පමාවට සමාවෙන්න .....
*****************************************************
"සර් සර්...කෝල් එකක්"
චාමලී කඩාබිඳගෙන මෙන් කාමරයට ඇතුළු වූයේ ඒ ඇසිල්ලේමය. නිවේතාගේ දෑත මුදාහළ සරෝජ් නැගී උන්නේ එකම එක බැල්මක් ඇයවෙත තබාය.චාමලී ආවාට ගියාට කාමරයට එසේ කඩා වැදෙන්නේ නැතිබව සරෝජ් මෙන්ම නිවේතා ද දනී.කුමක් හෝ හදිසියක් මිස අන් කිසිවක් හිතාගන්නට නොහැක.
"සර්ගෙ ෆෝන් එකට දිගටම ගත්තාලු.ආන්ස්වර් නැති නිසයි මගේ එකට ගත්තෙ"
කාමරයෙන් පිටව යන සරෝජ් පසුපසින් දුව යමින් චාමලී පැවසුවාය.නිවේතා කිසිවක් හිතා ගන්නට නොහැකිව උන් අසුනේම ඔහේ උන්නාය.සරෝජ් කාමරයෙන් පිටව ගිය වහාම නිවේතා වෙත ආ චාමලී ඇයව අසුනෙන් නැගිටුවා ගෙන කාමරය තුළට කැඳවාගෙන ගියාය.මොහොතකට පෙර සිදු වූ සිදුවීම හෙයින් නිවේතා උන්නේ අන්දමන්ද වූ ස්වභාවයකිනි.එහෙයින් ඇයට සරෝජ් හිරිපිටිය මේ සා කලබලයකින් කාමරය වෙත යළි පිටත්වීම සිතාගන්නට අසීරු විය.
නිවේතා සයනයේ හිඳගෙන සිටියදී සරෝජ් යළි කාමරේට පැමිණියේය.ඔහු ඒ වන විට පිටතට යන්නට සුදුසු ඇඳුමකින් සැරසී සිටියේය.
"නිවී,මට පොඩි හදිස්සියක් මම ඉක්මනට ගිහින් එන්නම්.ඔයා නිදාගන්න"
කලබල වූ ස්වරූපයෙන් පැවසූ සරෝජ් හිරිපිටිය වහවහා රියදුරුට අමතමින් කාමරයෙන් පිටව ගියේය.
"ක.වු..ද ක.තා..කළේ?"
නිවේතා චාමලීගෙන් විමසුවේ ඉන්පසුය.
"සංජය කතාකලේ මැඩම්"
චාමලීද කිසිවක් සිතාගත නුහුණු අන්දමින් ද බලා උන්නාය.නිවේතා ගේ සිතට සරෝජ් සම්බන්ධව අනියත බියක් එකතුවන්නට පටන්ගෙන තිබුණි.
**************************************************
රාත්‍රී එකොළහට පමණ නික්ම ගිය සරෝජ් යළි පැමිණියේ පාන්දර පහට පමණය.නිවේතා විටින් විට කැඩි කැඩී ඇහැරෙන නින්දෙන් යුතුව ඔහු එන මඟ බලා උන්නාය .තවමත් බෙහෙත් වර්ග රාශියක් බොන හෙයින් නිදිමත ඉබේම පැමිණෙන හෙයින් ඇයට කඩින් කඩ නින්ද ගියාය.ඇහැරෙන සෑම මොහොතකදීම චාමලීහට අමතා සරෝජ් පැමිණියාදැයි විමසූ නිවේතා ඔහුගේ පැමිණීම පමා වෙන විට තව තවත් බියට මෙන්ම නොරිස්සුමට පත්වූවාය.
සිදු වූ සිද්ධිය අසා වැඩි වේලාවක් නොවූ හෙයින් ඔහු යම්කිසි කරදරයක පැටලීදැයි ඇයට අනියත බියක් ඇති විය. සරෝජ් පාර්ලිමේන්තුවේ දී හෝ වෙනත් කාර්යාල කටයුතු වලදී කවදාවත් ආරවුල් ඇතිකර ගත් අයෙක් නොවීම හිතට යම්කිසි සහනයක් විය .නමුත් මේ ගැටලුවේදී ඔහු අධික ලෙස කෝප ගත් බව ඇයට සිහිවිය .එහෙයින් ඔහු මේ අසත්‍ය ප්‍රවෘත්තිය පැතිරවූ පුද්ගලයන් සමගින් අධික ලෙස තරහින් සිටිනා බව නිවේතා දැන උන්නාය.සංජය විසින් අමතනු ලදුව ඔහු වහ වහා පිටව ගියේ ඒ සම්බන්ධයෙන් වූ කිසියම් කටයුත්තකටද යන්න ඇයට ගැටලුවක් විය.
පාන්දර යාමයේ සරෝජ් නැවත නිවසට එනවිට නිවේතා නිදි සුවයෙන් උන්නාය .
"සර් මැඩම්ට දිගටම නින්දක් නැහැ. සැරින් සැරේට නින්ද යනවා ආපහු ඇහැරෙනවා .ඇහැරුන ගමන් සර් කෝ ආවද කියකිය හොයනවා"
චාමලී කාමරයේ දොර අසල සිට ඔහුට පැවසූවේය.
"මගෙන් ඇහුවා කවුද සර්ට කතා කළේ කියලා මම කිව්වා සංජය කියලා නැත්තං ඇත්ත දේ දැන ගත්තොත් මෙතන කලබල කරන හැටි මම දන්න නිසා"
චාමලී පැවසුවේ සරෝජ්ගේ මුහුණේ ඇති වෙහෙසකර භාවයට යටින් මතුවන අපූරු සිනහව දෙසද බලමිනි.
"චූටි දුවට පුතෙක් හම්බ උනා. මැඩම්ව නැගිට්ටාම ලෑස්ති කරන්න බබාව බලන්න යන්න.හැබැයි කියන්න එපා මොකටද කියල"
සරෝජ් චාමලී සමගින් පවසා කාමරයෙහි දොරෙන් මොහොතකට එබී නින්දේ පසුවන නිවේතා දෙස බලා යළි සිය කාමරය වෙත පිවිසියේය. රෝහලේ සිට පැමිණ හෙයින් ස්නානය කොට නැවත ඇඳුමකට මාරුවී ඇය සමගින් කිරිකැටියා බලන්නට යා යුතුය .
ඔහු චාමලීට පැවසුවේ මානවී සම්බන්ධ මේ අලුත් ප්‍රවෘත්තිය කිසිසේත්ම නිවේතාට නොදන්වන ලෙසය .ඇය මේ අලුත් දසුනෙන් පුදුම කිරීමට ඔහු බලාපොරොත්තු විය.
උදෑසන නිවේතා අවදිකරවා චාමලී ඇයට තේ බඳුන පිළිගැන්වූයේ
"සර් ආවා මැඩම් පොඩි ගමනක් යන්න තියෙනවා කියලා මැඩම්ට සූදානම් වෙන්න කිව්වා"
කියමිනි .නිවේතා විමතියෙන් මෙන් ඇය දෙස බලා උන්නාය මේ කරන කිසිවක් තවමත් තමන්ගේ මනසට නොවැටහෙයි .එසේ නම් සරෝජ් පිටව ගොස් ඇත්තේ තමා සිතූ බරපතළ ගැටළුවට නොවිය යුතුය.
චාමලීගේ ආධාරය ඇතිව නිවේතා මුහුණ සෝදා අලුත් ඇඳුමකින් සැරසුණාය .දැන් දැන් ඇයට චාමලීගේ වැඩිදුර උදව් නොමැතිව තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබී ඇත .චාමලී අත්‍යාවශ්‍ය වන්නේ හදිසියේ හෝ සමබරතාවය ගිලිහී ඇද වැටුණහොත් යැයි බියක් තවමත් ඇති හෙයිනි.
"හරි..කෝ මැඩම් ලෑස්ති වෙලාද ඉන්නේ ?"
සරෝජ් හිරිපිටිය චාමලීගෙන් අසමින්ම කාමරයට පැමිණියේ තමා ඇඳ සිටි කමිසයේ අත නවමිනි .උදෑසන ස්නානය කිරීමෙන් පසු තවමත් යන්තමින් හිස රැඳි තෙත හිසකේ ගසා හරිමින් පැමිණෙන ඔහු සැබැවින්ම කඩවසම්ය . නිවේතා මුවග රැඳුණු සිනහව ඇතිව ඔහු දෙස බලා උන්නාය.
"ගුඩ් මෝනින් නිවී.ලෑස්ති වෙලා නේද ඉන්නේ පොඩි ගමනක් යන්න තියෙනවා යමුකෝ"
නිවේතාගේ ප්‍රශ්නාර්ථය රැඳී මුහුණ මඟහරිමින් සරෝජ් පැවසුවේ මුවගට උදාවන තෘප්තිමත් හසරැල්ල සඟවා ගනිමිනි. අලුත් සිඟිත්තා දුටුවිට නිවේතාගේ මුහුණේ ඇතිවන සතුට සහ විශ්මය දකින්නට ඔහු බෙහෙවින් ආශා කළේය .
"අ.පි කො..හෙද මේ ය..න්නේ?"
මඳ දුරක් රිය ගමන් ඇරඹූ පසු නිවේතා සිය යාබද අසුනේ හිඳගෙන සිටින සරෝජ් වෙතින් විමසුවාය.ඔහු ඇයට පිළිතුරු නොදී මඳ සිනහවක් පා සිය සුරත ඇයගේ හිස මත තබා සෙමින් සෙලවීය.
"යමුකො. තව ටිකයි නේ. ඔයාට බඩුවක් පෙන්නන්න තියෙනවා"
සරෝජ් හිරිපිටියගේ මුවෙහි මැරෙන ඒ සොඳුරු සිනහව දෙස නිවේතා මොහොතක් බලා උන්නාය.පෙරදා රාත්‍රියේ සිදුවූ කතාබහ සම්පූර්ණයෙන්ම අමතක කලා සේ හැසිරෙන මොහු නම් පුදුමාකාර පුද්ගලයෙකි.
කොළඹට තදාසන්න වූ පෞද්ගලික රෝහලක් වෙත සිය රථය හැර වෙන මොහොතේදීත් සරෝජ් හිරිපිටිය කල්පනාවක නියැලෙමින් සිටියේය. නිවේතා ඔහුගේ කල්පනාවට කිසිසේත්ම බාධාවක් නොකරමින් බලා උන්නාය.පෞද්ගලික රෝහලට රිය ඇතුළත් වුවද නිවේතා සරෝජ් දෙස විමතියෙන් බැලුවේ මේ කුමන කාරණයකට ද යන්න සිතාගත නොහැකිවය. තමාගේ මාසික වෛද්‍ය පරීක්ෂණයට දින මේ දිනවල නොවන බව ඇය දනී. එසේ වූවා නම් චාමලී තමා දැනුවත් කරනු ඇත .
"බහින්න"
නිවේතාගෙ උරහිසෙන් අල්ලා ඇයව රියෙන් බිමට බස්වාගත් සරෝජ් හිරිපිටිය සංජය සමඟ එක පෙළට වැටුණේ නිවේතාගේ අතින් අල්ලා ගෙනමය. මේ වන විට අත්වාරුව නැතිව ඇයට ඇවිදින්නට හැකි වුවද පිටස්තර ස්ථානයකට යන විට ඇයගේ සිතේ ඇතිවන චකිතය හෙයින් සමබරතාවය ගිලිහී යන බව සරෝජ් හිරිපිටිය දැන උන්නේය .එහෙයින් සාමාන්‍යයෙන් ඇය පිටතට යන විටෙක චාමලී හෝ හසිත සමගින් සරෝජ් ඇයව අල්ලා ගැනීමට පෙළඹුණහ.
සරෝජ් හිරිපිටිය නිවේතා සමගින් දෙවන මහලේ වූ කාමරයකට ඇතුළත් වූයේ ඇයගේ අතින් ද අල්ලාගෙනමය .රෝහල් සයනයෙහි මදක් එසවී සිය කිරිකැටියාට කිරි දෙමින් සිටින මානවී දුටුවිට නිවේතාගේ ඇස් විසල් විය .
"අ.නේ චූ..ටි දු.ව"
නිවේතාට කෑ ගැසුණේ ඉන්නා තැන ගැනවත් අවබෝධයක් නැති ආකාරයෙනි .මානවී විඩාබර ගතින් වුවද අම්මා දුටුමතින් සිනාසුනේ ඇස් වලින් ගලාහැලෙන්නාවූ කඳුලට ද ඉඩ දෙමිනි .නිවේතා දෑතින්ම මුව වසාගෙන ඉකි ගසමින් හඬන්නට වූයේ සරෝජ්ගේ ගතට බරවෙමිනි.
"අනේ අනේ මේ ආත්තම්මා අඬන්න ගත්තනෙ. surprise එකක් උනාම ඔහොම අඬනවද කියන්න. චූටි පුතාව බලන්නකො නාඬා"
සරෝජ් හිරිපිටිය නිවේතා මානවීගේ සයනය අසලට කැඳවාගෙන ආවේ ඇය හඬා වැටෙද්දීමය.
"කෝ මෙතනින් ඉදගන්නකෝ"
අසල වූ සැපපහසු පුටුවක් ඇය වෙතට ලං කර ඇය එහි ඉන්දවූ සරෝජ් හිරිපිටිය හෙදිය අමතා කුඩා බිළිදා නිවේතාගේ අතට දෙන මෙන් ඉල්ලා සිටියේය .
රෙදි කඩක පරිස්සමින් ඔතා කොට්ටයක් මත තබා බිළිඳු පුතු දෝතට වඩිනා විටද නිවේතා උන්නේ ආදරයේ මේ සුන්දර මොහොත දරාගන්නට අපහසුව හඬමිනි.
මල් පෙත්තක් බඳු කිරි කැටි අත් පා විටින් විට සිප ගනිමින් කුඩා බිළිඳු පුතු දෙස නිවේතා බලා උන්නේ හිතේ උතුරා යන ආදරය දරාගත නොහැකිවය. මානවී ගේ මේ බිලිදු අවදිය නිවේතාට යහපත් සිහි කල්පනාවක් නොවූ හෙයින් මතකයේ ඇත්තේම නැත. ඉතා කුඩා කාලයේ දී මානවී හැදී වැඩුණේ මානසික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අතේය.එවකට නිවේතාගේ යහපත් මානසික තත්ත්වයක් නොවූ හෙයින් ඇය මානවී සම්බන්ධව කිසිදු දයාර්ද බැල්මකින් බැලුවේද නැත. ඇය අතින් දරුවාට අනතුරක් වේයැයි බියෙන් නිතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කවුරුන් හෝ දරුවා සහ ඇය අතර සිටි නිසා දරුවා සහ අම්මා අතර සැමවිටම දුරස්ථභාවයක් එවකට ඇතිවී තිබුණි.
ඉතින් නිවේතා මේ හා හා පුරා කියා දකින්නේ අලුත උපන් කුඩා මුනුපුරුගේ මොළකැටි බවයි .මුවගට වදනක් හෝ නගා ගත නොහැකිව ඇය දරුවාගේ අත්පා සෙමින් සෙමින් සිප ගත්තාය.
"දැන් බබාව දෙන්න.එයාව ඩොක්ටර් බලන්න තියෙනවනේ"
ටික වේලාවකට පසු හෙද නිලධාරිනිය නිවේතා අතින් දරුවා ප්‍රවේශමෙන් රැගෙන කුඩා තොටිල්ලේ තැබුවාය.නිවේතාගේ ශරීර උණුසුමෙන් මිදුණු වහාම කුඩා බිලිඳා මහ හඬින් හඬා වැටෙන්නට විය.
"අන්න දැක්කද ඒ පුංචි වෙලාවටත් අත්තම්මට හුරුවෙලා"
සරෝජ් හිරිපිටිය සිනහසෙමින් පැවසුවේය .ඔහුගේ සිතද තිබුණේ ආසාවෙන් සහ ආදරයෙන් උතුරා යමිනි.මානවී කුඩාම කාලයේදී ඇයව බලන්නට මානසික රෝහලට කීය වාරයන් සරෝජ්ට සිහිවීය. ඒ ගමන්වාර වල දී පවා මානවී සරෝජ්ගේ අතින් ඉවතට ගන්නා හැම මොහොතකදීම හඬා වැටුණේද මේ ආකාරයටමය.
ඉන්පසු නිවේතාහට මානවි වෙතට යාමට නැගිට ගැනීමට සරෝජ් උදව් කළේ ඇයගේ එකම බැල්මකින් ඒ අවශ්‍යතාවය හදුනාගෙනය.
"ඇ.යි ම..ට නො.කිව්වේ?"
සරෝජ් දෙසද නෝක්කාඩු බැල්මකින් බලමින් නිවේතා මානවීගේ හිස පිරිමදිමින් නළල සිප ගත්තාය .
"හිටපු ගමන්නේ අම්මි වෝට බෑග් එක කැඩුනේ .ඒ වෙලාවේ හසී කලබල වුණා .ඉතින් අංකල්ට කතා කරගෙන හොස්පිටල් එකට ගෙනිච්චේ අම්මි ඒ වෙලාවේ කලබල කරලා බැරි නිසයි"
මානවී අම්මාගේ අතින් අල්ලාගෙනම පැවසුවාය .
"ඒ උ.නා.ට මට කි.යන්න ති.බ්.බනේ?"
නිවේතා සරෝජ් හිරිපිටිය දෙසට රැව්ම් බැල්මක් පා කළාය.සරෝජ් හිරිපිටිය දෑතින්ම සිය දෙකන් අල්ලාගෙන හිස මදක් ඇලයට පා "සොරී" කීවේය.
42.
ඉතින් කිරිසුවඳ මුලු නිවසම පුරා උතුරායන්නට විය.දෙදිනකට පසු මානවී හසිත සමගින් සුපුරුදු ලෙස හසිතගේ මහගෙදරටම බිළිඳු පුතු සමගින් රෝහලෙන් නික්ම ගියාය. නිවේතා දිනපතා උදෑසන සරෝජ් හෝ සංජය විසින් චාමලීද සමගින් හසිතගේ මහගෙදරට ඇරලවනු ලදුව හැන්දෑවට ආපසු කැඳවාගෙන ආවාය. රාත්‍රී කාලයද මානවී ලඟ නවතින්නට තරම් නිවේතාට හැකිකමක් නොවන බව ඇයට වටහා දෙන්නට අපහසු නොවීය. අනෙක් අතට රටේ පවතින වර්තමාන සෞඛ්‍ය වාතාවරණය හෙයින් බිලිඳු පුතු රැකගැනීමේ වගකීම සියල්ලන්ගේම සිත්වල තිබුණි.
සිරිත් පරිදි කටකතාවල උණුසුම මැකීයන්නට රටේ තවත් දහසක් ප්‍රවෘත්ති එක රැයින් ඉපදී තිබුණි. එහෙත් සරෝජ් හිරිපිටිය ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරේදී මාධ්‍යයකින් නැගූ ඒ සම්බන්ධ පැනයට සිනහාවෙමින් පිළිතුරු දුන්නේය.
"නිවේතා කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමය.ඇයත් මාත් වෙන්වෙලා අවුරුදු විස්සකින් වගේ මේ නැවත හමුවුණේ.ඉතින් ඒකට අනියම් ලේබලයක් ගහලා රටම කැළඹවූ අයට මම ස්තුති වන්ත වෙනවා. ප්‍රේමයක් ආදරයක් නොහඳුනන බල ලෝබයෙන් පෙළෙන අන්න ඒ වගේ අයට හෙට දවසේ ඔබට සේවයක් කරන්න පුළුවන් වෙයිද කියන එක තීරණයත් ඔබට බාරයි."
සරෝජ් හිරිපිටිය ගේ නිවී සැනසුණ එවදන් රූපවාහිනිය ඔස්සේ නිවේතාද බලා උන්නාය.ඔහු සිත තුළ කිසිදු චකිතයක් නොමැත.මුවෙහි පවත්නා සිනහවද අව්‍යාජය.ඉතින් තමා අනවශ්‍ය අන්දමට කලබල විය යුතු නොවේ.
මානවීගේ සිඟිති පුතු බලන්නට මානවඩු යුවල පැමිණියේ මාස තුනක් පමණ ගතවූ පසුය.ඔවුන් නිවේතාහට හමුවන්නේ මුල්ම වතාවට හෙයින් මඳ චකිතයක් ඇය සිතේ ඉබේටම ඇතිවෙමින් තිබුණි.එහෙත් මානවඩු යුවළ නිවේතාහට දැක්වූයේ උණුසුම් හැඟීමැති පිළිගැනීමකි.
"දුවව දකින්න අපි දෙන්නම උන්නේ හුඟක් ආසාවෙන්.පහුගිය කාලේ ගොඩාක් කරදර වුන බව අපි දැනගත්තට එන්න වුණේ නැහැ මේ කොරෝනා නිසා. චූටි පුතාට මාස තුනක් ඉවර වෙනකන් අමාරුවෙන් හිටියේ බලලා යන්න එන්න"
සුභාෂීණීගේ මව පැවසූයේ කිසිත් කහටක් නැති හැඟීමෙන් නිවේතාගේ දෝතින්ම අල්ලාගෙනය. නිවේතා ආයාසයෙන් මුවගට සිනහවක් නගාගත්තාය. කතාබහ සතුටු සාමීචි අවසන්ව නිවසින් නික්ම යන්නට පෙර නිවේතා හමුවට පැමිණි සුභාෂිණීගේ මව නිවේතා සමගින් යළි කතාබහට එක්වූවාය.
"දුව අපිත් දැන් වයසයි. අපේ දුව ඔයත් අතර මට වෙනසක් නැහැ.සරෝජ් පුතා කියන්නේ දාහකින් හොයාගන්න බැරි හොඳම මනුස්සයෙක්.ඒ නිසා ඔයාල දෙන්නා එකතු වෙනවා නම් සුභාගේ තාත්තයි මායි දෙන්නම හරිම කැමතියි .සුභාගේ ආත්මයට වුණත් සැනසීමක් ලැබෙන්නේ සරෝජ් සතුටින් හිටියොත් විතරයි.මේ නිසා ජීවිතේ ගැන හොඳ තීරණයක් ගන්න දුව"
නිවේතාගේ සිත වික්ෂිප්තයට පත් වූයේ මෙවන් පරාර්ථකාමී මිනිසුන් තවමත් ලෝකයේ ඇත්දැයි හිතාගන්නට නොහැකිවය. තමන්ගේ පවුලේ අය පමණක් නොව සුභාගේ පවුලේ අය පවා බලාපොරොත්තු වන්නේ තමා සමගින් සරෝජ් හිරිපිටියගේ එක්වීමය.නිවේතා සිය ඇතුළාන්තයට මොහොතක් එබී බලන්නට වූවාය.
සරෝජ් හිරිපිටිය සිය ජීවිතයට එක්වූ ආකාරය මෙන්ම තමා ඔහුගේ ජීවිතයෙන් නික්ම ගිය ආකාරය සිතුවම් පටයක් සේ නෙත්මානයේ දිගහැරෙනා විට නිවේතා අතීත මතක අතරේ දෑස් වසාගෙනම සැරිසැරුවාය.
සරෝජ් හිරිපිටිය සුභාෂිනීගේ මව්පියන් නික්ම ගිය පසු නිවේතා කොහිදැයි සොයමින් ගෙතුළට පැමිණෙන විටද නිවේතා උන්නේ ඒ අතීත මතක ඔස්සේ බොහෝ දුරක ගොස් තනිවෙමිනි.සරෝජ් මඳක් මෑතට වී ඇයගේ වත දෙස බලාඋන්නේය.ඇය වත දෑස් පියව ඇතද මනසින් අවදිව සිටිනා බව ඔහු වටහා ගත්තේය.මඳ මුදු සිනහාවකින් විකසිතව යන ඇය වත අතීතයේ සේම පිරුණු හැඟීමක් සිතට ගෙන එයි.සිය පපුව හරහා දෑත් බැඳ ගෙන ඇය වත වූ අසිරිය නරඹමින් සරෝජ් බලා උන්නේය.
නිවේතා පියවි ලොවට ආවේ කවුරුන් හෝ තමා දෙස බලා සිටිනා බව ඉවෙන් මෙන් හැඟීය. හිස එක්වරම හරවා බැලූ විට තමාට මද දුරකින් තමා දෙස බලාගෙන නිසොල්මනේ සිටිනා සරෝජ් හිරිපිටිය දැක ඇය තිගැස්සී ගියාය.
"කොහේ සංචාරයකටද ගිහින් උන්නේ ?"
සරෝජ් සිනහසෙමින් විත් ඇයට සෝපාවේ යාබදව හිඳ ගත්තේය.නිවේතා හොරයක් අසුවූවාසේ මඳ සිනහවක් පෑවේ ඉවතටය.
"සුභාගේ අම්මල මොනවද කිව්වෙ?"
සරෝජ් ඇසුවේ තමාදෙස නෙත්කොණෙන් බලමින් සිටිනා නිවේතාගෙනි.
"මො..කුත් නැ.හැ."
නිවේතාගේ වත ලා රත්පැහැයකට හැරෙනු ඔහු දුටුවේය.
"ඇයි බොරු කියන්නෙ.ඔයාට කියපු ටික මටත් කියලා තමයි සුභාගේ අම්මලා ඔයාව හම්බවෙන්න ආවේ"
සරෝජ්ගේ එවදන් හමුවේ නිවේතා මුණිවත රැක්කාය.
"නිවී"
සරෝජ් නිවේතා දෙස මොහොතක් බලා උන්නේ ආදරණීය බැල්ම නොඅඩුවම ඇස දවටාගෙනය.
"මොනව හරි කියන්න තියේ වගේ පේනවා ඔයාගෙ මූණෙන්"
නිවේතා ඇසට පිරී එන කඳුලු වලකාගනිමින් සරෝජ් දෙස බැලුවාය.එදා මෙන්ම නොවෙනස්ම ආදරණීය ඒ බැල්ම තවමත් ඒ වතෙහි නොඅඩුව දිස්වේ.නිවේතා එකවනම ඔහු වෙතට ඇදීවිත් සිය හිස ඔහු ළයට තෙරපා ගෙන දෑස තදකොට පියාගත්තාය.සරෝජ් ගේ වතෙහි ඒ මොහොතේ පිපුනු සිනහව කෙතරම් සොඳුරු දැයි නිවේතා දෑස් පියා උන් හෙයින් දුටුවේ නැත .
"කෙල්ලෙ, අපි බඳිමු හෙටම?"
සරෝජ් නිවේතාගේ හිස පිරිමදිමින් පැවසුවේය.නිවේතා කිසිත් නොකියා හිස වැනුවේ ඒ මොහොත සිතට ගෙන ආ සුවදායී හැඟීම අහිමිකරගන්නට අකමැති වූ හෙයිනි.
"ඔලුව වනන්නෙ හා කියන්නද බෑ කියන්නද ඔය.කෝ මට පේන්නෙ නෑනෙ"
සරෝජ් ඇයගේ හිස දෝතට ගත්තේ එසේ අසමිනි.නිවේතා කෝලබවින් යුතුව හිනැහුණාය.
"නිවී, අහන්න . මට ඔයාව බඳින්න ඕනේ රටේ ලෝකේ උන්ගෙ කතාවලට බයේවත් ඔයා ආපහු මාව දාල යයි කියලවත් නෙවෙයි. අනෙක මෙච්චර කාලයක් ගිහිල්ලා ඔයාව නීතියකින් බැඳලා හිරකරගන්න හදනවත් නෙවෙයි. ඒත් මට ඔයාගේ ගෞරවය රකින්න ඕනෙ. මේ තරම් කලක් නොඅහපු කතන්දර අපි ඇයි අහන්නෙ නිරපරාදේ "
සරෝජ් ඇයගේ නලලත සිපුමක් තබමින් පැවසුවේ ආදරයෙනි. මේ සා සියල්ල සිදුවීත් ඔහු තවමත් සිතන්නේ තමා ගැනමය.තම ගෞරවය ගැනමය.
"යමු පැට්ටා බලල එන්න"
සරෝජ් නිවේතා අත්දෙකින් අල්ලා නැගිටුවා ගත්තේය.නිවේතා උන්නේ කවදාවත් නැති තරමේ සැනසීමකිනි. එකිනෙකා අත වෙලී අම්මා සහ සරෝජ් අංකල් කාමරයට එනු දුටු මුල්ම මොහොතේම මානවීගේ සිතට අමුත්තක් වැටහුණි.
ටොම් ඇන්ඩ් ජෙරී නිකම් ශිශිරතාරක නින්දට වැටුණ හිම වලස් ජෝඩුවක් වගේ තැන්පත් ස්වභාවයක් අරන් මොකෝ මේ...ඇය යටිසිතෙන් සිනාවෙමින් සිතුවාය.මොහොතකට පෙර කෑම රැගෙන ආ හසිත නානකාමරයේය.මානවී අත උන් බිලිඳු පුතු තොටිල්ලේ තැබුවාය.
සරෝජ් නිවේතාද සමගින් කුඩා සෝපාවේ ඉඳගත්තේය.වෙනදා සේ කලබල දඟ නැති රැවුම් එරවුම් නැති අම්මා දෙස මානවී බලාඋන්නේ විශ්මය රැඳි දෑසිනි.
"ආ හසිත ඔයත් ඉන්න එක හොඳයි .මම මේ පොඩි ඉන්විටේශන් එකක් දෙන්න ආවේ"
සරෝජ් නානකාමරයෙන් පිටතට ආ හසිතට පැවසුවේ මානවී දෙසද හොරෙන් බලමිනි.
"ඉන්විටේශන් එකක් ? මොකක්ද අංකල් ෆන්ක්ශන් එක?"
මුහුණ තුවායෙන් තෙතමාත්තු කරමින් පැමිණි හසිත ඇසුවේ විමතියෙනි.
"අපි හෙට බඳිනවා. ඒක තමා ෆන්ක්ශන් එක"
මානවීගේ සහ නිවේතාගේ මුව විවර වූයේ එකම මොහොතේය.හසිතගේ සිනහව මහහඬින් පිටවෙද්දී ඔහු දෑතින්ම මුව වසා ගත්තේ දරුවා ඇහැරේ යයි බියෙනි.නිවේතා සරෝජ්ගේ පසට හැරුණේ මේ ඇසුණ දෙයට හේතු අසන්නාක් මෙනි.
"හෙ . ට?"
නිවේතා ඇසුවේ ඔහු වතට එබෙමිනි.
"ඔව් හෙට..අනිද්දා වෙනකල් ඉන්න බෑ .ඔයා හිත හදාගත්ත වෙලාවේ මේක නොකලොත් අනිද්දා වෙද්දි ආයෙ වෙනස්වෙන්න බැරි නෑනෙ"
සරෝජ් ස්ථීරවම කියාඋන්නේය.
"අම්මි...අම්මී....ඒ කියන්නේ ෆයිනලි ඔයා අංකල්ට හා කිව්වා එහෙනම්"
මානවී සතුටින් සිනහාවෙමින් අම්මාගේ කොපුල් සිප ගත්තාය.නිවේතා යමක් ප්‍රකාශ කරන්නට තැත් දැරුවද මානවී හෝ අන්කිසිවෙකු එය වගකට ගත්තේ නැත.
"දැන් ඉතින් බොරුවට කුරුකුරු ගන්න එපා. අනේ ඒවුනාට අංකල් හෙට කොහොමද ඒක කරන්නේ .අනේ පොඩි ෆන්ක්ශන් එකක්වත් ගන්න prepare වෙන්න කාලය මදි නේ"
මානවී නෝක්කාඩු බසින් කියන්නට පටන් ගත්තේ ඇයට සිතේ තිබූ ආකාරයට කුඩා උත්සවයක් ගැනීමේ අවශ්‍යතාවය තිබූ හෙයිනි.
"හරි ඔයා ඕගනයිස් කරන්නකෝ තව පැය තියෙනවනේ විසි හතරක්ම.සංජය, චාමලී ඉන්නවා අනිත් අයත් ඉන්නවා ඒ අය ඕන පිළිවෙළට උදව් කරාවි ඔයාට ඕන විදියකට කරන්න"
නිවේතා ඔහුගේ අතින් අදිමින් මේ කරන්නට යන දේ වළක්වන්නට තැත් දැරුවද සරෝජ් ඇයගේ උරහිස වටා සිය අතක් යවා සිය ගතට ළං කොටගෙනම මානවීට සිය අභිමතයට අනුව ක්‍රියා කරන්නට අවසර දුන්නේය.
"පි.ස්.සුද අනේ ඔ.යා.ලට..ඕවා එපා අ.නේ"
නිවේතා සැමදාම බිය වූයේ සමාජයටය.මේ මොහොතේදීත් ඇය එකෙළ මෙකෙළ වන්නේ ඒ නිසාම බව සරෝජ් මෙන්ම මානවීද වටහාගත්තෝය.
"අම්මි දැන්වත් ඔයා ඔයාගේ සතුට ගැන හිතන්න.හැමදාමත් ඔයා සතුට කියන තැනින් පලා ගියේ අනිත් මිනිස්සුන්ගේ ගැන හිත හිත.දැන් ඉඳලවත් ඔයා සන්තෝසෙන් ඉන්න අම්මි"
මානවී අම්මාගේ ගතට තුරුළුව ඇය සිපගනිමින් පැවසුවාය.
******************************************************
අවසන් කොටසින් ඉක්මනින් හමුවෙමු
කිත්මා වාසනා දහනායක
(විසිරි සිහින )
ඒනම් ඒ ලව් ස්ටෝරියත් end
ReplyDeleteow. ස්තුතියි ගොඩක්ම
Delete+++++++++++++++++++++++++++++++++
ReplyDelete++++++
Deletehm....hm....love it
ReplyDeletethank you
DeleteAll good things must come to an end at some point!
ReplyDeleteස්තුතියි ගොඩක්ම
Delete