Monday, February 26, 2024

Every little helps

 Every little helps




සුපුරුදු පරිද්දෙන් මම වාට්ටුව දිගේ ඇවිදන් යනවා.අපේ හොස්පිට්ල් එක පොඩියි.හැබැයි ලස්සනයි.පිළිවෙලයි.

ජෝ ඉන්නෙ එක කාමරයක.එයාගේ දණහිස් දෙකෙන් එකක් රුමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා සම්පූර්ණයෙන් ම හයිවෙලා තියෙන්නෙ.ඒ අව් අස්සෙ බිම වැටිලා අනෙක් දණහිස කැඩුණාම ඉතින් ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගෙ වැඩක්නෙ.

ජෝ ව ඇඳෙන් බස්සලා ඇවිද්දවන්න යන එක වෙනමම යුද්ධයක්.මායි මගෙ ටීම් එකේ භෞත චිකිත්සක සගයායි ඉතින් රටේ තියන තරම් චාටු බස් කියලා ජෝ ව ඇඳෙන් බිමට බස්ස ගන්න උත්සාහ කරනවා....

ජෝ ඒ එක වෙලාවක මෙහෙම අහනවා....මගේ සගයාගෙන්...

"මෙයා ඉතින් Tesco වගේ තමයි කොයිවෙලෙත්..."

ඒ දෙන්නා හක හක ගගා හිනාවෙනවා ඊට පස්සෙ. මම Tesco ගැන දන්නේ එංගලන්තයේ සුපර්මාකට් එකක් කියලා විතරයි...මම ඉතින් බාගෙට කටත් ඇරගෙන ඒ දෙන්නා දිහා බලන් ඉන්නවා...

"කිත්මා ,ඔයා දන්නවද ජෝ ඒ කිව්ව එකේ තේරුම"

මගේ සගයා එහෙම අහනවා.මම මෙහේ වාඃමාලාවන් එක්ක ටිකක් ටියුබ් ලයිට් කියලා ඔවුන් දන්නවා.

"ඔයා දන්නවද Tesco එකේ ලෝගෝ එකේ තියන වාක්‍යය"

මට එහෙම මතකයක් නැති බව මම කියනවා.ලංකාවේ කාගිල්ස් එකේ "ගෙදර යන ගමන්"කියන එක හුරු උනාට මෙහෙ එව්ව තාම නුහුරුයිනෙ.

"ඒකෙ තියෙන්නෙ every little helps කියලා..මෙයා එහෙම කියන්නෙ ඔයා, තව චුට්ටයි ඔයාට පුලුවන් ....මේ ටික විතරයි...ඔයාට පුලුවන් කියලා උනන්දු කරවන නිසා"

ජෝ මට ඇහැක් ගහලා හිනාවෙනවා.කට්ටකම කොච්චර පෙන්නුවත් එයා වේදනාව දරාගෙනම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදිනවා.ආතරයිටිස් වලින් එන වේදනාව එක්ක සමහර වෙලාවට ඇවිදින වාරුවට ඔලුව තදකරන් එයා වේදනාව අඩුවෙනකල් ඉන්නවා.

"මට දැන් වයස අනූවක්.මම මගේ වයිෆ් නැතිවුණාට පස්සෙ තනියම උන්නෙ.ඔක්කොම වැඩ තනියම කරගෙන..උයාගෙන...ශොපින් කරලා උන්නා.ඒත්  මට ඉස්සරහට කෙයාරර් කෙනෙක් ඕනවෙයි කිත්මා."

ජෝ දුකෙන් වගේ කියනවා.

"ඔයා දන්නවද කිත්මා.මගේ වයිෆ් අවුරුදු දෙකක් වෙනවා නැතිවෙලා..එයාට ඩිමෙන්ෂියා තිබුණා.එයාව බලාගන්න කෙනෙක් ආවා.නමුත් මම තමා හුඟක් එයාව බැලුවෙ"

ජෝ දුකෙන් වුණත් හිනාවෙනව.

"මගෙ පුතාල දෙන්නම ඉන්නෙ වෙන රටවල්වල.එයාලාට එයාලාගෙ ජීවිත වෙනමම තියනවානෙ.මමයි වයිෆුයි මෙහෙ උන්නෙ.ඒත් එයාට අන්තිම කාලේ මාවත් මතක නැති උනා කිත්මා"

ජෝගෙ ඇස්වල කඳුලක් වගෙ දිලිසෙනවා.ඩ්මෙන්ෂියා කියන්නේ කොච්චර කටුක අත්දැකීමක් වෙන්න පුළුවන් ද කියලා දන්නෙ ඒකත් එක්ක ගැටුණ, අත්දැකීම් අත්වින්ද කෙනෙක්මනෙ.

දණහිස් වල වේදනාව කතාබහ අස්සේ සමනය වෙන අතරෙ..අතීතයේ සමහර සිදුවීම් කියන ජෝ .....ඊලඟ දවසට සුබ පතලා සමුගන්න මට ආයෙම මතක් කරලා දෙන්නෙ....

Every little helps කියන එක

(ජෝ කියන්නෙ අන්වර්ථ නාමයක්..එයාගෙ නම ඊට වඩා ලස්සන එකක්)


ආපහු එන්නම්....


මම විසිරි 

Sunday, February 11, 2024

පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...

 පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...



අද මගේ day off එක.ඒ කියන්නේ සති අන්තෙ දවසක් වැඩ කළොත් ඒ වෙනුවට ලැබෙන අමතර විවේක දිනය.

මම උදේ දහයට විතර එළියට බැස්සේ අව්ව එක්ක සනීප දායකව උදාවෙලා තියන දවසට ස්තුතිවන්ත වෙන ගමන්.දැන් සාමාන්‍යයෙන් 10°C උෂ්ණත්වයට මෙහෙ දවස ආපහු මේ සතියෙ ඇවිල්ලා.ඉතින් බොහොම සතුටින් ටවුන් එකට පයින්ම ආවා.කිලෝමීටරයක් වගෙ දුර.

Chingford කියන්නෙ මට ලඟම ටවුම.ඒකෙ තියනවා පොඩි පුස්තකාලයක්.සාමාජිකත්වය ගන්න හිතාගෙන උන්නාට මගෙ පුස්තකාල ගමන ගැන මටම ශුවර් නැති නිසා මීට කලින් ගිය දවසේ එළියෙ තිබුණ bargain book rack එකෙන් පොත් තුනක් අරන් ආවා....

ආ එදා වුණ වැඩේ ඉස්සෙල්ලම ලියන්නම්කො.පුස්තකාලයෙ සමහර පොත් කාලෙකට සැරයක් bargain sale දානවා.රාක්කෙ තියෙන්නෙ පුස්තකාලයට පිවිසෙන දොරගාව එළියෙන්. අලුත්ම පෙනුම තියන පොත්.සමහරක් විට ඒවායෙ අලුත් මුද්‍රණ ඇවිත් ඇති...නැත්නම් වැඩිපුර නොකියවනවාත් ඇති....කොහොමින් කොහොම හරි පොත් තුනක් පවුමයි.මම නවකතා තුනක් අරගෙන පුස්තකාලය ඇතුලට ගියා.

පුස්තකාලයෙ කාර්‍යමණ්ඩලය සුබ දවසක් පතලා මාව පිළිගත්තා.වස අකරතැබ්බයක් නෙ.මම කාසි මුදල් ගෙනිහිල්ලා නෑ.ගෙනිහින් තියෙන්නෙ කාඩ් එක විතරයි.මම ගැටලුව එයාලාට කියලා ඒ පොත් තුන මා වෙනුවෙන් කොහෙන් හරි තියන්න පුලුවන් ද කියලා ඇහුවා.

"නෑ එහෙම නෙවෙයි.ඔයා මේ පොත් අරන් යන්න.ආපහු මේ පැත්තෙන් එන දාක සල්ලි පුළුවන් නම් දීලා යන්න.කිසි ප්‍රශ්නයක් නෑ"

කවුන්ටරයේ ඉන්න මහත්මිය එහෙම කිව්වා.මට ඒත් හිත නෑ.ලඟපාතක මට මුදල් ගන්න තැනකුත් නෑ.මම එහෙට මෙහෙට හැරෙමින් ඉන්න කොට එයාලා මට නැවත ඒ අදහසම කිව්වා.නමුත් මට තිබුණ ගැටලුව මම ඊලඟ සතියෙම ටවුන් එකට ඒවිද නොදන්න එක.මොකද පසුගිය සතිවල තිබුණෙ පුදුම සීතලක් නිසා.නමුත් ඒක ගැටලුවක් නොවෙන බව එයාලා පුන පුනාම කිව්වා.

ඉතින් එදා මම පොත් තුනක් අරන් ආවා.ඇත්තෙන්ම සති දෙකකට පස්සෙයි මේ අද මම ආපහු ටවුමට ගියේ.

අදත් bargain රාක්ක පීර පීර මම  පොත් තුනක් හෙව්වා.ගෙනිච්ච පොත් තුන කියවලා ඉවරත් නෑ. මට එහා පැත්තෙන් පොත් තෝරමින් උන්නෙ වයසක මහත්මයෙක්.කුදු ගැහුණ කෙට්ටු ශරීරය රාක්ක වලට හරවමින් අතේ තියන සැරයටියත් හසුරවමින් ඔහු පොත් සෑහෙන ප්‍රමාණයක් ගත්තා.ඒවා බෑග දෙකකට දාගෙන පුස්තකාලය ඇතුළට යන්නට මගෙන් උදව් ඉල්ලුවා දොර හැරගන්න.මාත් ඒ උදව්ව කරලා පොත් තුනක් තෝරාගෙන පුස්තකාලය තුළට ආවා.

ඉතින් මේ පාරත් පවුමට පොත් තුනයි.සති දෙකකට පෙරාතුව සිදුවීම කියලා පවුම් දෙකක් කවුන්ටරයේ උන්න මහත්මිය අත තැබුවාම ඇය මට හුඟාක් ස්තුති කලා. 

ඔබේ අවංක බවට අපි ස්තුති කරනවා.....

තව අපූරු දෙයක් ඔන්න ඒ අස්සේ මම දැක්කා ....

ඉතින් පුස්තකාලයෙ මේස දෙකක් එකතුකරලා එතන අද වැඩසටහනක්.මාත් පැත්තකට වෙලා බලා උන්නා ටිකක් වෙලා.විවිධ වයස් වල කාන්තාවන් දහපහළොස් දෙනෙක් වූල් ගොතනවා.කෙනෙක් ඔවුන්ට උපදෙස් දෙනවා.ඔවුනොවුන් අතරේ සංවාද ,සිනාවන් හුවමාරු වෙනවා.

මෙහෙ පුස්තකාලවල සතියේ විවිධ දිනවල විවිධ වයස් කාණ්ඩවල අයට ගෙතුම්, චිත්‍ර, creative writing, උද්‍යාන වගා... ඒ වගේ වැඩසටහන් (පැයක දෙකක වගෙ) කෙරෙනවා.කෝපි කෝප්පයක්, රස කැවිල්ලක් හැම කෙනාගෙම ඉස්සරහ..

ඒ දේ බලා ඉන්න එකත් හරිම සතුටක්.මම බස් එකට ආවේ...බඩුටික ගන්න සුපර්මාකට් එකට යන්න.එතනින් බස් එකට යන්න ආවේ අර පොත් බෑග් දෙකක් අරන් ආව මහත්මයා.ඔහුට බස් එකට නගින්න බර පොත් බෑග් දෙක එක්ක අමාරුයි.මම එක බෑගයක් අරන් ඔහු පසුපසින් නැග්ගා.

මට ස්තුතියි කියලා ඔහු බසයේ අසුනකට වුනේ එයාට උස්සගන්න බැරිතරම්ම බර පොත් බෑග දෙකත් අරගෙන.

ඉතින් මට මැවිලා පේනවා....අද හවස උණුසුමැති පොඩි ගෙදරක පොත් ගොඩක් වටකරගෙන....කෝපි කෝප්පයක් එක්ක දුම් පයිප්පයක් අතේ තියාගෙන ඔහු පොත් කියවනවා.මගෙ මුහුණේ මේ දැනුත් ඒ හැඟීම එක්ක ඇති වුණ සිනහවක් ඉතුරුවෙලා තියනවා.

❤️❤️

පින්තූරය අන්තර්ජාලයෙන්

Friday, January 26, 2024

එලී

 


"ඔයා දන්නවද මම මේ ගෙදර යන්නෙ මාස තුනකට පස්සෙ..."

එලී වාහනයේ පිටුපස අසුනේ ඉන්න මා දිහාවට එබිලා බලමින් කිව්වා.ඇගේ ඇස් දෙක සතුටින් බබලනවා.තමන්ගේ ගෙදරින් මාස තුනක් ඈත්වෙලා ඉන්න එක එලීට ලොකු දුකක්....සාංකාවක්....

මාස හයකට එහා ගෙදරින් ඈත දුරු රටක හුදෙකලාවේ ඉන්න මගෙ හිතත් නිකම් හීන් වේදනාවකින් ඔද්දල් වුණා....

ඒත් මම එලී දිහා බලලා හිනාවුණා.....

"ඔයාට ගියාම පෙනේවි...ඒක පරණ ගෙයක්....ලොකු එකක් නෙවෙයි....ඒත් මං එතනට හරිම ආසයි ...."

එලීගෙ ඒ ලස්සන ගේ ගැන මම හුඟාක් දවස් විස්තර අහලා හුරුයි ....ගේ ඉස්සරහ තියන ලොකු උද්‍යානය ....ඒක ඔක්කොටම පොදු එකක්....වසන්තයේදි මල් පිරිලා තියන උද්‍යානය ගැන එලී කිව්වේ හරිම ආසාවෙන්....

"ඔයාට බලන්න මල් නම් මේ දවස්වල නෑ....."

එලී හයියෙන් හිනාවෙනවා....ඒ හිනාවේ තියෙන්නෙම සතුටක්....

"ඔයා දන්නවද ...මම සතියකට පාරක් නැවුම් මල් අරන් එනවා ටවුන් එකට ගිහින්....මං හරිම ආසයි කාමරේ, සාලේ,කුස්සියේ අලුත් මල් දකින්න....ඒවායෙ පාට ,සුවඳ ...මට හරිම නැවුම් ගතියක් අරන් එනවා.....මං ඔයාට කියල දෙන්නම් ඒ මල් සතියක් කල්තියාගන්න හැටි... "

එලීගේ නිවහනට රිය ධාවනය වෙනවා.....මාත් එක්ක එලී රියෙන් බැහැලා ගෙදරට යනවා...ස්වයංක්‍රීයව ඇරෙන දොරෙන් ඇතුල් වෙලා අපි ගෙට යන්න කලින් එලී මට උද්‍යානය පෙන්වනවා.....

"තාම කොළ පාටයි...පේනවා නේද...."

කොළ එකක්වත් නැති ඕක් ගහක් මැද තියාගෙන කොළ පාට උද්‍යානය හිනැහෙන්න ගන්නවා...

එලීගෙ ගෙදර තියෙන්නෙ දෙවනි තට්ටුවෙ ...තට්ටු තුනක මහල් නිවාසයට විදුලි සෝපානයක් නෑ...අපි හෙමින් හෙමින් උඩට නගිනවා ..දෙවනි මහලේ කෙටි ජනෙල් තට්ටුව මත ලස්සන සකියුලන්ට් වර්ග, පතොක් වර්ග....

එලී කියන්නෙ මමමද මේ...කියල හිතෙන ගාණට මට ඒ දේවල් සමීපයි....

"ඔයත් ආසද...? ඇතුළක වවන්න පුළුවන් පැල වර්ග තියෙන්නෙ ටිකයි මෙහෙ..."

එලී උඩට නගින ගමන් කියනවා ..එලීගෙ ගේ ඇතුල හරිම උණුසුම්....

ඇස් වලට සෞම්‍ය වින්ටේජමය නිවහනක්...

"මේ පාටවල් වලට හුඟක් අය ආස නෑ. ..ඕල්ඩ් ෆැශන් කියල ...ඒත් මම ආසයි ..."

මුලුතැන්ගේ අපූරු කොළ සහ සුදු පාට සංකලනයක්....කෝප්ප පීරිසි ඔක්කොම මල් සැරසුම් දරන ඒවා .....

සාලය හරිම සුව පහසු සෝපාවක් , කෙටි අසුන් කීපයක්, ලස්සන කුෂන් ගොඩක්...ගිනි උදුනක්.....

මම හීන ලෝකයක් දකිනවා වගෙ.....

එතනින් එහාට චූටි බැල්කනියක්...බැල්කනිය පුරාටම සීත කාලයෙත් මල් දරන මල් පෝච්චි ටිකක් එක්ක හර්බ්ස්...මිංචි,රෝස්මරී....පඳුරු....ඒ අස්සට ලස්සන උද්‍යාන සැරසිලි......


මම ආසාවෙන් බලා ඉන්නවා....

ගේ තැනින් තැන කෘතිම මල් පොකුරු...හැබැයි ඒවාත් ස්වභාවික මල් තරම්ම ලස්සනට..වින්ටේජමය බඳුන් වල.....

"තේ එකක් බොමුද..."

එලී අහනවා....

"මාස තුනකට පස්සෙනෙ මේ මගෙ කුස්සියෙ මම උයන්නෙ...ඔයා දන්නවද මම සතියට දවස් හයක්ම ෆ්‍රෙශ් මීල්ස් ගන්නෙ...එක දවසයි ෆ්‍රෝසන් ෆුඩ්ස් ගන්නෙ ..මම උයන්න හරිම ආසයි...."

එලී ගෙ ලෝකය හරි ලස්සනයි ....එයා ඉන්නෙ තනියම....වෙන කාවවත් තනියට එනවට එයා අකමැතියි...

"මට මාව බලාගන්න පුළුවන් ....වෙන කෙනෙක් මේ ගෙදර ඉන්නකොට මට මේ වගේ නිදහසේ ඉන්න අමාරුයි ...."

එලී ආපහු එන ගමන් කියනවා...ලබන සුමානේ එලී අපිත් එක්ක ගතකළ කාලය අවසන් කරලා ආපහු රෝහලෙන් ගෙදර යනවා....ඉතින් ගෙදර යන්න කලින් එයාව ගෙදර එක්කන් ගියේ එයාට ගෙදර පරිසරයට කලින් වගෙම හැඩගැහෙන්න වැඩකරගන්න පුළුවන් ද කියලා බලන්න...

එලී කියන්නෙ අපූරුම චරිතයක්...දන්නවද  ..එයාට වයස 94යි....ඒත් එයා හදවතින් හරිම තරුණයි....

මේ පින්තූර නම් එලීගේ ගෙදර නෙවෙයි...home visit එකක් කලාට එහෙම පින්තූර ගන්න අපට අවසර නෑ...ඒත් ඒ ගෙදර මෙන්න මේ වගේ....

📷 එක අන්තර්ජාලයෙන්

එයාගේ නමත් අන්වර්ථයි

Sunday, December 17, 2023

මගේ බ්ලොග් දිනපොත 01

 



ඉස්සර කලින් බ්ලොග් එක තියන කාලේ මම දිනපොතක් ලිව්වා. ඒ බ්ලොග් එක වහලා දැම්මා. ඒ ගැන ආපහු හොයල වැඩක් නැහැනේ. නමුත් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නැති එකේ මට හිතුනා සතියකට පාරක් හරි දිනපොතක් වත් ලියන්න ඕන කියල ....

හොඳයි ඉතින් ගිය සතියේ ටික හරි මේ සතියට කියවන්න පුළුවන්නේ ....එහෙනම් ඔන්න මේ විසිරිගේ දිනපොත....

**********************************************************************************************

 සඳුදා 


සති අන්තයක් ගත කරලා සඳුදාවක් උදාවෙනවා කියන්නේ මොන රටේ උන්නත් පොඩි කම්මැලි කමක් එක්ක ඇහැරෙන දවසක්. සීත සමය නිසා උදේ හතටත් හොඳ එළියක් නැහැ. කොහොමටත් මේ අඳුරු ස්වභාවය නම් මහා එපා කරපු හැඟීමක් අරන් එන්නේ. අර පහුගිය කාලේ පිස්සු වැටිලා වගේ ඇවිද්ද මට අන්තිමට සති අන්තෙත් ඉන්න උනේ කාමරයක් ඇතුලට වෙලානේ.

ඔය මොන කම්මැලිකම තිබුනත් අට හමාර වෙනකොට මම හොස්පිටල් එකට ගිහින් යුනිෆෝම් එකත් දාගෙන කම්පියුටර් එක ඕන කරලා එදා දවසේ මේල් ටිකත් බලලා ඉවරයි.

මේක පුනරුත්ථාපන  ඒ කියන්නේ rehabilitation unit එකක් නිසා වාට්ටුවල ඉන්න ලෙඩ්ඩු උදේට නාවලා කියලා ක්ලීන් කරලා සුදානම් කරනකල් අපිට කරන්න වෙන්නේ ලියකියවිලි වැඩ ටික. ලෙඩ්ඩු බලනවා හා සමානවම ලියකියවිලි වැඩ මෙහෙ හරියට.කොටින්ම කිව්වොත් ලෙඩා වමට හැරුණත් ඒක ඒ විදියටම ඩොකියුමන්ට් වෙන්න ඕන. 

ලංකාවේ අපි හොස්පිටල් වල මැරිලා වැඩ කල තරම මෙහෙ නැහැ. නමුත් ලංකාවේදී අපි කල තරමට වඩා සියගුනයක් අපි ඩොකියුමන්ට් වැඩ මෙහෙ කරන්න ඕන. ඒක මට මුලදී ඇත්තටම මහා වෙනසක් උනා. ඉතින් කොහොම හරි සඳුදාව පටන් ගත්තේ ඔන්න ඔහොම. 

මම යන යන තැන අපරාදේ කියන්න බැහැ මටම ගැලපෙන සෙට් එකක් මට හම්බ වෙනවා. ඒක මෙහෙදිත් එහෙමම තමයි.සඳුදා වැඩට ආවට පස්සේ ඉතින් අර කම්මැලි කම කොහෙන් ගියාද කියන්න බැහැ 

******************************************************************************************************** 

අඟහරුවාදා



මේ දවස්වල මට ඉන්නවා අපූරු ආච්චි අම්මෙක්. මගේ ටීම් එකට ඉන්නේ ලෙඩ්ඩු හතයි. ඔන්න ඒ සෙට් එකට අලුතින්ම ආව ආච්චි අම්මෙක් මේ. නම් ගම් මෙහෙ නිතිය හැටියට මෙහෙම එකක ලියන එක පවා නීති විරෝධියි නේ. ඉතින් ආච්චි අම්මගේ  නම් ගම්    ඕන නැහැ.

නිකම් කතන්දර ලියමුකො ඒ ඇතිනේ. 

ගෙදර පඩි පෙලෙන් පිනුමක් ගහලා උකුල් ඇටේ කැඩිලා ඔපරේෂන් එකෙන් පස්සේ ඔන්න එයා අපේ ගාවට එනවා සති හයක හෝ අටක ප්‍රතිකාර වලට. මූලික විස්තර ටික ගන්න ගියාම ආච්චි අම්මට කෝටියක් ප්‍රශ්න ඉතින්. ඔක්කොටම කලින් මගේ නම එයාට උච්චාරණය කරන හැටි උගන්වන්න කිව්වා. ඉන් පස්සේ ඉතින් විස්තර ටික එහෙම අහගෙන මම එයාව ඇඳේ වාඩි කරවලා හිටගන්න සුදානම් කරනවා.  

ඔන්න ඒ  වෙලාවේ එයා මගෙන් අහනවා මෙන්න මෙහෙම...

Have you seen a witch over there?

මම ඉතින් හොල්මන් වෙලා වගේ හතර වටේ බලනවා. මේ එන ලෙඩ්ඩු අතරේ Dementia ලෙඩ්ඩුත් ඉන්න නිසා එක එක කතන්දර ඔහොම කියන කොට අපි පොඩ්ඩක් පරෙස්සමින් තමයි ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ.

Sorry, I haven't seen any witch.

මම එහෙම උත්තර දෙනවා.

ආයේ එයා ඒ ගමන මෙන්න මෙහෙම අහනවා.

have you seen an angel there?

මගේ උත්තරේ අරකමයි.

No i haven't seen...

මම කිසිම කෙනෙක් දැක්කේ නැහැනේ. බොරු කියන්න කියලය....

ආච්චි අම්මා හක හක ගගා හිනාවෙලා මට ඇඟිල්ල දික්කරලා පෙන්වන්නේ ටිකක් එහායින් තියන ලොකු කන්නාඩිය. ඒකෙ පේන්නේ එයාවයි මාවයි....

මට හිනායනවා....

you are my angel ....

එයා මගේ අත්දෙක ආදරයෙන් අල්ලාගෙන කියන්නේ....

මම එතකොට මෙහෙම කියනවා...

But you are not a witch... you will be a miracle...

සමහරක් වෙලාවට ඔබට ඒ අයගේ ජීවිතේට angel  කෙනෙක් වෙන්න පුළුවන්...ඒ වගේම ඒ අය ගේ ලෝකයට ඔබට පුළුවන් අලුත්ම බලාපොරොත්තුවක්  වෙන්න.

 මේ ලියන්නේ අතිශයෝක්ති කියලා ඔබට හිතෙන්න පුළුවන්...
නමුත් මේ මම දිනපතා අත්විඳින අත්දැකීම්...

********************************************************************************************************** 

බදාදා 





 ලිවිල්ල කියවිල්ල අතහරිලාම යන කාලයක් උනා මේක ...කාලය ඉඩහසර ඕනෑවටත් වඩා තියෙද්දී මට ලියන්න නොහිතෙන්නේ ඇයිද කියන්නමටම තේරෙන්නේ නැහැ. නමුත් ඉඳ හිටක හරි කවියක් වත් ලියන්න ඕන කියලා දිනපොත ලියන අස්සෙම මට හිතෙනවා. 

ඉස්සර ඉඳලා කවි , කතා ලියන්න ආසම කල කෙනෙක්ට එක පාරටම ලියන්න කම්මැලි හිතෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? මට තාම හිතාගන්න බැහැ ඒකට හේතුවක්. කාලය මදිකමකුත් නෙවෙයි . නමුත් කම්මැලිකමක් දැනෙනවා. කියවන්නත් එහෙමමයි. කම්මැලියි. 

ඕගොල්ලෝ ගාව මේකට විසඳුමක් එහෙම තියද කියන්නකෝ.

හරි කමක් නැහැ අද දවසට ඔන්න පොඩි කවියක් වත් ලියන්නම්කො  

ඔබ දන්නවද...

මල් පිපෙන අරුමැසි ඉසව්වක

හීන් හඬැතිවූ දිය දහරක

ප්‍රේමයේ තත් නැගෙන 

අන්දම....



ඉතින් ඔබ දන්නවද....

හුදෙකලාවේ ගෙවෙන කාලයක

හද හඬත් නොනෑසෙන යාමයක

තාල නගනා ප්‍රේමයේ 

ස්වර ගැන....



ඔබ කොහොම දන්නවද....

දුර කියන්නෙත් ලඟටම බව

දහස් සැතපුම් දුරක වුව

හද ගැස්ම ඔබ ලඟම 

ඉතිරි බව....


************************************************************************************************** 


බ්‍රහස්පතින්දා 




බර කිලෝ පහකින් අඩුවෙලා. 

මම මෙහෙට එන්න ආසන්න කාලේදී ඇත්තෙන්ම උන්නේ පුදුම ස්ට්‍රෙස් එකක. ගෙදර අයව දාලා එන්න වීම, මං නැතිවුනාම ඒ කට්ටිය කොහොම වැඩ කටයුතු කරගනිවිද කියන බය, අනෙක නුහුරු නුපුරුදු පරිසරයක තනියම ජීවත්වීමට හිත හදාගන්න එක....කීයක් නම් දේවල්ද ? ඒ ඔක්කොටම විසඳුම උනේ අහුවෙන අහුවෙන කන ජාති කෑම ...ඒකෙන් උනේ බර කිලෝ හැත්තෑ පහක් වීම.

මෙහෙට ඇවිල්ල මාස හතරට ඒ කිලෝ පහම අඩු උනා.

ඇත්තෙන්ම ආහාර රටාව වෙනස් වීම තමයි ප්‍රධානම හේතුව. කාබෝහයිඩ්රේට් අඩුවෙනුත් ප්‍රෝටීන් වැඩිපුරත් කන එක. අනෙක අලුත් පළතුරැ සහ සලාද වැඩිපුර ආහාරයට එකතු වීම 

අවංකවම කිව්වොත් ඇවිදින එක කොච්චර කලත් එක ව්‍යායාමයට ගැලපෙන්න නෙවේ. මොකද ගහක වලක කොලයක හද දැක්කම නැවතී නැවතී ෆොටෝ ගන්න කොට ඇවිදින එකේ ප්‍රයෝජනයක් නැහැනේ. හැබැයි පැය ගණන් ඇවිද්දා සමර් එක කාලේදී...ඒක වෙනම එකක්.....

කොහොම උනත් බර කිලෝ පහක් අඩුවීම සෙලිබ්රේට් කරන්න පොඩි චොකලට් එකක් කෑවා මම 

******************************************************************************************************* 

සිකුරාදා 








සතියක් ගෙවිලා සතියක් ඉවර වෙන්න මහා කාලයක් යන්නේ නැහැ . මගේ වෘත්තීය සගයෙක් අද මගෙන් අහනවා ..

Kithma ...how you stay in happy mood from monday to friday equally....?


ඇත්තෙන්ම හුඟක් අය සඳුදා ට වැඩට එන්නේ අයියෝ  මූඩ් එකෙන්...සිකුරාදාට යන්නේ ආව් නියමයි මූඩ් එකෙන්....
සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම රටකත් එහෙම ය ඉන්නවද කියලත්..
නමුත් ඒක වර්ක් ස්ට්‍රෙස් එක ...
ලංකාවේදී තරම් මැරීගෙන වැඩ කරන්න නොවුනත් මෙතන තියන වගකීම ඊට වඩා සියගුණයක් වැඩියි.
පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතාගන්නවත් බැහැ.

ඉතින් ඒ වගකීම් එක්ක ඇතිවෙන පීඩනය එහෙම තමයි.
නමුත් අපි සතුටින් සිනහවෙන් ඉන්න අපි අවටින්ම කාරනා හොයාගන්න ඕන. මම එයාට මගේ ජංගම දුරකතනයේ පින්තූර ගබඩාව පෙන්නුවා. සති අන්ත වල ඇවිද්ද හැටි..මම තනියම ගිය ගමන් බිමන්..ඒ තමයි මගේ හිනාවෙ රහස....මම එයාට පෙන්නුවා.


***********************************************************************************


ඉතින් සතියේ දවස් පහ ඔන්න දිනපොතකට ගත්තා....හැම සතියෙම දිනපොතක් ලියන්න නම් වෙන එකක් නැහැ....ඉඳහිටක ලියන්නම්. 


එහෙනම් සුබ සති අන්තයක් වේවා ඔක්කොටම 



මම විසිරි සිහින 








Monday, December 11, 2023

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......

 



තුරු අගිසි පුරා පිපි මල් හීන ඇස ගැටුණ

කාලයක ජීවිතේ කවියෙන්ම හිත පිරුණ

මතක අමතක නොවන තුරාවට හිත රැඳුණ

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......


පන්හිඳ'ග අතෝරක් නැතුව ගී කවි ලිව්ව

ඒ දවස් අමතකව නොයා යුතු බව කිව්ව

මගේ හිත හුදෙකලා ලෝකයක රස මැව්ව

ඉදින් ආයෙත් පුරුදු කවිකමට අත තිව්ව........


තුරු අගිසි මල් පුරන, පලදරන කාලයෙත්

සරත් කල පත් හලන පැහැ සලන දේශයෙත්

හිම තුහින අත ලඟම සැරිසරන මායිමෙත්

කවි අහුරු ඉහින්නට මග බලයි ආයෙමත්......


©කිත්මා වාසනා දහනායක

( විසිරි සිහින)

Saturday, October 14, 2023

පුරු පුරු කතා

 පුරු පුරු කතා


උදේම බස් එකට ටිකක් දුර තැනකට යන්න ගොඩ උනා..තාම මෙහෙට ආවට ට්‍රේනිනුත් යන්න වෙනවා.එහේ කරපුවා මෙහෙට සියයට සියයක්ම ගැලපෙන්නෙ නෑ. රටවල් වෙනස්...ප්‍රතිකාර ක්‍රමත් වෙනස්...ඉතින් වයසට ගියත් ඉගන ගන්න වෙනවා අලුත් අලුත් දේ....

මේ දවස්වල මෙහෙ පාසල් වාරය ආපහු පටන් අරන්...එකේක වයස්වල දරුවෝ පාසල් යන්න බස් රථ වලට ගොඩ වෙනවා.හුඟක් අය ඉතින් ජංගම දුරකතනයට මුහුණ ඔබාගත් ගමන්...ඒ අතරේ මගෙ ලඟ හිටගෙන ඉන්න පොඩිත්තියක්...සුදු පාට කමිසය.කලු කලිසම..කලු කෝට් එක...හැඩයි....හරිම හැඩයි...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න....මේ මොනවද මම මේ දකින්නෙ....ලොකුම හිනාවක් මගෙ මුහුණේ පිටපනින්න දඟලනවා.....

කලුපාට දිග කලිසම  පුරාම තැන තැන සුදුපාට කෙඳි වගයක් වගෙ මොනවද....මොනවා ද ඒ...? පූසෙක්ගේ ලෝම....කලිසම පුරාම තැන තැන....එකත් එකටම බස් එකට නගින්න කලින් මේ ගැණු දරුවා පූස්‍ රාළ උන්න පුටුවේ ඉඳගෙන තියනවා....මගෙ ඇස් යොමු උන දිහාට ඇගෙ ඇසුත් යොමු වුණා...ඇයට ඒ ලෝමගස් දැක්කම ලොකුම ලොකු හිනාවක් ආවා....මියෑව්....ඇය අත්දෙක කන්දෙක ගාවට අරන් මට තොල් සොලවලා කියනවා....ඒක හරි අපූරුයි...මාත් හිනාවෙලා ඔලුව වැනුවා...මියෑව් හඬක් අනුකරණය කරලා....

අපේ ගෙදරට කල්ලතෝනි ගමනේ ආව අලූ, කලූ සහ මෝව් මට මතක් වෙනවා...අලූ අතුරුදහන් වුනා...අනෙක් දෙන්නා ගෙදර නිත්‍ය සාමාජිකයන්  වුණා...එයාලා නිදාගත්තු නිසා එක පුටුසෙටියක පුටුවක්ම ගෙදරට එන අයට " ඕකෙ වාඩිවෙන්න එපා ..ලෝම.." කියන්න වෙන ගානට ලෝම වලින් වැහුණා.ස්ටාෆ් බස් එකට නගින්න උන්න හුඟක් දවසට තදපාට කලිසම් වල මෝව් ගෙ සුදු ගස් මම අතින් ගලවලා නැග්ගේ....ඒත් ඒ ඔක්කොම සතුටු මතක...

අදටත්  පුතාලා මෝව්ගෙයි කලූගෙයි පින්තූර එවනවා මට...මෙහෙ යන එන පාරවල් වලත් ගෙවල් වල ජනෙල් උඩ ඉඳන් මග බලන පූස් රාළලා...උණුසුම් හැඟීම් හිතට එක්කරනවා....පුම්බාගෙන උන්නත් වරක් දෙකක් දැක්කාම පොඩි සද්දයක් දාන ගානට එයාලත් හුරුවෙන්න අරන්....

ඉතින් ....ඔබ කොහේ කොතන උන්නත්....අමතක කරන්න එපා...පුරු පුරු හාදයෝ ඔබට හිනාවක් අරන් එනවා....එයාලා ලංකාවේ ඉන්න මගේ කලූ, මෝව් වෙන්න පුලුවන් .... ...එහෙමත් නැත්නම් මේ මම යන මගතොට ඉන්න පුම්බාගත්තු ආදර ගුලි ටිකක් වෙන්නත් පුලුවන් ...හැබැයි ඒ ඔබ ඔවුන්ට කැමති නම් පමණයි.....

විසිරි

Saturday, October 7, 2023

පුංචි සතුටු කතාවක්...❤️

 පුංචි සතුටු කතාවක්...❤️








තරුවක ලියවුන කවියක් ලියලා ඉවර වෙලත් කාලයක් ගිහින්. ජීවිතේ හුඟක් වෙනස්කම් වුණා. මගේ පවුල, මගේ ආදරණියයන් ගෙන් සමු අරන් දුර රටකට ඇවිල්ලා ගත වෙන දෙවැනි මාසයත් උදා උනා.මේ රටට ආව නිසාම නොවෙයි, ඒ උනාට මගේ ලිවීමේ මන්දගාමී බවක් වෙන්න අරන් දැන් ටික කාලයක්. එහෙම කාල අපි හැමෝටම එනවා. ඉතින් කලක් ගිහින් හරි ඒ රික්තකයෙන් මම මිදේවි කියල මම බලාපොරොත්තු වෙනවා.

මම මෙහෙට ඇවිත් දෙවැනි මාසයත් උදා වුනා. ගෙදර , මගේ ආදරණිය ස්වාමිපුරුශයාණෝ වගේම කොල්ලෝ දෙන්නා...මගේ බලු කෙල්ල...ඇතුළු සහෝදරයෝ, නෑදෑයෝ ඔක්කොම ගෙන් දුරස් වීම හැරෙන්න මට මෙහෙ ජිවිතේ ඇත්තෙන්ම අමාරු නැහැ. රැකියාව අවුරුදු විසි අටක් කල එකමම නිසා පරිසරයට අදාලව රටට අදාලව භාෂාවට අදාලව වෙන වෙනස්කම් හැරෙන්න ඒකෙ මහා අභියෝගයක් මට ඇත්තෙත් නැහැ.

මං හැමදාම ආසා කලේ සතුටින් ඉන්න. මගේ ජිවිතේ ඇත්තෙන්ම සරල එකක්. ඉතින් සරල වෙනකොට ඒ සතුට හොයාගන්න එකත් ලේසියි. ඒ වගේම තමයි මම හැම තිස්සෙම ලංකාවේදී උනත් සතුටින් ඉන්න හුඟාක් කාරනා මගේම අවටින් හොයාගත්තා. මාව දන්නා ඔයාලා එක මගේ මුහුණු පොතෙන් පවා දකිනවනේ. මලක, කුඩා කෘමියෙක්ගේ, කොලයක, දියපාරක...ඔය ඕනෑම දෙක මට සතුට සොයාගන්න පුළුවන් කමක් තිබුනා.

ඉතින්...මං  ලිව්ව කතා වල උනත් මං දකින විඳින සතුට මම ලියලා තිබුණා හැමවිටම. මෙහෙට ඇවිල්ලත් සුපුරුදු ඇවිදිල්ල , පින්තුර ගැනිල්ල අඩුවක් නොකරම කලත් ලිවීම කෙරුනෙම නැති තරම්. 

නමුත් හැමම හැම දවසක්ම මට ලියන නිමිති අරන් ආව දවස්. ඒත් මං හිතන්නේ මම කාලය ගත්තා. ලියන්න අවශ්‍ය වගේම සුදුසු වෙලාවක් එනකල්.අද එහෙම දවසක්. ඔව් නොලියාම බැරිම දවසක්.ඉතින් මගේ නිහඬ බව මොහොතකට බිඳලා මම මේ සටහන  ලියනවා.

ආව දවසට දවස් ගානකට පස්සේ ඉඳන් මම මෙහෙ රෝහලක වැඩ පටන් ගත්තා. ඉතින් මට රැකියාව කියන එකේ අභියෝග වලට සෑහෙන්න මුහුණ දෙන්න වුනා. භාෂාව ගැටළුවක් නොවුනත් කාර්ය මණ්ඩලයෙයි , රෝගීන් ගෙයි උච්ඡාරණය කියන්නෙම අපබ්‍රංශ තත්වයක් අරන් ආවා හුඟක්  වෙලාවට. 

ඒත් හැම කෙනෙක්ම මට කිව්වේ එක දෙයයි. 

No hurry, Take your time...

නමුත් මෙහෙ වැඩට එන හැම දවසකම මට නොඅඩුවම ලැබෙන එක දෙයක් තිබුණා. ඒ තමයි හා දොළොස් දෙනෙක්ගේ සිනා මුහුණෙන් එන සුබ පැතුම්.

hello ... how are you? how was your week end? how's your day?

විවිධාකාර මාදිලියෙන් අහන එකම දෙය. මම ඇත්තම කියන්න ඕනේ..මම රැකියාව කල කිසිම සේවා ස්ථානයක මට ගැටළු සහගත කාර්ය මණ්ඩල හමුවෙලා නැති තරම්. විශේෂයෙන්ම කිව්වොත් අවසානයට මම සේවය කල ස්ථානය. එතන මට තිබුනේ මගේ දෙවැනි ගෙදර , මගේම පවුලක හැඟීම...

ඒත් ..මම දැන් ඇත්තෙන්ම දන්නවා එතැනදී පවා මට හැමදාම හැම කෙනෙක්ගෙන්ම  "ඔයාට අද කොහොමද?" කියලා අහන්න ලැබුනේ නැහැ.

ඒකෙ වැදගත්කම කොච්චරද කියන්න මට අද වෙනකොට හොඳින්ම තේරෙන්න අරන්....

ඉතින් අද වෙනස්ම දවසක්...මේ ඔක්කොම උනේ හවස වැඩ ඉවර වෙලා බස් එකට එන අතරේ. බස් නැවතුම් පලට යන්න පාර පනිනකොට බස් දෙකක් මට එහායින් මාරුවෙනවා දෙපසට. ඒ රියදුරු මහතුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරමින් මාරුවෙනකොට මට ඇත්තෙන්ම සිනහවක් මගේ මුහුණට එන්න ඇති. ඒක දැක්ක මගේ පස බස් රථයේ රියදුරු මහතා මට ලොකුම ලොකු සිනහවක් එක්ක අත  වැනීමක් කළා.

ඒක ඇත්තෙන්ම හරි ලස්සන හැඟීමක් මට එකතුකලා. ඉතින් ඔහුටත් අතවනාගෙන පාර මාරුවෙලා මට අදාළ බසය එනකල් මම බස් නැවතුමේ ඉන්නකොට මට අදාල බසය එනකල් මට වටපිට බලන්න හුඟක් දේවල් තිබුනා. මගේ රෝහල ආසන්නයේ කඳු ගැටයක් එක්ක ලොකු වන රොදක් තියනවා. ඒක ඇතුලේ බංකු වල ඉඳහිට අයෙක් වාඩිවෙලා විවේක ගන්නවා.

මට අදාල බස් රථය ආවම ඒ බසයට නැග්ග හැම කෙනාටම ඒකෙ රියදුරු මහතාගේ සිනහව එක්ක අර සුපුරුදු කතාබහ එනවා...

hello how are you today?

මේක නිතරම අහන්න ලැබෙන්නේ නැහැ බස් එකේදී නම්. නමුත් මේ බසය ටිකක් කාර්ය බහුල බවින් අඩු එකක්. තරමක් දුර ගියාට පස්සේ එක නැවතුමකදී බසයෙන් බැස්ස වයසක මගියෙක් ආපහු ඉදිරි දොරෙන් රියදුරු වෙතට ගියා.

ඔහු රියදුරු මහතාට ස්තුති කල වාර ගණන හත් අට වතාවක්.පැහැදිලි හේතුවක් මම නොදැන උන්නත් ඔහු කියූ දේ නම් මට හොඳින්ම ඇසුනා.

thank you , thank you so much..yes I have to say..you are one of best driver i have ever met...thnak you...thank you...

හේතු කාරනා මොකක් උනත් ඒක දන්නේ ඒ දෙන්නා විතරයි. සමහර විට බස් එකේ යන කාඩ් එක ඉවර වෙලා ඒ නිසා එක්ක යන්න ඇති...එක්කෝ දුර ඉඳන් දුවල එනකල් නවත්තන ඉන්න ඇති...ඔය මොකක් හෝ එකක්...

නමුත් ඒ ස්තුතිය රියදුරු මහතාට විතරක් නෙවෙයි අහන් උන්න මටත් ඇතිකළ සතුට කියා නිමකරන්න බැරි තරම්.

මගේ දෙවනියට මාරු වුන බසයේ මට එහා පසින් සිටි කාන්තාව පකිස්තානු ජාතික කතක්. ඇය රටට අලුත්..මං වගේම...නමුත් ඇය උන්නේ ගැටලුවක.බහින නැවතුම් පල ගැන අවබෝධයක් නැතිව. ඇයගේ සැමියා ඇයට දුරකතනයෙන් උපදෙස් දෙන බවක් පෙනුනත් ඇය ට  බියක් නොසන්සුන් කමක්...තිබුනේ.

භාෂාව පිලිබඳ ගැටළුවකුත් තදින්ම ඒ මොහොතේ ඇයට තිබුනා.

help me...

ඇය මවෙතට හැරී කීවේ ඇයට බසින්නට අවශ්‍ය නැවතුම් පල ගැන ඇයට සොයාදෙන ලෙස. මාසයක් බස් වල ගිහින් පොඩි වැඩකාරියෙක් බවට මම මේ වෙනකොට පත්වෙලා උන්නත් මුල්ම දවස්වලත් මාත් කන්දෙක රතුකරන් තමයි බස් වලට මාරුවුණේ.

අවසානයේ ඇය බහින්නට යන මොහොතේදී ඇය මට කිවේ එක දෙය යි...

I will never forget you my lifetime...

සමහර විට ඇය මට ජීවිත කාලය තුල යලි හමුවෙන්නට ඇති ඉඩකඩ ලක්ෂයකින් පංගුවක්.ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඇයට ආයේ දවසක බස් එකකට නගින කොට මාව මතක් වෙයි..අනිවාර්යයෙන්ම. ඇයට ජංගම දුරකතනයට බාගත කරගන්නට දුන් සෙවුම් මෙවලම දකින කොට ඇයට මාව මතක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.

නමුත් එහෙම නොවුනත්.....ඉතින් අද දවසම මට එක්කළේ සතුටක් කියන එක මට අමතක වෙන එකක් නැහැ.

සතුට ...ආදරය..හෘදයාංගම බව..බෝවෙන සුළුයි...අන්න ඒකයි මට කියන්න ඕන වුන දේ. සමහරක් විට මට අර මූලික අත්දැකීම් නොවුනා නම් මාත් විඩාබර ව බසයේ ජනේලයට ඔලුව තියන් නිදාගන්න තිබුනා. නැත්නම් මුහුණු පොතේ යමක් බලන්න තිබුනා. එත් මේ හැම දේම උනේ අර මුලින්ම මගේ හිතට සතුට ගෙන ආව ඒ අය නිසයි...

මං උගත් පාඩම අන්න ඒක ...සතුටින් ඉන්න...සතුට බෙදන්න..ඒක බෝවෙන සුළුයි....



මම 

විසිරි සිහින