Friday, January 6, 2023

10 වෙනි කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 09 වෙනි කොටසට මෙතනින් 09


10 වෙනි කොටස





සති දෙකක ඇවෑමෙන් පාරමී සේවයට වාර්තා කළාය. වාට්ටුවට නොගියද නිල නිවස්නයේ රැඳෙමින් පාරමී අත්‍යාවශ්‍ය රාජකාරි ඉටුකලාය. වාට්ටු භාර සෙසු වෛද්‍යවරුන් සහ සෙසු සියලුම කාර්‍ය මණ්ඩලය ඇයට ඉමහත් සහයක් දැක්වූහ. 

අපි වපුරන දේයි අපි හැම තිස්සෙම නෙළන්නෙ මැණික. පුතා අනික් අය එක්ක ඉන්න හැටියට තමයි ඒ අයගෙන් පුතාට එන ප්‍රතිචාරයත්...ඔයා නරකට සැරට නපුරට ආඩම්බරයට උන්නා නම් අද ඔය දේ ඔයාට ලැබෙන්නෙ නෑනෙ...

අම්මා පාරමීගේ හිස අතගාමින් පැවසුවාය. 

අම්මා මට උගන්නපු දේවල් නිසයි අම්මා අද මම මෙහෙම ඉන්නෙ....තාත්තා ගෙන් මට ඉගන ගන්න කාලයක් තිබුණෙ නැති වුනත් අම්මා ඒ හැමදේම මට කියල දුන්නා....මිනිස්සු එක්ක ජීවත්වෙන කොට ඒ පාඩම් මට වැදගත් වුණා අම්මා ඒ රටවල් වලදිත්.....

පාරමී අම්මාගේ උණුසුමෙහි තව තවත් ගැලෙමින් පැවසුවාය.

පසුදිනයේ පාරමී සේවයට වාර්තා කරන විට වාට්ටුවේ නව මුහුණක් දිස්ව තිබුණි. තරුණ කඩවසම් නවක වෛද්‍යවරයා සියල්ලන්ගේම හිත් ඇද බැඳගන්නා සුලු අයෙක් විය.

"ගුඩ් මෝනින් මැඩම්...ඔන්න අපිට අලුත් ඩොක්ටර් කෙනෙක් ඇවිල්ල ඉන්නව අද ඉඳන්....." වාට්ටුව භාර හෙද නිලධාරිනිය පැවසූවේ පාරමී හට ඉඳගන්නට අසුන පිරිනමමිනි.

පාරමී මඳ සිනහවකින් නවක වෛද්‍යවරයා දෙස බැලුවේය.

"ගුඩ් මෝනින් මැඩම්...මම ආවෙ ගිය සතියෙ..ඒත් මැඩම් උන්නෙ නැති නිසා මාව ඒ සතියෙ වෝඩ් එකට දැම්මෙ නෑ ....මම රහල් සිරිවර්ධන .." තරුණ වෛද්‍යවරයා පැවසුවේ පාරමී දෙස යොමු වූ බැල්මෙනි.

" හොඳයි රහල්.....එහෙනම් ඔන්න අපේ කාන්තාවන් පමණක් උන්න වෝඩ් ස්ටාෆ් එකට රහල්ව බොහොම ආදරයෙන් පිළිගන්නවා ....අපි එහෙනම් වෝඩ් රවුන්ඩ් එකක් යමුද ඩොක්ටර් චාපා...."පාරමී ඇසුවේ වාට්ටුවේ උන් අනෙක් වෛද්‍යවරියගෙනි.

කාර්‍ය මණ්ඩලය හා එක්ව රෝගින් පරික්ෂාවේ යෙදෙන අතරම නව වෛද්‍යවරයා හට වාට්ටුවේ කාර්‍යයන් ගැන පාරමී දැනුවත් කළාය.

ප්‍රසාංගීගේ සයනය අසලට පැමිණි පාරමී ඇය සමග කතාබහ කලේ සුපුරුදු හිතවත්කමිනි. 

කොහොමද ප්‍රසංගි....දැන් ඔයා බෙහෙත් බොනවද....එතකොට තෙරපි වලට හරියට යනවද.....

පාරමී ඇසූ පැණයට ඇය පිළිතුරු දුන්නේ කිසිදු වෙනසක් නැතිවමය. 

This is a suicidal attempt....so we have to manage such young cases dr Rahal...." පාරමී සිය පැහැදිලි කිරීම නවතා තරුණ වෛද්‍යවරයා දෙස බැලුවේ ඔහුගේ නිහඬබව නිසාය. ඒ ඇස් ළා රතට හැරී කඳුළක් දිලිසෙමින් තිබුණි.....

රහල්....ආ යූ ඕකේ.....

පාරමී රත්මල්ගොඩ ඊළඟ රෝගියා වෙතට යන අතරමග ඇසුවාය. කිසිවක් නොකියා බිම බලාගත් රහල් සිරීවර්ධන ඇය පසු පස පැමිණියේ යළි යළිත් ප්‍රසාංගි දෙස බලමිනි ...

තරුණ වෛද්‍යවරයාගේ මුහුණේ පෙර නොවූ විරූ අන්දමේ අඳුරක් පැතිරී ඇති බව පාරමීට හොඳින් වැටහුණි ...එය කාර්යමණ්ඩලයක් ඉදිරිපිට ඇසීම සුදුසු නොවේ යැයි එය අවබෝධයෙන් වටහා ගත්තාය.අනික් අතට මේ සියල්ල යම් අයෙකුගේ පෞද්ගලික ජීවිතයට බලපෑමක් සිදු කරයි නම් ඒ කාරණය විමසා අසා බලා දැනගත යුත්තේ ඉතා ප්‍රවේශම් සහගතව ය .

රහල්.... අපි ටිකක් කතා කරමු නේද ...අපේ වෝඩ් එකේ ඩියුටි ප්ලෑන් එක එකක් වෙනස් ඒ නිසා ටිකක් මේ ගැන ස්ටඩි කළොත් ඔයාට ගොඩක් හොඳයි ...come with me ...

පාරමී රත්මල්ගොඩ නවක වෛද්‍යවරයාට එසේ පවසා සිය කාර්යාල කාමරය වෙත ඇවිද ගියාය .රහල් ඇය පසුපසින් ඇවිද විත් කාර්යාලයේ මේසයට එහා පසින් අසුන් ගත්තේය ...

so ....let me know about you....

කරමි කතාබහ ඇරඹූයේ සුහද සාකච්ඡාවක ආකාරයකිනි .තමා හට රහල්ගේ මුහුණේ ඇති වූ වෙනස්කම් ගැන අවබෝධ වූ බව එක්වරම ප්‍රකාශ කිරීමට ඇය තීරණය කළ නොසිටියාය .කෙසේ වතුදු මෙම ගැටලුව තමා අවබෝධ කරගෙන සිටින බව ඔහුට දැන්වීමට පාරමී රත්මල්ගොඩ යම්කිසි ප්‍රමාදයක් ගත්තේ ජීවිතයට වැදගත් වන පෞද්ගලික කාරණාවක් එක්වරම අසා සිටිය යුතු නොවන බැවිනි .

තරුණ වෛද්‍යවරයා සිය කරුණු කාරණා සැකෙවින් ඇයට ඉදිරිපත් කලේය.

රහල් විසින් ඉදිරිපත් කළ යම් යම් කාරණා සමගින් සලකා බලන විට පාරමී ට ඇතිවූයේ රහල් සහ ප්‍රසංගීගේ කාරණය අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇති බවය .

Ok....රහල්...i think you can trust me ...i have observed something different from your face while in the ward round .....මට ඒ කාරණය සම්බන්ධයෙන් ඔයාට උදව් කරන්න පුළුවන් නම් ... මම කැමතියි ඒ ගැන දැනගන්න .....හැබැයි ඔයා කැමති නම් විතරයි ...හැබැයි මම හිතනවා මේ කාරණය සම්බන්ධයෙන් ඔයා ඇත්ත තත්ත්වය ප්‍රකාශ කළොත් මෙතැනදි ජීවිත කීපයක්ම ගොඩ ගොඩ දාගන්න අපිට පුළුවන් වෙයි කියලා .....

පාරමී බොහෝ ඉවසීමෙන් කතාබහ ඇරඹුවාය 

තරුණ වෛද්‍යවරයා මදක් වේලා තැතිගත් මුහුණුවරින් සිය එහි ප්‍රධාන වෛද්‍යවරිය දෙස බලා උන්නේය .පසු ඉතාම ආයාසයෙන් සිය හඬ අවදි කරන්නට විය .

මැඩම් ... ප්‍රසංගි ගැන මොනවද දන්නේ ...

පාරමී රත්මල්ගොඩ ගේ සිතෙහි තිබූ සැකය ...යළිත් වරක් තහවුරු විය 

පේෂන්ට් කෙනෙක් ඇඩ්මිට් කරනකොට දැනගන්න ඕන කරුණු කාරණා ටික මම දන්නවා ...මං ප්‍රසංගිගේ දෙමව්පියන් එක්ක එයා ඇඩ්මිට් කරන දවසේ කතාබහ කරලා යම් ප්‍රමාණයකට විස්තර දැනගත්තා ...රහල් මෙතනට සම්බන්ධ වෙන විදිය මට අනුමාන කරන්න පුළුවන් ....ඒත් මම කැමතියි ඒ රහල් ගෙන්ම මේ ගැන දැනගන්න ..... 

පාරමී ඉවසීමෙන් යුතුව හඬ අවදිකලාය.

ප්‍රසංගි ව මම අඳුනගත්තේ ඉස්කෝලේ ඒලෙවල් කරන කාලෙදි මැඩම්. මම ඕලෙවල් පාස් වෙලා ඒ ඉස්කෝලෙට ගියා ඒලෙවල් කරන්න...මම දුප්පත් පවුලක කෙනෙක් නිසා ප්‍රසංගි මට හුඟාක් උදව් කලා ඉගන ගන්න...අපි අතර සම්බන්ධයක් ඇතිවුණේත් කාලය එක්ක.....

රහල් බිම ට යොමු වූ දෙනෙතින් යුතුව හඬ අවදි කලේය. පාරමී සාවධානව ඒ හඬට ඇහුම්කන් දෙමින් සිටියාය.

ප්‍රසංගිගේ පවුල මොන වගේ එකක්ද කියලා මැඩම්ට එයාගෙ දෙමවිපියන් එක්ක කතාකලා නම් අනිවාර්යයෙන් වැටහෙන්න ඇති...මම ඒ නිසාම ප්‍රසංගි එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න මුල ඉඳන්ම අකමැති උනා....ඒත් මැඩම් ප්‍රසංගි කියන්නේ පුදුම හොඳ ළමයෙක්....ඒ වගේ පවුලක ප්‍රසංගි වගේ ළමයෙක් ඉපදුනේ කොහොමද කියල හුඟාක් අය කතා උනා.ඒ අම්ම තාත්තා ප්‍රසංගිට මේ කාරණය සම්බන්ධයෙන් ගහන්න බනින්න ගත්තාම මම ආයෙම එයාට කීවා අපි සම්බන්ධය නවත්වමු කියල...ඒත් ප්‍රසංගිගෙ ලෝකය තැනුණේ මගේ වටා....ඒක නිසා එයා කැමති වුණේ නෑ මගෙන් මිදෙන්න......

රහල් සිය හිසකේ ඇඟිලි තුඩින් ඇද්දේ ඉමහත් වේදනාවෙනි.සිය පෙම්වතිය වර්තමානයේ විඳින්නාවූ දුක්බර තත්වය ඔහුට දරාගත නොහැකි තරම් විය.

තරුණ වෛද්‍යවරයා ගේ නොසන්සුන් ඉරියව් දෙස මොහොතක් බලා උන් පාරමී , කතාව ඒ මොහොතේ නවතාලීම සුදුසු බව තීරණය කළාය...

රහල් .....අපි දැන් මේ කතාව ටිකකට නවත්වමු....ඔයා මේ කතාව වෙන කිසිම කෙනෙකුට නොකියා ඉන්නවා නම් හොඳයි කියල මම හිතනවා....because you have to think about yourself as well as prasangi.....තේරුණා නේද.....අපි නිවාඩුපාඩුවේ මේ ගැන ඉතුරු ටික කතාකරමු ...

පාරමී ගත් තීරණය ඉතා සුදුසු බව ඇයට වැටහුණේ රහල් හිස නගා හෙලූ සිනහවෙනි.

දැන් රහල් යන්න....හැබැයි ඩියුටි එකේදි ඔයා මෙතන ඩොක්ටර් මිසක් ප්‍රසංගි ගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙන බව මතක තියාගන්න....ඉමෝෂනල් වෙලා අපි මෙතන ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ .....තේරුණා ද ?

තරුණ වෛද්‍යවරයා සිය ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරිය ගේ හඬට හිස සලා එකඟ විය.ඇය සම්බන්ධව ඔහු සිත තුල ගොඩ නැගී ආ ගෞරවය ඉමහත් විය.පාරමී නැවත වාට්ටුව වෙත ගියේ රහල් වෛද්‍ය විවේකාගාරය වෙත යන්නට යොමු කරවමිනි.

                                                                      *** 

සති තුනක් තිස්සේ නවතා තැබූ පෞද්ගලික චැනල් සේවය යළිත් අරඹන්නට පාරමී ට සිදුවූයේ...රෝගීන් ඇයවම සොයා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇමතුම් දෙන්නට වූ හෙයිනි. වගකීමක් අතට ගත්විට එය කිසිසේත්ම ඉවත හල නොහැකි කාරණයක් බව පාරමී රත්මල්ගොඩ අවබෝධ කරගෙන උන්නාය.

ඩෙංගු රෝගය වැළඳීම නිසා ගතට මෙන්ම සිතටද අවිවේකී බවක් තවමත් දැනෙමින් තිබුණද පාරමී රත්මල්ගොඩ යළි පෞද්ගලික වෛද්‍ය සේවා ආරම්භ කලේ සුපුරුදු ලෙස සීමිත රෝගීන් ප්‍රමාණයකට ඉඩ තබමිනි.

ඒ අතරේ විශ්ව සිය කාර්‍යාලයේ බෙහෙවින් නොසන්සුන් තත්වයක පසුවිය.සිය මනස දැඩිසේ වෙහෙසවන කලබලකාරී බව ඔහුට දරාගන්නට අසීරු මට්ටමකට පැමිණ තිබිණ.

"මචං විශ්වයා...අන්න උඹේ දොස්තර නෝනා ආයෙ චැනල් එනව....ගිහින් හම්බවෙයන් අදම...නැත්නම් එක්කො උඹ නහරයක් පුපුරල මැරෙනව මේ මල පනින හැටියට...නැත්නම් උඹේ අතින් මෙතන එකෙක් දෙකෙක් මැරෙනව....." නිසල් කාර්‍යාලයේ දොර හැරගෙන පැමිණියේ විශ්ව ගේ හදිසි ඇමතුම හෙයින් කාර්‍යාලයට පැමිණි මොහොතේය. 

නිරන්තරයෙන් සේවක මණ්ඩලයට බැණ වැදීම් සහ කෑගැසීම් නිසා විශ්ව සේවකයන් අතර නොරිස්සුමට ලක් වෙමින් පැවතුණි. සේවකයන් එකිනෙකා සේවයෙන් ඉවත්ව යන්නට තැත් දරනා අවස්ථාව මීළඟට උදාවන බව නිසල් කණින් කොණින් එන ආරංචිවලින් වටහා ගත්තේය. විශ්වගේ මානසික තත්වය බරපතල ලෙස කඩා වැටෙමින් තිබෙන බව ඔහු අවබෝධ කරගනිමින් සිටියේය.

අධික කෝපයෙන් සිය කාර්‍යාලයේ ඒ මේ අත ඇවිදිමින් උන් විශ්ව එක්වනම සිය මිතුරාගේ හඬින් නැවතුණි. 

මොකක්ද උඹ කිව්වෙ.....?

විශ්ව සිය හඬ පාලනය කරගනිමින් පැවසුවේය....

කිව්ව එක ඇහුණනෙ...අන්න මං හවසට උඹට අපොයින්මන්ට් එකක් දාල ඇති....හැබැයි පුතෝ මට එන්න වෙන්නෙ නෑ අද....

නිසල් සිය ටයිපටිය මඳක් බුරුල් කරමින් පැවසීය.....

අඩෝ එහෙම කරන්න එපා...කැත වැඩ ඕවා.....

විශ්ව යළි කෑගැසුවේ අසුනට කඩා වැටෙමිනි....

ඇයි උඹ බබෙක්ද...මං උඹේ තාත්තා හරි බාප්පා හරිද....යකෝ පිරිමියෙක් වගේ පලයන්...අනික උඹ එක්ක ඔහොම හැමදාම මං ගියාම එතන ඉන්න මිසීලාත් මගෙ දිහා බලන්නෙ මූ සමනලයෙක් ද 

වගෙ බැල්මෙන්..... ලැජ්ජයිනෙ ...නෙහ් ...

නිසල් කීවේ හඬනගා සිනහසෙමිනි...

විශ්ව අතවූ ලිපිගොනුවෙන් ඔහුට දමා ගැසුවේ තරහෙන් නොව ඇතිවූ ලැජ්ජවටමය.

හරි හරි ...මම යන්නම්...උඹෙන් කුපාඩි කතා අහගන්නවට වඩා මම තනියම යන එක හොඳයි.....

විශ්ව අසුනේ හිස පසුපසට තබාගනිමින් ම පැවසීය. 

තමන් ගේ සිත තුළ ඇති චිත්ත වේගයන් නුසුදුසු ඒවා බව දැන දැනත් ඒවා තමන්හට පාලනය කරගත නොහැකි වීම ගැන විශ්ව කම්පා විය.අඩුම තරමේ තමන් මේ හැසිරෙන අන්දම වැරදි බව තමන් හට පිළිගැනීමට හැකි වීම ද එක් අන්දමකින් හොඳ තත්වයකි. තමා ගැන නිවැරදි දැක්මක් තමන් තුළ කෙසේ හෝ ඇතිවිය යුතු ය. 

පාරමී රත්මල්ගොඩ රෝගීන් සිව්දෙනෙකු පරීක්ෂා කොට අදාල උපදෙස් දී මොහොතක විවේකයක් ගත්තාය. අද දවසට අදාල රෝගීන් ප්‍රමාණය පහකට සීමා කරන්නට ඇය තීරණය කලේ ගතට දැනෙමින් තිබූ විඩාව හෙයිනි.

මැඩම් අන්තිම කෙනාව එවන්නද ...හෙදිය විමසුවේ පාරමී ගේ වෙහෙසකාරී වත දෙස මොහොතක් බලා සිටය.ඇයට මඳ සිනහවක් පෑ පාරමී හිසින් සන් කලේ එසේ කරන ලෙසය.

විවර වූ දොරින් කාමරය වෙත පැමිණියේ විශ්ව ජයසූරිය ය. පාරමී මඳ සිනහවක් පා ඔහු දෙස බලා උන්නාය.

ගුඩ් ඊව්නින් ඩොක්ටර් ....විශ්ව ඇයට සුබ පතා මොහොතක් උන්නේය...

ගුඩ් ඊව්නින්....ඉඳගන්න ....

පාරමී ඔහුගේ නම මතකයේ තිබුණද හිතාමතාම ඇමතීමෙන් වැලකී උන්නාය.

කොහොමද දැන් .....මං හිතන්නේ මේ සෙකන්ඩ් විසිට් එක.....

පාරමී ඔහුගේ ලිපිගොනුව අතට ගනිමින් ඇසුවාය...

ඔව් එන්න තිබුණ දවසට ඩොක්ටර් ගෙ අපොයින්මන්ට් කැන්සල් වෙලා තිබුණා...ඉතින් ඒකයි වුණේ.....

විශ්ව ඇය වෙත යොමුවූ නෙතින් පැවසුවේය. වෛද්‍යවරිය ඇත්තෙන්ම වෙහෙසකර පෙනුමකින් යුතු වන්නීය.ඇතැම් විට ඇය තවම නිසි සුවෙන් නොවන්නට ඇතැයි ඔහුට සිතුණි....

ඔව් මිස්ටර් ජයසූරිය....පොඩි අසනීප තත්වයක් නිසා ....එක්ස්ට්‍රීම්ලි සොරි...සෝ....කොහොමද ඉතින් ...

පාරමී ලිපි ගොනුව පසෙක තබා ඔහු වෙත නෙත් යොමු කළාය....

තමා පසුවන තත්වය පිළිබඳව විශ්ව පැහැදිලි කිරීමක් කලේ ඇත්තෙන්ම ඔහු දවනාවූ අතිශය කලකිරුණු ස්වභාවය හෙලිකරමිනි......

ඇත්තෙන්ම මට කවුන්සලින් අවශ්‍යයි ඩොක්ටර් ...මම නැත්නම් ඉස්සරහට මොනව කරයිද කියල මටම හිතාගන්න අමාරුයි ....

පාරමී රත්මල්ගොඩ මේ පුද්ගලයාගේ ගැටලුව මැනවින් සවන් දෙමින් අසා උන්නාය.ඇත්තෙන්ම විශ්ව ජයසූරිය යනු සැම අතින්ම අංග සම්පූර්ණ පුද්ගලයෙකි.පෙනුමෙන් අතිශය කඩවසම් වූද, ධනයෙන් ආඪ්‍ය වූද , බලයෙන් පූර්ණවූද අයෙකි.එහෙත් ඔහු සිටින්නේ තමාහට තමාපාලනය කරගත නොහැකි මට්ටමකය.

හුඟාක් නරක දේවල් ගොඩක් මැද්දෙ අපිට එක හොඳ කාරණයක් ඇති මිස්ටර් ජයසූරිය ඔක්කොම දේවල් හරිගස්සගන්න....ඔයාට හොඳ insight එකක් තියනව..ඔයාගෙ ගැටලුව ගැන...ඔයාට ඒකෙන් මිදෙන්න අවශ්‍යයි....ඉතින් ඒක තමා අපිට තියන හොඳම point එක මේකට...හොඳයි අපි ඔයාට හොඳ කවුන්සලර් කෙනෙක් හොයාගම්මු......ඔයා කැමති male කෙනෙක් එක්ක වැඩ කරන් යන්නද female කෙනෙක් එක්ක වැඩ කරන්නද....ඔයාට comfortable මොකක්ද......?" 

පාරමී හැකිතාක් දුරට මෘදු එහෙත් ස්ථාවර හඬක සිය කතාබහ පවත්වාගෙන යන්නට වූවාය....

" I am comfortable with you ....no need to find other professionals....මම මගේ කවුන්සලින් ට්‍රීට්මන්ට් එකට ඩොක්ටර් වම තෝරාගෙනයි මේ ආවෙ......" 

විශ්ව ගෙ හඬ නොසැලෙන සුලු විය.....

"මම ...? අනේ මිස්ටර් ජයසූරිය මම කවුන්සලින් part එක කරන්නෙ නැහැ නෙ....."

පාරමී පැවසූයේ අවංකවමය.ඇත්තෙන්ම උපරිම සුදුසුකම් සපුරා තිබුණද ඇය ඒ සම්බන්ධව වෙනම ක්‍රියාත්මක වීම් නොකලාය.

" ඩොක්ටර් නොකරනවා නම් .....its ok.....මේ වැඩේ අල්ලල දාමු....මට අවශ්‍ය නෑ...තව දුරටත් treatment .....thank you so much doctor for your advices....." 

විශ්ව අසුනෙන් නැගී උන්නේ ඉතාම වේගයෙන් කියමිනි.ඔහුගේ මුහුණේ ඉරියව් එහෙම පිටින් ම වෙනස්වී ගොස් තිබුණි..... පාරමී රත්මල්ගොඩ සිතුවිලි සිතාගත නොහැකිව ඔහු දෙස මොහොතක් බලා සිටියාය . මේ පුද්ගලයාගේ හැසිරීම් රටාව කෙතරම් ආවේගශීලී ද යන්න ඇය අවබෝධ කර ගනිමින් උන්නාය.

කලබල වෙන්න එපා මිස්ට ජයසූරිය පොඩ්ඩක් ඉඳ ගන්නකෝ.....

පාරමී දැඩි සේ ඉවසීමෙන් යුතුව ඔහු ඇමතුවාය. විශ්ව මොහොතක් ඒ දෙස බලා සිට ලොකු සුසුමක් හෙලා යළිත් ඉඳ ගත්තේය.

ඇත්තෙන්ම මම එහෙම කිව්වේ....හොස්පිට්ල් එකේ වැඩක් එක්ක මම counselling කොටස කරන්න යන්නේ නැති නිසයි...සාමාන්‍යයෙන් කවුන්සල කෙනෙක් උනාම....අපිට ළඟ ළඟ sessions වලින් patient එක්ක දිගටම කනෙක්ශන් එක තියාගන්න සිද්ධ වෙනවා...මිස්ටර් ජයසූරියට තේරෙනවා ඇතිනේ .....මම ඉන්නේ එහෙම කාලයක් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකකට වෙන් කරගන්න....පුළුවන් මට්ටමකින් නෙමෙයි.....

විශ්ව මොහොතක් පාරමී දෙස බලා සිට නැගී උන්නේය.

මට තේරෙනවා ඩොක්ටර් ....කරන්න දෙයක් නැහැ....මගේ තීරණය මම වෙනස් කරන්නේ නෑ....තැන්ක් යූ...මම යන්නම්.....

විශ්ව එක්වනම කාමරයේ දොරින් පිටව යද්දී පාරමී කිසිවක් සිතගන්නට නොහැකිව උන් තැනම බලා උන්නාය. මේ පුද්ගලයා සම්බන්ධව දැහැමි සමගින් කතාකල යුතුද නැත්ද යන්න ඇය දෙපසට දෝලනය වෙමින් සිතුවාය.

යමෙකුගේ පෞද්ගලිකත්වය යනු වෛද්‍ය ආචාරධර්ම වලදී තරයේ රැකිය යුත්තකි. එහෙයින් තව දුරටත් මේ සම්බන්ධව මුනිවත රැකීම සුදුසු බව පාරමී තීරණය කළාය.


*********************************************************************************************** 

හමුවෙමු යලිත් 

මම 

විසිරි සිහින 


No comments:

Post a Comment