Thursday, September 23, 2021

14. දහ හතර වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)

 



"චූටි අපි බීච් එකට යමුද ? ඔයා ආසයි කිව්වනෙ"

බිම්සර ඇසුවේ කබානාවේ දොර අසල හිඳ පිටත බලා සිටින සුලෝචනාගෙනි. නංගී ඇතුලත නිදි බව දන්නා නිසා සුලෝචනා මොහොතක් පැකිලුණාය.

"නංගි පව්නෙ.ටිකක් නිදාගන්න දෙමු." 

බිම්සර ඇසුවේ ඇය අසලට යමිනි. සුලෝචනා මුහුද දෙස බලා උන්නේ දිලිසෙන දෑසිනි.

ඒ දෑසේ දිලිසුමෙන්ම ඇය මුහුදට කොපමණ ආසාදැයි බිම්සරට වටහාගන්නට හැකිවිය. ඔහු සෙමින් මිදුලට බැස්සේ ඇඳ උන් ඩෙනිම් කලිසමේ කකුල් දණට නවමිනි. සුලෝචනා ඔහු පසුපසින් පියවර තැබුවාය. කබානාවේ සිට මුහුදට ඇති දුර යාර විස්සක් තිහක් පමණ විය.

සුදු පැහැති වැල්ලේ පා ඇඟිලි එරෙමින් මඳක් අපහසුවෙන් ගමන් ගන්නා සුලෝචනගේ ගමන දෙස බලා බිම්සරට සිනහා පහල විය. 

තාර පැටියෙක් වගෙ.ඇවිදින හැටි

ඔහු තමන්ටම කියාගත්තේය.

"එන්න මගෙ අතින් අල්ලන් යමු."

බිම්සර ඇයට අතපෑවේය. 

සුලෝචනා මොහොතක් ඔහුගේ මුහුණ දෙස බලාහිඳ අතකින් අල්ලාගත්තාය.

"මුහුදට ආසද?"

බිම්සර ඇසුවේ මුහුද දෙස බලාගෙන සිටිනා ඇයගේ දෑසේ මතුවන සජීවී බව දැකය. සුලෝචනා හිස වැනුවේ ඔව් කියන්නට මෙනි.

"මම එක්ක එන්නම් පුලුවන් දවසට."

බිම්සර ඈත බලාගෙනම පැවසීය. සුලෝචනා ප්‍රශ්නාර්ථයක් රැඳි මුවින් ඔහු දෙස මොහොතක් බලා උන්නාය. 

"ඇයි...මම එක්ක එන්න කැමති නැද්ද චූටි?"

බිම්සර සිය අතින් අත මුදාගන්නා ඇයගෙන් ඇසුවේ බොහෝ මුදු හඬකිනි. ඇත්තෙන්ම ඔහුට තමාගේ ස්වරයම එක අතකට පුදුමයකි. කෑ ගසා බැන වැදෙමින්ම වැඩි කාලයක් ගතකරන්නට වන කඨෝර දිවියේ තමන්ට තමන් අමතකව ගොස් බොහෝ කාලයක් ගතවී හමාරය.

සුලෝචනා බිමට නැවෙමින් පාට පාටැති සිප්පි කටු අහුලන්නට වූවාය. බිම්සර දෑත ළය මත බැඳගෙන ඇය දෙස බලාඋන්නේය. සිහින් රළක් පෙරලෙමින් අවුත් ඇය දෙපා මත බිඳී යයි. බිම්සර අඩියක් දෙකක් මෑත්ව ඉදිරියට ඇවිද ගියේය. සුලෝචනාගේ අතක් සිය සුරතේ දැවටෙන තුරුම ඔහු සෙමින් ඉදිරියට ඇවිද ගොස් තිබුණි.

"ඇයි චූටි?"

සිය අතෙහි පැටලුණ ඇය දෙසට බිම්සර හැරුණේ පුදුම වෙමිනි.

"යන්න එපා.මට බයයි."

සෙමින් පැවසූ ඇය යළිත් බිමටම බරව ගත් නෙතින් යුතුව සිප්පිකටුවක් ඇහිඳගත්තාය.

"ආයෙ යන්නෙ නෑ චූටි.ආයෙ ඔයාව දාලා කොහෙවත් යන්නෙ නෑ මම."

බිම්සර ඇයගේ හිස මතට අතක් තබා පැවසීය.

වර්ණවත් සිප්පිකටු දෝතක් අහුලාගත් සුලෝචනා සිය ගවුම් සාක්කුවේ ඒවා දමාගත්තාය. විනාඩි ගතව යත්ම බිම්සර සිය අත රැඳි ඔරලෝසුව දෙස බැලුවේ නිවෙස වෙත ඔවුන් ඇරලවා ලිය යුතු හෙයිනි.

"අපි යමුද චූටි. ඔයාගෙ අම්මා කලබල වෙයි තව රෑ වුණොත්."

බිම්සර සුලෝචනා වෙත අත පෑවේ එසේ කියමිනි. එකිනෙකා අතින් අල්ලාගෙන ආපසු එන දෙදෙනා දෙස ප්‍රමුදිතා බලා උන්නේ බොහෝ සතුටිනි. බිම්සරගේ වතෙහි වූයේ හැමදාම පවත්නා ලා මදහස පමණි. අක්කා සතුටින් බව පෙනෙයි.

"මූදෙ නැටුවද ඉස්සර වගේ.?"

ප්‍රමුදිතා අක්කාගේ උරහිස් දෙකෙන් අල්ලා ගනිමින් ඇසුවාය. 

"මේන්.."

සාක්කුවෙන් ගත් සිප්පි කටු අහුර ඇයට පෙන්වමින් සුලෝචනා සිනහවක් පෑවාය.

"මෙයා ඉස්සරත් ඔහොමයි අයියෙ.අපි එක්ක ගියාම බෑග් එකක් අරන් සිප්පි කටු අහුලන එකට වඩා වෙන වැඩක් එයාට නෑ."

ප්‍රමුදිතා පැවසුවේ අක්කා දෙස ආදරය මුසු බැල්මකින් බලමිනි.

සුලෝචනාලා එන පෙරමග බලාඋන්නේ අම්මාය. ඔවුන් නිවසින් බස්සවා ආපසු යන්නට සැරසෙන බිම්සර වෙතට ආ අම්මා පැවසුවේ රාත්‍රී ආහාරයද රැගෙන යන ලෙසය.

"අනේ ඉතින් මෙච්චර උදව්වක් කලාට පස්සෙත් සර් කෑම ටිකක් නොකා මේ රෑ යවන එක මගෙ හිතට හරි නෑ. මම ඉක්මනින් කන්න ටිකක් උයන්නම්."

අම්මා ඇවිටිලි කලද බිම්සර ආපසු යායුතුව තිබුණේ පසුදින නුවර එළියේ පිහිටි සිය නිවසට යායුතු බැවිනි.

"අනේ අද බෑ අම්මේ, මම හෙට උදෙන්ම නුවරඑලි යන්න ඕන මගෙ ගෙදර. ඉතින් තව රෑ වෙලා කොලඹ යන එක කරදරයි මට. වෙන දවසක එන්නම් කාලා යන්න."

බිම්සර සමුගත්තේ එසේ කියමිනි. සුලෝචනා ආලින්දයේ කණුවකට හේත්තු වී ඔහු යන මග බලා උන්නාය.

"මම ගිහින් එන්නම්."

බිම්සර ඇය ආසන්නයට පැමිණ පැවසුවේ මන්ද්‍ර ස්වරයකිනි.

"පරෙස්සමින් ගිහින් එන්න.බුදුසරණයි."

සුලෝචනාගේ මුහුණේ ඇඳීතිබූ සුන්දර සිනහව දෙස බිම්සර මොහොතක් බලා උන්නේය. ඉන් පසු ඉක්මනින් දුව ගොස් රියට නැග්ගේ අතීතය මත්තේ හිතේ නැගෙන්නාවූ කෙලිලොල් බව මතිනි.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

උදෑසනින් රත්නායක සමගින් නුවර එළිය බලා ගමන් ඇරඹූ බිම්සර උදෑසන දහය පමණ වන විට නිවෙසට ලඟාවූවේය. අප්පච්චී නිවසේ ආලින්දයට වී පෙරමග බලා උන්නේ ඔවුන් එනමගය.

ගේට්ටුව විවර කරන්නට පෙරමගට දිව ආවේ වත්තේ වැඩකටයුතු බලාගන්නා ආනන්දය. 

"කොහොමද ආනන්ද..? කාලෙකින් නේ."

බිම්සර රියෙන් බැස්සේ ආනන්දට පහරක් සෙමින් ගසමිනි.

"කාලෙකින් කියන්නෙ මාස කීයකින්ද සුදු මහත්තයා මේ." 

ආනන්ද බිම්සරගේ බෑගය පිටතට ගත්තේ එසේ කියමිනි. 

"රත්නායක මොකද කරන්න හිතන් ඉන්නෙ. ගෙදර යනවද  මෙහෙම්ම."

බිම්සර ඇසුවේ රියෙන් බැස වටපිට බලමින් ඉන්නා රත්නායකගෙනි.

"මම ගෙදර ගිහින් එන්නම් සර්. මහ දුරක් නෙවෙයිනෙ. සර් එන්න කිව්ව ගමන් පැය බාගෙන් මම මෙතන."

රත්නායකගේ නිවෙස තිබුනේ නුවර එළිය නගරයේ සිට සැතපුම් ගණනක දුරින් හෙයින් බිම්සර නිවෙසට පැමිණෙන දිනවලම ඔහුද නිවෙස බලා යන්නට හුරුව තිබුණි.

"කොහොමද යන්නෙ. ට්‍රයිශෝ එකක් කතාකරල දෙන්නද ?"

තාත්තා ඇසුවේ මිදුලට බසිනා ගමන්ය.

"නෑ සර්, අපෙ මස්සිනා මේ ලඟට ඇවිල්ල ඉන්නෙ. එයා මාව එක්ක යන්න එනවා කිව්වා. මම පාර අයිනට යන්නම්."

බිම්සරගෙන් සමුගත් රත්නායක පාර අද්දරට පිය එසෙව්වේ ආනන්දටද සිනහවක් පාමිනි.

දසත ගලායන සීතල සුලඟ ඇඟේ හීතුඩු අනින්නාක් බඳුය.

"සුදු පුතා ගෙට එන්න. සුමනම්මා කෑම ලෑස්ති කරලත් තියෙන්නෙ.මෙහෙම්ම කනවද? මල්ලිල එනකල් ඉන්නවද?"

අප්පච්චී ඇසුවේ තවමත් මිදුලේම ඉන්නා බිම්සරගෙනි.

"කොහෙද තුන්දෙනාම ගියේ.?"

බිම්සර අප්පච්චී දෙස බලමින්ම ඇසුවේය. 

"ඔයා එනව කිව්වම ඉතින් තුන්දෙනාට ගෙදර තියන බඩු මදිවෙනවනෙ. හිතන් ඉන්නෙ අයියා ඉන්නෙ කන්න බොන්න නැති තැනක කියල."

අප්පච්චී උස් හඬින් සිනහාසුණේය. 

"වොෂ් එකක් දාගන්න ඕනෑ අප්පච්චි. මම මල්ලිලා එනකල් පොඩ්ඩක් හාන්සිවෙලා ඉන්නද?"

බිම්සර ඇසුවේ පුවත්පත අතට ගන්නා අප්පච්චීගෙනි.

කෙතරම් වැඩිමහලු වුවද තාමත් අප්පච්චීගෙන් අසා අවසර ගන්නට පොඩි පොඩි දේවල් බොහොම මේ පවුලේ ඉලන්දාරින්ට ඇත.

"යන්න , අන්න සුමනම්මා කාමරේ ලැහැස්ති කලා. මම මල්ලිලා ආවම කතාකරන්නම්."

අප්පච්චී දයාබර සිනහවක් පාමින් පැවසුවේය.

සුමනම්මා සයනයට සුදු තිර ඇතිරිල්ලක් දමා කොට්ට උරද අලුතින් දමා ඇත. ඇයගේ කවදත් සුපුරුදු සැවැන්දරා මුල් සුවඳ කොට්ට උර වලින්ද හමා එයි. කාමරයේ උණුසුම් කරණය අවශ්‍ය ගණනට සකසාගත් බිම්සර ඇඳට වැටුණේ දෑස් පියාගනිමිනි. 

"සුදු අයියේ..."

යාන්තමින් උරහිසට දැනුණු ස්පර්ශය සමගින් බිම්සර ඇස් හැර බැලුවේ තමා ඉන්නේ කොහේද කියා එක්වනම  සිතාගන්නට නොහැකිවය.

ලොකු මල්ලීගේ සිනාසපිරි මුව හිසට උඩින් තම වෙතට එබී ඇත. බිම්සර කම්මැලි සිනහවක් පාගෙනම ඇඳෙන් නැගී උන්නේය.

"නින්දක් ගියානෙ.කොහෙද කට්ටියම ගියේ?" 

බිම්සර ලොකු මල්ලීගේ කරට අතදමාගෙනම කාමරයෙන් පිටට එමින් ඇසුවේය. 

ලොකු මල්ලී මුවට ඇඟිල්ල තබා ශ්..යයි පැවසුවේය. ඇසක් ඉඟිමරා කියන්නට යන දේ වැටහුණද බිම්සර සිනහාවෙමින්ම ඔහුගේ උරහිසට පහරක් ගැසුවේය.

එදා කාලයකට පසු සේනානායක නිවසේ කෑම මේසය සතුටින් සිනහවෙන් උතුරාගියේය. පොඩ්ඩන් දෙන්නා හරි හරියට කියවන්න ගත්තේ විශ්ව විද්‍යාලයේ තොරතුරුය. බිම්සර සිතේ සියලු පීඩාවන් දුරුකරගෙන ඔවුන් ඇසුරේ නිදහස් සතුටක් වින්දේය. සුමනම්මාගේ රසවත් ආහාර කාලයකට පසු කුස පුරා පිරවිණ.

“අනේ සුදු මහත්තය , මොකක්ද ඔය කන හැටි. කුකුලෙක් අහුලන් කනවා ඔයිට වඩා හොඳට.”

සුමනම්මාට බිම්සර කොච්චර කෑවද මදිය.

“අම්මෝ තවත් නම් කන්න බෑ සුමනම්මා, මම බඩ පැලිලා මැරෙයි.”

බිම්සර අසුනෙන් නැගිට්ටේ එසේ කියමිනි.

“රටක රාජ්ජයක ඉන්නව. හරියකට කන්න බොන්නවත් හම්බවෙනවද දන්නැතුව මගේ හිත ගින්දරෙන් ඉන්නෙ කොයිවෙලෙත් රත්තරනේ.”

සුමනම්ම්මාගේ ආදරය බිම්සරගේ හිත කරුණාවෙන් දියකර හැරියේය. ඔහු ඇය වෙතට ගොස් ඇයගේ උරහිස වටා අතදමා හිස අතගෑවේය.

“දැන් යුද්දෙ කාලෙ වගේ නෙවේනෙ සුමනම්මා. පහසුකම් හොඳට තියන තැන්වල අපි දැන් ඉන්නේ. ඒ නිසා මම කන්නෙ බොන්නෙ නෑ කියල ඔයා දුක්වෙන්න එපා හොන්දද?”

බිම්සර ඇයව මුදාහැර ආලින්දයට ගියේ සුමනම්මා ඇඳසිටි වතින් ඇස කඳුල තෙත මාත්තු කරන මොහොතේය.

*************************************************************************************

"දැන් කොහොමද හෙට වැඩසටහන?"

බිම්සර ලොකු මල්ලීගෙන් ඇසුවේ ආලින්දයේ අසුනකට බරවෙමිනි. ඈත කඳුයායම වසාගෙන සිහින් මීදුමක් ගලා එනු ඒ දෙස නෙතු යොමා ඉන්නා බිම්සරට පෙනුණි. ඒ මොහොතේද ඇය ඔහුගේ දෑස් පියන් යට අනවසරයෙන් ලැගුම් ගන්නට අර අඳින්නාක් සේ බිම්සරට දැනෙන්නට විය.

"අපි උදෙන්ම යමු නේද සුදු අයියෙ. රත්නායකට එන්න කියනවද ? අපි වාහනේ අරන් යමුද?"

ලොකු මල්ලී ඇසුවේය.

" ඌ ගෙදර ආවෙත් කාලෙකින්නෙ ලොකු මල්ලි, ඔන්න ඔහේ උන්ට ඉන්න දීලා අපි අරන් යමු. ඔය දෙන්නටත් දැන් ලයිෂන් තියෙනවනෙ නේද?"

බිම්සර ඇසුවේ පඩිපෙලේ හිඳගෙන ඉන්නා පොඩ්ඩන්ගෙනි. 

"ආපෝ මුන් දෙන්නට නම් අල්ලන්නවත් දෙන්න එපා ඕක. මගෙ වන්ඩිය කිපාරක් හැප්පුවද ලයිට් කණුවල.”ලොකු මල්ලී පැවසුවේ සිනාවෙමිනි.

" ඩ්‍රයිවින් කරනකොට පුලුවන් තරම් ගහක ගලක වුණත් වද්දගන්නෙ නැතුව යන එකයි දක්ෂකම.ඒ ගහක් ගලක් උනත් මනුස්සයෙක් කියල හිතන්න පුරුදු වෙන්න. එතකොට පරෙස්සම්." බිම්සර පැවසුවේ පොඩි මල්ලිලා දෙන්නාටය. තවමත් ඔවුන් ඉන්නේ නාහෙට නාසන යොවුන් වයසේය. ඉතින් වාහනයක් අතට ගත්විටද ඒ ජවය ඉබේම එන්නේ ඉස්සරහටය. එය පහදාදී කියාදියයුතුම පාඩමකි.

බිම්සරට මල්ලිලා තිදෙනාම බෙහෙවින් ලෙන්ගතු වුවද සැලකුවේ ඉතාම ගෞරවය මුසු හැඟිමකිනි. එහෙයින් දෙවෙනියා සමග මෙන් නොව කිසිම කාරණයකට කටගසාගෙන යාමක් ඔවුන් ගෙන් නොවීය.

"මම ඕක කිව්ව නම් සුදු අයියෙ මුන් දෙන්නා ඕකට දාහක් ජාති කියල මෙලහකට"ලොකු මල්ලී හිනැහුණේ පොඩි දෙන්නා බිම්සරට පාමිනි.

"අනේ අපි එහෙම නෑ සුදු අයියෙ. හරි ඉතින් සැරයක් දෙකක් චුට්ටක් වැදුණා තමා. එච්චර ලොකු ඩැමේජ් එකක් උණේ නෑනෙ." යසස් පැවසීය. 

"අප්පච්චි කෝ ලොකු මල්ලි" බිම්සර ගෙතුලට එබෙමින් ඇසුවේය. 

" අප්පච්චි කාල ඉවරවෙලා පොඩි නැප් එකක් දාන්න යනව හැමදාම. " ලොකු මල්ලීට කලින් පොඩ්ඩෙක් ඉස්සර විය.

" මම පොඩ්ඩක් ඇල්ල දිහාට ගිහින් එන්නම්. කාලෙකින් ගියෙ නෑ." බිම්සර අසුනෙන් නැගී උන්නේ එසේ කියමිනි. 

" යමු එහෙනම්. ඔය දෙන්නා වැඩක් කරගන්න . හෙට අනිද්දා දෙකම ඇවිදින්න යන්න පුලුවන්නෙ" ලොකු මල්ලී පොඩි දෙන්නාව නවතා බිම්සර සමගින් එළියට බැස්සේය. බිම්සර ගමේ ආ නිසා ගෙදර ආවද පොඩ්ඩන් දෙන්නාටම අධ්‍යන වැඩ කටයුතු බෙහෙවින් ඇති කාලයකි මෙය. ඉතින් ඔවුන් ගෙදර ආවේද පොත් මල්ලක් රැගෙනය.

" සුදු අයියෙ ස්වීටර් එකක් දාගන්න. හවස් වෙද්දි පට්ට සීතලයි ඇල්ල දිහාව" 

යසස් ස්වීටරයක් ගෙනවිත් බිම්සර අත තැබුවේය. 

ලොකු මල්ලීද ස්වීටරයක් ගත දවටාගෙන ම ඔහු වෙත ආවේ "යමු" කියමිනි.

නිවසේ සිට පාගමනින් ඇවිදයා හැකි දුරින් වූ කුඩා දියඇල්ල තවමත් ජනතාවගේ ඇසින් සැඟව ගත් හෙයින් ආරක්ෂාවී ඇත. එතරම් උසක් නොවූවද තට්ටු පහකින් ගලා හැලෙන ඇල්ලට මිනිසුන් සේද ඇල්ල ලෙසින් නමක් තැබුවේ සුදෝසුදු සේදවලාවක් සේ දියපහර පහළට කඩාහැලෙනා හෙයිනි. ගම්මානයේ බොහොමයක් දෙනෙක්ගේ රැකියාව වූ ගොවිතැනට ජලය සැපයුණේ මේ ඇල්ලෙන් හෙයින් ගම්වාසීන් දිය ඇල්ල ප්‍රවේශම් කරගන්නට මහන්සි වූහ.

ගෙදර සිට එලවලු වගාබිම් පසුකොට ගෙන මීටර් පන්සියයක් ගෙවා ගිය තැන කුඩා කඳුවැටිය හමුවේ. මේ කඳුවැටියේ අනෙක් පස ඇල්ල පිහිටා ඇත. 

"මිනිස්සු ගිහිල්ලම දැන් අඩිපාරත් ලොකු වෙලා සෑහෙන්න." ලොකු මල්ලී කන්ද නගින්නට ගත් විට බිම්සරට පැවසීය.

" ඇයි මේ ටිකේ මේකටත් පිටින් අය එන්න අරන්ද ඒ ගමන." බිම්සර ඇසුවේ ලොකු මල්ලී කියූ ඒ දේ නොවැටහුන හෙයිනි.

" පිටින් එන්න ගත්තෙ නෑ තාම. මේ මොකක් හරි ටීවී චැනල් එකකින් පහුගිය දවසක කඩා වැදුනනෙ ඇල්ලගැන ආරංචිවෙලා. වයිල්ඩ්ලයිෆ් චැනල් එකකට කියලයි වීඩියෝ කරන් ගියේ. කොහෙන් කෙලවර වෙන්නද දන්නෙ නෑ ඒක යන්නෙ" ලොකු මල්ලී පැවසුවේ නුරුස්සනා හඬකිනි.

" මිනිස්සු මේ දේවල් දකින්න ඕන තමයි සුදු අයියෙ.ඒත් මේවා රැකගන්න ඒ බලන්න එන කිසි කෙනෙක්ට ඕනකමක් නෑනෙ" ලොකු මල්ලීගේ කතාව ඇත්තය. සොබාදහම කෙතරම් දේ දෝතට ගෙන ආවද මිනිසා එය රැකගන්නේ නැත. ඉදින් මිනිස් ඇසට වහන් වී තිබෙන තාක් කල් ඒ දේවල් රැකෙනු ඇත.

"මේ කාලෙ කූඩැල්ලො නම් නෑ වෙලාවට" ලොකු මල්ලී හිනැහෙමින් පැවසුවේ බිම්සර දෙස බලමිනි.

" කෝකටත් මම හුණුටිකක් අරන් ආවෙත්. " ඔහු කමිස සාක්කුවට තට්ටු කරමින් පැවසීය.

කන්ද නැග්ග තැන ඇත්තේ කුඩා තැනිතලාවකි. එතන කෙලවරට යනතුරු ඇත්තේ ලඳුකැලෑ වලින් ගහණ පෙදෙසකි. පාට පාටින් පිපී නැලවෙන කැලෑ මල් ඒ පරිසරයට එක්කලේ අපූරු සුන්දරත්වයකි. කන්දු ගැටය එතරම්ම උස නැතද හවස් යාමය බැවින් වලාකුළු පහලට බසිමින් ඇත.ඇල්ලට සමීපවන බව හඟවමින් ඇසෙන දියදහරේ හඬද පරිසරයට වඩ වඩාත් එක්ව යන සීතලද දැනෙන්නට විය.

මොහොතකින් ඔවුන් පැමිණ උන්නේ ඇල්ල අසලටය. ඇල්ල හොඳින් බලන්නට නම් පහලට මඳක් බැස ස්වභාවික වේදිකාවක් බඳු ස්ථානයට පැමිණිය යුතුවේ.

" සුදු අයියෙ, අයියා ඉන්නෙ මොකක් හරි අවුලකද?" ලොකු මල්ලී ඇසුවේ තරමක් වේලා නිහඬතාවයෙන් උන්නාට පසුවය. බිම්සර බොහෝ වේලාවක් ඇල්ලටම යොමු වූ නෙතින් බලා උන්නද ඔහුගේ සිත වූයේ වෙනත් කොහේ හෝ බොහෝ දුරක බව ලොකු මල්ලීට වැටහුණි. ඉදින් අයියාට අවැසි තරම් කල්පනා කරන්නට ඉඩදී ඔහු හඬ අවදිකලේය.

" ප්‍රශ්නයක් කිව්වට ප්‍රශ්නයක්ම නෙවෙයි ලොකු මල්ලි. ඒත් නැතුවත් නෙවෙයි"

බිම්සර සුසුමක් හෙලමින් පැවසීය.ලොකු මල්ලීවත් සිය ජීවිතයේ මේ කතාන්දරය දැන උන්නේ නැත.ඉදින් මේ කාටහෝ මේ සම්බන්ධව පවසා සිත නිවාගත යුතු කාලයයි.බිම්සර නැවතිල්ලේ සිදුවීම් දාමය කියාගෙන ගියේය.ලොකු මල්ලී කිසිදු බාධාවක් නොකොට ඔහු පවසන්න අසා උන්නේය.

" ඔන්න ඕකයි කතාව. ප්‍රශ්නෙන් හුඟක්ම බරපතල හරිය විසඳිලා ඉවරයි. ඒත් කෙල්ල සනීප කරගන්න ඊලඟට අපිට අතගහන්න වෙන්නෙ ටිකක් බරපතල ප්‍රතිකාරයකට. ඒකට මටත් බයයි. සම්පූර්න මානසිකත්වය මොකක් වෙයිද මේවගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා" බිම්සර පැවසුවේ සුසුමක් හෙලමිනි

" මේ තරම් දේවල් මෙහෙම වෙන්න ඇත්තෙත් ඔය දෙන්නව ආයෙ මුන ගස්වන්න වෙන්න ඇති සුදු අයියෙ.බයවෙන්න එපා. ඔක්කොම හරියාවි." ලොකු මල්ලී බිම්සරගේ උරහිසට තට්ටු කරමින් පැවසීය.දිය ඇල්ල සංගීතාත්මක ස්වරයකින් ගලාහැලෙන්නීය.කවදා හෝ ඇය සමග මේ ඉසව්වට එන්නට බිම්සරගේ හිතේ අලුතින් බලාපොරොත්තු පොදි බැඳෙමින් පැවතුණි.

සැන්දෑ අඳුර ගලා එන්නට පෙර දෙසොහොයුරෝ ආපසු නිවස බලා ආවේ හෙට දවසේ ගමනද සැලසුම් කරමිනි.නිවෙසට ආ පසු බිම්සර ප්‍රමුදිතාට ඇමතුමක් ගත්තේ සුලෝචනා මේ වන විටත් දුරකතන භාවිතයට යළිත් නොපැමිණි හෙයිනි.

" අයියේ" ප්‍රමුදිතාගේ හඬ ජංගම දුරකතනයේ එහා පසින් ගලා ආවේය.

" කොහොමද නංගි , අක්කා ඊයෙන් පස්සෙ " බිම්සර ඇසුවේ ප්‍රමුදිතා සියල්ල දන්නා හෙයින් තව දුරටත් ඇයට වසන්ගන්නට දෙයක් නොමැති හෙයිනි.

" එයා වෙනකවරදාටත් වඩා සතුටින් අයියෙ, කාලෙකින් හිනාවෙලා ඉන්නවා දැක්කෙ.අම්මත් කිව්වා සතුට උතුරනවලු මූණෙ" ප්‍රමුදුතා පැවසුවේ සිනාසෙමිනි.

" කෝ කිට්ටුවක ඉන්නවද?" බිම්සර ඇසුවේය. හරියටම හිත තිගැස්සෙන්නේ අතීතයේ ඇය බලන්නට යනදවස් පරිද්දෙනි.

" ඉන්න අයියෙ." ප්‍රමුදිතා ගේ පසින් ජන්ගමය මාරුවන හඬක් ඇසුණි.

" හෙලෝ චූටි" බිම්සර ඇයගේ සුසුම් සවණත වැකුණු වහාම කතාකලේය.

" හෙලෝ.....අයියේ" ඉතා සෙමින් ඒ හඬ ඇසෙයි.

" ඔයාට කොහොමද චූටි. ඊයෙ මූදෙ නටලා මහන්සිද?" බිම්සර ඇසුවේ බොහෝ පාලනය කොටගත් හඬිනි.ඇය සිනාසෙනු ඇසේ. ඇයගේ ජීවි සිනහව යළි කවදා නම් උත්පාද කරගන්නදැයි බිම්සරට සිතාගන්නට නොහැකි තරම්ය .රශිත කියූ අන්දමට ඇය ඉදිරියේ ප්‍රතිකාර මාලාවකට ගෙන යා යුතුව ඇත. මානසික වෛද්‍යවරයා කියූ අන්දමට ඇයව ඉදිරියේදී ගෙන යන්නට වන්නේ තරමක් වෙනස් ප්‍රතිකාර මාලාවකටය. ඉදින් එය කෙතරම් අසීරුද යන්න තමාට අවබෝධයක් නැති තරම්ය.

"කෝ ඉතින් කතාකරන්නෙ නෑනෙ ...ම්ම්ම්..."

බිම්සර යළිත් ඇසුවේ එහා පසින් ඇති දැඩි නිහැඬියාවට සවන් දෙමිනි. ඇය ඉස්සරද තමා හමුවේ නිහඬය. ඒ කාලයේ නම් අඩුම ගනනේ තමාට බියව ඇතැයි සිතන්නට තිබුණි. දැන් ඇය කතා නොකරන්නේ තමා ආගන්තුක හෙයින් ද ?

"අයියා කොහෙද ගියේ?"

ඉතා සෙමින් ඇසෙන එවදන් වලට බිම්සරට සිනහායන්නටද එයි.

"ගමේ ආවනෙ. මොනවද ගෙනල්ල ඕන එනකොට."

බිම්සර ඇසුවේ ඉතාම මෘදු හඬකිනි. මේ සා තම කටහඬ මුදු වූයේ කෙලෙසකදැයි ඔහු විටෙක සිතුවේය.

"මොකුත් එපා." 

ඇය සෙමින් පවසන්නීය.

"මම ඉන්නෙ නුවර එළියෙ . මෙහෙ ඕන්නම් මල් තියනවා, එලවලු තියනවා. එතකොට ස්ට්‍රෝබෙරි තියනවා."

බිම්සර පැවසුවේ කුඩා දැරියකට පවසන්නාක් මෙනි.

"එහෙනම් රෝස පැලේකුයි ස්ට්‍රෝබෙරි ගෙඩියි ගේන්න."

ඇය පවසන්නීය.

"කවදා කාපු ටකරම්ද සුදු අයියෙ."

ලොකු මල්ලී සිනාවෙමින් පිටවගියේ කාමරයට පැමිණ ආපසු යන අතරේය. සිය සොහොයුරාගේ ජීවිතයේ සැඟවුණු පෙම්වත් භාවය ඔහුටද සතුටක්මය.

ඇමතුම නිමාකොට ඇයගෙන් සමුගත් ඔහු සයනයේ වැතිර කල්පනා කලේ අනාගතය කෙබඳු එකක් වනු ඇත්දැයි යන්නය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

සිහින් සීතල දසත ගලා එද්දී ලොකු මල්ලී පැමිණ බිම්සර ඇහැරවාලූවේ යොදාගත් ගමන යන්නටය. සිව් සොහොයුරන් ඉඳහිටක හමුවන දිනයේ කඳවුරු බැඳීම් ගමන් ඔවුහු සිව්දෙනාම ප්‍රියකලහ.දැන් දැන් පොඩි නිවුන් සොහොයුරන්ද ඉලන්දාරි වයසේ හෙයින් සිවු දෙනාගේම සිතුම් පැතුම් ආදිය බොහෝ දුරට සමානය.

ලොකු මල්ලී සහ බිම්සර රිය පැදවීම භාරගත් හෙයින් පොඩ්ඩන් දෙන්නා පිටුපස අසුනට පැන්නහ.

"ලබන පාර එනකොට තමුසෙලා දෙන්නා වාහනේ ගෙනියන්න ලෑස්ති වෙලා ඉන්නවා හරිද ? හැමදාම අපි දෙන්නටම මේ ඩ්‍රයිවර් වැඩේ කරන්න බෑ."

බිම්සර පසුපස අසුන දෙසට හැරෙමින් පැවසීය. කොපමණ වයසින් වැඩුණද කොල්ලන් දෙන්නා තවමත් පොඩි උන් සේය. ජංගම දුරකතනයන් අතට ගෙන එහි ඇතිදේ එකිනෙකාට පෙන්වමින් ඔවුන් සිටින්නේ ඔවුන්ගේම ලෝක වලය.

**************************************************************************************


(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

ඉතින් මගේ පලමු පොත "මගේ ප්‍රේමය ඉසියුම්"  ඇණවුම් සඳහා දැන් විවෘතයි.

සඳමාධවී ප්‍රකාශන හරහා මෙන්ම grantha.lk හරහාද ඔබට ඇණවුම් ලබාදෙන්න පුළුවන්.

ආදරයෙන් 🧡

මම

(විසිරි)


10 comments:

  1. Replies
    1. හා හිටවන මාටින් ඇවිත් තියෙන්නෙ කුකුල අත්න් අරගෙනම?🤣

      Delete
  2. ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. ඔය පොතේ කතාව කලිං කිව්ව නං ගන්නවනේ. ග්‍රන්ථෙ ඕඩරේ ඊයෙ ආවෙ.. 😔😔😔

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ එෆ්බී එකේ ඉන්නවා නේද ?

      Delete
    2. බොහොම කාලෙකට කලින් හිටිය ඒත් දැන් ඒ profile එක මට පෙන්නන්නෙ නෑ නේ මාව බ්ලොක් ද දන්නෙ නෑ 😃

      Delete