Saturday, October 16, 2021

21. අවසන් කොටස ( ඔබ ආයෙමත් ඇවිදින් )

 


"චූටි, ඔයාට ඔය ඇඳුම හොඳටම හිරයි දැන්.ඔහොම හිරට අඳින්න හොඳ නෑනෙ දැන්.හවස අලුතින් ඇඳුම් ටිකක් ගන්න යං"
කාමරයේ කණ්නාඩි මේසය අසල හිස පීරමින් උන් බිම්සර නාන කාමරයේ සිට එළියට එමින් සිටිනා සුලෝචනා දෙස බලමින් පැවසීය.ඇය  ගැබිණියක්ව පස්මසක් සපිරුණේ ඊයේටය.
"ආ ඔන්න තවත් සුබ ආරංචියක්. තාත්තා වගේම කොල්ලෙක් එන්න යන්නෙ."
ස්කෑන් පරීක්ෂණය නිමාවී සුලෝචනා බිම්සර සමගින් වෛද්‍යවරයා ඉදිරිපස අසුනට ආ මොහොතේ ඔහු දෙදෙනාටම අතට අත දෙමින් පැවසුවේය.බිම්සර මේසයට යටින් සුලෝචනාගේ අත අල්ලාගත්තේ සෙමින් මිරිකමිනි.සුලෝචනා ඇසට උනා එන කඳුල ඇස්පියන් වේගයෙන් ගසමින් වියලාගත්තාය.
"ඇයි කල්පනාවක."නිසොල්මනේ රිය ධාවනය කරන බිම්සරගේ වමතේ සිය සුරත පටලමින් සුලෝචනා ඇසුවාය.
"මූත් ලොකු උනාම මම වගේ ඇච්චං කෙල්ලො පස්සෙ යයිද කියල මම මේ කල්පනා කරන්නෙ"බිම්සර සිනාවූයේ මහහඬිනි.ඇත්තෙන්ම ඔහු සිත පිරීතිරී ගොස් තිබුණේ කියාගත නොහැකි හැඟුම් සමුදායකිනි.කුලුඳුලේ පියෙක් වීම..ඇත්තෙන්ම එය හදවතට දැනෙන්නේ පිරීතිරී යන සන්තුෂ්ටියක් සමගිනි.
"අනේ ඉතින් "සුලෝචනා සිනාවූවාය. අම්මා කෙනෙක් වන්නට ගියත් ඇයගේ සුරතල්වීමේ අඩුවක් නැතිතරම්‍ ය.
බිම්සර සුලෝචනා නිවෙසට ඇරලවා ආපසු රශිත හමුවන්නට ගියේ සුභාරංචිය බෙදාගන්නටය.
"ඉක්මනින් එන්නම් චූටි. බාප්පට කියන්න එපැයි සුභාරංචිය"බිම්සර පිටත්ව යන්නට පෙර සුලෝචනාගේ හිස සිඹිමින් පැවසුවේය.
"කන්ග්‍රැජුලේෂන්ස් මචං.එහෙනම් මම බාප්පා කෙනෙක් වෙනව.කොල්ලා උඹ වගේම ඇම්ඩෙක් වෙනව ශුවර්"
රශිත බිම්සර වැළඳගත්තේ හදවත පිරි සතුටිනි.
"අනේ හිටපන්...බාප්පාගෙ  ගති තමා ඕකා පොඩිකාලෙ ඉඳන් හුරුවෙන්නෙ."බිම්සර පැවසුවේ හදපිරි සතුට බෙදාගනිමිනි.
"එකාතකට බං ජීවිතේ අඩුවක්ම නොවී හැමඑකම උනානෙ හරියටම.එදා අන්තිම මොහොතෙ පවා හැමඑකම මිරැකල් එකක් වගේ වුණ හැටි බලපන්කො"
රශිත පැවසුවේ මින් මාස හතකට පෙර බිම්සරහේ විවාහය දා සිදුවූ අනපේක්ෂිත සිදුවීම සිහිපත් කරමිනි.

********************************************************************************

"මචං ඔය යුනිෆෝම් එක මාරුකරන් ආව නම් නේද දැන් හොඳ? කෙල්ල ඊටීයූ නෙ"
රශිත සිය කබාය ගලවා දමා මංගල උත්සවයට හැඳි ඇඳුමෙන්ම මූලික සත්කාර ඒකකයේ සිට පිටතට ආවේ තවමත් මංගල උත්සවයේ ඇඳි ඇඳුමෙන්ම මූලික සත්කාර ඒකකය ඉදිරිපස අසුනකට වැටී දෑත් අතර මුහුණ හොවාගෙන ඉන්නා බිම්සරගේ පිටට අතතබාය.ඔහු හිස වනා එය ප්‍රතික්ෂේප කලේ ඇය දකින්නේ නොමැතුව අඩියක් හෝ එසවීමකල නොහැකි හෙයිනි.
"මචං ප්ලීස් ටිකක් කියන දේ අහපන්කො.අපි වෙහිකල් එකට ගිහින් එමු."
රශිත වදෙන් පොරෙන් මෙන් බිම්සර රිය වෙතට ගෙන ආවේය.අවට සිටින්නාවූ සියල්ලන්ගේම අවධානය යොමුවන්නේ ඔහුවෙතය.මිනිසුන් කම්මුලේ අතගසාගෙන ඕපාදූප සෙවීම මෙවන් මොහොතක සුලබ දසුනක්මය. විවාහ මංගල්‍යයකදී මෙසේ වීමම කතාදාහකට මුලවෙයි.
"මචං රශියා කෙල්ල දාඩිය දාගෙන අමාරුවෙන් උන්නා දවල්.මම සිඟිති එක්ක රූම් එකටත් යැව්වා.එතකොට වොශෲම් යන්න බැරි අපහසුවට කියල ඒක එච්චර අමාරු නෑ කියලත් කීවා.අනේ බං මොකක්ද මේ උනේ."බිම්සර නොනවත්වාම කියවූයේ බොහෝ වේදනාවෙනි.
"උඹ රත්නායක එක්ක ගිහින් චේන්ජ් එකක් දාගෙන වරෙන්කො.මම මෙතන බලාගන්නම්"රශිත බොහෝ වේලාවක් බිම්සරට කරුණු කාරණා පහදා අවසන ආපසු යාමට කැමතිකොට ගත්තේය.
සවස්වන විට සාමාන්‍ය වාට්ටුවකට සුලෝචනා මාරුකල බව රශිතගෙන් දැනගත් වහාම බිම්සර ඔහු සමග වහ වහා වාට්ටුව වෙත දිවගියේය.සුලෝචනා ඇඳේ වැතිර උන්නේ දෑස් පියාගෙනමය.බිම්සර එතන වූ පුටුවක් මතට කඩාවැටුණේ ඇයගේ අතකින් අල්ලාගෙනමය.ඒ ස්පර්ශයෙන් තිගැස්සුන සුලෝචනා දෑස් හැරියාය.
"මගේ චූටි."බිම්සර ඇය වෙතට නැඹුරුවූවද සුලෝචනා ගේ දෑස් සිය දෑසේම පැටලී තිබෙනු දැක යළි ඇයදෙස මොහොතක් බලා උන්නේය.
"අයියෙ."සුලෝචනා මිමිණුවේ බොහෝ සෙමිනි.
"ඇයි චූටි ,අමාරුයි ද ?"ඇයගේ හිස අතගාන්නට පහත්වූ බිම්සරගේ මුහුණ දෝතින්ම අල්ලාගත් සුලෝචනා නොනවත්වාම සිනාවෙන්නට පටන්ගත්තේ ඔහුද මවිතයට පත්කරමිනි.
"මොකද බං මේ.?"රශිත ඒ සිනාහඬත් සමගම ඔවුන් වටකල තිර අතරින් ඇතුළට ආවේය.
"මට මට..ඔක්කොම මතකයි අයියේ.මට ඔයාව මතක් වුනා.ඉස්කෝලෙ කාලෙ.ඒ ඔක්කොම..අනේ.."සුලෝචනා සිනාවෙමින්ම ඉකිගසමින් හඬන්නට වූයේ බිම්සරගේ මුහුණට සිනහවක් එක්කරමිනි.රශිත මුවග උතුරායන සිනහවෙන් 
තොපි දෙන්නා නිසා කොයිවෙලෙක හරි හාට් ඇටෑක් හැදෙන්නෙ මට...
කියමින්  බිම්සරගේ උරහිසට පහරක් ගසා එතනින් ඉවත්ව ගියේය.
"චූටි , ඔයා මාව බයකලා.මම නොමැරී මැරුණා කෙල්ලෙ."බිම්සර ඇසට උනනා කඳුල වලකා ගනිමින් පැවසීය .
"දවස් ගාණක් තිස්සේ මට යන්තමට ඔලුව කැක්කුමක් අල්ලලා තිබ්බා.ඒත් මගෙ ඔලුව පුපුරන්න වගේ ආවේ අර වීඩියෝ එක දකිනකොට.ඊට පස්සෙ රතිඤ්ඤා සද්දෙ මට අර එදා.."සුලෝචනා බිම්සරගේ උරහිසට වාරුවූයේ එසේ මතකය අවුස්සමිනි.
"ඇති.."ඇයගේ මුව අතකින් වැසූ බිම්සර ඇය සිය ළයට තදකොට ගත්තේය.

**************************************************************************

ඉදින් ජීවිතය තවත් හත්මාසයක් ගෙවී ගොස්ය.සුලෝචනා සමග ඇරඹූ ඒ ජීවිතය සිතුවාසේම පැතුවාසේම සොඳුරුය.පෙම්වත්‍ ය.කඳුලු වැඩියෙන් සිනා අඩුවෙන් ගතකල අතීතයට ඇතිවන්නට සුලෝචනා තම දිවිය සිනාවෙන්ම පුරවන්නීය.
ප්‍රේමය  ජීවිතය ජීවත්කරවයි.ඉදින් තව නොබෝකලකින් සිය තුරුල්ලේ සැතපෙන්නේ ඇය පමණක් නොව  ඇය විසින් වඩාදෙන පුංචි පුතුය.
ජීවිතය කෙතෙක් සම්පූර්ණදැයි දැනෙන්නේ දැන්ය.බිම්සර නිවෙස වෙත යන්නට සිය රිය පණගැන්වූයේ ජීවිතයේ සැනසුම්ම සුසුමක් ලයෙන් මුදාහරිමිනි.
සමාප්තයි.

                                     🧡🧡🧡🧡🧡

(මේ කතාව තුළ මතුවන්නාවූ චරිත සහ නම් ගම් සියල්ලම ජීවත්ව සිටි හෝ ජීවත් ව සිටින්නා වූ කිසිදු ජීවමාන චරිතයකට කිසිදු සම්බන්ධකමක් නොකියන බව ප්‍රකාශ කර සිටිමි.)


ඉතින් පුරා කොටස් විසි එකක්  තිස්සේ බිම්සරට පෙම්කල,සුලෝචනා ගැන තැවුණ,තේජා සහ මේධාට පාඩමක් උගන්වන්නට පුලපුලා බලාඋන්...මගේ ආදරණීය කියවන ඔබට ආදරය බව කියමි.

මින් පෙර ලියූ සෑම කතාවකදී සේම මේ කතාවේදීත් මා ආසාම කල දෙය වූයේ ඔබේ කමෙන්ට් කියවා රස විඳීමය.ඉතින් එහෙයින් ඒ කමෙන්ට් හරහා මා සතුටින් තැබූ ,හිනැස්සවූ ඔබට පින්.

"මගේ ප්‍රේමය ඉසියුම්"මගේ කුලුඳුල් නවකතා පොත කියවා අදහස් දුන් සියලුම දෙනාට බෙහෙවින් ස්තුති කරමි.ඒ සියලු ප්‍රසංශා නිහතමානීව පිළිගනිමි.මේ වනවිට " මගේ ප්‍රේමය ඉසියුම් " ඔබ හට පොත් සාප්පුවලදී මුණ ගැසෙනු ඇති.....

යළිත් කලක් ගතව ගොස් හෝ අපි කතාවක හමුවෙමු. පරෙස්සමින් ඉන්න.ආදරෙයි සියල්ලන්ටම.

මම
කිත්මා වාසනා දහනායක 
(විසිරි )

10 comments:

  1. ස්තූතියි. ඉදිරියටත් එන්නම්.

    ReplyDelete
  2. ඔයා පල්ලා ඇත්තයි! ඊළඟට දාන ඕනම එකක් කියවනවා එකේ ඉඳං! නැත්තං මේකට වෙච්ච දේමයි වෙන්නේ!

    ReplyDelete
  3. අලුත් එකක් ලියනවැයි ඉතිං
    ඔයැයි ගෙ කතා දෙකක් කියවල තියේ ඕං 😃😃

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හොඳේ..බලමු ඉතින්

      Delete