Sunday, September 26, 2021

15. පහලොස් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)





 "මේ සැරේ හොයාගත්ත ලොකේශන් එක මරු සුදු අයියෙ. මගෙ යාලුවො ටිකක් ගිහින් ෆොටෝස් දාල තිබ්බා. අපි දෙන්නත් යං යං කියකියමයි උන්නෙ."

පොඩ්ඩා යසස් පැවසුවේ ඉදිරියටම නෙතැතිව ගමන් ගන්නා බිම්සර වෙතට එබෙමිනි.

"මාත් ඊයෙ නම් බැලුවා. තැන එච්චරම එක්ස්පෝස් වෙලා නෑ වගේ තාම නේද? අපේ රටේ තැනක් ඉතින් කාගන්නෙ නැතුව ඉන්න මිනිස්සු දන්නෙ නෑනෙ. මට බය ඇල්ලටත් ඕකම වෙයිද කියල."

ලොකු මල්ලී පැවසුවේ රිය පදවන අතරේය.

ෆෝවීල් ජීප් රථයක අවදානම්කාරී ධාවනය ලොකුමල්ලී මනාව හසුරවමින් කන්ද නග්ගවන ආකාරය බිම්සර බලා උන්නේ ආඩම්බරය මුසු හැඟීමකිනි. තමාගේ සොහොයුරන් තිදෙනාම ජීවිතය මනාව සකස් කරගනිමින් සිටින ආකාරය සිතට සතුටක්මය.

"ඕන්න අපි ආවා කෑම්පින් සයිට් එකට."

ජීප් රථයෙන් බැස මීටර් පන්සියයක් පමණ පාගමනින් පසු කන්ද මුදුණේ තැනිතලා බිමකට ඔවුන් පැමිණ තිබුණි.

"ශහ් මාරම වීව් එකක්නේ පොඩ්ඩා කිව්ව හරි." 

අදාල ස්ථානයේ තිබුණේ අංශක තුන්සියහැටේ දර්ශනයකි. මල්ලිලා තිදෙනා කූඩාරම් අටවන අතරේදි බිම්සර ඒ මේ අත ඇවිද්දේ වටාපිටාව නිරික්සන්නටය.

තවමත් මිනිස් ඇසින් එතරම්ම දූෂිත නොවූවද ඉඳහිටක ඇවිදින් ගිය ඇතැමුන් ශේෂ කොට ගිය අපද්‍රව්‍ය තවමත් එහි තැන තැන නොදිරා ඇත.

තැනිතලා බිමට ඈතින් හතරවටින් විහිදෙන කඳුවලල්ල මැනවින් පෙනෙන්නේ මේ උදෑසන ඉතාම පැහැදිලි වූ හෙයිනි. වලාකුල් එකිනෙක අහස් බිමෙන් කඳුරටා අතරේ සලුපිලි පොරවමින් ගමන් කරන්නේ ලතාවකටය.ඈතම කන්දක නිවසකින් ඉහලට නැගෙන සුදු දුමාරයකි.බිම්සර දෑත් පොරවා බැඳගනිමින් ඒ දෙසම බලාඋන්නේය.

අවට පරිසරය සිසාරා ඇත්තේ කුඩා කුඩා පඳුරුය. නම නොදන්නා කැලෑ මල් රාශියක් ඒ පඳුරු සිසාරා පිරීයමින් පවතී. මේ උදාව ඇත්තේ වස්සන කාලයයි. ඉදින් හැමගසක්ම මල්පුරා ඇත.

"සුදු අයියේ එන්නෝ."

පොඩ්ඩන් කෑඅගසා අමතන හඬ ඈත කඳුවලල්ලේ වැදෙමින් දෝංකාර දෙයි.

බිම්සර ආපසු හැරී කූඩාරම අසලට ආවේය. 

"මේ පාර අපිට ලොකු ටෙන්ට් එකක් හම්බ වුණා. ඔක්කොටම එකට ඉන්න පුලුවන් මෙහෙම එකක් ගත්තාම."

කූඩාරම තුලට පිවිසි බිම්සරට ලොකු මල්ලී පැවසුවේය.

"ඔව් ඒක නම් මරු තමා. කොහෙන්ද මේක."

බිම්සර කුඩා කොට්ටයක් බඳු අසුනකට බරදෙමින් ඇසීය. ගණ බ්ලැන්කට්ටු කිහිපයක් කූඩාරමේ කොනක විය.

"ඔය මගෙ යාලුවෙක් ඕවා ගෙන්වනන්ව. මම ඕඩර් එකක් දාලම ගෙන්නගත්ත."

ලොකු මල්ලී සෑහෙන සමාජාශ්‍රයක් ඇතිව ජීවත් වන්නෙකි.ඔහුට විවිධ මට්ටම් වල විවිධ තරාතිරමේ යහළු මිත්‍රාදීන් ඇත. 

පොඩ්ඩන් දෙදෙනා විශයානුබද්ධ ක්‍රියාකාරකම් මෙන්ම සංගීතයටද දැක්වූයේ අපූරු කුසලතාවයකි. යසස්  ජීප් රථයට ගොස් යළි ගිටාරයද රැගෙන කූඩාරම අසලට ආවේ 

"හරි හරි දැන් සෙට් එකම බහිමු එළියට. ඕක අස්සෙ ඉන්න නෙවේනෙ ආවේ..."කියමිනි.

ලොකු මල්ලී ගෙන ආ කුඩා ගෑස් ලිපට සවිකල බාබකියු එක මතට පොඩ්ඩා අල සහ මස් අතුරමින් උන්නේය.

ජීප් රථයේ වූ ශීත පෙට්ටිය රැගෙන ආවේ ලොකු මල්ලීය. එතුල ඇත්තේ බියර් කෑනයන් බව බිම්සර දුටුවේ පෙරදා බඩු අසුරන මොහොතේය. අයියා මල්ලිලා කොයිතරම් සමීප වුවද අප්පච්චීට ඇති ගෞරවය හේතුවෙන් බියර් වැනිදෑ සඟවාගෙනම අසුරන්නට ඔවුන් පෙලඹුණහ.

යසස් ගිටාරය සුසර කරමින් ගීයකට මුල පිරුවේය. සහස් බාබකියු යන්ත්‍රය අසල සිටම එයට අත්වැල් ඇල්ලීය.

අහස පොලව උහුලනවලු

ඉරත් හඳත් මුහුවෙනවලු 

පටන් ගත්ත දාට ආදරේ

සිනහ පඳුරෙ කඳුලු සුසුම් පොකුර ආදරේ

නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ

කඳුලු වදුලෙ සිනහ පොට්ටු නටන ආදරේ

සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ..

ආදරේ ...ආදරේ....

ආදරේ..ආදරේ..

කොල්ලන් දෙන්නාගේ හඬ මෙන්ම ස්වර වාදනයන්ද පරිසරයට මුසුවන්නේ අපූරු තාලමවමිනි. 

අවේලාවෙ හීනමවන හීනමානෙ දෙපලු කරන

මුරන්ඩුකම දුන්න ආදරේ

රෑ තුන් යම පාලුමකන

තනිවම හිනැහෙන මුමුණන

තුරුණු  සිරිත සොඳුරු ආදරේ..

ආදරේ ...ආදරේ....

ආදරේ..ආදරේ..

සාගරේක කඳුලු හදන මහ සුලඟක සුසුම් බෙදන

විනයක් නැති දැහැන ආදරේ

හිතෙන් හිතට ඉව අල්ලන 

නෙතින් නෙතට මාරුකෙරෙන 

දාර්ශනික දහම ආදරේ ...

අහස පොලව උහුලනවලු

ඉරත් හඳත් මුහුවෙනවලු 

පටන් ගත්ත දාට ආදරේ

සිනහ පඳුරෙ කඳුලු සුසුම් පොකුර ආදරේ

නෙතට පිරිත් පැන් ඉහිනා සුතුර ආදරේ

කඳුලු වදුලෙ සිනහ පොට්ටු නටන ආදරේ

සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ ..

ආදරේ ...ආදරේ....

ආදරේ..ආදරේ..

පොඩ්ඩන් දෙදෙනා සමග හරි හරියට ගීයට එක්වූ ලොකු මල්ලී පොඩ්ඩන්ට ඇස් ඉඟිමරමින් පෙන්වූයේ මුවඟ පොපියන සිනහවකින් යුතුව බියර් කෑනය හිස්කරමින් ඈත කඳුයාය දෙස බලාඉන්නා බිම්සරවය. පොඩ්ඩන් දෙන්නා සිදුවීම නොදන්නාමුත් සිය වැඩිමහල් සොහොයුරාගේ යම්කිසි වෙනසක් සිදුව ඇති බව වටහා ගත්හ. 

අවසාන පදපෙළ සමගම බිම්සර වටකරගත් තිදෙනා ඔහු වටා නටමින්ම ගීය ගයන්නට වූහ. බිම්සර පියවි ලොවට ආවේ එවිටය.

"සුදු අයියේහ්.... ආයෙ රහස් බෑ ඔන්න. අපිටත් කියනවකො නෑනා ගැන" 

සහස් පැවසුවේ ඔහුගේ උරහිසේ එල්ලෙමිනි.

"ම්..මොන නෑනෙක්ද ? පිස්සුද බං..එහෙම එකක් නෑ..."

බිම්සර ඉවතට හරවා ගත් මුවින් යුතුව සිනහව ගිල ගත්තේය.

"අනේ ..අනේ ...බොරු ඕන්නෑ සුදු අයියේ....මොනවද අප්පා..."

යසස් ද එක්වූයේ ඒ ඇවිටිල්ලටය.

"වද නොදී හිටපල්ලකො...කියන්නම් පස්සෙ."

බිම්සර ගැලවීයන්නට උත්සාහ දරමින් පැවසීය.

"ආ..ආ....ආආ.....ඔය කියවුනේ....එහෙනම් ඒක තමා.."

ආදරේ...ආදරේ...ආ..ආ...... ආදරේ

ආදරේ...ආදරේ...ආ..ආ... ආදරේ...

දවස ගෙවී ගියේ සිනහවෙන් සහ කතාබහෙනි. අන්තිමේදි සිය සොහොයුරාගේ පෙම් පවත් සියල්ලන්ම දැනගත්තේ සිනහ උතුරන විහිලු තහලු මැදය.

"මම අම්මපා බයේ උන්නේ. සුදු අයියා අක්කා කෙනෙක් ගේන්න පරක්කු වෙනකොට"

යසස් පැවසුවේ සිනාවතිනි.

"ඇයි ඒ මොකද ? මගෙ ගැන එච්චරකට වද වෙන්නෙ තමුසෙ."

බිම්සර ඇසුවේ විමසිල්ලෙනි.

"නෑ ඉතින් අපි යාලුවෙන කෙල්ලන්ගෙ ගෙවල් වලින් ඇහුවොත් අයියා බඳින්නැතුව ඉද්දි මල්ලිලාට හදිස්සි මොකද කියල...ඒකයි.."

සිනා හතරක් එකවිට පිපිර ගියේය.

"සුදු අයියේ මුන් නම් අපි වගෙ නෙවෙයි ඔන්න ....මේ ටිකට කෙල්ලෙක් දාගෙන ඇති."

ලොකු මල්ලී පැවසුවේ නිදන්නට කූඩාරමට යනවිටය. රාත්‍රී දොලහ පසුවන තුරුම සින්දු කියමින් කෑම කමින් බියර් සහ වෙනත් සිසිල් බීම පානය කල සිව් සොහොයුරන් නිදන්නට සැරසුනේ පසුදා තරමක් ඇවිදින්නට යන්න උවමනා හෙයිනි.

"එක කෙල්ලෙක් දාගෙන ඇති කියල අපහාස කරන්න එපා ලොක්කයියෙ." 

යසස් සිනහා වුණේ සහස්ගේ එවදන් වලටය.

"හැදිලා ඉවරයි හැදිලා ඉවරයි"

ලොකු මල්ලී හිනැහුණේ මොවුන්ගේ විහිලුවලටය.

කොල්ලන් තිදෙනා නින්දට ගියද බිම්සර කල්පනා කලේ හිසට අත්දෙක බැඳගෙනය. කූඩාරමේ ඉහල විනිවිද පෙනෙන කොටසකින් අහස්කුස ඇති තරු යායක් පෙනෙයි. බිම්සර නින්ද එනතුරුම ඒ තරුරටා දෙස බලාඋන්නේය. මේ මොහොතේදී තමාද ඇයද සිටින්නේ මේ තරුවියන යටමය. එහෙත් දෙන්නා දෙතැනකය. කවදා හෝ ඇයද සමගින් මෙසේ තරුවියනක් යට සිටින්නට සිත පෙරුම් පුරාගනී.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

උදෑසනින් සිව් සොහොයුරන් ඇසැරගත්තේ දසතම පැතිරයන කුරුලුහඬටය. කූඩාරම තුල මනා උණුසුමක් රැඳවුණේ ලොකුමල්ලී උවමනාවටත් වඩා ජීප් රථයේ පුරවාගෙන ආ බ්ලැන්කට් තොගයෙනි. 

සියල්ලන්ටම පෙර බිම්සර කූඩාරමෙන් පිටතට ගියේ උදෑසන අසිරිය විඳින්නටය. පරිසරය නැවුම් ය . උදා හිරු කිරණ ලා පැහැයෙන් තවමත් කඳු යායෙන් එබී බලන්නට පටන් ගත්තා විතරය. අසල තැනිතලාව පුරාවටම ඇති කුඩා පඳුරු වල බටිත්තන් වැනි කුඩා කුරුල්ලන් රැසක් හඬ නගමින් කලබලකරති. ඔවුන් දවස පටන් ගන්නේ සියල්ලන්ටම කලිනි.

"සුදු අයියෙ ආ..."

ලොකු මල්ලී දුම් දමන කෝපි කෝප්පයක්ද රැගෙන ඔහු අසල විය.

"මෙච්චර ඉක්මනින් කෝපිත් හැදුවද ?"

බිම්සර කෝපි බඳුණ අතට ගනිමින් ඇසුවේය. ලොකු මල්ලී එයට පිළිතුරක් නොදීම දෑත ඉහලට ඔසවා කම්මැලි හැරියේය.

"අද ප්ලෑන් එක මොකක්ද ? මම හෙට උදේ ආපහු යනවා."

කූඩාරම අකුලන මල්ලිලාට සහය වෙමින් බිම්සර ඇසුවේය.

"මේ කන්ද නගිමුද? තව පොඩ්ඩනෙ උඩට යන්න ඕන. එහා පැත්තට වැටෙන ඇල්ලක් තියේලු නේද? ඔන්නොහෙ බලල සේෆ් නම් නාගෙනම යන්."

යසස් පැවසුවේය.

"මේ සීතලේ ඇල්ලෙන් නාන්න පුලුවන්ද බං"

සහස් , යසස්ට පැවසුවේ කටද ඇද කරගනිමිනි.

"උඹ ඉතින් මහ ගිනි දවාලෙවත් නාන එකෙක්යැ."

යසස් සිය නිවුන් සොහොයුරාට පහරක් ගසමින්ම පැවසීය. මේ නිවුන්නන් දෙන්නාගේ බැඳීම අපූරුය. ඔවුන් දෙන්නා කුඩාකල සිටම පුදුමාකාරව එකට බැඳී උන්හ.

පවුලක සොහොයුරු සොහොයුරියන් අතර තිබිය යුත්තේ මේ ආකාර බැඳීම්ය. බිම්සරට මෙත්මි සහ ප්‍රමුදිතා මතක් වූයේ අහේතුකවමය. ඔවුන් දෙදෙනා අතර ඇත්තේද අපූරුම බැඳීමකි. කොල්ලන් තුන්දෙනා සමගින් බිම්සර පෙරදා රෑ මෙත්මි ගැන සියලු පවත් පැවසුවේය. 

"සුදු අයියේ, අර නංගිට කවුරුහරි ඉන්නවද දන්නෑනේහ්."

යසස් ඒ කතාව මැද්දට පැන්නේ සියල්ලන්ම සිනාගස්සවමිනි. 

"උඹට මං කියන්නෑ. ඒ කෙල්ල තව ඒලෙවල් කරනව. පාඩුවේ හිටපන් චුට්ටො"

බිම්සර සිනාව අතරින්ම පැවසීය.

"ඉතින් සුදු අයියා එහෙනම් ඒ අක්කා එක්ක යාලුවෙන්න ගියේ අක්කා ඕලෙවල් කරන්නත් කලින්නෙ. මං ඊට වඩා හොඳයිනෙ"

යසස් පැවසුවේ කුටු කුටු ගාමිනි.

"උඹලට මම මේ කතාව නොකියා උන්නෙත් ඔන්න ඕවා නිසාමයි. එතකොට ඒක වාසියට අරන් එනවා කරේ යන්න."

බිම්සර සිනාව සඟවා තදින් පැවසීය.

"විහිලුවක්නෙ කලේ..සුදු අයියේ. සොරි"

යසස් පැවසුවේ හිසද පසෙකට ඇලකොටය.

********************************************************************************************


කාලයකට පසු ජීවිතය ප්‍රාණවත්ව ගෙවීයනු බිම්සරට දැනුණේ සුපුරුදු පරිසරයේ සිය සොහොයුරන් හා එක්ව උන්නාට පසුය. අනෙක් අතට දැන් ජීවිතයේ අරමුණක් ඇත. ඇය ජීවිතයේ අඳුරු හැඟීම් සියල්ල මකා දමමින් යළි දෑස්මානයේ සිටින්නීය.

හවස් යාමයේ සිව් සොහොයුරන් ආපසු නිවස බලා ආවේ සිනාවෙන් කතාවෙන් කෙලිදෙලෙන්මය. 

"ලොක්කයියෙ කවුරු හරි ඇවිල්ල වගෙ ගෙදර ඉස්සරහ වාහන දෙකක්."

ඈතින්ම නිවෙස ඇති ඉසව්ව දෙස බලා පොඩ්ඩා යසස් කෑගැසීය. බිම්සරද ඕනෑවට එපාවට මෙන් එදෙස බැලුවේය.

ලොකු මල්ලී ජීප් රථය නැවැත්වූයේ නිවසේ පසුපසට වන්නටය. පිටුපස දොරින් ගෙතුලට ආ සිව් සොහොයුරෝ සාලය හරහා නොගොස් කාමර වෙත යන්නට තීරණය කලද මුලුතැන්ගෙය තුල වූයේ ලොකු නැන්දා හෙයින් එයද මඟහැරුණි.

"ආ ඉලන්දාරි ටික රවුම් ගහන්න ගිහින් එන වෙලාව යසයි. සුදු පුතා අප්පච්චි ඉන්න දිහාට යන්න.අර කට්ටියක් ඇවිල්ලත් ඉන්නව ඔයාව හම්බවෙන්න."

ලොකු නැන්දා සිනහසෙමින් පැවසුවාය. බිම්සර නළලද රැළි කරගෙන ඇය දෙස බලා නිහඬවම සාලය දෙසට ඇවිද ගියේය. පැමිණ උන්නේ මේධා සහ ඇයගේ මව, පියා සහ සොහොයුරාත් , ඔහුගේ බිරිඳත්ය. බිම්සර සිතට ආ නොරිස්සුම වලකාගනිමින් පියා අසලට ගොස් ඉඳගත්තේ මේධා දෙසවත් නොබලා සෙසු අයට සිනහවකින් ප්‍රතිචාර දක්වමිනි.

"කොහොමද පුතා. අපි මේ ඔයාගෙ නැන්දලගේ ගෙදර ආව ගමන්. ආපහු යන ගමන් මෙහෙටත් ගොඩවෙලා යන්න හිතුනා."

මේධාගේ පියා පැවසුවේ බිම්සර වෙතට සුහද සිනහවක් පාමිනි.

"හොඳින් ඉන්නවා අන්කල්. මේ පොඩි නිවාඩුවකට ගෙදර ඇවිල්ල යන්න ආවා."

බිම්සර සිතාමතාම මේධාගෙ බැල්ම මඟ හැර උන්නද ඇය තමා වෙතම එල්ලවූ දෑසින් සිටිනු ඔහුගේ නෙත්කොණට පෙණුනි.

"මෙයා මාව බලන්නවත් එන්නෑ ඩැඩී. මහ නරකයි."

මේධාගේ පමණටත් වඩා වදන් වල දැවටෙන නෝක්කාඩු බස නෑහුණාක් මෙන් බිම්සර උන්නේය.

"ඔයාව බලන්න එනවට වඩා බිම්සර පුතාට මේ දවස්වල රටේ වැඩ ඕනතරම් තියනවා ඩාලින්. ඒ නිසා කරදර කරන්න එපා."

මේධාගේ පියා තරවටු ස්වරයකින් මෙන් පැවසීය.

"ඉතින් පුතා , අපි මේ කොහොමත් මෙහෙ එන්න කියලා උන්නෙත්....

"

මේධාගේ මවගේ වදන් අතරමග නැවතුණේ....තේ සහ කෙටිකෑම සහිත බන්දේසියද ගෙන ඇය සාලයට සුමනම්මා සමග පැමිණි හෙයිනි.

"ඕවා ඔතනින් තියල යන්න."

ලොකු නැන්දා සුමනම්මාව ඉක්මනින් ආපසු යවා මේධාගේ මව අසලින් හිඳගත්තාය.

"මම ඉතින් මේ අයව අදම එක්ක ආවේ සුදු පුතා , මේ කාරණා මෙහෙම පහුකරල බැරි නිසයි."

ලොකු නැන්දාගේ වදන් වලින් බිම්සරගේ සිතෙහි නොසන්සුන් බව වැඩිවීගෙන ආවේය.

එහෙත් නිහඬ වතම පිරූ ඔහු අප්පච්චී දෙස බැලුවේ ඔහු වෙතින් අදහසක් බලාපොරොත්තු වෙමිනි.

"අප්පච්චි දිහා බලන්න නෙවේනෙ. මේක ගැන තීරණයකට එන්න ඔයානෙ කතාකරන්න ඕන."

ලොකු නැන්දාගේ හඬට සිනාවත පානා මේධාගේ මුහුණද බිම්සරගේ කේන්තිය තව තවත් අවුස්සාලීය.

"මම එදත් නැන්දට කෙලින්ම මේක ගැන කියලා ඇති .නැන්ද, මේධා කියන්නේ හොඳ ගෑනු ළමයෙක්. ඒක මම පිළිගන්නව. ඒත් මේ යෝජනාවට මම කැමති නෑ. මම මේධව බඳින්න අදහසක් කොහෙත්ම නෑ."

බිම්සර සෘජුවම කතා කලේය. 

මේධාගේ වත විරූපව යනුද ඇය හඬාගෙන ඉවතට දුව යනුද දැක මේධාගේ මව ඇය පසුපසම දුවගියාය.ලොකු නැන්දා කෝප ගත්තේ එවදන් අසාය.

"කෙල්ල හොඳනම්, පවුලුත් ගැලපෙනව නම් ආයේ මොකක්ද අකමැත්තක්. ඔයා මේකට කැමති වෙන්නම ඕන සුදුපුතා."

ලොකු නැන්දා  සිය ආධිපත්‍යය පතුරවාහරිමින් උන්නාය.

"කලබල වෙන්න අවශ්‍ය නෑ මිසිස් කාරියවසම්. අපි ටිකක් නිදහසේ කතාකරමුකො."

මේධාගේ පියා කතාබහ කලේ ඉවසුම් සහිතවය. එහෙත් ඒ ඉවසුමට යටින් සැඟවී තිබූ කපටි ස්වභාවය හඳුනා නොගන්නට තරම් බිම්සර නොමේරූ අයෙක් නොවීය.

"කලබල නොවෙන්න කියන්නෙ කොහොමද මිස්ටර් ගුණවර්ධන. ඔයාල මා ගැන තිව්ව විශ්වාසයක් තොයනව.මම ඒක කඩන්නෙ නෑ කොහොමවත්ම."

ලොකු නැන්දා මේ ඇයගේ විශ්වාසය රකින්නට ඇපයට ගන්න හදන්නේ තමාවය. බිම්සර හඬ අවදිකලේ බොහෝ ඉවසීමෙනි.

"ලොකු නැන්දා, ගුණවර්ධන අන්කල් මට ඔය දෙන්නටම කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම ලොකු නැන්දට මේ යෝජනාව ගේනකොටම මම මේකට කැමති නැති බව කිව්වා. එහෙම නේද ලොකු නැන්දා. ඒත් ඔයා ඇහුවෙ නෑ. මම මේධාට නෙවෙයි කිසිම ගෑනුලමයෙක්ට කැමතිවෙන්නෙ නැහැ."

බිම්සර පැවසුවේ තරහෙන්ම පුපුරා හැලෙන ලොකු නැන්දාගේ මුහුණ මඟහරිමිනි.

"එහෙම අකමැත්තක් තියේ නම් ඇයි ඔයා අපේ දුවව මෙච්චර ලඟින් ආශ්‍රය කලේ. අන්තිමට ඒ කෙල්ලට වෙන කැමති පිරිමි ළමයෙක්ව හොයාගන්නත් බැරිඋනා."

එතනට කඩාවැදුණ මේධාගේ අම්මා පැවසුවේ බිම්සරට දොස් නගමිනි.

"ලඟින් ආශ්‍රය කලා කියන්න ඇන්ටිට මොකක්ද තියන ශාක්ෂිය? මම මේධා එක්ක කොහේවත් තනිවම ගිහින් තියද ? අඩුමගානේ එයාව අතකින්වත් අල්ලලවත් තියද කියලා එයාගෙන්ම අහන්න. සමාවෙන්න ඇන්ටි අන්කල් ඔය දෙන්න ඉස්සරහ මම මෙහෙම කියනවට. ඔයාල මගේ පිටට එහෙම අනවශ්‍ය චෝදනාවක් කරන්න කලින් මේධාට එන්න කියන්න මෙතනට. අපි එයාවත් තියාගෙනම එයාගෙයි මගෙයි එහෙම ආශ්‍රයක් තිබ්බද කියන එක අහමු."

බිම්සරගේ සෘජු වදන් වලට තිගැස්සී ගියේ ගුණවර්ධන යුවල පමණක් නොව නැන්දාදය.

"දුව මෙහෙට එන්න. මේක අපි අදම කතාකරලා ඉවර කරගම්මු"

මේධාගේ මව හඬනගා පැවසුවාය.මේධා පැමිණියේ ඇස්වල පිරුණ කඳුලුද අත්ලෙන් පිසිමිනි.

"ඔය දෙන්නාගේ දුරදිග ගිය ආශ්‍රයක් තියෙයි කියල ඔයාම අම්මට කියලා තිබුණා. එහෙම නේද දුව. ඉතින් දැන් මේ බිම්සර කියනවා ඔය එක්ක එයාගේ එහෙම ක්ලෝස් රිලේශන්ශිප් එකක් තිබ්බෙ නෑ කියල." 

ගුණවර්ධන අන්කල් පැවසුවේ මේධාට ආසුන්ගන්නා ලෙස පවසමිනි.

"මම ඔයාට ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට ආදරේ කරල නෑනෙ බිම්සර. අනේ ඇයි ඉතින් ඔහොම කරන්නේ."

මේධාගේ රඟපෑම ඉතාම අනුවේදනීය තත්වයක් එතැනට මවා පෑවේය.අනෙක් අය කෙසේ වෙතත් අප්පච්චීද ඒ හඬින් සසැලීයනු බිම්සර දුටුවේය.

"මේධා ඔයා මට ආදරේ කරන්න ඇති. නමුත් මම ඔයාට ආදරේ කලේ නෑ.අපි දෙන්නා අතර කිට්ටු සම්බන්ධයක් තිබුණා කියලා ඔයා කියන පදනම මොකක්ද?"

බිම්සර ඇසුවේ තද හඬකිනි. තව දුරටත් ඇයගේ කඳුලු මත මෙතන තත්වය තීරණය විය යුතු නොවේ.

"අපි එකට පාටීස් වලට ගියානෙ බිම්සර. මම මගේ යාලුවන්ට ඔයා මගේ ෆියොන්සේ කියලා ඉන්ට්‍රොඩියුස් කරල දීලාත් ඉවරයි. මම කොහොමද ඉතින් එයාලට ආයේ ෆේස් කරන්නෙ."

මේධා ඉකිගසමින් හඬන්නට වූවාය.

"සුදුපුතා , මේ හොඳටම ඇති. ඔයාට වටින්නෙ නෑ මෙහෙම කරන්න මේ දුවට. කරුණාකරලා තමන් අතින් එහෙම දේවල් වෙලා තියනව නෙ. ඒ නිසා මගහරින්න එපා."

ලොකු නැන්දා තදින්ම පැව්ස්සුවේ මේධාගේ මවගේ මුහුණට සිනහවක්ද නංවමිනි.

"ඔයා එක්ක මම පාටීස් වලට ගියාට ඔයා එක්ක මම නයිට් ක්ලබ් ගිහින් නෑනේද මේධා. එතකොට අපි එහෙනම් ඒ ගැනත් කතාකරමුද?" 

බිම්සර ලොකු නැන්දාව ගණන් නොගෙනම මේධා වෙත පැණයක් ඉදිරිපත්කලේ එසැනින් මේධා තිගැස්සී යනු දැකය.

"මොකක්, මොනවද පුතා මේ කියන්නෙ. මගෙ දුව එහෙම කෙල්ලෙක් නෙවෙයි,. නිකම් අභූත චෝදනා විතරක් කරන්න එපා."

මේධාගේ මව පුපුරාහැලුණාය.

"මේධා මම අම්මලට කියන්නද මම දන්න දේවල්. ඔයාම කියනවද?මතක තියාගන්න මේධා ඔයාට වඩා මම මේ සමාජයේ ගැටෙන මනුස්සයෙක්. අනෙක ලියෝන් කියන්නේ කවුද කියල නොදැන ඉන්න මම ඇස්කන් පියාගෙන උන්න කෙනෙක් නෙවෙයි."

මේධා බියපත්වූයේ ලියෝන්ගේ නම ඇසෙද්දීය. ලියෝන් යනු මේධාගේ දීර්ඝ කාලීන  විදෙස් පෙම්වතාවූ අතර ඔහු මේධා භාවිත කලේ ඔහුගේ විදෙස් වෙබ්සයිටයන්හි කටයුතු සඳහාය. මේධා මුලින් ඒ සම්බන්ධව අකමැත්තක් පලකලද පසුව අතගැවසෙන්නාවූ අධික මුදල් සහ සැපසම්පත් හේතුවෙන් එයට කැමති වූවාය. 

එම සේයා රූ සහ වීඩියෝ පට මුදාහැරුණේ විදෙස් වෙබ්සයිටයන් වලටය. ඒවාට ශ්‍රීලාංකිකයනට පිවිසීමට නොහැකි හෙයින් මේධාද ඒ ගැන වදවූයේම නැත.

එහෙත් බිම්සර යනු සාමාන්‍යම අයෙක් නොවන බව මේධාට අමතක විය. ඉදින් සියල්ල ඔහු දැනගෙනම නිහඬව සිට ඇත. මේධා නැගී උන්නේ 

"මමී, ඩැඩී අපි යමු." කියමිනි.

බිම්සරගේ කටකොණකට ආවේ උපහාසාත්මක සිනහවකි. ලොකු නැන්දා අගක් මුලක් නොදැන උඩබිම බලමින් උන්නාය. ගුණවර්ධන යුවලද මේධාගේ බලකිරීම හෙයින්ම නැගී උන්නද පිටත්ව යන මොහොතේදී මේධාගේ පියා බිම්සර වෙත හෙලුවේ දරුණු ගණයේ බැල්මකි.බිම්සර එය කිසිසේත්ම ගණන් නොගන්නා අන්දමින් හිනැහුණේය. අප්පච්චී ඔහු දෙස බලාඋන්නේ කවදත් සිය පුත්‍රයා ගැන ඇති අචල විශ්වාශයෙනි.

ඔවුන් පිටව ගිය පසු ලොකු නැන්දා බිම්සරට බැණ වදින්නට වූයේ අගක් මුලක් නොදන්නා හෙයිනි.

"මොනවද අර කල දේ සුදුපුතා. ඒ මිනිස්සු කොච්චර වැදගත් අයද ? ඔයාලට එහෙම පවුලක් ආයෙ හම්බවෙන්නෙ නෑ.ඒක මතක තියාගන්න."

ලොකු නැන්දා අප්පච්චීටද බනින්නට වූවාය.

"කොහෙද අප්පච්චි ඉන්නව. හැම එකටම සද්ද නෑ. අඩුගානෙ එක වචනයක් කතාකරන්න තිබ්බා එවෙලෙ."

බිම්සර අසුනෙන් නැගී උන්නේය.

"ලොකු නැන්දා , අප්පච්චිට වචනයක් වත් කියන්න එපා. අප්පච්චි දන්නව මම කිසිම දවසක වැරැද්දක් කරන්නෑ කියල. ඔයා හරි ලොකු නැන්දා ඒ වගේ පවුලක් අපට ආයේ හම්බවෙන්නෙ නෑ. මොකද මේධා කියන්නේ ලංකාවේ අය නොදන්නවට අනෙක් රටවල හරි ෆේමස් කෙනෙක්. ඒ මොනවයින්ද කියල මටලොකු නැන්දගේ මුහුණ බලාගෙන කියන්න බෑ. ඒ නිසා ඔයා ඔය කියන වැදගත් කියන පට්ටම එයාලට ගැලපෙන්නෙ  නෑ ලොකු නැන්දා."

බිම්සර කාමරයට ඇවිදගියේ මේ සියල්ලෙන්ම මිදී විවේක ගන්නටය.

"දාන්න සුදු අයියා පහක්" 

පොඩ්ඩා යසස් උන්නේ කාමරයේ දොර අසලමය. බිම්සර යන්තමින් මෙන් ඔහුගේ අතට අත ගටා කාමරයට ඇතුලු විය. 

"අපිට ලොකු ලොකු අයගේ කතාවලට එබෙන්න බෑනෙ සුදු අයියෙ. අපි ඒ උනාට මෙහෙට වෙලා ඇන්ටනාව දාගෙනමයි උන්නෙ"

ලොකු මල්ලී පැවසුවේ ඇඳෙන් නැගී සිටිමිනි. බිම්සර ඇඳෙහි හිඳගෙන නලල දෑතින්ම තෙරපා ගත්තේය.

"ටේක් ඉට් ඊසි සුදු අයියා. ආයෙ ලැජ්ජාවක් තියේ නම් ගුණවර්ධන ෆැමිලි එක ඔය යෝජනාව අරන් එන්නෙ නෑ මෙහෙ. අපේ ලොකු නැන්දත් වැඩේ අල්ලල දාවි ඒ කිව්ව ටිකෙන්ම."

සහස් පැවසුවේ කාමරයේ ජනේලයෙන් පිටතට යොමුවන ඇස් සමගිනි.

"මම කෙල්ලෙක්ගේ චරිතෙ ඝාතනය කරන්න කැමති නෑ ලොකු මල්ලි. ඒත් ඔක්කොම දහජරා වැඩ කරන ගමන් මගේ කරේම එල්ලෙන්න හේතුව මට වගේම ඕගොල්ලන්ටත් හිතාගන්න පුලුවන්නෙ.එයාට ඕනම උනේ ගාඩ් එකක්. ආරක්ෂාවට.මම සෑහෙන්න කාලෙක ඉඳන් ඕක ෆලෝ කරල හොයාගත්තෙ."

බිම්සර පැවසුවේ තරමක් හිත සහනයකට ආ පසුය. පසුදා පාන්දරින්ම ආපසු කොලඹ බලා යායුතු බව ඔහු තරයේ තීරණය කොට ගත්තේය.

"සුදුපුතා අපි ටිකක් කතාකරමුද?"

අප්පච්චී බිම්සර රාත්‍රී කෑම මේසයෙන් නැගිටින මොහොතේම පැවසුවේය. අප්පච්චීවත් අම්මාවත් කිසිම දිනයක නිවසේ හෝ බාහිරයෙන් පැමිණෙන ප්‍රශ්න කෑම මේසයේදී හෝ නින්දන කාමරයේදී හෝ කතාබහට නොගන්නට හුරුව උන්හ. ඉදින් බිම්සරත් මල්ලිලාත් සියල්ලන්ම එක්ව ආහාරගන්නා මොහොතේදී දිවාකාලයේ ගැටලුවක් සිදුනොවූ අන්දමට සියල්ලන්ම හැසිරුනෝය.

ආලින්දයේ අසුන්දෙකකට බරව ගත් පියපුතුන් දෙදෙනාට කතාබහ කරගන්නට ඉඩදී අනෙක් සොහොයුරන් කාමර වෙත ඇදෙනුද සුමනම්ම්මා මුලුතැන්ගෙයට ඇදෙනුද පෙනුනි. 

"සුදු පුතේ , හැමදාමත් වගේ මම විශ්වාස කරන්නේ මගෙ පුතාව. ලොකු නැන්දා ගියේ බොහොම ආවේගයෙන් තවතව කියවලා. එයා පිළිගන්න සූදානම් නෑ ඔයා කිව්ව දේවල්. මොකද ලොකු නැන්දා මේ නවීන ලෝකයේ වෙන දේවල් වලට එච්චර හුරුවුනම කෙනෙක් නෙවෙයි..මං වුනත් එහෙමතමා. නමුත් මට පුතා කිව්ව ඒ දේවල් වල බරපතල කම තේරෙනව."

අප්පච්චී බොහොම නිවීසැනසිල්ලේ කතාව ඇරඹුවේය.

"අප්පච්චි , මම මේධාගේ යෝජනාවට ඒක ආව දවසෙම අකමැති උනා අප්පච්චිට මතකයිනේ? ඒත් ලොකු නැන්දා මේක කණකටම ගත්තේ නෑ.අප්පච්චි මේ කටයුත්ත අපි කලා නම් මටත් ආමි එකෙන් එළියට යන්න වෙනවා ඒ ආරංචි වල හැටියට."

බිම්සර පැවසුවේ ඈත කඳක දිලෙන ආලෝක පහන් දෙසම බලාඅගෙනය.

"මට තේරෙනවා , දැන් ඒක අමතක කරල දමන්න. නමුත් ගුණවර්ධන ගැන මම දන්නෙ සෑහෙන කාලෙක ඉඳලා. මිනිහා පොළඟා වගේ පන්න පන්න හපන එකෙක්.ඔය මුහුණෙ පිටට පේන්න තියන ශාන්තුවර ගතිය මිනිහාගෙම වාසියට තියෙන පෙනුමක්.සුදුපුතා ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන."

අප්පච්චී පැවසුවේය.බිම්සර කිසිවක්ම නොකියා හිසසැලුවේය.

"ඒ වගේම මම පුතාල කාටවත් ජීවිතේ කිසිම දේකට බලකිරීමක් කරල නෑ මේ වෙනකල්. මට පුතාගෙන් අහන්න තියෙන්නෙ පුතාගේ ජීවිතේ ඉස්සරහ ගැන තාමත් මොකුත් තීරණයක් නැද්ද කියල?"

අප්ප්ච්චිගේ ස්වරයේ කිසිදු වෙනසක් නොවූවද එහි වූයේ ප්‍රශ්නාර්ථයක් සහ බලාපොරොත්තුවකි.

"බලමු අප්පච්චි...පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියනව මේ දිනවල. මම අප්පච්චි එක්ක හෙමීට කතාකරන්නම්."

බිම්සර නින්දට යන්නට අසුනෙන් නැගිට්ටේ අප්පච්චීගේ දෙපාමුල දණගසා වඳිමිනි. 

"තුණුරුවන්ගේම පිහිටයි. හෙට උදෙන්ම යනවද සුදු පුතේ.?"

අප්පච්චී බිම්සරගේ හිස මත අතතබමින් පැවසුවේය.

"ඔව් අප්පච්චි, උදෙන්ම ගියොත් ලේසියි. සුමනම්මා කන්න හදල දෙනව කිව්වා.අරන්ම යන්නම්."

බිම්සර සිනාවෙන් පිරි මුවින් කාමරයට වැදුණේය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

හමුවෙමු ....ආදරයෙන්

මම


(විසිරි)

4 comments: