Sunday, October 10, 2021

19. දහ නව වෙනි කොටස ( ඔබ ආයෙමත් ඇවිදින්)

 


"වෙදමහත්තයෙක් කිව්වම මං වුණත් හිතාගෙන හිටියේ අර  තෙල් බෙහෙත් බෝතල් ටිකක් දාගෙන ගමකට වෙලා සාම්ප්‍රදායිකවම දේශීය වෛද්‍ය විද්‍යාව කරන් යන කෙනෙක්  කියලා .මට එතනට ගියාම එතන මහා වෙනසක් දැනෙනවා .කොච්චර මිනිසුන්ගෙන් ඈතට ගියපු ගම්මානයක ජීවත් වුණත් අද කාලේ මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්න තාක්ෂණය ඒ ගම්මාන වලට අලුත්ම දෙයක් වුණත් ඒ වෙද මහත්තයා මාර විදියට updated. කොහොමද කියලා කියන්න මට නම් තේරෙන්නේ නැහැ.මොකද කරන්ට් එකවත් නැති මොබයිල් ෆෝන් එකක් වත් දකින්න නැති පරිසරයක් ඒක."

බිම්සර රශිත සමගින් පැවසුවේ පෙරදා රිකිල්ලගස්කඩ ප්‍රදේශයට ගොස්  ලද අත්දැකීම විස්තර කරමිනි .

"අපිට හිතාගන්න බැරි හොයා ගන්න බැරි මාන ඕන තරම් මේ ලෝකේ තියෙනවා .ඒවා හොයන්න අපිට කවදාවත් හම්බවෙන්නේ නෑ .අපි ආපහු investigation  ටික කරමු ලබන සතියේ . ඒක අපිට සැක හැර ගන්න කරන දෙයක් මිසක් ප්‍රතිකාරයක් විදිහට හිතන්න ඕන නැහැ.ඉතින් ඒක නෙමෙයි උඹ සුලෝචනාත් එක්ක මේවා ගැන කෙලින්ම කතා කරලා තියෙනවද ?"

රශිත බිම්සර දෙසට හැරෙමින් ඇසුවේය .

"මොනවා කතා කරන්නද .අලුතෙන් කතා කරන්න ඉගෙන දෙයක් නෑනේ .එයාම කිව්වනේ එයා එක්ක යන්න කියල හැමදාටම නවතින්න අපේ ගෙදර" 

බිම්සර සිනහවෙමින් පැවසුවේය .

"මනුස්සයෝ , උඹේ ඉස්සර ඉදලම අපිට දාන පාට් ඔය කෙල්ලට දාන්න යන්න එපා .ටිකක් නිදහසේ කෙල්ලත් එක්ක කතා කරපන් .දැන් ලව් කර කර නැළවි නැළවි ඉන්න කාලයක් උඹලට නැහැනේ ."

රශිතගේ වදන්වල යම්කිසි සත්‍යයක් ඇති බව බිම්සරටම වැටහේ .එහෙයින් සුලෝචනා සමගින් ඉදිරියේදී කළ යුතු දෑ පිළිබඳ කතාබහ කලයුතුයැයි ඔහු තීරණය කළේය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

මුහුද අද්දරට අව්ව වැටෙන්නේත් අව්ව බසින්නේත් ඉතා ඉක්මනින්ය .බිම්සර මුහුද අද්දර වූ කුඩා summer house එකක බලාඋන්නේ සුලෝචනා ඉදිරිපසින් හිඳුවාගෙනය .

"ඉතින්.."

බිම්සර කතාවට මුල පිරුවේ තමාගේ දෑස් මඟ හරිමින් ඈත මුහුද දෙස බලා සිටිනා සුලෝචනාගේ අවධානය තමා වෙතට යොමු කර ගන්නටය .

සුලෝචනා එක් වරක් පමණක් හිස ඔසවා ඔහු දෙස බලා යළි බිම බලා ගත්තාය. 

"චූටි ඔලූව උස්සලා මගේ දිහා බලන්නකෝ .මොකද මේ බයෙන් වගේ අහක බලන්නේ .අපි කතා කරන්න ඕනේ.ඒකයි මං ඔයා මෙතනට එක්කරන් ආවෙත්"බිම්සර බොහෝ ලෙසින් හඬ මුදුකරගනිමින්  සුලෝචනාහට කතා කළේය .

ජීවිතයේ ඉදිරි ගමන ඉතින් දෙදෙනා එක්ව යා යුතුය .අතීතය කෙතෙක් කටුක වුවද ඉතින් අනාගතය සුභ සිහිනයන් මත  ගලා යාමට ඇය හා අත්වැල් අල්ලාගතයුතුය .

සුලෝචනා බිමට බර වූ නෙතින් සුසුමක් හෙළුවාය .එහි සුසුමේ තවමත් ගැබ්වී ඇත්තේ දෙදෙනාගේ ආශ්‍රය ගැන ඇයට ඇති කුකුස ය .

"චූටි මේ අහන්නකෝ .ඔයා ඔය මතක නැති වෙලයි කියන දේවල් එහෙමම තියෙන්න අරින්න .අපිට ඒ දේවල් අපේ ජීවිතයට බාධාවක් කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ .ඉතින් ..මට මෙච්චරයි දැනගන්න ඕන.." 

බිම්සර මොහොතක් නිහඬ විය .සුලෝචනා  බිමට බරවූ නෙත් ඔසවා ඔහු දෙස බැලීය .ඒ දෑස් වල වූයේ අපරිමිත ස්නේහය කි .සුලෝචනා මොහොතක් දෙකක් ඒ දෑස් දෙස බලා උන්නාය .

"මම ඔයාට ආදරේ කරන්න ගත්තේ අද ඊයේ නෙමේ .ඔයාව දැක්ක මුල්ම දවසේ ඉඳලා .ඒත් අපි දෙන්නට කවදාවත් ඒ කාලෙදිත් නිදහසේ අදරයක් ගැන කතා කරන්න හම්බ උනේ නැහැ .හොඳ හෝ නරක හෝ මොන දෙයක් නිසා හරි ඔයාව මට ආයෙ හමුවුනා.මේ අහන්න චූටි , ඔයා නැතුව  කිසිම කෙනෙක් මගේ ජීවිතයට ළං වුණේ නැත්තේ ඔයා මට අයිති වෙන්න තියෙන නිසා කියලා මම තාමත් විශ්වාස කරනවා"

බිම්සර මොහොතක් සිට අත දිගු කොට මේසය මතවූ සුලෝචනාගේ අත අල්ලා ගත්තේය .සුලෝචනා තිගැස්සුණා ය .හරියටම අතීතයේ අවසාන වතාවට  ගම්පහදී හමුවුණ දිනයේ තමා  ඇයගේ ඇඟිල්ලකින් අල්ලා ගත් මොහොතේ පරිද්දෙනි .සංවේදනාවන් එලෙසම පවතී .ඉතින් ජීවිතයේ අමතක වීම ගැන කම්පා වෙවී සිටිය යුතු නොවේ .

බිම්සරගේ දෑත් මතට මැදි වූ සිය දෑත ඔහේ තිබෙන්නට ඇර සුලෝචනා මොහොතක් නිහඬව ඔහු දෙස බලා උන්නාය .

"චූටි , ඇත්තටම ඔයාට ආදරෙයි .මට දැනගන්නට ඕනේ ඔයා මං ගැන මොකද හිතන්නේ කියලා"

බිම්සර ඇයගේ අවධානය තමා වෙත යොමු කර ගනිමින් ඇසීය .සුලෝචනා මොහොතකට ගොළු වූවාය .

"කතා කරන්න චූටි ..අද අපි දෙන්නට අපි ගැන කතා කරන්න හොඳටම නිදහස තියෙනවා .ඔයාට කිසිම බලපෑමක් නැහැ .කියන්න ඔයා මා එක්ක ජීවත් වෙන්න කැමතිද කියන එක .සමහර වෙලාවට මම ඉන්න රස්සාවයි මං ගතකළ ජීවිතයයි නිසා මට රොමෑන්ටික් වෙන්න බැරුව ඇති මේක අහද්දි .ඒ උනාට ඔයාට මාව තේරෙනව ඇති නේ"

බිම්සර ඇයගේ නිකටෙන් අල්ලලා එසවීය .

සුලෝචනා ගේ වත විළියෙන් රතු විය.

"..මම...මම...."

ඇය වචන අහුලා ගත නොහැකිව තතනන්නට වූවාය . බිම්සර බොහෝ ඉවසිල්ලේ මේ ප්‍රයත්නය දෙස බලා උන්නේය .

ඒ දෑස් බෙහෙවින් පෙම්වත් විය.ආදරය වචන වලට ලඝු කොට ගත නොහැකි වුවද දෑස් වලින් සහ අභිනයෙන් මොනවට ඔප්පු වන මොහොතවල් ජීවිතේ ඕනෑ තරම් ඇත .

"මම කැමතියි."

සුලෝචනා ආයාසයෙන් කියා ගත්තාය.

මහා චකිතයකින් එවදන් කියාගත්තද ඉන්පසුව හිතට දැනුනේ අප්‍රමාණ සැහැල්ලුවකි.සුලෝචනා තෙත්ව ගිය ඇසිපියන් ඔසවා ඔහු දෙස බලාඋන්නාය.

බිම්සර ඇයගේ අතකින් අල්ලාගෙන සයුරු රළ පෙරළෙනා ඉසව්වට කැඳවාගෙන ගියේය. ඇය ආසාම කරන තැනකදී ඇයගේ ප්‍රේමය ලබා ගැනීමට ඉතින් පසුබට නොවිය යුත්තේමය.

"ඔය ෆිල්ම් වල නාට්‍ය වල පෙන්නන ප්‍රපෝස් කිරිලි නම් මම දන්නෑ මැණිකේ. මං චූටි මුද්දක් ඔන්න අරන් ආවා.හා කිව්ව ගමන් දාලා අල්ලගන්න."සයුරු මානයේදී ඇය තමා වෙතට හරවාගත් බිම්සර සාක්කුවෙන් අතට ගත් කුඩා නිල්පැහැ විල්ලුදමය පෙට්ටිය විවර කොට සුදු පැහැ මැණිකක් ඇල්ලූ රන් මුදුව අතට ගත්තේය.සුලෝචනා දෑස් විසල්කොට බලාඋන්නාය.

"ආන්න ඉර බහිනවා..ලස්සනට."ඔහු ඇය ඒ දෙසට හරවා සිය ළයට හේත්තුකොට ගත්තේය.අත්දෙකින්ම අල්ලාගත් ඇයගේ වමතේ මුදුඟිල්ල හුරුබුහුටි රන්මුදුවෙන් දිස්නය දෙන්නට ගත්තේ ඉරුරැසට එක්වයමිනි.

"ලස්සනයි"සුලෝචනා කෙඳිරුමක ස්වරයෙන් මිමිණුවාය.බිම්සර සිය දෙතොල ඇයගේ හිස්මුදුණේ මොහොතකට තබා සෙනෙහසින් ඇය සිපගත්තේය.

*********************************************************************************************

ප්‍රේමය උපදින්නේ සිත් දෙකක් යාව ගන්නා මොහොතේ සිටය.එතැන් පටන් සුලෝචනා ජීවත්වූයේ සිහිනයෙන් සැබෑ ලොවට පියමැන ලද ප්‍රේමයෙන් උද්දාම වෙමිනි .

බිම්සර තරම් සොඳුරු ප්‍රේමයක් ජීවිතයට ලැබීම තරම්ම වාසනාවක් තමා සතු වී දැයි සුලෝචනා නැවත නැවතත් සිතුවාය නිහඬභාවය ඇය වෙතින්  සෙමින් සෙමින් මිදී යද්දි සුලෝචනා  පෙර පරිදි යෙන්ම දොඩමළුවූ යුවතියක් වන්නට පටන් ගෙන තිබුණි .

"අම්මේ දැන්නෙ මෙයාගේ මේ කටර් එක වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ"

ප්‍රමුදිතා සිනහසෙමින් පැවසුවාය .

අම්මා ඒ සිනහවට එක්වෙමින් සුලෝචනා දෙස බැලුවේ ආදරය උතුරා යන දෑසිනි.අම්මා කෙනෙකුගේ සිතේ පවතින මහා ගින්දර දරුවන් නිසාම හැමදාමත් ඇවිලි ඇවිලී පවතී. කාලයක් ගතවී හෝ සුලෝචනා මේ අන්දමට යථා තත්ත්වයට පත්වීම අම්මගෙ සිතට ගෙන ආවේ ඉමහත් සන්තුෂ්ටිය කි .

"ඉස්සර අපේ ගෙදර හැමතිස්සෙම දෝංකාර දුන්නේ ලොකුගේ සද්දෙ .ඔයාටත් වඩා ගෙදර හැමදේටම කතා කළේ අපේ ලොකු.එකපාරටම හරියට මහා හුළඟක් ඇවිල්ලාමුළු පරිසරයම නිශ්ශබ්ද කළා වගේ ලොකු කතා කරන එක අඩු කළේ .දැන් ආපහු මේ ගෙදර සතුටින් පිරිලා.මට ඒකම ඇති සැනසෙන්න."

අම්මා සිය නෙතගට උනා එන කඳුල ගවුම්  කරින් පිසලූවාය.

"දුකටයි සතුටටයි තරහටයි ඔක්කොටම අපේ අම්මා කරන්නේ අඬන එක ."

ප්‍රමුදිතා  අම්මගේ දෙවුරේ එල්ලෙමින් පැවසුවේ මේ සංවේදී මොහොතේදී අම්මා අඬා වැටීම ගැන බියෙනි.අම්මා හෘද රෝගියෙක් හෙයින් ඇයව ප්‍රවේශම් කරගත යුතුය. 

"පුතේ ඔයාගෙ ජීවිතයේ බේරගත්තා වගේම ආපහු ඒ ඉස්සර හිටපු ඔයාව අපිට ගෙනත් දෙන්න ඔක්කොම කලේ බිම්සර  පුතා ."

අම්මා පැවසුවේ ආදරය උතුරා පිටාර යන හඬිනි.

වයස විසිගණන් වල අගභාගයට පැමිණෙන සුලෝචනා ප්‍රේමය උගනිමින් උන්නේ ජීවිතයේ පළමුවතාවටය.

ඉදින්..ප්‍රේමය සිතට දැනෙන්නට වයසක්, කාලයක් අවැසිද යන්න  ජීවිතය ඇයට කියාදෙමින් තිබුණි.ප්‍රේමය තිබුණේ ඇස්කොණින් බලනා ඇයගේ බැල්මක් හසුකරගන්නා ඒ තරුණයාගේ සෘජු බැල්මකටය. ප්‍රේමය නිර්වචනයක් දුන්නේ ඒ  උණුසුම් අතැඟිල්ලක  පැටලෙන මොහොතක දෙකන්පෙති පුරායන අමුතුම හැඟීමටය. ප්‍රේමය හැඟීම් සුසර කලේ උණුසුම්ම අතකින් හිස පිරිමැදෙන මොහොතක දෑස් අතරට එන කඳුලක තෙතමනයෙනි. ප්‍රේමය දැනුනේ ඔහුගේ ලයට හේත්තුවී හිස හොවා ගන්නා නිමේෂයක හිස මතට තෙරපුණ සියුම් හාදුවකය.ඉතින් මේ ඒ අරුමැසි ප්‍රේමයයි.

ජීවිත කාලයෙන් මගහැරුනු සියල්ලටම හරියන්නට බිම්සර, සුලෝචනා කැමති ආකාරයට විවාහය සැලසුම් කරන්නට වූයේය.ජීවිතය අපට ලබාදෙන සොඳුරු හැඟීම් අස්සට හැලහැප්පීම් නොමැති වූවොත් එය අරුමයකි .

ලොකු නැන්දාගේ අකමැත්ත එළිපිටම බිම්සර සහ සුලෝචනා ගේ සම්බන්ධයට එල්ල විය .මේධා සම්බන්ධයෙන් කර කියා ගත කියා ගත හැකි යමක් නොවුවද ,ලොකු නැන්දාගේ බලාපොරොත්තු වූයේ ඇයගේ මට්ටමට සරිලන වූ පවුලකින් බිම්සරට විවාහයක් කර දෙන්නටය .

"කාත් කවුරුවත් නැති හරිහමන් නෑදෑයෙක් නැති පවුලකට හේතුවෙන්න උඹට මොලේ අමාරුවක් තියෙනවද සුදු පුතා" 

ලොකු නැන්දා පළවෙනි වෙඩිමුරය තැබූවේ සුලෝචනා සමඟ ඇති සම්බන්ධතාවය නිල වශයෙන් වැඩිහිටියන්ට ප්‍රකාශ කරන්නට බිම්සර නිවසට ගිය දාය .

"මම කසාද බඳින්න තෝරගන්නේ මට ගැලපෙන ගෑනියෙක් මිසක් එයාගෙ හතර වර්ගයා නම් නෙමෙයි.ඒ නිසා ලොකු නැන්දා එකක් තේරුම් ගන්න මේ තමයි මගේ තේරීම .ඒක ආයේ කවුරු කිව්වත් දැන් වෙනස් වෙන්නේ නැහැ ."

බිම්සරගේ වදන්වල ඇති නොසැලෙනු බවට ලොකු නැන්දා ද  මදක් තිගැස්සුනි.

"අප්පච්චි මට අප්පච්චිගේ තීරණය කියන්න."

බිම්සර සෘජුවම ඇසුවේ අප්පච්චී  දෙසට හැරෙමිනි .

"ඔයා කිසිම දවසක වැරදි දෙයක් නොකළ බව අපි හැමෝම දන්නවා සුදු පුතා  .ඒ නිසා මම ඒ ගෑනු ළමයව දවසක් දැකපු නිසා මගේ කැමැත්ත මම ඔයාට දෙනවා .අක්කා , මේ කාරණය සම්බන්ධයෙන් පුතාට තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්න දීලා අපි පැත්තකට වෙමු."

එපමණක් පමනක් කියා අප්පච්චි කතාව හමාර කළේය .

"උඹලට ඕන දෙයක් කරගනිල්ලා .මම එහෙම ඔය මගුල් වලට එන්නේ නැහැ."

ලොකු නැන්දා එදා නැගිට ගියේ බලවත්  අමනාපයෙනි. 

ඉතින් ඒ නෑදෑකම් ද සමහරක් විට බිඳී දුරස්ව යනු ඇත .ලොකු නැන්දා තමන්ගේ පවුලට කවදත් හිතවත් වූවාය .අම්මා නැතිව ඉතාම දුෂ්කරව ගත කළ කාලයේ දී පවා ඇය බාල සොහොයුරන් තිදෙනා ගැනද  සොයා බැලුවාය .ඉතින් ඇය  පවුලේ වැදගත් තීන්දු තීරණ ගැනීමේදී බරපතළ වැදගත් සාධකයක් වන අතර ,ඇය මෙසේ හැසිරීමම බිම්සරගේ හිත බිඳ වට්ටන්නක් විය.

"ලොකු නැන්දා ඔහොම ගස්සන් පුප්පන් ගියාට එයා ඕක දිගට ඇදන් යන්නෙ නෑ සුදු අයියේ.ඕක ගැන නොහිතා ඉස්සරහට කරන්න තියන වැඩ කටයුතු  ගැන ඔයා බලන්නකො."

ලොකු මල්ලී බින්සර අසලට පැමිණ පැවසුවේ උරහිසට අත තබා තට්ටු කරමිනි.බිම්සර සුසුමක් හෙලුවේය.

"මම කාගෙඅත් හිත් රිද්දුවෙ නෑ ලොක්කො මෙච්චර කල්.හැමඑකම ලොකු නැන්දා පාලනය කලාම සද්ද නැතුව උන්නා.මේධාගේ කේස් එකත් එහෙම්මනෙ.ඒත් මට තේරෙන්නෑ ඇයි ලොකු නැන්දා මෙහෙම හැසිරෙන්නෙ කියල."

බිම්සර පැවසුවේ ඉමහත් කලකිරීමකිනි.

"ආ ඒක කිව්ව නිසා මතක් උනෙ .මොකෝ ගුණවර්ධන අංකල් එහෙම ආවෙ නැද්ද  සද්දදාගෙන ඉන් පස්සෙ."

ලොකුමල්ලී සිහිපත් කලේ පසුගිය වකවානුවේ සිදු වූ සිදුවීමය.

"මොකද නැත්තෙ කීප පාරක්ම ආවා මාව හමබවෙන්න.හැබැයි සද්දෙ දාන් නෙවේ.මෑන් ටිකක් බයවුනා මේධාගේ කතන්දර එලිවේවි කියල.එක අතකට මහමිනිස්සු මොනා කරන්නද ලොක්කො මේධාල වගෙ එවුන්ගෙ ජරාගති වලට"

බිම්සර සිනහවක් පා ලය සැහැල්ලු කොට ගත්තේය.

"මේ කතන්දර මෙතනින් වහල දාමු පුතා.මම උනත් වයිෆ් උනත් නොදැන උන්න කාරණයක් ඒක.මේධා ආපහු යූකේ ගියා.ඇත්තෙන්ම මේ දේවල් නිසා  ලැජ්ජයි අපිට ලෝකයට මූණදෙන්න."ගුණවර්ධන අංක්ලගේ ප්‍රශ්නය හිතුවාටත් වඩා පහසුවූයේ මේධාගේ නික්ම යෑමෙනි.එහෙත් මේධා සිය හුරුපුරුදු ජීවිතයෙන් නොමිදෙනුඇත.මුදලට වහවැටුන කල්හි ඉතින් එයින් ගොඩඒමක් ඇයටම නොවේ.

"ලොකු නැන්දා නම් පට්ට ශොක් වීමක් ඒකෙන් උනේ සුදු අයියෙ.අවුරුදු කීයක් තිස්සෙ මේධාව ඔයාගෙ බෙල්ලෙ එල්ලන්න ලොකු නැන්දා ට්‍රයිකලාද "ලොකු මල්ලී පැවසුවේ සිනහාවෙමිනි.

"ඕක ඉවවැටුණ ගමන් මම පුළුවන් තරම් මේධාගෙ ප්‍රපෝසල් එක රිජෙක්ට් කලා ලොක්කො.කොහෙද ඒ මේධාගෙ කැටයම් ඉතින් ඇම්බැක්කෙත් නැනෙ.නැන්ද  අහුවුන."බිම්සර පැවසුවේය.

"කොයිදේත් වෙන්නෙ හොඳට සුදු අයියේ. අපි ඉස්සරහටත් ඒ දේවල් එහෙම්ම වෙන්න කියලා පතමු"

ලොකු මල්ලී බිම්සරගේ බාහුවට තට්ටු කොට නිවෙස තුලට යළි ඇවිද ගියේය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

හමුවෙමු යළිත්

( විසිරි )

6 comments: