Tuesday, October 12, 2021

20 . විසිවෙනි කොටස - ඔබ ආයෙමත් ඇවිදින් ( නවකතාව )

 


 නැවතවරක් කල වෛද්‍ය පරීක්ෂණ මාලාවේ ප්‍රතිපලද පෙරසේම ගැටලුවලින් රහිත වූ නිසා බිම්සර ඇතුලු සියල්ලන්ගේම හිත් නිදහස් වූයේ මහා බරකිනි.ඉදින් සුලෝචනා සම්පූර්ණයෙන්ම නීරෝගීය.ඇයට අනාගත යහපත්  ජීවිතයක් ගතකරන්නට අවැසි නීරෝගීකම සතුව සිටින්නීය.

ප්‍රමුදිතා උසස්පෙළ ඉහළින්ම සමත්වූයේ සතුට දෙගුණ තෙගුණ කරමිනි.ඇය වෛද්‍ය විද්‍යාලයට පිවිසෙන්නට වරම් ලබා තිබුණාය.සුලෝචනා,  නංගී වැළඳගත්තේ සතුටු කඳුලු වගුරවමිනි.

"මගේ පොඩ්ඩි..ඔයා එහෙනම් ඒක කලා." අක්කාගේ සෙනෙහස ඒ අන්දමින් යළි යළිත් ප්‍රමුදිතා වටහාගනිද්දී ඇයට දුක සිතුණේම අක්කාගේ අතරමග නැවතුණ අධ්‍යාපනය ගැනය.බාහිර උපාධිය වසර දෙකක් කළද එයද අවසානයේ මේ තත්වය හෙයින් මග ඇණහිටියේය.

මේ සම්බන්ධව බිම්සර සිටිනා මොහොතකම අක්කාත් අම්මාත්  සමගම කතාවකට ප්‍රමුදිතා එළඹුණේ එහෙයිනි.

"අයියෙ , අක්කාට උපාධියෙ ඉතුරු වෙලා තිබ්බෙ ෆයිනල් year එක විතරයි.ඒක ආපහු කලා නම් අක්කගෙ degree එකත් සම්පූර්ණ කරගන්න තිබ්බානේ"

සුලෝචනා බිම්සර දෙස බැලුවේ අනේ බෑ ආකාරයට මුහුණ අකුලාගෙනය.බිම්සර ඇස් කුඩාකොට ඇයට තරවටු බැල්මක් හෙලුවේය.දැන් දැන් බිම්සරගේ තරවටුකම්, සැරවීම් වල සොඳුරු ආක්‍රමණයට සුලෝචනා හුරුවෙමින් උන්නාය. කිසිදු මොහොතක සිය හිත නොරිදවන්නාගේ ඒ ඇලුම් බැලුම් ජීවිතය තවතවත් සුන්දර කරනු සුලෝචනාට දැනුනි.

"අපි හෙට කැලණි යං.යුනිවර්සිටි එකට "සුලෝචනා සමගින් මිදුළේ අඹගස යට මොහොතකට තනිවූ බිම්සර ඇසුවේය.

"ආයෙම පාඩම් කරන්න කම්මැලියි මට.කලින් ඒවත් මතක නෑ වගේ"සුලෝචනා අදිමදි කලාය.බිම්සර ඇය අතින් අල්ලා සිය ගතට ළංකොට ගත්තේය.

"මේ අහන්න චූටි.ඉගනගන්නව ,ඩිග්‍රි එක කම්ප්ලීට් කරනව කියන්නෙ අපි රස්සාවකට යන්නම නෙවෙයි.අම්මා උගත් වුනාම මගෙ බබාලට උගන්වන්න එයාට පහසුනෙ"බිම්සර ගණනකට නොහෙනම කියාදැම්මේය.සුලෝචනා ඇස් ලොකු කොට ගනිමින් මොහොතක් ඔහුදෙස බලාඋන්නේය.ඔහු කියන සමහර කතන්දර ඇය වටහාගන්නේ  තරමක් කල්පසුවීය.

"ටියුබ් ලයිට් එක"සෙමින් ඇයට පහරක් ගසා බිම්සර හිනාවීය."හෙට  උදේ අට වෙද්දි මම එනව.අපි සාරි බලන්නත් හෙට යන්න දාගත්තු එකේ යුනිවර්සිටි එකටත් එහෙම්මම යං." සමුගන්නට පෙර ඔහු ඇයට විශ්ව විද්‍යාලයට යන්නට සුදුසු ආකාරයේ ඇඳුමක් ඇඳගන්නට පැවසුවේය.

******************************************************************************************


විශ්ව විද්‍යාල අධිකාරීන් සමග යෙදුණ කතාබහ සහ සුලෝචනාගේ වෛද්‍ය වාර්තා මෙන්ම පසුගිය විභාග වල දස්කම් පෙන්වීමෙන් පසුව ඊලඟ අධ්‍යයන වර්ෂයට එක්වීමට සුලෝචනාට අවස්ථාව සැලසුණි. 

"ඔන්න එහෙනම් ඒකත් හරි."

බිම්සර රියට ගොඩවෙමින් ප්‍රමුදිතා සහ සුලෝචනාට පැවසුවේය.

"අපේ ගෙවල්වල ප්‍රශ්න නොවුනානම් අක්කාත් මෙඩිකල් කොලේජ් යනව අයියෙ."ප්‍රමුදිතා පැවසුවේ සුසුමක් හෙලමිනි.

"ගමට ගියායින් එයාට ආට්ස් සබ්ජෙක්ට්ස් කරන්න උනා.ඒ ඉස්කෝලෙ ආර්ට්ස් විතරයිනෙ තිබ්බෙ."ප්‍රමුදිතාගේ ශෝකීබව සුලෝචනාගේ නෙත් තෙත් කලාය.ඇය නංගීගේ අතකින් අල්ලාගත්තේ සන්සුන් වන්නටයැයි ඇසින් කියමිනි.

"ඒ ප්‍රශ්න නොවුනානම් ඔයාගෙ අක්කා මීට කලින් මාව බඳින්නෙ.හා නැද්ද චූටි" අනවශ්‍ය තරම්ම කතාව හැඟීම්බර වන්නට නොදී බිම්සර පැවසුවේ දෙසොහොයුරියන් සිනාගස්වමිනි.සුලෝචනා රතුව ගත් වතින් අත දිගුකොට බිම්සරට සෙමින් පහරක් ගැසුවාය.

*******************************************************************************************


බිම්සරගේ සහෝදරයන් තිදෙනා ද සුලෝචනා සහ ප්‍රමුදිතා  සමගින් බොහෝ ලෙසින් එකමුතු වූයේ  එකම පවුලේ සහෝදර සොහොයුරියන් විලසිනි.

මෙහි අපූරු එකතුවට රිද්මා මෙන්ම රශිත සහ තාමරිද එක් වූ කල ඒ අවස්ථාවන් සිනහව සහ සතුට උතුරා ගිය මොහොතවල්ම විය.

"මගේ දරුවො දෙන්නට මං විතරක් හිටපු කාලෙ ඇත්තෙන්ම ඒ දරුවො දෙන්නා මෙතරම් තනිකමත් හින්දද කියලා මට දැන් තේරෙනවා" 

අම්මා පැවසුවේ මිදුලෙහි ගස යට රවුමට පුටු තබාගෙන  තබාගෙන කෑගසමින් සිනා සෙන්නාවූ මේ තරුණ තරුණියන් දෙස බලාගෙන උන් රිදමාගේ අම්මාට ය.

"දැන් මොකෝ මල්ලිලා කියන්නේ?"

රිද්මාගේ අම්මා මතක් කලේ පෙර  දවසක ඇති වුණා යැයි කිවූ දෝෂාරෝපණ  තත්වයක් ගැන රිද්මා විසින් ඇයට දැනුම් දුන් හෙයිනි.

"හ්ම්ම්....මොනව කරන්නද නෝනා .මගේම එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයා තමයි .ඒ උනාට ගමේ ගිහින් ඉන්න කාලේ අපේ මල්ලිගෙ පවුලයි දූලා දෙන්නයි කෙල්ලට හරියට වෙනස්කම් කළා.කෙල්ල ඇඬුවේ නැති දවසක් නැති තරම් .එහෙම පවුලකට මගේ දරුවා දෙන්න මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ .ගමේ මහගෙදර මල්ලිටයි මටයි දෙන්නටම අයිති නිසයි ඔය අපේ නෑනා එයාගේ පුතාට අපේ ලොකු දුව බන්දලා දෙන්න ලොකු ඕනෑකමක් කළේ .අපේ ලොක්කි කවදාවත් ඒ පුතාට තමන්ගේ සහෝදරයෙක්ගේ මට්ටමට වඩා වෙනස් විදියකට සැලකුවෙ නැහැ.ඒ කොල්ලගෙ කියන්න තරම් වැරැද්දක් නැහැ තමයි .ඒ උනාට අපි තුන්දෙනාගෙම ඒ අයත් එක්ක පෑහෙන්න කිසිම ඕන කමක් තිබුනේ නැහැ .ඉතින් මේ මඟුල ආරංචි වෙලා ඊයෙ පෙරේදා ඔය අපේ නෑනා තමයි කෝල් එකක් දීලා හරියට දොස් කිව්වේ.ඕක අපේ පොඩි කෙල්ල අහන් ඉඳලා රිද්මා දුවට කියන්න ඇත්තේ'

අම්මා පැවසුවේ  සුසුමක් හෙළමිනි.

"ජීවිතේ හැමදේම සිද්ධ වෙන්නේ අපි පතාගෙන ආව  විදියටයි .මේ දරුවෝ දෙන්නා හමුවෙලා වෙන්වෙලා ආයේ මේ විදියට හමුවෙන්න ඉරණමේ ලියවිලා තියෙන්න ඇති . සුදු පුතා මේ දුවට කොච්චර ආදරේ ද කියන එක ඇත්තටම දන්නේ අපේ දූ.ඒ නිසා ඔයා ඔච්චර මේවා ගැන  හිතන්න එපා .දැන් ඉතින් තව සතියකට දෙකකට වඩා නැහැනේ .ඔක්කොම දේවල් සූදානම් නේද?"

රිද්මගේ අම්මා ,සුලෝචනා ගේ අම්මා සමගින් ඉතිරි වැඩ කටයුතු ගැන කතාබහ ඇරඹුවාය .

********************************************************************************************

"තව පොඩ්ඩෙන් සුදු අයියේ ඔයාට බිංදුව තමයි වැටෙන්නේ .අන්න අපේ නැන්දා පරල වෙලා වගේ කෑගහනවා මස්සිනාට නෑනව  හම්බ වුණේ නෑ කියලා."

ප්‍රමුදිතා සිනා කතාබහ අතරේ බිම්සර හා කීවේ පෙර දවසේ වූ සිදු වීමයි.බිම්සරගේ සොහොයුරන්ගේ ඇසුරෙන් ඉබේම බිම්සරට ඇමතීම සුදු අයියා බවට ප්‍රමුදිතාගේ මුවින්ද සැකසී තිබුණි .

බිම්සර සුලෝචනා දෙස බැලුවේ ඒව කොහෙද මාත් එක්ක යන බැල්මෙනි.

"පිස්සු නොකිය ඉන්න පොඩ්ඩි. ඒ අයගෙ හිතේ ඕවා තිබ්බට.." සුලෝචනා මොහොතකට ගොලුවූවාය.ඇත්තෙන්ම තමාගේ හිතේ එවකටද කිසිදු තරුණයෙක්ට ඉඩක් නොවූයේ මන්ද ? සුලෝචනා බිම්සර දෙසම මොහොතක් බලා උන්නාය. ඇයගේ අතරමග නැවතුණ කතාවේ ඉන්  ඔබ්බට යා නොහැකි අසරණ භාවය බිම්සරගේ හිතද සසල කරවීය.

"චූටිගේ හිතේ උන්නෙ මම."බිම්සර එවැකිය එසේ සම්පූර්ණ කලේ සුලෝචනාගේ අතකින්ද අල්ලාගනිමිනි.ඇතැම් ස්පර්ශයන් ජීවිතයනට ලබා දෙන්නේ කිසිදා වචනයකට හැරවිය නොහැකි අන්දමේ හව්හරණයන්ය. සුලෝචනා නිවීසැනසී යන්නේ එබඳු ස්පර්ශයකින් හිතට කාන්දුවෙන සැනසීමේය.

"ඒක නෙවෙව් සුදු අයියෙ.සුලෝ අක්ක දැන් අපේ ගෙදරනෙ ඉතින් ලබන මාසෙ ඉඳල"යසස් ප්‍රමුදිතා ව අවුස්සාගන්නට යළි කතාව ඇරඹීය.

"අනේ මේ චූටයියෙ.හිතේ ඇති.අක්කා ඉන්නෙ සුදු අයියාගෙ මෙහෙ ගෙදර."ඉතින් එතැන් පටන් අයියලා නංගිලාට ඇවිලෙන්නට ඉඩතබා බිම්සර සුලෝචනාගේ අතකින් අල්ලාගෙන මිදුලේ කෙලවරවූ පොකුණ අසලට ඇවිද ගියේය.

"ඔය රෑ සත්තු එහෙම ඇති.කැලේ පනින්න එපා ඕයි"රිද්මාද ඔවුන්ට කෑගැසුවේ සිනාවෙමිනි.

"උදලු නොදා හිටපන්"බිම්සර රිද්මාට ඇඟිල්ලක් දිගුකොට තර්ජනයක් ද කලේය.

සඳ එළිය අහසින් ගලාහැලෙනා මොහොතක තවත් සතියකට දෙකකට ඔබ්බෙන් ජීවිතයේ තමාගේම වන්නට යන සොඳුරු යුවතිය දෙස බිම්සර මොහොතක් බලා උන්නේය.ඔහු දෑසේ උතුරායන්නේ ප්‍රේමණීය හැඟීමක්මය.

"චූටි" බිම්සර කෙඳිරුමකට ආසන්න හඬින් සුලෝචනා ඇමතුවේය.සුලෝචනා ඔහු දෙස බලා උන්නේ ඒ ආදරයෙන් ආසක්තවෙමිනි.

"සති දෙකක් ඉන්න බෑ බං.අපි පැනල යං මෙහෙම්ම" බිම්සර සුලෝචනා සිය දෑත් වලල්ලට ගෙන පැවසුවේ ආදරයම උතුරායන හඬිනි.

*********************************************************************************************

බිම්සරගේත් සුලෝචනාගේත් විවාහය පැවතුණේ අගනුවර තරුපන්තියේ හෝටලයකය. සුලෝචනා සුන්දරම මනමාලියක් වූයේ බලා ඉන්නා සියල්ලන්ගේම ඇස් ඇදගන්නා අන්දමේ සොඳුරු හැඩගැන්වීමක් ද සමගිනි.

අතරැඳුණු නෙලුම්මල් සහ රෝසමල් රැඳි මල් කලඹද අතදරා සුලෝචනා පෝරුව අසලට පැමිණියේ අම්මා සහ නංගීද සමගිනි.මෙතරම් සුන්දර  දියණියක් පෝරුව අසලට කැඳවාගෙන එන්නට වරම් විහින් අහිමි කරගත් තාත්තා මත්ද්‍රව්‍ය ප්‍රවාහණයේදී හසුවී ජීවිතාන්තය දක්වා සිරගෙදරක සිරබත් කන බව සුලෝචනා දැන උන්නද ඇයට එහි අඩුවක් නොදැනුණේ මේ වසර ගණනාවටම තාත්තා යැයි අයෙක් ජීවිතයට නොඋන් හෙයිනි. තමන්ගේ දරුවන්ට තමාට මෙන්  නොව බොහෝ වටිනාකමැති පියෙක් ලැබෙන බව සුලෝචනා ට ඉතින් සක්සුදක් සේ පැහැදිලිය.

"ලස්සන"බිම්සර ඇයගේ සවනතට මිමිණුවේය.සම්පූර්ණ හමුදා නිලඇඳුමකින් සැරසී සිටිනා සිය තෙදවත් පෙනුමැති ස්වාමි පුරුෂයා, පෙම්වතා දෙස සුලෝචනා බැලුවේ ආදරය ගලා හැලෙනා දෑසිනි.

"මගෙ කෙල්ල ගෙ ලස්සන ඇස්වහක් කටවහක් නෑ නෝනා .මට පොඩි එකී ගැනත් දැන් බයක් නෑ.සුදුපුතා කියන්නේ මගෙ පොඩි දරුවට තාත්තෙක් වගේ සලකන සහෝදරයෙක්" රිද්මාගේ අම්මා සමගින් සිය ඔසරියේ පොටෙන් කඳුලක් තෙතමාත්තු කරමින් අම්මා පවසන්නීය.ප්‍රමුදිතා අක්කාගේ දෙවනි මනමාලිය වූ අතර යසස් දෙවනි මනමාලයා විය.

"පොඩි නෑනා අයිති ඉතින් මට තමා" ප්‍රමුදිතා අවුස්සාගන්නට මෙන් යසස් , සහස්ට පැවසුවේය.

"අනේ මේ චූටයියෙ, කට වහන් ඉන්නව මේ දවසෙවත්"  ප්‍රමුදිතා සැරකලේ යසස්හටය.

"අහනවා...මට කොල්ලෙක් හොයාගන්න පුළුවන් පස්සෙ. ඒ උනාට අයියලාම හතරක් මෙහෙම රෙඩිමේඩ්ව හම්බෙනව කියන්නෙ..බලනව කොච්චර දෙයක්ද කියල"ප්‍රමුදිතා ඇත්ත ලෙසින්ම මේ සොයුරු ඇසුරෙන් සතුටම ලැබුවාය.

"ඒක නම් ඇත්ත.අපිට අක්කෙක් එක්කම නංගියෙකුත් ලැබෙනව කියන්නෙ බෝනස් එකක් හම්බුනා වගෙ"සහස් ඒ අදහස් අනුමත කලේය.

සාද කතාබහ , සිනා අතරේ රසමසවුලු විඳ කාලය ගෙවීගියේය. 

බිම්සරගේ පසින් විවාහයට කෙතරම් ප්‍රභූවරුන් සිටියද ඔහු සිය පාර්ශ්වයෙන් විවාහයට සාක්ෂිකොට අත්සන් කරවාගත්තේ රශිතගෙනි. 

"මූ තරම් මේක නිසා කට්ටකාපු කෙනෙක් වෙන නෑ."

බිම්සර රෙජිස්ට්‍රාර්වරයා අභිමුවදී පැවසුවේ සියල්ලන්ම සිනාගස්වමිනි.

සුලෝචනාගේ පාර්ශ්වයෙන් රිද්මාගේ පියා විවාහයට සාක්ෂි ලෙස අත්සන් කලේය.ජීවිතය ඉතින් මෙසේ ඇරඹිය යුත්තේය.සියල්ලන් සිටින්නේ අපූරුම සතුටක සාදකතාබහ අතරේය.

"රිද්මා ,මෙහෙ එනවකො"රශිත රිද්මා පසෙකට කැඳවාගෙන මඳක් දුරින් වූ මේසයක් වෙත ඇය කැඳවාගෙන ගියේය.

"මොකෝ ඒ ගමන.?"රිද්මා කුතුහලයෙන් මෙන් ඔහු අසල අසුනේ ඉඳගත්තාය.

"මේන් මේක බලනවකො"රශිත සිය ජංගම දුරකතනයේ මැසෙන්ජරය විවෘත කොට ඇයට පෑවේය.එහි වූයේ විවෘත කොට කියවාලූ පණිවුඩයකි.

" එහෙනම් ඒකි දිනුවා නේහ්. මං හිතුවා ඉගනගන්න බැරිවෙන්නම ගමෙන් යනකොට ඒ කරදරෙ ඉවරයි කියල.ඒත් නෑ ඒකි ගමට ආවලු ආයෙ .මම ලංකාවේ උන්නානම් ආයෙ නොඑන්නම යවන්න උන්නෙ.😁😁..ඒත් බෝම්බෙට අහුවෙලා මලා කියල ආරංචි උනා ඒ එක්කම.මං කිරිබතුත් හැදුවා. අපේ පවුලම නැතිකලේ ඔය අම්මණ්ඩිලා.ඒත් අන්තිමට ඒකි දින්නා.මම පැරදුණා.සාප කරනවා මම හුස්මක් ගානෙම"පණිවුඩය පැමිණ තිබුණේ තේජාගෙනි.

විදෙස් ගතව අවුරුදු ගනණාවක් ගතකොට විවාහව දරුවන්ද ලබා උන් තේජා කෙතරම්ම පහත් ගැහැණියක්ද යන වග රිද්මා යළි යළි පසක් කොට ගත්තාය.කරදිය වලල්ලෙන් එහා ට ගොස් ජීවිතය වෙනම මානයක සැප පහසුකමෙන් පිරී ඉතිරි ගියත් ,මිනිස් සන්තානය ද්වේශයෙන් ගැලවී නොයන බවට තේජා උදාහරණ සැපයුවාය.

"අරූට මේ වෙලාවේ මේවා පෙන්වන්න ඕන්නෑ බං මොකද ඌ අවුරුදු ගාණකට කලින් තේජාව fb, watsapp , massenger ඔක්කොගෙන්ම බ්ලොක් කලේ.ඉතින් මොකටද මේ කුණුකතා.අපි දෙන්නා විතරක් මේකිගෙ සාපකතා බලල සද්ද නැතුව ඉම්මු."රශිත පැවසුවේ රිද්මාටය.

රශිත සහ රිද්මා වෙනම මේසයක රහස්කන් මන්ත්‍රණයක යෙදී ඉන්නා බව බිම්සර දුටුවේය

"මුන් දෙන්නා වෙනම ඉන්නව කියන්නෙම බාල්දියක් චූටි " බිම්සර සුලෝචනා වෙත නැඹුරු වෙමින් කෙඳිරීය.සුලෝචනා රිද්මා දෙස බලා සිනාසුණාය.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

මංගල සාදය තවත් වර්ණවත් වූයේ යසස් සහ සහස්ගේ  ගීත ඇසුරෙනි. ප්‍රමුදිතා සහ තාමරී සුන්දරව ඊට එක්කල රංගනය අතරේ පැමිණ උන් සියල්ලෝම දෑස් නොපියා මේ සොයුරු පෙමෙහි අපූර්වත්වය ව්ඳගත්තෝය.

"එහෙනම් ඉතින් අපේ සුදු අයියාට සහ සුලෝචනා අක්කාට අපෙන් පොඩි සර්ප්‍රයිස් වීඩියෝවක් තියනවා.සියල්ලන්ටම ආරාධනා කරන්නේ ඒක නරඹන්න." බිම්සර බලා උන්නේ මේ කොල්ලන් අටවන්නට යන ගිනිගෙඩිය ගැන විමසිල්ලෙනි.

පසුබිමට වාදනය වූයේ 

පෙර දවසක යසස් ගැයූ..

ආදරේ ....ආදරේ

ගීතයයි...

එකින් එක ‍රූපරාමු දිගහැරුණේ....බිම්සරගේ පාසල් විය සහ සුලෝචනාගේ පාසල් වියේ පින්තූර වලිනි.ඒ බොහෝ ඒවා පාසල් යුගය සිහිකරමින් විව්ධාකාර උත්සව වලදී ගත් ඒවාය.දෙදෙනා එක්ව සිටින සේයාරූ නැතද මල්ලිලා ඒවා ගලපා තිබුණේ අපූරුවටය.

පසුබිමින් සංගීතය එන අතරේ බිම්සරගේ මුහුණුපොත හරහා පැතිරගිය රෝහලේ දී ගත් සේයාරූ ද සුවවෙමින් ඉන්නා සුලෝචනාගේ රිද්මාගත් සේයාරූද එකින් එක සිංදුවට අනුකූලවම තිරය මත දිගහැරෙන විට...සුලෝචනා උන්නේ අයාගත් දෑසිනි.හිස පිටුපසින් තදින්ම එන වේදනාවක් ඇයට දැනෙන්නට පටන් ගෙන තිබුණද සුලෝචනා ආයාසයෙන් සිනාවෙමින් එය ඉවසාදරා ගත්තාය.බිම්සර මල්ලිලා දෙස රැවුම් බැල්මක් පා කරමින්ම සිනහව වලකා ගනිමින් උන්නේය.

අවසානයේ මෑත කාලයට අදාලව බිම්සර සහ සුලෝචනාගේ යුගල සේයාරූ ගොන්නක් තිරය මත දිස්වෙමින් තිබුණි.මුහුදු තීරයේ, නුවරඑළියේ ආදී ලෙස මේ සොඳුරු යුවලගේ සේයාරූ සමග ගලාගිය ගීතය නිමාවූයේ මොහොතකට පෙර දෙදෙනා එකිනෙකා දෙස බලා ඉන්නා සුන්දරම රුවකිනි.

සභාවේම සියල්ලෝම ගීයේ අවසානය එක්ව ගැයූවේ

ආදරේ....ආ...ද...රේ

ආදරේ....ආ..ද...රේ..

ලෙසින් අත්පොලසන් දෙමිනි.ඉතින් සිනහව කතාවම සමග සතුට උතුරා යමින් පැවතුණි.

"චූටි...ඇයි මේ දාඩිය දාලා"සුලෝචනාගේ නළල දෙපසින් ගලාහැලෙනා දහඩියට ඇයගේ මුහුණේ තැවරූ ආලේපනයද දියවෙමින් තිබුණි.

"රස්නෙයිනෙ"සුලෝචනා සෙමින් කෙඳිරුවාය.

"මේ පට්ට සීතල ඒසී එකේ...රස්නෙද ඔයාට.?"බිම්සර රිද්මාට අතින් සන් කලේ එන්නටය.

"චූටිට දාඩිය දාන්න අරන්නෙ සිඟිති.පොඩ්ඩක් රූම් එකට එක්කන් ගිහින් බලන්න"බිම්සර පැවසුවේ සුලෝචනා ගේ දැඩි විරුද්ධතාවය මධ්‍යයේය.

රිද්මා ඇයගේ අතකින්ද අල්ලාගත්තේ යමු කියා ඇසින් කියමිනි.

"සුලෝ, ඇඟත් සීතල වෙලානෙ නංගි.ඇයි මේ?" රිද්මා ටිෂූ පැකට්ටුවෙන් එකක් ගෙන ඇයගේ වතෙහි දාබිඳු පිසලූවාය.

"උදෙන්ම ඇහැරිලා මෙව්ව තදකරන් ඉඳල අමාරුයි අක්කෙ.වොශ් රූම් යන්නවත් බෑනෙ"සුලෝචනා සිය හිසකැක්කුම ගැන නොකියාම උන්නේ රිද්මා එයද බිම්සර වෙත පවසන හෙයිනි.

"තව චුට්ටනෙ.අපි  තව  ටිකකින් ගොයින් අවේ චේන්ජ් කරනවනෙ."රිද්මා පැවසුවාය.සුලෝචනා ආයාසයෙන් සිනාවූවාය.

ආපසු බිම්සර අසලට එනවිටද සුලෝචනාගේ මුහුණේ එතරම් කලඑලියක් නැතිබව ඔහුට වැටහුණි.

"හරිද චූටි?" ඔහු ඇයදෙස බලා ඇසුවේය.

"මේකිට බරක් ඇවිල්ල.නතිං ටු ඩූ...තව පොඩ්ඩනෙ.."රිද්මා සිනාවෙමින් පැවසුවාය.සුලෝචනා විලියෙන් බරව බිමට දෑස් හැරෙව්වාය.

"ඕක මට කියන්න තිබ්බනෙ ඉතින් ...."  බිම්සර සුලෝචනා ගෙ අතකින් අල්ලාගත්තේය.

"එහෙමට අමාරු නෑ ....රිද්මා  අක්කි කියන්නෙ බොරු අනේ"

සුලෝචනා ඇඹරෙමින් කීවාය.බිම්සර මොහොතක් දෙකක් සිය සොඳුරු මනාලිය දෙස බලා උන්නේය.ජීවිතය හෙට සිට ගලා යනු ඇත්තේ මේ සොඳුරු උණුසුමේමය.ඔහු ඇයගේ අතකින් සෙමින් අල්ලාගත්තේ දරාගත නුහුණු ප්‍රේමයෙනි.

හමුදා මිතුරන්ගේ විහිළු තහලු සහ කවටවදන් ඔස්සේ ද බිම්සර ඔසවා උඩ දැමීම් අතරේද සුලෝචනා තිගැස්මෙන් බලා උන්නාය.

"නංගි බයවෙලානෙ හොඳටම, නෑ නෑ මූ මෙහෙම උන්නාට හොඳ ෆිට් පොර.බයවෙන්න ඕන අන්න ඒකට"කවට වදන් ඉවරයක් නැතිතරම් ය. සුලෝචනා රිද්මාගේ අස්සටම වී උන්නාය.

"ඕව ඔහොම තමා නංගි.අපේ එකාත් අනික් උන්ගෙ වෙඩින් වලට ගියාම ඔයිට එහා ඇති." රිද්මා සිනාසුනේ සුලෝචනා ගේ චකිතය දුරුකරවන්නටය.

*************************************************************************************

කාලය ගතව ගොස් සුලෝචනා පිටත්ව යන ඇඳුමින් සැරසුණාය.ඇයව පීච් පැහැගත් සරල දිගු ගවුමකින් සැරසී කොණ්ඩය අපූරු මුදාහැරීමකට සැරසිල්ලක් දමා තිබුණි.

"ශා...බලන්නකො ලස්සන කෙල්ලගෙ"රිද්මා ඇය අසලට ආවේ එසේ කියමිනි.

අම්මා සුලෝචනා දෙස බලා සතුටින්ම කඳුලක් සැලුවාය.සිය දියණිය මේ සා සුන්දරව දකින්නට තම දෑස් පින්කොට තිබුණි.අදද මේ සියල්ලේම ගෞරවය අයත් බිම්සරටමය.ඇය ඒ සොඳුරු කැදැල්ලේ සතුටින්ම වසනු ඇත.

"සතිදෙකකට පස්සෙ අම්මාලත් එහෙ එන්න ඕන"

එය බිම්සරගේ තීරණයම විය.

"පොඩි නංගි ෆැකල්ටි ගියාම අම්මට මෙහෙ තනියම ඉන්න ඕනනෑනෙ.ඒ නිසා  අම්මත් අපි එක්ක කොළඹ යමු."

බිම්සර සිය තීරණය දුන්නේ නොසැලෙන අන්දමටය.

ජීවිතය කවියක්ය.එය අකුරු පෙලකින් කවියකට හැරෙන්නට නම් රිද්මයක් තාලයක් එක්විය යුතුය.බිම්සර සිය ජීවිතයේ තාල මවන්නට ඇය සුරත අලාගත්තේ නොසැලෙන ලෙසිනි.

"නැකත්වෙලාව හරිසුදුපුතා එහෙනම් පිටත් වෙන්න හොඳයි"

අප්පච්චී පැවසුවේ ඔවුන්ගේ වැඳුම් සිපාචාරයන් අවසන් කරමිනි.

"එන්න"

බිම්සර දිගුකල අතෙහි සුලෝචනා පැටලුණාය.සියල්ලන්ගේම අත්පොලසන් රාවය මැද සුලෝචනා සහ බිම්සර රියට නැගෙන පිවිසුමට එත්ම  දසත ගිගුම් ලමින්‍ ප්‍රබල රතිඤ්ඤා හඬක් වායුගෝලයට එක්විය.

මුවින් අව්‍යක්ත රාවයක් නැගූ සුලෝචනා එකෙනෙහිම බිම්සරගේ දෝත මතට සිහිසුන්ව කඩාවැටුණාය.


************************************************************************************** 


(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)

************************************************************************

අද ඉතින් මම  බැනුම් අහන්න හිත හදාගෙන  ඉන්නෙ 😁😁😁😁

හමුවෙමු යළිත්

 විසිරි 

8 comments:

  1. පසුගිය පෙබරවාරියේ මට කොරෝනා හැදුනා! අඩු ගානේ ඒකාලෙ වත් මේ කථව දැම්මා නම්! ඔබට කියන්න මම වේගයෙන් මෙන්ම තොග ගනනට ලියන්නෙක්. නමුත් මේ දිනවල ලිවීම පසු බැහැලා! මොකද අළුතින් ලියන්න එන අලුත් අයට හා පරණ අයට කමෙන්ට් දාන්න ඕනෙ නිසා කාලය බොහෝ සෙයින් වැය වෙන්නේ අන් අයගේ පෝටු කියවන්න! ඒත් දෙයියනේ කොහොමද ඔයාගෙ එක කියවන්නේ. ඒක කොටින්ම නව කථා පොතක්නේ!

    ReplyDelete
  2. මේක මුල ඉඳලා කියවන්න ඕන, සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්

    ReplyDelete
    Replies
    1. ඔයාටත් විජේභාහු මහත්තයා අපිට තමයි හ්ංගලෙන් අකුරු පහක් කොටන්න බැරි! ? ගෑල්ලමේක් නං ඔය ලියැවෙන්නේ අපූරුවට! හොඳා හොඳා ඔහොම තමයි ඕවෑ හැටි!/

      Delete
    2. අද ගිහින් බලන්නකො, ඔයාටත් කොටලා ඇති අමු සිංහල

      Delete
  3. මේකේ බිම්සරගේ හා සුලෝචනාගේ ආදර කතා පොඩ්ඩක් කසාදයට පෙර ඇදුනා නම් හොදයි. එත් කසාද වයස පැනලා ඉන්න උන්ට ලව් කරන්න කාලයක් නෑ නේ ඉක්මනින් කසාදයට ගියේ ඒ හින්දා වෙන්නැති.

    ReplyDelete
  4. හත්තිකයි 🙄🙄🙄

    ReplyDelete