Tuesday, September 21, 2021

13. දහතුන්වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)





 "සුදු පුතේ , ගම් පළාතෙ එන්න එහෙම හිතක් නැද්ද තාම?" 

අප්පච්චීගේ ඇමතුම ආවේ බිම්සර නානකාමරයෙන් පිටට එන අතරේමය. මේ දිනවල අතිශයින්ම කාර්යබහුල වූ හෙයින් අප්පච්චීට ඇමතුමක් දෙන්නටවත් බැරිවූ බව බිම්සරට සිහිවූයේ ඒ මොහොතේමය. සියුම් වරදකාරී හැඟීමක් හිතට එද්දී බිම්සර දුරකතනයට සවන් දෙමින්ම බැල්කනිය වෙත ගියේය.

"මේ ටිකේම උන්නේ ඊස්ටර්න් ගිහින් අප්පච්චි, ඒකයි කතාකරන්නවත් බැරිඋනේ. තාම මේ සිදුවීම් සෙට්ල් වෙලාම නෑනෙ." 

බිම්සර පිළිතුරු දුන්නේ සමාව අයදින ස්වරයෙනි.

"ඒකට කමක් නෑ පුතේ. ගෙදර එන්න ඉස්පාසුවක් නැද්ද තාම?"

අප්පච්චීගේ හඬටම සිත නිවීයන්නේය. කිසිමදාක අප්පච්චී කේන්තියෙන් තරහින් ද්වේශයෙන් කතාකරනු තමාහට ඇසී නැත. ඔහු සමගින් කතාකරන්නාගේ පවා සිත නිවාලන ස්වරයක් අප්පච්චීට වෙයි.

"මම ලබන සුමානේ ඇවිල්ලා යන්න එන්නම් අප්පච්චි."

බිම්සර පැවසුවේ සමුගන්නට මොහොතකට පෙරය. ගම්පියසේ දිනක් දෙකක් ගතකරන්නට බිම්සරට ඇති ආශාව පවා දෙවනි වූයේ සුලෝචනා සම්බන්ධ සිදුවීමේ තත්වයයි. ඉදින් මේ සිකුරාදා ඇයව රශිත හමුවට රැගෙන ගොස් ඉන්පසු ගමේ යන්නට බිම්සර තීරණය කලේය.

අප්පච්චී සමග වූ කතාබහෙන් පසුව බිම්සර දුරකතනයද ගෙන තවත් මොහොතක් සඳැල්ලේ වූ පුටුවට බරව ගත්තේ. වට්ස් ඇප් අයිකනය ක්‍රියාත්මක කරමිනි. සහෝදරයන් හතර දෙනාගේ වට්ස් ඇප් සංවාදයන් සක්‍රියව ඇත්තේ කලකට පෙර මසකය. හතරදෙනාගෙන් එක් අයකු හෝ නැත්නම් වීඩියෝ සාකච්ඡාවන් නොපැවැත්වේ. බොහෝ විට එවිට සැලසුම් වන්නේ කෙටි පණිවුඩයන් පමණි. අනෙක් තිදෙනා අතර කෙටි පණිවුඩ රැසක් , විකාර විහිලු තහලු බෙදාගෙන තිබුණද තමා මාස ගාණකින් ඊට සම්බන්ධව නැති බව බිම්සරට පෙනිණි.රාජකාරිය හෝ කුමක් හෝ නිසාවෙන් තමා අතින් ගිලිහ යන්නේ මේ අත්‍යාවශ්‍ය බැඳීම් නොවේදැයි බිම්සරට පසුතැවිල්ල මැද්දෙන් සිතුණි.

වට්ස් ඇප් ඇමතුමක් යවා මොහොතකින් ලොකු මල්ලීද නිවුන්නන් වූ පොඩි මල්ලිලා දෙන්නාද වීඩියෝ ඇමතුමට එක්වූවෝය.

"කොහොමද කට්ටියම ..කාලෙකින්"

බිම්සර තිරයේ පෙනෙන්නාවූ රූ දෙස බලාගෙනම ඇසීය.

මේ වනවිට , පාසල් අධ්‍යාපනය හමාරකොට විශ්ව විද්‍යාලයට නොගිය ලොකු මල්ලී දිහස් ව්‍යාපාරික කටයුතු හා එක්වී දැන් සාර්ථක ව්‍යාපාරිකයෙකු වී ඇත. පොඩ්ඩන් දෙදෙනා විශ්ව විද්‍යාලයේ පළමු වසරේය.

"හොඳින් ඉන්නව සුදු අයියෙ. මේ ටිකේ පට්ට බිසි ඇතිනේද ? අපි කෝල් නොකලෙත් ඒකමයි."

ලොකු මල්ලී පැවසුවේ සිනාවෙමිනි. කවදත් ලොකු මල්ලී මෙන්ම අනෙක් දෙන්නාද බිම්සරට සැලකුවේ ගෞරවය මුසු සෙනෙහසකිනි.

"අපි නම් දැක්කා ෆොටෝස්"

නිවුන්නන්ගෙන් වැඩිමලා වූ සහස් පැවසුවේ සිනා උතුරනා මුවෙනි. 

"ආපෝ ඕක නම් ඔන්න කියන්න එපා. මට ඇති වෙලා ඉන්නෙ.පාරක බහින්න බෑ ඔය මගුලක් නිසා. මට ඕක ගත්තු එකා අහුවෙනකල් මම මේ බලන් ඉන්නෙ."

බිම්සර පැවසුවේ නොරිස්සුමෙනි. ඒ මොහොතේද ඔහුගේ මතකයට ආවේ සුලෝචනා විසින් පෙන්වූ ප්‍රමුදිතාගේ දුරකතනයේ සේයාරූය. ඇය ඒ මතට ඇඟිලි තබමින් තම මුහුණ නිරීක්ෂණය කල අන්දම ඔහුට සිහිවිය.

"අප්පෝ ඒකට අපිට ..හා නැද්ද චූටො.."

සහස් ...නිවුන්නන්ගෙන් බාලයා යසස්ට පැවසුවේ මුවද අතකින් වසා ගෙනය

"ආයෙ අහල..අපිට ෆැකල්ටි එකෙත් මාර තැන ඔයා නිසා. අනේ කෙල්ලොන්ගෙන් මාර සැලකිලි."

යසස් පැවසුවේ හිනාව උතුරා යන මුවිනි.

"පිස්සු නම් නටන්න එපා දෙන්නා හරිද ?"

බිම්සර සිනහව වලකා ගනිමින් තරවටු ස්වරයෙන් පැවසුවේය.

"එහෙනම් මම ලබන සතිය දිහාට ගෙදර එන්න ඉන්නෙ. ඔය දෙන්නත් එන්න පුලුවන්නම් හොඳයි . මම හෙට කියන්නම්කො එන්නෙ කවද්ද කියල."

බිම්සර ඇමතුම නිමා කලේ එසේ කියමිනි.

වට්ස් ඇප් දුරකතන ඇමතුම නිමාවී මොහොතකින් ලොකු මල්ලී යලිත් බිම්සර වෙත ඇමතුමක් ගත්තේය.

"ඇයි ලොක්කො...ආපහු."

බිම්සර ඇසුවේ සාමාන්‍යයෙන් ලොකු මල්ලී යළිත් ඇමතුමක් ගන්නේ අනෙක් දෙදෙනා මගහැර කතාකල යුතු යමක් ඇත්නම් එය පවසන්නට හෙයිනි.

"සුදු අයියෙ ඔයා මොකක් හරි අවුලක ඉන්න බවක් මට දැනුණා . ඒකයි මම ආයේ ගත්තේ. අර දෙන්නාට ඕවා තේරෙන්නෙ නෑනෙ."

ලොකු මල්ලී සහ බිම්සර අතර හැමදාම  වූයේ සමීප බවකි. වයස් පරතරය අඩුහෙයින් දෙදෙනා අතර පෙරසිටම වූයේ බෙහෙවින් සමීප බවකි.

"ප්‍රශ්න නැත්තෙත් නෑ..ඇත්තෙත් නෑ...ඒ ඔක්කොටම වඩා මගෙ අතින් ඔයාලව නිග්ලෙක්ට් වෙනවද කියල මට හිතුණා ලොක්කො."

බිම්සර පැවසුවේ පසුතැවිලි හඬිනි.

"පිස්සුද සුදු අයියෙ, ඔයා ඔයාගෙ ජීවිතේ ඔක්කොම මගහැරගෙන අපි ගැනයි හැමදාම බැලුවේ. ඉතින් ඔයා ඔය කරන රස්සාව එක්ක ඔයාට තියන වගකීම් ගැන අප්පච්චියි අපියි හොඳටම දන්නවා. පිස්සු නම් හිතන්න එපා ඔන්න."

ලොකු මල්ලී පැවසුවේ බෙහෙවින් දයාර්ද වූ හඬකිනි.

"අපි ඇවිල්ලම කතාකරමු එහෙනම්. යමුද රවුමක් ආවම හතර දෙනා."

බිම්සර ඇසුවේ සුපුරුදු කෙලිලොල් හඬිනි. අයියාගේ සිතේ පැවති පීඩනය සමනය වූ බව ඒ හඬින්ම ලොකු මල්ලී අවබෝධ කරගත්තේය,

"අනිවා යමු...කෑම්පින් එකක් සෙට් කරමුනේ..වෙනදායන පැත්තෙ."

ලොකු මල්ලී ඇමතුම අවසන් කලේ කෙටි තීරණයක්ද දෙමිනි.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

සිකුරාදා උදයේ බිම්සර සුලෝචනාගේ නිවසට පැමිණියේ රිද්මාද සමගිනි. අම්මාහට බිම්සරගේ පැමිණීම වෙනසක් නොවූවද ඔහු පමණක් ප්‍රමුදිතා සහ සුලෝචනා සමගින් කොළඹ යන කතාව අම්මාට දැනුම් නොදෙන්නට සියල්ලෝම වගබලා ගත්හ.

අනවශ්‍ය සැකයක් හෝ ගැටලුවක් ඇතිවිය යුතු නොවේ යයි සියල්ලෝම තීරනය කරගත්තේ අම්මා කලබල කලයුතුනොවන හෙයිනි. 

"එහෙනම් ඇන්ටි අපි ගිහින් එන්නම්.එද්දි ටිකක් හවස් වෙන්න පුලුවන්."

රිද්මා සමුගනිමින් පැවසුවාය. අම්මා ගමනට එක්නොවූයේ රිද්මා සහ ප්‍රමුදිතා සමගින් සුලෝචනා යනහෙයිනි

"එහෙනම් සුදු අයියෙ ඔන්න මම හොස්පිට්ල් එක ගාවින් බහිනවා. ඔයාල යන්න"

රිද්මා සමුගත්තේ එසේ කියමිනි.

බිම්සර සිය නිලරථය භාවිත නොකර පෞද්ගලික ජීප් රථයෙන් පැමිණියේ සුලෝචනා මෙන්ම තමන්ගේද වැඩි පහසුව සහ ආරක්ෂාව පිණිසය.

ප්‍රමුදිතා සමගින් පසුපස අසුනේ හිඳගෙන උන් සුලෝචනා වෙතින් කිසිදු කලබල ස්වරූපයක් ගම්‍ය නොවූ අතර ඇයගේ මානසිකත්වය කුමන ආකාරයක පවතීද යන්න බිම්සරට වටහා ගන්නට නොහැකිවිය. ආගන්තුක අයෙක්ට වුවත් මේ ආකාරයට ඇය රැගෙන යන්නට නොහැකියාවක් නැතිබව ඔහුට කල්පනා විය. ඉදින් මේ අනුව ඇයගේ ආරක්ෂාව සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතු නොවේද?

අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට වාහනය පදවන අතරේ රියෙහි කැසට් රෙකෝඩරය සක්‍රිය කල බිම්සර සිය ඉදිරිපස කන්ණාඩියද පිටුපස අසුනේ උන් සුලෝචනා මැනවින් පෙනෙන ආකාරයට සකසා ගත්තේය.

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ

ඔබෙන් තොර ගීතයක්

ඔබෙන් තොර හීනයක්

ඔබෙන් තොර මාවතක් කොයින්දෝ...

අබේවර්ධන බාලසූරියයන්ගේ ලයාන්විත හඬ රිය තුල නින්නාද අන මොහොතේ බිම්සරගේ නෙත වරින් වර පැටලුණේ සුලෝචනාගේ කල්පනාබර වතෙහිය. ඇය ගීය රස විඳින්නාක් මෙන් දැනුණද ඒ ඇස්වල කඳුලක් බඳු දිලිසීමක්ද බිම්සරට එක්වනම නෙතට හසුවිය.

දකින හැම හීනයක ඔබේ රුව පෙනෙන්නේ'

අසන හැම ගීතයක ඔබ පමණි සිටින්නේ

ඔබ පමණි සිටින්නේ...

ගීතයේ පදවැලක් පාසාම බිම්සර උන්නේ සුලෝචනාගේ නෙත් අතර විටින්විට පැටලෙමිනි. එහෙත් ඇය උන්නේ රිය කවුලුවෙන් ඉවත බලාගෙනය. ගීය අවසානයේ ඇයගේ මුවින් පිටවූ සුසුමේ මහා හැඟීම් ගොඩක් වී යැයි බිම්සරට සිතුණි.


**********************************************************************************

කොලඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රිය ගාලට සිය රථය ඇතුල්කල බිම්සර ප්‍රමුදිතා සිය සොයුරිය සමගින් රියෙන් බසිනාතුරු බලාඋන්නාය.

"යමුද?"

සුලෝචනා දෙස බලාගෙනම බිම්සර ඇසුවේ ඉදිරියට පියවර තබමිනි. ප්‍රමුදිතා අක්කාගේ අතකින් අල්ලාගෙන පෙරට පියවරක් තැබුවාය. රශිතගේ සායන කාමරය වෙත යන්නට විදුලි සෝපානය වෙත පැමිණි පසු සුලෝචනා එක්වනම නංගීගේ අතින් අල්ලාගත්තාය. ඇ‍ය විදුලි සෝපානය භාවිත කරන්නට බිය බව ප්‍රමුදිතාට සිහිවූයේ ඒ මොහොතේය.

"සර්..අයියෙ.." ප්‍රමුදිතාගේ ඇමතුමින් බිම්සර ආපසු හැරී බැලුවේය.

"අක්කා ලිෆ්ට් එකේ යන්න බයයි"

සුලෝචනාගේ වතෙහි වුයේ බියපත් පෙනුමකි.බිම්සර ඇය වෙතට අඩියක් තබා සමීප විය.

"බයද මේකෙ යන්න.අපි තට්ටු පහක් උඩට යන්න ඕනනෙ චූටි. පඩිපෙලේ යන්න බෑ ඒ නිසා."

බිම්සර ඇයට පැවසුවද සුලෝචනා බියපත්ව හිස දෙපසට වැනුවාය.

"මං ඉන්නවනෙ..මාව හයියෙන් අල්ලගන්නකො. බයවෙන්න එපා."

බිම්සර සුලෝචනාගේ අත්දෙකින්ම අල්ලාගෙන තමා වෙතට ළංකොටගත්තේය.

සුලෝචනා උන්නේ දෑස් තදින්ම පියාගෙනය. බිම්සර ඇයගේ බඳ වටා අත්දෙක යවා සිය ගතට ළංකොට ගත්තේය.

සෝපානය ඉහලට ඇදෙන විට සුලෝචනා සිය වත ඔහුගේ ගතට තදකොට ගෙන දෑස් වසා ගත්තාය.

තුරුණු හද පිරීයන්නේ කියාගන්නට බැරි හැඟීමකිනි.එහෙත් බියපත් යුවතිය සම්බන්ධව හිතේ රැඳී ඇත්තේ ඉමහත් වේදනාවක්මය. ප්‍රමුදිතා මේ යුවල දෙස නොබලාම ඉවත බලාගත්තද ඇයගේ සිතෙහි වූයේද සතුටින් පිනුම් ගසන්නාක් බඳු හැඟීමකි.

බිම්සර සෝපානය පස්වෙනි මහලට ආ පසු සුලෝචනා සියගතින් මුදවාලීමටද ඉමහත් ලෝබකමක් දැනුණි. එහෙත් රශිත තමන් එනතුරු බලාසිටී.

"අපි ආවා චූටි..යමු දැන්."

සිය ගතින් ඇය මෑත්කරමින් බිම්සර සෝපානයෙන් ඇය පිටතට ගත්තේය.ප්‍රමුදිතාගේ මුහුණේ වූයේ මඳසිනහවකි. 

සුලෝචනාගේ අතින් අත නොහැර පෙරට යන බිම්සරට ඉඩදී මොහොතක් පසුවූ ප්‍රමුදිතා ඔවුන් දෙදෙනා යන අන්දම ජංගමයේ සේයාරුවකට හසුකරගත්තේය.රිද්මා අක්කාට එය පෙන්විය යුතුමය.

"ඔය ෆොටෝ ගත්තට කමක් නෑ ඕවා හතර වටේ පෙන්වනව එහෙම නෙවෙයි හරිද?"

බිම්සර ආපස්සට හැරී බලමින් පැවසීය.ප්‍රමුදිතා තිගැස්සී ගියේ බිම්සරගේ හඬිනි.

“කොහොමද දැක්කේ ?“

ප්‍රමුදිතා සිනාවෙමින් ඇසුවාය.

“මම කොටි එක්කත් හැප්පිච්ච මිනිහෙක් හරිද නංගි?...හොඳ කල්පනාවක් ඇතුව තමයි කොතන ගියත් අපි.”

බිම්සර ප්‍රමුදිතාට ඉදිරිපස ඈතින් වූ වීදුරු ජනේලය පෙන්වා එහි දිස්වෙන ඔවුන්ගේ පිළිබිඹු දැක්වීය.

රශිත උන් සායන කාමරයට පිවිසි බිම්සර සුලෝචනා අසුනක හිඳුවා පසෙකින් හිඳගත්තේය,

"ඉතින් ඉතින් කොහොමද නංගි ඔයාට?"

රශිත ඇසුවේ නිහඬ සිනාවකින් බලාඉන්නා සුලෝචනා දෙස බලමිනි. 

"සැපදුක් අහ අහ ඉන්න නෙවෙයි එක්ක ආවේ. ටෙස්ට් ටික කරල අපිට යන්න දීපන්"

බිම්සර තදකොටගත් දත් අතරින් ගෙරවීය.

"දැක්කා නේද චූටි නංගි, මූ දැන්ම අයිතිකාරයා වෙලා."

තවතවත් බිම්සරව අවුස්සමින් රශිත පැවසුවේ සුලෝචනාටය.

"යකෝ අයිතිකාරයා උනේ කොයිකාලෙද කියල උඹට මම අලුතින් කියාදෙන්න ඕනද?"

බිම්සර පසෙකට වී සිනාසෙන හෙදිය දෙසත් හොරැහින් බලමින් ඇසුවේය.

ප්‍රමුදිතා මේ සියල්ල බලා උන්නේ සිනාමුසුවය. තමා නොදන්නා සුන්දර කතාවක් අක්කාට සහ බිම්සර අයියාට තිබී ඇති බව පමණක් ඇයට දැනේ.

විවිධ පරීක්ෂණ රාශියකට පසුව ප්‍රමුදිතා කැඳවා සුලෝචනා කාමරයෙන් පිටතට යැවූ රශිත අසුනට යළි බරවූයේ සුසුමක්ද හෙළමිනි.

බිම්සර විමසුම් ඇසින් ඔහු දෙස බලා උන්නේය.

"මචං, ඇත්තෙන්ම කිව්වොත් Brain function වල නම් මොකුත්ම අවුලක් නෑ. ඒත් shocking attack එකේ බලපෑම තාම මෙයාට තියෙන්නෙ. අපිට සයිකියෑට්‍රිස්ට් කෙනෙක්ගෙන් තවදුරටත් ඇඩ්වයිස් ගන්න වෙනවා."

රශිත පැහැදිලි කලේ පවත්නා තත්වය බිම්සරට අවබෝධ කරදෙමිනි.

"ඉතින් ඇයි සයිකෑට්‍රිස්ට් කෙනෙක්ව ඕන වෙන්නෙ.?"

බිම්සර ඇසුවේ සුලෝචනාගේ පිටතට පෙනෙන්නට මානසික වියවුලක් නොමැති වූ හෙයිනි.

"මෙහෙමයි මෙන්ටල් ඉශූ එකක් ම නෙවෙයි . ඒත් මේක අයිතිවෙන්නෙත් PTSD ගණයට. මේකෙදි එයා මුහුණ දුන්න වාතාවරණය එයාට කොච්චර බලපෑවාද යන්න හොයාගන්න වෙනවා. අනෙක මේකෙදි අපිට සමහර වෙලාවට නංගිව එක්ස්පෝස් කරන්නත් වේවි සමහර දේට. අපි අද ආව එකේම මගෙ යාලුවෙක් ඉන්නව පෙන්නගෙනම යමුද ?"

රශිත ඇසුවේ බිම්සර දෙස බලමිනි. සිය නළලත ඇඟිලි තුඩගින් තෙරපා හරිමින් උන් බිම්සර හිස වැනුවේ අනුමැතිය දෙමිනි.

රශිත විසින් යොමු කල මනෝ වෛද්‍යවරයා හමුවන්නට බිම්සර සුලෝචනාද කැඳවාගෙන ගියේය. 

සිදුවීම් දාමයේ සියලු විස්තර එකින් එක විස්තර සහිතව වටහාගත් වෛද්‍යවරයා ප්‍රමුදිතාගෙන් අක්කාගේ වර්තමාන දින චර්යාව ගැන සවිස්තරව කරුණු විමසුවේය. 

"අපිට ප්‍රතිකාර පටන් ගන්න වෙනවා දැන්ම. නමුත් සති දෙකකට මම බෙහෙත් ටිකක් දෙන්නම්. ඒක අරගෙන අපි ආයෙ සති දෙකකින් හම්බ වෙමු. අනෙක් ට්‍රීට්මන්ට් පටන් ගන්න."

ඇත්තෙන්ම පැය ගානක් තිස්සේ පරීක්ෂණ වලට මුහුණදෙමින් සුලෝචනා උන්නේ බෙහෙවින්ම හෙම්බත්වය.

"අපි ටූ වීක්ස් වලින් ආපහු එන්නම් එහෙනම් ඩොක්ටර් . තැන්ක් යූ සෝ මච්."

බිම්සර සුලෝචනා පෙරටු කොටගෙන කාමරයෙන් පිටවිය. හුරුවට පුරුද්දකට මෙන් ඒ යන එන හැම වතාවකම සුලෝචනාගේ සුරත තිබුණේ බිම්සරගේ අත තුල පැටලීගෙනය. ඇයටද එහි නුහුරක් නොවූයේ විදුලි සෝපානයේ සිටම ඔහුගේ ස්පර්ශය ඇයට පහසුවක් වූ හෙයිනි. 

"අපි එහෙනම් ආයෙ සති දෙකඉන් එන්නෙ මචං"

බිම්සර රශිතගෙන් සමුගනිමින් පැවසීය.

"බයවෙන්න එපා ඕක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි."

රශිත බිම්සරගේ වතෙහි වූ නොසන්සුන් බව වටහාගනිමින් පැවසීය. 

"මම රිද්මාට කියල ගෙදර අයව දැනුවත් කරවන්නම් මේ තත්වය ගැන. එහෙනම් නංගි පරෙස්සමින් ගිහින් එන්න."

සුලෝචනාහට ද සමුදෙමින් රශිත පැවසීය.

"අක්කට බඩගිනිද?"

ප්‍රමුදිතා සෙමින් මෙන් ඇසුවේ සුලෝචනා රියට ගොඩවූ වහාම වතුර බෝතලය බීගෙන යනු දුටු හෙයිනි.

ඇය හිස දෙපසට වනා නැතැයි පැවසුවාය.

"බඩගිනිත් ඇති තෙහෙට්ටුත් ඇති. අපි කාලාම යමු නංගි."

බිම්සර රිය පණගන්වමින් පැවසුවේය. කොළඹින් ඈත්ව උස්වැටකෙයියාව මාර්ගයේ මඳක් දුර ධාවනය කල රථය මුහුදු වෙරල අයිනේ වූ නිස්කලංක අවන්හලකට හැරවූ බිම්සර කලින් වෙන් කරවාගත් කුඩා කබානාවේ කෑම මේසය වෙතම අක්කා නගෝ දෙදෙනාව එක්කරගෙන ගියේය.

"මම ඇතුලට ගිහින් මූන සෝදන් එන්නම් . දෙන්නම මේකෙ වොශ් රූම් එකෙන් මුහුණ කට සෝදගෙන කෑම මේසෙට එන්න."

බිම්සර ඔවුන් එතුලට හැරලවා ආපසු ඉක්මනින් එන්නට ගියේය.

ප්‍රමුදිතා සහ සුලෝචනා මුහුණ කට සෝදාගත්තේ දවසක්ම පසුවූ අපහසුතාවයෙන් මිදෙමිනි. කෙතරම් සුව පහසු වුවද කොලඹ නගරයේ ගොඩනැගිලි අතරේ දැවෙන කටුකබව ඉතින් ගතට මෙන්ම සිතටද වෙහෙසක්මය.

"දැන් හවස් තුනටත් කිට්ටුයි. ඉක්මනින් කමු."

බිම්සර කෑම මේසයට ඉඳගත්තේ ආසාවෙන් මුහුද දෙස බලාඉන්නා සුලෝචනාට පවසමිනි.

"ඉස්සර ඉතින් මාසෙකට පාරක් හරි අපි බීච් එකට යනවනෙ අයියෙ. දැන් ඉතින් අක්කට කාලෙකින් යන්න උනෙ නෑනෙ. ආස ඇති."

ප්‍රමුදිතා අක්කාගේ පිඟානට කෑම බෙදමින් පැවසුවාය.

"අව්ව අඩුවුනාම බීච් එකට ගිහින්ම යමු එහෙනම්. අම්මට කෝල් කලාද නංගි. හවස් වෙනවට බයවෙන්න එපා කියන්න."

බිම්සර නිසොල්මනේ කෑම ගන්නා සුලෝචනා දෙස බලමින් පැවසුවේය. ඇය තමාගේ අදරය පමණක් නොව වගකිමද බව දැන් ඉතින් තමාට වැටහේ.

අම්මා අමතා ආපසු පැමිණීමට සවස් වන බව පැවසූ ප්‍රමුදිතා අක්කාට බිම්සරගේ ඇසුරෙහි සිටින්නට ඉඩ සලසා දෙමින් මොහොතකට පසෙකට වූවාය.ඊට මොහොතකට පෙර සුලෝචනා දවස පුරාම පරීක්ෂණ වලට යෙදවූ හෙයින් අධික වෙහෙසින් යුතුව උන් නිසාම මඳකට ඇතුල් කාමරයක ඇඳෙහි සැතපුණාය. ඒ මොහොතේ බිම්සර ප්‍රමුදිතා සමගින් කතාබහට එක්විය.

"ඔයා මේ වෙද්දි සමහරක් දේවල් දන්නවා ඇතිත්නෙ නංගි. නමුත් මට ඔයා එක්ක යම් යම් කාරණා ටිකක් මේ වෙලාවේ කතාකරන්න ඕනෙ. මොකද ඉස්සරහට කරන කියන හැම දෙයක්ම වෙන්නේ ඒ අනුවයි."

බිම්සර බැරෑරුම් හඬකින් කතාව ඇරඹීය.ප්‍රමුදිතා නිහඬවම ඔහුගේ හඬට සවන් දුන්නාය.

"අක්කයි මායි අතරේ ඇත්තෙන්ම කටවචනයකට කතා වුණ ආදරයක් තිබ්බෙ නෑ නංගි. ඒත් අක්කා වගේම මාත් දැනගෙන උන්නා අපි දෙන්නගේ ජීවිතයේ අපි දෙන්නට විශේෂ තැනක් තියන බව . ඒත් ඒ වයසෙදි ඒක මේ තරම් මගෙ හිතට තදින්ම බලපාපු එකක් වෙයි කියල මට තේරුණේ නෑ. ඒත් ඔයාගෙ අක්කා එක පාරටම අතුරුදහන් වුණාම මම පිස්සෙක් නොවී බේරුණෙත් මගේ හමුදා රැකියාවට පින්සිද්දවෙන්නයි.

අක්කයි මායි අතරේ තිබුණ දේ දන්න හොඳම කෙනා තමා දැන් අක්කව බලන ඩොක්ටර් රශිත. නමුත් නංගි අක්කාගේ මේ ගැටලුව නිසා එයාට මාව කවදාවත් ආයේ මතකයට නො එන්නත් පුලුවන්. එහෙම උනත් , මගේ තීරණය වෙනසක් වෙන්නෙ නෑ ඔයාගේ අක්කා ගැන.”

බිම්සර පැවසුවේ සිනහාවෙන්නට උත්සාහ දරමිනි.

“අයියේ....අක්කා කිසිම දවසක ඔයා ගැන අපිට කියල නෑ. මායි අක්කයි අතර තිබ්බෙ ලොකු වයස පරතරයක්නෙ. ඒ කාලේ මම පොඩි නිසා අක්කා මා එක්ක ඕවා කතාකරන්න නැතුව ඇති.නමුත් කාලයත් එක්ක මට තේරුණා අක්කා ඉන්නේ ලොකු දුකක් හිතේ තදකරන් කියලා. ඒ වගේම එයාගේ ඇස්වල මොකක්දෝ බලාපොරොත්තුවක් හැමදාම තිබුණා කියල මට දැන් හිතෙනව අයියේ. “

ප්‍රමුදිතා පැවසුවේ මතකය යළි අලුත් කරමිනි.

"එතකොට අක්කාට ඔය කාලෙන් පස්සෙ කිසිම සම්බන්ධකමක් වත් තිබ්බෙ නැද්ද? ගෙදරින් අක්කට යෝජනාවක් එහෙම ආවේ නැද්ද ?"

බිම්සරගේ ප්‍රශ්න පත්‍රයට ප්‍රමුදිතාට සිනායන්නට ආවද ඇය එය වලකා ගත්තාය.

"මම එහෙම ඇහුවට නංගි වරදවා හිතන්න එපා. ඇත්තටම අක්කා වෙන කෙනෙක් එක්ක එෆයාර් එකක් තිබ්බා නම් හරි, බැඳලා උන්නා නම් හරි මම අක්කාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල තීරණයක් අරන් උන්නෙ කොහොමත්. ඒත් මට දැනුවත්ව නම් එහෙම දෙයක් තේරුණේ නැහැ."

බිම්සර සිය අදහසට කරුණු එකතුකලේය.

"අක්කාට කිසිම එෆයාර් එකක් තිබ්බේ නම් නෑ කියන එක මම සහතිකවම දන්නවා අයියේ. අපි ගමේ ඉන්න කාලේ අක්කාට ප්‍රොපෝසල් එකක් ආවා. අපේම නැන්දාගේ පුතාව. අක්කා කොහෙත්ම ඒකට කැමතිඋනේ නෑ. ඒ අයියා නරක කෙනෙකුත් නෙවෙයි. ඒත් අක්කා කීවෙම මට ඔය කිසිම එකක් එපා කියලමයි. එයා හේතුවක් කිව්වෙ නෑ කිසිම වෙලාවක."

ප්‍රමුදිතා මතකය අවුස්සාලමින් පැවසුවාය.

"මට අක්කා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ නංගි."

බිම්සර ප්‍රමුදිතාට පැවසුවේ ඒ මොහොතේමය.ඔවුන් දෙදෙනාට සමීපවන්නට ඉඩ සලසා දියයුතු බව ඇයට වැටහෙමින් තිබුණි.ඇය ඔවුන්ට කතාකරන්නට ඉඩදී ඇතුල් කාමරයට වැදුණේ නිදිමත බව පවසමිනි.


********************************************************************************************************

යළි හමුවෙමු 

(විසිරි )

8 comments: