Sunday, October 3, 2021

17 . දහහත් වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)





සුලෝචනාගේ අම්මාගේ අවසරය පරිදි රිද්මා සහ බිම්සර ඉරිදා උදෑසන සුලෝචනාද  සමගින්  පාසල වෙත යාමට නික්මුණෝය .

"අයියෝ මටත් එන්න තිබ්බනං"

රශිත කුරු කුරු ගෑවේ ඔහුට අත්‍යවශ්‍ය වැඩමුළුවකට සහභාගි වීමට සිදු වූ හෙයිනි.එහෙත් පාසල් මතකයන් අප සැමටම කෙතෙක් වටීදැයි කෙතෙක් කාර්‍යබහුල වුවද ජීවිතයට අමතක කල නොහැක.

"අනේ පලයන් යන්න .උඹ ඒ කාලෙත් හිටිය කියලත් මට වෙච්ච සෙතක් නැහැ නේ"

බිම්සර පැවසුවේ මහ හඬින් සිනහසෙමිනි.

"ආ මල්ලි එහෙම උඹ කියන්නේ.අර තේජාගෙ කේස් එක වෙලාවේ මායි තාමරියි නොවුන්නනම් උඹත් එක්ක තාමත් චූටි නංගි තරහයි .මේක ගොඩ දා ගත්තෙ මං හින්දා බව අමතක කරන්න එපා හරිද ?"

රශිත පැවසුවේය.

ඇත්තෙන්ම එදා රශිත සහ තාමරී එක්ව තමන් දෙදෙනා මුණ ගැස්ස වූයේ නැත්නම් වැටහීම් හේතුවෙන් දෙදෙනා විරසකව සිටින්නට ද ඉඩ තිබිනි.

"ඒකටනම් උඹට  මල් තියලා වඳින්න ඕන."

බිම්සර පැවසුවේ අතීත මතකයේ සුන්දරතාවය යළි සිහි කරමිනි.

"සුදු අයියෙ..අපි ඉස්කෝලෙට ආවා.තමුසේ මොන ලෝකෙද ඉන්නේ" 

රිද්මා කල්පනාවෙන් නියැලී සිටින  බිම්සරගේ අතට පහරක් ගසමින්  පැවසුවාය .තිගැස්සීමෙන් වටපිට බැලූ බිම්සර වහා රියෙන් බැස්සේ  තමාට පෙර රියෙන් බැස පාසල්  ගේට්ටුව අසල ඉන්නා සුලෝචනා දැකය.

"මම සිකියුරිටිට කතා කරා.අපි යං ඇතුලට."

රිද්මා වාහනය  මාවත අයිනේ නවතා ඔවුන් පසුපස පාසල වෙතට ඇතුළු වූවාය.

"මේ එහෙනම් මං ටිකක් මෙතනින් වාඩිවෙලා ඉන්නම් .ඔය දෙන්න ක්ලාස් රූම් එක පැත්තට ගිහින් එන්න"

රිද්මා  බෝගන්විලා මල් පෝච්චි තැබූ ආරුක්කුවක් යට තිබූ බංකුවේ ඉඳ ගත්තාය .

බිම්සර සුලෝචනා ද සමගින් එකොලහ වසර පන්ති කාමරය වෙත ඇවිදගියේය.පන්තිකාමරයේ හැමදාම  සුලෝචනා ඉඳ ගන්නා ඩෙස්කුව වෙතට ඇයව කැඳවාගෙන ගිය බිම්සර ඇය එහි පුටුවේ ඉඳුවීය.

"චූටි ..මං මේ මතක් කරන්න යන්නේ ඔයාට අමතක වෙලා තියෙන අවුරුදු දහයකට එහා අපි දෙන්නගේ කතාව" 

බිම්සර සුලෝචනාට ඉදිරිපස පුටුවේ ඇයට මුහුණ ලා ඉඳගත්තේය.

සුලෝචනාගේ දෑස් මදින් මද හාත්පසම සිසාරා දිව යනුබිම්සර බලා උන්නේය .ඔහු බොහෝ වෙලාවක් ගෙන ඔවුන් දෙදෙනා ගේ අතීතය ඇයහට පවසන්නට වූයේය.

"ඔයා හැමදාම වාඩි වුණේ මෙතැන ..මතකද ?"

එතකොට මම රශිතය එක්ක ඔයාව බලන්න ඉන්ටර්වල් එකට  එනවා .ඇවිල්ල මම ඉන්නේ අන්න අර  තාප්පෙ ගාව හේත්තුවෙලා .

ඔයා මගේ දිහා හොරෙන් හොරෙන් බලනවා . ඒ උනාට මම ඔයාව බලන්න ආපු බවක් පෙන්නන්නෙ නෑ "

බිම්සර සිනහ වූයේ දෑතම හිස පිටුපස්සට  බැද ගනිමිනි .

"ඇයි ඒ?" 

සුලෝචනා වේගයෙන් ඇසිපිය ගසමින් විමසුවාය 

"ඇයි මම නේ ඒ දවස්වල හෙඩ් ප්‍රිෆෙක්ට් උනේ. චූටි .... ඔයාට පොඩ්ඩක්වත් එහි දවස් මතක නැද්ද ? ඔයා මට sanwiches ගෙනත් දීපු එක ...පඩිපෙලේදි ඔයාට යන්න දෙන්නෙ නැතුව බ්ලොක් කරන්  ඉන්න හැටි.ඔයාට ඒ මුකුත් මතක නැද්ද චූටි?" 

බිම්සරගේ හඬට වේදනාවක්ද එකතුවෙමින් පැවතුණි.සුලෝචනා කඳුලු පිරුණ දෑසින් ඔහු දෙස බලා උන්නාය.

"අනේ ඇයි මට ඒ මොකුත් මතක් වෙන්නෙ නැත්තෙ.මට ඉස්කෝලෙ කාලේ මොකුත්ම මතකනෑනෙ අයියේ."

සුලෝචනා ඉකිගසමින් හඬන්නට වූවාය.බිම්සර කලබල වූයේ ඇය හඬාවැටෙන්නට වූ හෙයිනි.

"චූටි ප්ලීස් , අනේ අඬන්න එපා ඉතින් . ඩොක්ටර් කිව්වෙ නැත්නම් මම ඔයාව මේ ගමන එක්ක එන්නෙ නෑ ඇත්තමයි.ඔයාට ඒ දේවල් කවදහරි මතක් වෙනවනම් වෙයි කියල මං නිකම් ඉන්න හැදුවෙ.ප්ලීස් අඬන්න එපා චූටි."

බිම්සර වහා ඇය අසලට පුටුව ඇදගත්තේය.සුලෝචනා ඩෙස්කුවට ඔලුව ගසාගෙන හඬන්නේ පෙරදවසක තේජා ඇයට බැනවැදුණ පසු අඬන්නාසේමය.බිම්සරට මහා ලතැවිල්ලක් දැනුනි.

"චූටි දැන් ඔය ඇඬුවා ඇති.ඕක නවත්වන්න.අපි ගෙදර යමු."

බිම්සර වදෙන් පොරෙන් කඳුලු ගලා එන සුලෝචනාගේ මුහුණ පිසදැමීය.ඉතින් ඇයට ඒ කිසිවක් මතකයේ නැත.බිම්සර සුසුමක් හෙලුවේ වේදනාව සමනය කොටගන්නටය.

"සුදුඅයියෙ මොකෝ ඇත්තට උනේ?"

ඔවුන් දෙදෙනා ආපසු එන පෙරමඟට ආ රිද්මා ඇසුවේ දෙදෙනාගේම මුහුණ එතරම් හොඳ නැති බව දකිමිනි . බිම්සර  ඇයට ඇසෙන් ඉඟිකර කිසිවක් අසන්නට එපා යැයි පැවසීය .

"අපි shopping පාරක් යමුද ?"

බිම්සර ඇසුවේ හූල්ලමින් සිටින සුලෝචනා වෙත හැරෙමිනි .ඇය හිස වනා එය ප්‍රතික්ෂේප කළාය.

"මට ගෙදර යන්න ඕන" 

සුලෝචනාගේ හඬ ඉකියකට හැරෙමින් පැවතුණි .

"ගෙදර ගිහින් අඬන්න එහෙම තියාගන්නවා නෙමෙයි ඔන්න චූටි .මට අම්මගෙන් බැනුම් අහන්න වෙන්නෙත් මට ."

බිම්සර පැවසුවේ සුලෝචනා නිවසට ගොසිනුත් හඩනු ඇතැයි  සිතුනු හෙයිනි.

සුලෝචනා නිවසට ඇරලවා ආපසු යන අතරේදී රිද්මාගේ නිවසට පැමිණි බිම්සර  සිදුවූ පවත් ඇයට පැවසීය.

"එයාට මොකුත් මතක් වෙන්නේ නැහැ නංගි .මට දුක ඒ නිසා නෙමෙයි .දේවල් මතක් වෙන්නෙ නෑ කියලා කෙල්ල හරියට අඬන්න ගත්තා .අන්තිමට ඔහොම අඬලා ආයෙ අසනීප වුණොත් ඒ කෙල්ල පව් "

බිම්සර පැවසුවේ දෑතින්ම නළල මිරිකගනිමිනි .

රිද්මා සුසුමක් හෙලා ලය සැහැල්ලු කොට ගන්නට වෙර දැරුවාය.මේ පෙම්වතුන් යුවළ දෛවයේ සරදමට ලක් වන්නේ එසේ මෙසේ ආකාරයට නම් නොවේ . මෙතුවක් කල් ජීවිතයේ සරදමට ලක් වූ ඔවුන් දෙදෙනා ඇත්තෙන්ම එක් වන්නේ කවදාදැයි රිද්මට සිතා ගන්නට නොහැක.

"දැන් මොකද කරන්න හිතන් ඉන්නේ සුදු අයියේ?"

රිද්මා ඇසුවේ  අම්මා විසින් ගෙනා තේබඳුන   ඔහු වෙත පාමිනි .

"ඒ අමතක වෙන දේවල් ඔහේ අමතක උනාවේ . මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.චූටි මට කැමතිනම් හෙටම වුණත් එයා බඳින්න කැමැතියි .මම අප්පච්චිට කෝල් කරලාත් කිව්වා.  

බිම්සර පැවසුවේ තේ බඳුන තොලගාමින් ස්ථිර ස්වරයෙනි .

සුදු පුතා මං මේ කියන්න ගියේ අපි නිකං වත්පිළිවෙත් පැත්තෙන් මොනවා හරි කරොත් නරකද 

රිද්මාගේ අම්මා ඔවුන් අසලින් හිඳ ගනිමින් පැවසුවාය .

ඕව ගැන මට නම්  එච්චර විශ්වාසයක් නැහැ නැන්දෙ.

බිම්සර පැවසුවේ සුසුමක් හෙලමිනි .

මම කියන්නේ නැහැ දොස්තරලාට සනීප කරන්න නුපුළුවන් ලෙඩ වත්පිළිවෙත්වලින් හොඳ කරන්න පුළුවන් කියල.මොකක්ද මේ අපේ ගෙදරත් ඉන්නේ දොස්තර කෙනෙක්නෙ.ඒ උනාට පුතා කෙනෙක්ගේ  මනස කියන දේට බලපෑම ඇතිවෙන ක්‍රම විවිධාකාරයි .ඉතින් අපි වෛද්‍ය ප්‍රතිකාර කරන අතරේම  ඒ දුවගේ මනසට සහනයක් දෙන්න  හරි කළොත් හොඳ නැද්ද ?

රිද්මාගේ අම්මා  හිටපු විදුහල්පතිනියකි.ඇය බොහෝ ඉවසීමෙන් තමා අදහස් කරන දෙය රිද්මට සහ බිම්සරට පැහැදිලි කළාය .

මට තේරෙන්නේ නැහැ නැන්දෙ. රිද්මා , නංගී කරන දෙයක් නැන්දත් එක්ක කතා කරලා මට කියන්න . කෙල්ලට ප්‍රශ්නයක් නොවෙන එයාට හොඳක්  වෙන ඕනම දෙයක් කරන්න මම කැමතියි .

බිම්සර ආපසු යන්නට නැගී සිටිමින් පැවසුවේය.

තමුසෙ දැන් ඔය අවුලෙන් drive කරනකොට බලාගෙන .කොච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ අපි තව බලමුකෝ මම රශී එක්ක මේ ගැන කතා කරන්නම් .අම්මා කියන දේ මොකද්ද කියන එක මම  පැහැදිලි කරල අහගන්නම්කො.

රිද්මා බිම්සර පිටුපසින් වාහනය වෙත පැමිණෙමින් පැවසුවාය.ඔහු ඒ කියන සියල්ලටම හිස වනා ඇයගෙන් සමුගෙන ආපසු කොළඹ බලා පිටත් විය .

පාසලට ගොස්  ආවේලාවේ සිටන්  හූල්ලමින් පසුවන සුලෝචනා වෙත පැමිණි ප්‍රමුදිතා ඇයගේ හිස අතගාමින් සන්සුන් කරන්නට තැත් දැරුවාය .

ලොකු , දැන් ඕක ගැන හිතන එක නවත්තන්න කෝ.යන්න ගිහින් නාගෙන එන්න .අපි හෙමිට බලමු මොකද කරන්න පුළුවන් කියලා .

 ප්‍රමුදිතා අක්කාගේ අතට  තුවාය දෙමින් පැවසුවාය.

චූටි , මට මොකුත් මතක නැහැ .එයා හුඟක් දේවල් කිව්වා.මට එතනට ගිහිල්ලා වත් කිසිම දෙයක් මතක නැහැ .ඒ උනාට ...ඒ උනාට .."

සුලෝචනා මොහොතක් නැවතී  ප්‍රමුදිතා  දෙස බැලුවාය . නංගි හිස ඔසවා සොහොයුරිය කියන දේ අසන්නට බලා උන්නාය .

මං එයාට හරි කැමතියි .

සුලෝචනාගෙ මුහුණේ කිසිදා නොවූ විරූ අන්දමේ පෙම්වත් පැහැයක් උතුරා ගලා යමින් තිබුණි .

*********************************************************************************************

 "මට තේරෙන්නෙ නෑ රශියා. බ්‍රේන් ඩැමේජ් එකකුත් නැත්නම් ලඟ ලඟ මතකය ආවත් නම්.. ඇයි එයාට ඒ අතීතය මතක් නොවෙන්නෙ.කොටින්ම කිව්වොත් එයාට මා එක්ක කිසිම අතීත මතකයක් නෑ.අතන මෙතන එක්ක ගිහින් කෙල්ලව වෙහෙසවන්න මට ඕන්නෑ බං."

බිම්සර රශිත සමගින් පැවසුවේ මුහුදුබඩ අවන්හලකදී මුණ ගැසෙමිනි. පෙණ නගන බීර වීදුරුවල සීත දිය බිඳිති නැගි නැගී පුපුරායද්දී රශිත නිහඬව බලා උන්නේ බිම්සරගේ වේදනාබර මුහුණේ රැදුණු සේයාවන්ය.

"හිටපන් රවීෂ එනකල්.අපි උගෙන්ම අහගම්මු ඉස්සරහ procedure එක.ඌනෙ මේ සයිඩ් එකට එක්ස්පර්ට් උනේ."

රශිත කීවේ අතබැඳි ඔරලෝසුව දෙස නෙත්‍ යොමමිනි.

අවන්හලේ ඈත කෙලවරකින් අත ඔසවා සන් කරමින් ඔවුන් වෙත පැමිණියේ පෙරදවස සුලෝචනාහට ප්‍රතිකාර කල මනෝවෛද්‍ය රවීෂය.

"මචං පොඩ්ඩක් පරක්කු උනා..දන්නවනෙ මේ වෙලාවට ට්‍රැෆික් එක."

මේසයෙන් ඔබ්බට නැඹුරු වෙමින් බිම්සරට සහ රශිතට අතට අත දුන් රවීශ අසුනකට බර වූයේය.

"මොනවද බොන්නෙ?"

රශිත ඇසුවේ අවන්හලේ වේටර් වරයකුට අත ඔසවා කතා කරමිනි.

"Samething ඕකේ."

රවීෂ මේසය මත වූ බීරවීදුරුවට ඇස පාමින් පිලිතුරු දුන්නේය.

"ඉතිං මචං බිම්සර , රශියා මට කිව්වා දැන් තත්වේ .අපිට ආපහු MRI එකකට හරි CT හරි ගියොත් හොඳයි නේද රශියා."

රවීෂ  පැවසුවේ දෙදෙනාටමය .

"මටත් හිතෙනව පොඩ්ඩක් රිපීට් කළ බැලුවොත් හොඳයි කියලා .මොකද incidence එක වෙච්ච ගමන්ම කරපු MRI , CT  වල accuracy එක ඒ දවස්වල තිබිච්ච තත්වෙත් එක අපිට හරියටම කියන්න අමාරුයි නේද ?"

වෛද්‍ය මිතුරන් දෙදෙනාගේ සංවාදයට බිම්සර නිහඬවම අවධානය දෙමින් බලා උන්නේය .

"මෙතන තියෙන ප්‍රශ්නය මේකයි .ඇත්තෙන්ම කිව්වොත් socially ඔයාලට ඒක ප්‍රශ්නයක් නැත්නම් කවද හරි ඉස්සරහ ජීවිතයට  ඕක බලපෑමක් කරන්නෙත් නැත්නම් ඇත්තටම කියනවනම් ඔය ඉස්සර දේවල් මතක් නොවුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ නේද?"

බිම්සර දෙස බලමින් වෛද්‍ය රවීෂ ඇසුවේ සිනහසෙමිනි .

"ඔව් මට එහි කිසිම ප්‍රශ්නයක් නැහැ .අනිත් දේ තමයි ඒක බොහොම කෙටි කාලයක් .ඒ මතකය ආවත් නැතත් අපේ මේ දැන් ජීවිතේට ඒකෙන් බලපෑමක් නම් වෙන්නේ නැහැ .මේ දේවල් නිසා සුලෝචනාට කවදහරි එයාගේ හෙල්ත් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම්, මට ඒක  කොහෙත්ම අවුලක් නෙමෙයි."

 බිම්සර  පැවසුවේ ස්ථිර හඬිනි .

"අපි කොහොම උනත් ආයෙ  ඉන්වෙස්ටිගේශන්ස් ටික කරමු.සැක තැන් ඔක්කොම මගහැරගන්න පුළුවන් ඒකෙන්."

මිතුරන් තිදෙනා සමුගන්නා මොහොතේ අවසාන තීරණයට ආවේ එලෙසිනි.

******************************************************************************* 

සුලෝචනා ජංගම දුරකතනය විසි තිස් වරක්ම අතට ගෙන ආපසු තැබුවාය.බිම්සර සේනානායකගේ නම ගබඩාකොට ඇති තීරුව ඇඟිලි තුඩගින් පිරිමැද යලි නිහඬවූවාය.

"ලොකු , හිත හිත ඉන්න දෙයක්නෑනෙ කෝල් එකක් ගන්න ඕන්නම් ගන්න එකනෙ තියෙන්නෙ."

ඇයගේ චර්‍යාව බොහෝ වේලාවක් නිරීක්ෂණය කල ප්‍රමුදිතා ඇසුවේ සුලෝචනා අසලින් සයනයේ ඉඳගනිමිනි.සුලෝචනා විලිබර සිනහවක් පෑවාය.

"අපෝ මෙයාගෙ ලැජ්ජාව."

සුලෝචනාගේ නහය මිරිකම්න් පැවසූ ප්‍රමුදිතා වහා ජංගමය ගෙන අංකනය කොට ඇය අතට දුන්නේ ගන්න කියා හිසෙන් ඉඟියක් දෙමිනි.සුලෝචනා ජංගම දුරකතනය සවනට තෙරපා ගනිමින්ම  සයනයෙන් නැගිට කාමරයේ ජනේලය අසලට ගියාය.

ජනේලයට ඔබ්බෙන් රෑකුමාරි මල්පඳුරේ සුදුපාට මල් පිපී සුවඳින් ඉතිරයමින් පවතී.දසතම ගලා එන හීන් පවනැල්ලේ එතී එසුවඳ කාමරයට එබිකම් පායි. සුලෝචනා කොපුලක් තෙරපා ගත්තේ ජනේල දාරයටය.

දුරකනයෙන් අංකනය කල බිම්සරගේ අංකය නාදවී අවසන් වන තුරුත් එයට ඔහු සම්බන්ධ නොවීය. සුලෝචනා සුසුමක් හෙලා ආපසු ඇද මත ඉන්නා නංගී දෙස බැලුවේ යටිතොලද නොපිට පෙරලමිනි.ප්‍රමුදිතා හිසින් සන් කොට නැවත ගන්නටයැයි කීවද ඇය හිස දෙපසට වනා නොහැකි අභිනයක් පෑවාය.

ඉතාමත් විඩාබර දවසක අවසානයේ සිය කුටියේ නානකාමරයට වැදුණ බිම්සර හෝරාවකට අධික කාලයක් ස්නානය කිරීමෙන් අනතුරුව නැවත කාමරයට පැමිණියේ දවසේ විඩාව නිමාකරගනිමින් සුවසේ නිදන්නට බලාපොරොත්තුවෙනි.ඇදට වැටෙන්නට මොහොතකට පෙර දුරකතනය අතට ගත් ඔහුගේ දෑස විසල්ව ගියේ කිසිදාක නොමැති අන්දමින් සුලෝචනා ගේ ඇමතුමක් එහි මඟහැරුන ඇමතුම් අතර වූ හෙයිනි.

"කරදරයක් වත්ද ?"

ඔහු ඉතා කලබලයෙන් ආපසු එම අංකයට ඇමතුමක් ගත්තේය. 

"චූටි ? ඇයි කවදාවත් නැතුව හදිස්සියෙම...ඔයාට මොකුත් කරදරයක් නැහැ නේද ?"

එහා පසෙන්  ඇමතුම සම්බන්ධ වූ වහාම බිම්සර ඉතා වේගයෙන් කියවා ගෙන ගියේය.

"අයියේ මම ප්‍රමුදිතා ...අක්කාට නින්ද ගිහින්."

ඇමතුමට සම්බන්ධ වී තිබුණේ නංගිය. බිම්සරට ඇතිවුයේ මඳ ලැජ්ජාවකි.

"සොරි නංගි...මම ඇත්තෙන්ම කලබල උනා.කවදාවත් එයාගෙ නම්බර් එකෙන් මට කෝල් ඇවිල්ලම නෑනෙ.ඒකයි."

බිම්සර පැකිලෙමින්ම පැවසීය.

"අනේ කමක් නෑ අයියා.දැන් එයාව ඇහැරවන්නෙ නැතුව ඉන්නම් නේද? එයාට මම හිතන්නෙ ඔයාට කියන්න මොකක් හරි තියනව.ඒකටයි ගත්තෙ."

ප්‍රමුදිතා හිතාමතාම අක්කා පෙරදිනක පැවසූ ආදරණීය කතාව නොකියා උන්නේ...ඒ විඳීම ඔවුනොවුන් අතරේම කවදාහෝ බෙදාගත යුතුව ඇති එකක් ලෙස දැනුන හෙයිනි.

"ඒකට කමක් නෑ.මම හෙට එයාට කෝල් කරන්නම්කො."

බිම්සර ඇමතුම සමාප්ත කලේ අනෙක් පසින් රිද්මාගේ ඇමතුමක් එනු දුටු හෙයිනි.

"සුදු අයියෙ, බිසිද ?"

රිද්මා ඇසුවාය. 

"නෑ නෑ සිඟිති මොකක්ද කියන්න."

බිම්සර සයනයේ ඉඳගනිමින්ම පැවසීය.

"අම්මා අර කිව්ව කාරණය සුදු අයියෙ.අම්මා කියනවා අර කිව්ව වත්පිළිවෙත් කරන වෙදමහත්තයා ඉන්නෙ රිකිල්ලගස්කඩලු.ඉතින් අනේ මම මේ මතක්කලේ ඔයාට ගෙවල්  පැත්තෙන් ලඟයිනෙ එහෙට නේද ?"

රිද්මා පැවසුවේ කල්පනාකරමින්මය.

"ඔව් මහ දුරක්නම් නෑ.මම ඕන්නම් තාත්තාගෙන් අහන්නම්."බිම්සර පැවසුවේ තමාට ඒ සම්බන්ධව විශ්වාසයක් නැතද මේ කරන්නාවූ කිසිම දෙයක අහිතක් කරදරයක් නොවන බව ඔහු දන්නා හෙයිනි .

මේ අතරතුර කාලයේදී සුලෝචනාගේ  අම්මා සෙත් ශාන්ති බෝධි පූජා ආදිය ද නොකඩවා ඉටුකරන බව ඔහු දැන් දැන උන්නේය.

ඒ කිසිවකට කිසිම විරෝධතාවයක් හෝ හෙළා දැකීමක් ඔවුන් කිසිවෙක් නො කළේ වතාවක් රශිත කියූ කාරණයක් මත පිහිටා සිටිමිනි .

"වෛද්‍ය විද්‍යාවෙන් කරන්න පුළුවන් හුඟක් දේ තියෙනවා .ඒ උනාට මනුස්සයෙක් අසරණ වුනාම ඒ කෙනාට ඔය වගේ නොපෙනෙන බලවේග , ආගම් විශ්වාසයන් කියන දේවල් ගැනත් ඉබේම විශ්වාස වල  පිහිටල ඒවයෙන් පිහිට හොයන්නට කැමතිවෙන්න හිතෙන මට්ටමකට පත් වෙනවා .  ඉතින් ඒ නිසා ඒ වගේ මට්ටමකට පත්වන තාක්කල් අපිට බැහැ තව කෙනෙක්ගෙ ඒ විශ්වාසයන් ගැන වැරදියට හිතන්න .

මිනිස්සු අනවශ්‍ය විදිහට මුදල් නැති නාස්ති කරගෙන තොවිල්පවිල්,යාගහෝම  කරනවට නම් මමත් එක හෙළාම විරුද්ධයි.

ඒ උනාට කෙනෙක්ගෙ මානසික සහනයක් ලබා දෙන්න කරන්න පුළුවන් ඕනෑම විදියේ දෙයක් කලාට ඒක ගැන අපි විරෝධතාවයක්වත් හෙළා දැකීමක්වත් කරන්න හොඳ නැහැ . ඔය කොයි දේත් මිනිස්සු කරන්නේ තමන්ගේ කෙනාව ගොඩදාන්න විකල්පයන් විදියට."

ඉතින් ඒ නිසාම අපට ඉහත්තාවේ වූ පරම්පරාවේ ආගමික විශ්වාසයන් සහ  වත් පිළිවෙත් සම්බන්ධයෙන් මැදහත් සිතින් ඉවසා සිටීමට රිද්මා බිම්සර ප්‍රමුදිතා  ඇතුළු  තරුණ පිරිස අවිවාදයෙන් යුතුව තීරණයකට එළඹියෝය.

************************************************************************* 

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)



මම


(විසිරි)

14 comments:

  1. Replies
    1. ++++++++++++++ මගේ වැට යාරක් වැඩිය දිගයි, ඈ?

      Delete
    2. අනේ ඉතින් වැටවල් ම ගහ ගහ ඉන්නවා මේ කට්ටිය

      Delete
  2. Replies
    1. සෑම්... ඔයා... 😂😂😂

      Delete
    2. අහා..අපේ සෑම් මල්ලිත් ඉන්නේ මේ.....එයත් වැටක් ගහල

      Delete
  3. ඩුම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  4. Replies
    1. ඔක්කොම වැටමාර ගස් ටිකක් බලන් යද්දී

      Delete
  5. මක්කවත් නොලීවත් ඇබ්බැහියකිංම කියෝනවා.

    ReplyDelete
    Replies
    1. කියවනවාට ස්තුතියි ඩොන් .

      Delete
  6. පෝස්ට් එක දාපු ගමන් ඇවිත් වැට ගහලා, එක මාක් කරල ගියා.

    ඔන්න දැන් ඇවිත් කියෙව්වා, අද කොටසත් හොඳයි. අර ඉස්කෝලෙ සීන් එක එහෙම නියමයි, ඔහොම යං.😊

    ReplyDelete