේ...

    ReplyDelete