Showing posts with label රයිලිගෙ කතා. Show all posts
Showing posts with label රයිලිගෙ කතා. Show all posts

Wednesday, June 14, 2017

63. රයිලිගෙ කතා 2





ඔයාල ඔක්කොටම මාව අමතක වුණත් ....සොඳුරු සඳවතී අක්කාට මාව අමතක වුනේ නැහැ..එයා අපේ අම්මට මගේ ගැන ලියන්නම කියල බල කරනවලු....

මෙහෙ ගෙදර අය ගැන මට දැනෙන හැටි ලියලම දෙවනි කොටස මම පටන් ගන්න හිතුවා....එහෙම නේද හොඳ....පලවෙනි කොටස කියෙව්වෙ නැති අය ඕන්නම්    මෙතනින් ගිහින් කියවල එන්න මගෙ ගැන

අපෙ අම්මගෙ එයා...මහත්තයා...මට එයා ව ඒ හැටි අල්ලන්නෙම නෑ...මාව නිකම් විහිලුවකටමයි ගන්න හදන්නෙ...මුලදි ටිකක් ශේප් එකේ උන්නට...පස්සෙ පස්සෙ මම වත්තෙ තැන තැන ශරීර කෘත්‍යය කරන එකෙන් තමා එයා මා එක්ක අමනාප වෙන්න ගත්තෙ...
අනික එයා වැඩට ගිහින් එන වාහනේ රෝද වල තියන බලු ගන්ධයට ඉතින් ජෙෆුයි මායි ප්‍රතිචාර දක්වනවා..ඒක අපේ වර්ගයාගෙ ගතියනෙ...

උදේ නැගිට්ට වෙලේ ඉඳන් මේකට එයා අපිට බනිනවා,....ජෙෆ් කාලයක් තිස්සෙ ඒ ගෙදර උන්න නිසා එයාට ටිකක් පිලිගැනීම වැඩියි....ජර්මන් ශෙපර්ඩ් කියන්නේ බුද්ධිමත් වර්ගයක්ලු....අනෙ මගෙ කට..ඉතින් ජෙෆ් චූ දාන ඒවටත් මේ අහිංසක මමයි පළි...මේකා නිසා මාත් බැනුම් අහනවා

නරකම කෑල්ල මේකෙ ලියලත් බෑ...නොලියත් බෑ...දැන් මගෙ නැට්ට නෑ කියල මං කිව්ව නෙ...ඉතින් මගෙ පස්ස වැහෙන්නම දිගට මයිල් පිරිලා....ඔය අස්සෙන් මගෙ පශ්චාත් බාගෙ ලාවට පේනවා...

ඉතින් අපේ අම්මගෙ මහත්තයා මා එක්ක මල පැන්නම කියන්නෙ..."-ට හැලෙන්න දෙන්නෙ...ආයෙ චූ කලොත් කියල..."ශරීරයකට අත්‍යාවශ්‍ය අවයවයක් වෙච්චි...මං තාම පොඩි එකා වෙච්චි..එයාට වටින්නෙ නෑ..මට ඒ වගේ තර්ජනයක් කරන්න...මම ඉතින් එවෙලෙට කරබාගෙන බිම බලන් යන්න යනවා...

එයා ගැන මේ ඇති...දැන් අපෙ ඉලන්දාරි දෙන්නා ගැන ලියමුකො

ඔය මෙහෙ ගෙදර ඉන්න ලොකු ඉලන්දාරියා ඉන්නවා නේද....දැක්කම හිතෙන්නේ කන්න බොන්න නැති දේශයක ඉඳන් ඇවිල්ල කියල.....ඒකාට වඩා මට පුළුවන් කන්න....මාත් එක්ක කෝලමට එන්න නම් කියාපු මෑන්..වෙලාවකට රෙස්ලින් ගහනවා කියලා මාව බිම පෙරලනවා.....එහෙම නැත්නම් මාව මැෂින්ගන් එකකට අරන් මගෙන් වෙඩි තියනවා ...ඕව ෆොටෝවකින්ම මිසක් කෙනෙක්ට කිව්වට තේරෙන්නේ නැහැ ....

පොඩි මෑන් නම් මගේ ෆොටෝ ගන්න තමයි ආස...මාත් පවුනේ කියල ඕන ඕන විදියට අරගන්න දීලා බලන් ඉන්නවා....ඒවා ඉතින් ඉන්ස්ටග්රාම් වල එහෙම දානවා කියන්නේ...ඒ ගන්න ඒවාට අඩු ගානේ මට මාරි බිස්කට් එකක් වත් ලැබෙනවා නම් දුකක් නෑ.......( ඒ කියන්නේ මම මාරි කන්න ආසයි කියන එක...කවදාහරි මාව බලන්න එන අයට සිහි කිරීමක් මේ ...)

ඔය කවුරු ගැන කොහොම ලිව්වත් අම්මා ගැන ලියන ටික තමා රහම....ඔයාලත් බලන් ඉන්නේ ඒ ටික අහගන්න නේ...නේද ...

හැබැයි මේවා කියවලා..අම්මට අනම් මනම් කියල ..ඔයාල මගේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාවය එහෙම නැති කරනවා නෙවෙයි හරිද.....මොකද එයා හොඳම හොඳ වගේම තමා තරහ ගියාම...වෙන මොකුත් නැහැ...මුණ වත් බලන්නේ නැහැ ...හප්පේ එයාව යාළුකරගන්න මම ඉන් පස්සේ මිදුල වටේ දුවන්න නටන්න කෝලම් ඔක්කොම දාන්න ඕන.....

අපේ අම්මා කියන්නේ ඉතින් අම්මා ම තමා.....එයා ගේ ඉලන්දාරි දෙන්නා දැන් ටිකක් ලොකුත් වෙලා...ජෙෆ්ගෙනුත් එච්චරම අරියාදුවක් මට නැතිත් නිසා....මම හිතන්නේ අම්මාගේ තනි අයිතිය තියෙන්නේ මට කියලා.....අනික් අයට කෙසේ වෙතත් මම අම්මා ළඟ ඉන්නකොට මම ජෙෆ්ට නම් එයා ලඟට එන්න දෙන්නේ නැහැ....පුදුමයකට වගේ ජෙෆ් ඒවා ගණනකට ගන්නෙත් නැහැ...ඒ වුනාට මම පැහැදිලිවම දන්නවා.....ජෙෆ් අම්මාට මාරම ආදරෙයි.....එයා දවසක් මා එක්ක කතා කරන කොට එයාගේ පුංචිම කාලේ ගැන කියපු කතාවලින් මම දැනගත්තා ......මටත් වඩා චූටි කාලෙයි ජෙෆ්ව ගෙනල්ලා තියෙන්නේ කියලා....ඉතින් එයාත් අම්මාට ආදරේ ඇති...හැබැයි මට ඉරිසියා හිතෙන නිසා මම අම්මා ලඟට එයාට එන්න දෙන්නේ නැහැ .....

ඔයාලට ජෙෆ්ව බලන්න ඕන නම් මෙන්න අපි දෙන්නා....



ජෙෆ් ඔය පාඩුවේ උන්නට..මම නම් ඉන්නේ මේ වලක් හාරන ගමන්....මෙතන තිබුණා ගහක්...මම ඒක ගලවලා පැත්තකට දාලයි මේ වල හැරුවේ.....
පස්සේ බලද්දී දන්නේ සීයා ගෙනාව හොඳම වර්ගයේ ගස්ලබු පැලයක්ලු ඒක....කවුද දන්නේ ඉතින්.....


අපේ අම්මා නම් දමන්න නම් කොහෙන් ඉගන ගන්නවද මන්ද ...  මට රයිලි බුයිලි කියනවා ...මල්ලී බබා කියනවා....බුට්ටෝ කියනවා....තුටි බෝලේ කියනවා....එයාට ආදරේ හිතෙන හිතෙන වෙලාවට නමේ හැඩේ වගේම ස්වරය ත් වෙනස් වෙනවා...අම්මා කෙනෙක් කියන්නේ කතාවෙන්   විතරක්  නෙවේ ඇස්වලින් අතින් පයින් පවා ආදරේ පෙන්වන එක්කෙනෙක් ...ඒ කියන්නේ මට ගහනවා කියල නම් නෙවෙයි....

පාරක් ගැහුවත් රිදෙන්න ගහන්නේ නැහැ...හැබැයි මම නරකම වැඩක් කලොත් නම් එයා මාව ගණන් නොගෙනම ඉන්නවා...ඒක ඔක්කොටම වඩා අමාරුයි....මම එවෙලෙට එයා ලඟට ගිහින් එයාගේ ගාව කකුල් දෙකෙන් හිටගන්නවා....ඇයි බෑ කියල හිතුවද...? මට පුළුවන් පිටිපස්සේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න...මොකක් හරි අල්ලාගෙන ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්....ඉන් පස්සේ එයාගේ උරිස්සට ඔලුව තියන් ටිකක් වෙලා සද්ද නැතුව උන්නම එයාගේ තරහ නිවෙනවා.....අත්දැකීමෙන් දන්නේ....අම්මලා කියන්නේ එහෙම අය....

හා එහෙනම් අදට මේ ඇති.....සොඳුරු සඳවතී අක්කා ( අක්කා කියනවට එයා කැමති නෑ කියල මං දන්නවා...) කියනකල් නොඉඳ මම ආයෙම ඊලඟ ටික ලියන්න අම්මට කියන්නම්......

එතකල් සුබ දවසක්...


මම රයිලි..
මම කියන කතාව ලිව්වේ ....විසිරි...


Friday, March 31, 2017

46. රයිලිගෙ කතා 1









මගේ නම රයිලි....
ඇයි නිකම් කට ඇද කරන් බැලුවෙ...ඒක අහල නැති නමක්ද...ඔයාල දන්නෙ නැත්නම් ඒක ඔයාලගෙ දුර්වලකමක්...
මේ ලෝකෙ අපේ වර්ගයේ අයට නම් තබන ලිස්ට් බැලුවම ජනප්‍රියතම නමක් තමයි ඒක....
හරි...
ඒකෙන් මේකෙන් කමක් නෑ...ආයෙ එහෙම මේ විදියට කිසිම කෙනෙක් දිහා කට අද කරල බලන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙන්න ඕන...
නැත්නම් මගෙ හිතේ තියන මේ අටෝරාසියක් කතන්දර ...මෙහෙම ජනගත කරන්න මම කැමති නෑ

ඔයාලා මාව දන්නෙ නැති වෙන්න පුලුවන්....ඒත් අපෙ අම්මාගෙ ( දැන් ආයෙ කට ඇරන් බලනවා...ඔව් ඔව් මේ විසිරි සිහින ද මොකක්ද එකක් ලියන එක්කෙනාට මං කියන්නේ අම්මා කියලා....) ෆේස් බුක් ගිණුමෙ මම හරි ජනප්‍රියයි.....හරි ඔයාල එයාගෙ යාලුවො නම් ගිහින් වෙලාවක ඒකෙ බලන්නකො...

එයාටත් වෙලාවකට පිස්සු අනේ....මාව එහෙට මෙහෙට හරව හරව ෆොටෝ ගන්නව..ඕවා ෆේස් බුක් එකේ දැම්ම ම එයාගෙ යාලුවො කොමෙන්ට් දාන ඒවා මටත් ඇහෙන්න කිය කිය එයා හිනා වෙනවා....සමහර ගෑණු ලමයි අනේ එයා හරී ස්වීට් කියලා කියද්දි නම් මටත් පොඩි මෙව්වා එකක් එනවා

කොහොම හරි මේ කතා ටික ඔයාලට කියන්න ඕන වුණෙ එයාටමයි..මම කලේ අනුමැතිය දීපු එක විතරයි...ඒක දුන්නෙ නැට්ට වනලද කියල නේද අර හිතුවෙ.....මට නිකම් ඕන්නැති විහිලු එපා...මගේ ජාතියෙ අයට නැට්ටක් නෑ...මම ඔලුව හරෝලා මගෙ තාලෙට කැමැත්ත පල කලේ....

මම මෙහෙ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි...ඒ කාලෙ ඉඳන්ම වෙච්ච සමහරක් දේවල් මම කියන්න කැමතියි....අම්මා ඉඩ ඇති විදියට ඒවා ලියාවි...හැබැයි ඉතින් ඒ ලියන මනුස්සයා ගැන හිතලා..මටත් ආඩම්බරයක් දැනෙන්න ....කොමෙන්ට් එකක් එහෙම ඔයාල දෙන්න ඕනා...හොඳ ද...

මාව ඇක්වේරියම් එකක ඉඳලා තමයි ඔය අපේ අම්මාගෙ මහත්තයා...( එයාට මම තාත්තා කියන්නෙ නෑ...බුදු අම්මේ හතර හන්දි කඩාගන්න පොටක් ඒක..) මාව මෙහෙ ගෙදරට එක්ක ආවෙ...ආරංචියෙ හැටියට මෙහෙ උන්නාලු තඩි ඇරවානෙක්..අලි විසාල ටැංකියක...මේ ගෙදර ඉන්න කොලු ගැටව් දෙන්නා...( ඒ දෙන්නටත් මං අයියලා කියන්නෙ නෑ....)...මහ ලොකුවට ඔය ටැංකිය ගෙනාවට ඇහැක් ඇරල බලන්නෙ නෑ...ඒ නිසා අම්මට වැඩ වැඩි වුනා කියලයි අම්මා නම් කියන්නෙ

අන්තිමේදි ඇරවානයි ටැංකියයි වෙනුවට හුවමාරුව උනේ මම...මාත් එක්ක අපෙ අයියාත් එකම කූඩුවෙ උන්නා..ඒත් බලන්න ආව අරයා ( අම්මාගෙ මහත්තයා ) මාවයි තෝර ගත්තෙ...අම්මාට සප්‍රයිස් වෙන්න කියලා...ඔන්න දවසක් අම්මා ගෙදර එන වෙලාවට මෙයාල මාව එහෙට කූඩුව පිටින්ම අරන් ගියා...

මම හොඳාකාරවම දන්නවා අම්මා මාව ගේනවට එච්චර කමැත්තක් දක්වුවෙ නෑ කියලා....රස්සාවට යන්නයි ගෙදර වැඩයි එක්ක...ඒ මදිවට මෙහේ ලොකු හාදයෙක් උන්නා නෙ ජෙෆ් කියලා...එයා ජර්මන් ශෙපඩ් එක්කෙනෙක්....තව අය ඕන්නෑ කියලමයි අම්මා කිව්වෙ...ඒත් අනික් අයගෙ මතය උනේ...අම්මාට කොල්ලො දෙන්නා ලොකු වෙද්දි බල්ලෙක් හරි ගෙනල්ලා දෙන්න ඕන හුරතල් කරල හදන්න කියලා...ලු

සාරි පොටත් කරේ ගහන් ආව එයා මගෙ දිහා බැලුවෙ එච්චරම ලෙන්ගතු බැල්මකින් නෙවේද මන්දා ඉස්සරෝම දවසෙ...හ්ම්ම් නරකම නෑ..කියාගෙන ගෙට ගියාම මට අර කූඩුවෙ කම්බියකින් බෙල්ලෙ වැල දාගන්න හිතුනෙ...ඒ මදිවට අර ජර්මන් ශෙපඩ් ලොක්කා බෙල්ලෙ මයිල් පුම්බන් වටේට කැරකෙනව...හරියට අම්මාගෙ අය්තිකාරයා එයායි කියන්න වගේ...

මගෙ ඇස් වලට කඳුලු ආවෙ  මගෙ අම්මාව මතක් වෙලා...අම්මාගෙ උණුසුමේ මම උන්නෙ කී දවසද....අයියා එක්ක ඇක්වේරියම් එකේ ඉද්දි නම් අපි දෙන්නා ඒ ගැන ඉඳහිට කතා කලා...ඒත් අයියා මා එක්ක ඒ හැටි සුහදකමක් කොහොමත් දක්වුවෙ නෑ...


ටිකකින් ගෙදර ඔක්කොම අය ආවා කූඩුව ගාවට...අම්මා ත් ආවෙ නාලා ගවුමක් එහෙම ඇඳගෙන....කෝ බලන්න මෙයාව...කියාගෙන එයා කූඩුව ගාවට ආවම මට දත් විලිස්සුනා....අපේ ජාතියෙ අය හිනා වෙනව කියන්න එයාලට තේරෙනවයැ...මෙයා ටිකක් වස ජාතියක්ද මන්දා...අම්මා අඩියක් පස්සට ගියා...

ඔන්න එතකොටයි එයාගෙ මහත්තයා මගෙ වර්ණනාව කියවන්න ගත්තෙ...මගෙ වර්ගය කොකස්පැනියල් ලු...මගෙ ජාතියෙ අය ඔය බිම්බෝම්බ හොයන්න වගේ ඒවට යොදාගන්නවාලු....ඔන්න ඔහොම මහ අදාල නැති කතා ත් එයා කිව්වා....,මේ ගෙදර කොහෙද අනේ බිම්බෝම්බ කියලා මට අහන්න හිතුනා...

ඉතින් ඔන්න ඉලන්දාරි දෙන්නයි එයාලගෙ තාත්තයි අම්මයි වට වෙලා මගෙ ගැන කතාව...මම තාම කූඩුවෙ ඉඳන් එයාලව නිරීක්ෂණය....

ඒ අය ගැන ඉතින් වෙන වෙනම විස්තර ටිකක් මහන්සි ඇරල එහෙම කියන්නම්...




මම කතාව කිව්වට මේක මම ලියනවා වගේ ලියන්නෙ අම්මා...


විසිරි....ඔව් එයා තමයි