Tuesday, February 16, 2021

2021 (09) අලුත් ඉස්කෝලේ

වැසුණු දොරින් එහා....




එක් කුඩා පිරිමි ළමයෙකු පාසලකට ගියා.
ඔහු ඇත්තෙන්ම හුඟක් පුංචි දරුවෙක්.
ඒ පාසල ඇත්තෙන්ම ලොකු පාසලක්.
ඒත් ඒ කුඩා පිරිමි ළමයා සොයා ගත්තා ඔහුට පන්ති කාමරය තුළට ඉදිරි පස වැසූ දොර හැරගෙන ඇතුලු වී යා හැකි බව...
ඉතින් තවදුරටත් ඒක ලොකු පාසලක් ලෙස ඔහුට පෙනුනේ නැහැ .
.
එක දවසක් උදේ පුංචි පිරිමි ළමයා පාසලට ගිය විට ගුරුතුමිය මෙන්න මෙහෙම කිව්වා...

"අද අපි පින්තූරයක් අඳින්නයි යන්නේ.."

කොච්චර හොඳයිද ...පුංචි පිරිමි ළමයා හිතුවා.
එයා පිංතූර අඳින්න ගොඩක් කැමතියි.
එයාට පුළුවන් ඕනම වර්ගයක පින්තූර අඳින්න.
සිංහයන් සහ කොටියන්..
කුකුළන් සහ හරකුන්... කෝච්චි සහ බෝට්ටු ...
එයා ඉතින් එයාගේ පාට පෙට්ටිය අරගෙන චිත්‍රය අඳින්න පටන් ගත්තා .....

ඔන්න එතකොටම ගුරුතුමිය කිව්වා...
"පොඩ්ඩක් ඉන්න ..දැන්ම පටන් ගන්න එපා ..."
ඉන්පසු එයා බලාගෙන හිටියා ඔක්කොම අය සූදානම් වෙනකන්..

"හරි දැන් පටන් ගමු ..." ගුරුතුමිය කිව්වා ..
"අපි දැන් මල් අදින්නයි යන්නේ .."
"අපූරුයි "මේ පුංචි පිරිමි ළමයා හිතුවා...
එයා මල් අඳින්න කොහොමත් කැමතියි...
ඊට පස්සේ එයා ලස්සන මලක් අඳින්න පටන් ගත්ත ..
එයා තෝරගත්තෙ රෝස පාටයි තැඹිලි පාටයි නිල් පාටයි පාට කුරු ...

ඒත් ගුරුතුමිය මෙහෙම කිව්වා...

"පොඩ්ඩක් ඉන්න... මම ඔයාට කියල දෙන්නම් කොහොමද අඳින්නෙ කියලා.."
ඊට පස්සේ ගුරුතුමී කළුලෑල්ලේ මලක් ඇන්දා ...
ඒක කොළ පාට නටුවක් තිබුනු රතු පාට මලක් ....
"මෙන්න මෙහෙමයි " ගුරුතුමී කිව්වා... " දැන් ඔයාට පුළුවන් අඳින්න"

ඉතින් පුංචි පිරිමි ළමයා ගුරුතුමී ඇඳපු මල දිහා බැලුවා...
ඊට පස්සේ එයා තමන් ඇඳපු මල දිහා බැලුවා...
එයා කැමති උනේ එයා ඇඳපු මලටයි... ගුරුතුමී ඇඳපු මලට වඩා ...
ඒත් එයා ඒක කිව්වෙ නැහැ... ඊට පස්සේ එයා කොලය අනික් පැත්ත හරවලා ගුරුතුමී ඇඳපු විදියෙ මලක් ඇන්දා... ඒ මල කොළපාට නටුවක් තිබුණු රතු පාට මලක්....

ආයේ දවසක ..
පුංචි පිරිමි ළමයා මේ පන්තියට ආවා ..
එදත් ගුරුතුමිය කිව්වා ..
"ඔන්න අපි ක්ලේ වලින් යමක් හදන්නයි යන්නේ.."
කොච්චර අපුරුද පුංචි පිරිමි ළමයා හිතුවා ..
එයා ක්ලේවලට හරිම කැමතියි .....

එයාට ක්ලේ වලින් ඕනම දෙයක් හදන්න පුළුවන්... අලි සහ මීයො...
නයි...
ට්‍රක් සහ කාර්...
ඉතින් පුංචි පිරිමි ළමයා ක්ලේ බෝලය අරගෙන අදින්නයි ටිකක් කොනිති ගහන්නයි පටන් ගත්තා ...

ඔන්න එතකොටම ගුරුතුමී මෙහෙම කිව්වා
"පොඩ්ඩක් ඉන්න... තාම පටන් ගන්න වෙලාව නෙමෙයි...."
ඊට පස්සේ එයා බලාගෙන හිටිය ඔක්කොම කට්ටිය සූදානම් වෙනකන්....

හරි ඔන්න ගුරුතුමී මෙහෙම කිව්වා...
" අපි පිඟානක් හදන්නයි යන්නේ..."
"අපූරුයි.." පුංචි පිරිමි ලමය හිතුවා එයා පිඟන හදන්න ගොඩක් කැමතියි... එයාට පුළුවන් ඕනම හැඩයක හැඩයක ඕනම ප්‍රමාණයක පිඟන් හදන්න .....
.
ඒත් ගුරුතුමී මෙහෙම කිව්වා
"පොඩ්ඩක් ඉන්න.... මම කියන්නම් කොහොමද ඒවා හදන්නෙ..." කියලා..
ඊට පස්සේ එයා හැමෝටම පෙන්නුවා ගැඹුරු පිඟානක් හදන හැටි....
"හරි දැන් ඔයාල මේ විදිහට හදන්න ..".ගුරුතුමී කිව්වා

පුංචි පිරිමි ළමයා ගුරුතුමී හදපු පිගාන දිහා බැලුවා... ඉන්පස්සෙ තමන් හදපු පිගාන දිහා බැලුවා....
එයා, එයා හදපු පිගානට ගොඩක් කැමතියි ගුරුතුමී හදපු එකට වඩා ...
ඒත් එයා ඒක කිව්වෙ නැහැ... ඊට පස්සේ එයා එයාගේ ක්ලේ පිඟාන බෝලයකට ගුලි කරලා ආයෙත් ගුරුතුමී හදපු විදියේ පිගානක් හැදුවා...

කාලයත් එක්ක බොහොම ඉක්මනින් පුංචි පිරිමි ළමයා ඉගෙන ගත්තා නැවතීමෙන් බලා ගෙන ඉන්න,
ඒ වගේම හැම දේම ගුරුතුමී කරපු විදියටම කරන්න..
තවදුරටත් එයාට එයාගේ ම නිර්මාණයක් කරන්න පුළුවන් වුණේ නැහැ ..

කාලයත් එක්ක මේ පුංචි පිරිමි ළමයට සිද්ධ වුණා ඒ පළාත අතහැරලා වෙනත් නගරයකට යන්න පවුලත් සමග.
එයාට පාසලත් මාරු කරන්න සිද්ධ වුණා.

එයාගේ අලුත් පාසල හුඟාක් ලොකු පාසලක් ..
අර කලින් ගියේ එකටත් වඩා..
එහි පංති කාමරයට දොරක් තිබුණෙ නැහැ..
ගියාට පඩිපෙළවල් ගොඩක් නැගලා යන්න සිද්ධ වුණා...

අලුත් පාසලේ පළවෙනි දවසේ ඔන්න එයා පන්තියට ගියා..

"හොදයි අද අපි චිත්‍රයක් අඳින්නයි යන්නේ.."
ගුරුතුමී කිව්වා..

අපූරුයි.... පුංචි පිරිමි ළමයා හිතුවා... ඊට පස්සේ එයා බලාගෙන හිටියා ගුරුතුමි අඳින්න ඕනේ මොකක්ද කියලා කියනකං..
ඒත් ගුරුතුමී කිසිම දෙයක් කිව්වේ නැහැ... ඇය පන්ති කාමරය වටේම ඇවිද ඇවිද සිටියා

ඇවිදගෙන යන ගමන් ගුරුතුමී ආවා පුංචි පිරිමි ළමයා ළඟට..

"ඔයා චිත්‍ර අඳින්න ආස නැද්ද...?" ගුරුතුමිය ඇහුවා..

"මං ආසයි..." පුංචි පිරිමි ළමයා කිව්වා..

"ඉතිං අපි මොකක්ද අඳින්න ඕන...?"
පුංචි පිරිමි ළමයා ගුරුතුමිය ගෙන් ඇහුවා..

"ඔයාට කැමති දෙයක් අඳින්න"... ගුරුතුමී කිව්වා..

"මං කැමති පාටකින්..?" පුංචි පිරිමි ළමයා පුදුමයෙන් ඇහුවා
"ඔව් ඕනම පාටකින්.." ගුරුතුමිය කිව්වා..
"අපි හැම කෙනාම එකම පාටින් එකම පින්තූරය අදින්න ගත්තොත් අපි කොහොමද දන්නෙ කාගෙද ඒක කියලා...
අනෙක කොයි එක කවුද ඇන්දෙ කියලා.... "

මම දන්නෙ නෑ පුංචි පිරිමි ළමයා කිව්වා..
ඉන් පස්සේ එයා ඉන් පස්සේ එයා රෝස පාටයි තැඹිලි පාටයි නිල්පාටයි අරන් මල් අඳින්න පටන් ගත්තා...

පුංචි පිරිමි ලමයා අලුත් ඉස්කෝලෙට ගොඩක් කැමති වුනා....
ඇත්තෙන් ම ඒ පාසලට ඇතුල් වෙන්නට වහපු දොරක් තිබුණේ නැහැ ......

මුල් සටහන chicken soup for the soul කෘතියකින්

පරිවර්තනය කලේ විසිරි ❤️

4 comments:

  1. ලංකාවේ අද්‍යාපන ක්‍රමය නිසා නිර්මාණාත්මක හැකියාවන් නැතිවෙනවා කියල මන් හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...ඇත්තෙන්ම ඔව්

      Delete