Wednesday, June 10, 2020

11. දහ වෙනි දිග හැරුම

සඳුදා දිනය බෙහෙවින් කාර්‍ය බහුල වුවත් සඳමිණි දවස අවසානයේ තෘප්තිමත් වූවාය... සිතූසේ දානමානාදී කටයුතු ඉටුකර ගත හැකි වූයෙන් සිතට මහා සැනසුමක් එක්විය....හැම කාරණයකදීම බියංකා පසුපසින් ම සිටීම ද මහා හයියක් විය....
.
සඳමිණි බෝ මලුවට සෙමින් ඇවිදගෙන ආවාය....බියංකා ඇය අනුගමනය කරමින් බෝමලුවේ පසෙක හිඳ ගත්තාය ....
.
" අම්මා පින් ලබා ගන්න ඕන තැනක තවම ඇති කියලා මට හිතෙන්නෑ බී... අම්මා මතක ඇති කල්ම කලේ පින් අතේ වැඩ....පන්සල් යෑම ම නෙවේ ...කාට කාට හරි උදව් නොකර දවසක් උන්නොත් එයාට ඒ කාලෙ හිතට මදි ...."
.
" ඒ අම්මගෙම දුව නෙ මේ ..." බියංකා සැබෑ ලෙන්ගතු කමකින් පැවසුවාය...සඳමිණි සෙනෙහසැති පිළිතුරු සිනහවක් පෑවාය...
.
" ඒක නෙවේ සඳ ...සිකුරාදායින් පස්සෙ හෙට නෙ ඔෆිස් යන්නෙ උඹ .. සර් තුමා එදා කලබලෙන් ගියාට පස්සෙ ආයෙ ආවෙත් නෑ නේද....? "
.
සඳමිණි සුසුමක් හෙලා බියංකා දෙසට හැරුණාය...
.
" එතන මොකක් හෝ ලොකු අවුලක් බී ....සර් කලබල උන විදියට මට හිතාගන්නවත් බැරි උනා...මම මට කල විහිලුව එච්චර ගණන් ගත්තෙත් නෑ...එහෙම වෙලත් අම්මා නෑ කියන කාරණේදි සර් එච්චර කලබල උනේ මොකද මන්ද....."
.
" හෙට බලමු.....දැන් යං රෑ වෙනව ....." බියංකා නැගී සිටියාය.....
.
ඉර අවරට ඇදෙන්නට ඔන්න මෙන්නය....තව ටිකකින් අහස පුරා අඩ සඳක එළිය මෝදුවෙනු ඇත .....
.
*****************************

" හිතුවක්කාර කමේ සීමාවක් තියෙන්න ඕන ....ඔයාට කියන කට නම් මොකටද මන්ද...? " නිශාන්ති මඩුගල්ලේ යළිත් වරක් දෑස වසා ගෙන සිටිනා උදාරට නෝක්කාඩු කීවාය....උදාර සුසුමක් හෙලා නිහඬවම උන්නේය ....
.
" හරියකට කනව බොනව කියලද....මේව හොයල බලන්න තමන්ගෙම කියල කෙනෙක් දැන් හරි ඉන්න ඕන...."
.
" අක්කා ප්ලීස්....මගෙ හිස රදේ වැඩි නොකර ඉන්නවද ....?"
උදාර නොරිස්සුමෙන් තෙපළේය....
.
" ඔව් ...මේක කතාකලොත් ඉතින් හිස රදේ කොහොමත් එනවමනෙ....හරි ඒකෙන් කමක් නෑ...සනීප වෙලා ගිය ගමන් මම අර එදා කිව්ව කාරණේ ගැන මට හිතල බලල කියන්නකො....මම එහෙනම් යනව ....ඉක්මනින් සනීප වෙන්න ...තෙරුවන් සරණයි පොඩී...." අක්කා ගේ ලෙන්ගතු හඬ සමග නළලට දැනුන මුදු සිපාචාරය සමග උදාර අක්කාගේ අත සෙමින් අල්ලා ගත්තේය .
.
" පරෙස්සමින් යන්න...ගිහින් කෝල් එකක් දෙන්න අක්කා..."
.
නිශාන්ති යළිත් සිය සොහොයුරාගේ හිස අතගා කාමරයෙන් පිටවී ගියාය....
.
උදාර මඩුගල්ලේ තවමත් යාන්තමින් රිදුම් දෙන හිස තම අතින්ම පිරිමදිමින් සුසුමක් හෙළීය....අම්මා අක්කා හැරුණ විට ජීවිතයේ සෙනෙහස් ස්පර්ශයක් නොලද නළලත සෙමින් අතගෑවේය ..
.
අක්කාගේ වදන් හිතට හැමදාම ත් මහ බරක් වුවද ජීවිතයේ මේ ගතවන නිදහස් කාලය සහ කාර්‍යබහුල කම හේතුවෙන් තවත් අයෙක් එයට සම්බන්ධ විය යුතු නැතැයි ඔහු තරයේ සිතාගෙන උන්නේය.....
.
හුදෙකලාව වෙන කවරදාකටත් වඩා දැඩිව දැනෙද්දී උදාර දෑස් පියාගෙන නිදිසුව දෑසට එන තුරු බලා උන්නේය ....

*****************************

.
අඟහරුවාදා උදෑසන කාර්‍යාලයට පැමිණි සඳමිණි ට එක්වනම කාර්‍යාලයේ යම් වෙනසක් දැනී ගියේය....
.
සිකුරාදා තමා පිටවූ පසු මෙහි කිසිවෙක් නොසිටි සෙයක් දැනේ ... ගෙදර ටත් වඩා හුරු තැන මෙතැනය...කුඩා හෝ වෙනසක් පවා ඇයට මග හැරෙන්නේද නැත ....
.
සඳමිණි බෑගය මේසය මත තබා ආපිට හැරුණාය...කාර්‍යාල කාමරයේ දොර විවෘත කර නිමල් සිටීදැයි බැලුවාය ....ඈත කොණක සිටිනා නිමල් සඳමිණි දැක දුව ආවේය ...
.
" නිමල් ලොකු සර් ඊයෙ ආවෙ නැද්ද ....? " සඳමිණි ඇසුවාය...
.
" නෑ සඳමිණි මිසී....ඊයෙ සර් ආවෙ නෑ ..කෝල් කලෙත් නෑ ...." නිමල් ගේ පිළිතුරෙන් පසු සඳමිණි නැවත කාර්‍යාලයට වැදුණාය...
.
හෝරාවෙන් හෝරාව ගෙවී යත්ම සඳමිණි බෙහෙවින් නොසන්සුන් වූවාය...උදාර මඩුගල්ලේ සේවයට පැමිණි දා පටන් උදේ අටට පෙර සේවයට පැමිණේ ..කිසිදු විටෙක අනවශ්‍ය නිවාඩු ගෙන නැති ඔහු පෙර දැනුම් දීමකින් තොරව නෑවිත් සිටින්නේද නැත....
.
ඊටත් වඩා හෙට දවසට අත්සන් කර ගත යුතු ලිපි රැසක්ද ඇත....කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව සඳමිණි අසුනේ එහෙට මෙහෙට වෙමින් සිතුවාය....
.
කාර්‍යාල දුරකතනය නාදවෙත්ම සඳමිණි එය ඩැහැ ගත්තේ නොඉවසිල්ලෙනි..... එහෙත් එය පාලන අංශයට යායුතු ඇමතුමකි....ඇය නොරිස්සුම් සහගත වූවාය.....
.
" බී....සර් නෑනෙ බං...ඉන්ෆෝම් කළෙ නෑ ..එදා සිකුරාදා ට පස්සෙ ඇවිල්ලත් නෑ ...හෙට යවන්න ඩොකියුමන්ට් ගොඩකට අත්සන් ගන්නත් තියනව බං... මොකද කරන්නෙ...." බියංකා ට ඇමතුමක් ගනිමින් සඳමිණි ඇසුවාය...
.
" ඉතින් බං ...ඔය මේසෙ උඩ තියෙන්නෙ ඇමතුම් අංක...කෝල් එකක් ගනින්කො සර්ට...හනේ උඹ වගේ මැටි එළදෙනක්...." බියංකා මහ හඬින් සිනාසුනාය...
.
" අනේ බං...එහෙම හරි නෑනෙ...."

" මේ සඳ . ..උඹ ඉස්සර රණවීර සර්ට කොච්චර නම් කෝල් ගන්නවද ..එතකොට මේ කණුකුණු මොකුත් නෑ .උඹ රජෝ මේ මොකද ඈ ..."
.බියංකා හිනාවෙන්නට පටන් ගත්තාය...
.
" අනේ බී මේ ....වඳින්නම්...රැවුල ගිනි අරන් ඉන්න වෙලෙ සුරුට්ටු පත්තු නොකර හිටපන්කො...මං තියනව..."
.
සඳමිණි යළි යළිත් සිතුවාය...අවසන මේසය මතවූ ඇමතුම් දිනපොත පෙරළා උදාර මඩුගල්ලගේ ජංගම දුරකතන අංකය සොයාගත්තාය...ස්ථාවර දුරකතනයට අත යවා මොහොතකින් ඇය තම ජංගමයෙන් ඇමතුම ගත්තාය...
.
එහා පසින් දිගටම නාද වුවත් පිළිතුරු නැත ...විසන්ධි වී ගිය පසු යළි ගැනීම සුදුසුත් නැත...සඳමිණි දුරකතනය පසෙක තබා කල්පනා කළාය...
.
රාජකාරිමය කටයුත්තක් හෙයින් උදාර ඇමතුමක් ගැනීම ගැන අමනාප නොවනු ඇතැයි සඳමිණි යළි සිතුවාය ...කෝකටත් ආයෙ වතාවක් අරන් බලනව ....
.
වාර කිහිපයක් නාද වී ගොස් එවර එහා පසින් ඇමතුම ට සම්බන්ධ වූ බව හැඟවිනි...
.
" හෙලෝ....උදාර මඩුගල්ලේ ස්පීකින්..." ඒ හඬ වෙනස්‍ ය...වෙනදා නැගෙන ගැඹුරු ප්‍රතාපවත් හඬ නැත..අධික වෙහෙසකර හඬකි...
.
" සර්...ගුඩ් මෝනින්...මම සඳමිණි ...."
.
උදාර ඒ හඬින් මඳක් තිගැස්සී ගියේය...යළිත් ජංගමය දෙස බලා එය කණට තබා ගත්තේය....
.
" කියන්න මිස් දිසානායක ...?"
.
" සමාවෙන්න සර්...කරදර කලාට...සර් එනකල් බලල මේ ගත්තේ .හෙට යවන්නම ඕන ලෙටර්ස් ටිකකට සර්ගෙ සයින් එක ඕන නිසා...." සඳමිණි සෙමින් පැවසුවාය....
.
උදාර ට අදාළ කටයුත්ත සිහිපත් වූයේ එවිටය...කීයටවත් තමාගේ ටිකට් අද කපන්නේත් නැත ...ඒ ලිපිද අත්‍යාවශ්‍ය කටයුත්තකි....
.
" මිස් දිසානායක ....මට හැකිවේවිද උදව්වක් කරන්න....ඔය ඩොකියුමන්ට් ටික අරන් මගේ ඩ්‍රයිවර් එක්ක මෙහෙට එන්න පුලුවන් ද....සොරි ඩිස්ටර්බ් කරනවට...මට මෙතනින් එන්න හැකි කමක් නෑ අද දවසටත්...."
.
සඳමිණි මොහොතක් කල්පනා කලාය....තමා එසේ යායුත්තේ කිනම් තැනකටද....එය මහා ගැටලු ගොඩක මුල වේද ? ...
.
" සර්...කොහෙද ඉන්නෙ...? " අවසානයේ ඇය සුසුමක් හෙලා ඇසුවාය....
.
" මම සුවදිසි හොස්පිට්ල් එකේ ඉන්නෙ මිස්....සිකුරාදා ඇඩ්මිට් කල ගමන්....අද ත් මාව ඩිස්චාජ් කරන එකක් නෑ....ඒකයි නැත්නම් මම කැමති නෑ කරදර කරන්න...ඔය ලෙටර්ස් ටිකත් අත්‍යාවශ්‍ය ඒවනෙ..."
.
සඳමිණි ගේ සිත යට දැවිල්ලක් බඳු හැඟීමක් ඇතිවී ගියාය...තමා මොහොතකට හෝ වරදවා සිතුවේ මෙවන් අයෙක් ගැන නොවේද...ඇයට මහා පසුතැවිල්ලක් දැනුණි....
.
" අනේ සර්..... ඇයි මොකද උනේ..... අනේ සමාවෙන්න සර්...කරදර කලාට ..මම දැන්ම එන්නම්...." සඳමිණි කලබලයෙන් කියා දුරකතනය විසන්ධි කලේ උදාරට කිසිවක් කීමටද ඉඩ නොතබාමය....
.
ලෙඩේ මොකක්දත් ඇහුව....උත්තර දෙන්න වත් තිබ්බෙ නෑ..කට්කලා...පිස්සු ගෑනුලමයෙක් ....උදාරට සිනහ ගියේය...කාලයකට පසු හදවත සැහැල්ලු බවකින් උතුරා යන්නට තැත් දරනු ඔහුට හැඟේ .....ඒ කිමෙක් නිසාදැයි ඔහු දිගින් දිගට නොසිතුවේය ..
.
*****************************

සඳමිණි බියංකාට කෙටි ඇමතුමකින් යන බව කියා වාහනයට ගොඩ වූවාය...කිසිදා නොවූ විරූ තරමට සිතට බරක් දුකක් එක්වී ඇත... ඒ කිමෙක් නිසාදැයි ඇය යළිත් සිතුවාය...
.
සුවදිසි රෝහලේ පිවිසුම් දොරෙන් බැස වාහනය රිය අංගනයට යවා සඳමිණි විමසීම් කවුන්ටරය වෙත ගියාය...
.
" රූම් නම්බර් ටූසීරෝෆෝ....මැඩම්..."
.
සඳමිණි කාමර අංක 204 ඉදිරිපස මඳක් පැකිලෙමින් සිතමින් උන්නාය ...ඇතුළේ කවුද ඉන්නෙ දන්නෙ නෑ....කමක් නෑ .මම ආවෙ රාජකාරියකට නෙ....
.
ඇය සෙමින් දොරට වරක් තට්ටු කලාය...ඉන් පසු හෙමින් දොර විවෘත කලාය...
.
එන්න මිස්....
.
උදාර මඩුගල්ලේ ඇඳෙහි විට්ටමට එසවෙමින් පැවසීය.. අන් කිසිවෙක් කාමරයේ නැත...එය එක් අතකින් පහසුවකි.....

සර් ...මොකද උනේ.....
සඳමිණි ලිපි ගොනුව අසල වූ කබඩය මත තැබුවාය...උදාර තවමත් ඇඳ විට්ටමට සැකසෙන්නට වෙර දරයි...අතේ වූ කැනියුලාව නිසා ඒ අතට බර දීමටද නොහැක...
.
" ඉන්න සර්...." සඳමිණි ඔහුගේ කොට්ටය සකසා තබා සෙමින් උරහිසට වාරු දුන්නාය...හිතේ කිසිදු අහිතක් නැත...
.
"බොහොම පිං ....උදව් කලාට..." උදාර හිනැහෙන්නට තැත් දරමින් කීවේය... හිත යට මහා කලබලයක් මතුවෙන්නට අර අඳී.....උදාර නොසන්සුන් බව මැඩලා ලිපි ගොනු වෙත අත දිගු කලේය....


No comments:

Post a Comment