Monday, January 25, 2021

2021(6) මතක පමණක් ...







කඳු ශිඛර , ගිරිහෙල්ද
තැනිතලා මල් තුහින
ඉසියුම්ම සොඳුරු තැන් කැටිව 
එක්කොට තබා ගත් රූ
දහක් අතරේ තිබුණේම නැත.....
.
නෙතඟ බැල්මෙන් නුඹ මදෙස බැලූ හැටි...
වදනකට රතුව ගිය මගේ වත බිම ට හැරවුණ හැටි..
ඇවිද ගිය මං පෙතක අහම්බෙන් අතැඟිලි ගැටුන හැටි....
දෙඋර පොරවා සීතලෙන් ඉන්නා විටක දෑස් නොපියා 
 දුරක සිට සෙනෙහසින් බලා උන් හැටි...
.
ඒ කිසිත් රූ නැත...
මතක පමණක් ඇත....

විසිරි

2021(5) ඒ තරම් අපූරුම දවස්







අහම්බය....
එතරම්ම සොඳුරු වූ ඒ දවස්...
නාඳුනන නුඹද මා ළං කල...
හිනාවක කතාවක දවසැරිය
ඒ තරම් අපූරුම දවස්....
යළි නොඒදැයි සිතෙන
ඒ දවස්....

විසිරි

Sunday, January 24, 2021

2021 (04) ජීවිතේ සුන්දරම දවස්








ඒ දවස්....
අපි ලඟින් උන්
ඒ දවස්...
අතින් අත නොගෑවී
ඇවිද ගිය සොඳුරු මාවත්...
නෙතු ගැටුණ මොහොතක
සිනාවන් මතුව සැඟවුණ
තත්පරයන්...
ඔව්..
ඒ තමයි ...
ජීවිතේ සුන්දරම දවස් ....

විසිරි
❤️

2021 (3) ඔබ ඔබට ආදරය කරනවාද ?




පසුගිය වකවානුවේ තරුණ ගැහැණු සහ පිරිමි දරුවන් කිහිප දෙනෙක්ගේම කතා වලට සවන් දෙන්නියක් වූ මට මෙන්න මේ කාරණය ගැන යළිත් ලියන්නට සිතුණේ....අදටත් වැදගත් වේ යයි සිතුණ නිසා.....

තාරුණ්‍යය කියන්නේ හැඟීම් වලින් පරිපූරණ වයසක් බව ඇත්ත. ඒ වයස පහු කරන් ආව කෙනෙක් සහ යොවුන් වියේ පුතුන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ....ඒ වගෙම යොවුන් වියේ දරු කැලකට උගන්වන ආචාර්‍ය වරියක් විදියට ....ඒ හැඟීම් වල උණුසුම සහ ආවේගාත්මක බව මම හොඳින් අඳුනනවා...


ඉදින්....මේ සටහන ඔබටයි....


ජීවිතයේ අපි හුදෙකලා වූවන් නොවෙන්නේ අප වටා තියන සමාජීය වපසරියෙ තරමට.නිවසින් පටන් ගන්නා ඒ සමාජීය සීමාව...එතනින් එහාට තමන්ගේ ජීවිතය ට එක්කාසු වෙන විවිධාකාර අය එක්ක ප්‍රමාණයෙන් වැඩිවෙනවා....

ඉදින්....ඒ අපේ පවුලේ අය..සමීපතමයන්...පසු කාලීනව අපේ ජීවිත වලට එක්කාසු වෙන පෙම්වතිය හෝ පෙම්වතා ,යාලුමිත්‍රයන්....රැකියා ස්ථානයේ සාමාජිකයන්...ඔන්න ඔය වගේ අයගේ විවිධාකාර හැසිරීම් සහ ප්‍රතිචාරයන් එක්ක ඔබටත් ඔබේ ජීවිතයේ සමහර දවසක " ඇයි මට එයාලා මෙහෙම කලේ ..." කියන ප්‍රශ්නය ඇවිල්ලා ඇති....

ජීවිතේ ඔන්න ඔය ප්‍රශ්නය එක්වරක් හෝ නොපැමිණි අයෙක් වේ නම් ....ඒක අසාමාන්‍ය සිදුවීමක්....ඉදින් ඒ ගැටලුව ගැන විශ්ලේෂණයක් අපි කරන්න ගියොත් ...ඒක මගේ සටහනේ අරමුණෙන් ඈතට යන එකක් වෙනව.....ඒ නිසා එහෙම හිතෙන මොහොතක අන්න ඊට පස්සෙ ඔබ කල යුතුම දේ ගැනයි මම ලියන්නෙ

අපි මනුස්සයන් විදියට ආදරය, දයාව,කරුණාව,සැලකිල්ල වැනි දේට හරිම ලෝබයි..ඒක සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවයක්.ඉතින් ලැබෙද්දී එයට ආසක්‍ත වීම වගේම නොලැබෙන කොට ඉන් කඩා වැටීම සාමාන්‍යයෙන් අපිට සිදුවෙන දෙයක්....

මෙන්න මේ තැනට එන තරුණ වියේ දරුවන්ට විශේෂයෙන්ම වෙන නරකම දේ තමා අනුන් අතින් තමා අත් හැරෙන වේගයට වඩා වැඩි වේගයකින් තමා අතින් තමා අත් හැරීයාම.බොහොමයක් වෙලාවට බරපතලම වෙන්නෙ තමන් අතින් තමා අත හැරීම...

මේ තැනට ආව හුඟක් දූපුතුන් ට මම කිව්ව ප්‍රධානම කාරණය වෙන්නේ ...තමන්ට මූලිකත්වය දෙන්න කියන එක....

අවධාරණයෙන් ..ලියන්න අවැසි එක් කාරණයක් තියනවා....මම උපදේශණය (counselling ) කරන අයෙක් නොවෙයි....ඇහුම් කන් දෙන්නියක් සහ තවත් මනසක් තේරුම් ගත හැකි පුලුල් සිතක් ඇති කෙනෙක් පමණයි..

අනුන් අතින් වෙන නොසැලකිල්ල සහ අනවධානය කියන කාරණා වගේම ප්‍රතික්ෂේප වීම් වලදීත් ඔබ ඔබෙනුත් ඈත් වෙනවා නම් ඔබ විසින්ම ඔබ නොසලකා හරිනවා නම් එතැනදී....පළවෙනි ගැටලුවට අමතරව ඔබ දෙවනි බරපතල ගැටලුවකුත් ඇති කරගන්න පටන් ගෙන.....

.

ඉතින් ඇයි මේ සියලු නොසැලකීම්, බිඳ වැටීම් සහ ප්‍රතික්ෂේප වීම් හමුවේ ඔබ ...ඔබට වඩ වඩා නොබැඳෙන්නෙ...ඔබට ආදරය නොකරන්නෙ...ඔබට වටිනාකමක් නොදෙන්නෙ.....

.

මොහොතකට හෝ ඔබ අන්න ඒ දේ සිතලා තියද....?

තමන් තමා හට ආදරය කිරීම කියන කාරණය බොහෝ ගැටලුවලට අපූරු විසඳුමක් බව මොහොතකටවත් ඔබට සිතිලා තියද...?

ඉතින් ...එහෙනම් අපි ඒ ගැන ඊළඟ සටහනෙන් කතා කරමු.....

එතෙක් මඳක් සිතන්න....

ඔබ කියන කෙනා...ඔබටම කෙතරම් අගනේද....? වටිනවාද ...? යන බව......


2021 (2) දිනපොතක සැඟවුණ ආදරය

 




ආදරය කියන්නේ අපූරුම සුන්දර මනෝභාවයක්...ඒක අර්ථ කථනය කරන්නට අපි අපේම නිර්නායකයන් යොදාගන්නවා.ඉතින් පහුගිය දවසක මගෙ මල්ලි මට වට්ස් ඇප් කලා එයාට හමුවුණ දිනපොතක පිටු කීපයක්. ඔව්..ඔව් අනුන්ගේ දිනපොත් බලන එක බොහොම නරක පුරුද්දක් .....ඒක ඇත්ත ...ඒත් ඉතින් අපි කුතුහලය ඇති අයනෙ .....කියවන්න හිතෙන්න ඇති....ඉතින් ඒ පිටු ටික කියෙව්වාම මටත් ඒ දිනපොත ඉල්ලගන්න හිතුණා.....කියවන්න.....

.

ඒ දිනපොත ලියල තිබුණෙ 1972 ට කලින් වසරක කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගන ගත්ත තරුණියක්....වසර මොකක්ද කියල බලාගන්න ලැබුණෙ නෑ...පිටුවල ලියපු කොටස් පමණක් එවා තිබුණ නිසා....ඇයගේ ඒ පෞද්ගලික දිනපොතේ ඒ පිටු පුරාම තිබුණේ ඇයගේ පෙම්වතා ගැන....ඉතින් ඒ ආදරයේ සුන්දරත්වය හරිම ආදරණීයව මගෙ හිතටත් කාන්දු වුණා.....

.

ඒ තරුණ පෙම්වතුන් හමුවෙලා තිබුණේ කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේදි....ඉතින් ඒ තරුණයා ඇයව බලාගත් ආකාරය ඇයගේ හිතේ හරිම ඉහල තැනක තිබුණා...ඒ වගේම ඔහු වෙතින් ඇය ලද ආදරය වගේම කුඩා තිලිණයන් ගැන ඇය හරිම සතුටින් ලියා තිබුණා.....ඒ වගේම ඇය ආර්ථිකව යහපත් තත්වයක නොවූ නිසා ඔහුට කිසිවක්ම රැගෙන දෙන්නට බැරිකම ගැන ඇය විස්සෝප වෙලා තිබුණා...   " ඒ වෙනුවට මගේ හදවතේ ඇති ආදරය ඔයාට දෙන්නම් ..." කියලා ඇය ලියා තිබුණා.....

.

ඔහු රැගෙන දුන් සාරිය හැඳගෙන දෙන්නා "සාති" බලන්නට ගිය හැටි ඇය ලියා තිබුණා ..එල්පින්ස්ටන් එකේ  අක්කරපහ බලන්නට ගිය බවකුත් ලියා තිබුණා....එදා ඇය ඇඳන් යන්න ඇත්තේ ඒ කාලේ විලාසිතාව වුණ මිනි ගවුමක් වෙන්න ඇති...අර තරුණයා ක්‍රේල් කොණ්ඩෙ පැත්තකට පීරලා බෙල්බොටම් කලිසම එක්ක ඇඟට ම හරියන ශර්ට් එකක් අඳින්න ඇති....ඇත්තෙන්ම ඒ දෙන්නා විජය මාලිනී වගේ.....

.

ඒ යුවතියගේ හිතේ තම පෙම්වතා ගැන තිබුණේ හිතම නිවන ඔසුවක් වගේ හැඟීමක්....ගෙදරින් බැනුම් ඇසූ වෙලාවක ඇය සිය පෙම්වතා ළඟ උන්නා නම් හිත නිවෙයි කියලා සිතුවා....ඒ අපූරු ආදරය දිනපොතේ පිටු ගාණක තිබුණා.....

.

ආදරය අකුරු කරන්නට අපි කෙතරම් සමත්ද කියල මං තාම හිතනවා...ඒ දෙන්නගේ ආදරය කිසිදාක නැසුණේ නෑ...නමුත් ලෝකය ට පේන්න ආදරය ප්‍රකාශ කිරීමක් තියෙන්න නැතුවා ඇති ඒ ‍යුගයේ.......

පසුවදන....

ඒ යුවල 1972 දි විවාහ වුණා....ඇත්තෙන්ම ඒ දෙන්නා විජය මාලිනී වගේ ඒ මගුල් පින්තූරෙ.....දරු තුන් දෙනෙක් ගේ දෙමවුපියො වුණ ඒ දෙන්නා ගෙ අතරේ තිබ්බෙ පාඩම් කියාදෙන ආදරයක්....ඉතින් 2004 වසරේ තමන්ගෙ පෙම්වතා තනිකරල ඇය ක්ෂණිකව දෑස් පියාගත්තා ..සමහර විට ඇයගේ අවසන් සුසුම් නික්මෙන්නට ඇත්තේත් ඔහු ඇයව දෑතට ඔසවාගෙන රෝහලට ගෙනියන්න සූදානම් වෙන මොහොතේ වෙන්නත් ඇති.. මොකද ඒ දෙන්නා එකිනෙකාගෙන් වෙන්වුණේ නෑ සිත්වලින්......

දැනට මේ සටහන ලියන මොහොතේත් මගේ ජංගම දුරකථනයේ ඒ දිනපොතේ පිටු වල පින්තූර තියනවා...නමුත් අර සුන්දර තරුණයා ඇයගේ මතකය එක්ක ඈත සුන්දර ගමක ඉන්නා හෙයින් මම ඒ පිටු මෙයට අමුණන්නේ නෑ .....

ආදරය කියන්නේ අන්න එහෙම දෙයක්....කවදා කොහේ කෙලෙසක ඇතිවේද නොදන්නා . ..කෙසේ පවතීද කෙසේ වියැකේද නොදන්නා....

එය සුන්දරම හැඟීමක් කරගන්න එක ඇත්තේ අපේ අතේමයි......

ඉතින් අවසානයේ ලියන්නම්.....ඒ අපූරු පෙම්වතුන් දෙන්නා තමයි මගේ අම්මයි තාත්තායි..

Thursday, January 7, 2021

2021 (1) ඔබේ_දරුවාට_උගන්වන්න..

 


ඔබේ_දරුවාට_උගන්වන්න..

01. අන් මතයට ගරු කරන්නට...එවිට...ඔවුන්ගේ මතය දෙස ද සෙසු අය සාධාරණ ලෙසින් බලන බව ඔවුන් උගනිනු ඇත......

02. අනිකෙකුට ගරු කරන්නට....ඔවුන්ට කියාදෙන්න එම ගරු කිරීම නිවට වීමක් නොවන බව......පෙරළා සමාජය ඔවුන්හට ගරුකරන ආකාරය ඔවුන් ඉගන ගනීවි.....

03. ඉවසන්නට..

සමහරක් සිදුවීම් වලදී..ඉවසීම තරම් පහසුවක් වෙන කිසිම ක්‍රියාමාරගයකින් නොලැබෙන බව ඔවුන් උගනීවි....

04. බලාපොරොත්තු තබා ගන්නට

බිඳීයන බලාපොරොත්තු මත අලුතින් බලාපොරොත්තු ඇතිකරගන්නා එක කෙතරම් සුන්දර දැයි ඔවුන් උගනීවි.......ඔවුන් අන් අයටත් එය උගන්වාවි

05. කඳුලට වඩා සිනහවේ බලය ලොවට දෙන්නට......

ඔවුන් ඒ සිනහවෙන් ලෝකයේම අඳුර දුරුකරාවි

පොත පතින් උගන්නා දහසක් කරුණු අතරේ.....මේ යහගුණද ඔබේ දරුවාට පුහුණු කරන්න......එය ලොකු මිනිසෙකු නොව හොඳ මිනිසෙකු තැනීමේ අඩිතාලමයි..........

කිත්මා වාසනා දහනායක