Monday, March 13, 2023

17 - හදේ කොතැනක හෝ හිඳී ඔබ


17 කොටස


16 කොටස මෙතනින් 16




සතියේ දිනවල රෝහල් නිල නිවසේත්, ඉන්පසුව සති අන්තය නිවසේ සහ හොරණ මහ ගෙදරත් මාලනී සමග ගත කිරීම කාලය සමගින් පුරුද්දක් විය.

අම්මා නැති අඩුව කිසිසේත්ම ජීවිතයට පියවන්නාක් නොවූවද වගකීම්,යුතුකම් හමුවේ පාරමී සිත රැඳෙන වේදනාව සමනය කොටගත්තාය.ඇයට ඇති එකම ගැටලුව වූයේ මාලනීගේ අයහපත් මානසික තත්වයයි.මේ හුදෙකලාව ඇයට දරාගන්නට නොහැකි මට්ටමක එකක් විය.

"චූටි මැණිකෙ , අනේ රත්තරනේ මං ගැන අහිතක් හිතන්න එපා.මට ආරාමයකට යන්න ඇත්නම් කියල දැන් හිතෙනවා චූටි මැණිකේ.ලොකු මැණිකේත් නැතුව මට මගේ ජීවිතේ මෙහෙම ගතකරන එක අමාරුයි මැණිකේ"

එක් මොහොතක මාලනීගේ මුවින් පිටවූ ඒ වදන් පාරමීගේ සිත දැඩිසේ කම්පා කලේය.වියපත් වැඩිහිටියන්ගේ මනස යනු බොහෝ සංවේදී වන්නකි.ඔවුන් හුදෙකලා වීම සමග බොහොමයක් මානසික ගැටලු වලට ලක්වන්නේ ඔවුන්හට දැනෙන ජීවිතයේ අස්ථාවර බව නිසාය.ආගම දහමට යොමුවීම ඒ සඳහා ඔවුන් සොයාගන්නා විකල්පයකි.

"මට තේරෙනවා මාලනී ඇන්ටී.මගේ එහෙම අහිතක් නෑ.ඒත් මාලනී ඇන්ටි ගැන වගකීම තියෙන්නෙ මට.අම්මා උන්න කාලේ වගේම ඔයාව බලාගන්න ඕනෙ මම.ඔයා එහෙම තැනකට යනවා නම් මම ඒ තැන ගැන ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනෙ.ඒ බලලා එතන ආරක්ෂාව තියේ නම් මම කිසිමදාක ඇන්ටිට බාධා කරන්නේ නෑ"

පාරමී පැවසුවාය. 

"චූටි මැණිකෙව තනියම දාල මම කොහොමද ඒ උනාට එහෙම යන්නෙ? ලොකු මැණිකෙ ඉන්න තැනක ඉඳන් මට දොස් කියාවි" 

මාලනී ගන්නා තීරණය ගැන දෙඅතකට වැනෙමින් උන්නේද තමා නිසා බව පාරමීට වැටහුණි.

"එහෙම හිතන්න එපා මාලනී ඇන්ටි.ඔයා නෙවෙයි අම්මාට එහෙම යන්න ඕන කීවත් මම ඒකට බාධා කරන්නෙ නෑ.මම ජීවිතේ හැටි තෙරුම් ගන්න බැරි කෙනෙක් නෙවෙයිනෙ.අනික මගේ ගැන බයවෙන්න එපා.මම රටරටවල්වලත් තනියම උන්න කෙනෙක්.මෙහෙ ඉතින් මට හොස්පිට්ල් එකේ ක්වාටර්ස් එක තියනවනෙ.අපි හෙමින් බලමු එහෙමනම් ."

සියලුම බැඳීම් එකින් එක ගිලිහ යන විට ජීවිතේ කුමක්දැයි මනාවට පසක් වෙන්නට ගනී.ඉතින් ජීවිතය ගලායා යුතුය. තම ජීවිතයේ සතුට ඇත්තේ තමා මතම බව පමණක් පාරමී වටහා ගත්තේ ජීවිතයේ යම්කාලයක් ගතව ගිය පසුය.ඉදින් අනෙකෙකු මත තම සතුට තබා බලාපොරොත්තු වන්නට ඇයට අවැසි නොවූ තරම් ය.

              

එළඹි සතියෙහි පාරමීට හදිසි රාජකාරියක් සඳහා කොළඹට යන්නට සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වූ රැස්වීමකටද සමගය. පෞද්ගලික වැඩ කටයුතු රැසක්ද ඉටුකරගන්නට අවැසිවූ හෙයින් පෞද්ගලික වාහනය භාවිත කරන බව පාරමී රෝහල් අධ්‍යක්ෂක වරයාට පැවසුවාය.අනවශ්‍ය ලෙස රෝහලේ වාහනයක් තමා වෙනුවෙන් වෙන්කරගන්නට ඇය අකැමති වූවාය.

උදේ එකොලහ වනවිට සියලු රාජකාරිමය කටයුතු අවසන්කරගත් හෙයින් පාරමී සිය රථය විහාරමහා දේවී උද්‍යානය අසල මාවතේ සෙමින් ධාවනය කළාය.ග්‍රීන්පාත්හි කලා නිර්මාණ බලමින් මොහොතක් ගතකරන්නට අවැසි වුවද කාලය හරස් වන්නට ඉඩ ඇති හෙයින් ඇය රිය පැදවූයේ නිදහස් මාවත දෙසටය.

නිදහස් මාවතේ කෙටි දුරක් ගමන් කරද්දී වාහනයේ ඇසෙන අමුතු හඬක් හේතුවෙන් පාරමී රිය මාවත අයිනට කර නැවතුවාය.නියමිත කාලයට නඩත්තු කටයුතු කරන හෙයින් හදිසි ගැටලුවක් මිස මහා දෝශයක් නම් ඇතිවිය නොහැක.රිය නවතා බැස බැලූ විට බාහිරින් බලාගත හැකි කිසි ගැටලුවක්ද නැතිසේය. පාරමී කල්පනා කලේ කුමක් කරන්නට කියා සිතාගන්නට නොහැකිවය.

මේ කොළඹ තදාසන්නයේ රිය සම්බන්ධව කටයුතු කරගන්නට කිසිවෙක්ද නොමැති තරම්‍ය.

ජංගම දුරකථනයේ ඇමතුම් දිගේ එහෙමෙහෙ මොහොතක් යන විට ඇයට විශ්ව ජයසූරියගේ නම දිස්වූයේ අහම්බෙනි.ඔහු ගේ කාර්යාලය ඇත්තේ කොළඹ බව එක් දිනක් පැවසු බව පාරමීට සිහිවිය.උදව් ඉල්ලන එකෙත් සීමාවක් නෑ කියල හිතාවිද මන්ද...පාරමී සිතුවේ එකෙල මෙකෙල වෙමිනි.නමුත් මේ මොහොතේ කරන්නට වෙන යමක් ඇත්තේද නැත.

සිත හදාගෙන පාරමී විශ්වගේ අංකයට ඇමතුම ගත්තාය.විශ්ව ජයසූරිය ඒ මොහොතේ උන්නේ සිය කාර්‍යාලයේ නිසල් සමගින් ගිණුම් පරීක්ෂාවක යෙදෙමිනි.පාරමීගේ නම ජංගමයේ මුහුණත දුටු ඔහු නිසල් දෙස බැලුවේ මඳ සිනහවක් මුව රඳවාගෙනය.ගනින්.....නිසල් ඔහුට ඉඟිකලේය. විශ්ව ඇමතුමට සම්බන්ධ නොවී එය විසන්ධි වන්නට දුන්නේය.

"පිස්සුද යකෝ, කෝල් එකක්වත් නෑ කියකිය අඬ අඬ උන්නා නේද පහුගිය දවස් වල.අර එහෙ ගිහින් ආව දවසෙ ඉඳන්.දැන් කෝල් එක ආවම ගන්නෙ නෑ."

නිසල් බැණ වැදුණේය. 

"පොඩ්ඩක් හිටපන් .පුදනකොටම කාපි යකා නොවී අපිත් ටිකක් ඉන්න ඕන ගණන් පෙන්නල.ආයෙ ගනීවිනෙ" 

විශ්ව හිනැහුණේ ජංගමය දෙස බලමිනි.එහෙත් එය යළි නාද වූයේ නැත.

"ඔව් ඔය ඉස්සුවෙ ගණන්.දැන් ආයෙ ගනී කියලනෙ කිව්වෙ.කෝ ගත්තා ද? උඹනම් ! ගනින් දැන් ඕකට කෝල් එකක්."

නිසල් අපේක්ෂා බිඳීමෙන් බලා ඉන්නා විශ්වට අතින් පහරක් ගැසීය.විශ්ව පාරමීගේ අංකයට ඇමතුම ගත්තේ එසැනිනි.

"හෙලෝ මැඩම් ගුඩ් මෝනින් !"

පාරමීගේ ජංගමයට සම්බන්ධ වෙත්ම විශ්ව පැවසීය.

"විශ්ව , බිසි ද දන්නේ නෑ.මේ වෙලාවෙ.සොරි කරදර කළාට "

පාරමීගේ කටහඬ බොහෝ වෙහෙසකර බවක් දැනුනි.

"ආ ...නෑ කමක් නෑ.පොඩි මීටින් එකක උන්නෙ.ඇයි ඩොක්ටර් ?"

විශ්වගේ මුවින් පාරමී යැයි කියවෙන්නට ගියද ඔහු යළි ආයාසයෙන් එය මැඩ ගත්තේය.දැහැමි එදා එසේ කීවාට ඇයගේ ප්‍රතිචාරය කෙසේදැයි තමා නොදැන උන් බැවිනි.

"අනේ මට පොඩි කරදරයක් විශ්ව.මම කොළඹ ආවා වැඩ වගයකට.වාහනේ මොකක් හරි අවුලක්.මම මේ පාර අයිනෙ ඉන්නව.මට තේරෙන්නෙ නෑ මොකක් වෙලාද කියල"

පාරමීගේ හඬින් ඔහු අසුනෙන් නැගී උන්නේය.

'කොතනද ඉන්නෙ කියන්න ? මම මිකැනික් කෙනෙක් එක්කන් එන්නම්"

විශ්ව නිසල්ටද අතින් සන් කරමින් එළියට බැස්සේය.

"නිදහස් මාවතේ ඉන්නෙ"

"ඕකේ අපි එන්නම්.ඔහොමම ඉන්න."

විශ්ව නිසල් වෙත හැරෙමින් පැවසුවේය.

"නන්දනට කතාකරල වාහනේකින් ඌත් එක්ක වරෙන් මගෙ වාහනේ පිටිපස්සෙන්.පාරමීගේ වාහනේ අවුලක් වෙලා ඉන්ඩිපෙන්ඩන්ස් රෝඩ් එකෙ ඉන්නව කීව"

නිසල් ඔහුට ඇසක් ඉඟිකොට අත ඔසවා මහපටැගිල්ල එසවූයේ කිසිවක්ම නොකියාය.

විශ්ව සහ නිසල් පැමිණෙන විට පාරමී උන්නේ වාහනයට පිටදී සිටගෙනය.ඇගේ වත දිවා අව්‍ රශ්මියට දහඩියෙන් නැහැවී තිබුණි.

"මොකද උනේ ? " 

විශ්ව ඇය අසලට ආවේ එසේ අසමිනි.

'දන්නෙ නෑ .එකපාරම හිරවෙලා ගැස්සෙන්න ගත්තා.මම මේ පැත්තට අයින් කලා.ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ."

නන්දන නම් වූ කාර්මිකයා ඉදිරිපස කොටස පරීක්ෂාවේ උන්නේ නිසල්ද සමගිනි.

"සර්, මේක අපිට ගරාජ් එකට අරන් යන්න වෙනව.ටිකක් ලොකු අවුලක් වගෙ.බලල මිසක් කියන්න අමාරුයි"

නන්දන පෑඅසූවේ පරීක්ෂා කොට අවසන්වය..පාරමී විශ්ව දෙස බැලුවේ අසරණවය.දැන් කළහැකි කීවක් නැත.

"මම ඉතින් මෙහෙ ගරාජ් දන්නෙ නෑනෙ.මොකද කරන්නෙ?"

නිසල් ඇය වෙත හිනැහෙමින් ආවේ ඒ මොහොතේය.

"වාහන සේල් එකක් තියන පොරක් ළඟ තියාගෙන මොකද කරන්නෙ අහන්න ඕනද ඩොක්ටර් ?"

පාරමී විශ්ව දෙස බැලුවේ දෑස් විසල් කොටගෙනය.ඔහු එක් ඇස්බැමක් ඔසවා ඇයි කියා ඇසීය.පාරමී ඉවත බලාගත්තේ කියාගන්නට දෙයක් නොමැතුවය.

"මෙහෙම කරමු..නන්දන නිසල් එක්ක ඔයාගෙ වාහනේ අපේ ප්ලේස් එකට අරන් යාවි.ඩොක්ටර් ට දැන් කොහෙටද යන්න ඕනෙ? මං ඩ්‍රොප් කරන්නම් එතනට"

විශ්ව ඇසුවේ ඇයගේ අපහසුතාවය තවත් වැඩිකරන්නට අකමැත්තෙනි.

"නැහැ...දැන් කරන්න ආව රාජකාරි වැඩ ටික ඉවරයි.මගෙ වෙන වැඩ ටිකක් තිබ්බෙ.ඒක වෙන දවසකට පුළුවන් .මම එහෙනම් කැබ් එකක් දාගෙන ගෙදර යන්නම්.විශ්වට පුළුවන් නේද මේක ඉවර වෙලා මට කියන්න."

පාරමී ඇසුවේ ඔහුට තවත් කරදර කල නොහැකි හෙයිනි.

"නගින්න .මම ඩ්‍රොප්කරන්නම්."

විශ්ව ඇයට වාහනයේ දොර හැරදුන්නේ එය නැසුනාසේය.පාරමී මොහොතක් බලාහිඳ සෙමින් ඉදිරි අසුනට ගොඩ වූවාය.

පාරමී මොහොතක් නොසන්සුන් බව මැඩ ගනිමින් උන්නාය.විශ්ව ඇය දෙස නෙත් කොණ් බැල්මක් පමණක් හෙලා රිය පණගන්වා ගත්තේය.

"ලන්ච් අරන්ද ඉන්නෙ?"

පාරමී තිගැස්සුනේ ළං ළං ව ඇසුණ ඒ හඬටය.අත රැඳි ඔරලෝසුව වෙත යොමුවූ නෙතඟින් බැලූ විට එක පසුවී විනාඩි විස්සක් පමණ වන්නට ළංව ඇත.උදේ ආහාරයෙන් පසු තේ පානයටවත් නොසිට රැස්වීම අවසන් වූ වහාම අමාත්‍යාංශයෙන් ඉවතට ආ නිසා දැඩි පිපාසයක්ද ඇත.ඒ මදිවාට වතුර බෝතලයද වාහනයේ දමා පැමිණ ඇත.පාරමී හිස දෙපසට සලා නිහඬ වූවාය.

"මාත් කාල නෑ.ලන්ච් අරන් යමුද?"

විශ්ව ඇසුවේ පාරමී දෙස මඳක් හිස හරවා බලමිනි.සිතේ ඇතිව ඇති චකිතය කුමක්දැයි පාරමීට සිතාගන්නට නොහැක.ඇය හිස සලා කැමැත්ත පැවසූ පසු විශ්ව රිය ධාවනය කලේ මුහුදුබඩ සුන්දර අවන්හලක් වෙතය.

රිය අංගනයේ වාහනය නැවතූ විශ්ව ඉන් බැස පාරමී ඉන්නා දෙසට පැමිණෙන තුරුත් ඇය උන්නේ කල්පනාවකය.

"බහින්න මැඩම්.අපි ආවා."විශ්ව සිනහසෙමින් පැවසුවේය.පාරමී තිගැස්සී ඔහු දෙස බලා රියෙන් බැස ගත්තේ තමා වෙනම ලෝකයක හුදෙකලාවීම ගැන පසුතැවෙමිනි.

මුහුදු රළ හෝ නදින් පෙරළී එනු පාරමී බලා උන්නාය.ඇයගේ කෙටි කෙස් රොදවල් මුහුණ පුරා දැවටෙමින් ඇයගේ ධ්‍යානය බිඳී.විශ්ව මොහොතක් ඇය දෙස ම බලා උන්නේය.


"මොනවද බොන්නෙ?" 

විශ්ව ඇයගේ දැහැන බිඳලමින් ඇසුවේය.පාරමී ඔහුදෙස ඇස් ලොකු කොට ගනිමින් බැලුවාය.

"ඔච්චර ඇස් ලොකු කරල බලන්න මොකද ? මම ඇහුවෙ බොන්නේ මොනවද කියලා ...ලයිම් ජූස් or anything you prefer?"

විශ්ව හමුවේ තමන්ගේ මේ වික්ෂිප්ත භාවය පාරමීටම සිතාගන්නට නොහැකි තරම් ය.

සිත තුළ ගොඩනැගෙන්නාවූ චකිතය තමාගේ සරල හැසිරීම් රටාව සොරාගෙන ගියාක් මෙන් ය.

"ඔයා ඔහොම ඉන්නකොට මට හිතෙන්නෙ මං අකමැත්තෙන් ඔයාව මෙතනට එක්ක ආවා වගේනෙ ඩොක්..."

විශ්වට සිය වදන් ඉවර කරගන්නට නොහැකි වූයේ පාරමී හඬ මතුකල හෙයිනි.

"පාරමී...මගෙ නම පාරමී..ඩොක්ටර් නෙවෙයි."

පාරමී ඔහු දෙස බලාඋන්නේ නොපහන් ඇසිණි.විශ්ව අසුනේ පිටුපසට ඇදී එහි ඇන්දට හිස තබා ගෙන අහස දෙස බලා හිනැහුණේය.ඒ හිනාව සැබවින්ම සුන්දරය.

"ලයිම් ජූස් දෙකක් ගේන්න කියන්නද එහෙනම් පාරමීටයි මටයි" 

වේටර්වරයා එනු දැක විශ්ව පැවසූවේ තාලයකට මෙන් පාරමී යන්න ඇදපැද පවසමිනි.පාරමීට ඔහු එය පැවසූ තාලයට හිනායන්නට ආවේය.

"හිනාවෙන්න හිනාවෙන්න...ඔය හිනාවල් හංගගෙන ඉන්න හොඳ නෑ...මේ මං වගේ හිනාවෙන්න අමතක මිනිස්සුන්ට ඔහොම හිනාවක් දැක්කත් ජීවිතේ සැනසීමක් දැනෙනවා"

විශ්ව පැවසූවේ සිනාරහිත මුහුණෙනි.පාරමි මොහොතක් ඔහු දෙස බලා උන්නාය.කෙසේ වුවද විශ්ව ජයසූරිය සිටුන්නේ යටපත්ව ගිය මාඅනසික පීඩනයක ගිලී බව ඇයට වැටහුණි.

"විශ්ව...මට ඔයාට කවුන්සලින් කරන්න වෙලාවක් හොයාගන්න නම් අමාරුයි..."

පාරමී කතාව මොහොතකට නවතා ඈත මුහුද දෙස මොහොතක් බලා උන්නාය..විශ්වගේ ගැඹුරු සුසුමක බර මුහුදු සුළඟ සමග පාවී විත් තම දෙසවනේ හැපෙනු පාරමීට දැනුනි.

" It is ok , මම ඉතින් එදාට පස්සෙ ඒ request එක ආයෙ ඔයාට කලෙ නෑනෙ...ඒක ඉතින් මගෙ වෙලාව ..what to do ?"

විශ්ව පැවසූවේ ඇය දෙස නොබලාය.ඒ හඬේ වූ කලකිරීම සහ අපේක්ෂා භංගත්වය පාරමී ට මොනවට වැටහුණි.

"ඉතින් ඔයා මට කතාකරන්න දෙන්නෙ නෑනෙ විශ්ව...කියල ඉවර කරන්න කලින් ඔයා මැදින් පනිනවනෙ..අපේ අම්මා නම් කියන්නෙ මිනිස්සු අනෙක් කෙනාට කතාකරන්න ඉඩ නොදී මැදින් පනින එකෙන් හුඟාක් අයගේ සංවාදයන් මග කඩාකප්පල් වෙනව කියල...." පාරමී පැවසුවාය. 

"සොරි සොරි මැඩම්...ආයෙ පනින්නෑ...හරි ඉතින් කියන්නකො...."

විශ්ව කන්දෙක අත් දෙකින් අල්ලා හිස පහත් කලේය.

"කවුන්සලර් කෙනෙක් වෙන්න මට කාලය නැති උනාට ඔයාට හොඳම යාළුවෙක් වෙන්න මට කාලය තියනවා...මොකද කියන්නෙ "පාරමී ඇසුවේ සිනාමුසු මුවිනි.

" are you sure..? Is this real..? පාරමී I cant believe this.."විශ්ව ගේ සිනහව උතුරාගියේ කුඩා දරුවකු බලාපොරොත්තු වූ තෑග්ගක් ලැබුණ පරිද්දෙනි.

"ඔව් ..ඇයි..අපිට හොඳම යාලුවො වෙන්න බැරිද? "පාරමී ඇසුවේ විශ්ව දෙස බලාගෙනමය.

"Sure promise පාරෝ.....ඔයා මට හොඳම යාළුවෙක් වෙයි...."විශ්ව ඇයට සිය දෝතම පෑවේය.පාරමී හිත පිරුණු මිත්‍රත්වයෙන් ඔහු දෑත අල්ලාගත්තාය.

"මොකක්ද අර කිව්වෙ....මගෙ නම...?ආයෙ කියන්න බලන්න.."පාරමී හිනැහුණේ විශ්වගේ ඇමතුමටය.

"පාරමී පාරමී කීවම ඒක ටිකක් දිගායි දුරයි නෙ...මම මට ඕන විදියට ඔයාගෙ නම වෙනස් කලා ඔන්න "විශ්ව පැවසුවේ සතුටින් පිනායමිනි.

පාරමී දිවා ආහාරයද ගෙන විශ්ව සමගින් ආපසු නිලනිවස වෙත පැමිණියේ කෙතෙක් බලකලද ඔහු ඇයව කැබ් රථයක යැවීම ප්‍රතික්ෂේප කල හෙයිනි.

"මගෙ වාහනය කවදා හම්බ වෙයිද විශ්ව? "පාරමී ඇසුවේ වාහනයක් නොමැතිව සති අන්තයේ ගමේ යාමට අසීරු හෙයිනි.

"බලමු අපි ආනන්දට කතාකරල.."විශ්ව ඇමතුමට සම්බන්ධ වූයේ වාහනය පදවන අතරේමය. පාරමී ඔහුගේ අතට මඳක් තට්ටුකර වාහනය මාවත අසල නවත්වන ලෙස ඉඟිකලාය.

"නීතිවිරෝධී වැඩ කරන්න එපා...තේරුණාද? අපේ රටේ නූගත් මිනිස්සුන්ට එහා උගත් මිනිස්සු..ඔක්කොම මාර්ග නීති කඩන්නෙ එයාල.."පාරමී විශ්ව වාහනය නවතන තුරු කියෙව්වාය.

"ආනන්ද..මොකද අර මැඩම්ගෙ වාහනේ තත්වෙ..?" පාරමීගේ කියවිල්ලට විරිත්තමින් විශ්ව ඇමතුමට සම්බන්ධ විය.විනාඩි කිහිපයක් ඇමතුමට කල් ගත කල විශ්ව පාරමී දෙස බැලුවේ යටිතොල පිට පෙරළමිනි.

"දවස් දෙකක් විතර අඩුමගානෙ යයි වගෙ..මොකද කරන්නෙ..මං කැබ් සර්විස් එකෙන් එකක් එතකල් ටෙම්පරරි එවන්නද ..?" විශ්ව ඇසුවේ පාරමීහට ගමේ යෑමේ අවශ්‍යතාවය තදබල ලෙස ඇති බව දන්නා හෙයිනි.

"අපෝ එපා විශ්ව..මට කැබ් සර්විස් අයව ශුවර් නෑ..අනික එහේ ටිකක් ඇතුලට වෙන්න පාළුයි ..බයයි එහෙම යන්න.අපි මේ වීකෙන්ඩ් එක නොගිහින් ඉන්නම්."පාරමී ඒ අදහස ප්‍රතික්ෂේප කළාය.

විදෙස් ගත ව උන් කාලය පුරාවට ඕනෑම රැයක ඕනැම මගක යන්නට කිසිදු බියක් නොවූවද ලංකවට ආ මුල් දිනවල පටන් තමා අසන්නට කියවන්නට ලද බොහෝ සිද්දීන් මත පාරමී ඉතා පරෙස්සම් වූයේ ගමනාගමනයේදීය.

"මගේ කැබ් සර්විස් එකේ එකක් මම එවන්නෙ ළමයො.නොදන්න එවුන් ඒකෙ නෑ..." විශ්ව ඉතා සැහැල්ලුවෙන් පැවසීය. විශ්ව යනු මහා ව්‍යාපාරික ජාලයක හිමිකම් කියන්නෙක් බව වැටහුණද ඔහුගෙන් එසේ උදව් ගැනීම සුදුසු නොවේ යයි පාරමීට සිතුණි.

"නෑ විශ්ව , මේ සතියෙ මම ක්වාටර්ස් ම ඉන්නම්.ඕනනෑ"පාරමී රෝහල අසලදී රියෙන් බසින්නට පෙර පැවසුවාය.ඇයට බලකිරීම නුසුදුසු බව වැටහුණු හෙයින් විශ්ව හිසවනා එය පිළිගත්තේය.

              

ආපසු කාර්‍යාලයට පැමිණෙන මොහොතේත් විශ්වගේ මුහුණේ තිබුනේ නොනැසුණ සිනහවකි.

මොකෝ මස්සිනා වැඩේ හරිද ? නිසල් ඇසුවේ විශ්වගේ ඉදිරිපස අසුනේ හිඳගනිමිනි.කිසිවක් නොකියූ විශ්ව සිය අසුනේ පිටුපස ඇන්දට හිස තබා දෑස් පියාගත්තේය.ඔහුගේ මුහුණේ ඇත්තේ කිසිදාක නොදුටු තරම් සැනසුම් ස්වභාවයකි.නිසල් මොහොතක් ඒදෙස බලාඋන්නේය.

අර මොනවද එකක් ගහපු එකෙක් වගෙ ඒ ගමන ඇස් වහන් තනියම හිනාවෙනව.උඹ හින්ද කට්ටකෑවට මාත් හැදෙන එකෙක් නෙවේ.තව මෙතන මුගෙ නාඩගම් බලබල ඉන්නව

නිසල් බොරු තරහක් පෙන්වමින් නැගිට ගියේය.සිය මිතුරාට අවැසි මොහොතක් තනිවන්නටය.ඇතැම් විට ඔවුන් අතරේ කුමක් හෝ කතාවෙන්නට ඇත.කතාවූයේ කුමක් වුවද ප්‍රතිපලය සුබදායී එකක්සේය.

ඕන වෙලාවක කියන්නෙ නැතැයි..සිතමින් විසල් කාමරයේ දොර අසල සිට ජංගමයෙන් විශ්ව ඉන්නා ඉරියව්ව ඡායාරූප ගත කරගත්තේය.

මේවා මතු ප්‍රයෝජනයට ...සිනාසෙමින් ඔහු කියාගත්තේය.

****************************************************************************** 

යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

විසිරි සිහින 


No comments:

Post a Comment