Sunday, December 1, 2019

118. ලෝකයේ සතුටින්ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි (අවසන් කොටස)

භූතාන ගමනින් මා දුටු සහ උගත් වටිනාම දේ කුමක්දැයි ඔබ ඇසුවහොත් මම කියන්නේ සතුටින් ජීවත් වීම යන්නය....එම ගතකල දින කිහිපය මා වෙනස්ම අයෙක් කල බවත් මම විශ්වාස කරමි.....
.
භූතානය ඔවුන් විසින්ම ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් ඉන්නා රට ලෙස නම් කර ඇත ....
Country of gross national happiness ...

රටක දියුණුව මිනිසුන්ගේ සතුට වැනි ගුණාත්මක සාධකයකින් මැනීම කෙතෙක් අසීරුදැයි මම මෙය ඇසූ මුල්ම අවස්ථාවේ සිතුවෙමි.....එහෙත් එය තරම් රටකට වටිනා වෙන අන් යමක් වේදැයි මම යළිදු සිතමි.....
.
සියල්ල අත හැරීම සතුට යැයි බොහෝ අය කියනු අප අසා ඇත්තෙමු....එහෙත්....සතුට යනු තමන්හට ඇති ප්‍රමාණයෙන් සැහීමට පත්වීමේ හැකියාවයි....එය තනි තනි පුද්ගලයන් වශයෙන් කල හැකි දෙයක් නොවේ....
.
භූතානය සංවර්ධිත රටක් නොවේ...නමුත් මිනිසුන් අතර එකා මත එකා අභිබවා යන අමනෝඥ ගති මා කිසිවිට දුටුවේ නැත.. කෙනෙකු සරල වන තරමට ජීවිතය සැහැල්ලුය...එය තමන් තුලින් පමණක් ඇතිවිය යුත්තක් නොවේ....භූතාන වැසියන් අතර තරඟකාරී බව මා දැක්කේ ඉතාම අඩුවෙනි...ඔවුන් කෙනෙක් හට උදව් කරන්නට නොපැකිලව ඉදිරිපත් වෙති...එමෙන්ම සිනාමුසුව කාලය ගත කරති....
.
ඇඳුම් පැලඳුම් ගත්තද භූතාන වැසියන්ගේ ඇත්තේ සීමිත තෝරාගැනීම් කිහිපයකි....කාන්තාවන් දිගු රෙද්දක් ද කබායක් ද අඳින අතර පිරිමින් දණට පමණක් ඇති කබායක් වැනි ඇඳුමක් අඳිනු දැක්කෙමි....රෙදි වර්ගයේ විවිධත්වය ගැන අවබෝධයක් මට නැතත්....එය මා දුටුවේ භූතාන රජතුමාගේ බිසව අප හමුවීමට ආ මොහොතේ ඇයද ......පාර අතුගාන කම්කරු කාන්තාවද....ඇන්දේ එකම රටාවේ ඇඳුමය......


.
පෞද්ගලික වේවා රජයේ වේවා ඕනෑම වෘත්තීයක් කරන්නෙක් නම් ඉහත කී ඇඳුම නිල වශයෙන් ඇඳීම අනිවාර්යයෙන් කල යුතුය..
.
භූතානය සංචාරක ආකර්ශණයට කෙතෙක් ලක්වුවද...ඔවුන් සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඒ සා උනන්දුවක් දක්වන බවක් නොපෙනෙයි... එයට ප්‍රධාන ම හේතුවක් ලෙස මා දුටුවේ...ඔවුන් විදේශිකයන් වෙතින් තම රටට සහ පරිසරයට වන හානිය ගැන බියවීමය...
.
කෙටිකාලීන හෝ දිගුකාලීන සංවර්ධනය හෝ ධන ලාභයන්ට වඩා ඔවුහු සිය රටේ පරිසරය හා ජනජීවිතයට ඇලුම් කරති..සංවර්ධනය යනු ලෝකයේම දියුණුව මනින නිර්නායකයක් වෙත්දී...ඔවුහු සතුටින් සිටීම ඔවුන්ගේ දියුණුවෙහි ප්‍රධාන මිම්ම ලෙස සලකති.....
.
ආපසු හැරී බලන විට.....ඔවුන් කෙතෙක් නිවැරදිදැයි මට සිතේ .....

භූතානයේ පුහුණු කාල සීමාව තුළ අපට රට තොට බලන්න ඇවිදින්න ලැබුණෙ එක් දිනයක් පමණයි...

පුහුණුව පැවති කාලයේ උදෑසන 8- හවස 5 තෙක් එය පැවතුණ නිසා රාත්‍රියේ මඳක් අවටට ගියත් අධික සීතලත් සමග ඇවිදීම ටිකක් අසීරු වුණා....

ඇවිදින්නට ලැබුණ දිනයේ ඇවිදපු තැන් ගැන කෙටි සටහනක් ලියන්නයි මම මේ සැරසෙන්නෙ...

භූතානයේ පොදු ප්‍රවාහන සේවා අඩුයි...දුම් රිය සේවයක් නැහැ...බොහොමයක් දෙනෙක්ට වාහනයක් තියනවා...ඒ වගේම ඔවුන් පයින් ඇවිදීමත් බහුලව කරනවා...ටැක්සි රථ හැරෙන්න ත්‍රී රෝද රථ නම් ඇත්තෙම නෑ....වාසනාවකට...නැත්නම් රිය අනතුරු බහුල වෙන්නට ඕන තරම් ඉඩ කඩ තියනව...

අපි කීප දෙනෙක් එක් වෙලා කුලී රථයක් ගෙන ඇවිදින්නට ගියා... භූතානයේ බහුලව ම තියෙන්නෙ ආශ්‍රම සහ පන්සල්...

මුලින්ම අපි Buddha Point නම් වූ ස්ථානයට ගියා...විශාල කන්දක් මුදුණේ පවතින රන් ආලේපිත විශාලම බුදු පිළිමයක්...ඒ අසලටම වාහනයෙන් යෑමට පහසුව ඇති නිසා ගමන අසීරු වුණේ නැහැ ...බොහොමයක් භූතාන සහ ඉන්දියානු වැසියන් මෙහි වන්දනාමාන කරනු පිණිස පැමිණෙනවා...


ඒ ස්ථානය කන්ද මුදුනේ ලොකු ඉඩක පිහිටා තියනවා...එය විශාල වේදිකාවක් බඳුයි...බොහොමයක් දෙනා එහි විවේකයෙන් සතුටෙන් කාලය ගත කරනු දකින්නට ලැබෙනවා...

ඈත කඳු වල්ලල සහ පහළින් පෙනෙන සුන්දර නගර දසුන් දිහා දවසක් වුණත් බලන් ඉන්නට පුළුවන්.... (සේයාරූ එක් කර ඇත..)


දෙවනුව අපි ගියා කාන්තා ආශ්‍රමයකට...ඇත්තෙන්ම ඒ භික්ෂුණීන් ද එහෙමත් නැත්නම් බුදු දහම අනුගමනය කරන්නා වූ පූජකවරියන් ද කියා මම දන්නේ නෑ...එය අපේ රියදුරු මහතා හැඳින්වූයේ nun's monastery කියල...

එතනත් අර කලින් ලිපියක මා කියූ කැරකෙන ආකෘති සහිත තාප්පයක් තිබුණා...ආශ්‍රමය තුළ සේයා රූ ගන්නට අවසර නොමැති නිසා එහි සේයාරූ නම් නැහැ..නමුත් ආශ්‍රමය තුල ඇති වන්දනාමාන කරන ස්ථානය වෙත ගියාම අපේ බුදු කුටියක ඇති නිවුණු බව එහි මා දුටුවෙ නැහැ...එම පිළිමය ඇත්තෙන්ම අපි දකින ඒවාට වඩා ටිකක් සැර පෙනුමක් ඇති රැවුල වැවූ කෙනෙක් ගේ එකක්....

ඒ කෙසේ වතුදු ආශ්‍රමය පුරා සියවස් ගණනකට පෙර ඇඳි සිතුවම් බිත්ති පුරා තිබුණා...ඒවා සංරක්ෂණය වෙමින් පවතින ඒවා....

කඳුයායවල් අතරේ ඉහල ඉසව් වල ඇති විවිධාකාර ගොඩනැගිලි විවිධ ආශ්‍රමයන් බව දැනගන්න ලැබුණා....අපේ වගේම ෂඩ් වර්ණ කොඩි වැල් වනාන්තර පුරා ඒ ආශ්‍රමයන්ට යන මාවත් වල එල්ලා තිබුණා.....
.
Once in life time destination එකක් ලෙස හඳුන්වන tigers nest (paro tuktsang) බලන්න යන්න නම් කාල වේලාවක් තිබුණේ නෑ...එය පාරෝ සිට තවත් බොහෝ දුරකට කඳු ශිඛර ඔස්සේ යායුතු ගමනක්...පැය හත අටක් පාරෝ සිට ඇවිදින්න අපට වේලාව තිබුණේ නෑ....

බොහෝ පන්සල් සහ ආශ්‍රමයන් පැවතුණේ ලඟා වීමේ භෞතික අසීරුතා ඇති පරිසරවල...මගේ යෙහෙළිය රෝද පුටුවක් භාවිත කල නිසා අපි සමහර ස්ථාන වලදී දුරින් සිට ඒවා නරඹා යළි පැමිණිය....
.
පාරෝ නදිය ට එක් පසකින් අප යන මාවත දිවෙද්දී අනෙක් පසින් වූ විශේෂ ආශ්‍රමයක සේයා රූ මම එක් කර ඇති....එය යකඩ වැඩ කල එක් පූජකවරයෙකු විසින් තැනූ එකක් යැයි අපේ රියදුරු මහතා කීවා....ඒ යතිවරයා විසින් යකඩ වැඩ කර ගඟ හරහා යකඩින් තැනූ එල්ලෙන පාලමක් ද තනවා තිබෙනව....එය අදටත් ජීවමානයි....එහි සේයාරුවක් නම් මට ගන්නට ලැබුණේ නැහැ....




.

භූතාන ගමනේදි අපි ගිය තවත් අපූරු කෞතුකාගාර දෙකක් තිබුණා....ඒවා තමයි simply Bhutan සහ folk museum කියන ස්ථාන දෙක...
.
මුලින්ම අපි simply bhutan ගියේ....එතන මුලින්ම අපිට එම ස්ථානය ගැන හැඳින්වීම ලැබුණ....භූතාන වැසියන් එඬේර යුගයේ සිට ක්‍රමයෙන් ජීවන රටාව ගොවි යුගය තෙක් ආ විදිය එහි අපූරුවට පැහැදිලි කරදෙනවා ....
.
ඒ වගේම ආරම්භයේදීම සහල් වලින් පෙරන ලද වයින් ටිකක් බොන්නට ලැබෙනව ....ඒ පානය බොන ආකාරයත් ඔවුන් කියා දෙනව....දකුණු අතේ හතර වැනි ඇඟිල්ලෙන් වට තුනක් පානය කලත්තලා අහසට බිඳක් ඉසින්න ඕන...ඉන් පසු එය පානය කිරීමෙන් ආශීර්වාදයන් ලැබෙන බව....
.

ගොඩනැගිලි තුළට ඇතුල් වන්නට උසැති පඩියක් වගේම නූස් දොරක් තැබීම ඔවුන්ගෙ සිරිත...එයින් ගම්‍ය වන්නේ නිවැසියන්ට ආචාර , ගරු කරමින් ඇතුල් වීම.........
.
අපේ වගේම කුරහන් ගල් ධාන්‍ය ඇඹරීමට එහි තිබුණා....පවනේ වේලෙන ඉරිඟු, මිරිස්, කොල වර්ග..මස් ....සංකේතාත්මකව දකින්නට ලැබුණා...ඔවුන්ගේ මුලුතැන් ගෙයක ආකෘතීන්ද එහි සකසා තිබුණා.....

.
මෙහි එක් තැනක මෂ්තිෂ්ක ආඝාතයෙන් පෙළෙන තරුණයෙක් කැටයම් කපමින් ඉන්නව ..ඔහු මාංශ පේශි තානය අධික නිසා අත් භාවිතයට නොහැකියාවක් ඇත්තෙක්...නමුත් පා වලින් නියන සහ කටුව අල්ලාගෙන ඔහු මවන කැටයම් විශ්මය ජනකයි....ඒවා වර්ණ ගන්වන්නේද පාද වලින්මයි.....
.

ඉතින් ඔවැනි බොහොමයක් අපූරු දේ දැක බලා ගනිමින් අපි එතැනින් ඉවතට ආවා.
.. පසුව අපි folk museum වෙත ගියා....
.
එහි පරිසරය හරිම නිස්කලංක අලංකාර එකක් ...ඔන්න ඔය තැනක බෙරිහන් දෙන රෑහියෙක් බඳු සතෙක් මම මගේ වෝලයේ වීඩියෝවත් දමා ඇති......
ඒ වගේම සුන්දර ලයිකන...
.
Folk museum හි ඇත්තේ තට්ටු තුනක සාම්ප්‍රදායික නිවසක්....එය අතීතයේ සිටම භූතාන වැසියන් ගේ නිවසක ආකෘතිය ....
.
ප්‍රධාන ලෙසම දැවයෙන් නිමවූ මේ ගෘහයන් හරිම සවිමත්...
එහි සේයාරූ ගැනීම තහනම් නිසා පිටින් පමණයි අරගත්තේ....


.
පහළම තට්ටුව ගවයන් ආදී සතුන් ඉන්නා ගාලක් , දෙවන තට්ටුව උයන පිහන කෑම ගන්නා සහ නිදියන ප්‍රදෙශය, ඉහලම තට්ටුව වන්දනා මාන කරන සහ ආයුධ ආයිත්තම් තබන ස්ථා නය ලෙස....
.
මෙහි පුරාතණයේ පටන් භාවිත වූ ඇඳුම්, ආයුධ, ගෘහ උපකරණ දකින්නට ලැබුණා....ඇත්තෙන්ම සංස්කෘතිකව ඉතාම වටිනා ලෙස එය දිස් වෙන්නෙ...
.
මෙම සවාරියේදි මා දුටු තවත් දෙයක් තමයි ඔවුන් ශිව ලිංගය හා සමාන වම වන්දනා මාන කරන අනුරු තිබීම....එය ඔවුන්ගේ පුරා වෘත්තයකට සම්බන්ධ දෙයක් ....සෆලතාවය අඩු අයට මෙම ලිංගාකෘතිය වන්දනා මාන කිරීම මගින් දරුපල ලැබෙනවා යයි ඔවුන් විශ්වාස කරනව.....
.

භූතානය සංචාරක කර්මාන්තය ට ඒ සා පෙළඹවීමක් නොකලත් ඔවුන්ගේ විචිත්‍ර ආභරණ ආදිය හරිම සුන්දරයි...මාල වලලු ආදිය ඔවුන් ගේ ඇඳුම් වලට ගැලපෙන අන්දමින් විචිත්‍ර ව දකින්නට ලැබුණා.... මිල නම් තරමක් වැඩියි ....
.
ඉතින් අහඹු ලෙස ගොඩ වැදුණ කඩසාප්පු වල අය ශ්‍රී ලංකා යන නමට ඉතා කැමති බවක් දැක්වූවා...එක් වෙලඳසල් හිමියෙක් ගෙ දරුවන් දෙදෙනාම ලංකාවේ ඉගන ගන්නා වෛද්‍ය සිසුන්...
භූතානය විශ්ව විද්‍යාල වලින් සමන්විත වුණත්....වෛද්‍ය විද්‍යාලයක් නැහැ ඔවුන් ඒ සඳහා ලංකාවට සහ ඉන්දියාවට සිසුන් යවනවා....
.
අපි ආපසු එන දිනයේ අපිට භූතාන බලකොටුව නැරඹීමට දුර සිටන් අවස්ථාව ලැබුණා ....එය ඉතාම සුන්දර තැනක් .... ඒ වගේම පාර අසල නැවතී මා දකින්නට ආසා කල පාරෝ නදිය ත් බලන්නට පොඩි ඉඩක් ලැබුණා .....


.
කෙසේ වතුදු ජීවිතය ට අපූරු අත්දැකීමක් එක්කල...අදටත් මතක් කරමින් සතුටින් ස්මරණය කල හැකි ඒ දින කීපයට මං හරිම ආදරෙයි....
.
මගේ පුහුණුව සහ ඒ ලැබූ සුදුසුකම සහ ඊට පාදක වන වටපිටාව ගැන පසුව දවසක සටහනක් තබන්නම්.....
.
ලෝකයේ සතුටින්ම වසන මිනිසුන් හමුවට මම යනකොට මම තවත් එක් ප්‍රාණියෙක් පමණක්ම වෙන්න ඇති ....ඒත් ඒ දින කීපයට පසු මම ආවේ ජීවිතය අලුතින්ම දකිමින් ...සතුට කියන දේ ජීවිතයට එක් කරගන්නේ කෙසේද යන්න මිනිසුන් විදියට අපි දැකිය යුතු අන්දම වෙනස් වෙන්න අවශ්‍යයි .....මම සිතන්නේ එහෙම ...
.
ගහට කොළට සතාට සීපාවාට ....සමස්ත ලෝකයටම ආදරය කරන්න....මිනිසුන් ඔබට කල කී දෑ ගැන විස්සෝප වෙමින් හිත දූෂ්‍ය කරගැනීමෙන් වලකින්න....ඔබ වටේට ලස්සනම ලස්සන ලෝකයක් තියනවා .....
ලද පමණින් තුටු වෙන්න....කොයි කොහොම දේ තිබුණත් අපි අවුරුදු කීයද තව ජීවත් වෙන්නෙ ...අන්න ඒ කෙටිම කාලය....සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න .....

ආදරය සහ ජීවිතය විඳින්න.....ලෝබ නැතුව ආදරය පුදන්න ...ආපිට කිසිවක්ම අපේක්ෂා නොකරම සතුටින් ඉන්න.....ඒක තමයි gross happiness කියන සංකල්පය........තුළ මා දැක්කේ ....
.
ඉතින් මා එක්ක භූතානය පුරා සැරිසැරූ ඔබට නොවක් තුති......

Sunday, November 24, 2019

117. ලෝකයේ සතුටින් ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි..... (01කොටස )







පසු ගිය මාසයේ අවසාන භාගයේ භූතානය වෙත පුහුණුවක් සඳහා යන්නට මට අවස්ථාව ලැබුණා...
.
ජීවිතේ සමහරක් අවස්ථාවන් ලැබෙන්නෙ අහම්බයෙන්...මේකත් එහෙම දෙයක්...බෑ බෑ කියලා පසුගාමී වෙන හිත සහෝදර නිලධාරියෙක්ගේ බලකිරීම සහ උනන්දු කරවීම මත අයදුම්පතක් යැවීමෙන් මේ පුහුණුවට මාව ත් තෝරගන්නට හේතු වුණා....
.
ඒ ගමනෙදි ගත් සේයාරූ එක්ක කිහිප දෙනෙක් භූතානය ගැන ලියන්න කියලා මගෙන් ඉල්ලා සිටියා.....
.
වැඩ අතරේ ටික ටික ලියන්නේ මේ ඒ අත්දැකීම් ගොන්න.....කොටස් වශයෙන්....හරිම කිලෝමීටර් සහ පැය වලින් ගණනය කිරීම් නම් කරන්න බෑ ගමන් මග සහ අත්දැකීම්...මතකයේ රැඳුණ ඒවා ලියන්නම්.....
.
භූතානයට අපි ගියේ ඔක්තෝබර් 29....දීර්ඝ පියාසැරියක්....පැය තුනකින් බැංකොක් ...ඉන් පසු එතැන පැය හත අටක්....ආයෙම පැය තුනක ගමනක්.....
.
භූතාන් ගුවන් යානා හඳුන් වන්නෙ druk air කියලා....ඒවා සාමාන්‍යයෙන් හුඟක් ලොකු ගුවන් යානා නොවෙයි....එහෙම නොවෙන්න හේතු කීපයක් තියනවා...
.
එකක් ....විශාල යානා ගොඩබස්වන්න තරම් ලොකු ගුවන් තොටුපලක් එහි නෑ....අනෙක කඳු යායකින් වටවුණ ලෝකයේ තියන එක් අසීරුම ගොඩ බස්වන ගුවන් තොටුපලක් ඒක.....අසා දැනගත් තොරතුරු අනුව නම් ඒ සඳහා පළපුරුදු ගුවන් නියමුවන් ඉන්නෙත් කීප දෙනෙක්ලු....



අනෙක භූතානය සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඒ තරම් ලෝකයේ අවධානය නොගන්නා රටක්...ඔවුන් තමන්ගේ සරල සුන්දර ජීවන රටාව සංචාරක ව්‍යාපාරය නිසා බිඳගන්න මැලි බවක් තමයි කතාබහෙන් හැඟුණෙ....
.
යම් යම් සීමාකාරී සාධක නිසා සංචාරකයන් එම රටට එනවා බොහොම අඩුයි....එන තරමක් දුටුවේ ඉන්දියානු අය...ඔවුන් ට වීසා නොමැතිව එම දේශ සීමා හරහා භූතානයට පැමිණෙන්න පුලුවන් ....
.
ඉතින් පාරෝ ගුවන් තොටුපලට යානා එන්නෙ අන්න ඒ සීමාවන් යටතේ...
.
අපි ඇතුලු ගුවන් යානයේ ආ මගීන් පාරෝ ගුවන් තොටුපලෙන් එලියට ආවේ එදා දවසේ හවස පහමාරට පමණ....ඉතින් අපේ ආගමනයට පසු ගුවන් තොටුපලේ කවුන්ටර පවා එදා දවසේ රාජකාරි හමාර කලා...



.
පාරෝ ගුවන් තොටුපල සුන්දර තැනක්....ඈත කඳුවලලු දිහා නොනිමි ආසාවකින් ඇස් පිය නොහෙලා බලා ඉන්න හැකි තරම්...නමුත් ඉදිකටු තුඩෙන් අනින සීතල එක්ක එලිමහනේ ඉන්න නම් බොහොම අසිරුයි....
.
පාරෝ ගුවන් තොටුපල හරිම සුන්දරයි .. පසුව මා භූතානය පුරාම දුටු සමහරක් සුන්දර ගෘහ නිර්මාණ ශිල්පය එහි සිතුවම් වලත් තිබුණා....
.
මේ සමග එහි සේයා රූ ටිකක් ඇති.....






.
ඉතින් පාරෝ ගුවන් තොටුපලින් පිටතට ආ අපි පැය එකහමාරක ගමනක යෙදෙන්න සූදානම් තිම්පු බලා.....රෑ බෝ වෙලා...අඳුරුයි....කඳු මතින් දිවෙන පාරක....අපි රැගත් වෑන් රථය ගමන් කරනවා.....

පාරෝ ගුවන් තොටුපල ඉඳල තිම්පු අපේ නවාතැන් සහ පුහුණු මධ්‍යස්ථාන වෙත පැය එකහමාරක පමණ ගමනක් .....කිලෝ මීටර් වලින් කියන්න නම් තේරුමක් ආවෙම නෑ....
.
හවස හය විතර වෙද්දි පිටත් වූ ගමන....පාරෝ නිම්නය අසලින් වැටෙන මාවත දිගේ.....පාරෝ නිම්නය හරහා පාරෝ නදිය ගලා යනව....නොගැඹුරු එහෙත් දිය රැළිති නගන සුන්දර ම ගඟක්.....



.
මඳකට ඒ දිය දහර වෙත දුවන්නට ඇත්නම් .....හිතට ආ වචන මුවෙන් පැන්නේ මටම නොදැනුවත්ව....
.
ඕක අයිස් වගෙ ඇති....බැහැල ගල් උනාම අපිට සවලක් අරන් එන්න වෙයි..... ඔන්න ගමන් සගයො ඒ බලාපොරොත්තුව බිඳලම දැම්ම.....
.
ඇස් අයාගෙන අඳුර වැටෙනකල්ම ගඟ දිහා බලාගෙන ගමන ගියා අපි...අප රැගෙන යන්නට ආ වාහනය....භූතාන පැරා ඔලිම්පික් කමිටුවේ එකක්....ඇත්තෙන්ම අපේ රටේ වාහනයකට වඩා ඒක wheel chair accessible .....ප්‍රවේශ පහසුකම් අතින් එය නවීන එකක්......
.
මුලු ගමන් මගම අඳුරෙන් ගිලෙද්දි බොහෝ තැන් වල ඉදිරියට එන වාහනය පවා කඳුකර මාවත් වල නොපෙනෙන තරම්....මාවත දෙපසට විදුළි ආලෝකයත් සපයලා නෑ....
.
තැන් තැන් වල පොඩි පොඩි වෙලඳසල වල් පසු වෙනවා....රියදුරු මහතා රට ගැන, භූතාන් රජ පවුල, ඒ වගේම රටවැසියන් සහ පාලන තන්ත්‍රය ගැන, මිනිසුන් සහ අධ්‍යාපනය ගැන හුඟක් දේ කියමින් වාහනය පැදෙව්වා....
.
භූතානයේ අධ්‍යාපන රටාව ගැන විශේෂම කාරණා හොයාගන්න අපහසු වුණත්...කුඩා දරුවන්ගේ සිට අධ්‍යාපනය ට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය බව දැනගත්තා .....බහුතරයක් අය ඉංග්‍රිසි බසින් චතුරව කතා කරන අය....

පාරෝ නිම්නය කියන්නෙ භූතානයේ කෘෂිකර්මාන්තය සම්බන්ධ මිටියාවත. වී ගොවිතැන් කරන ඒ බිම් කඩවල් හෙල්මලු ක්‍රමයට සකස් කරල තියනව හරි අපූරු ආකාරයට ...මේ අපි ගියෙ අස්වනු නෙලන සමයේ.....ලංකාවෙ වගේ යන්ත්‍ර වලින් ගොයම් කැපීමක් නම් දුටුවෙ නෑ...මුලු යායවල් ඔක්කොම මිනිස් ශ්‍රමයෙන් ක්‍රියා කරන්නෙ.....
.

රියැදුරු තුමා ප්‍රකාශ කල අන්දමට භූතාන් වැසියන් එලවලු පලතුරු වගා කරනව වී ගොවිතැනට අමතරව ...ඒක අපි සියැසින් දුටුවෙ භූතාන මාකට් එකට ගිය වෙලාවෙ....අලුත්ම අලුත් බ්‍රොකොලි, තක්කාලි,කැරට් ආදී අලුත්ම එලවලු.....සහ පළතුරු ....
.
ඒ වගේම යැක් ගවයාගෙන් ලබා ගන්නා කිරි වලින් හදන චීස්....home made cheese.....ඔවුන් ට ආවේණික භූතාන් ආහාර බොහොමයක් හැදුණේ චීස් එක් කරලා....කඳුකර කලු හතු වර්ගයක්....මාලු මිරිස් වගේ දිග ඒත් බෙල්පෙපර් වගේ සැර අඩු මිරිස් වර්ගයක්.....සීමිත භූතාන් ආහාර වර්ග අතර තිබුණා...සලාද වර්ග අනිවාර්යයෙන් කෑමට තිබුනා.....
.
පාරෝ නිම්නය අසල ගමන් මාර්ගය සැතපුම් ගාණක් යනකල්ම එකම විදියට මහා කඳු අතරින්....ගලා යන්නෙ.....ඒ ගමන මගකදි අනෙක් පසින් එන තිම්පු නදියත් එයට එක් වෙනව.....ඒ හරිම සුන්දර දසුනක්....
.
භූතානය බෞද්ධ රටක්...කඳු යායවල් අතරේ ආශ්‍රමයන් බොහොමයක් තියනවා රියැදුරු මහතා අපිට පෙන්වූවා....



.

තිම්පු නගරයට ලඟා වෙද්දි රෑ බෝ වෙලා...එළියට බහින කොට ඇඟට දැනෙන්නෙ ඉදිකටු තුඩෙන් අනින සීතල....
.
අපි නවාතැන් ලැබුවෙ තිම්පු නගරයේ ඇති hotel druk හි...එය තරු හතරෙ හෝටලයක්....සත්කාරක සේවය අතින් ඉතාම ඉහළයි..ඒ වගේම රෝද පුටු ප්‍රවේශය ට පහසුයි....නේපාල කණ්ඩායමත් උන්නේ අපි සමග...ඔවුන් සියල්ලන්ම රෝද පුටු වල පැමිණි අය.....
.
ඉතින් රාත්‍රී ආහරයට පසු නින්දකට වැටුණේ පසු දා උදයෙම පුහුණුවට යායුතු හෙයින්...
.
මම මේ සටහනට මගේ පුහුණුව ගැන අවසාන කරන කොටසෙදි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ...ඒ නිසා මේ මුල් කොටස් වල භූතානය සහ එහි ජනකොටස්, ආශ්‍රම සහ දැකපු දේවල් ගැන ලියන්නම්....ඔබට අවශ්‍යත් ඒ දේ බව දන්නා නිසාම...
.
පසුදා උදේ පාතරාසය රැගෙන එළියට බැස්සාම මගෙ ඇස් ගැටුණෙ.....ලොකුම ලොකු රෝසමල් යායක්....සීතල අමතක කරල ඉක්මනින් සේයා රූ ටිකක් ගත්තා....තිම්පු නගරය වටා තියෙන්නෙත් මහා කඳු පන්තියක්....ඒ කඳු සිරස වල දකින්නට ලැබෙන්නෙ වලාකුල් සලු පෙරවුණ සුදෝසුදක්.....
.



තිම්පු ගෘහ නිර්මාණ ශිල්පය හරිම විචිත්‍රයි....ගොඩක් ම සිතු කැටයම් බහුල ගොඩනැගිලි.....හැකි හැම විටම සේයාරූ එකතු කරගත්තා ඒ දේවල් වල....



.
හෝටලය ඉදිරිපස ඇති අපූරු නිර්මාණයක් දුටුවා....එය කුඩා වහලකින් යුත් නිර්මාණයක් ....ඒ තුළ කැරකැවිය හැකි සිලින්ඩරාකාර ව්‍යුහයන් තියනව....හුඟක් දෙනා මුමුණමින් ඒ සිලින්ඩර කරකවමින් ඒ වටා යනවා...මම ඒ සිලින්ඩර නැවත ආශ්‍රමයකදීත් දුටුවා....අසා දැනගත් පරිදි එය ආගමික ආශීර්වාදයන් ලබන එක් ක්‍රමයක්....සමහර විට අපි උදේට තෙරුවන් නැමදල ගමනක් යනවා වගෙ වෙන්න පුලුවන් .....
.
තිම්පු නගරයේ බොහොමයක් ගොඩනැගිලි තවමත් පැරණි සම්ප්‍රදාය අනුවයි ගොඩ නැගෙන්නෙ....ඒ වගේම ඔවුන් විශාල දැව භාවිතයක් මේ සඳහා භාවිත කරනව....ඒක ගැටලුවක් වුණා හිතට...මේ තරම් දැව භාවිතයක්...පරිසර හිතකාමී කියන රටක...
.



නමුත් ඔවුන් ඒ භාවිතය , පරිභෝජනය අභිබවා යන වන වගාවක් කරනවා.....එයයි විසඳුම....ලෝකයේ ඔක්සිජන් භාවිතය ට ලොකුම දායකත්වයක් මෙම රටෙනුත් සැපයෙනවා...ඒ වගේම ඔවුන් කියන අන්දමට ඔවුන්ගේ කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම සෘන මට්ටමකයි පවතින්නෙ......කොච්චර නම් වාසනාවන්ත රටක්ද.......
.
තිම්පු සහ බොහෝ නගර වල ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ බෞද්ධ ආශ්‍රමයන්...එහි පරිසර තත්වය ගත්තාම කඳුකර නිසා ලඟා වීමේ ගැටලු බොහොමයක් තිබුණත් ....හැකි කීප ස්ථානයකට යන්නට හැකි උනා...ඒ චෛත්‍ය සහ පිළිම ආදිය අපේ රටට වඩා වෙනස් විචිත්‍ර බවක් ගත්තා...නමුත් ඇත්තෙන්ම බොහෝ ස්ථාන ඇස පිනවන පරිසරය සමග අලංකාරම දසුන්....
.


ඊලඟ කොටසින් හමුවෙමු


Saturday, October 19, 2019

116. ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️

ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️




මගේ වෘත්තීය ජීවිතය තුළ මම ගතකරන විසි දෙවනි අවුරුද්ද මේක..පුහුණු කාල සීමාව එක්ක ගත්තොත් විසි හතරක්.....
.
එයින් වසර දහ අටක්ම මම ගත කලේ කායික ආබාධයන්ගෙන් පූර්ණ කාලීනව හෝ අර්ධකාලීනව ආබාධ සහිත වූවන්ට ප්‍රතිකාර කරමින්.....
.
මගේ වෘත්තීය ගත්තම කායික මානසික ආබාධයන් දෙකටම ප්‍රතිකාර සලසන ක්‍රමවේදයක්.....
.
ඉතින් මම රැකියාවට බැඳුණෙ අවුරුදු විසි එකෙන්.... එතැන් පටන් කායික ආබාධයන් ට ලක් වුණ මිනිසුන් එක්ක වසර දහ අටක් මම කාලය කැප කලා....එයින් ජීවිතේ ට උගත් යම් යම් දේ වරින් වර ලියා තැබීමත් කලා....
.
මම මනුස්සයෙක් විදියට ඉපදීම ගැන තෘප්තිමත් ...ජීවිතේ දුක සතුට අභියෝග කඩා වැටීම්, බිඳීම් මොන සුබ අසුබ දේ ආවත් මම මනුස්සයෙක් වීම ගැන මම මගෙ දෛවය ට ස්තුතිවන්ත වෙනවා....
.
ඒ වගේම නීරෝගී මනුස්සයෙක් වීම ගැන...මම සතුටු වෙන්න අරන්....මටත් ඔය ලෙඩදුක් අටෝරාසියක් නැතුවා නෙවෙයි.... hypothyroidism , අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම වගේම වයසට යන කොට එන හන්දි අමාරු වගේ ලෙඩත් මටත් එනව.....
.
නමුත් කායික ආබාධයන් නිසා එක් තැන් වුණ සුෂුම්නා ආබාධ සහිත රෝගීන්, අංශබාගය ඇතුලු ස්නායුමය රෝගී තත්ව වලට ලක් වුණ අය, උපතේ සිට ආබාධයන් ට ලක් වුණ දරුවන්, පිලිස්සුම් කැපුම් කෙටුම් ආදිය නිසා විකෘතිතා වලට ලක් වුණ අය, සන්ධි සහ ඒ ආශ්‍රිත රෝග නිසා සදාකාලිකව වම වේදනාවෙන් පසු වන අය....
.
ඒ අය එක්ක ගත කල අවුරුදු දහ අට මට තියෙන්නෙ කොච්චර නම් වාසනාවන්ත ජීවිතයක් ද කියල හැම මොහොතෙම පසක් කර දුන්න....
.
ඔබ ඔබේ ජීවිතේ ගැන දුක් වෙන මොහොතක හිතන්න අද තව විනාඩි දහයකින් ඔබේ බෙල්ලෙන් පහළට පණ නැතිවෙනව...ඔබට සියලු දේ වැටහෙනව...කතාකරන්න ත් පුලුවන් ...ඒත් ගෙලෙන් පහලට පණ නෑ....ඔබට හිතාගන්න පුලුවන් ද ..මේ දැන් ඔබ ඉන්න තත්වය සහ ඒ තත්වය අතර වෙනස....
.
එහෙම කෙනෙක් එක්ක ජීවිතේ කතාකරල තියනවා නම් .....ඔබ වටහාගනී...ඒ කෙනෙක් ජීවිතේ ට කොච්චර ආසද කියල....
.
ඔබ මානසිකව ආබාධයන්ට ලක් වුණ කෙනෙක් එක්ක කතාකරල තියේ නම්....ඔබ වටහා ගනීවි ඔබ ලෝකය දකින ආකාරය ඔවුන් ට කිසිම වෙලාවක අත්විඳින්නට නොහැකි බව....ජීවිතේ ගැන යථාර්ථය කෙසේ වෙතත් .....ඒකෙ වින්දනීය භාවය කිසිම ආකාරයකට නොවිඳින මිනිසුන් ඉන්නව....ඔවුන් යලි නගා සිටුවන්න රෝහලක කාර්‍ය මණ්ඩලය හුඟාක්ම උත්සාහ ගන්නව...ඒත් මනස වියල් වුණ අයෙක් ගොඩ ගන්න එක කායික අබාධයන්ට ප්‍රතිකාර කරනවට වඩා ගොඩාක් අමාරුයි ....
.
මිනිස්සු ජීවිතේ අතාරින්න තීරණ ගන්නෙ බොහොම ක්ෂණයකින් ...ඒ ඒ කෙනාට අදාල හේතු ඒ ඒ අයට අනුව සාධාරණ ඇති....නමුත් ජීවිතය කියන දෙයින් පළායෑම කියන දේ ....බොහෝම කමැත්තෙන් බැහැර කල හැකි දෙයක්....
.
මිනිස්සු ජීවිතේ හැරයන අවස්ථා තියනව ...සමහර ක්ෂණික ආවේග, දරාගත නුහුණු තැන්....ඒවා අතර මුල් වෙනව....නමුත් ....ප්ලෑන් කර කර ඉක්මන් සහ පහසු මරණ ක්‍රම සොයන්නා ඇත්තෙන්ම ගලවා ගත හැකි මට්ටමේ අය....ඔවුන් අන්තර්ජාලය වගේම ඉන් එහාට කාරණා සොයන්නෙ ඇත්තෙන්ම ජීවිතේ නසා ගන්න අවැසි කම වගේම තව වතාවක් ඉඩ හසරත් ජීවත් වෙන්නත් පතමින්...
.
ජීවිතේ නසා ගන්න ගිනි තියාගත්, අධි මාත්‍රාවලින් ඖෂධ ගත් අය බේරුණාම දැකල තියද ...ඔවුන් ඉල්ලන්නෙ අනේ මාව බේරගන්න කියල....ඒ අන්තිම මොහොතකදි ඔවුන් ට ජීවිතාශාව ඇතිවෙනව...
.
අපිට අවශ්‍යම දේ insight එක.....ඒ කියන්නෙ තමන් තමන්ගේ ඇතුලාන්තය වටහා ගැනීම....ඒක බැරි නම් ඒකට සහය විය හැකි අයෙක් ගෙන් සහය ලබා ගැනීම.....හැබැයි තවකෙක්ට ඇහුම් කන් නොදෙන තරම් හිතුවක්කාර වෙන අයෙක් වේ නම් ...ඒ අතිපණ්ඩිත කම බොහෝම නරක දෙයක්....මොකද සියල්ල දත් සහ තමන් කියන දේම නිවැරදියි කියන මතය දරන අය එක්ක වැඩ කිරීම මානසික / කායික ආබාධ සහිත රෝගීන් සමග වැඩ කිරීමට වඩා මාරම අමාරු දෙයක්......
.
ජීවිතය ට ආදරය කරන්නට...පලදායී අන්දමට ජීවිතේ ගෙවන්නට අවශ්‍යම නම්....කලයුතු පලවෙනිම දේ අත්දැකීම් සහිත සහ ඔබට උපදෙස් දිය හැකි මට්ටමේ අයෙක්ව තෝරාගැනීම....ඒ ඔබට ගැටලුවෙන් මිදෙන්න අවශ්‍ය නම් විතරමයි.... එහෙම නැත්නම් ඉතින් ජීවිතේ කලුපාට කොලයක් කියලා හිතාගෙන ඒ අඳුරේම ගැලෙන එක වලක්වන්න බෑ.....
.
කලුපාට කොලයකට වුණත් පාට අහුරු ටිකක් ඉස්සාම ලස්සනම සිත්තමක් මවන්න පුලුවන් .....

~~~ කිත්මා ~~~

Tuesday, August 13, 2019

115. ක්ෂේම භූමියක්




එකම එක මොහොතකට ක්ෂේම භූමියක නවාතැන් ගනිමුද..... ?

අපි හැමෝටම ජීවිතයේ අවශ්‍ය වන එක දෙයක් තියනවා...ඒ තමා place of peace කියන තැන...මට ඒකට දෙන්න පුලුවන් සරලම වචනය ක්ෂේම භූමියක් කියන එක....
.
මෙන්න මේ තැන අපිට අවශ්‍ය වෙන්නේ ....අපි ජීවත් වෙන ආතතීන්ගෙන් බහුල ජීවිතේ ට සැනසුමක් සැහල්ලුවක් වෙන්නයි....අපි දවස පුරාම අනේක විධ වැඩ රාජකාරි වලට අපේ කාලය, ශක්තිය සහ අවධානය කැප කරල හෙම්බත් වෙලා ඉන්නෙ....
.
අන්න ඒ වෙලාවට නවාතැන් ලන්නට අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ වගෙ තැනක්....ඒක බොහොම සරල සුන්දර තැනක් කරගන්න එක තමන්ට භාරයි...
.
සමහරක් විට ඒ කියන තැන ඔබේම කාමරයේ නිහඬ තැනක් වෙන්න පුලුවන් ...හොඳට බිමට කුෂන් දෙක තුනක් දාල පහසුවෙන් ඉන්න තැනක්...ලස්සන ට මල් ටිකක් දාපු මල් වාස් එකක්...එහෙම නැත්නම් මම තාම හීන දකින අන්දමේ සමර් හට් එකක්....මිදුලෙ කොණක...(මට මදුරු ප්‍රශ්නෙ නිසයි ඒක තාම හදාගන්න බැරි උනෙ...)
.
අන්න ඒ වගෙ තැනක ඔබට ඔබේ මනස යළි සකසා ගන්න ..reboost කරගන්න හැකි අන්දමට සකස් කරගන්න ඕන...එතැන ඉඳන් සිංදුවක් අහන්න....ආසම කෑමක් කන්න...පොතක් කියවන්න..ආසම කවියක් අලුතින්ම ලියන්න......ලෝකයම මඳකට අමතක කරල ඔබ වෙනුවෙන් ඒ තනාගත් තැන තනිවෙන්න....
.
එහෙම මොකුත්ම නැත්නම් ඇස් දෙක වහගෙන deep breathing ටිකක යෙදෙන්න....ඔබ සන්සුන් වෙන්නෙ හරිම පහසුවෙන්..
.
තමන් වෙනුවෙන් තමන් ට කාලය කැප කරනවා කියන්නෙ අරුමයක් නොවෙයි....ඒක ආත්මාර්ථකාමී දේකුත් නෙවෙයි..
අනෙක් අයට වගෙම ඔබ ඔබටත් කාලය දෙන්න....
.
මෙන්න මේ වදන් පෙල නිවි සැනසිල්ලේ වරක් දෙකක් කියවන්න....
.
Youth is not a time of life...
It is a state of mind
People grow old only by deserting their ideals and by outgrowing the consciousness of youth...
Years wrinkles the skin...
But to give up enthusiasm wrinkles the soul.....
.
You are as old as your doubt, your fear, your despair .

The way to keep young is to keep your faith young.
.
Keep your self - confidence young.
.
Keep your hope young

~~~ L.F.Phelan ~~~

මම

විසිරි සිහින

Saturday, May 4, 2019

112. ඔබේ දරුවා සහ ADHD සමග තරු සටහනක්

ඔබේ දරුවා සහ ADHD සමග තරු සටහනක්

********************************

ADHD සහිත දරුවෙක් ගේ චර්‍යාවන් සම්බන්ධයෙන් දෙමවුපියන් දැනුවත් කිරීමේදී ඉතාමත් වටිනා දෙයක් තමයි Star chart එකක් පවත්වා ගෙන යාම..
.
අපි දරුවෙක්ට ADHD තිබුණත් නැතත් star chart එහෙම නැත්නම් තරු පුවරුවක් පවත්වා ගෙන යාම මගින් බොහෝ හොඳ ප්‍රතිචාරයක් ලබා ගන්න පුලුවන් ...විශේෂයෙන්ම ඔබගෙ දරුවා සමග වැඩ කටයුතු කිරීමේ යම් ගැටලු පවතින විට ධනාත්මක උනන්දු කිරීමක් positive reinforcement එකක් විදියට මෙය භාවිත කරන්න පුලුවන් ....
.
Star chart එකක් පවත්වා ගැනීම දවසකට , සතියකට හෝ මාසයකට එකක් ලෙස පවත්වා ගැනීම පහසු වෙනවා...දරුවාගෙන් දරුවාට මෙම අවශ්‍යතාවය වෙනස් හෙයින් ඔබ ඔබේ වෘත්තීය චිකිත්සක නිලධාරී හමුවෙන වෙලාවට අදාල තරු පුවරුව සාකච්ඡා කරමින් සකසා ගන්න....
.
මම මෙහිදී ඔබට ඒ ගැන ලියන්නේ ඉතාම සංක්ෂිප්ත සටහනක්....පොදු කාරණා සහිත ලිපියක්....
.
තරු පුවරුවක ඇති වැදගත් කම එය visual sign එකක් වීම...ඒ කියන්නේ දෘශ්‍ය සටහනක්...දරුවාට මෙය පැහැදිලිව පේන යමක්...එය bristal board එකක, white board එකක හෝ වෙනත් යම් පුවරුවක පවත්වාගැනීම ඉතා සුදුසුයි...ජංගමය සහ පරිගණකය පහසුවට යොදාගත්තත් එය ඒ තරම් විශාලනයකින් නොපෙනෙන නිසා අපේක්ෂා කරන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ....එය හැමවිටම දරුවාට හොඳින් පෙනෙන ඒ වගේම ඉරා කඩා දැමිය නොහැකි උසකින් තබන්න

සාමාන්‍යයෙන් ඔබේ දරුවා පාසල් හෝ පෙර පාසල් යන දරුවෙක් නම් ඔබට තරු පුවරුව පවත්වා ගෙන යන්න වෙන්නෙ ඔහු හෝ ඇය නිවසේ සිටින අනෙක් වෙලාවේදී...එම නිසා දරුවා       වෙනුවෙන් ඔබ තරු ලබා දෙන ක්‍රියාකාරකම් මොනවාද යන්න ඔබ කලින් නිගමනයක් කරගත යුතු වෙනවා ....
දරුවාගේ චර්‍යා ව කියනදේට කෙලින්ම තරු ලකුණු ලබා දීම එපමණ සාර්ථක නැහැ...
උදාහරණයක් විදියට ...ඔන්න පුතා අද දඟ නොකර උන්නොත් මම තරුවක් දෙනවා කියන එක සාර්ථක මිම්මක් නොවෙයි...
දරුවෙක්ගේ චර්‍යාව මනින්න අවශ්‍ය වෙන්නේ දෛනික කටයුතු වල යෙදෙන අන්දම (ADL), සෙල්ලම් කිරීමේදී දක්වන හැසිරීම් රටා (play) සහ ඉගනීම් කටයුතු වලදී (educational ) ආදී ලෙසයි.....
.
ඔබේ වෘත්තීය චිකිත්සක නිලධාරියා සමග මේ සම්බන්ධව සාකච්ඡා කර වැඩ සටහනක් සාදාගන්න..
.
උදාහරණයක් ලෙස සතියක තරු සටහනක් ඔබ සකසන්නට යනවා නම් එම එක් දිනකට ඔබ දරුවගෙන් අපේක්ෂා කරන කාරණා ප්‍රමාණය තීරණයකට ගන්න...අපි හිතමු කාරණා දහයකට තරු දහයක් දිනකට ලැබෙනව කියල....එහෙම නම් සතියට තරු හැත්තෑවක් ඔහු/ ඇය ලබා ගන්න ඕන ...
.
මුලින්ම දරුවාට ඔබ අපේක්ෂා කරන ඔහුගේ සාර්ථක ඉසව් ගැන පහදාදෙන්න...
අද හොඳට උන්නොත් තරුවයි කියන්න එපා...ඒක අසාර්ථක පියවරක්...
ඇඟේ හලාගන්නෙ නැතුව..පිළිවෙලකට ආහාර ගන්න.....සෙල්ලම් බඩු ටික සෙල්ලම් කල පසු කූඩයට දමන්න....ඒ ආකාරයේ නිශ්චිත ඉලක්ක පැහැදිලි ඉලක්ක දරුවාට ලබා දෙන්න.....
.
තරු පුවරුවේ රතු තරුව යෙදීම වඩා ම උචිත වෙනවා..සමහර අම්මලා නරක වැඩ වලට කලු තරුවකුත් යොදනවා නේද  .? ඒක නම් සුදුසු නැති දෙයක්  ....positive reinforcement එක අස්සට negative reinforcement එකක් දැම්මම දරුවාගෙන් අපේක්ෂිත ප්‍රතිපලය එන්නෙ නැහැ....ඒ නිසා කලුතරු යෙදීමෙන් වලකින්න...
.
දරුවාගෙන් අපේක්ෂිත යම් ක්‍රියාවක් දරුවා කරන්නේ නැත්නම් ඒ අදාල කොටුව හිස්ව තබන්න.....
අන්න ..මේ කොටුවට අද තරුව නැහැ ..පුතා සෙල්ලම් බඩු හැමතැනම විසිකලා නෙ.....දරුවා ඒක වටහාගනීවි....
.
ඒ වගේම සතියක් අවසානයේ ඔබ දරුවාට යම් reward එකක් දෙන්න ඉන්නවා නම්....මේ කරුණු මතක තබාගන්න...

✔️ reward එකක් කියන්නේ කප්පමක් අල්ලසක් නොවන බව

✔️ දරුවා හට වැඩසටහන මුලදීම දරුවාගෙන් අපේක්ෂිත හැසිරීම් සහ ක්‍රියාකාරකම් පහදාදිය යුතු බව

✔️ සාර්ථක සතියක් අවසානයේ දරුවාට උනන්දුකරවීමක් ලෙස ප්‍රයෝජනවත් ත්‍යාගයක් ලැබෙන බව

✔️ හැකි නම් එම ත්‍යාගයේ සේයාරුවක් තරු පුවරුවේ උඩින් අමුණන්න....
.
✔️ මේ ත්‍යාගය ඔහු කැමති ක්‍රීඩා පිටියකට යාම, රාත්‍රී ආහාරයක් සඳහා පිටට යාම, ප්‍රයෝජනවත් සෙල්ලම් බඩුවක් ලබාදීම ....ආදී දෙයක් වෙන්න පුලුවන්

✔️ අසාර්ථක වන ස්ථාන වලදී අදාල කොටු හිස්ව තබන්න...එය දරුවාට feed back එකක් (ප්‍රතිපෝෂණයක් ) වන්නට දෙන්න....

මේ ක්‍රියාවලිය මාසයක් පමණ කරගෙන යන අතර සතියකට හෝ දෙකකට වරක් ඔබේ වෘත්තීය චිකිත්සක වරයා හමුවී උපදෙස් ගන්න.....
.
දරුවෙක්ගේ චර්‍යා වන් නිවැරදි මගට ගන්නට ඉතාමත් පහසු ක්‍රම තියනවා....මානසික තත්ව වලින් පෙළෙන වැඩිහිටියන්හට යොදගන්නා තරු සටහන ට වඩා දරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන විට යම් යම් වෙනස් කම් කල යුතු වෙනවා......
.
ඉතින් මේ සටහනට අදාළ ගැටලු ඇත්නම් විමසන්න...

ස්තුතියි

කිත්මා වාසනා දහනායක

Saturday, April 27, 2019

110. Psychological First Aid (2)

Psychological First Aid (PFA)
දෙවනි කොටස

PFA ක්‍රම වේදයෙහිදී වඩාම කායික සහ / හෝ මානසිකව හානිදායක තත්වයට පත්වුණ පුද්ගලයාට මූලිකත්වය දීමක් සිදුවෙන්න ඕන...ඒ කියන්නෙ වැඩිම අවදානමක ඉන්න අයව හඳුනාගන්න හැකි වෙන්න ඕන.ඒ අතර මානසික ආතතියක් ඉවසා දරා ගන්නට අපහසු අය ගැන ත් අපේ මූලිකත්වය දෙන්න අවශ්‍ය වෙනවා...
.
මෙම PFA ක්‍රමවේදය යම් සිදුවීමක් සිදුවූ වහාම ක්‍රියාත්මක වියයුතු එකක්...නමුත් යම් යම් හේතූන් නිසා අපිට ඒ සිදුවූ සැණින් ඔවුන් වෙත ලඟා වන්නට බැරි වෙන්න පුලුවන් ....නමුත් මාස ගණන් ගතවී නම් PFA,ක්‍රියාත්මක කරල වැඩක් නැතිවෙයි....
.
PFA ක්‍රියාවලිය අදාල පුද්ගලයා ජීවත් වන නිවසේ, සාමාන්‍ය පරිසරයේ, රෝහලේදී හෝ තාවකාලික කඳවුරක දී පවා ඔවුන් වෙත ලබා දෙන්න පුලුවන් .
.
ඔබ ඔබේ මේ සේවය ලබා දෙන්නාගේ පෞද්ගලිකත්වයට වගේම අයිතිවාසිකම් වලට ගරු කල යුතුයි....ඔබගේ මේ මැදිහත් වීම ඔහු/ඇය තව දුරටත් අනතුරට හෙලන්නක් නොවිය යුතු වෙනවා..
.
බොහොමයක් පුද්ගලයන් PFA නමින් නොවුණත් මේ ක්‍රියාවලිය ට මැදිහත් වුවත් එහිදී අදාල ගැටලුවේ සිටින්නාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නේ නැති බව පෙනීයනවා....
.
ඔවුන්ගේ ඡායාරූප ගැනීම සෙල්ෆී ගැනීම හඬපට ගැනීම මෙන්ම අතිශය පෞද්ගලික හැඟීම් තවත් අය වෙත මුදා හැරීම නොකල යුතුම දේවල්...  .
.
PFA හිදී ඔබේ මතවාද සහ අදහස් ඔවුන් තුළට ඇතුල් කිරීමට නොයන්න....සැමවිටම ඔවුන්වෙත ඔබගේ අවංක භාවය සහ විශ්වාසනීයත්වය ලබා දෙන්න...
හොඳ ඇහුම්කන් දෙන්නෙකු වන්න...වාචික සන්නිවේදනයට වඩා ඔබේ අවාචික සන්නිවේදනය  මේ අයට වැදගත්..
අපි මානසිකව ඔවුන්ට සහය වීම අත්‍යාවශ්‍ය ලෙස කල යුතු වෙනවා...emotional support .
.ඇතැම් පුද්ගලයන් මෙහිදී වරද තමා පිට පටවා ගෙන විඳවීම කරනවා ...යම් යම් සිදුවීම් වලදි මම එහෙම කල නිසයි මෙහෙම වුණේ...වගේ අදහස් ඔවුන් වෙතින් දකින්නට හැකි වෙනවා....
.මොවුන් ඉතාම මානසිකවම අනතුරුදායක තත්වයක ඉන්න අය....ඒ අය වෙත ඔබගේ සහය ඉතාම අවශ්‍යයි....
.
ඔබේ අදහස් විමසන මොහොතක අපක්ෂපාතී ව මෙන්ම කලබලකාරී නොවන අයුරින් එම අදහස් ඔවුන් වෙත දෙන්න...
.
ඔවුන්ට වැඩිදුර මානසික සහය අවශ්‍ය නම් නිවැරදි සුදුසුකම් ලද  පුද්ගලයන් වෙත යොමු කරන්න...
කෙනෙක් හට සවන් දීම සහ ඔවුන්ගේ මනස වඩා යහපත් ඉසව් වෙත ක්‍රමානුකූලව යොමු කිරීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා....හරබර ධර්ම සංවාද නම් එපාමයි...ජීවිතේ අනිත්‍ය බව අපි හැමෝම දන්නවා   නමුත් අහිමි වීමක ඉන්න කෙනෙක්ට ඒකපුන පුනා පවසන්න යන්න එපා...
.
බොහොමයක් දෙනෙක් මේ තැතිගැන්ම නිසා නින්ද නොයෑම වැනි තත්ව වල පෙලෙනවා....කොටින්ම කීවොත් මේ තිගැස්ම හෙයින් මම වුණත් ඉන්නේ එහෙම තත්වයක....එහෙත්...අපිට වඩා ඒ අයට මේ තත්වය බලපානවා වැඩියි...
.
ඉස්සරම ජාතික රෝහලේ පුහුණු වෙන යුගයෙදි මුලතිව් සටනෙන් බේරුණ සොල්දාදුවන් මානසික ආතතියට ලක්ව එක් වාට්ටුවක නේවාසිකව උන් කාලය සිහිවෙනවා ...ඒ අවස්ථාවේ දී nightmare ...ඒ කියන්නෙ නින්දෙන් බියවී ඇහැරීම සහ ඉන්පසු නින්ද නොයෑම ප්‍රබල ගැටලුවක් ව තිබුණා....
ඔවුන් වෙත relaxation ක්‍රම කියාදීම යම් ප්‍රමාණයකට සාර්ථක වුණා.....ඒ වගේ පුද්ගලානුබද්ධ ක්‍රම යොදාගන්න  පුලුවන් මෙවන්විටක....
.
මේ සම්බන්ධව වැඩිදුර අවශ්‍ය නම් PFA ගැන WHO guidelines කියවන්න ඔබට පුලුවන් ....
.
අවධාරණය කරන්න ඇත්තේ මෙපමණයි....මානුශිකත්වය උතුරන හදවතක් ඔබට තියේ නම් ...ඒක ඉතාම ප්‍රමාණවත්....ඔබේ අසල්වැසියාට ..මිත්‍රයාට ඔබ අවැසිම මොහොත මේක වෙන්න පුලුවන් ...රෝහලකදි අහම්බෙන් හමුවෙන එවන් සේවාලභියෙක් හට ඔබේ ආදරය සහ කාලය මඳක් දෙන්න....ඔවුන් සොයන්නේ අනුකම්පාව නොවෙයි....සහනයක්....යම් මානසික නිදහසක්...හොඳ ඇහුම්කන් දෙන්නෙක්....
.
මේ එකම අවස්ථාව නොවෙයි...ජීවිතයේ අනේක වාරයක් අහිමිවීම් වගේම දුර්භාග්‍යයන් ට මුහුණ පාන අය අදත් හෙටත් අපිට හමුවෙන්න පුලුවන් ..ඔවුන් වෙනුවෙන් ඔබේ වගකීම සහ යුතුකම ඉටු කරන්න....
.
ස්තුතියි

කිත්මා වාසනා දහනායක

Friday, April 26, 2019

109. Psychological First Aid 01

මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර හෙවත් Psychological First Aid

ලෝකය පුරාම විවිධ අන්දමේ පීඩනයන් මිනිස්සුන්ට ඇති කරන දුර්භාග්‍ය තත්වයන් දිනපතාම ඇතිවෙනව...
.
ජාතිකමය අතින් අපිත් මේ ඉන්නෙ එවන් තත්වයක..අපේම අවට උන්න මිනිසුන් කායිකව ,මානසිකව සහ සමාජීයව අති පීඩනයට ලක් වෙච්ච මොහොතක් මේක...
.
පෞද්ගලිකවම ජීවිත හානි, දේපළ හානි මෙන්ම මෙවැනි දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණදී ජීවිතය ගැලවුණත් ඒ කම්පනයෙන් සිටින අය මෙවැනි සිද්ධියකදී බහුලවම දකින්න පුලුවන් .
.
පසු ගිය ඉරුදින සිදුවීමේදී පටන් මේ වනතෙක්ම අපි හැම කෙනෙක්ම කුමන හෝ ආකාරයකින් මේ තත්වය හා ඊට පසුව ආ තත්වය මත තවම ඉන්නෙ පීඩනයක..
.
නමුත් සාපේක්ෂව ගත්තාම අපි  සමහරක් දෙනා ඒ අති අවාසනාවන්ත තත්වය ට සෘජුව මුහුණ නොදුන් හේතුවෙන් යම්තාක් දුරට එයින් ඉහිල් වීමක් ඇති අය.
.
මේ වගේ අවස්ථාවක..ඔබට සහ මට ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉතාම වටිනා ක්‍රියාදාමයක් ගැන මේ සටහන ලියවෙන්නෙ....
.
Psychological First Aid...
මනෝ විද්‍යාත්මක ප්‍රථමාධාර
.
මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුගමනය කරන එක් වටිනා ක්‍රියාදාමයක්.....
.

මෙහිදී ඔබ සෞඛ්‍ය වෘත්තිකයෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.ඔබ ඔවුන්ගේ ශාරීරික ,මානසික ගැටලු ගැන වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් සහිත වීම අත්‍යාවශ්‍ය ත් නැහැ.
.
නමුත් ඔවුන්ගේ මූලිකම ගැටලු සහ අවශ්‍යතා හඳුනාගෙන එය ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනව....
.
මෙම ප්‍රථමාධාර ක්‍රියාවලිය ට සක්‍රිය දායකත්වයක් ඔබට දීමට අවශ්‍ය නම් එය ඔබට ඔබේ අසල්වැසියාගෙන් අරඹන්නට පුලුවන්.
.
ඉතාමත් අවශ්‍ය වන්නේ ඔබ හොඳ සවන්දෙන්නෙක් වීම.නමුත් වින්දිතයාට කිසිම විටෙක තමන්ගේ මානසික පීඩනය වචන වලට හරවන්න යැයි බලකිරිමක් නොකල යුතු වෙනවා....
.
මේ වගේ අවස්ථාවක ඔවුන් සඳහා ඇති සේවාවන්, පහසුකම් සහ තොරතුරු මෙන්ම සමාජීය උපකාරකයන් ගැන ඔවුන්ට නිවැරදි කරුණු සොයාදීම ඉතාම වැදගත්.එමෙන්ම  තව දුරටත් මේ අයට කායික මානසික හානි සිදුවීම් වලක් වන්නත් ඔබට හැකි විය යුතුයි.
.
උදාහරණයක් ලෙස ගත්කල..මානසිකව පීඩනයට පත්වූ මෙම තැනැත්තා ට හෝ තැනැත්තියට තව කෙනෙක්ගේ නොගැලපෙන අදහස් , යෝජනා මතිමතාන්තර දැක්වීමම තව දුරටත් හානි සිදු කිරීමක් වෙනවා......
.
මතක තබා ගන්න ...මේ මනෝ උපදේශනය psychological counselling නම්නොවේ....
.
මෙහිදී මෙම ගැටලුවට පාත්‍රවූ පුද්ගලයාට තමන්ගේ අත්දැකීම විග්‍රහ කරන්නයැයි කීම ම ඉතාම වැරදි කටයුත්තක්...පසු ගිය දා මාධ්‍ය පුන පුනා කලේ අන්න ඒ වරද...යි..
.
කෙනෙක්ට තමන්ගේ මානසික තත්වය පහදන්න ස්ව කැමැත්තෙන් ඉඩ දීමක් විනා බලෙන් අසා තවත් අපහසුතාවයට ලක් කිරීම PFA හිදී සිදුවන්නේ නැහැ....
.
PFA ඕනෑම අයෙක්ට අවශ්‍ය විය හැකි දෙයක්...බාල මහලු කාන්තා පිරිමි ඕනෑම අයෙක්ට එක හා සමනාව වැදගත් වන මෙය ලබාදියයුතු මට්ටම ගැන ඔබ නිසි අවබෝධයකින් සිටිය යුතු වෙනවා.....
.
ඒ ගැන මීලඟ කොටසින් ඉක්මනින් හමුවන්නම්
.
ස්තුතියි

කිත්මා වාසනා දහනායක