Sunday, December 1, 2019

118. ලෝකයේ සතුටින්ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි (අවසන් කොටස)

භූතාන ගමනින් මා දුටු සහ උගත් වටිනාම දේ කුමක්දැයි ඔබ ඇසුවහොත් මම කියන්නේ සතුටින් ජීවත් වීම යන්නය....එම ගතකල දින කිහිපය මා වෙනස්ම අයෙක් කල බවත් මම විශ්වාස කරමි.....
.
භූතානය ඔවුන් විසින්ම ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් ඉන්නා රට ලෙස නම් කර ඇත ....
Country of gross national happiness ...

රටක දියුණුව මිනිසුන්ගේ සතුට වැනි ගුණාත්මක සාධකයකින් මැනීම කෙතෙක් අසීරුදැයි මම මෙය ඇසූ මුල්ම අවස්ථාවේ සිතුවෙමි.....එහෙත් එය තරම් රටකට වටිනා වෙන අන් යමක් වේදැයි මම යළිදු සිතමි.....
.
සියල්ල අත හැරීම සතුට යැයි බොහෝ අය කියනු අප අසා ඇත්තෙමු....එහෙත්....සතුට යනු තමන්හට ඇති ප්‍රමාණයෙන් සැහීමට පත්වීමේ හැකියාවයි....එය තනි තනි පුද්ගලයන් වශයෙන් කල හැකි දෙයක් නොවේ....
.
භූතානය සංවර්ධිත රටක් නොවේ...නමුත් මිනිසුන් අතර එකා මත එකා අභිබවා යන අමනෝඥ ගති මා කිසිවිට දුටුවේ නැත.. කෙනෙකු සරල වන තරමට ජීවිතය සැහැල්ලුය...එය තමන් තුලින් පමණක් ඇතිවිය යුත්තක් නොවේ....භූතාන වැසියන් අතර තරඟකාරී බව මා දැක්කේ ඉතාම අඩුවෙනි...ඔවුන් කෙනෙක් හට උදව් කරන්නට නොපැකිලව ඉදිරිපත් වෙති...එමෙන්ම සිනාමුසුව කාලය ගත කරති....
.
ඇඳුම් පැලඳුම් ගත්තද භූතාන වැසියන්ගේ ඇත්තේ සීමිත තෝරාගැනීම් කිහිපයකි....කාන්තාවන් දිගු රෙද්දක් ද කබායක් ද අඳින අතර පිරිමින් දණට පමණක් ඇති කබායක් වැනි ඇඳුමක් අඳිනු දැක්කෙමි....රෙදි වර්ගයේ විවිධත්වය ගැන අවබෝධයක් මට නැතත්....එය මා දුටුවේ භූතාන රජතුමාගේ බිසව අප හමුවීමට ආ මොහොතේ ඇයද ......පාර අතුගාන කම්කරු කාන්තාවද....ඇන්දේ එකම රටාවේ ඇඳුමය......


.
පෞද්ගලික වේවා රජයේ වේවා ඕනෑම වෘත්තීයක් කරන්නෙක් නම් ඉහත කී ඇඳුම නිල වශයෙන් ඇඳීම අනිවාර්යයෙන් කල යුතුය..
.
භූතානය සංචාරක ආකර්ශණයට කෙතෙක් ලක්වුවද...ඔවුන් සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඒ සා උනන්දුවක් දක්වන බවක් නොපෙනෙයි... එයට ප්‍රධාන ම හේතුවක් ලෙස මා දුටුවේ...ඔවුන් විදේශිකයන් වෙතින් තම රටට සහ පරිසරයට වන හානිය ගැන බියවීමය...
.
කෙටිකාලීන හෝ දිගුකාලීන සංවර්ධනය හෝ ධන ලාභයන්ට වඩා ඔවුහු සිය රටේ පරිසරය හා ජනජීවිතයට ඇලුම් කරති..සංවර්ධනය යනු ලෝකයේම දියුණුව මනින නිර්නායකයක් වෙත්දී...ඔවුහු සතුටින් සිටීම ඔවුන්ගේ දියුණුවෙහි ප්‍රධාන මිම්ම ලෙස සලකති.....
.
ආපසු හැරී බලන විට.....ඔවුන් කෙතෙක් නිවැරදිදැයි මට සිතේ .....

භූතානයේ පුහුණු කාල සීමාව තුළ අපට රට තොට බලන්න ඇවිදින්න ලැබුණෙ එක් දිනයක් පමණයි...

පුහුණුව පැවති කාලයේ උදෑසන 8- හවස 5 තෙක් එය පැවතුණ නිසා රාත්‍රියේ මඳක් අවටට ගියත් අධික සීතලත් සමග ඇවිදීම ටිකක් අසීරු වුණා....

ඇවිදින්නට ලැබුණ දිනයේ ඇවිදපු තැන් ගැන කෙටි සටහනක් ලියන්නයි මම මේ සැරසෙන්නෙ...

භූතානයේ පොදු ප්‍රවාහන සේවා අඩුයි...දුම් රිය සේවයක් නැහැ...බොහොමයක් දෙනෙක්ට වාහනයක් තියනවා...ඒ වගේම ඔවුන් පයින් ඇවිදීමත් බහුලව කරනවා...ටැක්සි රථ හැරෙන්න ත්‍රී රෝද රථ නම් ඇත්තෙම නෑ....වාසනාවකට...නැත්නම් රිය අනතුරු බහුල වෙන්නට ඕන තරම් ඉඩ කඩ තියනව...

අපි කීප දෙනෙක් එක් වෙලා කුලී රථයක් ගෙන ඇවිදින්නට ගියා... භූතානයේ බහුලව ම තියෙන්නෙ ආශ්‍රම සහ පන්සල්...

මුලින්ම අපි Buddha Point නම් වූ ස්ථානයට ගියා...විශාල කන්දක් මුදුණේ පවතින රන් ආලේපිත විශාලම බුදු පිළිමයක්...ඒ අසලටම වාහනයෙන් යෑමට පහසුව ඇති නිසා ගමන අසීරු වුණේ නැහැ ...බොහොමයක් භූතාන සහ ඉන්දියානු වැසියන් මෙහි වන්දනාමාන කරනු පිණිස පැමිණෙනවා...


ඒ ස්ථානය කන්ද මුදුනේ ලොකු ඉඩක පිහිටා තියනවා...එය විශාල වේදිකාවක් බඳුයි...බොහොමයක් දෙනා එහි විවේකයෙන් සතුටෙන් කාලය ගත කරනු දකින්නට ලැබෙනවා...

ඈත කඳු වල්ලල සහ පහළින් පෙනෙන සුන්දර නගර දසුන් දිහා දවසක් වුණත් බලන් ඉන්නට පුළුවන්.... (සේයාරූ එක් කර ඇත..)


දෙවනුව අපි ගියා කාන්තා ආශ්‍රමයකට...ඇත්තෙන්ම ඒ භික්ෂුණීන් ද එහෙමත් නැත්නම් බුදු දහම අනුගමනය කරන්නා වූ පූජකවරියන් ද කියා මම දන්නේ නෑ...එය අපේ රියදුරු මහතා හැඳින්වූයේ nun's monastery කියල...

එතනත් අර කලින් ලිපියක මා කියූ කැරකෙන ආකෘති සහිත තාප්පයක් තිබුණා...ආශ්‍රමය තුළ සේයා රූ ගන්නට අවසර නොමැති නිසා එහි සේයාරූ නම් නැහැ..නමුත් ආශ්‍රමය තුල ඇති වන්දනාමාන කරන ස්ථානය වෙත ගියාම අපේ බුදු කුටියක ඇති නිවුණු බව එහි මා දුටුවෙ නැහැ...එම පිළිමය ඇත්තෙන්ම අපි දකින ඒවාට වඩා ටිකක් සැර පෙනුමක් ඇති රැවුල වැවූ කෙනෙක් ගේ එකක්....

ඒ කෙසේ වතුදු ආශ්‍රමය පුරා සියවස් ගණනකට පෙර ඇඳි සිතුවම් බිත්ති පුරා තිබුණා...ඒවා සංරක්ෂණය වෙමින් පවතින ඒවා....

කඳුයායවල් අතරේ ඉහල ඉසව් වල ඇති විවිධාකාර ගොඩනැගිලි විවිධ ආශ්‍රමයන් බව දැනගන්න ලැබුණා....අපේ වගේම ෂඩ් වර්ණ කොඩි වැල් වනාන්තර පුරා ඒ ආශ්‍රමයන්ට යන මාවත් වල එල්ලා තිබුණා.....
.
Once in life time destination එකක් ලෙස හඳුන්වන tigers nest (paro tuktsang) බලන්න යන්න නම් කාල වේලාවක් තිබුණේ නෑ...එය පාරෝ සිට තවත් බොහෝ දුරකට කඳු ශිඛර ඔස්සේ යායුතු ගමනක්...පැය හත අටක් පාරෝ සිට ඇවිදින්න අපට වේලාව තිබුණේ නෑ....

බොහෝ පන්සල් සහ ආශ්‍රමයන් පැවතුණේ ලඟා වීමේ භෞතික අසීරුතා ඇති පරිසරවල...මගේ යෙහෙළිය රෝද පුටුවක් භාවිත කල නිසා අපි සමහර ස්ථාන වලදී දුරින් සිට ඒවා නරඹා යළි පැමිණිය....
.
පාරෝ නදිය ට එක් පසකින් අප යන මාවත දිවෙද්දී අනෙක් පසින් වූ විශේෂ ආශ්‍රමයක සේයා රූ මම එක් කර ඇති....එය යකඩ වැඩ කල එක් පූජකවරයෙකු විසින් තැනූ එකක් යැයි අපේ රියදුරු මහතා කීවා....ඒ යතිවරයා විසින් යකඩ වැඩ කර ගඟ හරහා යකඩින් තැනූ එල්ලෙන පාලමක් ද තනවා තිබෙනව....එය අදටත් ජීවමානයි....එහි සේයාරුවක් නම් මට ගන්නට ලැබුණේ නැහැ....




.

භූතාන ගමනේදි අපි ගිය තවත් අපූරු කෞතුකාගාර දෙකක් තිබුණා....ඒවා තමයි simply Bhutan සහ folk museum කියන ස්ථාන දෙක...
.
මුලින්ම අපි simply bhutan ගියේ....එතන මුලින්ම අපිට එම ස්ථානය ගැන හැඳින්වීම ලැබුණ....භූතාන වැසියන් එඬේර යුගයේ සිට ක්‍රමයෙන් ජීවන රටාව ගොවි යුගය තෙක් ආ විදිය එහි අපූරුවට පැහැදිලි කරදෙනවා ....
.
ඒ වගේම ආරම්භයේදීම සහල් වලින් පෙරන ලද වයින් ටිකක් බොන්නට ලැබෙනව ....ඒ පානය බොන ආකාරයත් ඔවුන් කියා දෙනව....දකුණු අතේ හතර වැනි ඇඟිල්ලෙන් වට තුනක් පානය කලත්තලා අහසට බිඳක් ඉසින්න ඕන...ඉන් පසු එය පානය කිරීමෙන් ආශීර්වාදයන් ලැබෙන බව....
.

ගොඩනැගිලි තුළට ඇතුල් වන්නට උසැති පඩියක් වගේම නූස් දොරක් තැබීම ඔවුන්ගෙ සිරිත...එයින් ගම්‍ය වන්නේ නිවැසියන්ට ආචාර , ගරු කරමින් ඇතුල් වීම.........
.
අපේ වගේම කුරහන් ගල් ධාන්‍ය ඇඹරීමට එහි තිබුණා....පවනේ වේලෙන ඉරිඟු, මිරිස්, කොල වර්ග..මස් ....සංකේතාත්මකව දකින්නට ලැබුණා...ඔවුන්ගේ මුලුතැන් ගෙයක ආකෘතීන්ද එහි සකසා තිබුණා.....

.
මෙහි එක් තැනක මෂ්තිෂ්ක ආඝාතයෙන් පෙළෙන තරුණයෙක් කැටයම් කපමින් ඉන්නව ..ඔහු මාංශ පේශි තානය අධික නිසා අත් භාවිතයට නොහැකියාවක් ඇත්තෙක්...නමුත් පා වලින් නියන සහ කටුව අල්ලාගෙන ඔහු මවන කැටයම් විශ්මය ජනකයි....ඒවා වර්ණ ගන්වන්නේද පාද වලින්මයි.....
.

ඉතින් ඔවැනි බොහොමයක් අපූරු දේ දැක බලා ගනිමින් අපි එතැනින් ඉවතට ආවා.
.. පසුව අපි folk museum වෙත ගියා....
.
එහි පරිසරය හරිම නිස්කලංක අලංකාර එකක් ...ඔන්න ඔය තැනක බෙරිහන් දෙන රෑහියෙක් බඳු සතෙක් මම මගේ වෝලයේ වීඩියෝවත් දමා ඇති......
ඒ වගේම සුන්දර ලයිකන...
.
Folk museum හි ඇත්තේ තට්ටු තුනක සාම්ප්‍රදායික නිවසක්....එය අතීතයේ සිටම භූතාන වැසියන් ගේ නිවසක ආකෘතිය ....
.
ප්‍රධාන ලෙසම දැවයෙන් නිමවූ මේ ගෘහයන් හරිම සවිමත්...
එහි සේයාරූ ගැනීම තහනම් නිසා පිටින් පමණයි අරගත්තේ....


.
පහළම තට්ටුව ගවයන් ආදී සතුන් ඉන්නා ගාලක් , දෙවන තට්ටුව උයන පිහන කෑම ගන්නා සහ නිදියන ප්‍රදෙශය, ඉහලම තට්ටුව වන්දනා මාන කරන සහ ආයුධ ආයිත්තම් තබන ස්ථා නය ලෙස....
.
මෙහි පුරාතණයේ පටන් භාවිත වූ ඇඳුම්, ආයුධ, ගෘහ උපකරණ දකින්නට ලැබුණා....ඇත්තෙන්ම සංස්කෘතිකව ඉතාම වටිනා ලෙස එය දිස් වෙන්නෙ...
.
මෙම සවාරියේදි මා දුටු තවත් දෙයක් තමයි ඔවුන් ශිව ලිංගය හා සමාන වම වන්දනා මාන කරන අනුරු තිබීම....එය ඔවුන්ගේ පුරා වෘත්තයකට සම්බන්ධ දෙයක් ....සෆලතාවය අඩු අයට මෙම ලිංගාකෘතිය වන්දනා මාන කිරීම මගින් දරුපල ලැබෙනවා යයි ඔවුන් විශ්වාස කරනව.....
.

භූතානය සංචාරක කර්මාන්තය ට ඒ සා පෙළඹවීමක් නොකලත් ඔවුන්ගේ විචිත්‍ර ආභරණ ආදිය හරිම සුන්දරයි...මාල වලලු ආදිය ඔවුන් ගේ ඇඳුම් වලට ගැලපෙන අන්දමින් විචිත්‍ර ව දකින්නට ලැබුණා.... මිල නම් තරමක් වැඩියි ....
.
ඉතින් අහඹු ලෙස ගොඩ වැදුණ කඩසාප්පු වල අය ශ්‍රී ලංකා යන නමට ඉතා කැමති බවක් දැක්වූවා...එක් වෙලඳසල් හිමියෙක් ගෙ දරුවන් දෙදෙනාම ලංකාවේ ඉගන ගන්නා වෛද්‍ය සිසුන්...
භූතානය විශ්ව විද්‍යාල වලින් සමන්විත වුණත්....වෛද්‍ය විද්‍යාලයක් නැහැ ඔවුන් ඒ සඳහා ලංකාවට සහ ඉන්දියාවට සිසුන් යවනවා....
.
අපි ආපසු එන දිනයේ අපිට භූතාන බලකොටුව නැරඹීමට දුර සිටන් අවස්ථාව ලැබුණා ....එය ඉතාම සුන්දර තැනක් .... ඒ වගේම පාර අසල නැවතී මා දකින්නට ආසා කල පාරෝ නදිය ත් බලන්නට පොඩි ඉඩක් ලැබුණා .....


.
කෙසේ වතුදු ජීවිතය ට අපූරු අත්දැකීමක් එක්කල...අදටත් මතක් කරමින් සතුටින් ස්මරණය කල හැකි ඒ දින කීපයට මං හරිම ආදරෙයි....
.
මගේ පුහුණුව සහ ඒ ලැබූ සුදුසුකම සහ ඊට පාදක වන වටපිටාව ගැන පසුව දවසක සටහනක් තබන්නම්.....
.
ලෝකයේ සතුටින්ම වසන මිනිසුන් හමුවට මම යනකොට මම තවත් එක් ප්‍රාණියෙක් පමණක්ම වෙන්න ඇති ....ඒත් ඒ දින කීපයට පසු මම ආවේ ජීවිතය අලුතින්ම දකිමින් ...සතුට කියන දේ ජීවිතයට එක් කරගන්නේ කෙසේද යන්න මිනිසුන් විදියට අපි දැකිය යුතු අන්දම වෙනස් වෙන්න අවශ්‍යයි .....මම සිතන්නේ එහෙම ...
.
ගහට කොළට සතාට සීපාවාට ....සමස්ත ලෝකයටම ආදරය කරන්න....මිනිසුන් ඔබට කල කී දෑ ගැන විස්සෝප වෙමින් හිත දූෂ්‍ය කරගැනීමෙන් වලකින්න....ඔබ වටේට ලස්සනම ලස්සන ලෝකයක් තියනවා .....
ලද පමණින් තුටු වෙන්න....කොයි කොහොම දේ තිබුණත් අපි අවුරුදු කීයද තව ජීවත් වෙන්නෙ ...අන්න ඒ කෙටිම කාලය....සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න .....

ආදරය සහ ජීවිතය විඳින්න.....ලෝබ නැතුව ආදරය පුදන්න ...ආපිට කිසිවක්ම අපේක්ෂා නොකරම සතුටින් ඉන්න.....ඒක තමයි gross happiness කියන සංකල්පය........තුළ මා දැක්කේ ....
.
ඉතින් මා එක්ක භූතානය පුරා සැරිසැරූ ඔබට නොවක් තුති......

2 comments:

  1. භූතානය කියන්නේ මගේ සිහිනලන්තය. කවදාහරි භූතානයට යන හීනයක් හිතේ තියෙනවා. මේ ලිපි දෙකම ගොඩක් ආසාවෙන් කියෙව්වා. බොහොම ස්තූතියි.💜️

    ReplyDelete