Monday, February 20, 2023

13 වන කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

13 වන කොටස

12  වන කොටසට 






මාර වැඩේනෙ ඒයි....සයනයේ වැතිර ජංගමයේ කුමක් හෝ කරමින් ඉන්නා දැහැමි වෙත දුව ආ පාරමී පැවසුවේ කලබල ස්වරයෙනි.

ඇයි ඇයි...මොකද....

ඇයගේ හැසිරීමෙන් තිගැස්සී ගිය දැහැමි ඇසුවාය ...

අර මනුස්සයගෙ යාළුවා කතාකලානෙ....

මොන...?

අර විශ්ව ජයසූරියගෙ....අන්න බං අපි දෙන්නව කඩුගන්නාවෙදි දැක්කලු.....

දැහැමි ගේ සිනහව පිපිරී ගියේ නිතැතිනි.

මේක හරියන්නෑ බං...ලෙඩා ගෙ ලෙඩේ අසාධ්‍යයි වගෙ...උඹ යන යන තැන මේකා එනවනෙ....

පාරමී නොරිස්සුමෙන් සිය යෙහෙළිය දෙස බලා උන්නාය.

විකාර කියවන්න එපා දැහැමි ....එහෙම එකක් නෙවේ...මේක අහම්බයක්.....

ඒ මනුස්සයගෙ යාලුව අහනව ආයෙ appointment එකක් දාන්න ඒ අස්සෙ....අනේ මන්ද...මේක ට මොකක් කරන්නද කියල...

පාරමී තමන්ටම මුමුණා ගත්තේ කරදරකාරී ස්වරයකිනි.මෙය කිසිසේත්ම ගණන් ගත යුතු කාරණයක් නොවන බව එක අතකට ඇයට සිතේ.තමා එකහෙළාම ප්‍රතික්ෂේප කලා නම් ඔවුන් වෙන වෛද්‍යවරයෙක් සොයා නොයනු ඇතැයි කිව නොහැක.නමුත් තමා හට එසේ කරන්නටද සිතක් නොවූ අන්දම....


                                                            *** 


ගතවූ දින දෙකම විශ්ව සහ නිසල් මුලු නුවරම එහා මෙහා රවුම් ගැසුවේ පාරමී දකිනු අටියෙන් වුවද ඇය හෝ ඇයගේ යෙහෙළිය දකින්නට නොලැබුණි.විශ්වගේ දෑස් මාවත පිරික්සුමට යොමුවෙන්නට ඉඩදී නිසල් රිය පැදවීය.එහෙත් ඇය ගේ ඡායා මාත්‍රයක් වත් දකින්නට නොලැබුණේය.

උඹට අවුල්ද මචං.....

නිසල් වැව රවුමේ කෙටි තාප්පයට බරදී ඈත බලා ඉන්නා විශ්ව ගේ මුහුණ දෙසටම යොමුවූ නෙතින් ඇසීය.

එහෙම අවුලක් නෑ බං....මට එහෙම හිතෙන්න මෙතන එයාගෙයි මගෙයි මොකුත් නෑනෙ....ඒත් බං එයාව දකින්න ඇත්නම් කියල ඇත්තටම මට හිතුණා.....

විශ්ව සුසුමක් හෙලා පැවසීය.

උඹ ඉස්කෝලෙ යන කාලෙවත් කෙල්ලෙක් ගැන ඔය තරමට වත් ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙ නැති එකා....කල්පනා ගැන නම් අපි මේ වෙලාවෙ කතා නොකර ඉම්මුකො....නිකම් හිත් අවුල් කරගන්න ඕන්නෑනෙ...මට ඉතින් උඹේ මූණෙ වෙනස මේ දවස් දෙක තුනට හොඳට පේනව....

නිසල් සිය මිතුරාගේ උරහිස වටා අතයවා පැවසීය.

මිනිස්සුන්ගෙ ජීවිත වල කොච්චර නම් හිස්තැන් තියද බං....මගේ ජීවිතේ නම් එහෙම්පිටින්ම බ්ලෑන්ක්....ඒත් මේ ගෑනු මනුස්සයා දැක්කම ඒ බ්ලෑන්ක් ගතිය ටිකක් එහෙමෙහ උනා වගෙ.....

විශ්ව හිනැහෙන්නට තැත් දරමින් පැවසුවේය.

                        

                                                                *** 

නුවර ගමන අවසන් වූයේ ඉරිදාය.අම්මා සහ මාලනී උන්නේ අප්‍රමණ සන්තෝසයකිනි.පාරමී ද දැහැමි සමගින් ඒ සතුට වින්දේ අම්මා සහ මාලනී දෙස බලමිනි.

ඉරිදා රැයේ නිවසට පැමිණුන පසු ...අම්මා ඇඟපත සෝදා කාමරයට වී විවේක ගත්තාය.පාරමීද සැහැල්ලු ඇඳුමක් ගත දවටාගෙන ඇය අසල ඉඳගත්තාය.

අම්මා ට මහන්සි පාටයි....කාලෙකින්නේ එහෙම ගමනක් ගියේ...

පාරමී අම්මාගේ මඳක් ඉදිමුණ දෙපා පිරිමදිමින් පැවසුවාය.

කාලෙකින් එහෙම පඩි නැග්ගෙ ඇවිද්දෙ....මැණික ...මං මේ දවස් කීපයෙම එහෙදි තාත්තා ව හීනෙන් දැක්කා...ඉස්සර ඔයා හම්බ වෙන්න ඉන්නකොට තාත්තා මාව මාලිගාවට එක්ක ගියා මාසෙකට පාරක්...එයා දන්නව මං මාලිගාවට යන්න ආස බව.....මේ සැරෙත් ඒ නිසාමද මන්දා මට එයාව හීනෙන් පෙනුණෙ.....

අම්මා නෙතඟ ඉනූ කඳුලකට සෙමින් ගලායන්නට ඉඩ හරිමින්ම පැවසුවාය.එහෙව් ප්‍රේමයක් ඔවුන් අතරේ බොහෝ කලක් තිබුණද තාත්තා ට ඇය හැරයන්නට වූයේ තරුණ වියේදීමය.

මං මල් පූජා කරල එයාට පින් දුන්නා..එයා පින් බලන් ඉන්න කෙනෙක් නෙවේ....එයාට මගෙන් අනුමෝදන් වෙන්න පිනක් නෑ....ඒ තරමට එයා පින් කල කෙනෙක්....මට ටිකක් මහන්සියි මැණික...මම එහෙනම් නිදාගන්නම් ටිකක්...රෑට කන්න මට කතාකරන්නකො....

අම්මාට අවශ්‍ය වන්නේ මොහොතක් තනිවෙන්නට බව පාරමීට වැටහුණි.ඇය අම්මා ඇඳේ හාන්සිකරවා ඩිම් ලයිට් එක පමණක් දමා සිය කාමරයට ගියාය.

ඇඳට ගොස් මඳක් නිදාගන්නට තැත් කළද පාරමී ගේ හිතට මහා නොසන්සුන් බවක් දැනෙන්නට විය.මෙන්න මේ දේ යැයි කියා තෝරා බේරාගන්නට නොහැකි අමුතුම හැඟීමක් හිත පෙළන්නට වූයේ එක්වරමය.ඇය මොහොතක් ඇඳට වී උන්නාය. යළි නැගිට නාන කාමරය වෙත ගියාය.කාමරයට ආ පසුද ඇයට හිතට දැනෙන්නේ මහා බරකි....ඇඳ අසල කුඩා මේසය මත තැබූ වතුර වීදුරුව අතට ගෙන උගුරක් දෙකක් බී ආපසු තබන්නට යන මොහොතේ අත ලිස්සා ගොස් වීදුරුව බිම වැටී බිඳී ගියේය ....පාරමී තිගැස්සුණ සිතැතිව ඇඳ මතටම වී ඔහේ බලා උන්නාය.

චූටි මැණිකෙ...මොකක්ද ඒ සද්දෙ....

මාලනී කාමරයේ දොර අසලට එනවිටද පාරමී උන්නේ අත් පා අගුල් වැටුණා මෙන් තුෂ්නිම්භූතව ය .එක්වරම මාලවී කාමරය තුළට අඩිය තබත්ම පියවි සිහියට පැමිණි පාරමී 

" එපා එපා වීදුරු කටුවලට කකුල කැපේවි...."

කියා කෑ ගැසුවාය .....මාලනී ඒ හඬින් තිගැස්සී වහා අඩියක් පසුපසට ගත්තාය.

අත ලිස්සලා ගියානෙ මාලනි ඇන්ටි.....ඇඟටත් හිතටත් මහා මහන්සියක් දැනෙනවා...ගොඩක් දුර ඩ්‍රයිව් කල නිසා වෙන්න ඇති...අම්මටත් මහන්සි පාටයි...අපි තව ටිකකින් කමු නේද.....මං මේ ටික අස් කරන්නම්...ඇන්ටි යන්න....

පාරමී සන්සුන් වන්නට තැත් දරමින් පැවසුවාය. රෑ බෝවෙමින් එන නිසා පරිසරයම අඳුරක ගිලීයමින් පවතී.කොපමණ කොළඹට ආසන්නයේ වුවද මේ අවට ඇති නිස්කලංක බව බිඳී යන්නේ නැතිතරම් ය....අධික වාහන ධාවනයක් නැති හෙයින් ඒ සන්සුන් බව ආරක්ෂාවෙයි.

වෙල් යායට ඈතින් ඇති කුඩා දෙනිපෙතෙහි හීන් සරින් හඬනා බස්සෙකුගේ හඬ පරිසරයේ නිහඬ බව බින්දත් මේ මොහොතේ පාරමීට එය දැනුණේ මහා කරදරයක් ලෙසිනි. මොහොතකට විවර කල ජනේලයෙන් කාමරයට ගලා ආ සීතල සුළඟ දුරුතු සීතල ගැන නොකියා කියයි..පාන්දර වන විට සිහින් කඩුතුඩු ඇනෙන්නාක් බඳු සංවේදනයක් දෙන සීතල දැන් දැන් ගතට දැනෙන්නට ගනී.පාරමී ජනේලය යළි වසා දමා වීදුරු කටු අස්කර..තෙත රෙදි කැබැල්ලකින් ඒ ප්‍රදේශය යලි පිසදා දැමුවාය.

නුවර ගමනේ සේයාරූ ජංගමය සහ කැමරාවේ ගබඩා කොට ඇත. එකින් එක ඒ සේයාරූ බලමින් උන් පාරමීගේ සිතට එක්වනම විශ්ව ගැන කෙටි මතකයක් පැමිණියේ අහම්බෙනි.හෙට සඳුදාවේ නිසල් නම්වූ ඔහුගේ මිතුරා වෙත තම සැලසුම ප්‍රකාශ කල යුතුව ඇත. මෙයද එක් අන්දමක අභියෝගයකි. වෛද්‍යවරයෙකු හට රෝගියෙක් යනු අභියෝගයකි.එම රෝගියා ගේ සියලු කරුණු කාරණා තමා හා සාකච්ඡාවේදී පැවසුවා යයි තමන්ට දැනුනද එය විටෙක tip of the ice burg ආකාරයේ එකකි . ගැටලු සහ තොරතුරු අල්පයක් ප්‍රකාශ වුවද වැඩිමනත් දේ ඇත්තේ සැඟව ගෙනය.එක්කෝ ප්‍රකාශ කරන්නට නොහැකි ,නොතේරෙන හෝ තම සීමාවෙන් පිටත දේය.ඉතින් වැඩි ගැඹුර ඇත්තේ ජලතලයෙන් පහලය...සැඟවීය.

රාත්‍රී අට පමණ වන විට රාත්‍රී ආහාරය ගන්නට පාරමී ඇඳෙන් නැගිට ගත්තේ අම්මා සමගින් ආහාර ගත යුතු හෙයිනි. ඩිම්ලයිටය එසේම තිබියදී අම්මා අසලට ගිය පාරමී...ඇයගේ ඇඟට අත තබා මෘදුව ඇමතුවාය.

අම්මා ...චුට්ටක් කෑම කාලම නිදමු නේද......

අම්මා ගේ නිහඬබව පාරමී තිගැස්වන සුලු විය.වහ වහා කාමරයේ විදුලි පහන දැල්වූ ඇය....අම්මා වෙතට ආවේ අඩියට දෙකටය.අම්මා ගේ හෘද ස්පන්දනය බෙහෙවින්ම දුර්වලව ගොස් ඇත.පාරමී ට කෑගැස්සුනේ මේ මොහොතේ ඇය වෛද්‍යවරයෙක් නොව අම්මාගේ දුව හෙයිනි.

අනේ අම්මා....නැගිටින්න අම්මා...ප්ලීස්...මොකද මේ....

පාරමී ගේ හඬින් මාලනී දුව ආවේද එම මොහොතේය...

අනේ ලොකු මැණිකේ ...නැගිටින්න රත්තරනේ ....

මාලනී ඇයගේ දෙපා මිරිකන්නට වූවාය.පාරමී ගේ අභ්‍යන්තරයේ වූ වෛද්‍යවරිය එක්වනම ඇහැරගත්තාය. 

මාලනී ඇන්ටි ඉක්මන් කරන්න...අපි යමු හොස්පිට්ල් ...අම්මගෙ ඇඳුම හොඳයි...මම කා එක ගන්නම් ...අපි දෙන්නා උස්සලා ගම්මු අම්මව...

පාරමී වහ වහා යතුර ද ගෙන වාහනයට දුව ගියාය. අම්මා මහතදෙහෙත ඇති සිරුරකින් යුතු නොවූ හෙයින් දෙදෙනාට ඔසවා වාහනයේ පසුපස ට ගැනීමට එතරම් අසීරු නොවුණි. පාරමී වහ වහා රිය මාවතට ගෙන ජාතික රෝහල වෙත ඉගිල්ලුනාය......

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අම්මා ගෙන ගිය පසු පාරමී මොහොතකට වේලාව බැලුවාය.එවිටද රාත්‍රී දහය පමණ වන්නට ඇත. 

දැහැමි අමතා මේ පවත් කීමට අවැසි වුවද රෑ බෝව ඇති බැවින් කරකියා ගන්නට දෙයක් නොමැත.අවසානයේ දැහැමිට ඇමතුමක් ගත් පාරමී විනාඩි ගණනක ඇවෑමෙන් ඇමතුමට සම්බන්ධ වූවාය ....

අනේ දැහැමි .....අම්මට එකපාරටම අසනීප උනා නේ ...මම අම්මව අරන් general hospital ආවා ....මට තේරෙන්නෙ නෑ බං මොකද්ද උනේ කියලා ....

පාරමී ගේ හඬ ඉකියකට හැරෙමින් පැවතුණි ....

මොකක් .....මොකක් කිව්ව ඇන්ටිට සනීප නැති වුණා ..? ...අනේ බන් ඇන්ටි කොච්චර හොඳට හිටිය ද ....දැන් උඹ කොහෙද ඉන්නේ ....

දැහැමි කලබලයෙන් ඇසුවාය ..

අම්මව ICU දැම්මා ...මායි මාලනි ඇන්ටි යි මෙතන ඉන්නවා ......මට තේරෙන්නෙ නෑ බං....අනේ මගේ අම්මා ....

පාරමීට ඉකිබිඳිනි....

මම එන්නද බං අම්මත් එක්ක ...

දැහැමි ඇඳෙන් නැගිටිමින්ම කලබලයෙන් ඇසුවාය 

ඕනෙ නෑ ....ඕනෑ නැහැ ....මේ වෙලාවෙ ඇවිල්ලා මොනවා කරන්නද බන් ..අපි මෙහෙම ඉන්නවා හෙට උදේට බලමු ...මං තියන්නම්...

පාරමී ඇමතුම විසන්ධි කොට දැඩි සත්කාර ඒකකය වෙත ගමන් කළාය.මාලනී වාට්ටුව අයිනේ බංකුවක වාඩිකරවූ ඇය...දැඩි සත්කාර ඒකකය අසල මොහොතක් රැඳුණාය....දොරේ වූ වීදුරුවෙන් අම්මා අසල කලබලයෙන් හැසිරෙන වෛද්‍යවරයන් සහ හෙදියන් පෙනෙයි....පාරමී මොහොතක් ඒ දෙස බලා උන්නේ තමාහට ඇතුලට යාමට මේ මොහොතේ හැකියාවක් නොමැති බව සිතට අවධාරණය කරගනිමිනි......


                                                        ***

පාන්දර දෙක තුන වන විටත් අම්මා සමග ඔට්ටු වීම වෛද්‍යවරුන් අතහැර දමා තිබුණේ නැත.පාරමී බොහෝ වෑයමින් හිත පාලනය කොටගෙන දැඩි සත්කාර ඒකකය අසල බලාඋන්නාය.මේ පවත්නා තත්වය නම් කිසිසේත්ම සුබ තත්වයක් නොවේ.වෛද්‍යවරියක ලෙසින් ඇයට මනසට ඒත්තු ගන්වාලිය හැකි දෑ බොහෝය.එහෙත් මේ ඇයගේ අම්මාය.උපන්දා සිට ළඟ රැඳුණ හොඳම යෙහෙළියයි.ඇය පාරමීට උගැන්වූ මුල්ම ගුරුවරිය මෙන්ම ජීවිතය අදටත් කියාදෙන්නියයි.


උදෑසන හය වනවිට දැහැමි අම්මා සමගින් රෝහල වෙත පැමිණියේ පාරමී සහ මාලනී රෑ සිටම එතැන එක ඉරියව්වෙන් සිටිනා බව දන්නා හෙයිනි.


උඹ ඊයෙ ඇඳන් ආව ඇඳුම පිටින්මනෙ කෙල්ලෙ.අපි චේන්ජ් එකක් දාගෙන එමුද ගිහින්?මාලනී ඇන්ටිටත් අමාරුයි නෙ.දැහැමි පාරමීගේ අතින් අල්ලාගනිමින් පැවසුවාය.


මං මෙතන ඉන්න ඕනනෙ බං.මාලනී ඇන්ටිව එක්ක යන්නකො.මම දවල් වෙලා බලන්නම්.


පාරමී හට එතැනින් නික්මීමේ මැලිබවක් තදින්ම දැනෙමින් පැවතුණි.සිත පිළිනොගන්නා තදබල හේතුන් ගොන්නක හිත රැඳෙමින් පැවතුණි.


අම්මා සමගින් මාලනීව නිවෙසට යැවූ දැහැමි පාරමී සමග රැඳුණාය.වරින්වර දැඩි සත්කාර ඒකකය අසලට ගොස් අම්මා දෙස ඈතින් බලා හිඳ එන පාරමී දෙනෙතේ කඳුලු වලකාගත්තේ දැඩි ආයාසයකිනි.

පාරමීගේ ජංගමය නාදවෙත්ම එය දැහැමි අතට දුන් ඇය යළි දැඩි සත්කාර ඒකකය වෙතට ඇදුණාය.කිසිදු ඇමතුමකට පිළිතුරු දීමට ඇයට මනස වලංගු නොවුණ තරම් ය.කිසිදු කාරණයක් නොපවසා අද දින නිවාඩුවක් අනුමත කරගත් පාරමී රෝහල් කාර්‍ය මණ්ඩලයටපවා කිසිවක් නොකියාම උන්නාය.

නාද වෙන ජංගමය සවනතට තබා ගත් දැහැමි රෝහල් ගොඩනැගිල්ලෙන් පිටතට ගියේ බාධාවක් නොවන සේය.

හෙලෝ ඩොක්ටර් පාරමී රත්මල්ගොඩ ...?

එහා අන්තයෙන් පිරිමි කටහඬක් ඇසුණි.

"ඩොක්ටර් නම් මෙවෙලෙ පොඩි වැඩක.කියන්න කවුද මේ ?පණිවුඩයක් තියේ නම් කියන්න.මම ඩොක්ටර් ට කියන්නම්.

දැහැමි පිළිතුරු දුන්නාය.

"ඩොක්ටර් මම අර පෙරේදා කතාකලේ.අර මගේ යාළුවා ගැන." 

නිසල්ගේ ඇමතුම සමගින් දැහැමි ට එක්වනම මේ කවුරුන්දැයි අවබෝධ විය.පාරමී සියලු පුවත් පෙර දා ඇයට පවසා තිබූ හෙයින් දැහැමි චකිතයකින් තොරවම ඇමතුමට එක්වූවාය.

"අයියේ , මම දැහැමි.ඩොක්ටර් පාරමී ගෙ යාළුවා.අයියෙ විශ්ව අයියා ඔතන ඉන්නවද ?අනේ පොඩ්ඩක් එයාට දෙන්නකො."

දැහැමිගෙ හඬ නොනවත්වා ගලා එද්දී නිසල් විමතියෙන් මෙන් ළඟ උන් සිය මිතුරා දෙස බැලීය.

මොකෝ බං?

විශ්ව නිසල්ගෙන් ඇසුවේ තොල් මතුරමිනි.කාර්‍යාල කාමරයේ සිට පාරමීට අමතන ලෙස නිසල්ට බලකලේ විශ්වය.

මෙන්න උඹව ඉල්ලනව.එයාගෙ යාළුවෙක් ලු.

නිසල් ජංගමය විශ්ව වෙත දිගුකලේය.

හෙලෝ...විශ්ව ස්පීකින් හියර්...

විශ්ව ඇමතුමට සම්බන්ධ වූයේ දෙගිඩියාවෙනි . ඔහුට මේ සිදුවන්න සිතාගන්නටත් නොහැකි තරම් විය.

අනේ විශ්ව අයියෙ, මම දැහැමි .පාරමී මගෙ යාළුවා.මාව දන්නවනෙ ඔයා .අර හොරණ අපේ ගෙදර ඔයාලත් ආවෙ.

දැහැමි ගේ කලබලකාරී හඬ විශ්ව ගේ සවනට යොමුවීම සමගම කුමක් හෝ කලබලයක් එහි වන බව ඔහුට වැටහුණි.

ඔ..ඔව් නංගි, කියන්න.මට මතකයි.

විශ්ව වහා පිලිතුරු දුන්නේය.නිසල් මේ කතාවේ අගමුල වටහා ගත නොහැකිව මේසයට හේත්තුවී බලාඋන්නේය.

අනේ අයියේ අපි නුවර ඉඳන් ආවෙ ඊයෙ.ඊයෙ රෑ පාරමීගෙ අම්මාට අසනීප වෙලා, දැන් ජෙනරල් හොස්පිට්ල් එකේ දැඩි සත්කාරෙ ඉන්නෙ.මොකක් නමුත් ඉක්මනින් වෙන්න පුළුවන් වගේ තත්වයක් මෙතන තියෙන්නෙ.අනේ අයියේ...

දැහැමි ගේ කතාව නවත්වන්නට පෙරම විශ්ව...

නංගි අපි දැන් එන්නම්..ඉන්න ඉක්මනින් එනව අපි.

කියමින් නිසල්ගේ අතින් ඇදගෙනම කාමරයෙන් පිටවිය.

මොකක්ද බං වෙලා තියෙන්නෙ ?මට මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ.

නිසල් සිය මිතුරා සමග ඇදීයමින්ම ඇසුවේය.

කා එක ගනින්...ජෙනරල් හොස්පිට්ල් ...යන ගමන් කියන්නම් මම.

විශ්ව රථයේ යතුර ඔහු අතට දැම්මේය.

මොකක් හෝ නමුත් ප්‍රශ්නයක් වෙන හැඩයි බං.නැත්නම් කීයටවත් මෙහෙම උදව් මගෙන් ඉල්ලයිද දැහැමි නංගි වුනත් ? අනික එයා කොහොමද මේ උඹ කතාකල එක දන්නෙ ?ඩොක්ටර් මෙයාට ඒවා කියලද ඒ කියන්නෙ?

සිදුවීම සැකෙවින් නිසල්ට පැවසූ විශ්ව, යලි පාරමී ගේ අංකයට ඇමතුම දුන්නේ..රෝහල් ගේට්ටුව අසලදීය.

නංගි, මම විශ්ව. අපි ගේට් එක ළඟ ඉන්නෙ.මේ වෙලාවෙ අපිට ඇතුලට එන්න බෑනෙ.අපි වාහනේ ඉන්නම්.ඔයා කෝල් කරන්න ඕනම වෙලාවක.

විශ්ව අත් ඔරලෝසුව දෙස බලමින් පැවසීය.

වේලාව පහට ආසන්නව තිබුණි.යලි දුරකතන ඇමතුමකින් තිගැස්සී ගත් විශ්ව.ඇමතුමට සමබන්ධ වූයේ නිසල් දෙස බලමිනි.

අයියේ අයිසීයූ එක ළඟට එන්න.

දැහැමි ගේ හඬ වෙවුලා යමින් පැවතුණි.විශ්ව නිසල් ට අතින් සන් කරමින් වාහනයෙන් බැස්සේය.බරපතල යමක්වේ යැයි විශ්වට ද නිසල්ටද සිතෙමින් පැවතුණි.

දැඩි සත්කාර ඒකකය අසල දැහැමි උන්නේ දොරට හිස තබාගෙනය.විශ්ව ඒ ආසන්නයට ගොස් වීදුරුවෙන් ඇතුලට එබුණේය.එක් ඇඳක් වටා බොහොමයක් දෙනා එක්‍ රැස්ව සිටිති.

නංගි...

දැහැමි හිස ඔසවා බැලුවාය.

මොකද උනේ?

විශ්ව සෙමින් ඇසුවේය.

පාරමී ට එන්න කිව්ව ඇතුලට.මං හිතන්නෙ...

දැහැමි ගේ නෙතින් කඳුළක් ගලා හැලෙන්නට විය.විශ්ව සුසුමක් හෙලා යළි එදෙස බැලීය.රැස් වූ එකිනෙකා දෙන්නා ඇඳවෙතින් ඉවත්ව යති.පාරමී සයනයට බරවූ වතින් අම්මාගේ හිස අතගාමින් සිටියාය.විනාඩි ගණනාවකට පසු වෛද්‍යවරියක් ඇය අසලට විත් ඇයගේ උරහිසට තට්ටු කළාය.හිස නගා බැලූ පාරමී ඉණ දක්වා වසා තිබූ සුදු රෙද්ද අම්මාගේ මුහුණ වැසෙන්නට ඔසවමින් යළිත් අම්මාගේ මුහුණ සිප ගත්තාය.ඉන් පසු එතනින් හැරී වහා ඉවතට ආවාය.

දැඩිසත්කාර ඒකකයේ දොර අසලට ආ ඇය ඉන් පිටතට පැමිණෙත්ම වාරු නැතිව ගොස් බිත්තියකට හේත්තු වූවාය.


                                                    *** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා  දහනායක 

( විසිරි සිහින )


Thursday, February 16, 2023

12 වන කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ



12 වන කොටස

 11  වන කොටස මෙතනින් 





 නුවරට සීතල කඩා පහත්වෙන්නේ සිතන්නටත් කලිනි. අම්මා සහ මාලනී එක් කාමරයකටද දැහැමි සමගින් පාරමී අනෙක් කාමරයටද වූයේ කතාකරගත් පරිද්දෙනි. මාලනී කිසිදිනෙක නිවසේ සේවිකාවක් ලෙස අම්මා සලකා නැත.එහෙයින් ඇය සමග එක කාමරයක් බෙදාහදා ගන්නට අම්මාට කිසිදු ගැටලුවක් නොවීය.මාලනීද අම්මාහට ඇති ගරුත්වය එලෙසින්ම රැකගනිමින් අම්මා සමග එක්ව උන්නාය.

අම්මා අපි හවස් වෙලා මාළිගාවට ගිහින් එන්න යමු නේද....ටිකක් රෙස්ට් කරන්න එහෙනම්.....පාරමී අම්මා උන් කාමරයෙන් පිටව සිය කාමරයට යන්නට පෙර පැවසුවාය.

ඇය කාමරයට යනවිටද දැහැමි උණු උණුවෙන් තේ කෝප්ප දෙකක් සූදානම් කර තිබුණි.

තේ බීලම වොෂ් දාගනින්...නැත්නම් මට ආයෙ හදන්න වෙනව....දැහැමි තේ බඳුන මුවගට ගනිමින්ම පැවසුවාය.දැහැමි ටද ඒ මොහොතේ අවශ්‍යව තිබුණේ උණුසුම් තේ බඳුණකි.

ස්නානයෙන් අනතුරුව සඳැල්ලේ අසුන් දෙකකට වූ මිතුරියෝ අල්ලාප සල්ලාපයේ යෙදුණේ කලකට පසු හමුවීමේ උපරිම ප්‍රයෝජන ගනිමිනි.

දැහැමි ....මට උඹට බොහොම පෞද්ගලික කාරණාවක් තියනව කියන්න...හැබැයි මේක උඹෙන් අඩුම ගණනෙ උඹලගෙ අම්මටවත් යන්න බෑ....හරිද....?"

දැහැමි වෙත සිය පුටුව ඇදගනිමින් පාරමී පැවසුවාය.පෙර දවසක නිසල් ගේ ඉල්ලීම පාරමී මහත් අවුලකට පත්කොට තිබුණි.

"මගෙ අප්පේ ...උඹ ඔහොම කියනකොට මට බයත් එක්ක බං....මොකක්ද ඒ....?" දැහැමි ඇසුවේ තම විහිළු ස්වරයෙන් අත්මිදෙමිනි.

"උඹ දන්නවද විශ්ව ජයසූරිය....?" පාරමී දැහැමි වෙතින් විමසුවාය.

"විශ්ව...විශ්ව ජයසූරිය ....ම්හු...උඹ ඔහොම කිව්වට එක පාරටම ඔලුවට එන්නෑනෙ බං...ඕන්න සනත් ජයසූරිය කියල ඇහුව නම් මම පටාස් ගාල උත්තර දෙන්නම්...."

දැහැමි කල්පනාවේ මොහොතක් ගැලී සිට හිස දෙපසට වනමින් පැවසුවාය.

"ඔව් උඹ නමින් දන්නෙ නැතුව ඇති...ඒත් මෙහෙම කිව්වොත්..අර එදා උඹලගෙ ගෙදර මං ආව වෙලාවෙ මගෙ ඇඟේ හැප්පුණ මනුස්සයා....දැන් මතකද...?" 

පාරමී අසත්ම දැහැමි ගේ මුහුණේ ඇදුණේ දඟ සිනාවකි. 

"හෑ. අර ඉබිමස් කාපු පොරක් කියල උඹ බැන්න අපේ අයියණ්ඩිනේ...යකෝ මම දන්නෙත් නෑ උගෙ නම...මේකි වාසගමේ ඉඳන් දන්නවනෙ...."

පාරමී සිනහව වලකාගනිමින් දැහැමි ගේ දෙස බලාඋන්නාය.

"හරි මොකෝ උණේ....ඌ ආයෙම හැප්පුණාද....ගතේ නැත්නම් හිතේ වත්.....?" 

දැහැමි ඇසුවේ නළලතද රැළි නංවාගනිමිනි.

"හැම එකම විහිලුවට ගන්න එපා බං...මේක ප්‍රශ්නයක්....අහගනින්කො ඉස්සෙල්ලම..." 

පාරමී විශ්ව අහම්බෙන් තමා හමුවට ආ පළමු දින සිට පෙර ආසන්න දිනක නිසල් තමා වෙත ඒම දක්වාම සියලු දේ දැහැමි හමුවේ විස්තර ඇතිව පැවසුවාය.

මේක ඒ මනුස්සයගෙ ජීවිතේ සම්බන්ධ ප්‍රශ්නයක් දැහැමි..මම මේක උඹට කියන්නෙ මට මේ වෙලාවෙ තනිවම .මේක ගැන තීරණයක් ගන්න අපහසු නිසයි...මට හිතාගන්න බැහ මේකට මොකද කරන්නෙ කියල....

පාරමී පැවසුවේ දැඩි කල්පනාවක පසුවෙමිනි.

ඔය විශ්ව අයියා කොහොම කෙනෙක්ද කියල අපි හරියට දන්නෙ නැහැ තමයි.ඒත් අපෙ අම්මා දවසක් ඔය එයාගෙ අම්මා ගැන නම් හරියට කිව්වා....ඒ කතා දැනුයි මට මේ මතක් වෙන්නෙත්......ඒ මනුස්සය හෙන උද්දච්ච මනුස්සයෙක්ලු ...ඉඩකඩම් දේපල සෑහෙන්න තිබුණත් හෙන කුණුකම කියල නෑයො කියනවලු

මට දැන් තියන බරපතලම ප්‍රශ්නෙ මෙහෙම තත්වයක් දැන දැනම මේ මනුස්සයව අතෑරලා දාන්නත් බැහැ...වැරදිලවත් සුවිසයිඩ් කරගත්තොත් මාත් ඕකෙ කොණකට අන්තිමට ඈඳෙයි...අනේ මන්දා බලපන්..මේ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් නොකරම උන්න නම් මට ඉවරයිනෙ....

පාරමී කණුකුණු ගානට වූයේ කුඩා දැරියක් පරිද්දෙනි....

උබ කවුන්සලින් නොකලට කමක් නැහැ...ඔය පොරව දවස් කීපයක් වත් ආයෙ බලපන්....සමහර විට ටිකක් ඇහුම්කන් දුන්නම ඔය ගති ඇරිල යන්නත් පුලුවන්නෙ

දැහැමි පැවසුවේ ඇයගේ අවබෝධයේ ප්‍රමාණයටය...

හ්ම්ම්...ඒකත් ඇත්ත තමයි ...බලමුකො..අඩුගානෙ මෙහෙම ආවම වත් මට රිලැක්ස් වෙන්න ලැබෙයිද කියලයි මම මේ ආවෙත්...අනුන්ගේ ප්‍රශ්න හැමදාම තමන්ගේ කරගෙන ඊවත්වෙන්නයි අපිට හොස්පිට්ල් එකේදි වෙලා තියෙන්නෙ ...පාරමී පැවසුවාය.

දැහැමිගේ වදන් වලට එකහෙලාම අනුමැතියක් දෙන්නට අපහසු වුවද පාරමී යම්තාක් දුරට ඇය හා කතාබහෙන් හිත නිරවුල් කරගත්තාය. 

හැබැයි රජෝ කටෙන් කෙල පොදක් බිම හෙලනවා හෙම නෙවෙයි ඔන්න.....හරිද

සැන්දෑවේ අම්මා සහ මාලනී සමගින් දැහැමි ද පෙරටු කොට ගෙන පාරමී දලදා මාලිගාව වෙත පියමැන්නේ සියලු කරදර සිතින් මුදාහරිමිනි. වැව්දිය පිස එන සිහිල් සුලඟ විඳිමින්ම ගලාහැලෙන මඳ අඳුරේ ඔවුන් ඉන්පසු බොහෝ වේලාවක් කතාබහේ යෙදෙමින්ම උන්නහ.අම්මාත් මාලනීත් ඇත්තෙන්ම ඉන්නේ පුදුමාකාර සතුටකින් බව පාරමී ට දැහැමි ඇසින් ඉඟිකොට පෙන්වූවාය.තමන් ගේ මේ පියවර ඉතා සාර්ථක බව පාරමීට වැටහුණේ මේ ගමනිනි.

අපේ අම්මලා මාලනී ඇන්ටිලා වගේ මනුස්සයො සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනනෑ බං....පේනව නේ මූණෙ උතුරන සතුට.....

පාරමී කීවේ දැඩි හැඟුම්බර හඬකිනි.

                                    

                                                                    *** 

              

තමා නැවතී උන් නිවාඩු නිකේතනයේ සඳැල්ලට වී විශ්ව ඈතින් පෙනෙන කඳුපන්තිය දෙස මොහොතක් බලා උන්නේය.පෙණ නගන බීර වීදුරුව අතට ගෙන විනාඩි ගණන් ගතව ගියද තවම එක බිඳක් හෝ මුවට ඇතුලු වූයේ නැත.එහෙත් සිතේ ඇතුළාන්තය බීර ඔඩමක් පානය කලා සේම මත් බවකින් උද්දාමයකට පත්ව ඇති සේය.

අද උදෑසන නිවාඩු දවසේ විශ්ව තරමක විවේකයක් ගන්නට සිතා උන්නේ දැඩි ලෙස කාර්ය බහුල වූ සති කිහිපයකට පසුව ය. එක දිගට ව්‍යාපාර කටයුතුවල යෙදීම නිසා ගතට මෙන්ම සිතට ද දැනෙන්නෙ ඉමහත් පීඩා සහිත බවකි. මෑත කාලයේ පටන් සිතෙහි ඇතිවන අවිවේකී තත්වය හේතුවෙන් විශ්ව පසු වූයේ ද බොහොම නොසන්සුන් භාවයෙනි.

මොකද මේ දවල් වෙනකම් ඇඳ බදාගෙන....නරකද ගෙදර ඉන්න දවසෙවත් මේ වතුපිටිවල වැඩකටයුතු ගැන ටිකක් හොයලා බැලුවනම් ....

උදෑසනම අම්මාගේ හඬින් විශ්වගේ සිතේ වූ සමාධිය ඉබේම බිඳී ගියේය...

මදැයි අදවත් නිදහසේ ගෙදර ඉන්න හිතාගෙන හිටියා ...මීට වඩා හොඳයි අදත් ඔෆිස් එකට ගිහින් හිටියනං ....

විශ්ව අම්මාගේ හඬ නෑසුනා සේ අනෙක් පසට හැරී දෑස් පියා ගත්තේ ය 

විශ්ව ...මම මේ උඹටයි කියන්නෙ ....අර බලපං...පාරෙන් එහා පැත්තෙ පොල් වත්තෙන් දැන් මායිමක් අල්ලගෙන යනවා පාරට .....උඹ...ඔහොම ඇඳටම වෙලා හිටපං ...

අයියෝ අම්මේ .....මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවා.. පාරක් පළල් කරන්න තියෙන සීමාවට එහා ඒ මිනිස්සු අපේ වතුවලට එන්නේ නැහැ ...හැබැයි අපේ වතු තියෙන්නේ මහාමාර්ගයේ පලල් කරන්න ඕන සීමාවේ නම්...ඉතින් අපිට ඒ ප්‍රමාණයේ ගොල්ලොන්ට දෙන්න වෙනවා ඒ නිසා බොරුවට කෑ ගහන්නේ නැතුව ඉන්න....

විශ්ව අවසානයේදී ඇඳෙන් නැගිටිමින් පැවසුවේ අම්මාගේ කියවන කියවිල්ලට නැවතීමක් තැබිය නොහැකි බව ඉවෙන් මෙන් වටහා ගෙන ය ....

ඔව් ඔව් ...අන්න එහෙම වෙස්සන්තරලා වෙලා ...ඔක්කොම දං දීපල්ලා ....මේක හම්බ කරන්න වුණ මහන්සිය දන්නේ මම නේ.....උඹත් හැදෙන්නේ උඹගෙ තාත්ත වගේමයි .....මම ඒව හොයල බැලුවෙ නැත්නම් මේ වෙනකොට මේ තියෙන ඉඩ කඩං වලින් බාගයක් එක එකා අල්ලගෙන ... 

අම්මා තව තවත් කෝපාවිෂ්ට වෙමින් ...නොනැවතීම කියවන්නට වූවාය ....

දැඩි ලෙස පාලනය කරගන්නා ආවේගශීලී බව සිමාව බිඳගෙන යන්නට බොහෝ ආසන්න බව දැනුන විශ්ව වහා නැගිට නාන කාමරයට ඇදුනේ....තවදුරටත් සිටිය නොහැකි බව ඉවෙන් මෙන් වැටහී ගිය හෙයිනි.......


                                                                            *** 


උදෑසන ඇති වූ නොසන්සුන් කතාබහෙන් පසුව ක්ෂණිකව ගත් තීරණය මත විශ්ව නිවසෙන් පිටත් වී ගියේ එළඹෙන ඉදිරි සති අන්තය නිවසෙන් පිට කොහේ හෝ ගත කරන අදහසට එළැඹෙමිනි.

අතට අසුවුන ඇඳුම් කිහිපය සිය ට්‍රැවලින් බෑගයට දමා ගත් විශ්ව වාහනයට ගොඩ වූයේ අම්මාගෙන් සමු නො ගෙනමය....

විශ්ව ..විශ්ව ...කොහෙද මේ ඒ ගමන යන්නේ ....හෙට මට ගමනක් යන්නත් තියෙනවා ...අර මිසිස් අතුකෝරළගේ ගෙදර...එහෙන් යෝජනාවක් කරල තියෙනවා උඹට...මං හෙට ඒ ගෙදර යන්න යොදාගෙන තියෙන්නෙ..උඹ ඒ අස්සෙ කොහෙද මේ යන්න හදන්නේ ....

අම්මාගේ ගෝරනාඩුව කනකට නොගත් විශ්ව වහා රිය පණ ගන්වාගෙන ගෙමිදුලෙන් මාවතට එළඹුණේය . යන්නේ කොහේදැයි වත් කිසිදු නිනව්වක් නොමැති ව වාහනය පණගන්වා ගත්තද....අඩුම තරමේ නිවස තුළ නැති සාමකාමී වාතාවරණයක් මේ වාහනය තුළ හෝ ඇතැයි ඔහුට සිතුණි.

කොළඹ නගරය පසුවී පෑලියගොඩ ඉසව්වට ළඟා වන තෙක්ම යා යුතු දිහාවක් ගැන විශ්වට කිසිදු අදහසක් නොවීය.කැලණි පාලම මතින් කිරිබත්ගොඩ දෙසට ඉබේම හැර වුණ වාහනයේ සිට නිසල් හට ඇමතුමක් ගත් ඔහු මාවත අද්දර මොහොතකට වාහනය නවතා ගත්තේය.

මොකෝ බං මේ උදේ පාන්දර..අඩුගානෙ නිවාඩු දවසෙවත් මට ඉන්න දීපන්කො ...

නිදිමත බේරුණු කටහඬින් නිසල් ඇමතුමට සම්බන්ධ විය ...

මචං ....පොඩ්ඩක් මේක අහපංකෝ ....උදේම අම්මා බර බරයක් දාන්න ගත්තා ..අන්න අර අතු කෝරළ ද කාගේද...දුවෙක් බලන්න යන්න තියෙනවලු ...මං...එළියට බැස්සා බං ... හිතාගන්න බෑ කොහෙ යන්නද කියලා ......මොකක් හරි අයිඩියා එකක් දීපන්කො.....

මොන මගුලක් ද මන්දා බං ....නිවාඩු දවසෙ නිදාගන්නවත් දීපන්කො....

නිසල්ගේ කුණුකුණුවෙන් වැටහුණේ ඔහු තවමත් නිදිමතේ පසුවෙන බවය...විශ්වට නිවසින් පිටව එද්දී දැනුණ කෝපයද මඳකට නිවීගොස් සිනහවක් මතුවෙමින් තිබිණ....

හරි හරි බං...නිදාගන්න කොයිවෙලෙ නම් බැරිද....ඒ මචං ලෑස්තිවෙයන්කො ....දවස් තුනක් තියන එකේ යමංකො කොහෙ හරි.....

උඹට පිස්සුද....මට නිදාගන්න දීපන් හරකො....

එහා පසින් ජංගමය විසන්ධි වූයේ නොසරුප් වදන් දෙක තුනක්ද සමගය.

විශ්ව එක්වනම සිතට ආ හැඟීමෙන් වාහනය අධිවේගී මාර්ගය හරහා වැටුණ මාවතට දමා ගත්තේය.එතැනින් වත්තලට කෙටි මඟකි.නිසල්ගේ නිවස ඇත්තේ හේකිත්ත පාරේය. 

අද උඹව මං කුදලන් හරි මේ ගමන යනව පුතෝ....විශ්ව මුවඟට නැගුණ දඟකාර සිනහවෙන් යුතුවම වත්තල දෙසට වාහනය පැදවීය.

              

                                                                        *** 


නිසල්ගේ නිවසට පිවිසි විශ්ව නිසොල්මනේ ඔහුගේ කාමරය වෙත ඇදුනේ නිසල්ගේ මවට අතින් සන් කරමිනි ....කාමරයට යන විටත් ඇඳෙහි මුනින්තලා වී නිදා උන් නිසල්ගේ සිහින් ගෙරවීමද විශ්වට සිනහවක් මුවගට ගෙන ආවේය .....

යකෝ ඔය ලීමෝල වහළ නැගිටපං ....ඉක්මන්ට.... ඉක්මනට ....ලෑස්ති වෙයන් ....

පොරෝනයකින් හිස වසා ගත් නිසල්ගේ දෙපයින් ඇද දමමින් විශ්ව කෑගැසීය....

මේ මොන වදයක් ද බං පාඩුවේ ඉන්න දීපන් ....රස්සාවට ගියත් උඹෙන් ඇති කරදර ඉවරයක් නැහැ ...බලපං නිවාඩු දවසෙවත් මට ඉන්න දෙන්නේ නැහැ නේ උඹ ...

නිසල් තරහෙන් මෙන් පවසමින් ඇඳ මත හිඳ ගත්තේ ය 

මට ඉතින් ඉන්නේ උඹ විතරනේ ...අනේ හොඳ කොල්ල වගේ යමංකො ...සම්පූර්ණ වියදම මං ගානේ ...අනේ අනේ බං නැගිට ඇඳුම් ටික ලෑස්ති කර ගනිං ...

විශ්ව ආයාචනා කරන්නට වූයේය ....නිසල් තව මොන මොනවදෝ කියවමින් නාන කාමරයට වැදුනේ විශ්ව දෙස දවා හළු කරන්නාක් මෙන් බැල්මක් ද හෙලමිනි 

              

කොහෙද බන් දැන් ඉතින් යන්නෙ 

මාවතට නැවත රිය හරවාගත් විශ්ව නිසල්ගෙන් ඇසුවේ තවමත් යන තැනක් සිතෙහි නොවූ හෙයිනි 

යමං අපායට .....

තවමත් නෝක්කාඩු ස්වරයෙන් සිටින නිසල් ඉවත බලාගෙන පැවසීය .....

මේ අහපන් බං .....ඇත්තෙන්ම මුලු සතියම වැඩ කරලා වැඩ කරලා මටත් ඕන උනේ ගෙදරට වෙලා ටිකක් නිදහසේ ඉන්න තමයි ...උදේ පාන්දර පටන් ගත්ත අම්මා ...ඉඩකඩම්වල දේශ මායිම් ගැන කතා කරන්න ...ඒකට කතා කරන්න ගිහිල්ලා ඔන්න ඇවිලුනා ...උඹ දන්නවනේ අපේ අම්මා ඇවිලුනාම ...ඉරාකයයි ඉරානයයි ඇවිලුනාට එහා ....අන්තිමට අතට අහුවුනු රෙදි ටිකත් අරගෙන දමලා ගහලා ආවේ ඒකයි බං ...තව උන්නානං ඔය කතාව දිගින් දිගට ඇදිලා මං ගෙදර තියන මොකක් හරි දේකුත් කුඩු කරලා තමයි නවතින්නේ ...

විශ්ව දැඩි වේදනාවෙන් පැවසුවේය ... නිසල් සිය මිතුරාගේ තත්ත්වය මැනවින් වටහා ගත් හෙයින් නිහඬවම ඉදිරිපසට යොමු වූ නෙතින් සිටියේය...

යමුද නුවර පැත්තෙ.....යනවා වෙලා මේ ගිනි ගහන රස්නෙට අනුරාධපුර පොළොන්නරු යන්න ද ...ඔන්න ඔහෙ ගිහිල්ලා නුවර පැත්තෙ කොහේ හරි ඉඳලා එමු ...

අවසානයේ නිසල් යෝජනා කළේය ...

ඒ අදහසත් සමඟ පැමිණි ගමන අවසානයේ දී නතර වූයේ නුවරිනි ....

විශ්ව සිය අතරැඳි බීර වීදුරුව ...පසක තබමින් කල්පනා කලේ ....කඩුගන්නාව කන්ද නඟිද්දි පාර අයිනේ සිටින දුටු ඇය ගැන ය....පෙර දවසක දවසක....සිය ඥාති නිවසේ දී ..අහම්බෙන් දුටු ඇය ...අවසානයේ සිය ...මානසික වෛද්‍යවරිය බව ....ඔහුට සිහි ගැන්වුණේ ඒ මොහොතේදීය ...ඇය සමග සිටි සිය ඥාති සොහොයුරිය ද විශ්ව එක මොහොතින් හඳුනාගත්තේය ....

එහෙනම් ඔයා තමයි ඒ ....මං මෙච්චර වෙලා කල්පනා කරත් ...ඔයා මේ තරම් මට හුරුයි කියන එක ....මට තේරුම් ගන්න බැරි වුණා....ඒත් එදා ...එහේ ගෙදරදි ....මගේ ඇඟේ හැප්පිලා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන උන්නු හැටි ...මට තාම මතකයි දොස්තර නෝනා .....

විශ්ව තමාගේ යටි සිතින් තමාටම මුමුණා ගත්තේය ....

එතකොට මෙයා මාව කවුන්සලින් වලට බාර ගන්න භාරගන්න බැහැයි කිව්වේ ....මෙයාට මාව මතක තිබුනද ....ඒත් වෙන්න බැහැ ...මොකද චැනලින් වලට ආ වෙලාවේ එයාගේ මුහුණේ කිසිම වෙනසක් වුණේ නැහැ .....

විශ්ව දිගින් දිගටම කල්පනාවේ යෙදුණේය ...කාමරයේ බැල්කනියට ඒ මොහොතේ පැමිණි නිසල් සිය මිතුරා තදබල කල්පනාවක යෙදී සිටිනු දුටුවේය.උදෑසන නිවසින් පැමිණෙන විට මුහුණේ තිබූ වැහි වලාකුලු කිසිවක් දැන් ඇත .ඒ වෙනුවට මුවග නලියන මද සිනහවක් නිසල් දුටුවේය ...

ඔහොම හිනා වෙලා ඉන්නවනම් කොච්චර ලස්සන කොල්ලෙක් ද කොහෙද කොයි වෙලාවේ බැලුවත් පිපිරිච්ච ගමන්මයි...නිසල් ඒ සිනහව දෙස බලාගෙනම කල්පනා කළේය.....


                                                                        *** 

මොකෝ මේ මූනේ හෙන පෙම් පාටක් ගහලා ඔය කන්ද දිහා බලාගෙන කල්පනා කරන්නෙ ....මෙන්න බලනකොට වෙනදට බියර් බෝතල් දෙක තුනක් ඉවර කරන මිනිහා අද එක්ක බියර් වීදුරුවක් වත් කටේ තියලා නෑ ....

නිසල් විශ්වට යාබද අසුනේ ඉඳ ගනිමින් පැවසුවේය ....

මාර වැඩේ නේ බං ...මම මෙච්චර වෙලා කල්පනා කරලා දැන් තමයි මගේ ඔලුවට ආවේ ....

විශ්ව නොසන්සිඳුණු සිනහවෙන් යුතුව පැවසීය ....

මොකද්ද උඹේ ඔළුවට ආවේ ...

නිසල් විමසිලිමත් බවින් යුතුව සිය මිතුරා ගේ මුහුණ දෙස බැලීය ...

අපි කඩුගන්නාව කන්ද නගින කොට බං ....පාර අයිනේ දැකල පුරුදු කෙල්ලො දෙන්නෙක් හිටියා ....පහු වෙනකන්ම සයිඩ් කණ්නාඩියෙන් බැලුවත් ...මට ඒ කවුද කියලා හරියටම ඔළුවට ආවෙ නැහැ ...මේ දැන් කල්පනා කරාම නෙ බං මට මතක් උනේ...ඒ අර psychatrist නෙ....

නිසල්ට එක් වනම මහ හඩින් සිනහ ගියේය 

යකෝ උඹට පාර් ඉන්න ගෑනුත් දැන් ඩොක්ටර් වගේ පේන්න අරගෙනද ....යකෝ මේ නුවර... ඒ මනුස්සයා ඉන්නේ කොළඹ .... ඇත්ත කියපන් උඹ මට හොරෙන් මොනවා හරි බිව්වද ...උඹට වෙරිද ....

කෑගහන්නැතුව කියන දේ ඉස්සෙල්ලා අහපන් ....මට ඒ psycatrist දැක්ක දවසේ ඉඳලම එයාව දැකල පුරුදු ගතියක් තිබුනා ...ඒත් මට කල්පනා කළාට මතක් කරගන්න බැරි වුණා ...එයා කවුද කියලා ... දැන් තමයි මට මතක් උනේ ....එයා මාස ගණනකට කලින් අපේ නෑ ගෙදරකදි මට හම්බුනා කියලා ...

විශ්ව බොහෝ නැවතිල්ලේ එම සිදුවීම් සිය... මිතුරාට ගෙනහැර පෑවේය 

ඒ උනාට එක වගේ හත් දෙනෙකුත් ඉන්නවා කියල කියනවා නේ බං ....හරියටම අපි දන්නේ කොහොමද එයා ද කියලා ...

නිසල් ඇසීය ....විශ්ව සිය ජංගම යේ වූ පාරමී රත්මල්ගොඩ ගේ දුරකථන අංකය ඔහුට පෑවේය 

අඩ්ඩඩ්ඩේ....ටෙලිෆෝන් නම්බර් එකත් තියනවනේ .....මේක කොහෙන්ද බං උඹට 

ඇයි එදා මට දීපු prescription එකේ යට ටෙලිෆෝන් නම්බර් එක තිබුනනෙ ....මේ මචං ..පොඩි උදව්වක් කරපන්කො ..මේ නම්බර් එකට අරගෙන පොඩ්ඩක් අහපංකෝ doctor ව channel කරන්න පුලුවන්ද කියල අද ...

විශ්වගේ මහුනේ දිගටම තිබුනේ තරුණ ගැටවරයෙක් ගේ හිතුවක්කාර සිනහවකි ...සිය මිතුරාගේ මේ වෙනස ...නිසල් ටද ටද පුදුමයකි ...මේ වෙනස වෙනුවෙන් විශ්ව කියන්නා වූ ඕනෑම දෙයක් කිරීමට ඒ මොහොතේ නිසල් පසුබට නොවීය ....

විශ්වගේ ජංගම දුරකථනයෙන් ගත් නොම්මරය අංකනය කළේ නිසල්ගේ දුරකථනයෙනි ....මද වේලාවක් නාද දුන් පසු එහා පස්සෙන් පාරමී දුරකථනයට සම්බන්ධ වූවාය 

හෙලෝ කවුද කතා කරන්නේ ...

එහා පසින් ඇසුණ පාරමීගේ හඬ සමගම නිසල් සිය ජංගමයේ ස්පීකරය දමා කතා කළේය ..

මැඩම් good evening ..මම නිසල් පෙරේරා ....ගිය සතියේ මම චැනලින් වලට ආවා මගේ යාළුවා ගැන පොඩ්ඩක් කතා කරන්න ...මැඩම්ට මේ සතියේ මට චැනල් එකක් දාලා එයා ආපහු එක්කරන් එන්න පුලුවන්ද ...

නිසල් බොහෝ ඉවසීමෙන් විශ්ව සමගින් කතා කරගත් ආකාරයට පාරමීගෙන් ඇසීය 

එහා පසින් මොහොතකට වුයේ නිහඬ භාවයෙකි ...ඉන්පසු ඇයගේ හඬ යලිත් අවදිවිය...

මිස්ටර් පෙරේරා ....මම මේ වෙලාවේ ඉන්නේ ගමනක් ඇවිල්ලා ....මම ඔයාට ලබන සඳුදට හරියටම මගේ ප්ලෑන් එක කියන්නම් ...මට එදාට කෝල් එකක් දෙන්න ....

පාරමී රත්මල්ගොඩ ජංගමය නිහඬ කිරීමට පෙර එහා පසින් යලි හඬ ඇසුණි ...

මැඩම් නුවර ද ඉන්නේ ....මමයි මගේ යාලුවයි අද නුවර ආවා ...අපි කඩුගන්නාව හරිද මැඩම් වගේ කෙනෙක් දැක්කා ..ඒත් ට්‍රැෆික් එක නිසා එතනින් ඉක්මනට ආවා ....

පාරමී රත්මල්ගොඩ මොහොතක් නිහඬතාවය රැක...

ආ ඔව් නුවර තමා ඉන්නෙ .... වෙන්න ඇති ...අපි කඩුගන්නාවේදී පොඩ්ඩක් වෙලා නවත්තලා හිටියා ...ඕකේ දෙන් ....මට සඳුදට කෝල් එකක් දෙන්න ...

ජංගමය විසන්ධි වී ගිය පසුත් විශ්වගේ සිනහව නොනැසී පැවතුණි ....

එහෙනම් ඒ එයා තමයි නේ .....නිසල් පැවසුවේය ...

ඇත්ත කියපන් ...උඹට ඒ doctors හරි special නේද ...මෙච්චර කාලෙකට මම දැකලා නෑ ..ගෑනියෙක් සම්බන්ධයෙන් උඹේ මුහුණේ ඔහොම හිනාවක් එනව ....

නිසල් ගේ බසට විශ්ව නිහඬ සිනාවක් පෑවේ ඈත පෙනෙන්නා වූ කඳුවැටියේ සැන්දෑ යාමේ එකිනෙක දැල්වෙන පහන් එළි දෙස බලාගෙනය ...නිසල් කියන්නා හා සේම මෙතුවක් කල් තමාගේ සිත තුළ ගොඩ නොනැඟුණු අන්දමේ ...කුමක්දෝ වෙනසක් ඇති වෙමින් පවතින බව නම් විශ්වට ද වැටහී යමින් පවතී ...

                                                                    

                                                                    ***


යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින)