Sunday, October 22, 2017

77.ජිවිතය යනු.....පාඩමකි...(life is a lesson)



ජීවිතය කියන්නෙ මොකක්ද...?

අද උදේ මගෙ පාඩම වුණෙ life span development ...
තදබල තියරි එකක් එකතු වෙන පාඩමක් කරන්න කලින් මම ඊට කලින් දවසෙ ඉඳලම ඒක ප්ලෑන් කරනවා...
ළමයින්ට ඒක ආකර්ශණයක් නොවුනොතින්...කිසිම න්‍යායාත්මක කරුණක් ඔවුන්ගෙ ඔලුවට යන්නෙ නෑ.....

අද මගෙ පැය දෙකේ පාඩමට පවර් පොයින්ට් භාවිත කලේම නෑ...interactive session එකක් විදියට ඒක කරන්න මට හිතුණා...ඇත්තෙන්ම ඒ පැය දෙක හරිම උද්‍යෝගමත් කාලයක් වුණා...

ඉතින් පාඩමට පෙර මං ඇහුවෙ...what is life ?...කියලා.....30කට වඩා සිසු කණ්ඩායමක් තිස් විදියක උත්තර දුන්නා මට.....
ඒ හැම එකම හරි.....
මොකද ...
ජීවිතය ......ඔබ ..මම..ඇය...ඔහු...අපි දකින්නේ වෙනස්ම ආකාර වලින්.......
ඒක අපේ අනන්‍ය ආකාරයන්.....
ඔබ ජීවිතය කියන්නෙ කුමකටද........

සමහරු ජීවිතය විග්‍රහ කලේ උපත හා මරණය අතර කාලය ලෙස ..
සමහරු ඒකට අඩුමකුඩුම එක්කලා
වගකීම් ...යුතුකම්...බලාපොරොත්තු ...අභියෝග....සම්බන්ධතා...වාගෙ ඒවයින්......
තව අය කිව්වා සතුටින් ඉන්න එකටයි ජීවිතේ කියන්නෙ කියල.......
....ඒ හැමඑකම හරි
.
.
මොකද ...ජීවිතය life කියන්නෙ අපි කාටත් අයිති එකක් වුනාට......ඒක අපි දකින ආකාරය වෙනස් වෙනව........ඒ නිසයි අපි එකිනෙකාට වෙනස් වෙන්නෙ.....

වෛද්‍ය විද්‍යානුකූලව ගත්තොත් ජීවිතය කියන්නේ උපතේ සිට මරණය තෙක් විවිධ අවස්ථා වල පෙල ගැස්මක්...
අපේ ජීවිතය පටන් ගන්නේ හිස් කඩදාසියක් වගේ....එයට අකුරු රටා එක් වෙන්න ගන්නේ ...කාලය එක්ක.....
.
.ඉතින් මගෙ දෙවනි ප්‍රශ්නය....ඔවුන්ට...

Human beings are bound by time.....

මෙන්න මේ වාක්‍යය මම ඔවුන්ට ඉදිරිපත් කලා....සාමාන්‍යයෙන් මගෙ සිසුන්ට මම සාකච්ඡා විනාඩි පහක් මෙවැනි වෙලාවක දෙනවා...එම සාකච්ඡාව තම යාබද සගයා සමග පමණක් .....ඔවුන් දෙදෙනාගෙම අදහස් එකතුව ඉන් පසු විමසනවා......

ඉහත වාක්‍යය විග්‍රහ කරන්න.....
.
.ඇත්තෙන්ම අපූරුයි....
අපි කාලය එක්ක බැඳුණ ජීවී කොට්ටාසයක්...එහෙම නේද.....
මේක විද්‍යාත්මකව එකිනෙකා දකින ආකාරය වෙනස්....
.නමුත් ..
.
.
හැම විටම ගුරුවරයෙක් තම සිසුන්ගෙන් ඉගන ගන්නවා.....
.
.කාලය අපිව කොහොමද අල්ලා ගෙන ඉන්නේ කියන දේ ඔවුන් මෙන්න මෙහෙම කිව්වා..මේ ඔවුන්ගෙත් මගෙත් අදහස් එකතුව....
.
.ඉපදුණ දා සිට මැරෙන තුරු අපි කාලයට අනුව කරන දේවල් ඒ ඒ කාල පරාසවලදී සිදුවෙන නියතයන් ලෙස සම්මත වෙනවා....
අපි උපන්දා පටන් ...මැරෙන තුරු කාලය බෙදා ගත්තාම ඒකෙ මුලම 1/3 තුළ මේ වෙන කායික මානසික වෙනස්කම් හුඟක් පෙනෙනවා...ඒ ඒ සිදුවීම් ඒ ඒ වයසට නොවුනාම අපි එතන ගැටලුවක් ඇතැයි ප්‍රකාශ කරනව...
.
.මෙය..හැම ජීවියාටම පොදු දෙයක්......මගෙ සිසුන් ගෙ වයස් පරාසය අවුරුදු 21 - 25 අතරෙ...ඒ අයගෙ වර්ධන රටාවල් කාලය එක්ක විමසන එක හරිම අපූරු අත්දැකීමක් වුණා......
.
.
අපි ජීවින් ලෙස කාලයෙන් බැඳිලා ඉන්නවා නියතයන් වලට....අන්න ඒකයි පැවැත්ම.....

දැන් ඔය කාලය එක්ක ජීවිතේ බැඳෙන කතාව..කතා කලාට පස්සෙ...අපි ඒ ඒ කාලවල අපේ life events ගැන කතා කරන්න ගත්තා....

..ජීවිතයේ මුල්ම අවුරුදු තිහ ගත්තම ...ඒ කාලය තමයි කාලය එක්ක අපේ ජීවිතයේ පැහැදිළි වෙනස්කම් වෙන කාලය....
.
.ඉනුත් මුල්ම අවුරුදු කීපය බැලුවොත්...වෙන වෙනස්කම් හරිම දර්ශීයයි.....
.දරුවෙක් උපත ලබපු දවසේ ඉඳන්....මුල්ම අවුරුදු කීපය තුළ විශාල පරිවර්තනයකට කායිකව සහ මානසිකව ලක්වෙනවා..
..
.
මෙන්න මේ කාල වකවානු නිශ්චිතයි..අපි ඒවාට boundary stones කියනවා..සමහර අය mile stone කියලත් කියනවා...ඒ ඒ කාල පරාස වල ඒ වර්ධනය නොවුන හොත් ඒක ගැටලුවක්.....පස්සේ කාලෙක වෙයි කියලා බලන් ඉන්න බෑ .....ඒක ඒ කාලෙට වෙන්නම ඕන. ...
.
කායික වෙනස්කම් දර්ශීය වුණත් කෙනෙක් මානසික වර්ධනයේ දුරවලතා හඳුන ගන්නෙ ප්‍රමාද වෙලා.....ඉතින් ඒ නිසා විමසිලිමත් වෙන්නම ඕන.....

.මම මේ පාඩම තුළ නිරීක්ෂණය කල එක දෙයක් තියනවා ..අද අපේ දරු පරම්පරාව බාහිරලෝකය සහ පුද්ගලයන් නිරීක්ෂණය කරන මට්ටම ඉතාම අඩුයි...
.දරුවෙක්ගෙ වර්ධන පියවර දකින්න නම් ඇත්තෙන්ම දරුවෙක් නිරීක්ෂණය කර තිබෙන්න ඕන...ඒකට තමන්ට දරුවෙක් සිටීම අත්‍යාවශ්‍ය නෑ.....කාගේ හෝ නෑයෙක්ගෙ මිතුරෙක්ගෙ වෙන්න පුලුවන් ...
.
.නමුත් ප්‍රායෝගික ව නිරීක්ෂණය බොහොම අඩුයි .මොකද දැන් දැන් බබෙක් බලන්න ගියත් එතනත් සෙල්ෆියක් ගන්න එක හැර ......නිරීක්ෂණයක් වෙන්නෙ නෑ නෙ......
.
.
අපේ අවට ලෝකය මොන තරම් අපූරුද කියන්න ....මම ඔවුන් ඒ නිරීක්ෂනයන් වෙත රැගෙන ගියා මනසින් ......

මේ සටහන මම මුහුණු පොතට ලියන එකක්...කොටස් තුනක් එකට දැම්මේ මේකට..එහෙනම්.....ආයේ කොටස් ටිකක් එක්ක හමුවෙන්නම්....

සුබ සතියක් වේවා....



මම 

විසිරි 

Thursday, October 19, 2017

76. ජිවිතේ සුන්දරද මෙතරම්





ජීවිතේ සුන්දර ද මෙතරම්......
ජීවිතේ කියන්නේ ත්‍යාගයක්....
ඒක ඔබ ඉල්ලාගෙන ආව දෙයක් නොවෙයි..
ඔබට ලැබුණ දෙයක්...
කාගෙන් ද කොහොමද මොකටද නෙවෙයි...
හිතන්න ඒ කිසිත් නොදැන ඔබට තෑග්ගක් ලැබුනම ඔබට හිතෙන්නෙ මොනවද ....
ජීවිතේ ගැනත් එහෙම හිතන්න...
.
.මම වෙලාවකට හෙම්බත් වෙනව...
තියන වැඩ හරියට කලමනාකරනය කරගන්න බැරිඋනාම..
රොබින් ශර්මාගෙ පොතක පේලි ටිකක් කියවල හරි මම ආයෙ ට්‍රැක් එකට එන්න බලනව....
එහෙම නැත්තං චිකන් සුප් ෆෝ ද ලයිෆ් සීරිස් එකේ කතාවක් දෙකක්....
ඒවා සමහර වෙලාවට රෙඩ්බුල් එකක් බිව්වම වගෙ ක්ශ්ණික ව අර හෙම්බත් බවින් ජීවිතේ මුදවනව......
.
.
ජීවිතේ විඩාවෙන් බර වෙලාවට..
මං ඔබට කියනව . .
කියවන්න අන්න එහෙම පොතක්...
නැත්නම් අහන්න සිංදුවක්....
ඒක වික්ටර් ගෙ මිසක් ඉරාජ්ගෙ එකක් නොවෙන්න ඔබ වග බලාගන්න...
ඒ වගේම ..
එහෙම හෙම්බත් වෙලාවට එෆ්බී එන්න එපා...
ඒක ....ගැටලු විසඳාගන්න..හෙම්බත් බවින් මුදවගන්න තැනක් නෙවේ...
.
.ඔබ...ඔබම වන්න....
මම
විසිරි.....

Friday, October 6, 2017

75. සඳුදා ව ....



උදෑසන ඇහැරෙමි
කුදු මහත් කටයුතු නිමවමි
දුම් රියට දිව එමි..
සටනෙන් අසුනකට පැනගමි....

මුහුණු පොත විමසමි
කවි එකිනෙකින් කියවමි
සිනහවක් විසුරමි
සෙනෙහසින් අදහස්ද පවසමි.....

හිස ඔසවා බලමි
වියැලි මුහුණුම විමසමි
හිනාවක් නොදිටිමි
වෙහෙසින් ඉවත හැරුණමි.....

යායට පිපී එන..
නම නොදත් කහ මල් යායක
දම් දියබෙරලියාවක
වල්මත් වූ බත් කූරෙකි ....
ගං දෑල අසබඩ
දියට නැමි එක පඳුරෙක
ලා කොළ කදුරු ගෙඩියක
වසා උන් සමනලෙකි වල්වැද.....

හිනාවක් දවටමි
ජීවිතය සොඳුරු යැයි පවසමි .......

(සතුට ඇත්තේ අතලඟය....ඔබ එය විමසන තුරු නොදකී )

~~~ විසිරි ~~~

Monday, October 2, 2017

74. තාත්තාගේ පාඩම


ඉස්සරෝම කාලෙක අපේ තාත්තා මට අපූරු රාජකාරියක් බාර දුන්නේය.
එවකට ඔහු අධිකරණ ක්ශේත්‍රයට අයත් රැකියාවක නිරත විය.ඔහුගේ රැකියාවට අදාල කාර්‍යය වූයේ දික්කසාද නඩු සඳහා පැමිණෙන යුවලවල් උපදේශනයයි.
ඇතමෙක් ඒ උපදේශන ලබා තීන්දු තීරණ වෙනස්කොට සමාදාන වු අතර බහුතරයක් දික්කසාදයටම ගියහ.
මේ සියලු කතා නඩු වාර්තා සඳහා ලිඛිතව සටහන් තැබිය යුතු විය.
තාත්තා මට ඒ රාජකාරිය පැවරුවේ මගේ අකුරු ලස්සන නිසා යැයි මම මුලින් සිතුවෙමි.
නමුත් තාත්තා ගේ අකුරු ඊට වඩාම හැඩය.
මම ලියන ගමන් ඒ කටු සටහන් කියවන්නට ගත්තෙමි.
ඒ තුල තාත්තා මට නොකියා කියා දුන් පනිවිඩය මට වැටහුනි.
විවාහය ගැන පොත් දාහක් කියෙව්වද ..මගේ තාත්තා ව්‍යංගයෙන් මට පෙන්වා දුන්නේ.....විවාහයක් ගැන තිබිය යුතු ගෞරවනීය භාවය...අන්‍යෝන්‍ය අවබෝදය සහ බැඳීම් ගැනය.
ජීවිතය යනු ...හැලහැප්පීම් නැති කාපට් පාරක් යැයි සුරංගනා ප්‍රේම කතා වල තිබුනද ....තාත්තා real life stories වලින් ....ඒ යථාර්ථය මට කියා දුන්නේය....
ඇත්තෙන්ම .......
තාත්තා මට මහා පොතකි.....
ඒ උගත් පාඩම් ජීවිතේ දිනන්නට අදත් මට සවිය වේ..

Thursday, September 21, 2017

73. සෙනෙහස නොමියේ....





මට ඒ කාලේ මතක් කරන්න පුළුවන් ජිවිතේ හොඳම කාලේ වගේම නරකම අසීරුම කාලේ විදියට...
මං එහෙම කියන්නේ ඒ කාලේ වෙනකොට මම හරිම සතුටින් මගේ පළවෙනිම දරු උපතට සුදානම් වෙලා උන්න...ඒත් එක්කම මගේ අම්මා....ඔව් ඇය එක කලකදී ලෝකේ උන්න දිරිමත් ම  කාන්තාව...ඇය මේ වෙද්දී උන්නේ ජීවිතය රඳවා ගන්න කරන සටනක පරාජය හමුවේ...ඔව්..ඒ මොලයේ හටගත් ගෙඩියක් නිසා.....

අවුරුදු දහයක් තිස්සේ මගේ අම්මා...ඔව්..ඇය හරිම ස්වාධින උත්සහවන්ත කාන්තාවක්....මේ අසනීපය එක්ක සටන් කළා.නමුත් සියලුම ප්‍රතිකාර, සැත්කම් හා පරීක්ෂණ සියල්ලම සාර්ථක වුණේ නැහැ.කෙතෙක් අසනීප වුවත් අම්මා ඇයගේ මුහුණේ පැවතුන ඒ සුන්දර සිනහව නම් නැති කරගත්තේ නැහැ කිසිම විටක.එහෙත්....ඔව්...එහෙත් වයස අවුරුදු පනස් පහ වනවිට ඇය පුර්ණ කාලීන ආබාධිත තත්වයට පත්වුනා....කතාකිරීමට, ඇවිදීමට,ආහාර ගැනීමට මෙන්ම තනිවම ඇඳුම් ඇඳ ගැනීමට පවා ඇයට හැකි වුණේ නැහැ.

අම්මා දිනෙන් දින මරණය වෙත ලඟා වනවාත් සමගම මගේ කුසේ උන් මගේ දරුවා උපත කරා දිනෙන් දින ලඟා වුණා.මට ඇතිවුන ලොකුම බය මේ ජිවිත දෙක අතර සම්බන්ධයක් ඇතිවන්නට පෙර අම්මා සමුගනිදෝ කියා යි....ඇත්තෙන්ම මේ එන්නට නියමිත ව තිබු සදාකාලික සමුගැනීම වගේම ....මගේ අම්මා සහ මගේ දරුපැටියා ඔවුනොවුන් දැන නොගෙන වෙන් වේද යන්න ගැන මම නිතරම වැලපුනා...

මගේ බිය තහවුරු කරමින් ප්‍රසුතියට නියමිත දිනට සති කීපයක් තියා අම්මා දරුණු කෝමා තත්වයකට පත්වුනා....වෛද්‍යවරුන්ට අනුව ඇය ගැන කිසිදු බලාපොරොත්තුවක් තබා ගැනීම නිෂ්ඵල වගේම ඇයට ආහාර ගැනීමට සවි කල බටය පවා තේරුමක් නැති එකක් වී තිබුණා....

අපි අම්මා ව ගෙදර රැගෙන ආවා...අයගෙම නිවහනේ ඇයගේ ඇඳ මත ඇය කිසිත් නොදැන වැතිර සිටියදී මම අම්මා ළඟ හිඳ ගෙන ඇයට හෙමින් හෙමින් දරුවා ගැන පැවසුවා...අම්මේ එයා දැන් දඟලනවා..මෙන්න පයින් ගහනවා...අම්මාට ඇහෙන්න නැතුව ඇති ඒ කිසිම දෙයක්..ඒත් මම විශ්වාස කරනවා ඇයට එය දැනුන බව....

මගේ ප්‍රසුත වේදනා ඇරඹෙන විටම අම්මා ඇස්දෙක ඇරලා තිබුණා...ඒ ගැන මට ගෙදරින් පවසන විට මම ඔවුන්ට කිවේ...අනේ ෆෝන් එක ඇයගේ කන ලඟින් තියන්න කියල...
අම්මේ...අම්මේ....මේ අහන්න...එයා එන්නයි හදන්නේ...ඔයා ඉක්මනින්ම ආච්චි අම්මෙක් වෙන්න යන්නේ...ඔයාට එක තේරෙනවද.....?
"ඔව් " මොන තරම් පුදුමයක් ද ඒ වචනය....මාස ගානකට පසුව ඇයගේ කටින් පිටවුණා එකම වචනය..මුල්ම වචනය...
මම නැවතත් පයකට පමණ පසු ඇයට අමතන විට ඇයව බලාගන්නා හෙදිය පැවසුවේ ..හිතාගන්නට බැරි දෙයක්...
අම්මා ඇඳ මත වාඩිවෙලා..ඇයගේ ඔක්සිජන් බටය පවා වෛද්‍යවරු ගලවලා....ඇය හිනාවෙනවා ආයෙමත්...

" අම්මේ...මෙන්න ඔයාට මුනුපුරෙක්..." මම කගහුව සතුටින්..

"ඔව්...ඔව් මම දන්නවා.." ඒ ලස්සන තෘප්තිමත් උද්යෝගමත් වචන හතර......

මම දරු පටිය රැගෙන නිවසට එන විට අම්මා ලස්සනට ඇඳ ගෙන ඇයගේ හාන්සි පුටුවේ වාඩිවෙලා ඔහුව / අපව පිළිගන්නට බලා උන්නා......මගේ ඇස් කඳුළු පටලයකින් වැසෙද්දී...මම ඇයගේ ඇකයෙන් පුතාව තිව්වා..ඒ ඇස් හතර එකිනෙක යාවෙන මොහොත තරම් සුන්දර මොහොතක් මට වෙන නැහැ...

ඔවුන් දෙදෙනා එකිනෙකා ඇසුරේ තවත් සති දෙකක් උන්නා....ඇය මගේ බිළිඳා බලන්නට ආ සියල්ලන් සමගම සතුටින් කතා බැහැ කළා....

නැවත සති දෙකකට පසු ඇය පෙර ලෙසම දීර්ඝ ගැඹුරු කෝමා තත්වයට පත් වුණා...අන්තිමේදී ...කිසිදු වේදනාවක් නොවිඳ ..සන්සුන්ව ඇය ජීවිතය අතහැරියා...

මගේ පුතාගේ මතකය...එක්තරා විදියක කටුක මිහිරියාවක් මට ගෙන ආ සිද්ධියක් .
මම ජිවිතේ ඉගන ගත් දේ .....ජිවිතයේ සතුට දුක කියන්නේ එකට බැඳී එන හැඟීම්....
ආදරය ඒ සියල්ලම අභිබවා යනවා....
ඇත්තෙන්ම ආදරය,...සෙනෙහස කවදාවත් මියැදෙන්නේ නැහැ.....


chicken soup for the soul
moms know best....කතා මාලාවෙන් 

පරිවර්තනය කලේ විසිරි 
2017/ 09/ 21 

Thursday, September 7, 2017

72. තෑගී




ජීවිතේ උපන්දවසෙ ඉඳන් විවිධ අවස්ථා වල ..විවිධ කාරනා වලට...විවිධ තෑගි අපිට ලැබෙනවා....

අපි ඕනම කෙනෙක් කැමතියි තමන්ට පුංචි හරි තෑග්ගක් ලැබෙනවට...
මොකද ඒ ලැබෙන දේ තුළ...හැම තිස්සෙම තියෙන්නෙ ලබන්නා කෙරෙහි තෑග්ග දෙන කෙනා තුළ ඇතිවන සුවිශේෂී හැඟීමක්...
ඒක ආදරය..දයාව..සැලකිල්ල ..අනුකම්පාව ...ඕනමදෙයක් වෙන්න පුලුවන් ......

මට ජීවිතේ ලැබුණ තෑගි අතරෙ...වටිනාම තෑගි දෙකක් තියනවා...

ඉන් පලවෙනි එක...මගෙ ලොකු පුතා තුන වසරෙදි පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකින්..ගෙදර එද්දි මට අරන් ආව කොණ්ඩ කටුවක්.....(ඒක පරෙස්සමින් තියාගත්තා ...පස්සෙ ගෙදරට ආව කවුද ..ඒක අරන් ගිහින්.... :(  ....)

අධ්‍යාපන චාරිකාව ගිහින් අනික් දරුවො සෙල්ලම් බඩු අයිස්ක්‍රීම් කඩචෝරු ගනිද්දි....ලොක්කා මනිබඩු කාරයෙක් ගාව කැරකිලා....රුපියල් විස්සකට ඒ ලා රෝස පාට කටුව අරන්....දරුවන් බාරව ගිය අම්මලා ඇස් වල කඳුලු පුරවන් මට ඒ කතාව එදා කිව්වෙ....

ඒක ඇඹරි ඇඹරි මගෙ අතේ ගුලි කල හැටි තාමත් මට මතකයි........

දෙවැන්න.....චුට්ටා තුනේ හතරෙ පන්තියෙදි මගෙ උපන්දිනේකට මට අරන් දුන්නා ඔරලොසුවක්..එයාට ඒකට රුපියල් තුන් සියයයක් වැය වෙලා තිබුණා.එයාට ඉඳහිට අතට දෙන සල්ලි එක්කාසු කරල.ඒකගත්තෙ...ඒ ඔරලෝසුව මම පුලුවන් තරම් කල් අතේ බැන්දා....දැනටත් මම ඒක අරන් තියලා තියනවා......

ජීවිතේ ඉන් පෙරත් ..පසුවත් රුපියල් දහස් ගනනින් වටිනා තෑගි මට ලැබිලා ඇති....නමුත් ජීවිතේ තමන්ගෙ හිතට අමතන සංවේදී ම තෑගි මෙන්න මේවා.....

~~~ විසිරි ~~~

Wednesday, August 30, 2017

71. ප්‍රමෝෂන් ලමිස්සී.....




නිතින් හිස කේ අගට නෙත් බැලුම් හෙලන්නී
ඩ්‍රයි වෙලා ඩැමේජුත් කියා ඇස් පාන්නී
ශැම්පු කන්ඩිශනර්ද අත දරා සිටින්නී
ඇයයි කොස්මැටික් ලොව පෙළහරම පාන්නී..

එහෙ මෙහෙට යන ලියන් පසු පසින් දුවන්නී
අත රැඳෙන ගැල්වුමක හොඳම නිති කියන්නී
ලැබෙන සුලු ලාබයක ඇස දවටවන්නී
ඇයයි සුපිරිම හලේ ප්‍රොමෝෂන් කරන්නී....

නෙත් අඳුන් දියව යන විටෙක ගෙන ගාන්නී
අමුතු හැඩ රටාවට දෙතොල් හැඩ කරන්නී
විමසුමෙන් නිති බලා තව ලඳක් දකින්නී
යළිත් පැස අත දරා පසු පසින් දුවන්නී....

~~~ විසිරි ~~~

Thursday, August 24, 2017

70.කතා පෙට්ටි




මං බස් එකේ ගෙදර යන ගමන්..මගෙ පොඩ්ඩා..මගෙ කතා පෙට්ටිය මගෙ පසෙකින්වාඩිවෙලා...

අපි දෙන්නාට පිටුපස සීට් එකේ අම්මෙක් එක්ක පැටව් දෙන්නෙක්..
ලොක්කාට අවුරුදු හතරක් පොඩ්ඩාට දෙකක් වගෙ ඇති...
තොර තෝංචියක් නැති කුරුලු හඬින් කොල්ලො දෙන්නා අම්මගෙන් එක එක ඒවා අහනවා....එක්කෙනෙක් ඉවර වෙනකොට අනික වෙනම ප්‍රශ්නයක්...අම්මා හෙම්බත් වෙලා වගේ...ටිකක් වෙලා යද්දි අම්මාගෙ නොරිස්සුම් උත්තර තමා ඇහෙන්න ගත්තෙ....

" මං දන්නෑ ලමයො"
" අනේ කට වහන් ඉන්නකො පුතේ"
" තව කියෙව්වොත් මේකෙන් බැහැල පයින් එක්ක යනවා"....
ඔන්න ඔහොම වචන...

අම්මලා දරුවන් එක්ක ගමන් යද්දි හෙම්බත් වෙනවා තමයි...මට මගෙ පොඩ්ඩො දෙන්නගෙ අතිතය මතක් උනා...
ළමා කාලය මහ විමසුම් ඇස් තියන හුඟාක් දේ වෙනස්ව හිතන කාලයක්..

දකින හැමදේකම ප්‍රශ්න කරන්න අලුත් සිතුවිලි දරුවන් ගාව තියෙනවා ..
මොන තරම් හෙම්බත් උනත්......ඔබෙන් කිසිවිටක අයහපත් නොරිස්සුම් සහගත ප්‍රතිචාර දරුවන්ට එන්න දෙන්න එපා....

එයින් ඔවුන් තමන් තුළට නැවෙන නිහඬ චරිත වෙනවා...
ඉඩ දෙන්න ලෝකය ගවේශනය කරන්න
ඉඩ දෙන්න ඒ ගැන විමසන්න
ඉඩ දෙන්න ...ඔබට යමක් උගන්වන්න...ඔව්..ඔවුන් පුංචි ගුරුවරු අපේ....

කතා පෙට්ටි වහන්න එපා......ඒ හැම කුරුලු හඬකම ලෝකයේ ලස්සනම දේ තියෙනවා....


~~~ විසිරි ~~~

Tuesday, August 22, 2017

69 . මල් මතක




උදේම මිදුලට පැන මල් කීපයක ෆොටෝ ගන්නට සහ ඒවා කොමෙන්ට් ලෙස දමන්නට ගිය එකෙන් මතක රැසක් ඇවිස්සුනි...

ඉස්සරම අපේ ගෙදර හවසට පිපෙන හෙන්දිරික්කා මල් මහ යායක් තිබුණි..කහ පාට, සුදු පාට සහ තද රෝස පාට හෙන්දිරික්කා හවසට පිපෙන කොට සුලඟත් එක්ක හීන් සුවඳක් මට දැනේ..

.අපේ ආත්තම්මාගේ අණ ලැබෙන්නට පෙර මල් වට්ටිය පිරෙන්න හෙන්දිරික්කා නෙලන්නට මම එළියට බහිමි.වට්ටියක් පිරෙන්න මල් නෙලුවාට ඒවා ඔහේ වට්ටියේ දාගෙන බුදුපුදට යන්නට බැරිය...නැටි යටට සිටින සේ ඒවා ලස්සනට ඇසිරිය යුතුය....

කහ පාට වටේටත් ....මැදට තැනින් තැන අනෙක් පාටත් තබා එක එක මෝස්තරේට මල් වට්ටිය සැදුවාට ......බුදුහාමුදුරුවන් මා දෙස බැලුවේ එකම කරුණාබර ඇසකිනි......

හෙන්දිරික්කා මල් මතකයේ අපූරුම දෙයක් නම්.....ගස මැරෙන්නට පෙර අල ගලවා අපි කල පරික්ශණයන් ය .....පාට දෙකක අල ගලවා මැදින් බාග කපා තුනී රෙදි පොටකින් ගැටගසා එකට තද කර වැලලූ පසු නැවත එන ගසේ පාට දෙකකින් මල් පිපුණි.සමහර මල් වල පාට දෙකම විය......


මේ පින්තුර නම් අන්තර්ජාලයෙනි ....

මල් ප්‍රෙස් කරන කලාවට ඉතා අසීරු වෙන් එන හෙන්දිරික්කා මල් ......සියුම් වැඩිය.මම දැන් ආයෙත් හෙන්දිරික්කා වවමි...තාම ලඟ ඇත්තේ තද රෝස පාට පමණි...අනෙක් පාටත් සොයා ගත යුතුය.......

සමහරක් මල් පාඩුවේ පිපෙයි....තනිව පිපෙනවාට වඩා ගහක් පිරෙන්න පිපෙනවිට පුදුම ලස්සනය...
හෙන්දිරික්කා .....ඒ වගේමය...


~~ විසිරි ~~

Saturday, August 19, 2017

68. හීන ඉසව්වක්




ඔබ එක්ක තනිවෙන්න මේ වගේ ඉසව්වක 
හීන කප්පරක් දුටු හිතක් තිබුණා මටත්
එකින් එක පැතු හීන ඉදිරිලා වැටෙන කොට 
අලුත් හීනයක් ඇස් මායිමට යළි ඇවිත් ....

තාම ආසයි ඉතින් මේ වගේ ඉසව්වක 
කාත් කවුරුත් නැතුව තනි වෙන්න මට ඉතින් 
හුදෙකලාවට ඉතින් ළඟ ඉන්න අරන් යමි
කටු අකුරු ගලපන්න පන්හිඳක් කොළ ගොඩක් ......



~~~~~ විසිරි ~~~~

Saturday, August 5, 2017

67. හදවතේ ගීතය

හදවතේ ගීතය...





එකමත් එක කාලයක බොහොම වටිනා මිනිසෙක් උන්නා...ඔහු ඔහුගේ සිහින වල ජීවත් වූ ගැහැණිය සමග විවාහ වූවා..ඔවුන්ගේ ආදරය එක්ක...ඔවුන් පුංචි දැරියක් නිර්මාණය කලා...ඇත්තෙන්ම ඇය හරිම දීප්තිමත් සුන්දර කුඩා දැරියක්...අර මිනිසා ඇයට බොහෝ ආදරය කලා.....
දැරිය කුඩා කලදී.....ඔහු ඇය ඔසවා ගෙන ..සියුම් සංගීත ස්වරයක් මුමුණමින් ..ඇය සමග කාමරය පුරා නටන්න පුරුදුවී උන්නා....ඔහු හැමවිටම...." මං ඔයාට ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ..." කියන්න හුරු වෙලා උන්නා.....

දැරිය ක්‍රමයෙන් වැඩෙද්දි..මිනිසා ඇය වැලඳගෙන ඇයට මෙහෙම කිව්වා.." මං ඔයාට ආදරෙයි...මගෙ පුංචි කෙල්ලේ..." .දැරිය ඔහුට තොල් නොපිට පෙරලා මෙහෙම කිව්වා..." මම තව දුරටත් පුංචි කෙල්ලෙක් නෙවෙයි..."
මිනිසා මහ හඬින් සිනාසෙමින් " ඒ වුනාට මට...හැමදාම ඔයා මගෙ පුංචි කෙල්ල..." කීවා....

කුඩා දැරිය තව දුරටත් පුංචි කෙල්ලක් වුණේ නෑ...ඇය නිවසින් බැහැරව ලෝකයට ගියා...ඇය තමා ගැන වඩ වඩා ඉගන ගන්නා අතර මිනිසා ගැනත් වඩා ඉගන ගත්තා....ඇය වටහා ගත්තා...ඒ මිනිසා ඇත්තෙන්ම බොහෝ ශක්තිමත් ..උසස් අයෙක් බව....එමෙන්ම ඔහුගේ හැකියාවන් හා ශක්තීන් ඇය හඳුනාගත්තා.....ඔහු සතුවූ එක් වටිනා ශක්තියක් වූයේ පවුලට ඔහුගේ ඇති ආදරය ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි.....දැරිය නිවසින් ලෝකයට ගියත්....මිනිසා ඇයට දුරකතනයෙන් කතා කර..." මං ඔයාට ආදරෙයි...මගෙ පුංචි කෙල්ලේ..." කියන්නට හුරුවෙලා උන්නා....

එක් දිනක් උදාවුනා....දැරියට තව දුරටත් දුරකතන ඇමතුම් නොඑන දිනක්.....
මිනිසා අනතුරකට පාත්‍ර වී තිබුණා..ඔහුට ආඝාතය ක් වැලඳී තිබූ අතර තව දුරටත් කතා කිරීමේ හැකියාව ඔහු සතුවුණේ නෑ...

වෛද්‍යවරුන් ඇයට පැවසූ පරිදි ඔහුට කියන දේ පවා නොවැටහෙන තත්වයක් උදා වී තිබුණා...තව දුරටත් ඔහුට ඇවිදින්නට..හිනාවෙන්නට ..නටන්නට..වැලඳගන්නට...ඒ කිසිවක් හැකි වුණේ නෑ....එපමණක් තියා තව දුරටත් " මං ආදරෙයි ..මගෙ පුංචි කෙල්ලේ...." කීමට ඔහුට නොහැකි උනා....

දැරිය ඔහු බලන්නට රෝහලට ගියා..තව දුරටත් ඔහු ඒ ශක්තිමත් මිනිසා නොවේ...ඇයට ඔහු පෙනුනේ ඉතා කුඩාවට..දුබලවට...ඔහු ඇය දුටු මනතින් ඇයට කතා කරන්නට තැත් කලද ...එය අසාර්ථක උනා...

දැරිය ඇයට කල හැකි වූ දේ කලා..ඇය සෙමින් ඇඳට නැග මිනිසා පසෙකින් වැතිරුණා...ඔවුන් දෙදෙනාගේම ඇස් වලින් කඳුලු ගලා ගියා...දැරිය ඇයගේ දෑත් මිනිසාගේ කඩාහැලුණ උරහිස් වටා යවා ඇයගේ හිස ඔහුගේ පපුව මත තැබුවා.....

ඇයට සිහි උනා...ඔවුන් ගත කල ඒ සුන්දර කාලය...ඇය කෙතරම් ඔහු තුළ ආරක්ෂාකාරී වූවාද යන බව ..ඒ ආදරය...

ඇයට ඇසෙන්නට ගත්තා මිනිසාගේ හදවත ගැහෙන හඬ .....මොළයට සිදුවූ හානිය ගැන කිසිත් ගණනකට නොගත් ඒ උතුම් හදවත පෙරසේම මාධූර්‍යයෙන් ගැහෙමින් තිබුනා...
ඒ හඬට සවන් දෙමින් ඉන්නා දැරිය විශ්මයට පත් කරමින් හදවත මුමුණන්නට වුනේ...

මං ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ...
මං ආදරෙයි ..මගෙ පුංචි කෙල්ලේ ...
මං ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ....

මිනිසා ට මුවින් පවසන්නට බැරිවුණ දේ හදවත තාල නගමින් තිබුණා.....ඇය පෙර සේම ඒ ආදරයෙන්.....සැනසුණා.....


~~~ විසිරි ~~~

පරිවර්තනය chicken soup for the soul වෙතිනි

Sunday, July 23, 2017

66..මේ අය ගැන දන්නවාද..?





01. බීතෝවන් ගේ සංගීත ගුරුතුමිය හැම විටම ඔහු ගැන පැවසුවේ සංගීත මෙහෙයවීම අතින් ඔහු අසාර්ථක බවයි..ඔහු වයලීනය හැම විටම අල්ලාගත්තේ වැරදියටලු..එමෙන්ම තමන්ට කැමති නාද මිස ඔහු උගන්වන නාද රටා ගැන තැකීමක් කලේ නැහැලු....

02. චාල්ස් ඩාවින් තමන්ගේ වෛද්‍ය ක්ශේත්‍රයේ  වෘත්තිය අත හැර දැමුවාම..ඔහුගෙ පියා ඔහුට කීවාලු..." ඔයාට ගැලපෙන්නෙ බල්ලො පූසො අල්ලන එක තමා " කියලා..
එමෙන්ම ඔහු තමන්ගේ චරිතාපදානය ලියද්දි මෙහෙම ලිව්වාලු...." මගේ සියලුම ගුරුවරුන් සහ මගේ පියා මා ඉතාම සාමාන්‍ය කොලුවෙක් සහ සාමාන්‍ය බුද්ධි මට්ටමට වඩා පහල මට්ටමක සිටින්නෙක් ලෙස සැලකුවා..."

03. වෝල්ට් ඩිස්නි නිර්මානශීලි අදහස් නැත්තෙක් යයි පවසමින් පුවත්පත් කතෘ වරයෙක් විසින් වරක් රැකියාවෙන් නෙරපා හැර තිබෙනවා.ඒ වගේම ඩිස්නිලන්තය නිර්මාණය කරන්නට පෙර ඔහු කීප වතාවක්ම බැංකු නය කරුවෙක් ලෙස ප්‍රසිද්ධ වුනා

04. ඇල්බර්ට් අයින්ස්ටයින් අවුරුදු හතරක් වන තුරු කතා කලේ නැහැලු..එමෙන්ම ඔහු වයස හතක් වන තුරු කියවීමෙත් අසමත් වීලු..ඔහුගෙ ගුරුතුමා කියා තිබේන්නෙ..ඔහු සෙමින් මනස වැඩෙන සමාජශීලි නොවූ..තමන්ගේම මෝඩ සිහින වල ජීවත් වන්නෙක් කියලාලු...එසේ පවසා ඔහු එම පාසලෙන් නෙරපා හැර තිබෙනවා

05. තෝමස් එඩිසන් ගේ ගුරුතුමා පවසා තිබෙන්නෙ ඔහු කිසිම දෙයක් උගන්නට අසමතෙක් කියලාලු

සමහරක් වෙලාවට ඔබත් අසාර්ථක පුද්ගලයෙක් කියල ඔබේ දෙමවුපියො..ගුරුවරු..අසල්වාසීන්..එහෙම කියනවා ඇති....
පේනවා නේද....උඩින් පල කල අය ඒ අය ගැන කට්ටිය කිව්ව අදහස් බොරු කල හැටි....
ඉතින්....
හිතට ගන්න...
එහෙම කෙනෙක් වෙන්න ඔබටත් පුලුවනි....හා නැද්ද....


~~~  විසිරි ~~~

Sunday, June 25, 2017

65. වැස්ස විඳින්නට එන්න ඔබත්




some people feel the rain...others just get wet....


මෙන්න මේ කතාව හුඟක් වෙලාවට මුහුණු පොතෙත් තව එක එක තැන් වලත් පල වෙනවා මම දැකල තියනවා.....

මේක කියලා තියෙන්නේ බොබ් මාලේ....

ඇත්තෙන්ම ඔබ මේ දේ විඳලා තියද....

අපි හැම තිස්සෙම වැස්සෙන් ගැලවෙන්න දුවනවා මිසක වැස්සට තෙමෙන්න ඉඩ හැරලා ඒක විඳිනවද.....

ඔව් ඉතින් වැඩට යන වෙලාවක ගමනක් යන වෙලාවක ඔය කියන දේ කරන්න බෑ තමයි...

ඒත් ගෙදර ඉන්න වෙලාවක....නිකම් හිතෙන්නේ නැද්ද...වැස්සට පැනල පොඩ්ඩක් තෙමෙන්න.....


අද වහින දවසක්...නිවාඩු දවසක්....
ස්වාමිපුරුෂයා ට නිවාඩු නැහැ....උන්නත් ඕනනං අහයි...මනුස්සයෝ පිස්සුද කියල...

ගෙදර ඉන්නේ මම යි ළමයිනුයි බල්ලෝ දෙන්නයි....

ඉතින් කාගේ තහනමක්ද...කවුරු මේක විග්‍රහ කරන්නද...විවේචන කරන්නද....

දෙපාරක් නොහිතා බැස්සා මිදුලට....

කොල්ලෝ දෙන්න හිනාවෙනවා..බල්ලෝ දෙන්න මට හවුලට පැන්න මිදුලට....


වැහි බින්දු එකින් එක මුහුණට වැටෙන කොට...ඒ දැනෙන දේ ..අකුරු වලට හරවන්න අමාරුයි.....

සෙරෙප්පු නැතුව මිදුලේ තණකොළ ගොල්ලේ තෙමි තෙමි ඇවිදින්න....වැස්ස එක්ක හමන සුළං රැලි වල පහස විඳින්න.....මිට වඩා වෙලාවක් වෙන කොයින්ද....

මං කියනවට එක දවසක් ඔන්න ඔය අටෝරාසියක් තියන වැඩයි බරපතල සිතුවිලියි අමතක කරලා....මෙන්න මේ දේ කරන්න.....හිතේ ඇතුලේ පොඩි හරි පීඩනයක් තියේනම්....එක වැහි බිංදු එක්ක අතුරුදහන් වෙන හැටි බලන්න.....



විසිරි .......

Thursday, June 22, 2017

64. ජීවිතය ආදරය ගැන පුංචි කතා...5

අවසානයට පෙර 




                                      


ඒ අම්මා ...ඔව් ඇයට අවුරුදු 26ක් වුණා පමනයි...ඒත් ඇය ශෝකයෙන් පීඩිතව බලාඋන්නෙ ලියුකේමියාවෙන් අවසන්ම මොහොතට ලඟාවෙන ඇගේ සුරතල් පුතු ...බොප්සි...දිහා....
ඇගෙ හදවත ඉමහත් වේදනාවෙන් පීඩිතව තිබුණත් ඒ එක්කම තිර අධිෂ්ඨානයකින් පිරී පැවතුණා....

ඕනෑම අම්මෙක් වගේම ඇයටත් ඕනෑ වුණේ...තමන්ගෙ පුතා වැඩෙන්න ...වැඩිලා ඔහුගේ හීන ඉටු කරගන්න එක දකින්න....
නමුත් තව දුරටත් එම අපේක්ෂාව පවත්වා ගෙන යන්න බැරි ලියුකේමියාව මැදට ආව නිසා...නමුත් ඇයට ඕන වුණා...තව දුරටත් තමන්ගෙ පුතාගෙ සිහිනයන් ඉටු වෙනවා දකින්නට....

ඇය..අම්මා සෙමින් පුතාගෙ අතින් අල්ලා පපුවට තබා මෙහෙම ඇහුවා....
" පුතේ....ඔයා කවදාහරි ලොකු වුණාම කවුරුන් හෝ වෙන්න හීන දැක්කද..? ඔයා ඔයාගෙ ජීවිතේ ඉටු වෙන්න ඕන කියලා මොකක් හරි බලාපොරොත්තුවක් එහෙම තිබුණද...? "
" අම්මා..මම ලොකු වුණාම ගිනි නිවන භටයෙක් වෙන්න ආසාවෙන් උන්නා..." ඒ පුතාගෙ උත්තරයයි....
අම්මා..මඳ සිනහවක් පා මෙන්න මෙහෙම කිව්වා ...
" ම්ම්ම්....අපි බලමුකෝ ඒක අපිට ඉටු කරගන්න පුලුවන් වේවි බොහොම විට..."

ඊලඟ දවසේ අම්මා එම ප්‍රදේශයේ ගිනි නිවන හමුදා ඒකකයට ගියා...එහි ප්‍රධාන ගිනි නිවන නිලධාරියා වුණෙ බොබ්...ඔහු ඉතා විශාල වූ හදවතක් හිමි අපූරු මනුස්සයෙක්...අම්මා බොබ් හට සියලු විස්තර පහදා දුන්නා...ඉන් පසු ඇගේ ඉල්ලීම වුණේ...ඔවුන් හට හැකි නම් තමන්ගේ පුතාට ගිනි නිවන වාහනයක මඳක් දුර ගමන් කල හැකිද යන්නයි....

" නෝනා ...අපි මීට වඩා යමක් කරන්න බලමුද ඔබේ පුතා වෙනුවෙන්...අපි එදා මුළු දවසෙම ඔයාගේ පුතා අපේ ගෞරව සාමාජිකයෙක් කරන්නම්....ඔහුට එදාට අපේ සේවා ස්ථානයට පැමිණෙන්න පුළුවන්..අපි එක්ක කෑම කාලා...ඔක්කොම ගිනි නිවන ඇමතුම් වලට අපි එක්ක යන්නට පුළුවන් ඔහුට....අපි එදාට ඔහුට ඇත්තම නිල ඇඳුමකුත් සපයන්න හිතාගෙන ඉන්නවා...නිකම් සෙල්ලම් ඇඳුමක් හෙම නෙවෙයි නෝනා..ඔහුටම නිර්මාණය කරන..අපේ ෆීනික්ස් නිල ලාංචනය පවා තියෙන ඇඳුමක්...ඒ වගේම රබර් බූට්ස්...මේ ඔක්කොම නිර්මාණය කරන්නේ අපේම ආයතනයේම නිසා..අපිට ඒ ඇනවුම ඉක්මනින් ගන්න පුළුවන් වෙයි..."

දින තුනකට පසු බොබ්...ගිනි නිවන නිලධාරියා...බොප්සි ව ආයතනයට එක්කර ගෙන ගියා..ඔහුට නිල ඇඳුම අන්දවාගෙන....නිල රථයේ ඔහුව රැගෙන ආයතනය වෙත ගෙන ගියා...බොප්සි එදා දිනයේ ගිනි නිවීම් අවස්ථා තුනකට සහභාගී වුනා...ඔහු සියලුම ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන මගින් වීඩියෝ ගත කරනු ලැබුවා....

මේ සතුට හා ඉටු වුන අපේක්ෂා සමග බොප්සි අපේක්ෂා කළ කාලයටත් වඩා මාස තුනක් බොහෝ අපුරුවට ජිවත් වුවා......

එහෙත් එක රැයක....බොප්සි...ගේ රෝග ලක්ෂණ බැරෑරුම් වෙන්නට පටන් ගත්තා...ප්‍රධාන හෙද නිලධාරිනිය...බොප්සි තනිවම සමුගත යුතු නොවන බව වටහා ගත් අතර නිවැසියන්ට මේ බව පවසා වහා රෝහලට එන ලෙස දැනුම් දුන්නා....එකෙනෙහිම ඇයට සිහි වුනේ බොබ් ඇතුළු ගිනි නිවන හමුදා ඒකකයේ පිරිස...

ඇය බොබ් අමතා ...හැකි නම් මේ සමුගන්නා අවස්ථාවට සියලු භටයන් සිය නිල ඇඳුමෙන් පැමිණේ නම් වඩා සුදුසු බව ප්‍රකාශ කළා,,,,,

බොබ්.....ඔහු නැවතත්...අවසරයක් පැතුවා...


"අපට වඩා හොඳ දෙයක් කරන්නට අවසර දෙන්න....ඔබට තව ටික වෙලාවකින් ගිනි නිවන හමුදා රථයේ සයිරන් හඬ ඇසේවි..එවිට ඔබ සියල්ලන්ටම දැනුම් දෙන්න...මෙය ගින්නක් නොවන බවත්..අප එන්නේ ...ගිනි නිවන හමුදාවේ සේවය කළ...ඉතාම අපූරු සාමාජිකයා අවසන් වතාවට දැක බලාගන්නට බවත් ....ඒ වගේම ඔබට පුළුවන් නේද බෝප්සිගේ කාමරයේ ජනේලය හැර තබන්නට...."

විනාඩි පහකට පමණ පසු ගිනි නිවන රථය පැමිණියා...තුන් වන තට්ටුවේ බෝප්සිගේ කාමරයට..දිගු කළ ඉනිමග හරහා...ගිනි නිවන භටයන් එකා පසු පස එකා බැගින් කාමරයට ඇතුල් වුවා...

බෝප්සිගේ මවගෙන් අවසර ගත ඔවුන් සියලු දෙනා  බොප්සි වැළඳගත්තා...ඔවුන් ..ඒ මොහොතේ ඔහුට පැවසුවා.....ඔහු කෙතරම් අපූරු දරුවෙක්ද යන බවත්...ඔවුන් ඔහුට ඉතාම ආදරේ බවත්....

අවසාන හුස්ම හෙලන්නට මත්තෙන් ....බොප්සි...බොබ් වෙත දෑස යොමු කළා.....

" කියන්න...මම ඇත්තටම ගිනි නිවන භටයෙක් කියා ඔබ හිතනවද...? " 

ප්‍රධානියා....බොබ්...ඉතාම ස්ථිර ස්වරයෙන් මෙසේ කීවා...

" ඔව් බොප්සි.....ඔබ සැබෑම ගිනි නිවන භටයෙක්..."

එම වදන් සමගම....බොප්සි...ඉතාම සුන්දර  සිනහවක් සමගින් සදහටම දෙනෙත් පියා ගත්තා.....


***************************************************



පරිවර්තනය.... chicken soup for the soul ....වෙතින්.....



සටහන...විසිරි ගෙන්......

Wednesday, June 14, 2017

63. රයිලිගෙ කතා 2





ඔයාල ඔක්කොටම මාව අමතක වුණත් ....සොඳුරු සඳවතී අක්කාට මාව අමතක වුනේ නැහැ..එයා අපේ අම්මට මගේ ගැන ලියන්නම කියල බල කරනවලු....

මෙහෙ ගෙදර අය ගැන මට දැනෙන හැටි ලියලම දෙවනි කොටස මම පටන් ගන්න හිතුවා....එහෙම නේද හොඳ....පලවෙනි කොටස කියෙව්වෙ නැති අය ඕන්නම්    මෙතනින් ගිහින් කියවල එන්න මගෙ ගැන

අපෙ අම්මගෙ එයා...මහත්තයා...මට එයා ව ඒ හැටි අල්ලන්නෙම නෑ...මාව නිකම් විහිලුවකටමයි ගන්න හදන්නෙ...මුලදි ටිකක් ශේප් එකේ උන්නට...පස්සෙ පස්සෙ මම වත්තෙ තැන තැන ශරීර කෘත්‍යය කරන එකෙන් තමා එයා මා එක්ක අමනාප වෙන්න ගත්තෙ...
අනික එයා වැඩට ගිහින් එන වාහනේ රෝද වල තියන බලු ගන්ධයට ඉතින් ජෙෆුයි මායි ප්‍රතිචාර දක්වනවා..ඒක අපේ වර්ගයාගෙ ගතියනෙ...

උදේ නැගිට්ට වෙලේ ඉඳන් මේකට එයා අපිට බනිනවා,....ජෙෆ් කාලයක් තිස්සෙ ඒ ගෙදර උන්න නිසා එයාට ටිකක් පිලිගැනීම වැඩියි....ජර්මන් ශෙපර්ඩ් කියන්නේ බුද්ධිමත් වර්ගයක්ලු....අනෙ මගෙ කට..ඉතින් ජෙෆ් චූ දාන ඒවටත් මේ අහිංසක මමයි පළි...මේකා නිසා මාත් බැනුම් අහනවා

නරකම කෑල්ල මේකෙ ලියලත් බෑ...නොලියත් බෑ...දැන් මගෙ නැට්ට නෑ කියල මං කිව්ව නෙ...ඉතින් මගෙ පස්ස වැහෙන්නම දිගට මයිල් පිරිලා....ඔය අස්සෙන් මගෙ පශ්චාත් බාගෙ ලාවට පේනවා...

ඉතින් අපේ අම්මගෙ මහත්තයා මා එක්ක මල පැන්නම කියන්නෙ..."-ට හැලෙන්න දෙන්නෙ...ආයෙ චූ කලොත් කියල..."ශරීරයකට අත්‍යාවශ්‍ය අවයවයක් වෙච්චි...මං තාම පොඩි එකා වෙච්චි..එයාට වටින්නෙ නෑ..මට ඒ වගේ තර්ජනයක් කරන්න...මම ඉතින් එවෙලෙට කරබාගෙන බිම බලන් යන්න යනවා...

එයා ගැන මේ ඇති...දැන් අපෙ ඉලන්දාරි දෙන්නා ගැන ලියමුකො

ඔය මෙහෙ ගෙදර ඉන්න ලොකු ඉලන්දාරියා ඉන්නවා නේද....දැක්කම හිතෙන්නේ කන්න බොන්න නැති දේශයක ඉඳන් ඇවිල්ල කියල.....ඒකාට වඩා මට පුළුවන් කන්න....මාත් එක්ක කෝලමට එන්න නම් කියාපු මෑන්..වෙලාවකට රෙස්ලින් ගහනවා කියලා මාව බිම පෙරලනවා.....එහෙම නැත්නම් මාව මැෂින්ගන් එකකට අරන් මගෙන් වෙඩි තියනවා ...ඕව ෆොටෝවකින්ම මිසක් කෙනෙක්ට කිව්වට තේරෙන්නේ නැහැ ....

පොඩි මෑන් නම් මගේ ෆොටෝ ගන්න තමයි ආස...මාත් පවුනේ කියල ඕන ඕන විදියට අරගන්න දීලා බලන් ඉන්නවා....ඒවා ඉතින් ඉන්ස්ටග්රාම් වල එහෙම දානවා කියන්නේ...ඒ ගන්න ඒවාට අඩු ගානේ මට මාරි බිස්කට් එකක් වත් ලැබෙනවා නම් දුකක් නෑ.......( ඒ කියන්නේ මම මාරි කන්න ආසයි කියන එක...කවදාහරි මාව බලන්න එන අයට සිහි කිරීමක් මේ ...)

ඔය කවුරු ගැන කොහොම ලිව්වත් අම්මා ගැන ලියන ටික තමා රහම....ඔයාලත් බලන් ඉන්නේ ඒ ටික අහගන්න නේ...නේද ...

හැබැයි මේවා කියවලා..අම්මට අනම් මනම් කියල ..ඔයාල මගේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාවය එහෙම නැති කරනවා නෙවෙයි හරිද.....මොකද එයා හොඳම හොඳ වගේම තමා තරහ ගියාම...වෙන මොකුත් නැහැ...මුණ වත් බලන්නේ නැහැ ...හප්පේ එයාව යාළුකරගන්න මම ඉන් පස්සේ මිදුල වටේ දුවන්න නටන්න කෝලම් ඔක්කොම දාන්න ඕන.....

අපේ අම්මා කියන්නේ ඉතින් අම්මා ම තමා.....එයා ගේ ඉලන්දාරි දෙන්නා දැන් ටිකක් ලොකුත් වෙලා...ජෙෆ්ගෙනුත් එච්චරම අරියාදුවක් මට නැතිත් නිසා....මම හිතන්නේ අම්මාගේ තනි අයිතිය තියෙන්නේ මට කියලා.....අනික් අයට කෙසේ වෙතත් මම අම්මා ළඟ ඉන්නකොට මම ජෙෆ්ට නම් එයා ලඟට එන්න දෙන්නේ නැහැ....පුදුමයකට වගේ ජෙෆ් ඒවා ගණනකට ගන්නෙත් නැහැ...ඒ වුනාට මම පැහැදිලිවම දන්නවා.....ජෙෆ් අම්මාට මාරම ආදරෙයි.....එයා දවසක් මා එක්ක කතා කරන කොට එයාගේ පුංචිම කාලේ ගැන කියපු කතාවලින් මම දැනගත්තා ......මටත් වඩා චූටි කාලෙයි ජෙෆ්ව ගෙනල්ලා තියෙන්නේ කියලා....ඉතින් එයාත් අම්මාට ආදරේ ඇති...හැබැයි මට ඉරිසියා හිතෙන නිසා මම අම්මා ලඟට එයාට එන්න දෙන්නේ නැහැ .....

ඔයාලට ජෙෆ්ව බලන්න ඕන නම් මෙන්න අපි දෙන්නා....



ජෙෆ් ඔය පාඩුවේ උන්නට..මම නම් ඉන්නේ මේ වලක් හාරන ගමන්....මෙතන තිබුණා ගහක්...මම ඒක ගලවලා පැත්තකට දාලයි මේ වල හැරුවේ.....
පස්සේ බලද්දී දන්නේ සීයා ගෙනාව හොඳම වර්ගයේ ගස්ලබු පැලයක්ලු ඒක....කවුද දන්නේ ඉතින්.....


අපේ අම්මා නම් දමන්න නම් කොහෙන් ඉගන ගන්නවද මන්ද ...  මට රයිලි බුයිලි කියනවා ...මල්ලී බබා කියනවා....බුට්ටෝ කියනවා....තුටි බෝලේ කියනවා....එයාට ආදරේ හිතෙන හිතෙන වෙලාවට නමේ හැඩේ වගේම ස්වරය ත් වෙනස් වෙනවා...අම්මා කෙනෙක් කියන්නේ කතාවෙන්   විතරක්  නෙවේ ඇස්වලින් අතින් පයින් පවා ආදරේ පෙන්වන එක්කෙනෙක් ...ඒ කියන්නේ මට ගහනවා කියල නම් නෙවෙයි....

පාරක් ගැහුවත් රිදෙන්න ගහන්නේ නැහැ...හැබැයි මම නරකම වැඩක් කලොත් නම් එයා මාව ගණන් නොගෙනම ඉන්නවා...ඒක ඔක්කොටම වඩා අමාරුයි....මම එවෙලෙට එයා ලඟට ගිහින් එයාගේ ගාව කකුල් දෙකෙන් හිටගන්නවා....ඇයි බෑ කියල හිතුවද...? මට පුළුවන් පිටිපස්සේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න...මොකක් හරි අල්ලාගෙන ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්....ඉන් පස්සේ එයාගේ උරිස්සට ඔලුව තියන් ටිකක් වෙලා සද්ද නැතුව උන්නම එයාගේ තරහ නිවෙනවා.....අත්දැකීමෙන් දන්නේ....අම්මලා කියන්නේ එහෙම අය....

හා එහෙනම් අදට මේ ඇති.....සොඳුරු සඳවතී අක්කා ( අක්කා කියනවට එයා කැමති නෑ කියල මං දන්නවා...) කියනකල් නොඉඳ මම ආයෙම ඊලඟ ටික ලියන්න අම්මට කියන්නම්......

එතකල් සුබ දවසක්...


මම රයිලි..
මම කියන කතාව ලිව්වේ ....විසිරි...


Saturday, June 10, 2017

62. මිනිසකු වන්නට නම්.....


සැබවින්ම ජිවිතේ ලස්සනට පවත්වාගන්න ඔබ යන්න ඕන පාසලකට...ඒ පාසලට ඔබ ඇතුලත් වන්නේ ඔබ උපන් දා...ඉන් ඔබ පිටත් වන්නේ ඔබ මියයන දවසට ...ඒ තමා ජිවිතේ පාසල....

එහිදී.....මෙන්න මේ නීති ටික ඔබට අනිවාර්යයෙන් පිළිපදින්න වෙනවා.....

01. ඔබට ශරීරයක් ලැබිලා තියනවා.....

ඒකට ඔබ කැමති උනත්..ඔබ එය පිළිකුල් කලත්...ඔබේ මේ මිනිස් ජීවිතය පවත්නා තුරු ඔබට එය පවත්වා ගන්න වෙනවා....


02. ඔබ පාඩම් ඉගන ගන්නවා...

මේ ජීවිතය කියන නාමිකව සඳහන් නොකළ පාසලේ ඔබ පුර්ණ කාලීනව ඉගන ගන්නවා....හැම දවසක්ම ඔබ මේ පාසලින් අලුත් යමක් ඉගන ගන්නවා....සමහරක් විට ඔබ මේ පාඩම් වලට කැමති වෙන්න පුළුවන්...තවත් සමහරක් විට ඔබ මේවා මෝඩ තකතීරු පාඩම්..පලකට නැති ඒවා....වගේ වර්ග කරාවි...නමුත් ඔබ අනිවාර්යයෙන් ඒවා ඉගන ගත යුතුයි........




03. මෙහි අත්වැරදීම් නැහැ..ඔක්කොම තියෙන්නේ පාඩම්

වර්ධනය වෙනවා කියන්නේ සාර්ථක වීම් සහ වැරදීම් වල එකතුවක්...පරික්ෂණයන්....සාර්ථක වෙලා වැඩදායි වෙච්ච පරීක්ෂණ වගේම අසාර්ථක වෙලා වැරදුන පරික්ශනත් එක වගේම ජීවිතේට වැදගත් වෙනවා...



04. හරියාකාරව ඉගන ගන්න තුරු පාඩම්  ආයේ ආයෙම ඉගන ගන්න (රිපීට් )වෙනවා

සමහරක් පාඩම් ඔබට එකම විදියට නැතුව විවිධ අන්දමට ඉගන ගන්න ලැබෙනවා....ඔබ හරියාකාරව ඉගන ගන්න කල් ඒවා එහෙම ඔබට ලැබේවි....ඔබ එය නිවැරදිව ඉගන ගත්තට පස්සේ ඊළඟ පාඩමට ඔබට යන්නට පුළුවන්




05. ඉගන ගන්නා පාඩම් වල අවසානයක් නැහැ

ජිවිතේ කිසිම අංශයක් නැහැ පාඩම් වලින් තොරවන.....ඔබ ජිවත් වන තුරුම ඔබ ඒ පාඩම් නිරන්තරයෙන්ම ඉගන ගත යුතුයි...




06. එතන ට වඩා මෙතන හොඳ වීමක් නැහැ

ඔබට එතන කියන දේට වඩා මෙතන කියන දේ හොඳ වෙනවා නම්..ඊළඟ මොහොතේ වෙනත් එතනක් ඇති වෙනවා....අර කලින් හොඳයි කිව්ව මෙතන ට වඩා.....




07. අනෙක් අය කියන්නේ ඔබගේම කැඩපත් ඡායාව

මතක තබා ගන්න ඔබ යම් අයෙක්ගේ යම් දෙකට කැමති වෙනවා නම් ආදරේ කරනවා නම්...ඒ වගේම ඔබ යම් අයෙක්ගේ යම් දෙකට වෛර කරනවා නම් පිළිකුල් කරනවා නම්...එයින් පිළිබිඹු වන්නේ ඔබගේම ඇතුලාන්තය බව.....




08. ඔබ ඔබගේ ජිවිතයට කරගන්නා යමක් වේද...එයට වග කිව යුත්තේ ඔබයි....

ඔබට ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය තරමේ...උපකරණ..සහ සම්පත් නොඅඩුව ලැබිලා තියනවා...ඒවා භාවිත කරමින් මොන යම් දෙයක් හෝ කිරීමේ වගකීම සතු ඔබටමයි.....එක ඔබේම කැමැත්ත මිස අනෙකක් නොවේ .....




09. උත්තරය ඔබ තුලමයි.....

ජිවිතයේ කුදු මහත් ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ ඔබ තුලමයි....අවශ්‍ය වන එකම දේ.....පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න...ඇහුම්කන් දෙන්න...විශ්වාස කරන්න....ඔබවම ..





10. ඔබ මේ සියල්ල අමතක කරනවා......







~~~~ චෙරී කාටර් - ස්කොට් ගේ ලිපියක් ඇසුරින් ~~~~~


ලිව්වෙ විසිරි

Tuesday, June 6, 2017

61. ජීවිතය ආදරය ගැන පුංචි කතා 4

බලු පැටවුන් විකිණිමට තිබේ....



සුරතල් සතුන් විකුණන අලෙවි සලේ අයිතිකරු ...දොරේ දැන්වීමක් එල්ලුවා..." බලුපැටවුන් විකිනීමට තිබේ.."


මෙම දැන්වීම කුඩා ළමුන් ආකර්ෂණය කරගන්න සුළු එකක් වුනා...අනිවාර්යයෙන්ම...කුඩා පිරිමි ළමයෙක් වැඩි වෙලා නොගොසින්ම පුවරුවට යටින් කඩේට එබුණා...

" කොහොමද ඔයාගේ මිල ගණන් මේ බැලු පැටවුන්ට ...?" පිරිමි  ළමයා ඇසුවා....

" ඩොලර් තිහේ සිට පනහ දක්වා ...අතර සීමාවේ...තමා මිළ ගණන්..." සාප්පුවේ අයිතිකරු පිළිතුරු දුන්නා.....

පිරිමි ළමයා සාක්කුවෙන් පර්ස් එක රැගෙන එහි වූ මුදල් මේසය මතට හැලුවා...." මගේ ළඟ තියෙන්නේ ඩොලර් දෙකකුත් තව සුළු මුදලක් පමණයි...." ඔහු කීවා...." මට ඔවුන් බලන්නට පුලුවන්ද...? "

සාප්පුහිමියා මඳ සිනහවක් පා විසිල් හඬක් නැගුවා.....එවිට බලුකුඩුවකින් එක්වරම බලු අම්මා කෙනෙක් දුවගෙන ආවා...ඇය පසුපස ඉතා කුඩා ලෝම බෝල ගුලි පහක් පෙරළෙමින් ආවා .....

එයින් එක බලුපැටියෙක්...අනික් අයට වඩා මඳක් පසුගාමී වනවා ළමයා දුටුවා....
පිරිමි ළමයා වහාම එම කොරගහමින් එන බලු පැටියව ....පෙන්වා ඇසුවා......" මෙයාට මොකද වෙලා තියෙන්නේ ...?"

එවිට වෙළඳ සැල හිමියා .....මෙසේ පැවසුවා....
" පශු වෛද්‍යවරයා මෙයාව බැලුව...මෙයාගේ උකුල් සන්ධිය නිවැරදිව වැඩිලා නැහැ ...ඒක සමහරවිට වැඩෙන්නේ නැතිම වෙයි.....මෙයා හැමදාම කොර බල්ලෙක්ම වෙයි...."

පිරිමි ළමයා ඉතාම විශ්මයට පත්වුනා....
" හරි මෙන්න මෙයා තමයි මට මිලදී ගන්න අවශ්‍යම බලුපැටියා ..." ඔහු උද්යෝගයෙන් කිව්වා.....

" නෑ ..ඔබට ඔහුව මිලදී ගන්නට අවශ්‍ය වන්නේ නැහැ...ඔබට ඔහුව ඕනෑම නම් ...මම ඔබට ඔහුව නොමිලේම දෙන්නම්..." සාප්පු හිමියා පැවසුවා....

එවිට කුඩා පිරිමි ළමයා ,මඳක් කනස්සල්ලෙන් සාප්පු හිමියා දෙස බැලුවා.....ඉන් පසු ඔහු ඉතා ස්ථිර කටහඬකින් මෙලෙස කිව්වා...

" නැහැ....මට එහෙම බලු පැටියා නොමිලේ ගන්න අවශ්‍ය නැහැ....මේ බලු පැටියත් අනික් පැටවුන් වගේම වටිනවා...මම ඔබට මගේ අතේ තියන මුදල දැන් දෙන්නම්...ඉන් පසු ඔහුගේ වටිනාකම සම්පුර්ණ වන තුරුම....මාසෙකට හැකි ගානක් මම ගෙවන්නම්...."

සාප්පු හිමියා යළිත් හඬ අවදි කළා,....
" ඇත්තෙන්ම දරුවෝ..ඔයා මේ බලුපැටියව මිලදී ගන්න අවශ්‍ය නැහැ...ඌ කවදාවත් අනික් බලු පැටවුන්ව වගේ ඔයා එක්ක දුවන්න...පනින්න...සෙල්ලම් කරන්න සමත් වෙන  එකක් නැහැ..."..

මේ කතාව සමගම කුඩා පිරිමි ළමයා...බිමට නැවී ඔහුගේ කලිසම ඉහල රෝල් කළා....ඒ තුළ වූයේ...ඇඹරි විකෘති ව ගිය ....යකඩ බාරයකින් ශක්තිය සැපයු...පාදයක්......

ඔහු සාප්පු හිමියා දෙස හිස ඔසවා බැලුවා....ඉන් පසු ඉතා මෘදු හඬකින් මෙහෙම කිව්වා...

" මටත් එච්චරම හොඳට දුවන්න බැහැනේ....හ්ම්ම්...මේ බලු පැටියට ඒ තත්වය හොඳින් වටහාගන්න කෙනෙක් උවමනා වෙයි...නේද...? "

Friday, June 2, 2017

60. වැඩ අවසන් නොකළ හදවත් උයන





ඔබ උද්‍යානයකට යන්න කැමතිද...
එහෙමත් නැත්නම් වගා කරන්න කැමතිද....
හැම නිවසකටම යාබදව තියන පුංචිම පුංචි වුණත් ඉඩකඩේ උද්‍යානයක් හදාගන්න කැමතියි නේද....
සමහර අය මල් වවනවා ...සමහරු එළවලු පලතුරු...තව සමහර අය ඔය දෙකම ...

සමහර අය සුළු පරිමාණයෙන් වවන අය..ගෘහස්ථ පරිභෝජනයට වගේ....එනමුත් තවත් සමහරු මහා පරිමාන උයන් හිමියෝ.....

උයනක් කියන්නේ මොකක්ද.....මම පහු ගිය දිනක අපූරු ලියවිල්ලක් කියෙව්වා...එකෙන් තමා මේ මාතෘකාව ඔලුවට ආවේ....ඒ සටහන ලියල තිබුනේ...එස්.ලීලාරත්න කියලා මහත්මයෙක්...ඔහුගේ ඒ සටහනට පාදක වෙලා තිබුනේ....අජාන් බ්‍රහ්මවංශ හිමිගේ දේශනයක්......

මම මගේ තුනපහ ලුණුමිරිස් ටිකක් ඒකට එක්කාසු කරලා මේ ලියන්න ගත්තේ.....ගංවතුර බැහැගෙන යනකොට ලියන්නම ඔලුව වද  දෙන නිසා....


කෙනෙක් උයනක් හදාගන්නේ මොකටද...නිකමට හිතන්න....වෙහෙස වෙලා රස්සාවේ ගෙදර කුස්සියේ ඔය එකී නොකී තැන් වල වෙහෙසිලා...ආයෙම මහන්සි වේවි වැඩ කරන්න නම් එම උයනෙන් වැඩක් තියද.....

අජාන් හිමියන් ....ගේ දෙසුමක තියනවා......

 මම උයන් හිමියන්ට කියනවා ....ටිකක් වැඩ කරලා...උයන ලස්සන කරන්න...ඒ සමගම ටිකක් විවේකයෙන් උයනේ ගත කරන්න...ස්වභාව සෞන්දර්යයෙ රසයෙන් ජීවිතය වර්ණවත් කරගන්න... කියලා

උයන් හිමියන් වර්ග හතරක් ඉන්නවා.....

පළමු වෙනි වර්ගයේ උයන් හිමියා....

එයා සිතනවා ලු...මේක කදිම අදහසක්....ඒ නිසා කරන්න තියන වැඩ ටික පැත්තකට තියලා ඔන්න එයා උයනේ වාඩිවෙනවලු ....ඉතින් ලස්සන නරඹන කොට මෙයාට පේනවා...සමහර ගස් මැරිලා..තණකොළ වැවිලා....වේලිච්ච කොළ හැමතැනම...කප්පාදු නොකළ පඳුරු ඒමට...ඔන්න ඔහොම ඒවා....ඉතින් උයන බලන එකෙන් එයාට කිසිදු සහනයක් හිතට ඇවිල්ලා නැහැ...
ඔන්න මේ නිසා එයා දඩිබිඩි ගාලා ආයෙම වාදක යෙදෙනවා...උයනෙන් ඔහුට අපේක්ෂිත සැනසීම ලැබුනේ නැහැ.....

දෙවැනි උයන් කරු....

ඔන්න පළමු එක්කෙනාට වඩා පොඩ්ඩක් බුද්ධිමත්....එයා උයනට ඇවිල්ලා..මොකද කරන්නේ..අර රේක්ක මල් බාල්දි...පෝර මලු ඔක්කොම දානවා පැත්තකට....
ඉන් පස්සේ උයනේ හදපු ලස්සන බංකුවට  වෙලා ලොකු සඟරාවක් කියවන්න ගන්නවා....ඒ සඟරාවේ ලෝකේ ලස්සන තැන්...දියඇලි..එහෙම තියෙන්න පුළුවන්...
ඒත් ....ඔහු විවේකයක් ලබා කියවීමක් කරනවා මිස උයනේ ස්වභාව සෞන්දරයය විඳින්නේ නැහැ.....

තුන් වැන්නා...කොහොමට ඇත්ද ....

ඔන්න එයා අර බංකුවේ වාඩිවෙලා මල් බාල්දි..පෝරමලු..රේක්ක ඔක්කොම පැත්තකට දානවා ....උයනේ ඇති ශාන්ත රසය විඳිනවා...ඔන්නමෙහෙම තත්පර කීපයක් ඉන්න කොට ඔහුගේ හිතට එනවා...මේක මිට වඩා ලස්සන කරන්න උපක්‍රම....ගස් කප්පාදු කරලා..තව වතුර පොකුණක්..මාළු..නෙලුම් මල්...ආදී අලංකරණ.....
එතකොට මෙතන තියන මල් පානදුර මෙතනට වඩා ගැලපෙන්නේ අතනට ..ඔන්න ඔය වගේ ඒවා....මෙය සිතීම හා අනාගත සැලසුම් කිරීම මිසක් උයනේ ස්වභාව සුන්දරත්වය විඳීම නොවෙයි......

හතරවැනි උයන් කරු ඉන්නවා....

එයා මෙහෙම කල්පනා කරනවා....

මම දැන් ඕනෑතරම් වැඩ කරලා තියනවා...දැන් එකේ ප්‍රතිපල නෙලා ගන්න ඕන....ගස් කප්පාදු කරන්න ඕන..වල නෙලන්න ඕන...වතුර දාන්න ඕන...නමුත් මේ එකාට වෙලාව නොවෙ යි...මම ටිකක් දැන් විවේකයෙන් ඉන්නවා.....ඒ වැඩ පසෙකට දාල...
උයනේ පල වැලක් නෙලාගෙන කාලා...කුරුළු හඳට සවන් දීල...කොළ හා එක්ව යන නානා ප්‍රකාර පැහැයෙන් අස නිවාගෙන....ස්වභාව සෞන්දර්යය විඳිනවා.....
මේ වැඩ අවසන් නොකළ උයනේ ඔහු ලබන්නේ නියම චිත්ත සමාධියයි.....



පසු සටහන ....

අහන්න...ඒ කතාව ජීවිතේට එකතු කරගන්න...
අපේ ජිවිත හැමදාම වැඩ අවසන් නොකළ උයනක් වගේ.....
කිසිදාක අපි එහි වැඩ අහවර කරන්නේ නැහැ.....
ඒත් වැඩ අවසන් නොකළ උයන විඳින්න ...
නැත්නම් වැඩ විතරයි...
විඳින්න වෙලාවක් නැහැ,,,,,

ඉතින් මේ මගේ වැඩ අවසන් නොකළ උයනයි.....


උදේ ජිවන සටන පටන් ගන්න යන්න පෙර මම එන්නේ මෙතනට..නැවුම් හුස්මක...පිනි බිඳක මට දවසට ඕන හයිය එකතු වෙනවා ....
දුවන හැල්මේ දුවන දිවා කලක් ඉවර වෙලා...මං හැමදාම එන්නේ මෙතනට..මහා කළුවරේ හරි.....මගේ විඩාව බාරගන්න තුරු පත් නැළවෙනවා.....
මම මේකේ වැඩ අවසන් කරන්න උත්සාහ කරන්නේ නැහැ....
ඒත් විඳිනවා....
ඒකයි ජීවිතය ...


උයන් පල්ලෙක් වන්න ...ඒකට එක මල් පෝච්චියක්..ගහක් කොලක් ඇති....
වෙනස් කරන්න ඕන ඔබේ මනසයි...




~~~~  විසිරි ~~~~

Saturday, May 27, 2017

59. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 3


දිරිමත් බවේ  රහස 




" හොඳයි ඔබ සිතනවා ...මම ධෛර්යවන්තයි  කියල....." ඇය ඇසුවා ....

" ඔව්..මම එහෙම හිතනවා..."

" සමහරවිට ....ඔව්, එහෙම වෙන්න ඇති....මට හිටියා ජිවිතයට ආලෝකයක් දෙන මගේ ජීවිතයට මග පෙන්වන ගුරුවරුන්..මම ඔබට ඉන් එක්කෙනෙක් ගැන කියන්නම්...
බොහොම කාලයකට පෙර මම ස්වෙච්ඡා සේවකයකු ලෙස  ස්ටන්ෆොර්ඩ් රෝහලේ සේවය කළා ...මට එහිදී හමු වුනා ...ලීසා කියල පුංචි ගැහැණු ළමයෙක්...ඇය ඉතා දුර්ලභ ඒ වගේම බරපතල රෝගයකින් පෙළෙමින් උන්නේ ..ඇයට ජිවත් වෙන්නට තිබුණ එකම අවස්තාව වුනේ....අයගෙම පස් අවුරුදු වියැති සහෝදරයා ගෙන්  රුධිර පාරවිලයනයක් කිරීම.....

ප්‍රාතිහාර්ය යකින් වගේ මෙම රෝගයෙන්ම ඇයගේ  සොහොයුරා සුවවී තිබුණා ..එම නිසා රෝගයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ ඔහුගේ රුධිරයේ තිබීමයි මෙම පාරවිලයනයට හේතුව .....

වෛද්‍යවරයා විසින් ලිසා ගේ කුඩා සොහොයුරාට මේ තත්වය පැහැදිලි කර දී ඔහුගෙන් ලීසා ට රුධිරය ලබා දීමට හැකි දැයි විමසුවා.....

මම දුටුවා ඔහු පිළිතුරක් දීමට මඳක් පැකිලෙන අයුරු....නමුත් ඉන් පසු ගැඹුරු හුස්මක් ගත ඔහු ප්‍රකාශ කළා මෙන්න මෙහෙම ...." ඔව් මම එයට කැමතියි....මට එයින් ලීසා ගේ ජීවිතය ගලවාගත හැකි නම්  ...."

" රුධිර පාරවිලයනය සිදුවෙන අතර තුර ....කුඩා පිරිමි ළමයා සිනා මුසුව ලීසා ට යාබද සයනයේ ..සිට  ලීසා දෙස බලා උන්නා....ලීසා ගේ කම්මුල් වල පැහැය යතා තත්වයට පැමිණෙන අයුරු අප සියල්ලන්ම දුටුවා....ඒ සමගම පිරිමි ලමයාගේ මුහුණ සුදුමැලි වෙමින් පැවතුනා ..ඔහු ගේ සිනහව අඩුවෙන්න පටන් ගත්තා....ඔහු වෙවුලන කටහඬින් වෛද්‍ය වරයාගෙන් මෙලෙස ඇසුවා ...."

" හ්ම්ම්...දැන් එහෙනම් මට මියයන්න සිදුවෙනවා නේද....? "

දරුවා කුඩා වියෙහි වු නිසා ඔහු වෛද්‍යවරයා ගේ ප්‍රකාශය තේරුම් අරන් තිබුනේ ..වැරදි ආකාරයට ....ඔහු සිතාගෙන උන්නේ ලීසා ට රුධිරය පාරවිලයනයෙදී..ඔහුගේ සියලුම රුධිරය ඇයට දියයුතු බව හා එය  කළ පසු ඔහු මිය යන බවයි....."


" ඔව් ඉතින් මම ධෛර්යවන්තයි......මට එවැනි මගහෙලි කළ ගුරුවරුන් ජීවිතයේදී හමුවුන නිසා....." ඇය යළිත් සිනාසී පැවසුවා ....


පරිවර්තනය .....chicken soup for the soul

Tuesday, May 23, 2017

58. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 2

එක වරකට එක්කෙනයි....




දිනක් එක් පුද්ගලයෙක් . ..වියලි ගිය මැක්සිකානු මුහුදු වෙරල තිරයේ ඇවිද යමින් උන්නා.....ඔහු ඇවිද යන අතරමග දුටුවා ...ඔහුට තරමක් ඈතින් තවත් මිනිසෙක් සිටිනවා.ක්‍රම ක්‍රමයෙන් මෙම පුද්ගලයාට ලං වෙද්දී ඔහු දුටුවා එම මිනිසා ස්වදේශිකයකු බව...ඔහු බිමට නැඹුරු වෙමින් යම් දේවල් අසුලමින් නැවත ඒවා දියට විසි කරමින් උන්නා.....කාලයත් එක්කම ඔහු මේ දේ නොකඩවා කරමිනුයි උන්නේ...

මුලින් කි තැනැත්තා මේ පුද්ගලයා ට ලං වෙත්ම ඔහු දුටුවේ ස්වදේශිකයා තාරකා මාළුවන් (star fish ) අසුලමින් මුහුදට විසි කරන බවයි...මේ තාරකා මාළුවන් මුහුදු දිය සමග වෙරළට ගසා ගෙන ආ සතුන් ....ඔහු ඔවුන්ව නැවත විසි කරමින් උන්නා....

පළමු තැනැත්තා ස්වදෙශිකයාට ලංවී මෙලෙස ඇසුවා..." යාලුවා..ඔබ මේ කරන්නේ කුමක්ද කියන එක මට හිතාගන්න අමාරුයි..."

" මම මේ තාරකා මාලුවන්ව නැවත මුහුදට විසි කරනවා...ඔබට පේනවා ඇති දැන් පවතින්නේ බාදිය අවස්ථාව....මේ තාරකා මාළුන් හට නැවත මුහුදට දැන් යන්නට බැහැ ...ඔවුන් වෙරළේ රැඳිලා....මම ඔවුන්ව මෙසේ මුහුදට විසි නොකලොත් ඔවුන් ඔක්සිජන් හිඟ කමින් මෙතන මිය යන්නට පුළුවන්..."

" ඔව්..මට තේරෙනවා...." මුල් පුද්ගලයා පැවසුවා...

" නමුත් මේ වගේ තාරකා මාළුවන් දහස් ගණනක් මේ වෙරල තීරයේ ඇති....ඔබට ඔවුන් සියල්ලම මෙලෙස විසි කරන්න බැහැ නැවතත්....මේක එක අතකට සරලයි...ඔබට හිතාගන්නවත් බැහැ නේද..මේ සාගර වෙරල තිරයේ දහස් ගණනක් තවත් වෙරළවල් ඇති...ඒවායේ තව කොපමණ ඇත්ද.....
ඔබට හිතන්නට බැරිද....ඔබට මෙම තත්වයෙහි වෙනස සිදු කරන්නට බැරි බව....."

ස්වදෙශිකයා මන්ද සිනහවක් පෑවා....නැවත බිමට නැඹුරු වී තාරකා මාලුවෙක් අතට ගෙන සයුරට විසි කරන ගමන් මෙලෙස කීවා....

" මම අන්න අර තාරකා මාළුවාට වෙනසක් ඇති කළා....."


~~~~  විසිරි ~~~

පරිවර්තනය...chicken soup for the soul

Sunday, May 21, 2017

57. ජීවිතය සහ ආදරය ගැන පුංචි කතා 1




chicken soup for the soul නමැති පොත සහ එහි සිංහල පරිවර්තනය කියවලා ඇති ඔබ .....පසු ගිය දිනෙක කියවූ එම පොතෙහි ඇති කුඩා කතාන්දර ටික හෙමි හෙමින් පරිවර්තනය කරලා ලියන්නට හිතුනා..ඉතින් මේ එහි මුල් කතාව 
මේ කතා ඉතා කෙටියි...නමුත් කියවන්නට හා හිතට ගන්නට ඇති දේ බොහෝයි...

ආදරය ...නිර්මාණාත්මක බවේ ශක්තියයි...

වතාවක් මහාචාර්යවරයෙක් සමාජ විද්‍යාව උගන්නා තම සිසුන් බැල්ටිමෝරයේ පැල්පත් වල වසන තරුණ පිරිමි ළමුන් 200කගෙ දත්ත හා තොරතුරු සමීක්ෂණයකට යැව්වා...මෙම සිසුන්ට පැවරුන කාර්යය වුනේ ..මෙම සෑම පිරිමි ළමයෙක්ගේම අනාගතය සම්බන්ධ ඇගයීමක් කිරීමයි....

මෙම සියලුම වාර්තාවල සිසුන් සඳහන් කර තිබුනේ...." ඔහුට අවස්තාවක් නැත " යන්නයි....

මේ සිදුවීමෙන් වසර විසිපහකට පමණ පසු තවත් සමාජ විද්‍යාව උගන්වන මහාචාර්යවරයෙක්ට අහම්බෙන් මේ සමීක්ෂණ තොරතුරු ඇස ගැටුනා...ඔහුත් ඔහුගේ සිසුන්ව මේ සමීක්ෂණයෙ පසු විපරම සඳහා යැව්වා ..පෙර කි තරුණයන්ට සිදු වා ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීමට 

එම 200 දෙනාගෙන් 20 ක් පමණ මිය ගොස් හෝ වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී තිබුණ අතර ඉතිරි 180න් 176ක්ම  නීතිවේදීන්..වෛද්‍යවරුන් සහ ව්‍යාපාරිකයන් ලෙස ඔවුන්ගේ පරණ ජන මට්ටමෙන් ඉහලට ගොස් තිබුණා 

මේ ප්‍රතිපලයෙන් විශ්මයට පත් වු මහාචාර්යවරයා වැඩි දුරටත් මේ ගැන සොයා බැලුවා ...වාසනාවකට මෙන් පෙර කි 176 දෙනාම ඒ අවට ප්‍රදේශයේ විසූ නිසා එක්එක් පුද්ගලයා සමග වෙන වෙනම කතා කළ හැකි වුනා 

" ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද ..? " ලෙසින් ඇසූ හැම පැනයටම ලද පිළිතුර ...
"එක ගුරුවරියක් " යන්නයි......

වාසනාවකට මෙන් ඇය ජිවතුන් අතර උන්නා...මහාචාර්යවරයා ඇයගෙන් මේ මායාකාරී බලය..පැල්පත් සිසුන් සාර්ථක කළ රහස විමසුවා....

ඇයගේ ඇස් දිදුලන්නටත් ..දෙතොල සිනාවෙන් හැඩවෙන්නටත් පටන් ගත්තා.....

" ඒක ඉතාම සරල දෙයක්.." 
ඇය මිමිණුවා....
" මම ඔවුන්ට ආදරය කළා..."

( පරිවර්තනයකි ....chicken soup for the soul)


Wednesday, May 17, 2017

56. කපුටු අම්මාගේ වලප


එල්පින්ස්ටන් හන්දියේ කහ ඇහැළ ගස මත කූඩු හැදුවා 
කළා කෙත ළඟ උපත ලැබුවට මගේ පැටවට ගීත බැරුවා 
අයාලේ යන කෙවිලියක් විත් හොරෙන් බිජුවට දමා තිබුණා
මගේ පැටවුන් වගේමයි උන් නොදැන පෙම් සිත් වඩා හැදුවා...... 

මවක් නැතිවුණ පියෙක් නැතිවුණ කොවුල් පැටවුන් යසට හැදුණා
ඇහෙන නාටක ගීත අහලම උනුත් තාලෙට තාල තැබුවා 
කතන්දර වල කොතෙක් කිව්වට කිසිත් ගැහැටක් අනේ නැතුවා 
මගේ උන් ලෙස අනේ සෙනෙහෙන් උනුත් මම ආදරෙන් වැඩුවා.....

ඉකුත් දවසක අලුත් නාටක ගීත හඬකුත් එහෙන් ඇහුනා 
අලුත් තටු ඇති මගේ කෙවිලිය ..දුවේ  නුඹ ඒ දෙසට ඇදුනා 
එහා ඉම සිට ඇදුන එළියක් ඇහැට ගිනිකණ එවා තිබුණා
තුඩග ගොළුවුන ගීතයක් ගෙන මගේ දූ මග මැරී වැටුණා......


2017/05/ 18 

Saturday, May 13, 2017

55. පොත්ගුල්ලියකගේ මතක 1




ඉස්සරම දවසක මම මුහුණු පොතට ලිව්වා පොඩි සටහන් පෙළක්...පොත් ගුල්ලියකගෙ මතක කියලා....එක තව ආලවට්ටම් ටිකක් එහෙම දාල බ්ලොගේට ලියන්න හිතුනා ඉතින් ...ඒ කලින් ලිව්වට වඩා තව මතක තියධ කියල අවුස්සන්න ත් ඕන...නමුත් ළමා කාලේ කියන්නේ කොච්චර මතක ගොඩක් තියන සුන්දරම කාලයක්ද නේද.....

කියවීම....
ඒක නිකම්ම නිකම් කියවීමක් නම් නොවෙයි....
මේ අවදිවන්නේ පොත් කියවීමක් ගැන මතක....


ඉස්සරම පොඩිම කාලේ ම පටන් පොත් කියවන්න මගේ තිබුනේ නොනවතින පිපාසයක්...
ඒක කොහොම ඇති වුනාද කියලා කියන්න මම දන්නේ නැහැ 

නමුත් සම්පත් ඉතා සීමිත වු ඒ වගේ කාලයක වුණත්  අතට අහුවෙන පත්තර කැබැල්ල පවා ..ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...

පාසල අහවර වී ගෙදර ආවමත් බත් පිගාන එක අතකටත් පත්තරය අනෙක් අතටත් අරගෙන තමා කන්න සුදානම් වෙන්නේ ...අපේ තාත්තා අදටත් කියන්නේ ...මම කාල තියෙන්නේ පත්තර කියලා....

අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ...නමුත් තිබුණ සීමිත ප්‍රමාණය ..අර්ථ රසයෙන් අනුනයි ...ඒ ලිපි එක්ක...මගේ මතකය අවදි වන්නේ ඒ පතපොත එක්ක....

ඉස්සරම පුංචි කාලේ ..සූකිරි...මීපැණි ..සුරතලා....ඔන්න ඔහොම පත්තර තිබුණා මතකද....
හරිම සරල සුන්දර ළමා පත්තර ..
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...එයා ඒ කාලේ උන්නේ මාතර...අපේ ලොකු මල්ලී එක පාරක් වෙසක් කලාපයක එයාගේ යාලුවෝ එක්ක...ඒකෙ කතාවක උන්නා...

මල් මාමා..බූ බබා ..බටකොළ ආච්චි ..ඔන්න ඔය වගේ කල්පිත චරිත අපේ ළමා කාලේදි පත්තර හරහා අපේ ලෝකෙට ආව ...
ඉන් පස්සේ විජය මිහිර...පත්තර ...දැනුම් සාගරයක් එක්ක ..
මගෙත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම අපේ මහා ගෙදර සුරක්ෂිතව තිබුණා....මම එයින් සමහර කලාප මගේ දරුවන්ගේ පාසල් වැඩ සදහා අරගෙනත් ආවා....
අද කාලේ වගේ පින්තුර අච්චු ගහල කොළ ප්‍රින්ට් කරලා නැති ඒ කාලේ..පාසල් පැවරුම් සම එකටම පත්තර ගොන්න පෙරලගෙන රූප සහ කරුණු සොයන අපි මට දැනුත් මැවිලා පේනවා 

ප්‍රහේලිකා පිරවීම්....ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා යවන්න ඒ කාලේ මම හරිම ආසයි..අදටත් පත්තරයක් අතට ගත්තම ප්‍රහේලිකාවක් තියේ නම් එක පුරවන්න යන්නේ ඒ පුරුද්දට 

ළමා පුවත්පත් වලට කවි කෙටි කතා රචනා ලියන්නට අපේ ළමා කාලේ උන්න ළමයි හරිම ආසයි...දෙමවුපියන් වුණත් එකාට අපිට බලකලා....උනන්දු කළා...ඒත් දැන් මේ යුගයේ දරුවන් එහෙම ලියන්න හරිම මැලි බවක් දක්වන්නේ... ඒ කාලේදී තමනේ නිර්මාණයක් පල වුනාම සතුටු වෙන්න වගේම තවකෙක්ගේ නිර්මාණයක් කියවලා දැනුමක් සතුටක් ලබන්නත් අපි පුරුදු වුනේ එතනිනුයි....

මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුනේ රුසියන් ළමා කතා... දැන් තියෙන්නේ ඒවායේ දෙවැනි තුන් වෙනි වට ..ඒ කියන්නේ ආයේ ආයෙම මම ඒ පොත් ගන්නවා....කාට හෝ ඒවා පිරිනමන්න..ලස්සන වසිලිස්සා....රුසියන් ළමා කතා....බොහෝ පොත්..ඒ එකතුවේ තිබුණා...

ඒ වගේම සිංහල ගත කතුවරුන් වුන...ලාල් ප්‍රේමනාත් ද මැල්  මහතා වගේ අයගේ රහස් පරීක්ෂක ළමා කතා...

කල්ලන්දුවේ මුතු කොල්ලය ...ආදී ළමා කතා ...වීරත්වය දනවන සුළු....කතා චිත්ත රුප මවමින් ...අප වෙත ආව....ඒ වගේ ළමා යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා.....
මතකයේ අහුමුලු අතර සැරිසරන ඒ කතා එක්ක මම තාමත් ජිවත් වෙන්න ආසයි...ඒ කතා සාහිත්‍යය එක්ක අපේ ලිවීමේ හැකියාවන් දියුණු වුනා...මගේ රචනා හැකියාව ..පාසල් කාලයේ හැකියා...දියුණු වුනේ ඒ සාරයෙන් ...
මඩොල් දුව ..අඹ යාළුවො වැනි කතා..අදටත් කියවන්න හිතෙනවා..නේද....ඒ කතාවල ගැමි පරිසරය..චිත්ත රූප මවන හැටි....අමතක නොවෙන්නේ ඒ නිසාමයි...ගැමි පරිසරය හා බැඳුනු අසිරිය ඒ කතාවල නොඅඩුව තිබුණා...




අනෙක් අපුරුම දේ තමයි...ඉස්සර අපිට පත පොත කියවන්න තිබුණ පරිසරය...ගස් ගල් උඩ නැගල හරි සොබා දහම එක්ක අනුගත වෙලා අපි නිදහසේ කියෙව්වා....අද වගේ අපිට දියූ තාක්ෂණික මෙවලම් තිබුනේ නැහැ...අඩුම ගානේ මුල්ම අවධියේදී රුපවාහිනී යන්ත්‍රයක් වත් අපේ නිවෙස්වල තිබුනේ නැහැ...ඒ නිසා.පොත් පත් කියවීමට ලොකු කාලයක් ඉතුරු වුනා...

අතීත මතක අවුස්සාගෙන පොත් පත් කියවන මේ ලිපි පෙලට තව ටිකක් එක්කාසු කරන ඉක්මනට එන්නම්...මේ සටහන් පෙලට ඔබේ අත්දැකීම් ....මතක් වෙනවා නම් ලියන්න ...අතීතය තුළ සැරිසරන එක කොච්චර සුන්දරද කියලා මඳක් සිතන්න
 ........


ඉතින් පොත් ගුල්ලියගේ දෙවන කොටසින් එන්නම් ඉක්මනට .......