Thursday, September 30, 2021

16.දහසය වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)

 




ඊලඟ වෛද්‍ය හමුවේදී සුලෝචනා මානසික ප්‍රතිකාරයන් සඳහා යොමු කල යුතු අන්දම ගැන බිම්සර දැනුවත් කලේ රශිත සහ ඔහුගේ මිතුරු විශේෂඥ මනෝ වෛද්‍යවරයා විසිනි.

"මෙහෙම අයෙක්ට එක්ස්පෝස් කිරීමක් කරනකොට අපි හොඳ අවධානයකින් ඒකෙ යෙදෙන්න අවශ්‍ය වෙනවා.මොකද මේ ළමයාගෙ යම් ප්‍රමාණයකට ශොක් එකකුත් තියන නිසා අපි ෆිට්ස් එහෙම එයිද කියලත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනෙ"

විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

"එතකොට අපි මේක කරන්නම ඕනද ? නොකර උන්නොත් වෙන්න පුළුවන් අවාසිය මොකක්ද ?"

බිම්සර විමසුවේ කල්පනාබරිතවය.

"කෙනෙක් කම්පනයක් මනස ඇතුලෙ තියන් ඉන්නව කියන්නේ ඒක එයාගෙ සම්පූර්ණ ජීවන රටාවටම බලපානවා කියන එකයි. එයාගෙ මතකය ඇතුලු හුඟාක් දේවල් මේ තාවකාලික ගැටලුව නිසා අවහිරවෙලා දැනටම.ඒක අනාගත ජීවිතයටම කොච්චර බලපාන්න පුළුවන්ද ?"

මානසික වෛද්‍යවරයා අතුරු පැනයකින්ම බිම්සරට පිළිතුරු දුන්නේය.

"මචං behavior treatment කියන්නෙ හරිම ක්‍රමානුකූලව යන එකක්. බෙහෙත් බොනව වගේ අතුරු ආබාධත් නෑනෙ.අපි ඔක්කොම මේක ටීම්වර්ක් එකක් වගෙ යමු.ඩෝන්ට් වොරි"

රශිත පැවසුවේ සිය මිතුරාගේ උරහිසට අත තබමිනි.බිම්සර සුසුමක් හෙලා හිසවනා එයට අනුමැතිය දුන්නේය.හිත තුළ කුකුසක් ඉතුරුවී ඇතද මේ ප්‍රතිකාරයන් ඇයගේ යහපත උදෙසාම හෙයින් කලයුතුව ඇත.

]**************************************************************************** 


සුලෝචනා අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා පළමුවන වතාවට කැඳවා ගෙන ගියේද බිම්සර  සහ රිද්මා විසිනි.ප්‍රමුදිතා හට උසස් පෙළ විභාගය ඉතාම නුදුරේ පැවතුණ හෙයින්  ඇයගේ කාලය මේ සඳහා කැප කරවන්නට අවශ්‍ය නොවන බව රිද්මා සුලෝචනාගේ මවට පැහැදිලි කළාය.

"තව සති දෙකයි නේ විභාගයට තියෙන්නෙත් අම්මා .ඒ නිසා නංගි මේ ටිකේ පාඩම් කරගත්තු වාවේ .අනික treatment වලට කොළඹ ගියාම මුළු දවසෙම ඔතනට වැය වෙනවා.අපි නංගි එක්ක යන්නං.පරිස්සමින් එක්කරගෙන එන්නම් අම්මා"

රිද්මා පැවසුවේ සිය රථය තුලට වී සිටිනා බිම්සර දෙස බලමිනි.ඔහු ඉවත බලාගෙන සිටින්නේ එතරම්ම පැහැදිලි සිතුවිල්ලක නම්  නොවේ.

"මේ දරුවන්ටත් අපි නිසා තියෙන කරදරයක්. ජාති ජාතිත් තමංගෙ මිනිස්සු වත් නොකරන තරම් උදව් මේ ටිකේ ඔය දරුවෝ අපිට කළේ. පින් සිද්ධ වෙනවා දරුවනේ කවදාවත් ඔය දරුවන්ටත් ,ඔය දරුවන්ගේ දෙමව්පියන්ටවත් කරදරයක් හිරිහැරයක් ලෙඩක් දුකක් නම් වෙන්න එපා .තුණුරුවන්ගේම පිහිටයි" 

අම්මා පැවසුවේ දෑතද එක්කර ගනිමිනි. අම්මා මේ කෙටිකාලය තුළ ඔවුන් වෙත තමන්ගේ දරුවන්ට හා සමානවම බැඳී උන්නාය.

සුලෝචනා රිද්මා සමගින් බිම්සර ගේ රථයට ගොඩවූයේ "අපි යමු නේද සුදු අයියේ "කියමිනි.

සුලෝචනා පිටුපස අසුනට නැංවූ රිද්මා ඉදිරිපස අසුනට නැගුණේ.. 

"තමුසෙ ඔය ඉස්සරහ කණ්ණාඩියෙන් පිටිපස්ස බල බලන්න ගිහිල්ලා වාහනයේ හප්ප දැනිය කියලයි මං කෝකටත් කියලා ඉස්සරහ සීට් එකට නැග්ගෙ ..."කියමිනි.

වෙනදා තමන් හා  එකට එක කියවාගන්නා බිම්සර අද කෙතරම් නිහඬදැයි රිද්මා විමසිල්ලෙන් බැලුවාය.

"මොකෝ තමුසෙ නිකම් ඇටිකෙහෙල් ගිල්ල වගේ බලාගෙන ඉන්නේ."

මදක් දුර රිය ධාවනය කරන්නට ඉඩ හැර රිද්මා ඇසුවේ කුතුහලය පිරි දෑසිනි.

"මන්දා නංගි , මේකට කැමති උනාට මට එක අතකට  හිතට මහ බයකුත් දැනෙනවා! "

බිම්සර පැවසුවේ රියෙහි කන්නාඩියෙන් පිටුපස අසුනේ ඉන්නා සුලෝචනා දෙස බලමිනි.

"ඕකට මොකද්ද බය වෙන්න තියෙන්නේ. රශිත එහෙම ඔයාට හොඳටම තේරුම් කරලා දුන්නා නේ."

රිද්මා ඇසුවේ විමසුම් ඇසිනි.

"කෙල්ලට  ලොකු shock එකක් වෙන්නේ නැතුව ඕන දෙයක් කමක් නැහැ . ඒත් එදා එතැන සිද්ධ වුනු දේවල් මතක් වෙනකොට මෙයාට ඒවා දරාගන්න පුළුවන් වෙයිද කියලා මට බයක් දැනෙනවා."

බිම්සර තම සිත තුළ පැවති කුකුස රිද්මාහට පැහැදිලි කළේය.

"එක්ස්පෝස් කරන කොට එහෙම එකපාරටම කරන්නෑ සුදු අයියෙ.ඒක යන්නෙ පියවරෙන් පියවරටනෙ.අනෙක රශී, මම ,ඔයා ,සුලෝගෙ අම්මා ,නංගි..ඔක්කොම අය මේ වැඩේට එකතුවෙනවනෙ."

රිද්මා පැවසුවේ බිම්සරගේ කුකුස මැඩලමිනි.

"ඔයත් එනවනේද ඩොක්ටර් ගාවට චූටිව  යන්න."

බිම්සර ඇසුවේ රිද්මා දෙසට හැරෙමිනි.

"එන්න නේන්නම් මේ ආවෙ..ගිහින්ම බලමුකො."

දෙදෙනාගේ කතාවට එතරම්ම අවධානයක් නැතුව මෙන් සුලෝචනා උන්නේ මාවත දෙසම බලාගෙනය.ඇයගේ මනසට ඔවුන්ගේ බස මනාව  වැටහෙන්නේ නැතිතරම්ය. සුලෝචනා සුසුමක් හෙලා මාවත දෙපස වූ ගොඩනැගිලි, මිනිසුන් දෙස බලමින්ම ගමන් කලාය.

***************************************************************** 


"ආ කොහොමද ඉතින් ?"

සුලෝචනා සහ බිම්සර සමගින් රිද්මා මානසික වෛද්‍යවරයා වෙතට පැමිණියේ රශිතගේ යොමු කිරීමද සමගිනි.

"මචං අපි එහෙනම් අද ඉඳන් එක්ස්පෝෂර් පටන්ගන්නව."

ඔහු රශිත වෙත පැවසුවේ සිනාමුසුවය.

"ඕකේ මචං, කෙල්ල කෙසේ වෙතත් භාරකාරයාට එක්ස්පෝෂර්ස් කරන්න වෙයි වගේ .බලපන්කො මුගෙ මූණෙ හැටි."

රශිත බිම්සරගේ බඩට අතින් අනිමින් පැවසීය.බිම්සර කිසිවක් නොකියා රශිත දෙස රවා බැලුවේ තැනක් නොතැනක් නැති කියවීම නවතා දමනු රිසිවය.එහෙත් පාසල් සමයේ සිට එකාවන්ව උන් සිය මිතුරාගේ රැවීම් රශිතට ගණනක්ම නොවීය.

මනෝ වෛද්‍යවරයා විසින් කලයුතු පියවර සියල්ලම මැනවින් පහදාදුන් පසු ක්‍රමානුකූලව සුලෝචනා අදාල මතකයන් වෙත යොමුකිරීම සිදුවිය.

"සුලෝචනා ඔයාට මේ පත්තරයෙ ආටිකල් එක කියවන්න පුලුවන්ද?"වෛද්‍යවරයා විසින් ඇය අත තැබුවේ බෝම්බ පිපිරීමට අදාල ප්‍රවෘත්තිය සහිත ලිපියකි.එහි දේවස්ථානයේ සුන්බුන් සහිත සේයාරුවක් තිබුණද සිත කලඹන අන්දමේ සේයාරූ කපා ඉවත් කොට සකසා ගෙන ආවේ රිද්මා විසිනි.

සුලෝචනා හිස වනා එම ලිපිය කියවන්නට ගත්තාය.ලිපියේ අකුරු අතර වේගයෙන් දිවගිය ඇයගේ ඇස්පිය එකිනෙක ගැටෙමින් කලබල වනු පෙනුනේය.සේයාරුවට අතතබා ගෙන යමක් කියන්නට සුලෝචනා වෙරදරනු බිම්සරට පෙනුනි.ඔහු වහා රිද්මාට ඇය අසලට යනමෙන් පවසුවාය.

"මේ දවස ඔයාට මතකද නංගි?"රිද්මා ඇයගේ අතකින් අල්ලාගනිමින් පැවසුවාය.සුලෝචනා කිසිවක්ම නොකියා ඒ සේයාරූ දෙසම බලාඋන්නාය. ඇස් මෙන්ම අත්ද වෙවුලා යමින් පුවත්පත් කොටස බිමට පතිත වී ගියේය.සුලෝචනාගේ ඇස් වලින් කඳුලු පේලියක් ගලායන්නට විය.

"එයාට මතක් වෙනවා."

මනෝ වෛද්‍යවරයා සෙමින් පැවසුවේය.

"අපි මේ වගේ ක්‍රමක්‍රමයෙන් එක්ස්පෝස් කරමු.

ගෙදර අයට කියාදෙන්න මනසට දරාගන්න පුලුවන් දේ විතරක්ම සිහිගන්වන්න කියල."

වෛද්‍යවරයා රිද්මාහට පැවසුවේය.සුලෝචනා හට මනස ඉහිල්වීමේ ක්‍රියාකාරකම් මාලාවක් සහ ඖෂධ ප්‍රතිකාරයන්ද තව දුරටත් නිර්දේශ කරදෙනු ලැබුණි.

සුලෝචනා කඳුලු පිසලමින් බිම්සර සහ රිද්මා සමගින් අසුනෙන් නැගීඋන්නේ වෛද්‍යවරයා ඔවුන්හට යාමට ඉඩදුන් හෙයිනි.

සුලෝචනා වෛද්‍යවරයා හමුවට ගොස් ආ මොහොතේ පටන් හුදෙකලාව ඉන්නටම තැත්දැරුවාය. රිද්මා , ප්‍රමුදිතාට සහ අම්මාට ඇයට නිදහසේ ඉන්නට ඉඩ දෙන්න යැයි පැවසූවේ මේ ප්‍රතිකාර ක්‍රමය ඇයට තරමක අසීරුතා මතුකරදෙන්නක් විය හැකි බව දන්නා හෙයිනි.

පුවත්පත් කොටසේ වූ කාරණය කියවීමෙන් පසු සුලෝචනාට අඳුරු පැහැ මතකයක් සේ සිදුවීමක ඡායාමාත්‍රයක් මනසට ඇතුල් වූවා සේ හැඟෙන්නට විය.දැඩි හිසේ වේදනාවක් සමගින්  එකිනෙක අඳුරු පැහැයෙන්  මනසේ මතුවන අපැහැදිලි මතක හේතුවෙන් සුලෝචනා කෑගැසුවාය.

"අක්කේ අක්කේ ඇයි මේ.?"

ප්‍රමුදිතා දුවගෙන ආවේ සුලෝචනා කෑගසන හඬිනි.

"ඔලුව රිදෙනවා ..ඉන්න බෑ අනේ"

සුලෝචනා අඬන්නට වූයේ හිස දෑතින්ම බදාගනිමිනි.

"අම්මේ අක්කගෙ බෙහෙත් ටික ගෙන්න.ලොකූ බයවෙන්න එපා.ඔයාට බෙහෙත් බිව්වම හරියාවි.ඉන්නකො අපි බේත් බිව්වම මම ඔයාගෙ ඔලුව මසාජ් කරන්නම්."

ප්‍රමුදිතා අක්කාගේ හිස අතගෑවාය.

සුලෝචනා ඉකිගසන්නට වූයේ සිය සොහොයුරිය බදාගනිමිනි.

"මෙහෙම කෙල්ලට දුක් විඳින්න වෙනව  නම් අපි මේ බෙහෙත් කිරිල්ල අතාරිමු පුතේ."

අම්මා ඇඳ උන් ගවුමේ කරෙහි කදුලු පිසලමින් පැවසුවාය.

"පිස්සුද අම්මේ මේ සේරම කරන්නෙ අක්කගෙම හොඳටනෙ.අම්මා කලබල නොවී ඉන්නකො."

ප්‍රමුදිතා අම්මා වෙත හැරෙමින් පැවසුවේ අක්කා සයනයේ වැතුරුන පසුවය.


***********************************************************************************************


සුලෝචනා පසුදිනයේ ඇහැරගත්තේ වෙනදාට වඩා ප්‍රබෝධමත්වය. පෙරදා රාත්‍රියේ ඇතිවූ තදබල හිසේ වේදනාව මේ වනවිට සමනය වී ඇයට පහසුවක් දැනෙන්නට පටන්ගෙන තිබුනි.

සුලෝචනා ඇඳෙන් නැගිට සිය ඇඳෙහි ඇතිරිල්ල සෙමින් නවා තබා නාන කාමරයට වැදුණාය.කාලය සමග සුලෝචනා ටිකෙන් ටික තමන්ගේ පුරුදු ජීවන රටාව යළි සකසා ගත්තාය.මුහුණකට සෝදා වෙනත් ඇඳුමකට මාරුවූ සුලෝචනා මිදුලට බැස්සේ අලුත් හුස්මක් ලය පිරෙන්නට අරගනිමිනි.මිදුල අතුගාමින් උන් ප්‍රමුදිතා අක්කා එන දෙස බලාඋන්නේ විමසිල්ලෙනි.

"ගුඩ් මෝනින් ලොකූ"

ප්‍රමුදිතා ඉදල ගසකට හේත්තුකොට අක්කා බදාගත්තාය.

"ගුඩ්මෝනින් චූටි.මට දෙන්න මම අතුගාන්නම්" 

සුලෝචනා ඉදල දෙසට අතදිගු කලාය.ප්‍රමුදිතා යටි සිතින් සතුටින් පිනුම් ගැසුවාය.

"ආ ඔන්න එහෙනම් ඔයා අතුගාන්න.මම අපි දෙන්නට තේ හදන් එන්නම්."

ප්‍රමුදිතා අක්කාගේ කොපුලක්ද සිපගනිමින් ගෙට දිව්වාය.

සුලෝචනා ඉදල් රටා මවමින් සෙමින් මිදුල අතුගාන්නට පටන්ගත්තාය.වෙනදාට වඩා සිරුරට වෙහෙසක් දැනේ.එහෙත් මොකක්දෝ නැවුම් ගතියක්ද දැනේ.

"අම්මෙ අම්මේ..."

ප්‍රමුදිතා මුලුතැන්ගෙයට දුවආවේ අම්මාට අඬගසමිනි.උදෑසන ආහාරයට ඉඳිආප්ප තම්බමින් උන් අම්මා කලබලයෙන් නැගී උන්නාය.

"මොකද දරුවො මම බයවුනා කෑගහන් එනකොට.ඇයි අක්කට ආපහු ඔලුව කැක්කුමලුද ?"

අම්මා වහා ඇය වෙත ආවාය.

"පිස්සුද අනේ .එන්නකො බඩ්ඩක් පෙන්වන්න."

ප්‍රමුදිතා අම්මාගේ අතින් ඇදගෙනම ජනේලය වෙත ආවාය.සුලෝචනා තාලයකට මිදිල අමදින්නීය.ඇගේ මුහුණේ සුන්දරම සිනාරැල්ලක් දැවටී ඇත.

"එයා ටික ටික නෝමල් වෙන්න අරන්. අම්මට පේනවද වෙනස."

ප්‍රමුදිතා ඇසුවේ අක්කා වෙතම යොමුවූ නෙතිනි.

"මූණත් එක්ක එලිය වැටිලා නේද පුතේ .අනේ මගෙ කෙල්ලට රත්නත්‍රයේ සරණයි."

අම්මා ඉකියකට ලඟ හඬින් පැවසුවාය.

ප්‍රමුදිතා කාමරයට දුව ගොස් ජංගම දුරකතනය රැගෙන විත් කෙටි වීඩියෝවක් කලේ අක්කා අතුගාන අන්දමය.එය බිම්සර අයියාට යැවිය යුතුය.ඒ ප්‍රේමය ඇත්තෙන්ම බලාසිටින්නට ආසා හිතෙන අන්දමේ එකක්‍ ය.බිම්සර අයියාගේ කැපවීම අක්කා වෙනුවෙන් කරන්නාවූ හැමදෙයක්ම සහ ඉවසීම විටෙක අදහාගන්නට අපහසු තරම් බව ප්‍රමුදිතාටද සිතේ.

වට්ස් ඇප් හරහා අක්කාගේ වීඩියෝව බිම්සර වෙත යැවූ ප්‍රමුදිතා එය ඔහු වෙතින් බැලූ බව සටහන් වන නිල් ඉරිදෙකක් එනතුරු විටින් විට බැලුවාය.කාර්‍යබහුල නිලධාරියෙකු ලෙසින් ඔහුට  කාලය පිලිබඳ සටනක් ඇතිබව දන්නා හෙයින් ප්‍රමුදිතා ඉවසීමෙන් බලාඋන්නාය.

"නංගි..."

දිවා ආහාර වේලාවට ආසන්න මොහොතකදී ප්‍රමුදිතාගේ ජංගමය නාදවූයේ බිම්සරගේ අංකයෙනි.

"අයියෙ දැක්කද ?"

 ප්‍රමුදිතා ඇසුවේ හිතපිනා යන තරමේ සතුටිනි.

"ඔව්නෙ ...මාර්වලස් ඒක නම්...එයාගේ මූණ හිනාවෙන් පිරිලා තියනව දැක්කමයි" බිම්සරගේ හඬ හැඟීම්බර විය.

"ඊයේ රෑ ඔලුව බදාගෙන හරියට ඇඬුවා අයියෙ.අපි බෙහෙත් ටික දුන්නාම නින්ද ගියා. උදේ තමයි ඔය."

"තව ට්‍රීට්මන්ට් වාර කීපයකට අක්කව ගෙනියන්න වෙනව නංගි.ඒත් මගෙ හිතට දැන් සැනසීමයි ඔහොම ටික ටික එයා රිකවර් වෙන එක ගැන."

බිම්සර පැවසුවේ හදවතේ පිරුණ සැනසීමෙනි.එහෙත් ඇයට තමා මතකයට නොඑන්නට ඉඩක් ඇත. අතීත මතකයේ සමහරක් තැන් ඇයට මේ අන්දමින් අපැහැදිලි වූයේ මන්දැයි වෛද්‍යවරයා ගෙන් ඇසූකල ඔහු පැවසුවේද ..

"සමහරක් අනවශ්‍ය දේවල් මේ කාරණය එක්කම මෙයාගේ මෙමරි එකෙන් අයින් වෙන්න ඇති.ඔය අම්මගෙන් නංගිගෙන් අහල බලන්නකො ඒ ආසන්න කාලයෙ උන ඒවා මෙයාට මතකද කියල?"

යනුවෙනි.ඒ සම්බන්ධව ඇසූකල ප්‍රමුදිතා අනාවරණය කලේ..

"අයියේ අක්කගෙන් ඇහුවම ගමේ විස්තර එයාට මතක නෑ කියනවනෙ එහෙම දේවල්" යන අන්දමිනි.

අකමැතිම අඳුරු අප්‍රසන්න යුගයක මතකයන් මේ සිදුවූ කම්පනය සමගින් ඇයට අහිමිව ගිස් ද ? එවිට ඒ ආසන්නයේ වූ පාසල් සමය ,දෙදෙනාගේ සොඳුරු අප්‍රකාශිත ආදරයද සුලෝචනා ගේ මතකයෙන් ගිලිහ ගොසින්ද? 

බිම්සර දැඩිසේම කම්පාවූයේය.අවසන ඔහු සිත හදාගත්තේ සිදුවූ හැමදෙයක්ම සමබර වනු ඇතැයි යන විශ්වාසය හිතට ඇතිකරගනිමිනි.

*************************************************************************************************************** 


ප්‍රතිකාර වාර දෙකතුනකදී සුලෝචනා පෙරටත් වඩා යහපත් ප්‍රතිචාරයන් දක්වන්නට සමත්ව උන්නාය. ප්‍රතිකාර වලට සමගාමීව සුලෝචනා ,පෙර සිදුවීම වූ දේවස්ථානයට මෙන්ම ඔවුන් පෙර නැවතී උන් නිවෙසටද එක්කරගෙන යන්නට ප්‍රමුදිතාට සහ අම්මාට උපදෙස් දෙනු ලැබීය.හදිසි අවශ්‍යතාවයක් වුවහොත් යැයි සිතා රිද්මාද ඒ ගමන් වලට එක්වූවාය.

මානසිකව එම සිදුවීමට නිරාවරණය  වූවාට වඩා කායිකව එවන් ස්ථාන වල ට එක්කරගෙන යෑමේදී සුලෝචනා ගේ තිගැස්ම සහ මානසික අසමතුලිත භාවය මොනවට දිස්වුවද ඒ හා සමානව සිදුකල ඉහිල්වීමේ කියාකාරකම් සහ ඖෂධ මාත්‍රාවල සහයෙන් ඇය සාමාන්‍ය තත්වයට පත්වූවාය.

පෙරඔවුන් නැවතී උන් නිවෙසට ගිය දිනයේ සුලෝචනා කඩයට ගොස් බොහෝවේලාවක් බලා උන්නාය.ප්‍රමුදිතා ඇයව තනි නොකර ලඟටම වී උන්නාය.කැඩීබිඳී ගිය බඩුබාහිරාදිය ඉවත්කොට ගොඩනැගිල්ලද පිළිසකර කොට තිබූ හෙයින් සුලෝචනා තරමක් පහසුවෙන් මෙන් එහි බලාඋන්නාය.

"නංගි, එදා උදේ  සසංකා කඩේට ඇවිල්ල ගියානෙ . එයාට මොකද උනේ?"අක්කා ඇසූ කාරණයට ප්‍රමුදිතා පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට ඇය කඩකාමරයේ පිටිපසට ගොස් කැඳවාගෙන ආවේ එදා උදේ කඩයට පැමිණ ගිය ඇයගේ මිතුරිය වූ සසංකාය.

එදා කඩයට විත් මඳක් පමාවීම හේතුවෙන් දේවස්ථානය තුලට යන්නට ඉඩකඩ නොවූ හේතුවෙන් දේවස්ථාන බිමෙහි රැඳෙන්නට වූ ඇයද බරපතල ලෙස තුවාල ලබා දිවිගලවාගත්තාය.දේවස්ථානය තුල උන් ඇයගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම ඒ අනතුරෙන් මියගිස් තිබුණි.

" අනේ සුලෝ..."ඇය එක්වනම සුලෝචනා බදාගත්තාය.

මිතුරියන් දෙදෙනා ඉකිලමින් හඬන්නට වූයේ මරණයේ අබියසටම ගොස් ආපසු හැරී යළි හමුවීම ගැන උපන් සංවේදී භාවයෙනි.

හැඬුම් දෙඩුම් කතාබහ ඔස්සේ කාලය ගෙවී යන්නට විය.

"පල්ලියටත් ගිහින්ම යමු පුතේ"

අම්මා පැවසුවේ ගෙවත්තේ ඒ මේ අත ඇවිදින සුලෝචනාහටය.අම්මාගේ බසට හිස වනා එකඟවූ සුලෝචනා ගෙහිමි නැන්දාගෙන්ද සමුගෙන අම්මා සහ නංගී සමගින් දේවස්ථානය වෙත පිය එසවූවාය.

'සුලෝචනා , කොහොමද දරුවො. දැන් සනීපයි නේද ?"

දේවස්ථානයේ පියතුමා සුලෝචනා වෙත පැමිණියේ ආශීර්වාද කරමිනි.ඇය දුක්බර සිනහවක් පෑවේ කිසිත් නොකියාමය.

"පසුගිය දේවල් ගැන කම්පා වෙන්න එපා දරුවා.මේ හැමදේම ලෝක ස්වභාවය.දැන් ප්‍රතිකාර කටයුතු ඉවරද පොඩි දුව?" ප්‍රමුදිතා ගෙන් එතුමා ඇසුවේ ඉන්පසුවය.

"ඔව් ෆාදර්, දැන් හුඟක් ඉවරවෙලා.අක්කට මතකයි ඒ හැමදේම"ප්‍රමුදිතා පිළිතුරු දුන්නාය.

"සුලෝචනාගේ වෙලාවට අර ආමි ඔෆිසර් එයාව අරන් ගියේ.නැත්නම් එදා ඒ අනතුර ගැන හිතාගන්නවත් අමාරුයි." පියතුමා ඔවුනට යළි ආශීර්වාද කොට ඔවුන්ගෙන් සමුගෙන ගිය පසු සුලෝචනා දේවස්ථානය තුළට සෙමින් ඇවිද ගියාය.

සියලු පිළිසකර කිරීම් මේ වනවිට සමාප්ත ව තිබුණද මොකක්දෝ කිව නොහැකි අන්දමේ වේදනාත්මක බවක් සුලෝචනාහට දැනෙමින් තිබුණි.ඇය සුසුමක් හෙලා ආපසු නැගිට ආවාය.අම්මාත් නංගීත් සමගින් ආපසු නිවෙසට එන විට රෑ අඳුරද ගලා එමින් තිබුණි.

******************************************************************** 

"අද කොහෙද ඇවිදින්න ගියේ චූටි?" සුපුරුදු ඇමතුම බිම්සරගෙනි.පුරුද්දක් ලෙස දවස අවසානයේ බිම්සර සුලෝචනාහට ඇමතුමක් දෙමින් දවසේ විස්තර විමසයි.

ඔහු පිළිබඳ මොකක්දෝ මතකයක් හිත යට තිබුණද සුලෝචනාහට එය පියවි මතකයට එන්නේ නැතිතරම්ය.

"කලින් උන්න ගෙදරටයි පල්ලියටයි ගියා."සුලෝචනා මඳ සිනහවකින් යුතුව පවසන්නීය.මතක අතීතය කෙසේ වෙතත් බිම්සර යනු සුලෝචනාහට සුවිශේෂ පුද්ගලයෙක්ව හමාරය.

"මං මේ වීක් එන්ඩ් එකේ එනවා.අපි පොඩි ගමනක් යමුද?"

බිම්සර ඇසුවේ සිනාසෙමිනි.

ඕක ඇහුව ගමන් ඇස් ලොකු කරන් කල්පනාවක ඇති එකත් එකටම...ඔහු තමාටම පවසා ගත්තේය.

"අපි දෙන්නා විතරක් ?" සුලෝචනා ප්‍රශ්නාර්ථයක් නැගුවාය.

"ඔව් අපි දෙන්නා විතරක්.මම අම්මට කියන්නම්.මේක වැදගත් ගමනක් චූටි."බිම්සරගේ හඬ ඉතා හැඟීම්බරවිය.සුලෝචනා කිසිත් නොකියා නිහඬවූවාය.

බය ඇති...බිම්සර ඉන් පසු ඒ ගැන කිසිවක්ම නොපවසා ආගිය තොරතුරු පමණක් අසා ඇමතූමෙන් සමුගත්තේය.

"දැන් නංගිට ඔක්කොම දේ වගේ මතක එකේ අපි ස්කූල් ටයිම් එකට යං මචං" රශිත සහ මනෝවෛද්‍ය වරයා සමග වූ දුරකතන සංවාදයකදී තීරණය වූයේ පෙර සතියේය.එහෙයින් ඇයව පාසල වෙත රැගෙන යා යුතු බව බිම්සර  තීරණය කොට ගත්තේ ප්‍රමුදිතා  පෙර දවසකදී සුලෝචනාගේ  වීඩියෝ ගත කරන ලද පැවතුම එවීමත් සමගය.

************************************************************************ 

කල් ඇතිව අම්මා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බව බිම්සරට පැවසූයේ රිද්මා විසිනි .

"සුදු අයියේ , දැන් ඉතින් සුලෝචනාගේ අම්මට ඔය දෙන්න ගැන කිව්වොත් හොඳයි නේද ? මොකද ඒ මනුස්සයා උනත් හිතෙනවනේ මෙහෙම නිතරම යන එන එක ගැන . ලොකු ගෑනු ළමයි ඉන්න අම්මල ගෙ හිතේ හැමතිස්සේම බයක් තියෙනවානේ ."

රිද්මා පැවසුවේ සුලෝචනා පාසැල වෙත කැඳවා ගෙන යා යුතු බව බිම්සර පැවසූ මොහොතේය.

එහෙයින් බිම්සර  සහ රිද්මා , සුලෝචනා ගේ මව හමුවීමට යොදාගත්තේ රිද්මාගේ නිවසේ දීය.

"ඇත්තෙන්ම පුතේ ,ඔයා මගේ දරුවාගේ ජීවිතේ බේරගත්තු බව ඇත්ත. ඒත් ඉන් පස්සෙත් ඔයා යන එනකොට මට යම්කිසි ඉවක් වගේ දේකුත් වැටහුණා. ඒත් මම අපේ ලොක්කි ස්කෝලේ යන කාලේ වත්  ඔයාගේ නමක් වත් එහෙම සම්බන්ධතාවයක් වත් අහල තිබුණෙ නැහැනේ. ඉතින් මට හිතා ගන්න බැරි වුනා මොකද්ද මේ පුතා මෙච්චර වදවෙන එකේ හේතුව." 

අම්මා පැවසුවේ සිනාමුසුව ය .

" ඇත්තෙන්ම කිව්වොත් අම්මේ , මායි චූටියි අතරේ එහෙම සම්බන්ධයක් කියන්න තරම් දෙයක් ඇතිවෙලා තිබුණේ නැහැ .ඒ වෙනකොට මම ඒ ලෙවල් නිසාත් මෙයා ඕලෙවල් නිසාත් අනික අර තේජගෙන් ආව ප්‍රශ්න  නිසාත් මට චූටිව පරිස්සං කරන්න සෑහෙන්න ඕන වුණා . ඉන්පස්සෙ වෙච්ච දේවල් තමයි මං මේ දැන් අම්මට කිව්වේ ."

බිම්සර  පැවසුවේ අම්මගේ මුහුණ දෙස සෘජුවම බලාගෙනය .

"ඇන්ටි දැන් මෙන්න මේකයි වැඩේ .සුදු අයියා සුලෝචනා නංගි ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා . මම හිතන්නේ නැහැ ඇන්ටි උනත් සුදු අයියාට අකමැති ඇති කියලා."

රිද්මා පැවසුවේ වර්තමාන තත්වයේ ඇති පිවිසුමට මුල පුරමිනි.

"පුතේ අපි සෑහෙන දුප්පත් බව ඇත්ත. මේ දරුවන්ගේ තාත්තා අපිව පාරටම ඇදලා දැම්මත් මායි මගේ දරුවෝ දෙන්නයි  කිසිමදාක අපේ නම කැත කරගත්තේ නැහැ . පුතා ගැන මගේ කිසිම  අකමැත්තක් නැහැ .නමුත් පුතාගේ තාත්තගේ සහෝදරයන් ගේ අදහස් මොනවද  කියන එකත් මේකෙදි අපට ඉතාම වැදගත් වෙනවානේ පුතේ "

අම්මා බෙහෙවින් දුරදිග බලන්නි යක් බවට තවදුරටත් සාක්ෂි අවශ්‍ය නොවේ .

"මම අපේ අප්පච්චිලා එක්ක ඒ ගැන කතා කරන්නම් අම්මා.ඉතින් ඊට කලින් එදා චූටිව පෙන්නපු ඩොක්ටර් කියපු විදියට එයාට මගේ ගැන තියෙන මතකයත් අලුත් කරගන්න පුලුවන්ද කියන එක බලන්න එක තියෙන හොඳම තැන තමයි ඉස්කෝලේ.ඉතින් මට හෙට චූටිව ඉස්කෝලෙට එක්ක යන්න අම්මගෙන් අවසර ඕන . මම ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට කතා කරා.ඉරිදා දවස නිසා එහෙම එන එකේ ගැටළුවක් නැහැ .රිද්මාත් අපි එක්ක යනවා."

බිම්සර  සියලුම දේ පැහැදිලි කොට නිහඬව අම්මාගේ මුහුණ දෙස බලා උන්නේ ඇයගේ ප්‍රතිචාරය දැන ගනු රිසියෙනි .

"ඔය දරුවෝ මේ වෙනකන්ම කළේ මගේ කෙල්ලව ගොඩගන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් කරන්නේ නැති දේවල්.කෙල්ලගෙ අම්මා වෙලත් මට කරන්න බැරි දේවල් ඔය දරුවෝ දෙන්න කලා .ඒ නිසා හෙට තුන්දෙනාම පරිස්සමෙන් ගිහිල්ලා ඒ දේ කරගෙන එන්න ."

අම්මා සිනාමුසුව සිය අවසරය ඔවුන්හට දුන්නාය.


යලි හමුවෙමු .


විසිරි 

11 comments:

  1. අද කොටසත් මරු.. ❤️❤️❤️

    කලිං කොටසෙ අහපු පස්නෙට උත්තරේ 😃 ඒකට දැම්මට බලල නැති නිසා මෙතන ලියනව 😃

    කලිං නං හිටිය දැං බ්ලොක්ද කොහෙද. පෙන්නන්නෙ නෑ. කෝමත් මූණු පොතේ ඒව වෙලාවකට ඩාම් වෙනව ඩූම් වෙනව නේ.. 😃
    අවුලක් නෑ. ඊළඟ ඕඩරේට පොත දාන්නම්

    ReplyDelete
    Replies
    1. නෑ , මම හිතන්නේ ඔයා ඒ උන්නේ මගේ කලින් තිබ්බ විසිරි සිහින මුහුණු පොත් එකවුන්ට් එකේ.ඒක බ්ලොක් උනානේ.කිත්මා ප්‍රොෆයිල් එකේ ඔයා උන්නේ නෑ මතක හැටියට. මම එහෙනම් රික්වෙස්ට් එකක් දාන්නම්කෝ

      Delete
  2. දෙයියනේ! මෙහෙම බූරුවා ගහනවා වගේ ලියාගෙන ලියාගෙන යද්දී කොහොමද කියවන්නේ! සති අන්තෙ වත් ඇරියල් එක කවර් කරගෙන එන්නම්! බොරු ඕනෙ නෑ නේ!? කියෙව්වෙම නෑ!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කිරීමට පෝස්ට් එක කියවීමට අත්‍යාවශ්ය නැත - අනුග්‍රහය ප්‍රාජේ මැතිතුමා

      Delete
    2. @ Thattayagekolama මේවා ලියන තියල හෙන ගහන්න වගේ දාන පොස්ට් අනේ. හෙමිට කියවන්න ඒකට කමක් නෑ

      Delete
  3. සොරි, තාම වැට ගහන්න බෑ. කියවලම වැට හිටවන්නම් :)

    ReplyDelete
    Replies
    1. මම මේ වැටවල් ටික එකතුකරලා වත්තේ මායිම අටෝගන්න ඉන්නේ ....

      Delete
  4. මහේෂ් කිව්ව එක හරි. අද කතාව සංවේදී වගේම නියමයි. එක හුස්මට කියෙව්වා.

    ReplyDelete