Wednesday, June 10, 2020

13. දොලොස් වෙනි දිග හැරුම

සුවදිසියෙන් ටිකට් කපා උදාර නිවසට පැමිණියේ තාරක සමගින්මය...
.
" උදාර ..එකක්...දැන් උඹ ඉන්නෙ සෙල්ලම් වයසක නෙවේ...බලහන් ප්‍රෙශර් එක එදා වැඩිවෙල...මොකක් හරි උනානම්....ඇයි තාම උඹට බැරි උඹව කන්ට්‍රෝල් කරගන්න...."
.
උදාර කිසිත් නොකියා සුසුමක් හෙළීය ...
.
" ඔය හැඟීමෙන් එලියට වරෙන්..මම උඹේ ඩොක්ටර් නෙවේ යාලුවා විදියට මේ කියන්නෙ....අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔය සිද්ධියෙන් විඳවන එක නවත්තපන් දැන්....ඒ දේ වෙන්න තිබ්බ දෙයක් නම් එදා උඹ අම්මල එක්ක ගියත් නැතත් ඒක වෙනව ...අනික උඹ ඔහොම පිස්සු නටන්න ගත්තම මැරුණ මනුස්සයන්ගෙ ආත්ම වලට වත් සැනසීමක් නෑ ...."
.
තාරක ගේ හඬ තදින් එහෙත් ලෙන්ගතුව ඇසෙයි....උදාර ඒ දෑත අල්ලාගත්තේ සැබෑ සහෝදර සෙනෙහසිනි... .
.
" තැන්ක් යූ මචං.....දැන් උඹ ගෙදර යන්නත් ඕනනෙ....චාපා බලන් ඇති...මේ ටිකේම මං නිසා උඹ රෑවුණා යන්නත් ..."
.
" දැන්වත් ...උඹත් උඹ ගෙදර එනකල් බලන් ඉන්න කෙනෙක් ගැන හිතපන්කො..." උදාර ගේ හිසට අතින් සෙමෙන් අනිමින් තාරක නැගී සිටියේය....උදාර සිනාසී නිහඬ විය ...
.
" ඒයි...ඒයි...මස්සිනා...උඹෙ ඒ හිනාව නම් මට ඇල්ලුවෙ නෑ ...වෙනදට ඔහොම එකක් කීවම පරල වෙන එකා .මොකෝ මේ ..ආ ..කියපන්...කියපන්..." තාරක යළි ඇඳේ හිඳගත්තේය....
.
" පිස්සු නොකර පල්‍යන් බං....මට ඇති කෙහෙල්මලක් නෑ...මට ලෙඩ හොඳ වුණා විතරයි උඹ ආයෙ මාව ඇඩ්මිට් කරහන් පුලුවන් නම් ..." උදාර සෙමින් ඔහුව තල්ලු කරමින් කීය...
.
" හරි හරී ...එක හීනෙන් ඔක්කොම එලිවෙන්නෑ පුතා....අපි ත් ඉන්නවනෙ....එහෙනම් මම ගියා ....ටේක් කෙයා මචං ..ඕනවුනොත් කෝල් කරපන් හරිද...." තාරක උදාර ගේ හිස කෙස් අතින් අවුල් කරදමා කාමරයෙන් පිටව ගියේය.....
..
.ජීවිතය පෙරදාක නොවූ විරූ ලෙස තමා ඇදගන්නට යන්නේ කුමන ඉසව්වකටදැයි උදාර මඩුගල්ලේ දෑස් වසා ගෙනම කල්පනා කලේය....ඇය....ජීවිතය ට එබිකම් කරන්නීද.... ?.
.
අවසාන වශයෙන් දිවා කල ගත් ඇමතුම් අංකය දෙස බලාඋන් ඔහු එය නාමවලියට ගබඩා කලේය...

" සඳමිණි " නමින් ගබඩා කල අංකය දෙස මොහොතක් බලා සිට දෑස් වසා සිනහසුනේය....
.
*****************************
.
කාර්‍යාල සේවය කෙතෙක් පහසු වුවද නිවසට එන කාලය සහ ගමනාගමන අපහසුව තරම් ජීවිතය හෙම්බත් කරන අන් කිසිවක් වෙන නැති තරම් ය....බසයෙන් බැස ඇනෙක්සියේ ගේට්ටුව හැර සෙමින් කාමරය දෙස ට එන සඳමිණි ගේ සිත සැහැල්ලුවෙන් සතුටින් බර වූයේ දොරකඩ රෝස ගසේ පිපි අලුත්ම පොහොට්ටුව දුටුවිටය...
.
" අනේ ඔයා ඇවිල්ල....මේ ටිකේ ඉතින් මට වැඩ වැඩිනේ....බලන්න උනේ නෑනෙ....." හෙමි හෙමින් මුමුණමින් රෝස පොහොට්ටුව මත දෙතොල තැබූ ඇය ගෙතුලට සෙමින් ගොඩ වැදුණේ සතුටක් සිතේ දවටාගෙනය....
..
ස්නානයෙන් පසු උණුසුම් තේ බඳුනද අතට ගෙන වැරැන්ඩාවේ පුරුදු අසුනට බර වී දෙපා ඒ මතට ගත් සඳමිණි මොහොතක් දෑස් වසා ගෙන උන්නාය....ඈත කොහේ හෝ තැනකින් එන ගී රාවයක මන්ද ස්වරය ඇයගේ සවනට හෙමින් මුසුවෙයි .....
.
"නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි...
ජීවිතේ දිගු වන්දනා ගමනේ ....... "
.
ජීවිතය මහා චාරිකාවක් වුවත් එහි සොඳුරු නවාතැන් පලක් තමාට හිමි නොවීය....සමහරක් ගී හිත සැතකින් පාරවන්නාක් මෙන් වේදනා උපද්දයි.... "
.
අහම්බෙන් මෙන් සඳමිණිට උදාර මඩුගල්ලේ සිහිවිය...සර්ට කොහොමද දන්නෙත් නෑ...ඒත් කෝල් කරන එක හරි නෑ...ගෙදර වත් නම් ...අනික නැති ප්‍රශ්න ඇතිවෙයි වයිෆ් එහෙම කොහොමද කවුද දන්නෙ...නමුත් ඉතින් ඊයෙ ආවට පස්සෙ අහන්නවත් වුණෙ නෑ ....ඒකත් හොඳ නෑ තමයි...හ්ම්ම්...හෙට ගිහින් බලනව ..." තනිවම තමාටම කියාගත් ඇය.... ඈතින් ආ සියුම් ගී ස්වරයට යළි ඉව ඇල්ලුවාය.....
.
*****************************

බ්‍රහස්පතින්දා දිනය ....සඳමිණි කාර්‍යාලයේ අසුනට බර වූයේ දවසේ වැඩ ඇරඹීමටය....දොරට එක් තට්ටුවක් සමගින් විවෘත වූයේත් උදාර මඩුගල්ලේ කාර්‍යලයට ආවේත් එවිටය...
.
සඳමිණි වහා නැගිට සිටියාය...
.
" ගුඩ් මෝනින් සර්...."

" ගුඩ් මෝනින් සඳමිණි ..." උදාර සිනහසෙන්නට තැත් දරමින් පැවසීය...වෙනදා නැති අපහසුතාවයක් ඇය අබිමුව තමන්ට දැනෙන්නේ කිමද....ඇය පුරුදු ලෙසම සන්සුන්‍ ය ....
.
" සර්ට සනීපයිද හොඳටම..." සඳමිණි සෙමින් ඇසුවාය ....උදාර ඇය දෙස සෘජුව බලා හිස වැනීය...
.
" අපි නම් ඉතින් අසනීප කෙනෙක් ගැන අඩුමගානේ කෝල් එකක් හරි දීලා බලනව.... ඒකට මගෙ සෙකට්‍රි...." උදාර විහිලුවක ස්වරයෙන් කියාගත්තේය...
.
" අනේ සර්...ඊයෙ හවසත් කෝල් එකක් දෙන්න හදලත් ඒත් සර් ගෙදර යන්න ඇති... ඉතින් ගෙදර අය එක්ක ඉන්න වෙලෙ මම කතාකරන එක හරි නෑනෙ...ඒකයි කතා නොකලෙ...."
.
සඳමිණි පසුතැවිලි ස්වරයෙන් පැවසුවාය...
.
" ගෙදර අය කීවෙ මගෙ ගෝලයා සුමනෙද....ආ මෑන් නම් මොකුත් හිතන්නෑ මට කෝල් ආවට...." උදාරට තමා පමණට වැඩිද යන්නත් සිතී නොසිතී ගියේය...
.
" නෑ නෑ සර්ගෙ නෝනා එහෙම මම කීවෙ...."
සඳමිණි මහත් ලැජ්ජාවෙන් පැවසුවාය.....
.උදාර ඇස් ලොකු කරගනිමින් මොහොතක් බලා උන්නේය ..පිපිරෙන්න ට ඔන්න මෙන්න එන සිනහව සමග මේ කතාබහ දුර යායුතු නැති බව ඔහුට වැටහුණි....
.
" ආ....ඒකද ....හරි හරි....දැන් තේරුණේ.... ඕකේ...සඳමිණි අද ශෙඩූල්ස් ටික බලන්නකො...." උදාර මැඩගත් සිනහවෙන් යුතුව පරිගණකය දෙසට හැරුණි.....
.
" මගේ නෝනා.... " උදාරට යටි සිතෙන් මහා සිනහවක් යයි....ඔහොම හිතන් උන්නාවෙ....බලමුකො....ඔහු සිතාගත්තේය....
.
සඳමිණි සිය මේසය වෙත පැමිණ ලිපි ගොනුව දිග හැර අදාල ලේඛන ටික ගෙන උදාරගේ මේසය මත තැබීය...සිය ප්‍රධානියා ගේ කුමක් හෝ බරපතල වෙනසක් ඇතිබවක් හැඟෙයි...එහෙත් ඒ හැසිරීම් රටාව කුමක් දැයි වෙනස කුමක් දැයි සඳමිණිට වටහා ගත නොහැක....
.

*****************************
.
සෙනසුරාදා දිනය ලඟා වූයේ ඉක්මනින්මය....සඳමිණි හවස් යාමයේ පුස්තකාලය වෙත යෑමට සිතා පාරට බැස්සාය....
.
පුස්තකාලයේ පොත් අතර ගැවසෙමින් පැය ගණනක් හුන් පසු ඇනෙක්සියට යාමට යළි මාවතට බට ඇය ගේ දෙපා එක්වනම ගල් ගැසුනේ සිය අබිමුවට එන ඔවුන් දුටු මනතිනි....
.
සුධීර තවත් අලුත් ගැහැණු අයෙක් සමග...මේ තමා දික්කසාදය දෙන විට උන් කාන්තාව නම් නොවේ....සුධීරට සතියට එක් ගැහැණියකට වඩා එදත් උන් බව සඳමිණි දැනගත්තා ය.....
.
තමා අබිමුව නැවතුණ ඒ යුවල දෙස නෙත් කොණින් බලා මගහැර යන්නට සඳමිණි උත්සාහ කලද සුධීරට අවශ්‍ය වන්නේ තව දුරටත් තමා රිදවීම බව ඇය වටහා ගත්තාය ....එන දේකට මුහුණ දෙනව....ඇය සුසුමක් හෙලා හිස එසවූවාය....
.
" අහ් .කොහොමද මැඩම්....පාරෙ බස් එකෙ හිඟන පුස්තකාල ගානෙ යන පුරුද්ද තාම ඇරුණෙ නැද්ද ..... ? " සුධීර මුහුණටම එබෙමින් අසන කල අතදිග හැර කම්මුලට පාරක් ගසාගන්නට නොහැකි ස්ත්‍රීකම ගැන සඳමිණි හිතෙන් විස්සෝප වූවාය ....
.
" මිස්ටර් සුධීරට මගෙ යන එන තැන් අදාල නැහැනෙ...ඒක මගෙ කැමැත්ත...." සඳමිණි සෘජුව ඔහු දෙස බලා පැවසුවාය...සුධිර සමග උන් ගැහැණියගේ මුහුණේ වූයේ ද අපහාසාත්මක සිනහවකි...සල්ලි වලට සතියට දෙකට එන ගැහැණුන්ගේ අපහාසයන් මායිම් කල යුතු නැත.....
.
" මොනව නැතත් කට නම් තාම එහෙම්මයි....අන්තිමට තාත්තා ත් දොණියැන්දව දරුකමෙනුත් පැන්නුවලු නේහ්..... මෝඩ ගෑනි...කූඩැල්ලන්ට මෙට්ටෙ ඉන්න පුලුවන් යැ.....ඕකේ බායී....ආපහු එන්න ඕන්නම් ඉඳහිට හරි සලකා බලන්නම්කො..." සුධීරගේ අවිනීත හිනාව සමග අර ගැහැණියගේ හිනාවද මුසු විය....
.
එතනින් හැකි වේගයෙන් ඉවත් වී ආවද... හිතට ආ පිළිකුල සහ ආවේගය දරාගත නොහැකි තැන සඳමිණි ට මහ මගම හැඬුණි... අතවූ ලේන්සුව දෑසට තද කරගත් ඇය හැකි වේගයෙන් පාරදිගේ ඇවිද ගියාය.....


12. එකොලොස් වෙනි දිග හැරුම

" සිකුරාදා මට හදිසියෙම උණක් වගෙ ආව....ඒක කොහොම ද කියන්න තේරුමක්නෑ...මගේ යාලුවෙක් ඉන්නව ඩොක්ටර් කෙනෙක්...එයා මාව බලන්න ගෙදරට එනකොට මට සිහියත් නෑ කියන්නෙ....අන්තිමට එදා ඇඩ්මිට් කල ගමන් තමයි මේ...."
ලියකියවිලි වලට අත්සන් තබන අතරේ උදාර සඳමිණි ගේ පැනයට පිළිතුරු සැපයීය...ලිපි ගොනුව දෙස බලා සිටිය යුතු හෙයින් කතා කිරීම පහසුය....
.
සඳමිණි ඒ අතර ඒ මුහුණ දෙස බලා උන්නාය....වයසින් අවුරුදු හතළිහක් වූවාට ඔහු සැබෑම කඩවසම් ය ...උසට සරිලන මහතින් යුතු පෞරුෂයක් හෙබි අයෙකි....
.
" ගෙදර අය ඇවිල්ල ගියාද සර්...." මේසය මත වූ හිස් භාජන සහිත බෑගය දෙස බලා සඳමිණි විමසුවාය....එක්කෝ ඔහුගේ බිරිඳ පැමිණ යන්නට ඇත...නැතහොත් ඇය තවමත් රෝහලේ කොහෙට හෝ ගොස්ද ....
.
" ඔව් අක්කා ඇවිල්ල කවල පොවල බැනල ගියා....."
උදාර හිනැහෙන්නට තැත් දරමින් කීවේය.....
.
එතනින් ඔබ්බට පෞද්ගලික කාරණා අසා දැනගන්නට තරම් ඔවුනොවුන් එතරම්ම සුහද ද සමීපද නැත...අනෙක ඔහු සිය ප්‍රධානියාය. රණවීර මහතා තමන් හා කෙතරම් සුහද වුවද ...මේ පුද්ගලයා වෙනස් අයෙකි.....
.
" එහෙනම් මම ගිහින් එන්නම් සර්....හෙට දවසට සර්ට වෙන අත්‍යාවශ්‍ය මීටින් මොකුත් නෑ...මේ බ්‍රහස්පතින්දා සිකුරාදා ශෙඩූල් එක...ඒකත් කැන්සල් කරන්න පුලුවන් සර්..... "
.
" නෑ නෑ කැන්සල් කරන්න එපා....මට බ්‍රහස්පතින්දා වෙද්දි ආපහු එන්න පුලුවන් වෙනව....මිස් ඕවට අදාල ඩොකියුමන්ට් ටික හදල තියන්න. . එහෙනම් බොහොම ස්තුතියි ආවට...පරෙස්සමින් යන්න...."
උදාර සෙමින් පැවසීය....
.
" තෙරුවන් සරණයි සර්...ඉක්මනින් සනීප වෙන්න...මම යන්නම්...." සඳමිණි නැගී උන්නාය...
.
ඇය කාමරයේ දොර වසා නොපෙනී ගිය පසු උදාර කොට්ටයට හිස තබා දෑස් වැසීය....සඳමිණි තම හිස කොට්ටයට තබන්නට ලංවූ මොහොතේ ඇයගෙන් දැනුන මෘදු විලවුනක සුවඳ උදාර ගේ හිත යළිත් කළඹාලීය......
.
ජීවිතයේ මින් පෙර කිසි දිනෙක ගැහැණියකගේ සුවඳ තම හිත කලඹා නැත ... මේ සිදුව ඇත්තේ කුමක්දැයි උදාර යළිත් සිතුවේය ....නැත ..මෙසේ සිත දුර්වල විය යුතු නැත ..තමා දැන් යෞවනයෙක් නොවේ...සතළිස් විය ලබන්නට ඔන්න මෙන්නය.... ප්‍රේමය ආදී විශයයන් ජීවිතය ට ළංකර නොගත් තුරුණු විය පසුව ගොස් දැන් කිසිසේත්ම එය ළඟාවිය යුතු නැත.....
.
නැවත දොරට තට්ටු කිරීමක් සමග උදාර කල්පනා ලොවින් මෙපිටට ආවේය....
..
" අහ්...මිස්ටර් රණවීර...කොහොමද මේ ......?? " උදාර විශ්මයෙන් ඇස් ලොකු කරගනිමින් පැවසීය .....
..
එන්න එන්න ඉඳගන්න මිස්ටර් රණවීර... " ඒ සමගම අසුන දෙසට අත දිගු කල උදාර පැවසීය ....සිය කටහඬ උදේට වඩා සැබවින්ම ප්‍රාණවත් ව ගොසිනි...එයට හේතුව ...???
.
." මම ආව මේ මගේ වීපී ගෙ අපොයින්මන්ට් එකට මිස්ටර් මඩුගල්ලෙ....අද ඩොක්ටර් එන්න පරක්කුයි..මම නිකම් රිසෙප්ෂන් එක ගාව බෝඩ් එක බලන කොට දැක්කෙ ඔයාගෙ නම වෝඩ් ඇඩ්මිෂන් බෝඩ් එකේ ....ඒ ගමන මේ ආවෙ මොකද බලන්න..."
.
උදාර සැකෙවින් අසනීපය ගැන කියුවද එයට හේතු හෝ අන් කිසිවක් නොකියා සිටින්නට සිතාගත්තේය....
.
" මේ දවස් වල නරකම වයිරස් උණකුත් තිබ්බ නේද ..ඩෙංගු ත් හැම තැනමනෙ....කෝකටත් ඇඩ්මිට් වුණ එක හොඳයි..."
.
උදාර නිහඬ සිනාවක් පෑවේය...
.
" කොහොමද රාජකාරි කටයුතු ...මං හිතන්නෙ එහෙ අවුලක් නෑ මිනිස්සු එහෙමට ප්‍රශ්න ඇතිකරන අයත් නෙවේ...ස්ටාෆ් එකත් ලොකුවට අවුල් සහගත නම් නෑ..."
.
" ආ....ඔව් ඔව් මිස්ටර් රණවීර ... දැනට නම් කිසි ම ගැටලුවක් නැහැ ..වැඩ ටික කරන් යනව .."
.
" කොහොමද මගෙ සෙකට්‍රි දරුවා ...සඳමිණි ද තාම මිස්ටර් මඩුගල්ලෙ ගාවත් ඉන්නෙ...මට ඒ දරුවට කෝල් එකක් වත් දෙන්න බැරි උනා ගියාට පස්සෙ .." රණවීර මහතා එක්වනම ඇසීම සමග උදාර යළි තිගැස්සිණ....
.
" ආ....ඒ මිස් තමයි....වරදක් නෑ... වැඩ හරිම පිළිවෙල ට කරන් යනව . .මිස්ටර් රණවීර රෙකමන්ඩේශන් එකකුත් දුන්නනෙ..කොහොමත් " උදාර සන්සුන් වෙමින් පැවසීය....
.
" ඇත්තෙන්ම මිස්ටර් මඩුගල්ලෙ...ඒ ළමයා තරම් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දුන් ගැහැණු ළමයෙක් මට හම්බෙල නෑ ...ඒත් කිසිම දවසක රාජකාරියට ඒ පෞද්ගලික ප්‍රශ්න ගැටලුවක් කරගෙන ත් නෑ සඳමිණි ...." සුසුමක් හෙලු වියපත් පුද්ගලයා සැබෑ සොවින් පැවසීම උදාරගේ සිත කුතුහලයෙන් පුරවාලීය .....
.
" ඒ කීවෙ මිස්ටර් රණවීර....??"
.
" ඔය ළමයා දැන් මාස දෙකක් විතර ඇති ඩිවෝස් වෙලා ...ඊට කලින් අවුරුද්දක් වගේ හස්බන්ඩ් ගෙන් වෙන් වෙලත් උන්නෙ ..." රණවීර මහතා සැකෙවින් සිදුවීම් ජාලය විස්තර කලේය....උදාර මඩුගල්ලේ ගේ සිත සඳමිණි සම්බන්ධයෙන් අනුකම්පා මුසු හැඟීමකින් පිරීගියේය
....
.
" මේ දේවල් මිස්ටර් මඩුගල්ලේ දන්නා බව සඳමිණිට අඟවන්න එපා...මම මේ දේ කීවේ ඒ දරුවා ගැන ප්‍රධානියා වශයෙන් ඔබතුමා අවබෝධයක් ඇතුව ඉන්න එක වටින නිසා ....එහෙනම් නීරෝගී සුව පතනව ..මගේ ඩොක්ටර් එන වෙලාවත් හරි...මම යන්නම් මිස්ටර් මඩුගල්ලෙ...."
.
" අහ්....අනේ බොහොම ස්තුතියි මිස්ටර් රණවීර...ඇවිල්ල කතාබහ කලාට...මම ඒ කාරණා පෞද්ගලික වම ආරක්ෂා කරනව ....එහෙනම් පරෙස්සමින් යන්න .." දිගු කල දකුණත සෙමින් අල්ලාගනිමින් උදාර පැවසීය .....
.
.රණවීර මහතා කාමරයේ දොරින් නික්ම ගිය පසු උදාර සිය ජංගමය අතට ගත්තේය..අවසාන ඇමතුම සඳමිණිගෙනි....
.
නැවත දෙවරක් නොසිතා අංකනය කල ජංගමය කණට තබා ගෙන උදාර ඇස් වසා ගත්තේය...
.
එහා පසින් නාදවන දුරකතනය සම්බන්ධ වී යනු දැනිණ....
.
" අහ් ...මිස් දිසානායක ඔෆිස් එකට ගියාද ....? ඔක්කොම වැඩ හරිද ..? අදට වෙන මොකුත් පණිවිඩ නැහැ නේද ? " උදාර චකිතය මැඩගනිමින් නොකඩවා කියවාගෙන ගියේය ...
.

" සර්....මේ ආවා විතරයි අපි... ඔක්කොම වැඩ හරි සර්....වෙන මොකුත් පණිවිඩ නැහැ අදට ....සර්ට දැන් කොහොමද ...."
සඳමිණි සෙමින් ඇසුවාය.....
.
උදාර ගේ මුහුණේ මඳ සිනහවක් ඇතිවී නැතිවී ගියේය ...
.
" හෙට ටිකට් කපයි සඳමිණි.....ස්තුතියි ආවට...උදව් කලාට...මම එහෙනම් තියනවා .." උදාර පැවසීය...
.
" තෙරුවන් සරණයි සර්...." සඳමිණිගේ මෘදු ලයාන්විත හඬ අසමින්ම උදාර ජංගමය විසන්ධි කලේය....
.
සඳමිණි නිහඬ ව ගිය ජංගමය දෙස නිනව් නැතිව බලාඋන්නාය....වෙනදා මිස් දිසානායක කියන සර් එකපාරටම සඳමිණි කිව්වෙ ඇයි ....? කටහඬත් වෙනස්.....

සඳමිණි ගේ දෙකන් පෙති පුරා ලේ පුරා යන හැඟීමකින් සලිත වනු ඇයට දැනිණ.....සුසුමක් හෙලා ජංගමය මේසය මත තැබූ ඇය...මේසයට හිස තබා දෑස් වසා ගත්තාය....


11. දහ වෙනි දිග හැරුම

සඳුදා දිනය බෙහෙවින් කාර්‍ය බහුල වුවත් සඳමිණි දවස අවසානයේ තෘප්තිමත් වූවාය... සිතූසේ දානමානාදී කටයුතු ඉටුකර ගත හැකි වූයෙන් සිතට මහා සැනසුමක් එක්විය....හැම කාරණයකදීම බියංකා පසුපසින් ම සිටීම ද මහා හයියක් විය....
.
සඳමිණි බෝ මලුවට සෙමින් ඇවිදගෙන ආවාය....බියංකා ඇය අනුගමනය කරමින් බෝමලුවේ පසෙක හිඳ ගත්තාය ....
.
" අම්මා පින් ලබා ගන්න ඕන තැනක තවම ඇති කියලා මට හිතෙන්නෑ බී... අම්මා මතක ඇති කල්ම කලේ පින් අතේ වැඩ....පන්සල් යෑම ම නෙවේ ...කාට කාට හරි උදව් නොකර දවසක් උන්නොත් එයාට ඒ කාලෙ හිතට මදි ...."
.
" ඒ අම්මගෙම දුව නෙ මේ ..." බියංකා සැබෑ ලෙන්ගතු කමකින් පැවසුවාය...සඳමිණි සෙනෙහසැති පිළිතුරු සිනහවක් පෑවාය...
.
" ඒක නෙවේ සඳ ...සිකුරාදායින් පස්සෙ හෙට නෙ ඔෆිස් යන්නෙ උඹ .. සර් තුමා එදා කලබලෙන් ගියාට පස්සෙ ආයෙ ආවෙත් නෑ නේද....? "
.
සඳමිණි සුසුමක් හෙලා බියංකා දෙසට හැරුණාය...
.
" එතන මොකක් හෝ ලොකු අවුලක් බී ....සර් කලබල උන විදියට මට හිතාගන්නවත් බැරි උනා...මම මට කල විහිලුව එච්චර ගණන් ගත්තෙත් නෑ...එහෙම වෙලත් අම්මා නෑ කියන කාරණේදි සර් එච්චර කලබල උනේ මොකද මන්ද....."
.
" හෙට බලමු.....දැන් යං රෑ වෙනව ....." බියංකා නැගී සිටියාය.....
.
ඉර අවරට ඇදෙන්නට ඔන්න මෙන්නය....තව ටිකකින් අහස පුරා අඩ සඳක එළිය මෝදුවෙනු ඇත .....
.
*****************************

" හිතුවක්කාර කමේ සීමාවක් තියෙන්න ඕන ....ඔයාට කියන කට නම් මොකටද මන්ද...? " නිශාන්ති මඩුගල්ලේ යළිත් වරක් දෑස වසා ගෙන සිටිනා උදාරට නෝක්කාඩු කීවාය....උදාර සුසුමක් හෙලා නිහඬවම උන්නේය ....
.
" හරියකට කනව බොනව කියලද....මේව හොයල බලන්න තමන්ගෙම කියල කෙනෙක් දැන් හරි ඉන්න ඕන...."
.
" අක්කා ප්ලීස්....මගෙ හිස රදේ වැඩි නොකර ඉන්නවද ....?"
උදාර නොරිස්සුමෙන් තෙපළේය....
.
" ඔව් ...මේක කතාකලොත් ඉතින් හිස රදේ කොහොමත් එනවමනෙ....හරි ඒකෙන් කමක් නෑ...සනීප වෙලා ගිය ගමන් මම අර එදා කිව්ව කාරණේ ගැන මට හිතල බලල කියන්නකො....මම එහෙනම් යනව ....ඉක්මනින් සනීප වෙන්න ...තෙරුවන් සරණයි පොඩී...." අක්කා ගේ ලෙන්ගතු හඬ සමග නළලට දැනුන මුදු සිපාචාරය සමග උදාර අක්කාගේ අත සෙමින් අල්ලා ගත්තේය .
.
" පරෙස්සමින් යන්න...ගිහින් කෝල් එකක් දෙන්න අක්කා..."
.
නිශාන්ති යළිත් සිය සොහොයුරාගේ හිස අතගා කාමරයෙන් පිටවී ගියාය....
.
උදාර මඩුගල්ලේ තවමත් යාන්තමින් රිදුම් දෙන හිස තම අතින්ම පිරිමදිමින් සුසුමක් හෙළීය....අම්මා අක්කා හැරුණ විට ජීවිතයේ සෙනෙහස් ස්පර්ශයක් නොලද නළලත සෙමින් අතගෑවේය ..
.
අක්කාගේ වදන් හිතට හැමදාම ත් මහ බරක් වුවද ජීවිතයේ මේ ගතවන නිදහස් කාලය සහ කාර්‍යබහුල කම හේතුවෙන් තවත් අයෙක් එයට සම්බන්ධ විය යුතු නැතැයි ඔහු තරයේ සිතාගෙන උන්නේය.....
.
හුදෙකලාව වෙන කවරදාකටත් වඩා දැඩිව දැනෙද්දී උදාර දෑස් පියාගෙන නිදිසුව දෑසට එන තුරු බලා උන්නේය ....

*****************************

.
අඟහරුවාදා උදෑසන කාර්‍යාලයට පැමිණි සඳමිණි ට එක්වනම කාර්‍යාලයේ යම් වෙනසක් දැනී ගියේය....
.
සිකුරාදා තමා පිටවූ පසු මෙහි කිසිවෙක් නොසිටි සෙයක් දැනේ ... ගෙදර ටත් වඩා හුරු තැන මෙතැනය...කුඩා හෝ වෙනසක් පවා ඇයට මග හැරෙන්නේද නැත ....
.
සඳමිණි බෑගය මේසය මත තබා ආපිට හැරුණාය...කාර්‍යාල කාමරයේ දොර විවෘත කර නිමල් සිටීදැයි බැලුවාය ....ඈත කොණක සිටිනා නිමල් සඳමිණි දැක දුව ආවේය ...
.
" නිමල් ලොකු සර් ඊයෙ ආවෙ නැද්ද ....? " සඳමිණි ඇසුවාය...
.
" නෑ සඳමිණි මිසී....ඊයෙ සර් ආවෙ නෑ ..කෝල් කලෙත් නෑ ...." නිමල් ගේ පිළිතුරෙන් පසු සඳමිණි නැවත කාර්‍යාලයට වැදුණාය...
.
හෝරාවෙන් හෝරාව ගෙවී යත්ම සඳමිණි බෙහෙවින් නොසන්සුන් වූවාය...උදාර මඩුගල්ලේ සේවයට පැමිණි දා පටන් උදේ අටට පෙර සේවයට පැමිණේ ..කිසිදු විටෙක අනවශ්‍ය නිවාඩු ගෙන නැති ඔහු පෙර දැනුම් දීමකින් තොරව නෑවිත් සිටින්නේද නැත....
.
ඊටත් වඩා හෙට දවසට අත්සන් කර ගත යුතු ලිපි රැසක්ද ඇත....කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව සඳමිණි අසුනේ එහෙට මෙහෙට වෙමින් සිතුවාය....
.
කාර්‍යාල දුරකතනය නාදවෙත්ම සඳමිණි එය ඩැහැ ගත්තේ නොඉවසිල්ලෙනි..... එහෙත් එය පාලන අංශයට යායුතු ඇමතුමකි....ඇය නොරිස්සුම් සහගත වූවාය.....
.
" බී....සර් නෑනෙ බං...ඉන්ෆෝම් කළෙ නෑ ..එදා සිකුරාදා ට පස්සෙ ඇවිල්ලත් නෑ ...හෙට යවන්න ඩොකියුමන්ට් ගොඩකට අත්සන් ගන්නත් තියනව බං... මොකද කරන්නෙ...." බියංකා ට ඇමතුමක් ගනිමින් සඳමිණි ඇසුවාය...
.
" ඉතින් බං ...ඔය මේසෙ උඩ තියෙන්නෙ ඇමතුම් අංක...කෝල් එකක් ගනින්කො සර්ට...හනේ උඹ වගේ මැටි එළදෙනක්...." බියංකා මහ හඬින් සිනාසුනාය...
.
" අනේ බං...එහෙම හරි නෑනෙ...."

" මේ සඳ . ..උඹ ඉස්සර රණවීර සර්ට කොච්චර නම් කෝල් ගන්නවද ..එතකොට මේ කණුකුණු මොකුත් නෑ .උඹ රජෝ මේ මොකද ඈ ..."
.බියංකා හිනාවෙන්නට පටන් ගත්තාය...
.
" අනේ බී මේ ....වඳින්නම්...රැවුල ගිනි අරන් ඉන්න වෙලෙ සුරුට්ටු පත්තු නොකර හිටපන්කො...මං තියනව..."
.
සඳමිණි යළි යළිත් සිතුවාය...අවසන මේසය මතවූ ඇමතුම් දිනපොත පෙරළා උදාර මඩුගල්ලගේ ජංගම දුරකතන අංකය සොයාගත්තාය...ස්ථාවර දුරකතනයට අත යවා මොහොතකින් ඇය තම ජංගමයෙන් ඇමතුම ගත්තාය...
.
එහා පසින් දිගටම නාද වුවත් පිළිතුරු නැත ...විසන්ධි වී ගිය පසු යළි ගැනීම සුදුසුත් නැත...සඳමිණි දුරකතනය පසෙක තබා කල්පනා කළාය...
.
රාජකාරිමය කටයුත්තක් හෙයින් උදාර ඇමතුමක් ගැනීම ගැන අමනාප නොවනු ඇතැයි සඳමිණි යළි සිතුවාය ...කෝකටත් ආයෙ වතාවක් අරන් බලනව ....
.
වාර කිහිපයක් නාද වී ගොස් එවර එහා පසින් ඇමතුම ට සම්බන්ධ වූ බව හැඟවිනි...
.
" හෙලෝ....උදාර මඩුගල්ලේ ස්පීකින්..." ඒ හඬ වෙනස්‍ ය...වෙනදා නැගෙන ගැඹුරු ප්‍රතාපවත් හඬ නැත..අධික වෙහෙසකර හඬකි...
.
" සර්...ගුඩ් මෝනින්...මම සඳමිණි ...."
.
උදාර ඒ හඬින් මඳක් තිගැස්සී ගියේය...යළිත් ජංගමය දෙස බලා එය කණට තබා ගත්තේය....
.
" කියන්න මිස් දිසානායක ...?"
.
" සමාවෙන්න සර්...කරදර කලාට...සර් එනකල් බලල මේ ගත්තේ .හෙට යවන්නම ඕන ලෙටර්ස් ටිකකට සර්ගෙ සයින් එක ඕන නිසා...." සඳමිණි සෙමින් පැවසුවාය....
.
උදාර ට අදාළ කටයුත්ත සිහිපත් වූයේ එවිටය...කීයටවත් තමාගේ ටිකට් අද කපන්නේත් නැත ...ඒ ලිපිද අත්‍යාවශ්‍ය කටයුත්තකි....
.
" මිස් දිසානායක ....මට හැකිවේවිද උදව්වක් කරන්න....ඔය ඩොකියුමන්ට් ටික අරන් මගේ ඩ්‍රයිවර් එක්ක මෙහෙට එන්න පුලුවන් ද....සොරි ඩිස්ටර්බ් කරනවට...මට මෙතනින් එන්න හැකි කමක් නෑ අද දවසටත්...."
.
සඳමිණි මොහොතක් කල්පනා කලාය....තමා එසේ යායුත්තේ කිනම් තැනකටද....එය මහා ගැටලු ගොඩක මුල වේද ? ...
.
" සර්...කොහෙද ඉන්නෙ...? " අවසානයේ ඇය සුසුමක් හෙලා ඇසුවාය....
.
" මම සුවදිසි හොස්පිට්ල් එකේ ඉන්නෙ මිස්....සිකුරාදා ඇඩ්මිට් කල ගමන්....අද ත් මාව ඩිස්චාජ් කරන එකක් නෑ....ඒකයි නැත්නම් මම කැමති නෑ කරදර කරන්න...ඔය ලෙටර්ස් ටිකත් අත්‍යාවශ්‍ය ඒවනෙ..."
.
සඳමිණි ගේ සිත යට දැවිල්ලක් බඳු හැඟීමක් ඇතිවී ගියාය...තමා මොහොතකට හෝ වරදවා සිතුවේ මෙවන් අයෙක් ගැන නොවේද...ඇයට මහා පසුතැවිල්ලක් දැනුණි....
.
" අනේ සර්..... ඇයි මොකද උනේ..... අනේ සමාවෙන්න සර්...කරදර කලාට ..මම දැන්ම එන්නම්...." සඳමිණි කලබලයෙන් කියා දුරකතනය විසන්ධි කලේ උදාරට කිසිවක් කීමටද ඉඩ නොතබාමය....
.
ලෙඩේ මොකක්දත් ඇහුව....උත්තර දෙන්න වත් තිබ්බෙ නෑ..කට්කලා...පිස්සු ගෑනුලමයෙක් ....උදාරට සිනහ ගියේය...කාලයකට පසු හදවත සැහැල්ලු බවකින් උතුරා යන්නට තැත් දරනු ඔහුට හැඟේ .....ඒ කිමෙක් නිසාදැයි ඔහු දිගින් දිගට නොසිතුවේය ..
.
*****************************

සඳමිණි බියංකාට කෙටි ඇමතුමකින් යන බව කියා වාහනයට ගොඩ වූවාය...කිසිදා නොවූ විරූ තරමට සිතට බරක් දුකක් එක්වී ඇත... ඒ කිමෙක් නිසාදැයි ඇය යළිත් සිතුවාය...
.
සුවදිසි රෝහලේ පිවිසුම් දොරෙන් බැස වාහනය රිය අංගනයට යවා සඳමිණි විමසීම් කවුන්ටරය වෙත ගියාය...
.
" රූම් නම්බර් ටූසීරෝෆෝ....මැඩම්..."
.
සඳමිණි කාමර අංක 204 ඉදිරිපස මඳක් පැකිලෙමින් සිතමින් උන්නාය ...ඇතුළේ කවුද ඉන්නෙ දන්නෙ නෑ....කමක් නෑ .මම ආවෙ රාජකාරියකට නෙ....
.
ඇය සෙමින් දොරට වරක් තට්ටු කලාය...ඉන් පසු හෙමින් දොර විවෘත කලාය...
.
එන්න මිස්....
.
උදාර මඩුගල්ලේ ඇඳෙහි විට්ටමට එසවෙමින් පැවසීය.. අන් කිසිවෙක් කාමරයේ නැත...එය එක් අතකින් පහසුවකි.....

සර් ...මොකද උනේ.....
සඳමිණි ලිපි ගොනුව අසල වූ කබඩය මත තැබුවාය...උදාර තවමත් ඇඳ විට්ටමට සැකසෙන්නට වෙර දරයි...අතේ වූ කැනියුලාව නිසා ඒ අතට බර දීමටද නොහැක...
.
" ඉන්න සර්...." සඳමිණි ඔහුගේ කොට්ටය සකසා තබා සෙමින් උරහිසට වාරු දුන්නාය...හිතේ කිසිදු අහිතක් නැත...
.
"බොහොම පිං ....උදව් කලාට..." උදාර හිනැහෙන්නට තැත් දරමින් කීවේය... හිත යට මහා කලබලයක් මතුවෙන්නට අර අඳී.....උදාර නොසන්සුන් බව මැඩලා ලිපි ගොනු වෙත අත දිගු කලේය....


10. නව වෙනි දිග හැරුම

අම්මා මිය ගොස් වසර දහහතක් පිරෙන දා මෙහෙණි ආරාමයට දානයක් දෙන්නට සඳමිණි මෙවරද සිතුවාය.... බියංකා සමග ඒ ගැන කතාබස් කලේ මින් මොහොතකට පෙරය...
.
" තාත්තා ගෙදර ජයට දානෙ දෙයි මේ පාරත් .....මම ඉතින් එයාට මැරිච්ච දුවෙක් වුණා සුධීර නිසා....එච්චර ම දරුවෙක්ව අමතක කරන්න පුලුවන් ද බී තාත්තෙක්ට... " සඳමිණි සුසුමක් හෙලා පැවසුවාය ....
.
" ඇත්තෙන්ම බං.....සල්ලි කියන්නෙ මහ නරුම දෙයක්....බැඳීම්, හැඟීම් ඔක්කොම උගසට ගන්න මහම මහ කාලකණ්නි දෙයක් ඕක...." බියංකා බීම වීදුරුවේ වටයට බැඳෙන ශීත බිඳු අතින් එක්කාසු කරමින් පැවසුවාය....
.
" මං දුවෙක් විදියට එයාල කියන විදියට උන්න..ඉගන ගත්තෙ එයාලට ඕන විදියට...ඇන්දෙ පැලැන්දෙ එයාල කියන විදියට...නිදහසක් වින්දෙ නෑ ...එකම දරුවා කියල මාව හිරකලා විතරයි .....ඒත් මං වචනයක් කීවෙ නෑ බී....."
සඳමිණි හිත දිගහරින්නේ එහෙමත් වෙලාවක බව දන්නා බියංකා නිහඬවම අසා උන්නාය...
.
" මං ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ බී...මං කැම්පස් කාලෙවත් ආදරේ ට මගෙ ජීවිතේ අහලකට එන්න ඉඩ තිබ්බෙ නෑ...ඒ තාත්තා ට බයේ ...තාත්තා මට කැම්පස් යන්න දුන්නෙ ආදර සම්බන්ධයක පැටලෙන්නෙ නෑ කියල පොරොන්දු කරවගෙන .....".
.
" අනිත් කොල්ලො කෙල්ලො ආදරේ කරද්දි මං ඉගන ගත්තා...පොත් ගුල්ලියක් උනා...ෆස්ට් ක්ලාස් එකක් අරන් ඩිග්‍රි එක කලා...ඒත් මට මාව අතෑරුණා බී...මට අන්තිමේ මාවම නැතිඋනා....".
.
සඳමිණි ගේ හඬ බිඳීයමින් පැවතුණි....තමා කෙරෙහි තමා තුළ උපදින අනුකම්පාව තරම් කෙනෙකු අසරණ කල හැකි වෙනත් මනෝ භාවයක් මිහිපිට ඇත්දැයි සිතාගත නොහැක....
.
" අන්තිමට ..මගේ ජීවිතේ හොඳම කාලෙ සල්ලි පස්සෙ යන සල්ලාලයෙක්ට බිලි උනා....මං නැත්තටම නැති උනා බී.....මට වෙලාවකට ඇත්තෙන්ම ජීවිතේ අප්පිරියයි...." සඳමිණිගේ දෑසින් කඳුලක් බිමට කඩා හැලුණි.....
.
අත් බෑගයේ ඇතුලට අතදමා ලේන්සුව අතට ගෙන ඇසට තබා තද කලද උරහිස් ගැස්සෙන හෙයින් ඇය හඬන බව පිටතට පෙනේ....බියංකා වටපිට බැලුවේ අඳුනන කිසිවෙක් ඇත්දැයි විමසිල්ලෙනි...නැත ....අඳුනන කිසිවෙක් අසලක හෝ නැත....
.
" සඳ..... දැන් ඔය ඇති....අපි යං ...යන ගමන් කතාකරමු.... දානෙ ලබන සඳුදනෙ....අපි ඒකට සූදානම් වෙමු....."
.
සඳමිණි හිස වනා නැගිටගත්තාය....ඇස් දෙක ම තඩිස්සි වී ඇත ....ඇය බිමට හැරවූ නෙතින් සිටියදී බියංකා ත්‍රී රෝද රථයකට අත පෑවාය...ඔවුන් එයට ගොඩ වෙද්දී.....
.
මාවත එහා පසින් නැවතූ වාහනයක දෑසක් .....ඔවුන් දෙස විමසිල්ලෙන් බලා සිටිනු ඔවුන් දුටුවේ නැත......
.
*****************************

සිකුරාදා කාර්‍යාලය ට පැමිණි පසු සඳමිණි , උදාර මඩුගල්ලේ වෙත නිවාඩු අයදුම් පතක් රැගෙන පියමැන්නාය...
.
" සර්...මට සඳුදට ලීව් එකක් ගන්න පුලුවන් ද....? "
.
උදාර මඩුගල්ලේ යනු වචනයේ පරිසමාප්තියෙන්ම උදාර පුද්ගලයෙකු වීමෙන්...සඳමිණි ක්‍රමානුකූලව ඔහු ගැන තිබූ අනියත බිය හා තිගැස්ම හැර ගත්තාය ....
.
" ආ... අත්‍යාවශ්‍ය කාරණයක් ද මිස් දිසානායක ....මට සඳුදට ලෙටර්ස් ටිකක් ඩ්‍රාෆ්ට් කරගන්නත් තියනවා....ම්..ම්...."
.
" සර් ..මම අද ඒ ටික කරන්නම්....සඳුදට අත්‍යාවශ්‍ය ම දේකටයි නිවාඩුව ඉල්ලුවේ නම් ...."
.
උදාර මඩුගල්ලේ විමසුම් ඇසින් සඳමිණි දෙස බැලුවේය... මේ තාක් කල් ඇය හා එක්ව වැඩ කලද පෞද්ගලික කිසිදු කාරණාවක් ගැන විමසා හෝ කතාබහ කර නැති හෙයින්....උදාර මඩුගල්ලේ මඳක් පැකිලුණේය....
.
" මොකද ....මිස් දිසානායක බලන්න මනමාලයෙක් වත් එනවද සඳුදට...."
.
සඳමිණි තිගැස්සී ගියේය....තමා ගැන කිසිවක් රණවීර මහතා වෙතින් නව ප්‍රධානියා දැනගෙන නොමැත ....ඒ හැරෙන්නට සේවා ස්ථානයේ කිසිවෙක් උදාර මඩුගල්ලේ හට තවකෙකුගේ කේලමක් හෝ පෞද්ගලික කාරණාවක් කීමට නම් ළං වන්නේද නැත.....
.
සඳමිණි බිම බලා සුසුමක් හෙලුවාය....තම පෞද්ගලික කාරණා ප්‍රධානියා හමුවේ දිග හැරිය යුතු නැත .ඇය දිරි වඩා හිස එසවූවාය...
.
"මගේ අම්මා නැතිවෙලා මේ සඳුදට අවුරුදු දහහතයි සර්... මම අම්මා වෙනුවෙන් මෙහෙණි ආරාමයකට දානයක් දෙනව එදාට....ඒකටයි නිවාඩුව ඉල්ලුවෙ...."

. උදාර මඩුගල්ලේ ... මඳක් තිගැස්සී ගියේය... තමා අනවශ්‍ය විහිලුවක් කලේදැයි ඔහු මොහොතක් සිතීය ...
.
" ආම් සොරි....මිස් දිසානායක ...රියලි සොරි....ඕකේ යූ කැන් ගෙට් ද ලීව්...
අපි අඟහරුවාදා ට ලෙටර්ස් වල වැඩේ කරමු...." සිය අත්සන යොදමින් නිවාඩු ඉල්ලුම් පත නැවත දිගු කල උදාර මඩුගල්ලේ සුසුමක් හෙලා බිම බලාගත්තේය...
.
සඳමිණි මඳ සිනහවක් පා නිවාඩු ඉල්ලුම් පතද රැගෙන සිය අසුනට ගියාය...පරිගණකය දෙසට නෙත් යොමා උන්නද උදාර මඩුගල්ලේ ගේ සිත තිබුණේ බොහෝ දුර ගොසිනි... අහේතුකව ඇයගේ සිත මෙන්ම තමන්ගේ සිත ද එකම කාරණයක් නිසා රිදවී ඇත .....
.
අමතක කර දමන සියල්ල දියේ එබූ රබර් බෝලයක් සේ ඉල්පි ඉල්පී මතුවෙයි....උදාර සිය නළල ඇඟිලි තුඩින් මිරිකා ආවේගය යටපත් කරගන්නට වෙර දැරීය....එද අසාර්ථක වූ සැණ.... අසුනෙන් නැගිට කාමරයෙන් පිටතට වේගයෙන් ඇවිද ගියේය ....
.
සඳමිණි තුශ්නීම්භූතව බලා උන්නාය ...සිදුවූයේ කිමක්දැයි ඇයට වටහා ගත නොහැකි විය....කුමක් හෝ කාරණයක් නිසා ඔහු අතිශය කලබල වූ බව ..නොසන්සුන් වූ බව සහ වේදනාවට පත්වූ බව නම් පැහැදිලිය... එහෙත් එය තමා හේතු කොට ගත් කිසිවක් වීමට නොහැකිය.....සුසුමක් හෙලූ ඇය ප්‍රධාන ලිපිකරු වෙත නිවාඩු අයදුම් පත බාර දීමට නැගී උන්නාය.....

*****************************
.
උදාර මඩුගල්ලේ නිවෙසට පැමිණියේ දරුණුවටම පෙළන හිස රදයක් ද සමගය.....ජීවිතයේ කාර්‍යබහුල බව බොහෝ වේදනාවන් සමනය කලද ....තමා අසරණ වන වේදනාවකට කාර්‍යබහුල බවට වත් කිසිවක් කල නොහැකි බව ඔහු වටහා ගත්තේය....
..
කාලය බොහෝ දුරකට ඇවිද ගොස් ඇතත්....වසර අටකට පෙර අම්මා සහ තාත්තා මිය ගිය හදිසි අනතුර උදාර මඩුගල්ලේගේ සිත මහා වරදකාරී බවකින් නිතර පෙළාලයි....
.
ඒ දවසට නැවත දුව ගොස් වෙනස් කල හැකි නම්....යැයි ඔහුට යළි යළිත් සිතෙන්නට ගත්විට හිස පුපුරා යන තරමේ වේදනාවක් යළි යළිත් දැනෙන්නට පටන් ගනී....
.
" සුදු මහත්තය....ඇයි දෙයියනේ මේ........." සුමනේ තේ බඳුන රැගෙන කාමරයට පැමිණි පසු උදාර සිටිනා ඉරියව්ව දැක කෑගසාගෙන ඔහු වෙත පැමිණියේය....
.
" දෙයියනේ ...සහලෝල උණ....ඇයි රත්තරං මහත්තයෝ මට කතා නොකලේ....." සුමනේ ගේ හැඬුම්බර හඬ උදාර මඩුගල්ලේ ගේ සවනට ඈතක සිට මෙන් ඇසෙන්නට විය .....
.
වදෙන් පොරෙන් මෙන් ගත ලූ වස්ත්‍ර සියල්ල උනා දමා තෙත රෙදි කඩකින් ගත තෙත මාත්තු කර සැහල්ලු ඇඳුමක් ගත දවටා... බලා උන්නද.... උණ බැසීමක් පෙනෙන්නට නැත ....
.
සුමනේ පහත මාලයට දිව විත් දුරකතන අංක ලියූ පොත පෙරලා අංකයක් සෙවීය ...වහ වහා ඇමතුමක් ගත් ඔහු ගේ හඬ ඉකිබිඳුමක් බවට ම පත්විය...
.
" අනේ තාරක මහත්තයො ඉක්මනින් එන්න ...සුදු මහත්තයා ට හොඳටම උණ....අනේ ඉක්මනින් එන්න....කල්පනාවත් නෑ වගේ ...." සුමනේ කෑගසමින් කීය....
.
විනාඩ් දහයක ඇවෑමෙන් ගේට්ටුව අසල නාද වන රිය නලා හඬින් ස්වයංක්‍රීයව ගේට්ටුව හැර දුන් සුමනේ ප්‍රධාන දොර විවෘත කර බලාඋන්නේ වෛද්‍ය තාරක එනතුරුය...
.
" කෝ උදාර කොහෙද...? "

සුමනේ කිසිත් නොකියා උඩුමහල වෙත කඩිනමින් දිව ගියේය....තාරක ඒ පසුපසින් කඩිනමින් කාමරයට ඇතුල් විය...
.
මූලික ප්‍රතිකාර වලට පසුව සුමනේ ගේ ආධාරය සහිතව උදාර වාහනයට නංවා ගත් තාරක වහා සිය සේවා ස්ථානය වූ සුවදිසි පෞද්ගලික රෝහල වෙත ධාවනය කලේය....


09. අට වෙනි දිග හැරුම


උදාර මඩුගල්ලේ කාර්‍යාලයට පැමිණෙන විට හත පසුවී විනාඩි හතළිස් පහක් ගතවූවා පමණි....මේ වන විට කාර්‍යාල කාමරයේ කිසිවකු සිටිය නොහැකි බව උපකල්පනය කල ඔහු එක්වනම දොර හැරගෙන කාර්‍යාලයට ඇතුල් විය....
.
සඳමිණි උන්නේ කබඩයේ ඉහළ තට්ටුවක ඇති ලිපි ගොනු සකසමිනි.... ඔසරියට නිරාවරිත බඳ ගැන වගේ වගක් නොවූයේ ....කාර්‍යාල කාමරයේ කිසිවෙක් නොඉන්නා බැවිනි.....උදාර මඩුගල්ලේ තම මේසය වෙත ඔසවන පා එක්වනම නවතා මඳක් පමා විය...යන මග ඇය අහුරාගෙනය...තමා ආ බවද නොදන්නීය....ඇය දුටු මනතින් හිතේ යම් ගැස්මක් ඇතිවී නැතිවී යනු ඔහුට දැනුනි..... ඒ හැඟීම ඔස්සේ හිත වෙහෙසවන්නට උදාර ට අවශ්‍ය නොවීය....
.
උදාර මඩුගල්ලේ....හෙමින් උගුර පෑදුවේ..තව දුරටත් එසේ සිටීමට නොහැකි නිසාවෙනි.....
.
සඳමිණි තිගැස්සී උන්හිටි තැන් අමතක ව උඩබිම බැලුවාය....
ඉන් පසු වහා පසෙකට වී ඔහුට ඉඩ දුන්නාය....උදාර කඩිනම් ගමනින් ගොස් අසුනට බර විය ...
.
" ගු..ගු...ගුඩ් මෝනින් ස්..ස්..සර්..."
ඇය තත්පර ගණනාවකට පසු කියාගත්තාය....
.
" ගුඩ් මෝනින් මිස්.... ඔය තත්වෙ ගොඩක් කල් ඉඳල තියන එකක්ද මිස් දිසානායක...." උදාර කිසිත් ගණනකට නොගෙන ඇසීය...
.
" ස්..ස්..සර්....ම්..මොකක්ද...සර්...?"
සඳමිණි....විමතියෙන් ඇසුවාය....
.
" නෑ ඔය ගොතගහන එක....මං එක්ක කතාකල හැම දවසෙම මිස් ගෙ ස්ටැමරින් එක මම නෝට් කලා....ඕක ගොඩක් කල්ද...ප්‍රතිකාර මොකුත් ගත්තෙ නැද්ද ...? " උදාර කිසිත් සිනහවක් නොමැතිව බැරෑරුම් ලෙස ඇසීය....
.
සඳමිණි ට පොළව පලාගෙන යන්නට ඇත්නම් යැයි සිතී බොහෝ වේලාය...ඇය නිරුත්තර ව බිම බලාගෙන උන්නාය...උදාර මඩුගල්ලේ තමා විහිලුවකට ගත්සෙයකි.....එක අතකට තමා අත වරද ඇත....අනවශ්‍ය ලෙස ආතතියකින් යුක්තව සිටීම මීට හේතුවය...
.
සඳමිණි සිහින් සිනහවක් පා ....ඇයගේ කටයුත්තෙහි නැවත නියැලුණාය...එහෙත් ඇස දවාගෙන එන කඳුලක් තවම සිරවෙමින් හිත පාරවාලයි... නව ප්‍රධානියා ...නැත ...තව දුරටත් ඔහු නව ප්‍රධානියා නොවේ....ඔහු වර්තමාන ප්‍රධානියා බවට පත්ව ඇත...තමා සුපුරුදු ලෙස රාජකාරිමය ස්වභාවයට අවතීර්ණ විය යුතුය....සඳමිණි දැඩිව සිතට අවධාරණය කලාය...
.
" මම විහිලුවක් කලේ මිස් දිසානායක ..... අනවශ්‍ය විදියට ටෙන්ශන් වෙන්න ඕන නෑ මා එක්ක වැඩ කරද්දි....මිස්ටර් රණවීර මිස් ගැන හොඳ රෙකමන්ඩේශන් එකකුත් දුන්නනෙ....දැන් රිලැක්ස් වෙලා වැඩ කරන්න.... " උදාර මඩුගල්ලේ මේසය මත සිය පරිගණකය දිග හරිමින් පැවසීය...
.
" හොඳයි සර්..." සඳමිණි එපමණකින් පමණක් නැවතුණාය....සිත සැහැල්ලු වෙමින් පවතී .....
.
" මිස් දිසානායක ගෙ කම්පියුටර් ක්නොලේජ් එක කොහොමද ....? "
" සර් මම කම්පියුටර් සොෆ්ට්වෙයා හයර් ඩිප්ලෝමා එකක් කරල තියනව...මැනේජ් කරගන්න පුලුවන් ....ප්‍රෝගැමින් කරන්නත් පුලුවන් .... "

"එහෙනම් හොඳයිනෙ...මං හිතුවෙ අර එදා කවුද මිස් කෙනෙක් ව ගන්න කියලා යෝජනාවක් ආව නිසා ඒ ගැනත් සලකා බලන්න...ඉතින් මෙච්චර සුදුසුකම් තියනවනම්...මම ඒ ගැන වොරි වෙන්න අවශ්‍ය නෑනෙ....නේද...? "

සඳමිණි නිහඬ සිනාවක් පා බිම බලාගත්තාය.... උදාර මඩුගල්ලේ සිය ලිපි ගොනුවක හිත රඳවා ගැලී ගියේය...ඔහු රාජකාරිය ට හිත යෙදවූ පසු නැවත එයින් මිදෙන්නේ නැති බව සඳමිණි මේ දින කීපයට වටහා ගත්තාය....රාජකාරිය පළවෙනි තැනට පත් කරගන්නා සිය ප්‍රධානියා පිළිබඳ මනා පැහැදීමක් ඇය තුළ ද ඇතිවී තිබුණි.....
.
*****************************

අම්මා මිය ගියේ සඳමිණි ට වයස පහළව සපිරුණාට පසු නොබෝ දිනකිනි....සඳමිණි පවුලේ එකම දරුවා වීමත් අම්මා නිදන්ගත හෘද රෝගයකින් පෙළීමත් අතර සම්බන්ධයක් විය... සඳමිණි ගේ උපතේ දී වෛද්‍යවරුන් අම්මා සහ තාත්තා ට දැඩිසේ අවදානම ගැන අවවාද කර සිටීම හෙයින් තවත් දරුවෙකු ගැන නොසිතා සිටින්නට ඔවුන් හට සිදුවිය....අම්මා මියගොස් දැනට වසර දහහතකි... සිරිත් පරිදි නිවසේ දුන් දානමානාදියට සඳමිණි ගේ සහභාගීත්වය වැලකී දැන් වසර කිහිපයකි...එය සිදුවූයේ සුධීරගේ තහනම් නියෝගයන් හෙයිනි....තාත්තා ඒ සියල්ල දැන දැනත් සුධීරගේ පාර්ශ්වයම ගන්නට හේතුවූයේ දරු සෙනෙහස ට එහා බිස්නස් ලෝකය ප්‍රබල වූ නිසාදැයි සඳමිණි සිතුවාය.....

ඒ කෙසේ වතුදු තාත්තා ගැන සඳමිණි අහිතක් නොසිතා ඉන්නට බෙහෙවින් තැත්කලාය...නමුත් තමාගේ ජීවිතය ව්‍යාපාර කටයුත්තකට හිලව් කොට ගෙන සුධීරට උගස් කල දා සඳමිණි ජීවිතේ මුල් වතාවට තාත්තා ගැන කලකිරුණාය....තමාගේ කීකරු කම සහ අසරණ කම තාත්තා අයුතු ලෙසින් පාවිච්චි කලා නොවේදැයි ඇය එදා සිතුවාය.....
.
ජීවිතය මේ සා විඩාබරිත වී ඇත්තේ අනුන් විෂයෙහි සිය ආශාවන් කැප කල නිසාවෙන් නොවේද . .? ජීවිතය යනු කෙතරම්ම සුන්දර එකක් වන්නට එසේ නොවී නම් ඉඩ තිබෙන්නට ඇත්ද ....?





08. හත් වෙනි දිග හැරුම......



උදාර මඩුගල්ලේ .... වසර හතරකට පසු ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර දිවයිනට පැමිණ මාස හයකට පසු රජයේ සේවයට එක් වීය.... ජීවිතය ඉගනීමත් රාජකාරියත් අතරම ගෙවී ගොස්‍ ය ...
.
විදේශ ගතවීමට පෙර අමාත්‍යාංශ ලේකම් ධූරයක සේවය කලද...නැවත පැමිණි පසු ජනතාව අතරට යෑමේ බලවත් වුවමනාවක් ඔහුගේ සිතෙහි ජනිත වීම මෙම තනතුර බාරගැනීමේ ප්‍රධාන හේතුව විය....
.
නිවසට පැමිණ නාන කාමරයට වැදුණ ඔහු සිත්සේ නාගත්තේ.. දිවා කල දාහය බෙහෙවින්ම සිරුර හෙම්බත් කර ඇති හෙයිනි... ඇමරිකාවේ ගතකල වසර කිහිපය තුළ ජීවිතය හුරුවූ දේශගුණික තත්වයන් තවමත් ලංකාවට පැමිණ මාස හයක් වෙද්දීත් ශරීරය පිළි නොගන්නා සේය....
.
" සුදු මහත්තයා ....තේ එක..." නිවසේ සහයට ඉන්නා සුමනසිරි බැල්කනියෙහි අසුන්ගත් උදාර වෙත තේ බන්දේසිය පෑවේය....
.
තේ බඳුන අතට ගත් උදාර සුමනසිරිගේ ඊලඟ පැනය ඉවෙන් මෙන් වටහා ගෙන මඳ සිනහවකින්..

" බත් නම් එපා සුමනෙ....සුප් එකක් ඇති...." පැවසීය....
සුමනසිරිගේ මැලවුණ මුහුණ දකිනවිට උදාරට සිනායන්නට ආවත් තමා කෙරෙහි ඇති ලෙන්ගතු කම නිසාවෙන් තුන් වේලටම බත්, මාලු, ව්‍යංජන හදන්නට , උත්සාහ දරන අහිංසක පුද්ගලයා ගැන උපන් අනුකම්පාවෙන් සිනහව යටපත් කරගත්තේය...
.
" දවල් උත්සවේදී කැවුණා වැඩියි සුමනෙ....තාම බඩ උස්සගන්න බෑ ..රැටත් බත් කෑවොත් නින්ද යන්නෙත් නැතිවෙයි...."
.
සුමනසිරි හැරී ගියාට පසු උණුබව අඩුවී නොගිය තේ කෝප්පය මුවගට තබා ගත් උදාර දෑස් පියාගත්තේය....වැසූ නෙත් අතරට අනවසරයෙන් පැමිණියේ දහවල් දේශන ශාලාව අභිමුවදී තම සිරුරේ ගැටී විසිව යද්දී අල්ලාගත් ඒ රුවයි....
බියෙන් මෙන් වැසුණ ඒ දෑස්, උඩුතොලට උඩින් මතුවූ දහඩිය බිඳු...ඇස් ලඟ ලං ලං ව පෙනී නොපෙනී ගිය අන්දම හිත නුහුරු හැඟීමකින් පුරවාලීය...
.
"පිස්සු කෙල්ලෙක්....." හවස පාරේදී රියේ නලා හඬට විශාල වූ ඇයගේ නෙත් සහ ඉන් පෙර ඇයගේ දඟකාර ඉරියව්ව මතක් වී උදාරට යළි සිනහා ගියේය...
.
කාන්තාවන් විශයෙහි උදාරගේ විශේෂත්වයක් කිසිදු විට ඇති නොවූ හෙයින් සඳමිණිගේ හැසිරීම පවා කුඩා දැරියකගේ දඟකාරකමක් ලෙස හිතනවාට වඩා අමුතු හැඟීමක් ඔහු තුළ ඇති නොකලේය.....

***************************

සඳමිණි රාත්‍රී ආහරය ගෙන වැරැන්ඩාවේ පුටුවට වී දෙපා ඒ මතට ගෙන ගුලි වූවාය
.හෙට දවසේ තමන් කිනම් අංශයකට අනුයුක්ත වනු ඇත්දැයි සිත ට සිතාගත නොහැක....අලුත් ප්‍රධානියා සිය පෞද්ගලික කාර්‍ය මණ්ඩලය අලුතින් පත්කරගනු ඇත.....
.
දික්කසාදයට පසු විවිධාකාර පුද්ගලයන්ගේ අනවශ්‍ය සෙවුම් බැලුම් හිත බෙහෙවින් ඔද්දල් කරවන සමයක් පැමිණෙමින් තිබුණි....සාමාන්‍ය ලෝක රටාවට ගැලපෙන්නම තනිවූ ගැහැණිය දෙස අනවශ්‍ය ඇසින් බලා ළංවන්නට තැත් දරන්නන් එමට බව ස්ත්‍රී නුවණින් සඳමිණි වටහා ගත්තාය ....කිසිදු විට හුදෙකලා නොවීමටත් රාජකාරිය අකුරටම ඉටු කිරීමටත් වග බලාගන්නා හෙයින් ද රණවීර මහතාගේ ආරක්ෂාව යටතේ ඒ කාමරයේම උන් නිසාවෙන්ද....ආරක්ෂාව සුරක්ෂිත විය...
.
එහෙත් හෙට සිට....... එන දේකට මුහුණ දෙනවා මිස කුමක් කරන්නදැයි ඇය යළි යළි ත් සිතුවාය.....

***************************
වෙනදාටත් වඩා උදෑසනින් සේවයට වාර්තා කල සඳමිණි... නව ප්‍රධානියාට අවශ්‍ය වන ලිපි කටයුතු සියල්ල නොපිරිහෙලා ඉටු කලාය ...
.
කවුරු ආවත්.. වැඩ ටික පිළියෙළ කරල ගියාම ඒ කෙනාටත් ලේසියි සර්ටත් ලේසියි..... ඈ තනිවම මුමුණාගත්තාය...ඉදිරි මාසයේ දින කිහිපයේ සහ ඉන් ඔබ්බට එන මාසයේ ඇති සියලුම විශේෂ හමු සහ රැස්වීම් මෙන්ම කල යුතු කාරණා සියල්ල ලිපි ගොනු ගත කල ඇය සියල්ල ප්‍රධනියාගේ මේසයට ඔබ්බෙන් වූ කුඩා මේසය මත තැබුවාය .....
.
සිය මේසය ද පිළිවෙල කල ඇය සියලුම දේ නිවැරදිව ඇත්දැයි නැවත නැවත විමසා බලා සැනසුම් සුසුමක් හෙළද්දීම කාමරයේ දොරට තට්ටු කිරීම් දෙකක් සමග දොර ඇරුණි......
.
උදාර මඩුගල්ලේ .... නව ප්‍රධානියා....දොරෙන් ඇතුල් වත්ම සඳමිණි නැගී උන්නාය...

" ගුඩ් මෝනින් සර්...."
" ගුඩ් මෝනින් මිස්...." මඳ සිනහවක් සමග සිය අසුන වෙත පැමිණි උදාර මඩුගල්ලේ හිඳ ගැනීමට පෙර කාමරය සිසාරා නෙත් හෙලීය....
.
ඉන් අනතුරුව අසුනට බරදී මේසය මතවූ සීනුව එක් වරක් හැඬවීය....
.
කාර්‍යාල සහායක නිමල් වහ වහා මේසය අසල සීරුවෙන් සිටගත්තේය....
.
" නම ..මොකක්ද...?"  උදාර මඩුගල්ලේ ඔහු දෙස බලමින් ඇසීය....
.
" මම නිමල් සර්...."
.
" හොඳයි නිමල් ....මට මේ කාමරයේ අනවශ්‍ය බඩු ටිකක් තියනව ....ඒවා යවන්න හැකි තැනක් තියද ..මේ කබඩ්, මේස ප්‍රමාණය මට වැඩියි ...."
.
" හරි සර්....අදම ඒ ටික යවන්නම් තැනක් බලල  ..සර් අවශ්‍ය දේ කියන්න...මම කරන්නම්..." නිමල් පිළිවදන් දුන්නේය...
.
" ආ...හරි....දැන් යන්න..මම අටට දේශන ශාලාවට එනවා.. දැනුම් දෙන්න අවශ්‍ය අයට...."
.
නිමල් නික්ම ගිය පසු උදාර මඩුගල්ලේ තවමත් හිටගෙන බිම බලා සිටින සඳමිණි දෙස නෙත් හෙලීය...
.හරියට ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඉස්සරහ ඉන්නව වගේ....ඔහුට සිනහවක් විත් එය යළි සැඟවී ගියේය.....