Friday, April 3, 2020

151. සිතන්නට යමක්

තරුණ කාලෙ කියන්නෙ ජවය සහ නොඉවසිල්ල පිරුණ වයසක්...මගෙ පුතා ඒ තරුණ වියට පිවිසෙන්න ඉන්න නිසාම මම විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාවල....පොදු ස්ථාන වල ගැවසෙන ඒ වයසේ ළමයින් ගැන ටිකක් නිරික්ශනය කරනවා....
.
තරුණ වයසෙදි ඉවසීම අඩුයි...තරහ යනවා වැඩියි...නොඉවසිල්ල පැහැදිලිවම පේනවා...
.නමුත් ...එකම එක වැඩිහිටියෙක් හෝ ඒ දරුවන් නිවැරදි මගට ගන්න උත්සාහ දරන්නෙන් නැහැ...තමන්ගෙ දරුවා හැර වෙන කිසිම අයෙක් ව එහෙම නිවැරදි කරන්න බොහොමයක් අය නොපෙලඹෙන්නෙ ...අනවශ්‍ය කරදරයක් හිරිහැරයක් ඒකෙන් ඇතිවෙයි කියන සැකය නිසා වෙන්න ඇති..

.අද උදේ මම ආව බසයෙ කොන්දොස්තරවරයා අවුරුදු විසි ගානක තරුණ ලමයෙක්.....ඔහුගෙ කිසිම වරදක් මම කතාබහේවත්....හැසිරීමෙවත් නෑ දුටුවෙ....

නමුත් බසයේ මැද අවහිර කරන් උන් තරුණ පිරිමි ළමයෙක් ....ඔහු උසස්පෙල කරන වයසෙ වගෙයි මම දුටුවෙ.....කොන්දොස්තරවරයා ඔහුට කීවාම බසයේ ඉදිරියට යන්න කියල....මේ ළමයා එක් වරම....රණ්ඩුවකට පැටලුණා.....

නෑ මං යන්නෙ නෑ....තමුසෙ පුලුවන් නම් යවනවා....

ආදී ලෙසින් පටන් ගත් ඒ බැණ වැදීම රණ්ඩුවකට යනකල් ගෙනයෑමේ අවශ්‍යතාවය තිබුණේත් අර පිරිමි ලමයාට විතරයි..

කොන්දොස්තරවරයාගේ ඉවසීමේ සීමාව පනින්න යනවිට...එතැන හිටගෙන උන් එක් මැදිවියේ මහතෙක්.....කොන්දොස්තරවරයාගේ අතින් අල්ලාගෙන වචනයක් වත් නොකියා ඔහුව සන්සුන් කලා...

සමහරක් විට ඒ ඒ මොහොතට කල යුතුම දේ.....මටත් එය හිතුණා......

තරුණ ජවය කියන්නේ හරි හැසිරවීමක් නොලද හොත්.........විනාශයට යන පහසුම මග..........

.
.
#සිතන්නට_යමක්

150. ඔබේ සිමාවන් නිර්ණය කරගන්න

මම මේ සටහන අරඹන්නේ ඔබ සමහර විට අසා පුරුදු කතාවකින්..නමුත් මගේ මේ සටහනට ප්‍රවිශ්ටයක් ලෙස මම මේක ලියන්න කැමතියි.

එක දවසක් ,තරමක් දරුණු අබාධයකින් පෙළුන කෙනෙක් රෝහලට ඇතුළු වුණා නේවාසිකව ප්‍රතිකාර ගන්න.ඔහුට ලැබුණේ තවකෙකු හා බෙදාගන්න කාමරයක්.කලින් පැමිණ සිටි රෝගියා ගේ ඇඳ තිබුනේ ජනේලය අසල.පසුව පැමිනි තැනැත්තා අනෙක් පස බිත්තිය අසල ඇඳට යැවුනා.

මේ රෝගීන් දෙදෙනා මිතුරු වුවාට පසු ජනේලය අසල සිටි තැනැත්තා ජනේලයෙන් පිටත් බලමින් අනෙක් රෝගියාට ඔහු දකින දේ විස්තර කළා.ජනේලයට එහා පෙනෙන රෝහල් සිමාවෙන් එහා ඇති සුන්දර උද්‍යානය,එහි හරිත වර්ණ ගහකොළ මෙන්ම තුරු ලතා පවනේ නැලවෙන අන්දම ඔහු තම මිතුරාට මහත් ආසාවෙන් විස්තර කළා.

දවසින් දවස ඔහු තමන්ගේ මිතුරාට ඒ අවට ඇති ලෝකය ගැන මෙන්ම මිනිසුන් ගැවසෙන ඇවිදින හා සිනහසෙන අන්දම ගැන කියමින් රෝගී මනස සතුටින් උනන්දු කලා.

දින ගත වද්දී බිත්තිය අසල උන් රෝගියාට ජනේලය අසල උන් තැනැත්තා ගැන ඇතිවුනේ ඉරිසියාවක්..ක්‍රෝධයක්.ඔහු යටි හිතින් සිය මිතුරා ප්‍රතික්ෂේප කරමින් පිළිකුල් කරන්න ගත්තා.

එක දිනක් රාත්‍රියේ ජනේලය අසල උන් රෝගියාට තදබල කැස්සක් හටගත්තා.හදිසි තත්ත්ව යටතේ අනතුරු හැඟවිය යුතු සීනුව නාදකරන බොත්තම ඔබනවා වෙනුවට බිත්තිය අසල උන් තැනැත්තා කලේ නිහඬව බලා සිටීම.අවසානයේ ඉහත කි රෝගියා මියගියා.ඔහුගේ සිරුර කාමරයෙන් පිටට ගෙන ගිය වහාම බිත්තිය අසල ඉන්නා රෝගියා හෙදියට කතා කර තමන්ව ජනේලය අසල ඇඳට මාරු කරන ලෙස පැවසුවා.

එම ස්ථානයට ඔහු ගිය විගස ඔහු පත්වුණේ විශ්මයට.ඇත්තෙන්ම මියගිය රෝගියා පැවසු කිසිවක්ම එහි තිබුනේ නැහැ.එතැන තිබුනේ කපරාරු හෝ නොකළ තාප්පයක් පමණයි.පෙරකී මිය ගිය රෝගියා තවත් නාඳුනන අයෙක් වෙනුවෙන් මවාගත් සුන්දර ලෝකයක් විස්තර කරමින් ඔහු පත්ව ඇති අසීරු තත්වයෙන් මුදවන්නට කටයුතු කරමින් තිබුණා.

මෙම සටහන අපට කියාදෙන්නේ ආත්මාර්ථයෙන් තොර පුද්ගලයන්ගේ ආදරය සහ කරුණාව ගැනයි.

වරක් ස්ටීවන් හෝකින්ස් මෙහෙම කියා තිබුණා....අපි මේ ජිවත් වෙන ග්‍රහ ලෝකය අයත් වන්නේ බොහොම සාමාන්‍ය චක්‍රවාටයක...ඒ චක්‍රවාටය වුණත් චක්‍රවාට මිලියන ගණනක් තුළ ඇති බොහොම සාමාන්‍ය එකක්...ඉතින් ,....ඔබේ මානය කුමක්ද ...

ඉඳහිටක රාත්‍රියේ බහින්න ඔබේ නිවසින් පිටතට ...අහස දෙස බලන්න.ඇත්තෙන්ම අපි හුදෙකලා වෙච්ච මිනිස්සු නෙවෙයිද.මේ තනි ග්‍රහලෝකයක ඉන්න අපිට අපේ ප්‍රශ්න මෙච්චර ම ලොකු ඇයි...?

අපි මේ ග්‍රහ ලෝකයට උනත් ඇවිල්ල තියෙන්නේ බොහොම කෙටිචාරිකාවකට.හිතන්න..ඔබ මේ විශ්වයේ අංශු මාත්‍රයක් පමණක් කියා.
ඉතින් මේ කුඩාම ලෝකයක..කුඩාම රටක ඉන්න අපිට අපි හිතන පතන දේ සුන්දර මානයන් වෙත ගෙනියන්න පුළුවන් නම් .....ලෝකය හුඟක් සුන්දර තැනක් වෙයි.

මම 
විසිරි 

149. ඒ මගේ හැටි

පුංචි දේටත් හිත රිදෙන කොට 
කඳුලු නොසලා ඉන්නෙ කොහොමද
ඒ වෙලාවට හිතට තරහක් 
මවාගන්නට දන්නවා..
ඔබ නොදන්නා ගැහැණු ගතියක්
මගේ ගාවත් තියනවා......

හුදෙකලාවේ තනිව යනවිට
මිතුරු ඇසුරක් ලඟ නොමැති විට
කාලයේ මහ නරුම සිතුවිලි 
හිතට මහ බර ගෙනෙනවා..
කවුලු දොරකින් පෙනෙන ඈතක
මගේ සිතුවිලි ගලනවා....

සල්පිලක එති දුහුල් සලුපිලි
එකින් එක ගෙන අතාරින සඳ
කවටකමකට ඇදෙන මගෙ හිත 
යළිත් සඟවා තබනවා..
ඔබ නාඳුනන මිතුරු සිත මම 
ඉතින් අකුලා තබනවා.........

විසිරි 

148. අලුත් ගිණුමක් අරඹමුද

තෙරේසා මවුතුමිය වරක් මෙන්න මේ ප්‍රකාශය කර තිබුණා....

“ ලෝකයේ මහා ලොකු විශිෂ්ඨ ගණයේ ක්‍රියාවන් කියා දෙයක් නැහැ.ඇත්තේ බොහෝ ආදරයෙන් කරන ලද ඉතා සුළු ක්‍රියාවන් පමණිය...”

මේ ගැන මඳක් සිතන්න.
ඔබට ලෝකය සහ මිනිසුන් සමග තද බන්ධනයක් පවත්වා ගන්නට කල හැකි මෙවැනි සුළු කටයුතු මොනවද කියා මඳක් සිතන්න.

තවකෙකුගේ ජීවිතය වඩා යහපත් කරන්නට ඔබට අහම්බෙන් වුණත් කල හැකි කාරුණික වගේම හරි සුන්දර ක්‍රියාවන් එමට තියෙනවා.
අනෙක් අයෙක් සතුටින් තියන්නට ,වඩා යහපත් කරන්නට ඔබ ඒ දරන උත්සාහය ඔබටත් හැමවිටම තෘප්තිමත් ජිවිතයක් ගෙන එනු ඇති.

මේ සඳහා ඔබ කල යුත්තේ කුමක්ද..?
මම දන්නවා ඔබ ඊළඟට මම ලියන දේට හිනාවෙන බව...

ඔබට පුළුවන් ආදර ගිණුමක්...ඒ කියන්නේ love account එකක් අරඹන්න ...

මේ තියන එෆ් බී එකවුන්ට් එකවත් හරියට අප්ඩේට් නොකරන විසිරි මෙහෙම කිව්වම මොන love account ද කියල ඔබ හිතාවි...

ඉතින් ඔබ මම කියන දේ අහනවනේ...අරඹන්න මේ ගිණුම..

දිනපතා මේ ගිණුමට තැන්පතුවක් එක කරන්න.ඒ කියන්නේ එකක්.... කොහොමද දන්නවද...?

තව කවුරු හරි කෙනෙක් සතුටින් තියන්න ඔබ දවසට එකම හෝ දෙයක් කරන්න.ඒක මහා පරිමාණ දෙයක් වන්න ඕන නැහැ.පසුගිය පළවෙනිදා දවසේ ඔබ කිදෙනෙක්ට සුබ පැතුවද සුබ නව වසරක් වේවා කියල.නමුත් ඉන් පසු ඔබ දිනපතා උදැසන ඒ කාට හෝ සුබ උදාසනක් පතන්න අර දරපු උනන්දුව දැරුවද ...?

ඔබේ සහකරුට හෝ සහකාරියට පුංචිම දෙයක් ගෙදර යනකොට අරන් ගියාද ..?ඒක මුදලින් තක්සේරු කරන්න යන්න එපා..වඩා වටින්නේ ඔබ ඒ කරන දේ..ඔන්න මට අද ලැබුනා පිටරටින් ආව කෙනෙක්ගෙන් පොඩි චොකලට් දෙකක්.වෙනදට ඒ දෙකම දරුවන්ට ඒ දෙක ගෙනියන මම අද එයින් එකක් ඒ දෙන්නට දීලා අනෙක මහත්තයාට දුන්නා.සමහරක් විට නොහිතපු තරම් ඒ දෙයින් එයාට සතුටක් එන්න ඇති.ඒ දේ මම දකින්නේ සිනහවෛන් පමණක් වෙන්නත් පුළුවන්.

ඉඳහිටක හරි හේතුවක් නැතුව ඔබේ දරුවෙක්ට අමතන්න.දීලා ආදරෙයි කියන්න .සමහරක් විට ඔවුන් කල පුංචිම හොඳ දෙයක් වෙනුවෙන් ප්‍රසංශා කරන්න...

මේවා තමයි ඔබේ තැන්පතු.

ඔබේ ජීවිතය ගැන සිතන්න..මට මේ ගැන සිතන කොට දැනෙන දෙයක් නම් ..මෙන්න මේ පුංචි දේ තමයි ජිවිතයට මහා දේවල් වෙන්නේ..
මේ කුඩා තැන්පතු එකතු වෙලා..ඔබට ගෙනෙන සතුට ඔබේ බැංකු ගිණුමේ ලක්ෂ ගණනක් තැන්පත් වුණත් ඔබට ලබා ගන්න බැහැ.

මේ කියමන අහල තියද...එමර්සන් නමැති අයෙක් මේක කියා තිබෙන්නේ..
“ ඔබට පොහොසත් හදවතක් නැත්නම් ඔබ ධනයක් හිමි හිඟන්නෙක් පමණයි.”

ඒ වගේම තෝල්ස්තෝයි මෙහෙම කියා තිබෙනවා...
“ සතුට ලබා ගැනීම යනු ඔබේ දයාව සෙනෙහස මකුළුවෙක් දැල වියන ආකාරයට සම අතට විසි කිරීමත්....එයට ආපිට ලැබෙන හැමදේම ග්‍රහණය කරගැනීමත් ය ...”

ඉතින් අරඹමු නේද මේ අලුත් ගිණුම.....

මම 
විසිරි 

147. ජීවිතය ....කතාවක්









Life is a story
Makes yours the best seller....

මේ කියමන ඔබ අහල තියනවා ඇති.....
.
.
මම අද මේ සටහන ලියන්නෙ....හැන්දෑවේ ඇති වූ කතා බහක් ඇසුරෙන්....පුතාගෙ පන්තිය ඇරෙනකල්....වාඩි වෙලා ඉද්දි....එතන උන්න දෙමවුපියන් කීප පලකගේ සංවාදය කණට වැටුණා....
.
ඒ කතාබහට හේතුපාදක වුණේ පසු ගිය දිනවල අවාසනාවන්ත අන්දමට කොලඹ ප්‍රධාන බාලක පාසලක දරුවන් කිහිප දෙනෙක් රිය අනතුරකට ලක්වීම...
ඉන් එක් දරුවෙක් මියගිය අතර සෙසු අය බරපතල තුවාල ලැබුවා.....
.
එයට හේතුව ...අධික වේගය....
.
ජීවිතේ කතාව ලියන්නත් කලින් ඒ පොත් වැසුණා....
සමහර අයගෙ සදාකාලික ව
අනෙක් අයගෙ තාවකාලික ව....
.
.
අද කාලයේ තරුණ පරපුර වේගවත්...නොඉවසුම් ..කලබලකාරීයි....
ඒත්...ඒ වයසේ වැරැද්ද ..පසුව හරියාවි කියා නම් ...කල් මරන්න එපා....යමක් සිදුවුනාට පස්සෙ ..බොහෝ විට ආපසු හැරෙන්න බැරි හානියක් වෙලා ඔවුන්ට.....
.
වේගය...කෙනෙක්ට පලදායී වෙන්න පුලුවන් අවස්තා ඕන තරම්...නමුත් රිය පැදවීමේදී වගේම ජීවිතයේ යම් යම් ඉසව් වලදී....ප්‍රශස්ත වේගයක් පමණක් පවත්වාගැනීම ඉතාම වැදගත්....
.
නව යොවුන් වියේ ඉන්නා ඔබේ පුතා හෝ දුව ...එහෙමත් නැත්නම් සහෝදරයා හෝ සහෝදරීට.....අනවශ්‍ය වේගය ජීවිතේ ට එක් කරගන්න දෙන්න එපා....
.
ඔවුන්ට කියාදෙන්න.....
ඔවුන්ගෙ කතාව ඔවුන් ලිවිය යුතු බව...
එමෙන්ම ....
.
ඒ ලියන කතා ව හොඳම ජනප්‍රියම ඒ වගේම ඉල්ලුම ඇති කතාව කරගැනීමේ යතුර ඔවුන් සතු බව ......

මම 
විසිරි 

146. අතරමග කවි








ඉස්සරම කවි උනපු හිත්වල
කවි හැඟුම් මැලවුනේ කොහොමද...
ඉර හඳත් තරු කිසිත් නොවෙනස්
ඔබත් මා මෙන් සිටින ලොවකදි......

හිස් ව යන හිත පලා සැතෙකින්
කවි සොයමි සැඟවී මැකී ගිය
සුසුම් අතරට කඳුලු බොඳවුණ
කටු අකුරු එකිනෙකක් හමුවිය......

හිනා අහුරමි..කවි නැතුදු සිත
පෙමින් සරසමි කඳුලු වියළමි
ඔබ යනෙන මග මගේ කවියක්
අතරමං වී ඇතැයි සිතනෙමි......


විසිරි 

145. කවි

ඉපල්වී ගිය සිහින සුරකින
අරටුවක මුල් බැස්ස ප්‍රේමය
තබා හදවත සිඳී යන තුරු
රැකගත්තු ඒ දවස් මතකද.....

ළයට තුරුලුව නුඹේ සෙනෙහස
විඳිනු නොහැකිව ගෙවූ යුගයක
ප්‍රේමයක් සතු සියලු වත්කම්
කෙසේ කිකලෙක සිඳි නැසුණිද.....

සිඳී සිඳු දොර නැගෙන කඳුළක
පැතුම් අහුරමි ඉතින් තනිවම
ප්‍රේමයට හිමි තනි ගමන් මග
රැඳෙමි නුඹ මතකයේ සුව දෙන..

විසිරි

144. කවි

ඔව් ...ඒ මමයි හිතවත
~°~°~°~°~°~°~°~°~°~°~

සඳ අහස් ගැඹරේ ගිලි ගිලී නැහැවෙන
ගණ අඳුරු අහසක තනිව පායා එන....
ඒ එකම තරුවක ආදරේ අමුණන
තටු අහිමි වූ කුරවියයි මා හිතවත.....

නෙතු පියා කඳුලක ඉඩ හසර නවතන
සිනහවක සරුසාර මල් පුබුදන
සුසුමකින් අහසේ කලු වලා දුරලන
වාලුකා අස රැඳි කඳුර වෙමි හිතවත....

අත නුදුරු දුරකින් ඉගිළ හිනැහී එන
සිහිලසක කැටි වුණ ආදරය හඳුනන
කඩඉමෙන් කිසිදින මං මුළා නොමවන
සෙනෙහසේ ගීයක තනුව වෙමි හිතවත....

විසිරි

143. වඩා වැදගත් ම දේ කුමක් ද....?



ඔබට දුරකතනයක් අවශ්‍ය වන්නේ ඔබේ පහසුවටද...එහෙමත් නැති නම් ඔබට ඇමතුමක් දෙන්නාගේ පහසුවටද යන්න ඔබ කිසිම විටෙක හෝ සිතා තියනවාද....?
.
මම මේ කාරණය ගැන සිතන්නට පෙළඹුණෙත් පසු ගිය දිනෙක කියවූ පොතක් ඇසුරින් .....
.
ඇත්තෙන්ම දුරකතනයක් කෙනෙක්ට තිබිය යුත්තේ තමන්ගේ පහසුවටයි...ඒ එහෙම වුණත්...අපිට දුරකතන ඇමතුමක් ආවිට අපි ක්‍රියා කරන්නේ.....ගිනි නිවන හමුදාවේ ෆයර් එලාමය වදිනවා හා සමාන කලබලයකින්....
.
අන්න ඒ වෙලාවට අපි පවුලේ අය එක්ක සතුටු සමාගමක උන්නත්, ආදරණීයයෙක් එක්ක ගමනක යෙදුණත්, දරුවෙක්ට පාඩමක් කියා දෙන ගමන් වුණත් ...ඒ ඔක්කොම අතහැරල අර ඇමතුමට ඇදෙනවා...
.
මේකට හුඟාක් වෙලාවට හේතු වන්නේ අපේ අභ්‍යන්තරයෙ ඇති වන කුතුහලය කියලා තමයි ප්‍රකාශ වෙන්නෙ....unknown number එකකින් එන ඇමතුමක කුතුහලය ඉතාම වැඩියි.....
.
අන්තිමට අපිට වෙන්නේ මොකක්ද ...අර කුතුහලය නිසා වැදගත් ම යෙදී උන් කාර්‍යය පසුවට දමල අපි අර ඇමතුමට යනවා....ආපහු එන්න සමහර විට ගතවන කාලය....හිතනවට වඩා හුඟක් වැඩිවුනොත්...අපි බිඳගන්නේ අපේ ම වැදගත් දේ....
.
ඉතින්....ඔබට අවශ්‍ය නම් වොයිස් මේල් කියන පහසුකම මෙහිදි භාවිත කරන්න පුලුවන් ..නමුත් අපි තවම ඒ දෙයට මැලි යි....ඉතින්...මෙහිදි අපිට ඒ අදාල මොහොතෙදි ඇමතුමක් අත්‍යාවශ්‍ය නොවේ නම් හෝ ඇමතුමකට සම්බන්ධ විය නොහැකි නම් එම වොයිස්මේල් පහසුකමට යන්න පුලුවන් .....
.
අපිට තියන බැරෑරුම්ම ගැටලුව වන්නෙ දුරකතනය නාද වෙන මොහොතේම එය මග හරින්න බැරි අකමැත්ත..නමුත් මතක තබා ගන්න...
.
ඔබ මුල් තැන දිය යුතු ඇමතුම් වගේම අනවශ්‍ය ඇමතුම් ඕන තරම් ඔබට එන බව....එතනදී ඔබේ සංවාදය, ඔබේ විනෝදාංශය , ඔබේ ආදරය සහ සමාගමයන් අංක එක ලෙස ගෙන එතරම් අවශ්‍ය නැති ඇමතුම් අංක දෙකට හරවාගන්න අද සිට උත්සාහ ගන්න.....
.

මම

විසිරි සිහින

142. අවදානම ට පෙර අවධානය......



පසු ගිය දිනවල මුහුණු පොත වගේම සෙසු මාධ්‍යයන්හි සැරිසරන වෙලාවල් වල මම දුටු එක් දෙයක් තමයි දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමවුපියන් සහ සෙසු වගකිව යුතු වැඩිහිටියන්ගේ ඇති අවධානයේ අඩුකම.....
.
ඇත්තෙන්ම අවදානමක් ඇති විටෙක හරි....අනතුරක් වූවාට පසුව හරි ඒකට කලබල වෙලා ලෝකයම පෙරළන් දඟලනවාට වඩා වටින්නේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මඳක් සැලකිලිමත් වීමයි...
.
උදාහරණයක් ලෙස ....කී වතාවක් පත්තර සඟරා ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍ය වල පින්තූර වීඩියෝ පට පෙන්වමින් සවිස්තරව කිව්වත් දරුවන් ගින්දර සහ උණුවතුරෙන් පිලිස්සීම් අදටත් අඩුවක් නැහැ....මේක අනිවාර්යයෙන් ම වැඩිහිටි නොසැලකිල්ලෙන් වන දෙයක්....දරුවන් කියන්නේ එක් වයසකට එන තුරු අනතුර ගැන අවධානයක් අවබෝධයක් නැති කොටසක්....ඉතින් අනතුරක් වෙන්න ඉඩ තියෙන උණුවතුර ටික , ලිප දරුවාගේ ලඟා වීමේ මට්ටමින් ඈතක තියන එක තමා කළ යුතු එකම දේ....
ඒක සරලයි....නමුත් අපි සරල දේ නොකර ඉන්නවා වගේම අනතුර වූ විට යකා නැටූවන් සේ නටන්න ගන්නවා....
.
දරුවකු වැටීම් තැළීම් සීරීම් වලට ලක්වීම සාමාන්‍ය දෙයක්..නමුත් ඒ හැම එකක්ම සාමාන්‍ය වෙන්නෙ එක්තරා සීමාවකට යනකල් පමණයි....එතනින් එහාට ඒක අන්තිම දරුණු දෙයක් වෙනවා...සාමාන්‍ය වැටීමක් සීමාව පැන්න ගමන් අස්ථි බිඳීමක් , ස්නායු ආබාධයක්, මොලය සහ සුෂුම්නාවට වන දරුණු හානියක් දක්වා වෙන්න පුලුවන් ..ඒ නිසා ළමයි වැටෙන්න තුවාල වෙන්න ඕන ..ඒව අත්දැකීම් කියන අයට සීමාව මතකයේ තබා ගත යුතු බවත් අවධාරණය කරන්නම ඕන....
.
අනෙක් කාරණය වන්නේ යමක් වූ පසු....අපේ වැඩිහිටියන් ඊට අදාල ප්‍රථමාධාර ගැන ඇති අනවබෝධය .....යමක් වුණ ගමන් ෆේස්බුක් පෝස්ට් එකක් දමලා සෙත් පැතීම් සහ කල යුත්තේ කුමක්ද අහන සමාජයක අපි අද ඉන්නෙ....නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ තමන් ලඟ නිසි ප්‍රථමාධාර ගැන දැනුමක් තිබීම සහ කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම....අද හදිසි අවශ්‍යතාවයක් වෙනකොට අපේ එහෙමත් ගෙදරක තමයි ප්‍රථමාධාර පෙට්ටියක් තියෙන්නෙ....ඒකටත් ෆාමසි යට දුවන්න හුරුවෙලා ඉන්නෙ අපි .....
.
ඉතින් දරුවෙක් කියන්නෙ මල් වගේ සුන්දර ප්‍රාණීන්...ඔව් ඔවුන්ට අත්දැකීම් ගන්න දෙන්න...සමාජයට එක් වන්න ගැටෙන්න දෙන්න...නමුත් ...අවදානම යන දෙයට ඔබේ අවධානය සහ නිසි යෙදවීම තබා ගන්න....

විසිරි සිහින

141. අලුත් දවසක්

අද අලුත් දවසක්.....

උදේ ම ස්ටේශන් එකට ආවාම හුඟක් අයගෙ මූණු ඇද වෙලා වගෙ දැක්කා....බලන කොට කලින් ට්‍රේන් එක පරක්කුයි..ඒ නිසා ඉන් පස්සෙ එන ඔක්කොම ට්‍රේනුත් පරක්කුයි.....
.
ඔන්න ඉතින් අර පමා වුණ දුම් රිය ආවා....බලද්දි ඇත්තෙන්ම වැඩට සහ ගමන් යන අය මේ 🚆 පමා නිසා විකල්ප ක්‍රම භාවිතා කරල.....🚆 නිකම් පෞද්ගලික වාහනයක් වගෙ ඉඩකඩ.....
.
මම හැමදාම හැම දේම වෙන්නෙ හොඳට කියල නෙ හිතන්නෙ...ඉතින් බොහොම සැපට ඉඳගෙන මල් එක්ක පොඩි සංවාදයකුත් දාලා ...මුහුණු පොතෙත් එහෙ මෙහෙ ටිකක් ගියා....
.
රාගම 🚆 ස්ථානය ට එනකොට සෙනග සූ ගාල...කපල එකක් පිරුණා...කොහොමින් කොහොම නමුත් ....අච්චර සෙනග පිරිලත් තනි කකුලෙන් හිටගෙනත් දාඩිය ඉහින් කනින් නාගෙනත් මිනිස්සු තමන්ගේ ජංගමයෙන් නම් මිදිල නෑ කියන දේ නම් මොනවට ඔප්පු වුණා....
.
රාගම පහු වෙද්දි මං ඉන්න අවට ආසන වල අය ගැන පොඩි ස්කෑන් එකක් කලාම දෙන්නෙක් හෙඩ්සෙට් එක ගහන් චැට් කරනව...තව කෙනෙක් සැපට නිදි...මට යාබද කෙනා හිටගෙන ඉන්න අයට රවමින් මුහුණු පොතේ .....ඒ මගෙ වම් පස සහ ඉදිරිය....
.
ඉතින් මගෙ දකුණු පස ඇති දේ ලියන්නම්කො....ජනේලය අයිනෙ අසුනෙ මම ඉන්නෙ...තරමක වේගයෙන් ඇදෙන දුම් රිය රාගම හොරපෙ හරියෙ වේගය අඩු කරනවා...මේ ඒ පැත්තෙ මං දුටු දේවල්...
.
පොඩි පැල්පතක මිදුලෙ ළමයෙක් දුවනවා...ගෙදර 🐕 එයා වටේ දුවනවා....
මුතුරාජවෙල ට අයත් වගුරු බිමේ හුළඟට වැනෙන තණ පඳුරු වල වී 🐦 තරමේ පොඩි කුරුල්ලො එහෙට මෙහෙට පනිනවා....
ඉන් එහාදි කදුරු ගස් උඩ සුදු කොක්කු තුන් හතර දෙනා නිදිකිරනවා....
තණකොල වලින් පිරි වගුරු බිමේ....වතුර තියන තැන් වල ඕලු මල් පිපිලා....
කඩොලාන ගස් වල කොළ පාට පත්‍ර අස්සෙ තැඹිලි පාටින් කොළ ඉදෙන්න අරන්....චිත්‍රයක් වගේ....
ඉඳහිටක පහු වෙන ගෙදරක මිදුලෙ නා නා ප්‍රකාර මල් පිපෙන ගස් වවලා...
රේල් පාර අයිනෙ කුසීතව නිදන බල්ලෙක්....
උදේ දත් මදින ගමන් ...🚆 දිහා බලන් ඉන්න සීයා කෙනෙක්....
චූන් පාන් වාහනයක්....
.
තව හුඟාක් දේ....
.
ඉතින්....වම බැලීම ද හොඳ දකුණ බැලීම ද .....?.
.
අපි 🌎 දකිනවා.....ඒත් 👀 (බලන්නෙ) නෑ.....එතනයි වෙනස

මම 
විසිරි සිහින

Wednesday, April 1, 2020

140. කවි

ජීවිතේ කටුක ඉම
යථාර්ථය 
දුක් කඳුලු 
විප්ලවය 
පීඩනය
ලෝකයේ හරි දැක්ම
.
ඔබ හිතට ලඟම කවි ඒවාය..
.
ජීවිතේ කටුක බව 
ඉහ පුරා දැක ඇතිමි
යතාර්ථය ..පීඩනය
හිත දවා සුන් ව ඇත...
දුක් කඳුලු තිත්තමය
විප්ලවය බොරුවක් ය 
මොන තරම් හරි දැක්ම
විසුලුවක් වී ඇත්ද....
.
මට ඉතින් බෝ වෙහෙසමය
බලා හිඳ එවන් කවි...
.
පැළි වළං පැලී ගිය
බිමක වුව මල් පිපෙන
හිස දවන කතර වුව
හීන් මල් වැහි වහින...
හිතලුවක් වී නැගෙන
හීනයක් දකිනු මිස
මට නොහැක කටුක බව
අකුරු තුළ මවන්නට...
.
ඉතින් මම පිළිගනිමි...
මම...
අසාර්ථක කවියකි....

139. කවි

ඔබ කඳුල අරන් එන පෙරමග
මම සිනා අතුරවමි සිතුලෙස.....
හිරුත් සඳුත් ඇති ලොවකට
තරු නැතිම වුනත් මට තනි නැත...

මල් පිපෙන අරණකට සමවැද
මම ලොවක් තනමි මට හිමිවන
ඒ සොඳුරු දනව්වේ කඳුලට
කිසිවිටෙක ඉඩක් නැත සිතුලෙස....

සඳ කිණිති ඉහෙන එක දවසක
කවි අහුරු ගනිමි තනිමංසල
ඔබ කඳුල අරන් ඒ වෙනුවට
මම සිනා පුදමි ඔබ ලොව වෙත...



138. කවි

සමහරක් මොහොතවල් තිබුණා...
නුඹ නොදන්න..
ඒත් මම දන්න...
ආදරේ නොකියා කියුව...
.
එකදු ඇස් බැල්මක්ම නොමැති ව
නිහඬ බව පමණක්ම ඉතිරිවු
සමහරක් සොඳුරු පැයවල් 
ඉතිරි වී තිබුණා..
අපට නොදැනිම....
.
නිහඬ බව කෙතරම්ම දොඩමලු
ගීතයක් දැයි හඟිනු නොහැකිවු..
නුඹට..මට හිමි අහිමි තත්පර 
දහස් ගණනක් 
ඉතිරි වුණ හැටි....
.
ඒත් ඒ ආදරේ ...
අපතේ නොගිය හැටි....
නුඹ නොදන්න
ඒත්...
මම දන්න....

137. කවි

නිස්සාර බිම් අසල
ලදලු පත් දිලෙනවා
ජීවිතේ ආයෙමත්
දලු දමා හැදෙනවා...
.
නැවතුණා යැයි හිතුණ
හදවතත් ගැහෙනවා
ලේ නහර පණලබා
උණුසුමින් පිරෙනවා.....
.
පැරදුමක් මිස දිනුම්
නෑ කිව්ව ලෝකයම
දෙපෙති විහිදා නැගෙන
අරුමයක් දකිනවා..
.
මියෙන්නට ඉඩ නොදුන්
මේ බිමට සෙවණ දෙන
මහ තුරක් වී දිනෙක
මං සිනාසලනවා.....


136. කවි

ඉස්සරම දවසක
ආදරේ මහ ගොඩක් අරගෙන
ආවාලු මම ඔබේ
දෙවනි ප්‍රේමය වෙලා...

හැමෝම කියන කොට
තාත්තගෙම දුව කියල
ඇහේ පිපි ආඩම්බරය
මං දැක්ක හොඳටෝම.....

යොවුන් විය ආ කලෙක
සමහරක් නපුරු හීනම
දෝතින්ම මුවා කර
රැක්කෙ ඔබ තමයි මහ පවුරක්ව....

ඉතින්..තාමත් ඔබේ
දෙවනි ප්‍රේමය මමයි..
හැඟීමක සමානව
දැනෙනවා මට ඔබව.....

තාත්තේ මම ඔයාගෙ දෝණි....

135. අම්මාට ලියූ කවිය

ආදරෙයි.....

පොත් මේසෙ එක් කොණක
තනි වෙච්ච දිනපොතක
නිතර පෙරළන පිටක් තියෙනවා....
පඬුපාට කවරයක
තබා සුරැකිව තියන
ඔබේ සේයාරුවක් දකිනවා...
ජීවිතේ එකම එක
අඳුරු දවසක ඔබෙන්
සමු අරන් ආව හැටි මැවෙනවා...
හැමදාම මං දැක්ක
මඳසිනා රැළි බිඳක්
අවසාන ඒ රුවේ තියනවා.....

අල්මාරියේ කොණක
නැවූ පොටවල් අතර
ඉල්ලගත් සාරියක් තියනවා
ඉඳහිටක තුරුල් කර
සිඹිනකොට එදා මෙන්
අපරිමිත ස්නේහයක් දැනෙනවා
ආදරේ මහ හුඟක්
ඔය හිතෙත් තියෙන්නැති
අම්මෙ මං ඒ බවත් දන්නවා
කියාගන්නට කලින්
දෙව්ලොවට වඩින්නට
වුණ එකයි මහම දුක හිතෙනවා......

ඉස්සරම දවසකදි
මිදුලෙ මල් ගහ යටදි
කී කතා කවි මතක තියනවා
දැන් ඉතින් සුරඟනා
පොඩි පැටව් එක්ක ඇති ඉරිසියාවක් හිතට දැනෙනවා
කවදාක හෝ මටත්
ඔබ ඉන්න ඉසව්වට
එන්න වෙන බව ඉතින් දන්නවා
මේ සැරේ වගෙ නෙවෙයි
ඒ වතාවෙදි ඉතින්
පැලෙන්නට ආදරෙයි කියනවා....


134. කවි

ඉස්සරම කවි උනපු හිත්වල
කවි හැඟුම් මැලවුනේ කොහොමද...
ඉර හඳත් තරු කිසිත් නොවෙනස්
ඔබත් මා මෙන් සිටින ලොවකදි......

හිස් ව යන හිත පලා සැතෙකින්
කවි සොයමි සැඟවී මැකී ගිය
සුසුම් අතරට කඳුලු බොඳවුණ
කටු අකුරු එකිනෙකක් හමුවිය......

හිනා අහුරමි..කවි නැතුදු සිත
පෙමින් සරසමි කඳුලු වියළමි
ඔබ යනෙන මග මගේ කවියක්
අතරමං වී ඇතැයි සිතනෙමි......


133. හිතුවක්කාර කවි

පුංචි දේටත් හිත රිදෙන කොට
කඳුලු නොසලා ඉන්නෙ කොහොමද
ඒ වෙලාවට හිතට තරහක්
මවාගන්නට දන්නවා..
ඔබ නොදන්නා ගැහැණු ගතියක්
මගේ ගාවත් තියනවා......

හුදෙකලාවේ තනිව යනවිට
මිතුරු ඇසුරක් ලඟ නොමැති විට
කාලයේ මහ නරුම සිතුවිලි
හිතට මහ බර ගෙනෙනවා..
කවුලු දොරකින් පෙනෙන ඈතක
මගේ සිතුවිලි ගලනවා....

සල්පිලක එති දුහුල් සලුපිලි
එකින් එක ගෙන අතාරින සඳ
කවටකමකට ඇදෙන මගෙ හිත
යළිත් සඟවා තබනවා..
ඔබ නාඳුනන මිතුරු සිත මම
ඉතින් අකුලා තබනවා.........


132. කවි

අහස පිරිමැද සිතුම් සතපන
විල් තෙරක් ඇත කිසිත් නොපෙනෙන
අහස පොළවට කෙතෙක් දුරවුව
කිනම් සෙවනැලි මවන කාරණ.....

අහස් ඉම ඉඳුදුනක් දකිනට
අඳුර අතරින් ඇස යොමන සඳ
දියක් මත රැළි සරැළි නංවන
තුරු හිසක් බඳු හදවතක් ඇත.....

පහන් දැල්වෙන අඳුර සමගින
නවාතැන වෙත මනින පියවර
යොමා සවනත බලා ඉනු මැන
දිය රැළිති මත තැබූ ගීතය....


131. නම නොදන්නා ප්‍රේමයක්

අඳුරු සලුවෙන් වසා සියොළඟ
බලා උන්නද කල්පයක්
තුංග මේ හැම කන්දටම ඇති
නම නොදන්නා ප්‍රේමයක්.....

ගිරි හිසග රැඳි සිහින් කඳුරක
උපන් එකමෙක ප්‍රේමයක්
බොහෝ දුර වෙහෙසවී එනවැති 
සොයා එක නැවතුම් පළක්......

බලා හිඳි කඳු සිඛර සුසුමෙක
 දැවටුණත් සරැළිති දියක්
උනුන් පෙම් කල බව නොදන්නා
ඒ අහිංසක හිත් දෙකක්......