Tuesday, October 5, 2021

18 . දහ අට වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)




"රිකිල්ලගස්කඩ කියන්නේ සුළුපටු දුරක්ද නෝනා.මං දන්නව නෝනා මේ ගමන කොච්චර වැදගත්ද කියල.ඒත් අනේ පොඩි කෙල්ලගෙ උසස් පෙළ විභාගය ලබන සුමානේ පටන් ගන්නවනෙ .ඉතින් මේ වෙලාවේ ඔය වගේ ගමනක් දාගෙන කොහොමද ?"

සුලෝචනාගේ අම්මා පැවසුවේ තරමක් වේදනාව මුසු හඬකිනි .ඇය කියූ සියල්ල අසා උන් රිද්මාගේ මව උන් තැනින් නැගිට අවුත් ඇය අසලින් ඉඳ ගත්තාය.

"කුසුම් ඔයා කියන කතාව හරි.මේ වෙලාවේ චූටි දුවගේ විභාගයට අපි මුල්තැන දෙන්න ඕනෙ.මට ලොකු දුවව ඒ ගමන එක්ක යන්න පුළුවන් ..අපේ රිද්මාත් එක්ක.බයවෙන්න එපා ඉතින් ."

ජීවිතයේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයන්හි ඇතැම්විට හමුවන්නේ මිලකල නොහැකි අපූරු මිනිසුන්‍මය.ඉතින් මේ එවැන්නවුන්ය. තමා තරමටම තම දරුවන් කෙරෙහි දයාගුණය පාන්නෝය.

"නෝනලාට මේ වෙනකොට අපි දීලා තියෙන්නෙම කරදර නෙ නෝනා.මුදල් හදල් අතින් වගේම සෙවිල්ලෙන් බැලිල්ලෙන් ඔක්කොම දේවල් වලින් නෝනල මගෙ දරුවන් ගැන බලනව.අනේ මගෙ අකැමැත්තක් එහෙම නෑ නෝනා එක්ක ලොකු දුවව යවන්න."

අවසානයේ කතාබහ නිමවූයේ සුලෝචනා , රිද්මා සහ ඇයගේ අම්මා සමගින් අදාල වෙදමහතා හමුවන්නට යාමටය.

"මගෙ විභාගේ ඉවරවෙලාවත් තිබ්බනම් ඉතින් හොඳ ට්‍රිප් එකක් දාගන්න තිබ්බා නේද ලොකූ ."

ප්‍රමුදිතා ඇසුවේ ඇඳුම් බෑගය සකසන්නාවූ අක්කාගෙනි.සුලෝචනා නිහඬ සිනහවක් පෑවාය.මේ නංගීත් අම්මාත් නොමැතිව ගමනක් යනවාම වන්නට ඇත.එහෙත් බිම්සර ද ගමනට එකතුවන හෙයින් අකමැත්තක්ද නැතිතරම් ය.

************************************************************************* 

"සුදු අයියේ ඒ අක්කල ආවම ඉන්නෙ අපේ ගෙදරද?" 

යසස්ට තිබුණ ලොකුම පැනය එයය.

"නෑ සිඟිතිලාගෙ ලොකු අම්මා ඉන්නවනෙ .එහේ ඉන්නව කියල කිව්වා."

බිම්සර පැවසුවේ පෙරදින රෑ නිදන්නට පෙරය.

"අයියො සුදු අයියෙ මොනාද අප්පා ඉතින් ."

යසස් කුණුකුණු ගාන්නට විය.කොල්ලන් දෙන්නා ඉස්සාරත් නැන්දාගේ දියණියන් සමග හුරතල් වන්නට බොහෝ ආසා කලෝය.එකත් එකටම සුලෝචනා සමග දැනහැඳුනුම අරඹන්න ඔවුන්ට අවැසිව ඇත .

"සිඟිතිලගෙ අම්මා එක්ක  මෙහේ එයා ඒවි ඇවිල්ල යන්න.නවතින එකක් නම් නෑ"

බිම්සර පැවසුවේ ඇමතුම සමාප්ත කරමිනි.

රිකිල්ලගස්කඩ යන්නට බිම්සරගේ පෞද්ගලික ජීප් රථය ප්‍රමාණවත් යැයි කියූ හෙයින් රත්නායක සමග පසුදා උදයෙන්ම සියල්ලන් ගමන ඇරඹූහ.පසුපස අසුනේ රිද්මාට සහ ඇයගේ මවට මැදිව සුලෝචනා හිඳගත් හෙයින් බිම්සරට ඇයගේ මුහුණ මනාව පෙනෙන්නට විය.මඳ සිනහවක් මුවග රඳවාගත් බැල්මෙන්ම මාවතට යොමුව ගත් බැල්මෙන්ම සුලෝචනා ගමනට එක්වූයේ බොහෝ කැමැත්තෙනි.

"චූටි නුවරඑළියෙ ගිහින් තියද?" බිම්සර සුලෝචනා දෙසට යොමුවගත් දෑසිනම විමසීය.

"නුවර ගිහින් තියේ ඒත් නුවරඑලියෙ නෑ."

සුලෝචනා සෙමින් මිමිණුවය.

"යන්න ආස"

බිම්සර ඇයගේ දෙසට මඳක් හැරුණේය.සුලෝචනා හිසසලා කැමැත්ත පලකලාය.

"නංගිත් ආසාවෙන් උන්නෙ ගමනක් යන්න.ඒත් එක්සෑම්නෙ."

සුලෝචනා මතුළාය.බිම්සර මඳසිනහවක් පා රත්නායක දෙස බැලුවේය.රත්නායකගේ මුහුණේ ඇත්තේද මඳ සිනහවකි.

සිය ප්‍රධානියා මෙතරම්ම සතුටකින්, මෘදු වදනින් කතාබහ කරනු තමා අසා ඇත්තේ ඉතා කලාතුරකිනි.ප්‍රේමය සිතට එබිකම් කල පසු ‍රලු හිතක් වුව මුදුවන අන්දම බිම්සර වෙතින් විද්‍යාමාන වන අන්දම රත්නායක මැනවින් දුටුවේය.

කඳුයායවල් සිසාරා දැවටෙමින් තුරුලු වන වලාකුළු මවන සුන්දරත්වය සුලෝචනාගේ සිත දැහැනකට සමවැද්දවීය.ඈත කඳුමුදුන් වල  පාට පාටින් හැඩවැටුණු පත්‍රදරන්නාවූ තුරුහිස්ය.රත්නායක රිය ධාවනය කලේද මඳවේගයකිනි.නුහුරු දුරගමනක් හෙයින් අතරමගදී සුලෝචනාහට වමනය හෝ කැරකැවිල්ල එන්නට ඉඩ ඇති හෙයින් රිය මඳවේගයකින් ධාවනය කරන්නයැයි බිම්සර කල් තියා උපදෙස් දුන්නේය.

"අර...."මඳක් ඈත කන්දකින් රිදී සේලයක් සේ ඇදහැලෙන්නාවූ දියඇල්ලක් වෙත ඇඟිල්ල දිගුකල සුලෝචනා කෑගැසුවාය.

"රත්නායක, වීව් පොයින්ට් එකක් බලල නවත්තන්න ජිප් එක"බිම්සර ඇයගේ දෙස මොහොතක් බලා සිට පැවසුවේය. මාවතෙහි එක් නැම්මක වූ ඉඩක් වෙත ජීප්‍ රථය හැරවූ  රත්නායක රිය නැවතුවේ ප්‍රවේශම් සහගතවය.

"බහින්න" බිම්සර පොදු ඇරයුමක් කලේ කාන්තාවන් තිදෙනටමය. රිද්මා පලමුවද, සුලෝචනා දෙවනුවද රියෙන් බැස්සද රිද්මාගේ අම්මා බසින්නට අදිමදි කලාය.

"මට සීතලයි දරුවනෙ..මම මෙහෙම්ම ඉන්නම්.පරෙස්සමින් ගිහින් බලල එන්න."අම්මා එසේ කියා රියතුලම උන්නාය.

හමාඑන සීතල සුලඟ ගත කිලිපොළායවන සුලුය. බිම්සර අතවූ ජර්සිය සුලෝචනාගේ දෙඋර වටා දැමුවේය.රිද්මා ඔවුන්ගෙන් මඳක් ඈතට ඇවිදගියේ සිතාමතාය.සුලෝචනාගේ අතින් අල්ලා මාවත අයිනේ වූ වැටිය දෙසට ඇවිද ආ බිම්සර ඇයට තරමක් දුරින් ගලාහැලෙනා දිය ඇල්ල පෙන්වීය.ආසාවෙන් දිදුලන ඇයගේ දෑස් දුටුවිට බිම්සරට සිතුණ එකම දෙය වූයේ මේ සුන්දර ජීවියා කෙතරම් අහිංසකද යන්න පමණි.

"චූටි , ඔච්චර දියඇලි වලට ආසයි කියල දන්නවනම් අපේ ගමේ සේද ඇල්ල බලන්න මං එක්ක යන්න ලෑස්තිකරගන්නව.."බිම්සර සුලෝචනා වෙත හැරෙමින් පැවසීය.

"ආයෙ දවසක එක්ක යන්න මාව එහෙනම්"සුලෝචනා බිම්සර වෙත දෑස්‍ යොමාගෙනම පැවසුවාය.

"මං හිතන් ඉන්නෙ මගෙ ගෙදරට හැමදාම ඉන්න එක්ක යන්න. මොකද කියන්නෙ?"විහිලුවක ස්වරයෙන් බිම්සර කියාදැමුවේ සිතේ තෙරපී ගිය ආදරණීය අපේක්ෂාවමය.

සිතුවාක් මෙන්ම ඇයගේ වත රත්පැහැයට හැරී බිමට හැරුණි.ඇස්පිය වේගයෙන් එකිනෙක ගැටෙන්නට පටන් ගන්නා මොහොතේ තමා ඇයව අනවශ්‍ය අන්දමට කලබල කලාදැයි බිම්සරට මොහොතකට පසුතැවිල්ලක් දැනුණි.

"මං විහිලුවක් කලේ චූටි.ඩෝන්ට් වොරි. "ඇයගේ උරහිසට තට්ටුකල බිම්සර සෙනෙහසැති ස්වරයෙන් පැවසීය.සුලෝචනා වහා හිස ඔසවා ඔහු දෙස බැලුවාය.ඒ දෑස් අග කඳුලක් පොපියමින් තිබුණි.

"මං එහේ එක්ක යන්න...හැමදාටම ඉන්න."සුලෝචනා එපමණක් කියා දුවගොස් රිය තුළට වැදුණාය.

***************************************************************************************


බිම්සර මොහොතක් ගල්ගැසුණා සේ එකතැනම බලාඋන්නේය.

"මේ කෙල්ල ගහෙන් ගෙඩි එන්නා වගෙ අර මොකක්ද කිව්වෙ" මොහොතක් තමාටම එසේ කියාගනිමින් ආපසු හැරී දියඇල්ල දෙස හැරුණ ඔහුගේ වතෙහි පොපියාගෙන ආ සුන්දරම සිනහව දුටුවේ ඈත කඳුයායම පමණි.

ඉතින් ආදරය එසේය.හදකින් හදකට දැනිය යුත්තේමය.වටහාගන්නට බිඳක් ඉඩතබා වදනකටද මොහොතකට පෙරළිය යුතුමය.බිම්සරගේ සිත පිරීගොස් තිබුණේ සොඳුරුම ආනන්දයකිනි.ජීවිතයේ මෙතුවක් කල් මෙවැනි සැනසුම් සහගත හැඟුමක් හිතට දැනී නොමැති තරම් ය.

බිම්සර රියට නැගී පිටුපස බලනා විටද සුලෝචනා උන්නේ රිද්මාගේ මවගේ උකුලේ මුහුණ සඟවාගනිමිනි.ඇයට මුවින් පිටවූ වදන් වලට ඇතැම් විට ලැජ්ජාවක් මතුව එන්නට ඇත.රිද්මා ඇසක් ඉඟිකොට ඇසුවේ කාරණය කිමෙද යන්නය.බිම්සර ඇයට ඇසක් ඉඟිකොට සිනාසුනේය.

"අපි යමු රත්නායක."බිම්සර ඉදිරිපසට හැරෙමින් පැවසීය. නුවරඑළියට ලඟාවනවිට හවස දෙක පමණ වන්නට ඇත.

"එහෙ ගිහිල්ලම අපි අක්කලාගෙ දිහා යන්නම් පුතා .හෙටනෙ වෙදමහත්තයා ගාවට යන්න තියෙන්නෙ."රිද්මාගේ අම්මා පැවසුවේ යළි ගමන් අරඹන මොහොතේය.

"අපේ ඩබල යුනිවර්සිටි එකෙන් අන්න පැනල ඇවිල්ල නැන්දෙ මෙයාව බලන්න ඕනෙ කියල"බිම්සර රිද්මාගේ මවට පැවසුවේ සිනානගමිනි.

"මටත් පොඩ්ඩො දෙන්න බලන්න ආසයි සුදුපුතේ.ලොකු මල්ලි නම් ඉඳහිටක හරි රිද්මාට වට්සැප් කෝල් අරගන්නවනෙ."රිද්මාගේ අම්මා පැවසුවාය.

ජීප් රථය ගෙවත්ත ආසන්නයට පැමිණෙන විටම පොඩ්ඩන් දෙදෙනාම වහා වහා දුව අවුත් ගේට්ටුව විවර කළේ තරඟයට මෙනි .

"පේනවා නේද නැන්දෙ.යුනිවසිටි යන ළමයි දෙන්නෙක් උනාට තාම හැසිරෙන්නේ නම් අත දරුවො දෙන්නෙක් වගේ ."

බිම්සර  සිනහවෙමින් පැවසුවේ ඒ දෙස සිනාවෙමින් බලා සිටින රිද්මගේ අම්මාටය .සුලෝචනා ද මේ යෞවනයන් දෙස සිනාසෙමින් බලා උන්නාය .පිරිමි සහෝදරයන්ගේ සෙනෙහාසක් නොවිඳි සුලෝචනා සහ ප්‍රමුදිතා සිය මාමණ්ඩියෙගේ පුතණුවන් වෙතින්වත් ඒ හැඟීම නොලද්දෝය.

රිය නැවැත්වූ වහාම රිද්මා එයින් බැසගත්තද සුලෝචනා මොහොතක් පැකිලෙමින් බලාඋන්නේ දෙසොහොයුරන් දෙසය.

"හලෝ අක්කී....බහින්න බහින්න"යසස් දොර විවර කරගෙනම කෑගැසුවේ සිනාපිරිවතිනි.

"කොල්ලො බෙරිහන් නොදී ඉන්නවකො.මේ ළමයා බයවෙනව දැන්."

බිම්සර සිනාසෙමින් පැමිණ සුලෝචනා වෙත අතපෑවේය.

"බයවෙන්න ඕන ඉතින් කාටද කියල අපි දන්නවනෙ නේ චූටො."

යසස් මුහුණ අකුලාගෙන.මෙන් කුටුකුටු ගෑවේය.සුලෝචනා රියෙන් බැස්සේ මුහුණ වෙනස්කොටගෙන දුකෙන් බලාඉන්නා යසස් දෙසම යොමුව ගත් නෙතිනි.

බිම්සර සැරකල හෙයින් පොඩ්ඩාගේ සිත රිදීඇත.සුලෝචනා බිම්සර මහහැර යසස් වෙත ගොස් අතින් අල්ලාගත්තේය.බිම්සර යටිහිතෙන් සිනාසුනද ඒ බව නොපෙන්වා දෙදෙනාටම රැවුමක් පාකලේය.

එතැන් සිට හෝරාවක් දෙකක් ගෙවුනේ සිනාවෙන් කතාවෙන්මය.සුමනම්මාගේ ආදර සංග්‍රහ සත්කාර ද පොඩ්ඩන් දෙන්නාගේ අතෝරක් නැති විහිලු කතන්දර ද හමුවේ කාලය ඉගිල්ලීගියා සේය.

අප්පච්චීද බොහෝ සුහදව සුලෝචනා සමගින් කතාබහ කලේය. එයම සුලෝචනාට මහත් සැනසීමක් ගෙනවුත් තිබිණ.

"හෙට ගමන ගිහින් එහෙම්ම යන්නද සුදුපුතේ හිතන් ඉන්නෙ.නැත්නම් ආපහු මෙහෙන් එනවනම් මේ දරුවන්ගෙ ගෙදරටයි  මේ නැන්දලටයි එලවලු ටිකක් යවන්න පුළුවන් නෙ."

අප්පච්චී පැවසුවේ බිම්සර ගෙන් විමසුමක් කරන පරිද්දෙනි .බිම්සර  කිසිත් නොකියා රිද්මාගේ මවගේ මුහුණ දෙස බැලුවේ අනුමැතිය ඉල්ලන අටියෙනි .

"කොයි පැත්තෙන් ගියත් එච්චර ලොකු වෙනසක්  නැති එකේ එහෙනම් මෙහෙම්ම යමු නේද පුතේ."

රිද්මාගේ මවගේ තීරණය පරිදි  අප්පච්චි වහ වහා දුරකථන ඇමතුම් කිහිපයක් දුන්නේ පසු දිනයට අදාළ එලවලු සහ පලතුරු  සූදානම් කරන්නටය .

"මෙන්න මෙයාට ස්ට්‍රෝබෙරිත් ඕන.කිව්ව"

බිම්සර සුලෝචනා ඇස් කොනින් පෙන්වමින් පැවසීය .

"එපා එපා අනේ එපා"

සුලෝචනා කලබල වූයේ බිම්සරගේ  එම වදන්වලිනි .

"අයියෝ සුදු අක්කා ඔයාට හෙට වෙද්දි ගෙනියන්න සුපිරි මල්ලක්ම ගෙනත් දෙන්නම් කෝ .ආයෙ රෝස මලුත් ඕන කිව්වා නේද .අපි ඒව ගානට ලෑස්ති කරලා තියෙන්නේ" 

යසස් පැවසුවේ පෙර දවසක බිම්සර විසින් දැනුවත් කළ පරිද්දෙන් ඔවුන් සුලෝචනා වෙනුවෙන් රෝස පැල කිහිපයක්ම සකසා තිබූ බැවිනි .සුලෝචනා මේ ආදරණීය බවට බෙහෙවින්ම සංවේදී වූවාය.ඇස් කෙවෙණිවලට කඳුළක් ගලා  එන්නේ ඒ ආදරණීය බවේ උණුසුමටය.


****************************************************************************************


 රිද්මාගේ  ලොකු අම්මාගේ නිවසට සැන්දෑ බෝ වී ගොස් නැවතුණු සුලෝචනා සහ රිද්මාත් ඇයගේ මවත්  සමග පසුවදා අදාල වෙද මහතා හමුවීමට යාමට බිම්සර පැමිණියේ උදෑසනිනි.ඔහු පැමිණෙන විටත් විට සියල්ලෝම ගමනට සූදානම්ව සිටියහ .

උදෑසනින්ම ස්නානය කොට සුදු පැහැයට හුරු රෝස මල් වැටුනු දිග ගවුමක් හැද උන් සුලෝචනා වෙතින් දිස්වූයේ සිත නිවා පහන් කරවන අන්දමේ සොඳුරු හැඩයකි .මොහොතකට ඇය හා තනිවෙන්නට ඉඩ ලැබුණු නිමේෂයේදී බිම්සර ඇයගේ රුව දෑස් පුරා සිත් සේ විඳ ගත්තේය .

"හරිම ලස්සනයි චූටි" 

ඔහු පැවසූයේද බොහෝ හැඟීම්බර හඬකිනි .සුලෝචන සෙනෙහෙබර වූ සිනහවක් පා බිම බලාගත්තාය.

"මෙහේ ලස්සනයි" 

සුලෝචනා දෑස්වලින් පරිසරය පුරා වූ සුන්දරත්වය උකහා ගනිමින් පැවැසුවාය .උදෑසන සීතල පින්නට  පිපී නැලවෙන අත්ලකටත් වඩා විශාල වූ රෝස සහ ඩේලියා මල් ලොකු අම්මාගේ මිදුලෙහි පිපී නැළවෙමින් තිබුණි .

"එහේ මේ වගේ ලොකුවට මල් පිපෙන්නේ නැහැ" 

සුලෝචනා පැවසුවේ පිණි ඉහිරුණ රෝස මලකපෙති මත සිය ඇඟිලි තුඩු යවමිනි. 

"ඒකටත් එක්ක හරියන්න එහේ ඉන්නවනෙ මලක්" බිම්සර සිනහවෙමින් පැවසීය .සුදු පැහැති ටී ෂර්ටයට නිල් පැහැ ඩෙනිම් කලිසමක් ඇඳසිටි බිම්සර  සැබැවින්ම කඩවසම් පුද්ගලයෙකු බව නොරහසක් විය .

සුලෝචනා නෙත් කොනින් බලමින් ඔහුගේ හැඩරුව විඳ ගත්තාය .

"අපි එහෙනම් යමු නේද ටිකක් දුර යන්නත් තියෙනවානේ .රත්නායකට මේ පාරවල් හුරුයි .ඒත් මේ වෙලාවට තාමත් අව්ව නැති නිසා මීදුම් ගතිය තියෙනවා.ඒ නිසා අපි ටිකක් හෙමින් ගමන යන එක හොඳයි."බිම්සර 

 පැවසුවේ රිද්මාගේ මවටය.

"අනේ ඔව් පුතේ තුණුරුවන්ගේ සරණින් අපි හිමින් යමු"  

ගමනේදී සුලෝචනාට රියෙහි  අයිනක් රිද්මා විසින් ලබා දුන්නේ ස්වේච්ඡාවෙන්මය .

"පිස්සෙක් වගේ බෙල්ල කරකව කව හතරඅතේ බලනකොට මට දුකත් එක්ක."

රිද්මා පැවසුවේ සුලෝචනාගේ නහයෙන් අල්ලා සෙමින් මිරිකමිනි.


වෙදමහතාගේ නිවසට පැමිණෙන විට පැයක් හෝ දෙකක් ගත වන්නට ඇත .ඉතාම සුන්දර කඳු වළල්ලකින් වටවූ එම ගම්මානය මිනිස් දෙනෙතින් වසන් වී තිබෙන්නේ එහි ඇති සුන්දරත්වය රකින්නට මෙනි .පවුල් විස්සකට තිහකට වඩා වැඩි නොවූ කුඩා ගම්මානයක් වූ එම ඉසව්ව බොහෝ පාළු නිස්කලංක බවකින් පිරී ඉතිරී යමින් පැවතුණි .වගා කටයුතු වලින් සහ මූලික අවශ්‍යතාවන් සඳහා වූ කුඩා කඩමන්ඩියකින් පමණක් හෙබි එම ගම්මානය බාහිර ලෝකය සමගින් සබඳතා පැවැත්වූයේ ඉතාමත් අඩුවෙන් බව පෙනී ගියේය .

"මං මේ වගේ මගේ නම ප්‍රසිද්ධියට පත් වෙනවාට බොහොම අකමැතියි මහත්තයා .ඒත් මිනිසුන්ගේ කටින් කටට ගියාම තමන්ට මොනාහරි ගැටලුවක් වෙච්ච හුඟක් අය මාව හොයාගෙන මෙහෙට එනවා.ජීවත් වෙලා ඉන්න තාක් කල් තව කෙනෙකුට යහපතක් කරන එක තමයි මනුස්සයෙකුට කරන්න පුළුවන් ලොකුම දේ .ඉපදිලා ඉන්නෙම අනුන්ට සේවයක් කරන්න."

තරමක් වියපත් වූ වෙද මහතාගේ ගැඹුරු ස්වරය බිම්සර ඇතුළු සියලුම දෙනාගේ අවධානය එකවන්ව ඇද බැඳ තබා ගත්තේය .

"එහෙමයි වෙදමහත්මයා ,ඔබතුමාගේ ප්‍රතිකාර රැගෙන සුව වෙච්ච මගේම බොහොම කිට්ටු හිත වන්ත කෙනෙක් තමයි මේ කාරණය අපිට කිව්වේ .ඉතින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර තවමත් යන අතරේ එක විශේෂ කාරණයක්.. මං අර දැනුම් දුන්නෙ..ඒක  ගැන ඔබතුමාගෙන් යම්කිසි උපදෙසක් හරි ප්‍රතිකාරයක් හරි ගන්න තියෙනවද කියලා දැන ගන්නයි අපි මේ විශේෂයෙන්ම ආවේ" 

රිද්මාගේ අම්මා පැවසුවේ අසුනක හිඳගත් පසුය .

"මට ඒ වෛද්‍ය වාර්තා ටික පොඩ්ඩකට බලන්න පුලුවන්ද ?"

වෙද මහතා බිම්සරගෙන් ඉල්ලා සිටියේ සුලෝචනා සම්බන්ධ වෛද්‍ය වාර්තා ටිකයි .ක්‍රමානුකූලව ඒ සියල්ල පරිශීලනය කර අනතුරුව නැවත බිම්සර අතට ඒ සියල්ල දුන් වෙද මහතා මොහොතක් දෑස් පියාගෙන කල්පනා කළේය .ඉතාමත් ගැඹුරු වූ නිහැඬියාවක් මුළු පරිසරය පුරාම පැතිර යන්නට තිබිණි .සුලෝචනා අසරණම දෑසින් බිම්සර දෙස බලා සිටියාය .බිම්සර  ඇය වෙත දෑස් වසා මොහොතකට සන්සුන් වන්නයැයි අභිනයෙන් කියා පෑවේය .

මිනිත්තුවක් දෙකක් ගත වන්නට ඇත .

"මම දේශීය වෛද්‍ය විද්‍යාව වගේම ගුප්ත ශාස්ත්‍රයත් හදාරලා තියෙනවා .නමුත් දරුවනේ බටහිර වෛද්‍ය විද්‍යාවේ විවිධාකාර ඉසව් ගැන මම මේ ගම්මානේ ඉඳගෙන හදාරනවා .නූතන ලෝකය ගැන තම ඒකත් එක්ක ඉස්සරහට දැනට යන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව .ඉතින් මේ දරුවා සම්බන්ධයෙන් කරන ලද සියලුම පරීක්ෂණ වලට අනුව මේ දරුවාගේ මොළයට කිසිම හානියක් වෙලා නැහැ .එහෙමයි නේද?" 

නිහඬතාවය බිඳිමින් වෙද මහතාගේ ගැඹුරු ස්වරය එම කුටිය පුරා නින්නාද දුන්නේය .

"එහෙමයි වෙදමහත්මයා" 

රිද්මාගේ අම්මා පැවසුවේ මඳ චකිතයක් ඇතිවය. 

"මනුෂ්‍යයාගේ සිත කියන දේ විග්‍රහ කරන්න අමාරු දෙයක් .මොළයත් සිතත් හදවතත් අතර තියෙන බැඳීම කෙනෙකුට විග්‍රහ කරන්න බැහැ .අපි සිතන්නේ කොහෙන්ද අපිට අපේ දේවල් මතක තියෙන්නේ කොහෙන්ද.. 

අපි ඒව ගැන මොහොතකට හරි හිතනවානම්.. සමහරක් වෙලාවට ඒක හරි අමාරු දෙයක් වෙනවා .

ඉතින් අපේ ජීවිතේ අපි හුඟක් වෙලාවට මතක තියාගෙන ඉන්නේ ඉතාමත් සතුටක් දනවන දෙයක් වගේම ඉතාමත්ම දුකක් දනවන දෙයක් .ඒවා සමහරක් වෙලාවට අපිට කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න අමාරුයි .

සමහර දේවල් තියෙනවා අපේ මනස විසින්ම බලෙන්ම ඒ දේවල් යටපත් කොට දමා තියනවා ."

වෙදමහතා දිගින් දිගටම කථා කරමින් ඒ අතරට මද විරාමයන් ගත්තේය .කිසිවෙක් ඔහුගේ වදන් වලට බාධාවක් කළේ නැත .ඉතාමත් සාවධානව ඔහු කියන්න ශ්‍රවණය කරගෙන ඉන්නා විට කිසිවෙකුට පරිසරයේ පැවතුණු ශබ්දයක් හෝ ඇසුණේ නැති තරම්ය .

"ඉතින් , අපි සංසාරේ කරගෙන ආ පව්පින් දෙකත් එක්කම අපේ කර්ම ශක්තියට අනුව වෙන දේවල් සමහරක් වෙලාවට ඖෂධ ප්‍රතිකාර වලින්වත් හොඳ කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා .සමහර වෙලාවට කොච්චර අමාරුයි කියලා මෙතනට එන ඇතැම් රෝගීන් මට වුණත් දුටුමතින් තේරෙනවා සුවකරන්න බැරි බව.ඉතින් අතේ තියෙන සොච්චම පවා නාස්ති කරගෙන සමහරු මොන තරම් ප්‍රතිකාර කළත් ඔවුන්ගේ ඉරණම සහ ධෛර්යය ලියවිලා තියන දේට ඔබ්බට යන්නේ නැහැ .

මං මේ දේවල් ඕගොල්ලොන්ට කියන්නේ ජීවිතේ ගැන ඉගෙන ගන්නත් එක්ක."  

වෙද මහතා පැවසුවේ හිඳ උන් අසුනෙන් නැගී සිටිමිනි.

"මේ දරුවාගේ දේහ ලක්ෂණ වලට අනුව ලොකු බරපතළ අසනීප තත්ත්වයක් නැති බව අපට පේනවා .නමුත් මනස කියන දේ අතින් අල්ලලා ඇහෙන් දැකලා අඳුනගන්න පුළුවන් දෙයක් නොවෙයි .

දුව මම මේ කතා කරන්නේ ඔයාට ... මේ වෙනකොට ඔයා ඒ දවසෙ සිදු වූ සිද්ධිය ගැන සියලුම දේ දන්නවා වගේම ඊට පෙර කාලයකුත්  ඊට පසු සියලුම දේත් මතකයේ තියෙනවා නේද?"

සුලෝචනා වෙත හැරෙමින් පැවසූ වෙද මහතා ඇයගේ මුහුණ දෙස මොහොතක් බලා උන්නේය .සුලෝචනා හිසවනා එයට පිළිතුරු දුන්නද ඇය ඉන්නේ බොහෝ වික්ෂිප්ත  ස්වභාවයෙන් බව සියල්ලන්ටම වැටහුණි.

"දුව , මනසකට යම් යම්  දේ ඇතුල් වෙන්නත් මනසින් දේවල් පිටවෙන්නත් ඒකට අවශ්‍ය වෙන මාර්ගයන් තියෙනවා .ඒ නිසා කිසිම දෙයක් බලෙන් මතක් කරන්නවත් බලෙන් අමතක කරන්නවත් යන්න එපා."

එසේ කියමින් එතුමා පැමිණියේ ඇය වෙතටය .ඇයගේ හිස මතට අත මතක් තබාගෙන දෑස් පියා කල්පනා කරමින් උන් ඔහු ..

"ජීවිතේ අමතක වෙච්ච සමහරක් දේවල් අනපේක්ෂිත විදියට මතක් වෙන දවසක් ඒවි .ඒත් මම හිතන්නේ ඒ දවස වෙනුවෙන් බොහෝ කල් බල බල ඉන්න එක තේරුමක් නැති වැඩක් .ඒ දවස අද වෙන්නත් හෙට වෙන්නත් පුළුවන් .සමහරවිට අවුරුදු ගානකට ඉස්සරහට වෙන්නත් පුළුවන්." පැවසීය.

"ඒ නිසා මම කියන්නේ  ජීවිතයේ යහපත්ව ගෙවන්න .අදාළ වෛද්‍ය ප්‍රතිකාර දිගටම ගන්න.මම ඔයාට ජීවිතේට අවශ්‍ය කරන වත් පිළිවෙත් ටිකක් කියා දීලා යවන්නම් .දිගටම අනුගමනය කරන්න.ඒ එක්කම  ඕගොල්ලන්ගේ ජීවිතවල කෙරෙන්න ඕන ආවාහ විවාහ දරුවන් සෑදීම් වගේ වැඩ කටයුතු කිසිසේත්ම මේ කාරණය මත කල්දාන්න අවශ්‍ය නැහැ .හැමදේම රඳා පවත්නේ විශ්වාසය මතයි .ඉතින් ඒ නිසා හැම කාරණයක්ම සුභ අන්දමට සිදු වේවා කියලා මම ආශිර්වාද කරනවා ."

එපමනක් පැවසූ වෙදමහතා කාමරයෙන් පිටව ගියේය .සියල්ලෝම ඔවුනොවුන්ගේ මුහුණ දෙස බලා උන්නා මිසක එකදු වචනයක් හෝ හඬ නගා ගත නොහැකිව ගතකළ විනාඩි කිහිපයක් කට පසු වෙද මහතා යළිත් පැමිණියේ යම් පත්‍රිකා කිහිපයක් සමගම ඖෂධ මංජුසාද රැගෙනය .

"මෙතන තියෙන බෙහෙත් ඖෂධ ගැන මම කියන්න යන්නේ නැහැ.මේක සාමාන්‍ය ජීවන රටාවට පහසුවක් මිසක් මේ වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගත්ත දේට වඩා වෙනස් දෙයක් මම කරනවා කියලා නම් හිතන්න එපා .නිරෝගීව ජීවත් වෙන්න .හොඳින් ජීවත් වෙන්න .මට මේ වෙලාවේ කියන්න පුළුවන් දේ  එච්චරයි ."


වෙද මහතාගෙන් සමුගෙන ආපසු එන අතරතුරදීත්  වචනයක් හෝ කතා කරගත නොහැකි තරමට සියල්ලන්ගේ සිත් බොහෝ සෙයින් බර වී තිබුණි .

"මොකද උනේ?"

එන අතරමඟදී අතරමඟ දී රශිත ඇමතුමක් දුන්නේ බිම්සරගෙන් විස්තර විමසමිනි .

"මං ඇවිල්ලා විස්තර කියන්නම්."

බිම්සර පැවසුවේ නෙත් කොනින් මෙන් සුලෝචනා දෙස බලමිනි.ඇය ඉන්නේ වික්ෂිප්ත වූ වික්ෂිප්ත වූ භාවයෙනි .ඇතැම් විට ඇයට ඇත්තේ කිසිවක් තෝරා බේරා ගන්නට බැරි හැඟීමක් විය යුතුය. බිම්සරට ඇය ගැන දැනුනේ මහත් අනුකම්පාවකි.

කෙසේ වතුදු ජීවිතය ඉදිරියටම ගමන් කළ යුතුය.ඒ සඳහා ඇය පසෙකින් තබා ගෙන ගොඩනඟා ගන්නා අනාගත ජීවිතය ගැන ඉතින් හෙට සිටම සිහින මැවිය යුතුය .

******************************************************************************** 

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)



මම

(විසිරි)

10 comments:

  1. Replies
    1. අදත් කතාව ඉන්ටරෙස්ටිං.
      https://www.youtube.com/watch?v=2aPmC_zQ8bI

      Delete
    2. බොහොමත්ම ස්තුතියි

      Delete
  2. මරු.. ඉතුරු කොටහත් ලියමු ❤️

    ReplyDelete
  3. අපිටත් බිම්සරගෙ ආදර මූන පේනවා වාගෙ.

    ReplyDelete
  4. Leawo Total Media Converter Key permit tape exchange that you upload as of the net. It assist near ornament
    https://freeforfile.com/leawo-total-media-converter-crack-free-download/

    ReplyDelete