Sunday, January 19, 2025

2025(2) Reflection and journalling

                                            Reflection and journalling 




මම මේ දවස් ටිකේ ගෙදර ..මගේ වාර්ෂික නිවාඩු වලින් කිහිපයක් දාලා ඉන්නවා. මාර්තු 31 වෙනකොට මේ වසරට අදාළ නිවාඩු ටික කොහොම හරි ගන්න කියලා මගේ ප්‍රධානියා මට කියනවා. ලංකාවේදී හුඟක් අවුරුදු වල මගේ නිවාඩු බොහොමයක්ම වසර අවසානයේදී ඉතුරු වුනා. සමහර වෙලාවට වැඩ අධික කම සහ විභාග වැඩ එක්ක නිවාඩු ගන්න නොහැකිත් උනා. මෙහෙදී මොන දෙයක් තිබ්බත් නිවාඩු ටික අරගන්න කියලා බේරෙන්න බැහැ.

මේ ඉතින් වින්ටර් එක නිසා ඇවිදින්න යන්න වෙන්නේ එහෙමත් දවසක. ඉතුරු ටිකේ ගේ අස්සෙම ඉන්න වෙන නිසා මම වර්ක් ලැප් එකත් කෝකටත් කියලා ගෙදර අරන් ආවා. අපේ NHS Trust එකේ අපිට තියනවා වෙනම ඔන්ලයින් කෝසස් කරන්න site එකක්.ඒකට ලොග් වෙන්න පුළුවන් අපේ work lap එකෙන් විතරයි. ඉතින් අවශ්‍ය නම් ගෙදර ඉඳන් එකෙන් ඔන්ලයින් කෝසස් කරන්න පුළුවන්.මම මේ දින කීපයට එහෙම කෝසස් කිහිපයක් කළා. 

Mental Capacity Assessment
capacity and consent
Capacity Assessment
Fall and Fall prevention

ඒ අතරට මම සාමාජිකත්වය අරන් ඉන්න Royal College of Occupational Therapist Association එකේ Free webinars වලින් මෙන්න මේ කෝස් එකත් කළා. 

Lats talk - become a leader

මේකේ එක තැනක ඒ දේශනය කල කෙනා කිව්ව දෙයක් තමයි දවසකට වතාවක් තමන්ගේ ඒ දවස තුළ කළ දේවල් ගැන Reflection සහ පිටු තුනක Journal note එකක් ලියන්න කියන එක.

දේශනයට සහභාගී වුන අපි හැමෝටම එන්න ඇත්තේ එකම සිතුවිල්ල. පිටු තුනක් මොනවද ලියන්නේ කියන එක.හැබැයි ඒ දවස තුළ අපේ වැඩකරන අංශයේ හෝ තමන්ගේ ඉලක්ක සහ අරමුණු එක්ක ලියන්න ගත්තාම පිටු තුනකට වඩා ලියන්න පුළුවන් නේද කියලා මටම හිතුනා පස්සේ.

මගේ රැකියාව ගත්තාම නම් හැම රෝගියෙක්ගෙන්ම ඒ දවස තුල මට එකතුවෙන්නේ අලුත්ම අත්දැකීමක්. ඒ වගේම ඇති අනෙක් අයගේ වුනත්.

අපි reflection එකක් ලිවීමේ වැදගත් කම වෙන්නේ අපි කරන ලද්දාවූ වැඩ කටයුතු ගැන ස්වයං විවේචනයක් අපි විසින්ම කිරීම.

සාමාන්‍යයෙන් reflection එකක් ලියන කොට අපිට අන්තර්ජාලයෙන් විවිධ models භාවිතා කරලා reflection එක ලියන්න පුළුවන්. එහෙම නැත්නම තමන්ට නිදහස් ආකාරයට තමන්ම ලියන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ලියන්නේ HCPC (Health Care Professions Council)එකෙන් අපිට දීලා තියන එකකට. එක හුඟක් පහසු එකක්.

what had happened?
(මොකක්ද වුණ සිදුවීම? අත්දැකීම හෝ සහභාගී වුන කටයුත්ත...ආදිය) 

මෙතැනදී වෙන්නේ අදාල සිදුවීම විස්තර කිරීම. කෙටියෙන් වගේම අවශ්‍ය ම විස්තර ලියලා.

what did you do in that event?

මේකෙදි ලියන්නේ තමන් ඒ අදාල කාරණයේදී කල කි දේ....සක්‍රියව දායක වුනාද? එහෙම නම් ඒ මොනවද? ආදිය 

what did you learn from that event?

ඉන් පස්සේ අපි ලියන්නේ මේ අදාල කාරණයෙන් අපි ඉගනගත්තේ මොනවද කියන එක. සමහරක් වෙලාවට මේ අදාල අවස්ථාව අපිට අලුත්ම එකක් නම් අපි ඒ ගැන මොකුත්ම නොදන්නවා වෙන්න පුළුවන්. අවන්කවම තමන්ගේ උගත් පාඩම් ලිවිම වැදගත්. ඒ වගේම අපෙන් වුන අතපසු වීම්, වැරදීම් පවා ලියන්න පුළුවන් 

If you have another chance to do this again what would you do as a change?

ඉන් පස්සේ අපිට ලියන්න පුළුවන් ආපහු සැරයක් මේ වගේම අවස්ථාවක් ආවොත් මොකක්ද කරන්නේ කියලා. එතකොට අර පරණ වැරදි නිවැරදි කරන් මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්නේ.

practical steps

හතරවෙනි කාරනේදී අපිට ඉබේම පරණ වැරදි නිවැරදි කරගන්න බැහැනේ...ඒකට අපි ගන්නාවූ ක්‍රමවේද අපි ලියන්න ඕන මෙන්න මෙතැනදී...
මේ සම්බන්ධ පාටමාලාවක් හැදෑරීම 
ඔබේ සහයක නිලධාරියෙක්ගෙන් උපදෙස් ගෙන දැනුවත් වීම.
ඒ සම්බන්ධ ලිපි කියවීම....

වගේ දේවල් .......

ඉතින් මේක හරි අපූරු වැදගත් දෙයක්.....



ඒ වගේම තමයි පිටු තුනක journal සටහනක් ලිවීම . ඔබ ලියන කාරනා වල ඉන්න අයගේ පෞද්ගලිකත්වය සුරැකීමේ වගකීම ඔබ සතු බවත් මේ වගේ journal සටහනක් ලියන කොට මතක තබාගන්න. 
ඉස්සර අපි දිනපොත් ලිව්වා මතකද? ඒ හා සමාන දෙයක් මේකත්..නමුත් මෙතන වෙනස ඔබ ලියන්නේ විශ්ලේෂණය කරන්න අවශ්‍ය කාරනා සමුහයක් වීම.

මම හිතාගෙන ඉන්නවා ලබන සතියේ වැඩට ගියාම මේ පිටු තුනේ journal සටහන ලියන්න ගන්න. Reflection නම් මම කොහොමත් ලියනවා මගේ වෘත්තිමය කාරනා වෙනුවෙන් මගේ portfolio එකට අවශ්‍ය වෙන නිසා. 

මොකද කියන්නේ පොඩි උත්සාහයක් දරමුද? 

මම පසු දවසක බ්ලොග් සටහනකින් මගේ progress එක අරන් එන්නම් .

**************************************************************************

ස්තුතියි කියවන්න ආවාට..

මම විසිරි සිහින ලියන,
කිත්මා වාසනා දහනායක  




Sunday, January 12, 2025

2025 (1) . නොවැටී ඉන්න ( fall prevention)

 2025 ජනවාරියේ ඉඳන් ආපහු බ්ලොග් එක ලියන්න ඕන කියල ඔන්න එක හිතින් හිතාගත්තා. අඩුගානේ සතියකට එකක් වත් ලියන්න තමයි හිතේ නම් තියෙන්නේ...බලමු ඉතින්...

**************************************************************************

                                Fall and fall prevention 




මම දැනට වැඩ කරන්නේ Inpatient rehabilitation hospital එකක.

මේකට වැඩිපුරම ඇතුල් කරගන්නේ වයසට ගිය අම්මලා තාත්තලා තමයි. ඒ හුඟක් දෙනෙක් එන්නේ වැටීම් නිසා අස්ථි බිඳීම් හේතුවෙන්. දන්නවනේ වයසක ප්‍රජාව ලෝකේ කොහේ කියලත් වෙනසක් නැහැ..වැටෙන්න තියන ඉඩ වැඩියි..ඒ වගේම අස්ථි බිඳීම් වෙන්න තියන ඉඩත් වැඩියි.

ඉතින් මම හිතුවා මේ අස්ථි බිඳීම් සහ වැටීම් අවම කරගන්න එක ගැන ටිකක් ලියන්න. දීර්ඝ ලිපි නම් නෙවෙයි කෙටි ඒවා කිහිපයක්. 

මේ දවස්වල එංගලන්තයටත් සීතල ..හිම ත් වැටෙන කාලේ. ඉතින් අපිට වැටීම් නිසා එන ලෙඩ්ඩු ටිකක් වැඩියි.ඒක සාමාන්‍යයෙන් සීත සෘතුවේදී මෙහෙ පොදු කාරණයක්.

මොකක්ද වැටීමක් (fall) කියන්නේ?

එංගලන්තයේ දත්ත අනුව නම් වසරකදී අවුරුදු 65ට වැඩි පුද්ගලයන් තුන්දෙනෙක්ගෙන් එක අයෙක් වැටීම් වලට (fall) ලක් වෙනවා.වයස අවුරුදු අසූවකට වැඩි නම් මේ අගය දෙන්නෙක්ට එක අයෙක් දක්වා වැඩි වෙනවා. ඉතින් එහෙම බැලුවාම වැටීමක් කියන්නේ තදබලම සෞඛ්‍ය ප්‍රශ්නයක් මෙහෙට. ලංකාවේ වුනත් මේ අගයයන් මේ ආකාරයටම ඉතින් සෞඛ්‍ය අවශ්‍යතාවයක් ලෙස පවතිනවා ඇති.

වැටීමක් කියන කාරණය ආබාධිතතාවයක් එන්න මුලිකම හේතුවක් විදියටත් සැලකෙනවා.ඒ වගේම පුද්ගලයෙක්ගේ මරණය පවා ඇතිකරවන්න මේකට පුළුවන්.

ගෘහස්ත පරිසරයකදී ඇතිවන අනතුරු අතර ප්‍රධාන එකක් ලෙසත් වැටීම් හඳුන්වන්න පුළුවන්.

රටක ජාතික සෞඛ්‍ය පද්ධතියට අධික වියදමක් ඇතිකරන කාරණයක් ලෙස වැටීම් සලකන්නේ ඒකයි.


                                    WHO definition of falls

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැටීමක් කියන්නේ යම් පුද්ගලයෙක් තමන්ගේ අනුදැනුමකින් තොරව තමා ඉන්නා තැනින් බිමට (පොලවට) හෝ වෙනත් පහල ස්ථානයකට පතිත වීම.


මගේ වර්තමාන සේවා ස්ථානයේදී රෝගියෙක් බිම හදිසියේ සමබරතාවය නැතුව ඉඳ ගත්තත් ඒක ගණන් ගැනෙන්නේ වැටීමක් ආකාරයටම තමයි. Controlled fall 

වැටීම් ගැන වගේම වැටීම් වලක්වාගැනීම ගැනත් මිනිස්සු දැනුවත් වෙන්න අවශ්‍ය ඒකයි.

වැටීමක් සම්බන්ධයෙන් ගත්තාම ඒක ලිස්සා යාමක් , පය පැකිලීමක් වෙන්න පුළුවන්. වයසක ප්‍රජාව ගත්තාම ඔවුන් අනෙක් අයට වඩා මේ අවදානමට ලක්වන්නට තියන ඉඩ වැඩියි.

සරලවම කිව්වොත් පුර්ව අනතුරු වලට ලක්ව ඇති අය , වෙනත් රෝගාබාධ වලින් පෙලෙන අය වගේම දිර්ඝකාලින ගැටළු හේතුවෙන් ක්‍රියාකාරිත්වය අඩු අය වැටීම් වලට ලක්වන්න තියන ඉඩ වැඩියි.

ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක ඇති ප්‍රධානම වගකීමක් තමයි රෝගියෙක් තමන් හමුවන මුල් අවස්ථාවේදීම මේ වැටීම් සම්බන්ධ මුලික ඇගයීමක් කිරීම.

වැටීමකින් වෙන්න පුළුවන් අනතුරු මොනවද?

වැටීමක් නිසා සුළු වගේම විශාල අනතුරු වෙන්න පුළුවන්. පහත සඳහන් වන්නේ එවන් අනතුරු 

01. උකුල් අස්ථි බිඳීම්  (Hip fractures)
02. මැණික් කටුව ආශ්‍රිත බිඳීම් (wrist fractures)
03. කැපුම් සහ ඉරීම් (cuts and lacerations)
04. ගැඹුරට ඇතිවන සීරීම් ( Deep bruising)
05. සියුම් පටක වල ඉරීම් ( soft tissue injuries)
06. සන්ධි භග්නයන්   / සන්ධි පැනීම් ( dislocations)
07. මාංශ පේශි ඇදීම් (sprains)
08.සන්ධි ආශ්‍රිත වේදනාවන් (Increase in joint pain)
09. දීර්ඝ වෙලාවක් වැටුන තැන ඉන්නට සිදුවීම. ( A long lie) **
10.තව අයෙක් මත තමන්ගේ කටයුතුවෙනුවෙන් යැපෙන්නට සිදුවීම. (dependency)
11.හුදෙකලාවීම ( isolation)
12. මානසික ගැටළු  ( depression)වැනි 
13. ක්‍රියාකාරිත්වය අඩුවීම් ( reduction in activity)

**(කෙනෙක්ට වැටුනාට පසුව තනිවම නැගී ඉන්නට බැරි නම් සහ නිවසේ කවුරුන් හෝ නැත්නම්)

වැටීමකට හේතුවෙන ප්‍රධාන කාරණා මොනවද කියල ඔබ දන්නවද?

01. වයසට යාම එක්ක ඇතිවන ඇසීම සහ පෙනීමේ දුර්වලතා 
02.ඒ පුද්ගලයා භාවිතා කරන ඖෂධ වර්ග 
03. පාකින්සන් රෝගය සහ ආඝාතය වැනි රෝග තත්ත්ව.
04. ඩිමෙන්ෂියාව  

රෝගියෙක් ගන්න බෙහෙත් සම්බන්ධව තමන්ගේ වෛද්‍ය වරයා සමග මනා පැහැදිලිකිරීමක් ඇතුව ඉන්න එක හරිම වැදගත්.සමහරක් බෙහෙත් වර්ග වල අතුරු පල නිසාත් වයස්ගත් පුද්ගලයන්ගේ වැටීම් වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ වෛද්‍ය වරයා එක්ක ඒ බෙහෙත් ගැන හොඳ අවබෝධයකින් ඉන්න හැමෝම වගබලා ගන්න ඕන. 

පාකින්සන් රෝගය කියන්නේ ස්නායු පද්ධතියට සම්බන්ධ රෝගී තත්වයක් බව ඔබ දන්නවනේ. ඉතින් මෙවන් තත්වයකින් පෙලෙන අයෙක්ගේ වැටීම නිතර වෙන්න පුළුවන්. මේ වගේ රෝගීන්ගේ අතපය වල ඇති වෙවුලන සුළු ස්වභාවයන්, මාංශ පේශිවල තද බව, ක්‍රියාකාරිත්වයේ වේගය අදාළ වීම වගේ කාරනා මේකට හේතුවෙන්න පුළුවන්. 

**************************************************************************
දීර්ඝව මේ වගේ සටහනක් කියවන කොට ටිකක් කම්මැලි ත් හිතෙන නිසා මම පොඩි කතාවක් ලියන්නම් මේ වගේ රෝගියෙක් සම්බන්ධව.




අපි එයාට බොබ් කියමුකෝ. අන්වර්ථ නාමයක් තමයි මේ .

බොබ් ඉන්නේ එයාගේ නෝනා එක්ක ගෙදරක. බොබ්ගේ  නෝනා ත් ටිකක් රෝගී අයෙක්. අසනීප වෙන්න කලින් බොබ් තමයි එයාගේ නෝනාගේ වැඩ වලටත් උදව් කලේ. මේ වැටීම් සම්බන්ධ කාරණය වෙන්න කලින් බොබ් ගේ ඇතුලේ කිසිම ආධාරයක් නැතුව ඇවිද්දා වගේම එලියේත් සැරයටියක් එක්ක ඇවිද්ද.

පාකින්සන් රෝගය උත්සන්න උනාට පස්සේ බොබ් ට බොහොමයක් දේ අමතක වෙන්න ගත්තා. කොටින්ම කිවොත් නිදාගන්න ඇඳට යාම පවා මතක වෙලා සාලයේ සෝපාවේ නිදාගන්න එයා හුරුවෙලා තිබුනා. නෝනා ගේ වැඩ වලටත් කලින් උදව් කල බොබ්ට තමන්ගේ එදිනෙදා කටයුතු පවා අමතක වෙන්න ගත්තා. එක සතියක් ඇතුලත වාර කිහිපයක් එයා වැටෙන්න ගත්තාම එයාව වෛද්‍ය වරයා ගාවට එක්කන් යන්න සිදුවෙලා තිබුනා.

බොබ් ගේ රෝග ඉතිහාසය බැලුවාම එයා පාකින්සන් රෝගයට ක්‍රමයෙන් ගොදුරු වෙමින් උන්නා. එයාගේ පසුගිය වසර තුල කිහිප පාරක්ම බිම ඇදවැටීම් අනතුරුදායක සලකුණු පෙන්වා දෙමින් තිබුනා. සන්වෙදනයන්ගේ දුබලකම්, වැඩිවෙලා උන් තැනින් නැගිටිනකොට එන ක්ලාන්ත ස්වභාවය...අපි මේකට   postural hypotention කියලා කියනවා...ඒ වගේම එයාගේ ශරීර බර වේගයෙන් අඩුවෙලාත් තිබුනා ..නින්ද මන්දකමතවත් කාරණයක්..ඒ වගේම බෝබ්ගේ hallucination වගේ භින්නෝන්මාද ලක්ෂනත් මතුවෙලාතිබුනා.

බොබ්ගේ රෝගයත් එක්ක අනතුරුදායක ලක්ෂණ ලෙස හඳුනාගත්තේ මෙන්න මේවා 

01. නිතර නිතර වූ වැටීම් 
02. විජලනිය තත්වය 
03. බර අඩුවීම 
04. නිදාගෙන හෝ ඉඳගෙන ඉන්නා තැනින් නැගිටිනවිට ආ ක්ලාන්ත ගතිය වගේ දේවල්.
05. නින්ද මඳකම 
06.භින්නෝන්මාද ලක්ෂණ 
07.සමබරතාවයේ අඩුකම 
08.පෝෂණය අඩුකම 
09.මානසික අසමතුලිතතාවය.

ඉතින් මේ වගේ රෝගියෙක් වෙනුවෙන් ප්‍රතිකාර සටහනට වැටීම් අවම කරන එක එක්කාසු වුනේ පහත ආකාරයට 

01.මුලිකවම එයාගේ වැටීම් සම්බන්ධ පුර්ණ ඇගයීමක් කරන්නට සිදුවුනා.
02. බොබ් එක්ක එයාගේ නිවෙස් පරිසරයේ ඇති වැටීම් වලට හේතුවෙන්න පුළුවන් කාරනා කතාබහ කරනු ලැබුවා.
03.බොබ් සම්බන්ධව ප්‍රතිකාර වැඩ සාටහනක් තීරණය වුනා.
04. ඇස් පෙනීම සහ කන් ඇසීම නිවැරදිව පරික්ෂා කොට ඊට අදාළ සායන වලට යොමු කිරීම සහ ඇස් කන්නාඩි සහ ශ්‍රවණ ආධාරක ලබාදීම සිදුකරනු ලැබුවා. ඒ වගේම බොබ් ඒවා නිවැරදිව භාවිත කරනවද යන්න සොයා බැලුවා.
05. බොබ් ව භෞත චිකිත්සක වරයෙක් වෙතට යොමු කොට නිසි ඇවිදීම් ආධාරකයන් ලබාදෙනු ලැබුවා.
06.ඔහුගේ ඇවිදීම චිකිත්සක වරුන් විසින් අධීක්ෂණයට ලක් කළා.
07.ඔහුගේ පෝෂණය සහ පානයන් ලබාගැනීම ට උනන්දු කරවා ඒ සඳහා අවශ්‍ය යොමු කරවීම් කරනු ලැබුවා.
08.බොබ් ගේ ඇඳ සහ එයට අවශ්‍ය රාමු ගැන ඇගයීමක් කළා.
09.ඔහුගේ වැසිකිලි යාම කාලසටහනකට අනුව සකසා උනන්දු කරවීම කළා.අවශ්‍ය විටක මුත්‍රා බඳුන් , ඩයපර් භාවිතය ට උනන්දු  කළා.
10. පාකින්සන් රෝගයට අදාල බෙහෙත් නොකඩවා ගැනීම ට උනන්දු කරවූවා.
වෘත්තීය චිකිත්සක වරයා විසින් නිවාස ඇගයීමක් කර අවශ්‍ය උපකරණ ලබාදෙනු ලැබුවා. 
11. සමාජ සේවා නිලධාරියා සම්බන්ධ කොට සහායකයන් ගේ සේවාව ලබාදෙනු ලැබුවා. 

මේ කාරනා ගත්තාම මේ හැමදේම ඉතා පහසුවෙන්  බොබ් නැවත වැටීම වලක්වා ගන්නට යෝජනා කළා මෙන්ම ඒවා ලබාදෙන්නටත් මේ රටේදී පුළුවන්. සති කිහිපයක් ඇතුලත වැඩ සටහන නිමා කරන්නත් පුළුවන්. 

නමුත් අපේ රටේ මෙහෙම පහසුකම් නැති බව මමත් පිලිගන්නවා. නමුත් මේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හුඟක් වෙලාවට වයසක ප්‍රජාව රක බලා ගන්නට පවුල් දායකත්වය ලැබෙන නිසා මේ ලිස්ට් එකෙන් සමහරක් කාරනා කරගන්න පුළුවන්.

කෙනෙක් වැටෙන්නට පෙර ඔවුන්ගේ පරිසරය සකසන එක ඉතාම වැදගත් වන්නේ..වැටුනාට පස්සේ එන ආබාධ සහිත තත්වයන් ගෙන් ගොඩ ඒම පහසු නොවෙන නිසා...

******************************************************************** 

වැටීම් සහ ඒවා වලක්වා ගන්න ආකාරයන් , උපදෙස් එහෙම එක්ක 
සම්බන්ධයෙන් තවත් තොරතුරු ටිකක් තවත්  පොස්ට් එකකින් අරන් එන්නම් .

ස්තුතියි කියෙව්වාට 

මම 
විසිරි සිහින ලියන,
කිත්මා වාසනා දහනායක