Tuesday, January 31, 2017

32. 70 දශකයේ ඉපදුණ ළමයි (2 කොටස )


මම නිකම් ඉස්පාසුවක් නැතුව ලියන්න අරන් වගේ මට හිතෙනවා....නමුත් ඒ ආසාව වැඩි කලේ ඔබයි....මගෙ මතක ඇවිස්සෙද්දි ඔබ මාව තවත් දිරිමත් කලා...කාලයක් ගොඩක්ම ලිව්ව කෙනෙක් විදියට මගේ ලිවීම මගදි අඩපණ වුනේ..මුහුණු පොත නිසා....ඒකෙන් මිදෙන හොඳම මග ලෙස මම දැක්කෙත් ආයෙම පටන් ගත්තෙත් බ්ලොග් ලිවීම...

ජීවිතේ හැමදාම එක වගේ නැහැ..මම කාර්ය බහුල රස්සාවක යෙදෙන කෙනෙක්... සමහරක් විට ඉදිරි මාස වල මේ සීග්‍රතාවය අඩාල වේවි...ඒත් ලිවීමේ සා පිපාසාව නොසන්සිඳේවා කියලා මම මා වෙනුවෙන් පතනවා




අර කියවන් ගිය කෑම ජාති වල රස අමතක වෙන්න කලින් ඔන්න මේ දෙවනි කොටසට ආවා....මුල් කොටස මෙතනින්

ඔය 70 දශකය තුළ උපත ලද අය ට මතක ඇති සීනි කූරු වගයක් තිබුනා...සුදු පාට හුණු කූරක් වගේ කූරෙ රෝස / කොළ වගේ පාටින් ඉරි වැටිච්ච...කන්න ගන්න කොටම දියවෙමින් යන....මට ඒකට සීනිකූරු කියනවට වඩා අනන්‍ය නමක් එන්නෙ නෑ...කොහොම හරි මට මතක කාල ඉවර වෙද්දි උඩ තල්ල හම ගිහින් කියන එක...

එතකොට අර හූණු බිත්තර  / කඩි බිත්තර කියල කියපු සීනිබෝල ජාතිය..මැදට දුරු ඇටයක් දාල තිබුනෙ ..පාට පාටින්...ඉස්සර අපි දහම් පාසල් යද්දි...ලොකු හාමුදුරුවන් ගාව මේ තඩි බෝතලයක් තිබුනා...ලමයිටික පේලියට තියලා අල්ලට ටික ටික බෙදනවා....මට තාම මතකයි...

ඔය කඩවල් වල තිබුණ කෑම ජාති වලට අමතරව ගස් වල තිබ්බ නොකෑ දෙයක් තියේද කියල මම ආයෙම හිතුවෙ....අර මගේ අරපිරිමැස්ම පෝස්ටුවෙ ලිඛිතා දාල තිබුණ කොමෙන්ට් එකත් එක්ක...ගස් වල කුරුඳු පොතු ගහේ තියෙද්දිම උලාකෑව මතකය මටත් තියනවා...

අද කාලෙ අපේ ළමයින් මේව කියෙව්වොත් 
හිතාවි...එක්කො මේ බඩජාරි කම කියල නැත්නම් හිතාවි අම්මලට ඒකාලෙ තිබුන බඩගින්න...ඇයි ගෙදරින් කන්න දුන්නෙ නැද්ද කියල...

අපේ ගම මැද්දෙන් ගලා ගියා ප්‍රධාන ගංගාවක අතු ගඟක්...ගඟේ නාන්න යන හැම විටකම ගඟට නැමුණ අත්තික්කා ගස් වල කිරි සහ කහට රස මුසු ගෙඩි කන්නත් අපි හරිම ආසයි....අත්තික්කා ගෙඩියක් දෙකට කැඩුවම ඒකෙ මැද රේනු අස්සෙ පොඩි පණුවො...කෝඳුරුවො නැතුවාම නෙවේ....ඉස්සර ගැමියො කිව්වලු කෝඳුරුවන් උපත ලබන්නේ අත්තික්කා ගෙඩි වලින් කියලත්....කට වහරෙන් අහුලා ගත්තු කතාවක් ඒක...

ගොඩපර කාල තියද....ඇඹුල්...කහට..හීන් පැනි රසක් එක්ක මුසු වුන ගොඩපර ගෙඩි කන්නෙ නිකම් ගහට වඳුරො වැහුවා වගේ..කටකලු පාට වෙන නිසාම කටකලුවා නමින් හැඳින්වුණ බෝවිටියා ගෙඩි ....දං පඳුරු වල පිරුණ දං ..කටු ගොඩේ සීරෙමින් කඩාගෙන කෑ එරමිණියා සහ ඇඹිල ....රස එකින් එක මනසට එකතු වෙනවා...



ගමේ ඇළදොළ වල පිපුණ නෙලුම්..ඕලු මල් වල ගෙඩි..( බට්ටො ) කන එක මම හිතන්නේ ඒ කාලෙ ඕනම ලමයෙක් ආසාම කල දෙයක්....ඕලු ගෙඩියෙ නම් පුංචි පුංචි ඇට ගොඩක් තිබුනෙ..කිරි රසට....නෙලුම් බට්ටා ඊට ලොකුයි..මැද තැනින් තැන තරමක ඇට...ඒවාත් කිරි රසයි......


අද ගමට ගියාම ඔය එක ගඩා ගෙඩියක් දකින්න ලැබෙන්නෙ නෑ.....කාලය එක්ක ගම ත් සංවර්ධනය වුනා...ගමේ සොබා සිරිය වැනසුනා...අද ඒක තවත් සීග්‍රයෙන් වැනසෙන බව ඇස් පනාපිටම අපි දකිනවා....
මතකයක අහුරා ගෙන පමණක් මේ අපූරු රසවත් අත්දැකීම් ලෝකයට දෙන්නයි දැන් අපට වෙලා තියෙන්නෙ

ජනවාරි මාසෙට සටහන් නවයක් ලියලා...මේ නව වැන්න...ඉතින් ආයෙම මාසෙකින් හමුවෙමු නේද...ඒ කියන්නෙ හෙටින් පස්සෙ පෙබරවාරි මාසෙනෙ

Sunday, January 29, 2017

31. එයයි මමයි






මෙන්න මේ ලියවිල්ල තුළට යන්න කලින්...මේක මම කියන්න ඕන..

මේකෙ ඉන්න එයා ....ඕනෑම පිරිමියෙක් වෙන්නත්...
මේකෙ ඉන්න මම ...ඕනෑම ගැහැණියක් වෙන්නත් ....
පුලුවන් බව....

නැත්නම් මේක මගෙ කතාව කියලා ...වරදවා වටහා ගන්න ඉඩක් තියන නිසයි...මුලදිම එයාගෙයි මගෙයි අයිතිය ....සමස්ත පිරිමි ගැහැණු දෙපාර්ශ්වයටම පැවරුවෙ.....
අඩුවැඩි වශයෙන් තම තමන්ගෙ ආලවට්ටම් මේකට එකතු කරලා මේක තමන්ගේ කතාව කරගන්න එක හෝ අනේ මේ මොන විකාරයක්ද කියල අහකට දමන එක ත් ඔබටම බාරයි.....

ගැහැණු යි පිරිමියි ආදරේ දකින විදියයි..ඒක විඳින විදියයි...ඒක අනිත් පාර්ශ්වයට ප්‍රකාශ කරන විදියයි.....කොච්චර වෙනස් ද......



මම....

හැමදාම එයාගෙන් මැසේජ් එකක්..ඇමතුමක් එනකල් උදේ ඉඳන් හවස් වෙනකල් බලන් ඉන්නවා....මට හිතෙන්නෙ එයා හැම මොහොතෙම මට නිකමට හරි මැසේජ් එකක් එවිය යුතුයි කියලා..හිතෙන් එක හැඟීමක ඉන්නවා නම් ඇයි එයාට බැරි මට එහෙම එවන්න..ඇඟිලි තුඩ අගිස්සේ ජංගමයෙ යතුරු පුවරුව තියෙද්දිත් එහෙම නොකරනවා කියන්නේ ....අනේ මන්දා..මම එයාට ඒ හැටි වැදගත් නෑ....කියලමයි මට හිතෙන්නෙ...

එයා......

මේ ගෑණු මනුස්සයාට කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි හැටි.දාහක් වැඩ අස්සෙ ඉඳල හිටල හරි කෝල් එකක් මැසේජ් එකක් යැව්වත්..ඒකෙ දිග පලල මදි කම ගැනමයි හිත...ආදරේ නෑලු...මදිලු...
කෑවද කියලා අහන එක නෙවේලු ආදරේ...
අනික වෙන වෙන වැඩවලට ඔන්ලයින් ඉන්න එකටත්...මෙයා හිතන්නෙ මම එයාට මැසේජ් නොඑවා වෙන අය එක්ක  කතා කරනව කියල....අනේ මන්දා කොහොම තේරුම් කරල දෙන්නද  කියල...තාම හිතන් ඉන්නෙ ඉස්කෝලෙ යන දහ අටේ කෙල්ලෙක් ගානට...

මම...

වයස යද්දි හැම පැත්තෙන්ම පරිණත විදියට ඉන්න ඕන කියල එයා හිතනවැති..ඒත්...හැම මනුස්සයෙක්ම ඇතුලෙ ඉන්නව පොඩි කෙල්ලෙක් කොල්ලෙක්  ..ඒක ඉතින් හැමෝටම තේරෙන්නෙ නෑ...මම හිතනවා..එයා ශොපින් පාරක් ගියොත් තනිවම....මටත් මොකක් හරි ගෙනෙයි කියල...ඒක මහ ලොකු ගානක එකක් නෙවේ...ඔන්න දවසක් මම කිව්වා..ඔයා ඇඳුම් ගන්න ගියාම මටත් ලේන්සුවක් ගේනවද කියල .....ගත් කටටම කිව්වනෙ ...ලේන්සු දුන්නම තරහ වෙනව ලු කියල .....
මම ඉතින් ආයෙ මොකටද නිකම් තරහ වෙන්නෙ කියලා තරහෙන්ම ඕන්නෑ කිව්වා.....

එයා....

අනේ මන්දා කොහොම තේරුම් කරන්නද කියලා  .....ලේන්සුවක් දුන්නම තරහ වෙනව කියල කිව්වෙ එයාමයි...ආයෙ මොකකට හරි තරහ ගත්ත වෙලාවක කියාවි ඔන්න ලේන්සුවකුත් දුන්නෙ...තරහ වෙන්න ඕන වෙලා කියල....අනික මට ඔය ලේන්සුවක වගේ දේක ලොකු ඕනමකමක් පෙනිලම නෑ...

මම....

ජීවිතේ ගැන හැමදේම මට එයා එක්ක කතා කරන්න ඕන     ඒත්...එයාට වෙලාවක් නෑ...මාඑක්ක ඒවා කියවන්න..ඉඳහිටක හරි ඒ වුණාට ඕනම වෙලාවට.....කතා බහ කරන්න වෙන කවුරුවත් ඉන්නවයැ...ඒ වුනාට වෙලාවක් නෑ...අනික එයා හිතන්නෙ මම හරි බොලඳයි කියල....මම වෙන කිසි කෙනෙක්ගෙන් එයාගෙන් තරම් අවධානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක මෙයා කවද්ද තේරුම් ගන්නෙ...

එයා....

අනේ මන්දා....කතාව කතාව...මොනවා කියල නම් ඔච්චර කතා කරන්නද මන්ද...ඒත් වෙලාවකට නම් කට කමිස්සිරියාවක් නැතුව කියවන කොටත් ආසයි..ඒ වුණාට..මේ කියන හොඳම යාලුවා කියන දේ අනෙ මන්දා මේ මනුස්සයගෙ ඔලුවට කොහෙන් ආවද කියල....ඔය වටේ ඉන්න යාලුවොයි ෆේස්බුක් එකයි බ්ලොග් වයිබර් වට්ස් ඇප් නිසා තමා මේ ඔක්කොම..

මම...

ඉවසුවා ඇති දැන් නම් හොඳටම...එයාට එපා නම් මටත් ඕනනෑ ඔහොම වෙනස් වෙනස් සිතුවිලි....ඔන්න ඔහෙ ඉන්නන් වාලෙ ඉන්නව...කවදාවත් ගෑණියෙක් තේරුම් ගන්න මේ පිරිමින්ට බැරි වෙයි..හොඳම දේ නිහඬ වෙලා මගෙ පාඩුවෙ ඉන්න එක....

එයා...

මේ මනුස්සයට මොනව වෙලාද මන්දා...වෙනද වගේ නෙවෙයි..කිසිම සද්දයක් නෑ ..කතාබහත් අඩුයි..අසනීපයක්ද මන්ද...වෙනද නම් මේ වෙද්දි මැසේජ් ම කීයක්ද....පාලුයිත් එක්ක ...කියවිල්ල නැතුව...හිත නරක් වෙලා නම් වෙනද වගේ එල්ලි එල්ලි රන්ඩුවෙන්නවත් එපායැ....එහෙම රන්ඩු වෙන එකට මම හරිම ආසයි.....මෙච්චර වයසක් වෙලත්..තාම පොඩි කෙල්ලෙක් වගේ රන්ඩුවෙද්දි.....
දැන් ඉතින් මොනව කරන්නද මන්ද...දවස් ගානක් ගිහින්.....වෙනස් වෙන පාටකුත් නෑ....මගෙ ඔලුවත් අවුල් වෙන්න අරන්....
දැන් ඉතින් මම වත් එක දිගට මැසේජ් කරන්න ගන්න ඕන.....




~~~~~  සමාප්තයි  ~~~~~~~~

Thursday, January 26, 2017

30. 70 දශකයේ ඉපදුණ ළමයි...






සමකාලීනයන් එක්ක ඔබ සංවාදයේ යෙදිලා ඇති ඕන තරම්....

සමහරක් විට ඒ සංවාද වර්තමානයට පමණක් අදාළ ඒවා වෙන්න පුලුවන්...නමුත් ඔබ අතීතය හාරා අවුස්සන සංවාද වල යෙදිල තියනවද...

ඉඳ හිටක ලද අවසරයක....පොඩිම පොඩි නිමිත්තක එල්ලිලා...මතක සංචාරයක යන එක ඉබේම වෙන දෙයක්....වාසනාවකට වගේ...මා එක්ක ඉන්න මගේ සම කාර්‍ය මණ්ඩල සාමාජිකයන් දෙන්නෙක්ම මා වගේම 1970 - 1979 අතර කාලයේ ඉපදුණ අය....(ඔන්න ඉතින් විසිරිගෙ වයස ගැන අනුමාණයකුත් ඔබට ලැබුණා...)

දේශන වාර වලට මැද්දෙන් එන පොඩි තේ විවේකය...අපේ මතක ගැන ඉබේම කතා වෙන මොහොතක්.....
තේ විවේකයේ රස කැවිල්ලක් ඔස්සේ මතකය පියාඹලා ගියා.....

70 දශකයේ  ඉපදුන කොල්ලො කුරුට්ටො..කෙළි පැටික්කියො විදියට අපිට තිබුණ සමාජය ගැන මගේ බ්ලොගේ මුල්ම සටහන් වල මම ලිව්වා...ඒකෙ සබැඳුණ යම් යම් සිද්දි මම ලින්කු සමග මේ ලිපියෙ අවසන එක්කාසු කරන්නම් ..ඉඩක් ඇත්නම් ඒ පැත්තෙ ත් ගිහින් එන්න....

ඔන්න අර කිව්ව කාලයේ ඉපදුන අපි..අද කාලෙ ළමයි වගේ සුඛෝපභෝගී ආහාර ..ක්ෂණික ආහාර වල රහ බලපු අය නෙවේ...ඒත් අපේ ළමා වියේ අපට රහ බලන්න ලැබුන ආහාර කොච්චර මනසට සුවයක් ද කියල හිතෙන්නෙ ...මේ දැන් ඒ ගැන සිහි කරද්දි...

ඉස්සර දැන් වගේ කෙටි කෑම ඒ කියන්නෙ ශෝට් ඊට් වර්ග තිබුණෙ නෑ...ගමේ හරි අවට ගම් දෙක තුනකට හරි සම්බන්ධ බේකරිය තමා හැම කෑමක්ම ගෙන ආව තැන...දකුණට අදාළ බස් වහර...අනුව කෑම වල නම් ටිකක් එහෙ මෙහෙ වේවි...ඒත් ඔය කාගෙ පළාතෙ වුණත් මේ කෑම වර්ග වෙන නමකින් හරි තියෙන්න ඇති...

අපි ඉස්සර කන්න ආසම කෑමක් තමා හුළං විස්කෝතු...අපේ ගමේ දි නම් අපි කිව්වෙ බටර් ඉස්කෝතු කියල..ලාවට වගේ බටර් රහකුත් ඒකෙ තියෙන්න ඇති...
( බටර් කියන්නෙ ඒ කාලෙ අධි සුඛෝපභෝගී ආහාරයක්...ඒත් අද තියන බටර් වලට වඩා නම් ඒ කාලෙ බටර් හරිම කිරි රසයි....)...

නමුත් මේ බටර් ඉස්කෝතු වලට බටර් දැම්මෙ නෑ කියල නම් මම විශ්වාස කරනවා...ගම් වල දුප්පත් බේකරියක..පාන් පෝරණුවක බටර් කොහෙ තියෙන්නද...
මේ බටර් ඉස්කෝතු වල පියන් ජාති දෙකයි..එකක් පිම්බුණ එකක් අනික පැතළි එකක්...මේ බටර් ඉස්කෝතු කන විදි එක එක විදියයි....සමහර වෙලාවට කහට තේ එකේ පොඟවන් කනවා..අවධානය ගිලිහුණ වහාම කොටසක් තේ එකට වැටෙන අවදානම කන කෙනා සතුයි...
ආයෙ අපෙ අත්තම්මා බටර් ඉස්කෝතු සීනි හා පොල් එක්ක කොටලා  කන්න දුන්නා...මං හිතන්නේ ඒ ආහාර නිර්මාණය වෙන්න ඇත්තෙ දත් වල හයියෙ තත්වය එක්කම වෙන්න ඇති....



දැන් කඩවල් වල විවිධ නමින් මේ බටර් ඉස්කෝතු තියනවා....මම ප්‍රධාන පෙලේ රෙස්ටුරන්ට් එකක වීදුරු රාක්කයේ ගිය සතියෙ දුටුවා RUSK කියන නමින් මෙයින් පියන් හයක්...ගාණත් ටිකක් සැරයි.

ඒ වගේම තමයි අර ඇඟිලි විස්කෝතු  ..ඉඟුරු රසට..ඉඟුරු විස්කෝතු කියලත් අපි කිව්වා...හරියටම ඇඟිල්ලක් වගේ....හීන් දැවිල්ලක් එක්ක එන ඉඟුරු රසයට ඉස්සර අපි හරි ආසයි...දැනුත් එහෙම නම තියන ඉඟුරු රසය නැති පාන්පිටි රස විතරක් තියන විස්කෝතු නම් තියනවා....

ඔන්න ඒ කාලේ....තිබ්බ ආසම රස බිස්කට් වර්ගයක් තමා සව්බොර...සව්බොරවා කියලත් කියනවා....හදන විදිය දන්නෙ නැති උනත් ගල් වගේ හයියයි..එකක් වරුවක් කන්න පුලුවන් ......ඒ වගේම බොරවා කියල බිස්කට් වර්ගයකුත්...තිබුන...ඒක පැතළි ටිකක් හයිය එකක්....අර සව් බොරව තරම්ම හයිය නැතත්....කන්න ආසයි.



බිස්කට් වලට අමතරව තිබුණ රස කැවිලි මම මේ සිහිකරන්නේ අපි එකිනෙකා මතක් කල ඒවායින් ....
මේ කාලයෙ උන්න සමකාලීනයොන්ට මතකද මන්දා...ගුණසිරි බුල්ටො.....මට නම් තාම ඒ කැරමල් වගේ රහත් මතකයි...හක්ක රිදෙනකල් හප හප කෑවෙ .සුදු සව් කොලේක ඔතලා කලු පාට පොඩි සිලින්ඩරාකාර හැඩේට....





ඒ වගේම තමා නාරං බික් ....ලොසින්ජර වර්ගයක්....නමුත් නියම දොඩම් රසයක් ආවා..ලා තැඹිලි පාට සහ කහ පාටට....අදත් ෆුඩ් සිටියේ බරගානක්වෙන නාරංබික් පැකට් තියනවා...තනිකර සීනි රස විතරයි.....

අපි මේ කියව කියව උන්න මතකයට තව සෑහෙන්න ජාති එක්කාසු උනා ..නමුත් බ්ලොග් පෝස්ට් එකක් අනවශ්‍යව දික්කරන්න මම ආස නෑ...ඒ නිසා 70 ළමයි කාපු කෑම සහ එහි රසය.....තව සබැඳි පෝස්ටුවකින් ඊලඟට ගෙන එන්නම්......
මේ තියෙන්නෙ විසිරි කලින් ලිව්ව ...එයාගෙ මතක.....









Wednesday, January 25, 2017

29. මට හිතුණ හැටි...






මිනිස්සු තමන්ගෙ හැඟීම් අවකාශයට මුදා හරින්නට වගේම තවත් අයෙක් සමග සංවාද කරන්නට යොදාගන්නේ භාෂාව....

අංග චලන සහ විවිධාකාර ඉරියව්...මේ සන්නිවේදනය වඩා අර්ථ ගන්වනවා...නමුත් අද මගේ මේ කෙටි සටහනේ තියෙන්නෙ...භාෂාව භාවිත කිරීම එක්ක වන අදහස් මුදාහැරීම ගැන.......

ඉස්සරම කාලෙ මිනිස්සු ත් භාෂාව යොදාගෙන අදහස් ප්‍රකාශ කලා..වගේම....ඒකට තමන්ගේ කලා කුසලතාවනුත් එක්කාසු කලා..එතකොට ඒක කාලයක් තිස්සෙ පවතින මතකයක් නිර්මාණයක් උනා....අතීතයේ සිට ජන වහරින් ගලා එන ජනකවි....මිනිස්සු තම බස විවිධ කාර්‍යයන් හා කටයුතු වලදී යොදාගත් අපූරුව විදහා පානවා

සමීක්ෂණ වාර්තා සහ විවිධාකාර දත්ත අනුව කියවෙන්නේ..ලෝකයේ සුන්දරම භාෂාවන් අතරට සිංහල බස එක්ව තියනවා  කියලා...ඒක අහද්දිත් හිතට එන්නෙ පුදුමාකාර හැඟීමක්...මම වරක් කියවූ ලිපියක මේ දේ සටහන් වෙලා තිබුණා

කාලයත් එක්ක මිනිස්සු අදහස් වලින් පෝෂණය වෙද්දි.....තමන්ගෙ අදහස් රිද්මයකට ගොනු කලා කාව්‍යාත්මක බසකට...ඒ වගේම විව්ධාකාර ගද්‍ය පද්‍ය නිර්මාණ....තමන් තුළින් බිහි වෙලා සමාජගත වුණා...
ඕනම බසක සරල සුගම බවක් තියනවා..ඒ ඒවා එන්නෙ මනුෂ්‍ය සිත් තුළින් නිසා...නමුත් මනුෂ්‍යයා කියන්නේ...හැමවිටම නිවුණු සාමකාමී මනසක් ඇත්තෙක් නෙවේ...විවිධාකාර ආවේග බහුල මනසක් ඇත්තෙක් වෙන නිසාම මේ සිංහල වගේම අනෙක් ඕනම බසක හොඳ යැයි සම්මත වචන වගේම නරක යැයි සම්මත වචනත් තියනවා...මේ හොඳ සහ නරක පුද්ගලයාගෙන් තවකෙකුට වෙනස්....

සමහරක් අවස්ථා වල තදින් කියයුතු දේට සරල සුගම බස උචිත නොවෙන්න පුලුවන් ...වඩාත් තීව්‍ර වෙන සටහනක් තුළ...ඒක නරක යැයි සමාජයේ සම්මත වචනත් භාවිතා වෙන්නත් පුලුවන් ....ඒක ගැන වාදයක් නෑ...

නමුත්..ප්‍රේමය..ආදී වස්තු විශයයන්හි දී මිනිසුන් සිය අත්දැකීම් සහ හැඟීම් මුදා හරින විට...සමහරක් විට බොහෝ ග්‍රාම්‍ය ලෙසින් එය ප්‍රකාශ කරන අවස්ථා දැන් දැන් බහුලයි.....එවන් නිර්මාණ තුළ මිනිසුන්ගේ මනස ට එක් වන්නේ සුන්දර ආකල්ප නොවෙයි..බොහෝ විට රාගය ඉලිප්පෙන හැඟීම්......

උදාහරණයක් ලෙස අමරදේව ශූරීන් ගයනා කුමරියක පා සලඹ සැලුණා...ගීය....ගැන හිතුවොත්..
උකුළ ලැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සලු තිර.....
මිනිස් සිත තුළ මවන්නේ භාවාත්මක සෘංගාරාත්මක හැඟීම්....ඒත්..ඔය කියන ශරීරාංග වලට සාමාන්‍ය භාවිතයේදී එන වචන ටික එබ්බුවෝතින්....දැනෙන්නෙ භීබත්ස්‍ය රසය ...මට නම්.....එතැනයි ...බස හැසිරවීම ගැන වඩා සිතිය යුතු......

මේක ලියන්න එක් හේතුවක් වූයේ මුහුණු පොත තුළ දුටු යම් යම් කාව්‍යයැයි හිතන නිර්මාණ කීපයක් නිසා...කවිය කියන දේ විග්‍රහ කරන්නට මා උගත් ප්‍රමාණය මදි..නමුත් ...බස ට ගරු කිරීම කියන තැනදී...මට ඒ නිර්මාණ ගැන ඇති වුණේ..අනේ කියන හැඟීම..
ශරීර අවයවයන්...අමු අමුවේ උලුප්පන වදනින් කවක් හෝ නිසඳැසක් සටහන් කලාම ..දැනෙන රසය..අගෙයි නියමයි කියා යමෙක් කියනවා නම් ...ඒ අවංකම අදහස නොවෙයි.....

මිනිස්සුන්ගේ රස වින්දනය...අද දවසේ යම්තාක් ඉහල මට්ටමක ඇති නිසා....
මේ අදහස සමහරක් විට මගේ පෞද්ගලික අදහස පමණක්ම වෙන්න පුලුවන් ....එහෙත් මා දකින මානය එයයි
කෙසේ වුවත්...සොඳුරු හැඟුමක් වන ප්‍රේමයට අපේ බස තරම් සාධාරණයක් කල හැකි වෙන බසක් නෑ .....ඉතින්..මේ සටහන එවන් බසක් හසුරවන ඔබට අදහසක් පිණිසයි.......

Tuesday, January 24, 2017

28. මෙබඳු පුර මාකටින්


පිටකොටුවේ බෝගහ හන්දියේ සිට ගුණසිංහ පුර තෙක්...චාරිකා




මෙන්න මේ ඉසව්වෙදි බස් එකෙන් බැහැල ...ඊලඟ බසයට යන්න ඇවිද යන මීටර් තුන් හාර සියය...මනසට මොකක් හෝ දෙයක් හැමදාම එක් කරනවා......

අද රැකියාවෙන් මිදිලා මේ කෙටි දුර එන විනාඩි දහය...මං හිතන්නෙ වෙනදාට වඩා මම අවධානයෙන් ආවා....
අප අවට ඇති ලෝකය අපට ගෝචර වෙන්නෙ...දැනෙන්නෙ ...අපි ඇස් කන් ඇතුලු සංවේදන ඉන්ද්‍රියයන්...අවදිව තියාගත් තරමට...

වෙනදට හැල්මෙ දුවන මම අද සාමාන්‍ය වේගයකින් මේ දුර ගමන් ගත්තේ....හිතට ආව සැහැල්ලුවත් එක්ක...
" අඬන බබාව නලවගන්න ...මෙන්න මෙන්න..මල්ලක් ගන්න...
මල්ලම සීයයි...මල්ලම සීයයි..... "
ඔන්න පලමු අඬහැරේ ...එකම තාලෙකට...බැලින්නම් අර තැඹිලි පාට පොඩි නාරං ගෙඩි මලු....
මම යන ගමන් ම කල්පනා කලේ අඬන බබා මේකෙන් නැලවෙන්නෙ කොහොමද කියලා....සෙල්ලම් බඩු හරි අඩු ගානෙ සබන් බෝල පුම්බන එකක් හරි නම් ....හිතාගන්න පුලුවන්  ......


හැබැයි ...යන එන අයගෙ ඇහැ එක පාරටම ඒ හඬට යොමු වෙන එකත් අවධානය අල්ලා ගන්නට ඒ වචන ටික සමත්......මං වුනත් හැරිල බැලුවෙ ඒකනේ.....


එතනි න් මෙහාට එද්දි....පලතුරු ලෑලි ගොඩයි...ඇපල් පහක් සීයයි ...දොඩම් පහක් සීයයි....ෆුඩ් සිටි එකක ගන්න ගියා නම් ...එකක් පනහක් හැටක්....විමසන්න බලන්න අත පත ගාන්න නම් බෑ.....ඉල්ලුවා..දුන්නා....තැලුණ පැති යටටත්...හොඳ පැති උඩටත්..සමහර වෙලාවට සමහර අය නම් තැලුණ බව දැක දැකත් ගන්නවා....ඒ ටික කපල දාල කෑවත් ඒ ගාණෙ හැටියට ලාබයි...

ඇදුම් කඩ පේළිය පහු කරන් ඇදෙන කොට තාලෙට ඇහෙන වචන තමා අපූරුම...මහත්තයාට තුනයි නෝනට දෙකයි....යට ඇඳුම් විකුණන සමහර වෙලෙන්දන් ඔහේ කියාදානව...
බලද්දි පිරිමි යට කලිසම් තුනේ පැකට් එකක් සහ ගැහැණු බ්‍රෙසියර දෙක ගානෙ දමපු කවර.....හිනාව මඳක් තද කරන් බොහොමයක් දෙනා හැරි හැරී බලනවා ...ඔහු නෙවේ සිනහවක් වත් පාන්නෙ....කොහොම හරි එදා වේල බඩ වියත රැක ගන්න මිනිස්සු දරන උත්සාහයෙදි.....ඒකට මේ එක් කර ගන්නා නිර්මාණාත්මක ශූර මොළය...හිතේ ජනිත කරන්නේ...යම් දුකක් වෙලාවකට...පිටකොටුවේ බස් වලට ඇදෙන දහසකුත් එකක් මිනිස්සුන්ගේ පසුපසින් දුවමින් යට ඇඳුම් විකුනන්නට දරන තැත....

විඩා බර හිතට යම් සුන්දර හැඟීමක් එක් කර දෙන්නේ අර සබන් බෝල පුම්බන සෙල්ලම් බඩු විකුණන මනුස්සයා...කඨෝර නගරේ හිස් ගොඩ අස්සෙන් පාට පාට සබන් පෙන බුබුලු සිය ගානක් පාවි පාවි ගිහින් බිඳෙනවා.....සුන්දරත්වයට යටින් කියා පාන්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් මෙන්න මේ වගේමයි කියලද කියා මට හිතෙන්නෙ ඒ වෙලාවට

කොයි තරම් කටුක ගිනි මද්දහනක වුවත්...පිටකොටුවේ කඩවල් පේලියේ තියන වර්ණවත් බව අඩුවක් නැහැ...මිනිස්සු ලාබය සොයමින් සැරිසර වෙලාවට..ඇස් ගිණිකන වැටෙන පාටවල්..දුවන ගමන් වුවත් මිනිස්සුන්ව මොහොතකට ඇද බැඳ තබා ගන්න ප්ලාස්ටික් බඩු කඩයක් අතර මැද තියනවා...පොඩි මයික්‍රොෆෝනයකින් හඬ නගමින් මිනිසුන්ව ඇද බැඳ තබා ගන්න ඔවුන්ට මහ උත්සාහයක්ම ඕනත් නැහැ...

මම මේ ගමනේ එක් අන්තයකට එද්දි දකින තව තැනක් තමයි..ගුණසිංහ පුර පෞද්ගලික බස් නැවතුමට එන පාරෙ තියන හිස් ව ඇති ආවරණයක් ගහපු ගොඩනැගිල්ල ....ඇත්තෙන්ම ඒක මොකකට හදපු එකක්ද මන්දා....නමුත් එදිනෙදා හැල්මෙ දුවන ..ජීවිකාව ඉටු කරගන්න..බඩ වියත රැක ගන්න දා බිඳු හෙලන ජනතාව...ලද අවසරයේදී විවේක සුවය ගන්නා....ඇස් පියා ගන්නා ඉරියව්...
මම ඉඳහිට ජංගම දුරකතනය මානා ගෙන ෆොටෝවක් දෙකක් ගන්නවා....ඒ ඉරියව් හරිම අපූරුයි.....දහසක් කතා කියවෙන මිනිස් මූණු    ...  මම දවසක මගේ මහ මග චාරිකා පින්තූර එකතුව බ්ලොගේට එක් කරන්නම්කො


ඉවර වෙන්න කිට්ටුවම ඉන්නවා කඩල වෙලදාම් කරන කෙනෙක්.....ඒ කඩල හරිම රසයි.....හොඳට ආවරණය කරල රහට බෙදලා දෙනවා කඩදාසි බෑගයට..නමුත් මගෙ ඇහැ....හැමදාම දකින ඉරියව් එක්ක විමසිලිමත්....කෙනෙක්ගෙ රැකියාව තමන්ගෙ බඩ වියත රැකගන්න කරන දේ..ඒ..
නමුත් මහ මග ...ඇති ආහාර පාන ගන්න කොට ...ඒ විකුණන කෙනා ගැන විමසිල්ලෙන් බලන්න හැම විටම.....ලෙඩ රෝග දද කුෂ්ට ....අපවිත්‍ර දෑත්....ඔබට ලෙඩ රෝග දහසක් මුදලට ම දේවි.......

මිනිස්සු ජීවත් වෙන පරිසරය ...එක්ක ඔවුන්ගේ ජීවිත කොච්චර නම් ...සමපාත වෙනවද.......ලෝකය කියන්නේ විශ්ව විද්‍යාලයක්....

Sunday, January 22, 2017

27. අරපිරිමැස්ම...







මම ලියන්න නිමිති හොයනවා...රැකියා ස්ථානයේ කෑමපැයේ ලද කෙටි විවේකයේදි...අලුතින් යමක් ලියන්න හිතනවා...

කාර්‍යාල කාමරයේ ජනේලයෙන් එලිය බැලුවාම මට පෙනුන දේ පාරෙනුත් එහා පැත්තෙ තියන දෙල් ගහක්...
ඔන්න ඉතින් මතක අවුස්සන චාරිකාවෙ හිත ගමන් කරන්න පටන් ගත්තා...

අපේ ගෙදර..ඒ කියන්නේ ගමේ මහ ගෙදර....මහ දෙල් ගහක් තිබුනා ඉස්සර...දැන් නම් ඒ ගහ නෑ.දෙල් වාරෙට ගමටම බෙදන්න දෙල්....වැඩිය තිබුනා කියල අහක යන්නෙ නෑ...ගමේ ඉන්න අහල පහල උදවිය ..." පුංචි හාමිනේ දෙල් ගෙඩියක් කඩාගන්නෙයි...." කියල පාරෙන් ගොඩ වෙන්නෙ අපෙ අත්තම්මාට අමතමින්...."ආයෙ ඕකෙ අමුතුවෙන් අහන්න අවසර ගන්න දෙයක් තියෙනවායැ...ඔය ගමන් ගෙඩි තුන හතරක් තව කැඩුවනම්.." ඕක තමයි අනිවාර්‍ය පිළිතුර ...

අපේ දෙල් ගහ  ...සමහර වෙලාවට ගහට දරන්න බැරි පලදාවක් අරන් ආව...ඉස්සර කවදාවත්...කෑමක් ගහක කොලක ගෙඩියක් අහක දැම්මෙ නෑ අපේ මුතුන් මිත්තන්...
දෙල් තම්බලා වේලල දෙල් අටුකොස් හදන්න...දෙල් වේලලා බැදලා පැණි දාල හවසට කන්න .....මොනවද කරන්න බැරි..

ආහාර කල් තබා ගැනීමේ ක්‍රම එක්ක ගැමි සම්ප්‍රදාය තුල මේ ඉතිරි කිරීම ..අරපිරිමැස්ම ඕන තරම් තිබුනා....දෙල් ගහෙන් විතරක් නෙවේ..කොස් ගස් පිරුණ වත්තේ කොස් ඉදිලා වැල වරකා වෙද්දි...කොස් ඇට වැලි යට දාලා කල් තබා ගන්න ...දෙල් වගේම කොස් මදුලු තම්බලා හීනියට ලියලා වේලලා..අටුකොස් හදන්න....අපේ ආත්තම්ම ල වග බලා ගත්තා.....

ඉස්සර කවදාවත් කුස්සියෙ උයන එලවලු සෝදන මාලු සෝදන වතුර ටික අහක ගියෙ නෑ අද වගේ කානු දිගේ...ඒ හැම වතුර ටිකක්ම කුස්සියට එහායින් තිබුන දෙහි ගස්.හබරල ගහල අල පඳුරු ගාලට විසි වුණා....පොල් ගාලා මිරිකලා ඉතුරු වෙන රොඩු ටික..ලූනු පොතු   .අද නම් යන්නෙ පාරෙ කුණු ලොරියට නමුත් එදා තිබුණෙ කොම්පෝස්ට් නම නැතත්..කුණු වලක්...ඒකෙ කාලෙන් කාලෙට ගස් වටේට දාන්න ගන්න පෝරක් එකතු වුනේ..මේ අපද්‍රව්‍ය දිරාගිහින්...

නාන ලිඳ...නාන තැනින් ගලා ඉවත් වන ජලය බාර ගන්න රම්පෙ පඳුරක්...පොඩි කොහිල පඳුරක් තිබුණා...අද කාලෙ වගේ වතුර ටිකක් රැස් වෙද්දි ඩෙංගු මදුරුවො බෝ වුනෙ නෑ අර රම්පෙ කොහිල වලවල් වල  ......

උයන පිහන තැනේ ඉඳන් ජීවිතේ ට අපෙ අත්තම්මලා ගෙන ආවෙ අරපිරිමැස්ම....වත්තෙ දිරා යන ගහක වේලී හැලෙන පොල් අත්තක පවා ඉන්ධනමය වටිනකමක් තිබුන...සතියකට වතාවක් දරකෝටු ටිකක් ..පොල් හනසු මටුලු ටිකක්..වේලී හැලුණ පොල් අත්තක් ගෙදරට ඇදුණෙ පුංචි අපේ අත්වලින්....ලෙලි ගැහෙන පොල් ගෙඩි වල ලෙල්ල වේලලා ලිපට ආවා...

ගෙදරකට අත්‍යාවශ්‍ය කහ..මිරිස් ආදිය ගෙවත්තෙම වැවුනා...සාමාන්‍ය මිරිස් වලට වඩා වත්තේ පිරිල තිබුණෙ කොච්චි ගස්...ඉබේ හැදෙන කොච්චි ගස් වල සුදු.කොළ..සහ රතු කරල් හරිම අපූරුයි...

කිසිම දවසක ගෙදර අනවශ්‍ය ප්‍රමාණයට බත් එලවළු හැදුනෙ නෑ...ඒ වගේම කවදාවත් මදි වුණෙත් නෑ...ඒ කාලෙ තිබුණෙ බත් පමණක් කන සංස්කෘතිය ක් නොවෙයි...ඒ බතට හරි හරියට පෑහෙන දෙල් කොස් ගහල ආදී නොයෙක් දේ තිබුණා .ඉඳහිටක හෝ ඉතිරි වන බත් ටික වේලලා අග්ගලා හදන්න...ආත්තම්මා පසුබට වුණේ නෑ....

අගහිඟ කම් නැති පවුලක වුණත්...එක මොහොතක් නිකම් ඉන්න පුරුද්ද ක් අපෙ අත්තම්මලා මුත්තලාට තිබුණෙ නෑ...පොල් අතු වෙලේ ගංවතුර පිරෙන කාලෙට ඒ වතුරට දමල...පොඟවන්...ගෙනල්ලා වියන්න....පන්විලට ගිහින් පන් කපන් ඇවිල්ලා වේලලා පාට පොඟවලා රටා දමන්න...පැදුරු වියන්න....අත්තම්මා ට ඕල් රවුන්ඩර් කෙනෙක් කියන නම අද උන්න නම් පටබැඳෙනව...

අරපිරිමැස්මෙ පලවෙනි පාඩම අපේ ජීවිත වලට ගෙනාවෙ අපෙ අත්තම්මලාගෙ පරම්පරාව...එයින් අතලොස්සක් වත් අද අපට අපේ ජීවිත වලට වගේම....රටට සමාජයට කරන්නට ලැබෙනවද කියලා මම හිතනවා.....

Tuesday, January 17, 2017

26. ඉකුත් නොවනා ප්‍රේමය (කවි )




කාලය සමග ප්‍රේමය වියැකී යන බව අපි සිතමු...එය අපිට දැනෙන්නේ මුල්ම කාලයන්හි පැවතුණ උන්මාදනීය බව ක්‍රම ක්‍රමයෙන් හැංගෙන බැවිනි...එහෙත් සැබවින්ම එය එසේමදැයි මම විටෙක සිතමි....

ප්‍රේමය සහ ආදරය කාලය සමග ජීවිත වලට එබෙන්නේ වෙනස් වෙනස් අන්දමිනි.....

වරද ප්‍රේමයේ නොව ...එය අප වටහා ගන්නා ආකාරයේ ය...

නෙත් කොණින් හෙළනා
අඩ සොඳුරු බැල්මෙක
දෙතොල තද කොට හෙළන
නෝක්කඩු හිනාවක
නොරිස්සුම් ස්වරය මුසු
තරවටු වදනක
තාම හිර වී තියෙන 
ඉකුත් නොවනා ප්‍රේමය....

හිසට අතැඟිලි තබා
නර කෙසක් පෙන්වා තබන
පාට පොඩ්ඩක් ගෑවොතින් නරකද
අහකටම කියමින් ඇවිද යන
ඉකුත් නොවනා ප්‍රේමය....

බොජුන් හල අහර කිස විඳ
ඉනික්බිති ඉතුරු වී ගිය
සලාද කොළයක පවා රැඳුණ
කෑවා වගේ නොවෙයි බඩ එයි කියන
ඉකුත් නොවනා ප්‍රේමය....

උණුසුමට දුම් දමන
කෝපි බඳුනක අඩියෙ
ඉතිරි වී "මට වැඩි‍ය් "කියන
ඉකුත් නොවනා ප්‍රේමය...

අහම්බෙන් වැරදීමකින් වගේ 
ඇඟිලි තුඩකින් ඇල්ලෙන
එසැනින්ම අතහැරෙන
ලෝබ කම පමණක්ම ඉතුරු වන
ඉකුත් නොවනා ප්‍රේමය....

දවටනය පවා සුන්දර
රසම රස මසවුලක
නුඹ ඉතුරු කර මට තබා ගිය

ඉකුත් නොවනා ප්‍රේමය.....

Tuesday, January 10, 2017

25. අලුත් පොත්






වර්තමානය සැම විටම සම්බන්ධ වෙන්නෙ අතීතය එක්ක.අපි අපේ වර්තමානයේ ගත කරන සමහර අවස්ථා අතීතයේ සුන්දර ඉසව් වලට අපිව හැම දාම අරන් යනවා....

අලුත් පාසල් වාරය ඇරඹෙද්දි....මමත් හැම අම්මෙක් වගේම කාර්ය බහුල වෙනවා.....ගෑණු දරුවෙක් උන්නා නම් තමන්ගේ පොත් පත් වලට කවර දමලා මල් එහෙම අලවලා හැඩ කර ගනීවි..ඒත් මට ඉන්නෙ පුතාල...බොහොමයක් කොලු ගැටව් වගේ මගෙ පුත්තුත් ඔන්න ඔය වැඩේට කම්මැලියි

ඒ නිසා මම ඉතින් නිවාඩු කාලෙ මැදක ඉඳන් ඔන්න ඔය වැඩේට සූදානම් වෙනවා.ඉස්සර වගේ නෙවෙයි දැන් විෂය ධාරාව දීර්ඝ වෙලා.ඒ නිසා පොත් සංඛ්‍යාවත් වැඩියි...
පොත් වලට අවශ්‍ය කරන අඩුම කුඩුමත් අරන් කවර දැමීමේ යුද්ධයට සම්ප්‍රාප්ත වෙන කොට ...හිත දුවන්නේ අතීත මතක වලට....

ඒ මතක අවුස්සමින් පොත් වලට ඇඳුම් ඇන්දවීමත් එක් තරා අන්දමක කලාවක්....

අම්මා ඉස්සර කවර දානකොටත් මේ වගේ ලස්සන ස්ටිකර් , කවර දමන කොල තිබුණද,,,,,පොඩ්ඩාගෙන් එන්නෙ මතක අවුස්සන ප්‍රශ්න.....

මගේ ළමා කාලයට යන්න අවුරුදු තිහක් වත් එහාට යන්න ඕන ...ඒ කාලෙ අපිට පොත් වලට කවර දාන්න තිබුනේ කැලැන්ඩර් කොළ...ඉස්සර අවුරුද්ද ලබන කොට ගෙවල් වල බිත්ති හතර වටේම පිරෙන්නෙ කැලැන්ඩර් වලින්..නලු නිලියන්ගෙ..මල් වතු වල...ලස්සන පොඩි බබාලගෙ..පින්තූර එක්ක...

අද අපි ගෙදරක එල්ලගන්න හොයන්නේ අංක ලොකුවට තියන එකම එක කැලැන්ඩරයක්..ඒකත් ඉඳ හිටක..අපිට දන් ඩිජිටල් ලෝකයක් තියන නිසා බිත්තිය දිහා බලන්න අවශ්‍ය නැති තරම්...ඒත් ඒ අතීතයේදි...අපිට තිබුණෙ නැහැ ජංගමයක හෝ විද්‍යුත් මෙවලමකට එබී සිටින පුරුද්දක්....

සමහරක් වෙලාවට ගම් වල ගෙවල් වල බිත්ති වැහෙන්නම කැලැන්ඩර එල්ලලා...අද කාලෙ ඔය දේ අපි සමහරක් විට සමච්චලයෙන් බැහැර කරාවි..නමුත් මම අදටත් ඒ දේ දකින්නෙ ගැමි දිවියක තිබුණ සරල සුන්දර ආශාවන් විදියට...

ඉතින් අවුරුද්දක් තිස්සෙ කොල පෙරළෙන මේ කැලැන්ඩර කොල එකින් එක ගැලවෙන කොට අපි ඒවා පරෙස්සමින් අරන් තියාගත්තා...ඒවා තමයි එක් කාලෙක පොත් වල කවරය ලෙසින් මතු වුණේ....ඊට උඩින් පොලිතිනය..ස්ටෙප්ලර් කටු ගැසීමක් නම් මට මතක නැහැ...මගෙ මතකයේ සෙලෝටේප් නම් තියනවා...

බ්‍රවුන් පේපර් කොල විතරයි ඒ කාලෙ තිබුණෙ මීට අමතරව...නා නා විධ වූ තෑගි දවටන කොල...wrapping papers..වගේ දේවල් අපෙ ළමා වියේ තිබුණේ නෑ.අපේ පන්ති වල උන්න සමහරක් ළමයි සිමෙන්ති උර වල පැහැය ඇති කොල වර්ගයකින් ...ඒ වගේම පත්තර කඩදාසි වලිනුත් පොත් වලට කවර දැම්මා...



මල්ලිල දෙන්නාගෙ පොත් වලට කවා දැමීමේ මහා කාර්‍ය භාරය පැවරුණෙත් මට.පොත් ටිකයි බ්‍රවුන් පේපර් කොලයි එක්ක...කලින් අවුරුද්දෙ වෙසක් කාඩ් සහ පත්තර වල තිබුන හාවො...පූසො..මල් එහෙම කපල අරගෙන මේකට ඉඳගත්තම නැගිටින්නෙ පැය දෙක තුනකින්...

සීරුමාරුවට කොන් නවලා කොල කවර දමලා හැඩ අකුරින් පොතේ නම ලියලා..මලක් ඇලෙව්වම පොත හරිම ලස්සනයි ....

අද ලෝකය සීග්‍රයෙන් දියුණු වෙලා...මිනිස්සුන්ට කිසිම වෙහෙසක් නැතුව...හැම දේම කරගන්න හැකි වෙන විදියට...

පුතාට පොත් කවර දමන්න අවශ්‍ය බඩු ටික ගන්න ගියාම ....දුටුවෙ...
පොලිතින් කවරය පවා රෙඩිමේඩ් දැන්...ලොකු පොත් වලට පොලිතින අලවන විදියටම ඇවිල්ලා...ලේසියි....

ඒත්..නිර්මාණයක් කරලා වෙහෙසක් වෙලා ලබන සතුට...මේ විදියෙනුත් ලැබෙනවද කියලා මම හිතුවා.....
වැඩ පහසු වෙන්න වෙන්න අපේ නිර්මාණාත්මක බව ගිලිහිලා යනවාද මන්දා ......


Thursday, January 5, 2017

24. අතිර දිවි (කවි )

                                                   මිනී කපන කාමරයේදී......




සමහරක් විට මේ දෑත්
පැටලි පැටලී තියෙන්නට ඇති
උණුසුමින් සෙනෙහසින්
තවත් දෑතක සොඳුරු...

මේ ධමනි...මේ ශිරා
ගැහි ගැහී තියෙන්නැති
නුහුරු සුසුමන් අසල
අදිසි එක් ඉසුඹුවක...

සෙනෙහසින් නෙත් හෙලූ
සවන් යුග මුදු සිපුම්
කෙතෙක්  නම් තියෙන්නට
ඇත් ද මේ හැම තැනෙක...

කිසිත් නැති..ඔව්
හැඟුම් කිසිවක්ම නැති
සැතක් ගෙන පලා ලමි
ඒ සිරුර
ජීවිතේ ...
කිසිත් නැති බව
හැඳින

Tuesday, January 3, 2017

23. මල් වැනි හිත් වෙනුවෙන් (හැඟීම්)

2017 ට පිවිසීම........



සුබ නව වසරක් වේවා කියමින් 2017 විසිරි සිහින වලින් මේ හමුවෙන්නෙ.....ඉතින්...පතනවා මේ ලබන්නාවූ නව වසර ඔබට මෙන්ම ලොවටත් වැඩදායී යමක් ඉටු කල හැකි වසරක් වේවා කියා.



කියවන හැමදේම ජීවිතයට එකතු කරන්නේ අලුත්ම අත්දැකීමක්...ඉතින් අන්තර්ජාලය ඔස්සේ කියවන ඇතම් දේ තුල බෙදා හදා ගන්න ලැබෙන සුන්දර දේවල් මම මගේ අත්දැකීම්ත් එක්කාසු කරන් ඔබට ලියන්න ගන්නවා.

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඔබ ඔබේ දරුවා සම්බන්දව මෙන්න මේ සුලු සරල දේවල් කරනවාද කියා මඳක් සිතන්න.




1.මම ඔයා ගැන ආඩම්බරයි
2. ඔයා හැම විටම මා ආඩම්බරයට පත් කරන දේ කරනවා
3.ඔයාගෙ වචන වල හරිම අපූරු තේරුමක් තියනවා
4. ඔයා කියන දේවල තියන තේරුමට මම හරි කැමතියි
5.ඔයාගෙ අම්මා වීම ගැන මම හරිම ආඩම්බරයි
6.ඔයාගෙ අදහස් සහ යෝජනාමොනවද මේ ගැන...? මම ඒවා දැනගන්න කැමතියි
7.ඔයා මට / අපට හරිම වැදගත්
8.ඔයාට ආදරේ හිතෙනවා

9. මම ඔයාව විශ්වාස කරනවා
10.ඔයා නැතුව අපේ පවුල මේ වගේ වෙන්නෙ නෑ
11.ඔයාට ඕනම වෙලාවක "හා "කියන්නත් "බෑ"කියන්නත් පුලුවන්
12.ඔබ හරිම වටිනවා
13.ඔයා නිවැරදියි
14.මම දන්නවා ඔයාට ඒ දේ කරන්න පුලුවන්
15. මම දන්නවා ඔයා ඒ දේ උපරිමයෙන් කරාවි

16.මම ඔයාගෙ නිර්මාණශීලි බවට කැමතියි
17.මම ඔයාගෙන් අලුත් දෙයක් හමදාම ඉගන ගන්නවා
18.මට ඔයාව තේරුම් ගන්න පුලුවන්
19.මම ඔයාව විශ්වාස කරනවා
20. මට ඔයාට සමාව දෙන්න පුලුවන්
21.ඔව්.කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ
22 ඔව්..මම අහන් ඉන්නේ
23.ඔයා හරිම අපූරුයි

24.ඔයා පිටින් වගේම හිතෙනුත් ලස්සනයි
25.අපි හැමෝටම වරදින්න පුලුවන්




සමහරක් වචන හරි කෙටියි...ඒත් ඉතාම ප්‍රබල හැඟීම් රාශියක් ඒ වචන වලට දෙන්න පුලුවන්.....
කෙනෙක් ගේ හිත මොහොතකින් කෑලි කෑලි සිය දහසකට කඩන්නත්...ඒ වගේම අනිත් අතට....මල් යායක් සේම සුවඳින් පුරවන්නත් වචන වලට හැකියි.....
තෝරා ගැනීම ඔබ අතේ....