Saturday, July 11, 2020
14. දහතුන් වෙනි දිග හැරුම
ජීවිතය මේ සා තමන්හට දඬුවම් දෙන්නේ මන්දැයි සඳමිණි නිදිවර්ජිතව කල්පනා කලාය... දික්කසාදය දුන් පසුවත් සුධිරගේ මේ අවිනීත බලපෑම් වලින් මිදෙන්නට තමන්ට ඉඩ නැත්තේ කිමදැයි ඇය කල්පනා කරමින් හැඬුවාය...හැමදේම කියන්නට ඉන්නේ බියංකා පමණි...එහෙත් ඇය මේ දිනවල විවාහය සඳහා කාර්‍ය බහුලය ....ඇයට ඇමතුම් දී කරදර කල නොහැක.....ඉවසා දරාගත යුතුමය......
.
පුස්තකාලයෙන් ගෙනා පොත් කියවීමට ද කිසිදු සිතක් නොමැති තැන....සඳමිණි වැරැන්ඩාවේ පුටුවේ හිඳගෙන දෑස පියාගත්තාය.... හඬ නිහඬ කල ජංගමය හෙමි හෙමින් කම්පනය වෙයි....නොදන්නා අංකයකි....වැරදීමක් වෙන්න ඇති ....ඇය ඔහේ එය විසන්ධි වන්නට ඉඩ හැරියාය...
.
සුධීරගෙන් වෙන් වූ පසු ජංගම දුරකතන අංකය , නවාතැන ආදිය සියල්ල වෙනස් කලේ ආරක්ෂාව වෙනුවෙනි....බියංකා සහ රණවීර මහතා හැරුණ විට නව දුරකතන අංකය කිසිවෙකු හට ලබා දී නැත ....
.
ජංගමය යළි කම්පනය වෙයි....සඳමිණි එය සවනට තබා ගත්තා ය ....
.
" හෙලෝ....කවුද මේ ....?" සඳමිණි මඳක් නිහඬව සිට ඇසුවාය .....හා හූවක් නැති නිසොල්මනක් පමණි.....රාත්‍රී කාලයන්හි ජංගම දුරකතන අංක වලට අහම්බෙන් මෙන් අමතන අය එමටය....සඳමිණි ජංගමය වසා පසෙක තැබුවාය ... එය යළිදු නාද වූයේ නැත .....වැරදීමක්ම වෙන්න ඇති.....
.
*****************************
.
උදාර මඩුගල්ලේ විසන්ධි වී ගිය ජංගමය දෙස බලා යළි සිනහවිය....සිතට සිදු වී ඇත්තේ කුමන අරුමයක්දැයි ඔහුට සිතාගත නොහැක....
.
සාමාන්‍ය රාජකාරි දුරකතනය පසෙක ලා පෞද්ගලික අංකයෙන් ඇයට ඇමතුමක් ගත්තේ ඒ කටහඬ අසන්නට සිත බල කල බැවිනි....මෙය ඇත්තෙන්ම තමා වැන්නෙකුට ගැලපෙන හැසිරීමක් නම් නොවේ....තමා නව යෞවනයේ පසුවන්නෙක් ද නොවේ....එහෙත් මේ හැඟීම් හිතට ආගන්තුකය....ඉල්ලන්නේම හිතුවක්කාර ඕනෑකම් ය....
..
මේ දේවල් දන්නව නම් සඳමිණි මගෙ මූණ වත් බලන එකක් නෑ...නාකි කෝලං කියලා දෙකක් නොකිව්වොත් තමා පුදුම.....
.
උදාර මඩුගල්ලේ සිවිලිම දෙස බලා සිනහවෙමින් සිතයි....
.
දොර අසලට වී දෙවරක්ම ඇමතුවද උදාර ඉන්නෙ වෙනම ලෝකයක බව සුමනේ වටහා ගත්තේය . ..තම හඬට වත් ප්‍රතිචාර නොදක්වා ඔහු වෙනම ලෝකයකය...ඒ මුහුණේ ඇති හිනාව...වටහා ගන්නට බැරි එකක් නොවේ......
.
රෑ කෑම ගැනද වගේ වගක් නැති හාම්පුතාගේ සිහින ලෝකය බිඳින්නට නොහැකිව තවත් මඳ වේලාවක් බලා උන් සුමනේ හෙමින් උගුර පෑදුවේය....
උදාර මඩුගල්ලේ තිගැස්සී ඇඳ මත හිඳ ගත්තේය....ඔලුව කසමින් සිනාසෙන සුමනේ දෙස හොරැහින් බලා ඇඳෙන් බිමට බැස නාන කාමරයට ගියේය....
.
" සුදු මහත්තයා කන්න ආව නම්.....දැන් වෙලාව පහු වෙලා...." සුමනේ හිනැහෙමින් පහත මාළයට බැස ගියේය ....
.
*****************************************************
කාලය ගෙවී යන්නේ හිත් වල හැඟුම් අසුරා තබා ගත නොහැකි කරවමිනි....උදාර මඩුගල්ලේ ඒ කෙසේ වතුදු හොඳම රාජ්‍ය සේවකයෙක් විය...කිසිදු විට සිය හැඟීම් තම වගකීම් අභිබවා යන්නට ඉඩ නොතබන අන්දමේ අයෙක් විය.....
.
රාජකාරිමය ලියකියවිලි අතර අන්තර්ජාලය ඔස්සේ ආ ඊමේලය විවෘත කල උදාර මඩුගල්ලේ ගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේය... සිය ආචාර්‍ය උපාධිය සම්පූර්ණ වීමේ ඊමේලය එයයි.... දෑත හිස පිටිපසට බැඳගෙන සිය පුටුවේ වටයක් සෙමින් කැරකුණ ඔහු " යෙස්.." ලෙසින් අත ඔසවා ජය ලකුණු කලේය....
.
සඳමිණි සිය ප්‍රධානියාගේ මේ අමුතු හැසිරීම දෙස දෑස විසල් කොට බලා උන්නාය....ඔහු ඉන්නේ වෙනම ලෝකයකය..මුහුණේ උතුරන්නේ සතුටක්මය....ඒ මුහුණේ එවන් සිනාවක් දකින්නට හැක්කේ ඉතාම කලාතුරකිනි ....සඳමිණි විමතියෙන් ඒ දෙසම බලා උන්නාය.....
.
උදාර එක් වනම සඳමිණි තමා දෙස මඳක් මුවද විවර කොට ගෙන විශ්මයෙන් බලා සිටිනු දුටුවේය ...තමා මෙතන කල රංගනය ඇය දකින්නට ඇත....
ඔහු ඇයට හිසෙන් තමා වෙත එන ලෙස සන් කලේය...සඳමිණි මහත් විමතියෙන් අසුනෙන් නැගිට සිය ප්‍රධානියා වෙත ආවාය....
.
පරිගණක මුහුණත සඳමිණි දෙසට හැරවූ උදාර ඇයගේ මුහුණ දෙසම බලාඋන්නේය..දෑස් කුඩා කරගනිමින් මඳක් පරිගණකය දෙසට නැවී එය කියවන ඇයගේ මුහුණේ මඳින් මඳ වෙනස් වන සියුම් ඉරියව් දෙස ඔහු ඇස්පිය නොහෙලා බලා උන්නේය...
.
සඳමිණි ගේ වතේ පිපෙන ඒ අපූරු සුන්දර සිනහව සමගින් ඇය උදාර මඩුගල්ලේ දෙස බලා සිනාසුනාය....
.
" අනේ සර්...සුබ පැතුම්....මට හරිම සතුටුයි සර්...." ඇය පෑ අත දෝතින් අල්ලාගත් ඔහු මඳක් වේලා ගෙන එය අත හැරීය....
.
" මේ මට තිබුන ලොකුම ඉලක්කය සඳමිණි ...ඒක සම්පූර්ණ උනා....ස්තුතියි සුබපැතුවාට...."
උදාර සිනහසෙමින් කීවේය.....
.
ඉන්පසු සිය ජංගමය අතට ගෙන අංකනය කර ඇමතුමක් ගත්තේය...සඳමිණි සෙමින් අසුන වෙත ගියේ ඇමතුම අසා සිටිය යුතු නොවන හෙයිනි....
.
" අක්කා ...ලොකූ......මගේ රිසල්ට් එක ආවා ...."
.
" ඔව්....ඕල් රෙඩි ඩන්...."
.
" හරි ලොකූ...මම එන්නම් ෆ්‍රී උන ගමන්ම..."
එහා පසින් ඇසෙන දේ නැතත් උදාර අමතන්නේ සිය සොහොයුරිය ට බව සඳමිණි ට වැටහිණ....
ඉස්සෙල්ල කියන්න ඕන වයිෆ්ට නෙ...අක්කට වෙන්න ඇති ආදරේම එහෙනම්.... සඳමිණි සිතුවාය....
.
නමුත් උදාර මඩුගල්ලේ ඉන් පසු ඇමතුම ගත්තේ සිය මිතුරු තාරකටය...
.
" මචං....ඉට් කේම්... යෙස්..."
.
මිතුරු කතාබහේ උතුරන සිනහව බලා සිටින්නට ආසා හිතෙන තරම් ය ..
.
" ඕකේ...එහෙනම් හවස සෙට් වෙමු.....මං උඹව ගන්න එන්නම්...." උදාර හඬ ඉතාම පහත් කොට සඳමිණි දෙස හොරැහින් බලමින් කීවේය.... කණ තියෙන්නෙ නම් මෙතන ...ඔහු යටිසිතෙන් සිනහසුනේය.....
.
****************************************************
හවස් යාමයේ ඉර අව්ව බැස යන මොහොතේ සඳමිණි බියංකා සමගින් මාවත අයිනෙන් ඇවිද යමින් උන්නාය....
.
" සර්ට පිඑච්ඩී කම්ප්ලීට් වෙච්ච මේල් එක ආවම තිබ්බ සතුට බං...පොඩි කොල්ලෙක් පරාදයි..පුටුවෙ නැටුවෙ නැතුව විතරයි ...." සඳමිණි සිනාසෙමින් කීවාය...
.
" ඇත්තනෙ බං ...අපි නෝමල් ඩිග්‍රි එකක් කරන්න කෑව කට්ට බලන කොට ඔහොම එකක් කොහොම ඇත්ද .....සතුටු නොවී පුලුවන් යැ..." බියංකා උත්තර දුන්නාය...
.
" මිනිස්සු මහ පුදුමයි නේ බං ...සර් උනත් අක්කටයි යාලුවෙක්ටයි කෝල් කලා....වයිෆ්ට නිකමට වත් කතා කලෙ නෑ ...." සඳමිණි නොරිස්සුමෙන් පැවසීය....
.
" ඒව එයාලගෙ වැඩ වල හැටි වෙන්නැති බං.... මිනිස්සු කොහොමත් අමුතුනෙ....මොකෝ මෙහෙට නිකමට එක්කන් වත් ආවයැ....මිසිස් රණවීර වුණත් ආවේ නෑනෙ අත්‍යාවශ්‍ය එකකට හැරෙන්න නේද....?"
.
සඳමිණි හිස වනා පිළිතුරු දෙමින් සමාන්තරව ඇවිද ගියාය....
.
****************************
.
මුහුදු තීරය කෙළවර සුපුරුදු අවන්හලේ දෙමිතුරෝ ජයග්‍රහණය සැමරුවේ නිහඬවය....උදාර මඩුගල්ලේ සිය ප්‍රාණසම මිත්‍රයා සමග බීර වීදුරුවක රස බැලීය ....
.
"උදාර....දැන් එහෙනම් නිකම්ම නිකම් මිස්ටර් උදාර නෙවේ ඩොක්ටර් උදාර ....." තාරක හිනැහෙමින් කීවේය ...ඔහුගේ මුහුනේ උතුරායන සහෘදත්වයේ සතුට වසං නොවීය....
.
"උඹ එම්.බී.බී.එස් ඩොක්ටර් වුනේ මට කලින්නෙ....කමක් නෑ වයසට යන්න කලින් මාත් ඩොක්ටර් රේට් එකක් ගත්ත මදෑ...." උදාර හයියෙන්ම හිනැහුණේය....
.
" ඉතින් ඉතින් දැන් උඹෙ ඊලඟ ප්ලෑන මොකක්ද....රට යනවද...ඔෆර් එක අරන්...." අදාල විශ්ව විද්‍ය්යලය සහ සබැඳුණු ප්‍රධාන පෙලේ ආයතනයකින් මේ සමග පැමිණි රැකියා අවස්ථාව ගැන උදාර තාරක සමගින් පැවසුවේ මඳකට පෙරය....
.
උදාර නිහඬව ඈත ක්ෂිතිජය දෙස බලා උන්නේය...
.
" ඒ ගැන තව හිතන්න ඕන බං....මං මේ ආව විතරයි....අවුරුදු තුනකට පස්සෙ....මේ රටට මගෙන් වෙන්න දෙයක් තියේ නම් ඒ ටික නොකර මට යන්න බෑ ආපහු....." උදාර මඩුගල්ලේ ස්ථීර හඬින් පැවසීය.....
****************************************************
සඳමිණි සති මැද ආ නිවාඩුවේ කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව මඳක් කල්පනා කලාය.....
.
බියංකාගේ නිවසට යෑමට සිතූ සිතිවිල්ල ඉවත ලූවේ... ඇයගේ පෙම්වතා එදින එන බව දන්නා හෙයිනි....මම ඔතනට ගිහින් උන් දෙන්නට උදැල්ලක් වෙන්න ඕනයැ.... ඇය සිතුවාය....
..
ඇනෙක්සියේ කාමරය තුලටම වී ඒකාකාරිව ගෙවන දිවියෙන් මිදෙන්නටත් අවශ්‍යය .. එක්කො ආකේඩ් එක පැත්තෙ රවුමක් ගහල එනව ....ඇය සිතුවාය...
.
අලු පැහැති ඩෙනිමට කලු පැහැති කපු කමිසය ඇඳගත් පසු කොණ්ඩය ලිහිල්ව ගෙඩියක් කොට උඩට කර ගසා ගත්තාය...සයිඩ් බෑගය ට පොඩි වතුර බෝතලය සහ කුඩය දමා ගත් පසු කාමරයෙන් පිටට ආවාය ...
.
" ආන්ටී....මම පොඩ්ඩක් බොරැල්ලට යනවා...." ගෙහිමි කාන්තාවට මඳක් හඬනගා පැවසූ සඳමිණි ඇයගේ අත ඔසවා දුන් ප්‍රතිචාරයට පසු මාවතට විත් බසයට ගොඩ වැදුණාය.....
.
ජනාකීර්ණ පරිසරයක වුවත් නිදහස් චතුරශ්‍රය අසල කවදත් සන්සුන් ය ...සඳමිණි කුළුණකට පිටදී බිම හිඳ ගත්තාය.... අව් කණ්නාඩියෙන් වැසුණ දෑසට අව්වේ මහා ලොකු පීඩාවක් නොදැනේ....ඇය නිනව් නැති කල්පනා ලෝකයක සැරිසැරුවාය....
*****************************************************
.
උදෑසන ව්‍යායාම සඳහා තාරක සමගින් එක්වූ උදාර මඩුගල්ලේ.... ව්‍යායාම අවසන මඳක් විවේක ගත්තේ... මං තීරුව අසල බංකුවට බර දෙමිනි....නළලත වැකි දාබිඳු අත වූ කෙටි තුවායෙන් පිස දා ගත් ඔහු වතුර උගුරු දෙකක් බී බෝතලය පසෙක තැබීය
දිනපතා ව්‍යායාමයන්හි යෙදෙන්නට නොහැකි වුවත් සති අන්තය සහ අතරමැදි නිවාඩුව ඒ සඳහා යොදාගත්තේ නීරෝගී බව උතුම් යැයි නිතර දෙවේලේ බලකරමින් කියන තාරකගෙන් බේරීමට වුවත් අවසානයේ එය ඇබ්බැහියක් විය.
.
කාලය ගෙවී යත්ම හිඳ උන් අසුනින් නැගිට රිය නැවතූ ස්ථානයට පැමිණි උදාර මඩුගල්ලේ රියදුරු අසුනට බරදී ආසන පටිය පැළඳ රථය පණගැන්වීය....එහෙත් සිය දෑස් ඉදිරිපස මඳ දුරකින් කුලුණකට බරදී හිඳිනා හුරුපුරුදු රුව දුටු මනතින් ඔහුගේ අතින් පණ ගැන්වුණ රිය යළි ඉබේ නැවතුණි.....
.
"සඳමිණි.....මෙතන ..මේ වෙලාවෙ ..... " සියුම් සැකයක නොරිස්සුමක සේයාවක් හිතට ආතුර වී තිබිණ....
කාව හරි මුණ ගැහෙන්නද....බලමු....උදාර රිය අසුන පසුපසට කර බලා උන්නේය....
.
ඇය ඔහේ සිටින්නීය...ඉඳහිටක ඇය පසුකර යන වියපත් කාන්තාවක් හා සිනහසෙන්නීය....කුඩා දරුවෙක් අතින් විසිව ආ බෝලයක් අත තබා යළි ඈතට දිගු කරන්නීය...
වෙනදා සාරියෙන් ඔසරියෙන් හැඩ වන ඇය.... අද වෙනස් ය....හරිම සරල සැහැල්ලු පෙනුමකි.....
.
උදාර එක්වනම ආ සිතුවිල්ලකින් ජංගමය අතට ගත්තේය....කාර්‍යාල අංකයෙන් ද තම පෞද්ගලික අංකයෙන්ද ලෙස සිතමින් මඳක් උන්නේය... අවසන කාර්‍යාල අංකයෙන් ඇමතුම ගත්තේය....
.
සඳමිණි නාද වන ජංගමය අතට ගනු උදාරට පෙනුණි....ඇයගේ මුහුණේ සන්සුන් සිනාවක් උපදිනුද ඔහුට පෙනේ....
.
" ගුඩ් මෝනින් සඳමිණි ...."
.
" ගුඩ් මෝනින් සර් .."
.
" සඳමිණි මේ වෙලාවේ වැඩකද ඉන්නෙ...."
.
" අනේ නෑ සර්....කියන්න..."
.
" නිවාඩු දවසෙ එහෙනම් ඔෆිස් වැඩ පවරන්න බෑනෙ .... ගෙදර වැඩ ඇතිනෙ...."
" අනේ නෑ සර්...මම පොඩ්ඩක් එළියට ආවා... නිවාඩු දවසෙත් ඇනෙක්ස් එකේම ඉන්න කම්මැලියි ..මම ආවා ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වෙයා එකට ටිකක් ඉඳල යන්න...."
.
සඳමිණි සහ උදාර මඩුගල්ලේ අතර දුරස්ථ භාවය මඳින් මඳ දුරස් වන්නට පටන් ගත්තේ කවදා දැයි ඔවුන්ට ම ගණනක් නොවීය..තම තමන්ගේ සීමා තුළ සේවක සේව්‍ය සබඳතාවය මිස ඉන් ඔබ්බට කිසිවක් එළි නොවීම ඊට හේතුව විය....
.
" අහ්...එහෙමද ...තනිවම...?" උදාර සෙමින් ආසනයෙන් බැස ඇයට නොපෙනෙන ඉසව්වෙන් ඇති පඩිපෙලෙන් ඇය සිටිනා දිසාවට පිය එසවීමට සිතා ඒ දෙසට හැරුණේය.....
.
නිවාඩු දවස හෙයින් අසල වූ ෆුඩ් කෝට් එකේ කුඩා ශාලා ආකේඩ් එක පුරාවටය ...ඔහු එක් වනම ආ සිතුවිල්ලකින් නැවුම් පළතුරු යුෂ බඳුනක් මිලදී ගත්තේය....
.
ඇමතුමේ සිටිමින්ම ඇය ඉන්නා ඉසව්වට ආ උදාර තමා පිළිබඳ ව වගක් නොමැතිවම ඇමතුමේ කියවන ඇය දෙස මොහොතක් බලා උන්නේය.....ඇය සැබවින්ම සුන්දරය...චාම් ය....රාජකාරිමය අවස්ථාවට වඩා කෙලිලොල් ය ....සිනාව දෙස දවසක් වුව බලා සිටිය හැකි තරම්ම මන බඳනා සුලුය...උදාර ඇය අසල ට සෙමින් විත් පිටුපසින් සිට පළතුරු යුෂ බඳුන ඇය ඉදිරියට පෑවේය...
.
සඳමිණි තිගැස්සී එක් වනම ඒ අත දිගේ දෑස් යවා නැගී ඉන්නට තැත් දැරුවාය...කුලුණට එහා පසින් නොපෙනෙන මුහුණ වෙත එබෙන්නට දැරූ තැතෙහිදී ඇය යළි බිමටම ඉන්දවුනේ සමබරතාව ගිලිහී යමිනි....කෙසේ හෝ වැර වෑයමින් නැගිට ගත් ඇය....තමා දෙස සිනාසෙමින් බලා ඉන්නා රුව දුටු විගස.... දෑතින්ම මුහුණ වසා ගත්තාය....
.
" අනේ ...සර්....." ඇය ඉමහත් ලැජ්ජාවෙනි.....උදාර ඇය අත බීම බඳුණ තැබීය....
.
"කියවල මහන්සි ඇතිනෙ...ඕක බීල ඉන්නකො..."
උදාර මැඩගත් සිනහවෙන් යුතුව පැවසීය....
.
" මම මේ වාහනයට නැගල යන්න හදනකොට අහම්බෙන් දැක්කෙ....ඒකයි ආවෙ ..." උදාර ඇයගේ දෑස මග හරිමින් පැවසීය....සඳමිණි අහන්නටත් පෙර ඔහු එසේ කියාදැමුවේ ඇය ගේ කුකුස නිවාලනු පිණිසය...
.
" සර් තනියම ද ආවෙ...." සඳමිණි වටපිට බලමින් ඇසුවාය.....උදාරට යටි සිතෙන් සිනා යන්නට එයි....
.
" ඔව් ...යාලුවෙක් එක්ක ආවෙ....ඇවිදල ඉවර වෙලා එයා ගියා ... සඳමිණි දැන්ම යනවද..... ? " උදාර නැවත විමසීය...
..
" ඇනෙක්සියට ගියත් කරන්න දෙයක් නෑනෙ සර්...හවුස් ඔෆ් ෆැෂන් එකේ පොඩි ශොපින් පාරකුත් දාලම යන්න හිතුවෙ...." ඇය සැහැල්ලුවෙන් සිනාසෙයි....
.
තව දුරටත් මෙතැන සිටීම නුසුදුසු යැයි උදාරට වැටහේ....ඇය අසල ගැවසෙන්නට වෙර දරන සිත ආයාසයෙන් පාලනය කරගත යුතුය....
.
" ඕනනම් මම එතනින් ඩ්‍රොප් කරන් යන්නම්....දැන්ම යනවනම්...." සඳමිණි කිසිවක් නොකියා හිස සලා එකඟ වූවාය....හිතේ මල් වැස්සක් වහී...උදාර හැඟීම් සඟවාගෙන වාහනයට නැග්ගේය....
.
හවුස් ඔෆ් ෆැශන් සාප්පු සංකීර්ණය අසලින් සඳමිණි බැස ගත් පසු උදාර නිවෙස බලා පිටත් විය....වාහනය පුරා මෘදු විලවුනක සුවඳ දැවටේ....ඔහු ගේ මුවේ මඳ සිනහවක් නොනැසීම පවතින්නට විය.....
****************************************************
ප්‍රේමය හිතට එබිකම් කරන්නට ගත් දිනයේ පටන් සිතකට නිවනක් ඇති නොවේ....
.
හැම තත්පරයක්ම උතුරා යන්නේ ප්‍රේමය ඇතිකල ආහ්ලාදජනක සිතුවිල්ලෙනි.....
.
එයට වයස තරාතිරම කිසිවක් බලපාන්නේ නැත....
...
කාලය තව කෙතරම්ම මේ පරික්ෂාව කල යුතුදැයි උදාර මඩුගල්ලේ කල්පනා කලේය...එහෙත් සඳමිණි ඉන්නේ අලුත පෑරුණු තුවාල සහිත සිතකිනි....ඇයට සිය හැඟීම් තවමත් වටහා ගන්නට කල් ඉක්මන් වැඩිය...හැඟීමකින් හෝ තමා ගැන ඇය සිතේ යම් වෙනසක් ඇත්දැයි උදාරට වටහා ගන්නටත් නොහැක...
.
තවත් ටික කාලයක් ඉවසනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඔහුට සිතාගත නොහැක...
Subscribe to:
Post Comments (Atom)
ඔයාගේ කතාව මම කියවන්ට ගත්තේ කම්මැලිකමට කරන්ට වැඩක් නැති නිසා...
ReplyDeleteඒත් ඒකට ටිකක් ආසා වුනේ තාත්වික විදිහට ගලා ගෙන යන නිිසා වගේම හැඟීම් ගැන තියෙන දේවල් ගොඩාක් තාත්ත්වික නිසා...
බොහොම ස්තුතියි
ReplyDelete