Saturday, July 11, 2020

15. දහහතර වෙනි දිග හැරුම





ප්‍රේමය හිතට එබිකම් කරන්නට ගත් දිනයේ පටන් සිතකට නිවනක් ඇති නොවේ....
.
හැම තත්පරයක්ම උතුරා යන්නේ ප්‍රේමය ඇතිකල ආහ්ලාදජනක සිතුවිල්ලෙනි.....
.
එයට වයස තරාතිරම කිසිවක් බලපාන්නේ නැත....

****************************************************
.
බියංකාගේ මංගල උත්සවය උදාවූයේ ඉක්මනින්මය... සඳමිණි කල්වේලා සහිතව පෙර දිනයේම බියංකාගේ නිවසට ගියාය....
.
ලා දම් පැහැයෙන් යුතු ඔසරිය සඳමිණිගේ සිරුරට මනාව ගැලපුණි...චාම් මුතු ආභරණ කට්ටලයක් ද සහිතව සියුම් හැඩගැන්වීමකට පසු ඇය නිහඬ සිනාවෙන් යුතුව තම රුව දෙස කන්නාඩියෙන් බලා උන්නාය...
.
" වාව් .....සඳ ... අද නම් අපේ එකා මාව එපා උඹව ඕන කියන්න ත් බැරි නෑ...." බියංකා සඳමිණි ගේ දෝතින් අල්ලාගෙන කෑගැසුවාය...
.
" බී....ශටප්...අදවත් කට පාලනය කරන් හිටපන්...කට කැඩිච්ච කතා නොකියා.." සඳමිණි අතක් ඔසවා පහර දෙන අභිනයක් පාමින් සැර කලාය....
.
" දුව.... අපි එහෙනම් පහළට යමු....නැකැත් වේලාවත් හරි යාගෙන එන්නෙ...."
.
බියංකාගේ මව සඳමිණි ගේ අතින්ද අල්ලා බියංකා ට ලං කලාය ....
.
බියංකා සමග පහළට සෙමින් පා තබන සඳමිණි දෙස බොහෝ නෙත් එල්ල වී තිබිණ...
.
" මේකි එන්න එන්නම හැඩ වෙනවනෙ...." මිසිස් පෙරේරා තමාටම කුටු කුටු ගාමින් කීවාය.....
.
විවාහයේ නීත්‍යානුකූල ලියාපදිංචි කටයුතු සඳහා බියංකාගේ පසින් ඇරයුම් කර තිබුණේ උදාර මඩුගල්ලේ ටය....නියමිත වේලාව පැමිණෙන විට උදාර මඩුගල්ලේ එතැනට පැමිණියේ එතෙක් සිය රථයට වී සිටය...අනවශ්‍ය තරමේ සෙනග ගොඩක හැසිරීමේ අකමැත්ත ඔහුට කවදත් තිබිණ....
..
ලියාපදිංචි කටයුතු කෙරෙනා අතරතුර හිස ඔසවා බැලූ උදාරගේ දෑසට හසුවූයේ සඳමිණි ය...ඔහු මහත් ලොබින් ඇය දෙස මඳක් බලා උන්නේය...ඇයගේ දෑසත් සිතත් කොහේ හෝ දුරකය....උදාර ආයාසයෙන් ඇයගෙන් දෑස මුදාගත්තද...මේ ඇස් සෙල්ලම ඉව වැටුණ බියංකාගේ සිතට නම් අමුතු සතුටක් ඇතිවෙමින් තිබුණි....
.
උදාර මඩුගල්ලේ සිය කාර්‍යයට පසු පෝරුවේ චාරිත්‍ර ඉටුවන ස්ථානය වෙත ගියේය....තමා ඉන්නා ස්ථානය ට එකඑල්ලේ දිස්වෙන එම රුව දෙස දැන් ඉතින් සිත්සේ බලාගත හැක....කිසිවෙකුගේ දෑස් වලට හසු නොවන සේ ඔහු උපැස් යුවලද පැලඳ ගත්තේය.....
.
සඳමිණි සිතෙන් බොහෝ දුරක හුදෙකලා වූවාය...තරු පන්තියේ හෝටලයක මින් වසර ගණනාවකට පෙර සිදුවූ තම විවාහයේදී තමා උන්නේ යාන්ත්‍රිකව හැසිරවූ රොබෝවක් පරිද්දෙන් නොවේදැයි ඇයට සිතුණි...
.
බියංකාගේත් ඇයගේ පෙම්වතාගේත් පෙම්වත් ඉඟිබිඟි වලට මහත් ලොබින් ඇය දෑස් මැත් කල වහාම ඇයගේ නෙතට හසුවූයේ තමා දෙස ම බලා ඉන්නා උදාර මඩුගල්ලේ ය.. ඒ ඇස් බෙහෙවින්ම තියුණුය ...මුවේ සිනහවක් හෝ ද නැත ..තමා දෙස එක එල්ලේ ම යොමුව ඇති නෙතින් කියවෙන්නේ ඔහු බොහෝ වේලාව ක් තමා නිරීක්ෂණය කල බවය ..
සඳමිණි සෙමින් බිම බලාගත්තාය .....
.
මංගල පෝරුවේ චාරිත්‍ර අවසන් ව සෝපාවේ හිඳ ගත් බියංකා සඳමිණි ට අතවනා ගෙන්වා ගත්තාය....
.
" මොකෝ වෙන්නෙ...ඈ..." සඳමිණි ගේ කණට කර ඇය අසද්දීත් උදාර මඩුගල්ලේගේ ඇස් ඇය වටා ම ගැවසෙනු බියංකා දුටුවාය ...
.
" ඇයි...?" කිසිත් වටහා ගත නුහුණු සඳමිණි විපිලිසර වූවාය....
.
" මං බලන් උන්නෙ...එක්කෙනෙක් එහෙන් බලනව...අනික් එක්කෙනා මෙහෙන් හොරැහින් බලනව...ආව්..ආව්..."
.
සඳමිණි අත දිගු කර බියංකාට පහරක් ගැසුවේත් බියංකාගේ හිනා හඬ පැතිරුණේත් එකවිටය...
.
" පුලුවන් නම්...ඉන්න නැති කරපන් මට....උඹ හනිමූන් යයි....මම තනියෙන් එපැයි මේවට මූණ දෙන්න ....අර පෙරේරා මිස් එහෙම ඇහේ තියන් ඉන්නෙ මාව...බලපන්කො..." සඳමිණි කුටු කුටු ගාමින් බැණ වැදුණාය.....
.
*************************************************
.
රණවීර මහතා සහ මහත්මිය මඳක් පමා වී මංගල උත්සවයට පැමිණෙන විට බියංකා සහ පවන් ඡායාරූප ගැනීම පිණිස ඉවතකට ගොස් තිබුණි... ඔවුන් පිළිගෙන කතාබහ කරන්නට සිදුවූයේද සඳමිණිටය...
.
" කොහොමද දුව..." සුපුරුදු ලෙන්ගතු කමින් සඳමිණි ගේ අතින් අල්ලා සිය යාබද අසුනෙන් හිඳුවා ගත් රණවීර මැතිණිය... ආගිය තොරතුරු කතාබහ කරන්නට පටන් ගත්තාය....
.
රණවීර මහතා සමග කතාබහේ යෙදෙමින් උදාර මඩුගල්ලේ ඔවුන් දෙසට පැමිණියේ එවිටය..
.
" කොහොමද මිසිස් රණවීර...?"
.
" හොඳින් ඉන්නවා පුතා...." සැබෑම ආදරණීය හඬකින් පිළිවදන් දුන් රණවීර මහත්මිය සිනහසුනාය...
.
" මං මේ කීවෙ සුනන්දා ... මිස්ටර් මඩුගල්ලෙටත් ඉතින් දැන් පිළිවෙලක් උනා නම් නේද හොඳ කියල.... පී.එච්. ඩී .එකත් ඉවර එකේ..."
සඳමිණි එක්වනම තිගැස්සී උදාරගේ මුහුණ දෙස බැලුවාය.... උදාර එක ඇස් බැමක් ඔසවා ඇගෙන් කිමදැයි ඇසීය....සඳමිණි වහා ඉවත බලාගත්තාය ....
.
" සර්...මම පොඩ්ඩක් ඇතුළට ගිහින් එන්නද ...එක්ස්කියුස් මී...." සඳමිණි වහා නැගී සිට එතනින් මෑත් ව කාන්තා විවේකාගාරයට පියමැන්නාය....
.
අනේ දෙවියනේ ....මෙච්චර දවස් මම වයිෆ් වයිෆ් ගගා අහල තියෙන්නෙ මේ තාමත් නොබැඳපු සර්ගෙන් ද ...
එතකොට එයත් සද්ද නැතුව උන්නෙ....මාව මඩවන්න වෙන්න ඇති....
.
සඳමිණි ගේ දෑසට කඳුලුත් උනා එයි...මෙතරම් ලැජ්ජාවක්....උදාර මඩුගල්ලේගේ මෑතක සිට ඇති සමීප බව නොතේරුණාමත් නොවේ....ඔහු ගේ හැසිරීම් රටාව තරමක් වෙනස් ය.... ළගන්නා සුලුය....
.
එහෙත්...නැත...නැත .. තමා කවුරුන්දැයි තමා දැනගත යුතුය...දික්කසාදය නැමති අප්‍රසන්න ඉරණමේ ගොදුරක් වූ තමා ගැන ඒ වටිනා පුද්ගලයා කිසි සේත්ම විශේෂත්වයක් දැක් විය යුතු නොවේ....
.
සඳමිණි තදින් හුස්මක් හෙළා පහත දැම්මාය....

බියංකාගේ විවාහයෙන් පසු කාර්‍යාලයට පැමිණි පසු සඳමිණි උදාර මඩුගල්ලේහට එතරම්ම මුහුණ නොදී ඉන්නට තැත් දැරුවාය ....එය උදාරට ද මනාව වැටහිණි....
.
පව්....ලැජ්ජත් ඇති...ඔහේ උන්නාවෙ....
ඔහු තමාටම කියාගත්තේය...

*******************************************************************************
සාමාන්‍ය ලෙස රාජකාරිමය සම්බන්ධතාවයකින් ඔවුන් අතර කාලය ඔහේ ගෙවී ගියේය.....

සඳමිණි සේවය නිමවී ඇනෙක්සියට ඒමට බස් නැවතුම් පළට වී උන්නාය...බස් නැවතුම් පළද බෙහෙවින් පාලුවට ගොස් ඇත...
.
වේගයෙන් ආ වාහනයක් තිරිංග තද කොට නැවැත්තුවේද සඳමිණි ඒ දෙස බැලුවේද එක විටය..කෙලින් කටින් ඉන්නට බැරිතරමට බීගත් සුධීර ඔහුගේ මිතුරකු සමගම වැනි වැනී බස් නැවතුමට එනු දුටු සඳමිණි තිගැස්සී ගියාය....
.
බස් නැවතුම් පළේද අසල මාවතේද මහ සෙනගක් නැත...උන්නද අනුන්ගේ ප්‍රශ්න වලට හිස හොවා ලන්නට බැරි තරම්ම මිනිසුන් කාර්‍යබහුලය....
.
" ආ මැඩම්ම්ම්ම්ම්...මොකද තනිවම..." ඇඟේ ගෑවී නොගෑවී ලඟින් උන් සුධීර වෙතින් හමා එන මත්පැනේ දුර්ගන්ධය ද ඉවසිය නොහැකි තරම් ය....
සඳමිණි හිස ඉවතට කරගනිමින් අඩියක් එහාට ගියාය....
.
" ඇයීඊ...යන්නෙහ්....මොකද්ද අපි නොද්දන්න මිනිෂ්ෂුයැ....අහ්....හා නැද්ද බං...." අසික්කිත හිනා හඬින් කියවාගෙන යන දෑ අසා සිටින්නට බැරි තරම් ය...
.
" මිස්ටර් සුධීර කරුණාකරලා මට මගේ පාඩුවෙ ඉන්න දීල යනවද...? " සඳමිණි දත් තදකොට තදින් කීවාය....
.
" ඉත්තින් ...අපි යංකො....එන්න කො...කාලෙකින් ආස්සරේ කරන්නත් බැරි උනානෙ...." සුධීර ඇයගේ අතකින් ඇද්දේද...අනෙකා ඇයගේ අනෙක් පසින් ළංවූයේද එක් විටමය....
.
" මේ මගේ නෝනා...මේ මෙයා මගෙ . ..කලබල නැ....හරී..." මේ කලබලය දැක මඳක් නැවතුණ අයෙක්ට සුධීර කෑගැසුවේද ඔහු නැවත නොරිස්සුමෙන් ඉවතට ගියේද එවිටය....
.
තම අතින් අදින සුධීරගෙන් ගැලවෙන්නට වෙර දරන සඳමිණි ගේ ඇසින් කඳුලු බේරෙමින් තිබිණ...
.
*****************************

උදාර මඩුගල්ලේ කාර්‍යාලයෙන් පිටව ආවේ මඳක් පමාවීය...හෙට දිනයේ අමාත්‍යාංශයේ ඇති රැස්වීමක ට අදාල කටයුතු පරිශීලනයක් කල යුතුව තිබූ හෙයින් ඔහු පමාවීය....
.
කවදත් වේගවත් රිය ධාවනයක් නොවූ හෙයින් සීරුවෙන් පෙරට ඇදෙන වාහනයේ පැති වීදුරුවෙන් එක්වනම දුටු දසුන ඔහු ගේ පා තිරිංග වෙත කඩිනමින් යෙදීය....
.
ඉක්මනින් වාහනය මාවත අසලට කල ඔහු බස් නැවතුම වෙත දිවයද්දීත් සුධීරගේ ග්‍රහණයට හසුවූ සඳමිණි ඔහුගෙන් බේරෙන්නට තැත් දරමින් උන්නාය...
.
" එක්ස්කියුස් මී මොකද මෙතන වෙන්නෙ කියල මට දැනගන්න පුලුවන් ද...? " සාක්කු දෙකට අත් ඔබා ගත් අයුරින්ම ඉතාම ගැඹුරු හඬින් සුධීරගේ ගමන් මග අහුරාගත් ඔහු ඇසුවේ දැවෙන හඬිනි....
.
" අහ් ....මහත්තයා....මේ මගෙ වයිෆ් ...මේ අපේ ගෙදර ප්‍රශ්නයක් ....ඕකේ....ඔයා මේකෙන් එහාට වෙන්න...ඕකෙ....මේ පොඩ්ඩී ප්‍රශ්නයක් ....." සුධීර සඳමිණි ගේ අත අත්නොහැරම කීය....
.
" අහ්...මේ මිස්ටර් සුධීර වෙන්න ඕන....දැන් ඉතින් ඔයා සඳමිණි ගෙ හස්බන්ඩ් නෙවෙයිනෙ ...එක්ස් හස්බන්ඩ් නෙ ...ඒ නිසා කරුණාකරලා අත අත් හරින්න...." උදාර මඩුගල්ලේ ගේ ස්වරය සුධීරද තිගැස්සීය...
.
" උම්බ කවුද යකෝ...මට අණ දෙන්න...අනෙප්පලයන් බොස් යන්න..."
සුධීර ගේ කෑගැසීම හමුවේ සෙනග එකා දෙන්නා වටවෙනු දැනුණි...
.
" ආ මම ද....මම උදාර මඩුගල්ලේ... මෙහේ ප්‍රාදේශීය ලේකම්...මේ මගේ ගාව සේවය කරන ළමයෙක්..ඉතින් ඔබතුමාට වඩා මට මේ ළමයා ගැන අයිතියක් තියනව....කරුණාකරලා පොලිසිය ගෙන්වන්න කලින් ඔය ළමයාගෙ අත අතාරිනවා...." උදාර මඩුගල්ලේ ගේ හඬින්....සුධීර තිගැස්සී සඳමිණි ගේ අත අතහැරීය...
.
" හරි හරි සර්...ඉතින් කලින් කියන්න එප්පැයි....ඕකේ ඕකේ මේන් අපි ගියා....සඳමිණි සොරි ඈ....." සුධීරගේ අත වේගයෙන් ගසා දැමූ සඳමිණි දෑතින් මුහුණ වසා ගෙන හඬන්නට වූවාය...
.
" සඳමිණි ගිහින් වාහනයට නගින්න...මම ඔයාව ඩ්‍රොප් කරන් යන්නම්...." අවට රැස් වූ ජනතාව දෙස සිනාමුසුව බැලූ උදාර මඩුගල්ලේ වාහනය දෙසට ඇවිද ගියේය... සඳමිණි වාහනයේ පිටුපස අසුනට නැග දෑතේ මුහුණ ඔබාගෙන හඬන්නට වූවාය....
.
උදාර මඩුගල්ලේ නිහඬවම වාහනය පැදවීය....කුමක් කියන්නටදැයි සිතාගත නොහැකිය .. ඇය පත්ව ඇති අසරණ භාවය ඉමහත් බව වැටහේ ....
.
උදාර මඩුගල්ලේ වාහනය ඇවිදින මං තීරුවට මුහුණ ලා වූ කෙත් යාය අසල නැවැත්වීය....වාහනය නැවැත්වූ බව වත් නොදැන සඳමිණි හඬා වැටෙන්නීය...
.
" සඳමිණි ....ඉස්සරහට එන්න.... මට කතාකරන්න ඕන...."
උදාර මඩුගල්ලේ නිවුණ ස්වරයෙන් පැවසීය....
හිස දෙපසට වනා බෑ කියමින් හඬන ඇය ගේ ඉරියව් දුටු විට ඔහුට ළදැරියකගේ හැසිරීම සිහිගන්වයි...
.
" මට පිටිපස්සට එන්නද එතකොට කියන්නෙ....ඒක ඔයාටත් මටත් දෙන්නටම හොඳ නෑ...." උදාර තත්වය සමහන් කරනු වස් විහිලුවක් සේ කීවේය...සඳමිණි තිගැස්සී උදාර දෙස දෑස් විසල් කොට බැලුවාය...උදාර නිහඬවම ඉදිරිපස යාබද අසුන ඇසෙන් පෙන්වීය...
.
සුසුමක් හෙලා වාහනයේ දොර විවෘත කරගනිමින් ඉදිරි පස අසුනට පැමිණි සඳමිණි දෑත පටලාගෙන බිම බලාගත්තාය...තවමත් ගැස්සෙන දෙවුර ඇයගේ කම්පිත හැඟීම් මොනවට කියාපායි....
.
" දැන් ඇඬුවා ඇති...මොකුත් වුණේ නෑනෙ....ඔය මූණ පිහදාගන්න...නැත්නම් මිනිස්සු බලයි..."
.
සඳමිණි දෑස ලේන්සුවක් ගෙන පිසදාගත්තාය...ඇස් දෙක තඩිස්සි වී ඇත...හිතේ ප්‍රශ්න ගොඩක් එකතුවෙයි...ඒ කිසිවක් අසාගන්නට වාරු නැත...
ඇයගේ හිත මුහුණෙන් දිස්වෙන අන්දම උදාරට පෙනෙයි..
.
" මම දන්නව සඳමිණි ට දැන් ප්‍රශ්න ගොඩක් හිතේ තියන බව...නමුත් මේ ඒ දේවල් කතාකරන්න වෙලාවක් නෙවෙයි...රෑ වෙන්න එනව .මම ඇනෙක්ස් එකට ඔයාව ඩ්‍රොප් කරන් යන්නම්....ආයෙ ඔහොම දේවල් වෙන්නෙ නෑ...බය නොවී ඉන්න..." උදාර සිය වමත ඇයගේ හිස මතින් තබා පැවසීය....සඳමිණි නිරුත්තර ව බිම බලා ඉකිය නවතාගත්තාය ....

**********************************

උදාර මඩුගල්ලේ පිටත් ව ගිය පසු සඳමිණි ඇනෙක්සිය වෙත හෙමින් පාද එසවූවාය...දෙපා වල යකඩ බරු එල්ලූවා සේය.... ඇනෙක්සියේ දොරවසා අගුලු දැමූ ඇය කාමරයට විත් බෑගය පසෙකට විසි කලාය...දොර දිගේ රූටා බිමට වැටුණ ඇයගේ හැඬුම යළිත් අලුත් විය....
.
දෙයියනේ සර්....ඔයා නොආවානම්...මට මොනව වෙයිද....

සඳමිණි ඉකිගසමින් කියෙව්වාය...
.
සර් ඔක්කොම දේවල් දන්නව....සුධීර ගැන ...හැමදේම ගැන...ඒත් ..ඒත් ඒ කොහොමද ...
.
සඳමිණි ගේ ඉකිගැසුම හා පරිසරයේ ඇති නිහඬබව මුසුව ගියේය....
.
ජංගමය යළිත් නාද වෙයි....නොදන්නා ඇමතුම...මෙය නම් බ්ලොක් කල යුතුමය....සඳමිණි ට ඇතිවූයේ මහා සැකයකි...හැමදාම හැන්දෑවේ එන මේ නාඳුනන අංකයේ ඇමතුම ඇය ඇමතුමට සම්බන්ධ වී මඳකින් විසන්ධි වෙයි...
.
මාව ට්‍රැක් කරනව වත්ද අර මිනිහ....
.
සඳමිණි අංකය බ්ලොක් කර දැමුවාය..

1 comment:

  1. ඔන්න 28600 වැනි නැරඹුම් වාරය මගෙන්...

    දැන් උදාර සඳමිණි වෙඩින්ග් මඟුලට පෙරේරා නෝනා එනකොට
    අයියෝ මිස්ඉස් පෙරේරා තම්යි නේ???

    ReplyDelete