Monday, March 6, 2023

16 වෙනි කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

16  වෙනි කොටස

15  වෙනි කොටසට මෙතනින් 15



 විශ්ව පාරමීගේ නිවසේ සාලයේ එලූ පැදුර මත දෑතම බැඳගෙන ස්වාමීන් වහන්සේ දෙසූ බණ අසා උන්නේය.නිසල් ඔහුට යාබදව ඉඳගත්තේ පාරමී ව දෑසින් පෙන්වමිනි.

එහෙත් කුමක්දෝ කිව නොහැකි සන්සුන්කමක් මුලු හිතම පුරා බණ අසද්දී පැතිර යනු විශ්වට වැටහිණි.තමාගේ නෙත් මානයේ බොහෝ සන්සුන්ව එකත්පස්ව සිටිනා පාරමී ඇස මෙන්ම සිතද සනහන සුලු දසුනක් විය.කියාගන්නට අපහසු ශෝකී බවක් ඒ වතෙහි තිබුණද ඇය ඇත්තෙන්ම සුන්දරය.

ජීවිතයේ ඇති අතිර බව මෙන්ම පලදායී යහපත් දිවියක් ගතකරන්නට අවැසි කරුණු කාරණා බොහොමයක් සැකෙවින් පැහැදිලිව දේශනා කල ස්වාමීන් වහන්සේ පාරමීගේ අම්මාගේ ජීවිතයෙන් සැමදෙනම ගතයුතු බොහෝ වටිනා ගුණාංග ඇති බව ද දේශනා කලහ.

මාලනී පවා ඒ බණ අසා උන්නේ නිවුණු සිතැතිවය.ජීවිතය දවාලන සිත් වේදනා අකාමකා ලිය හැකි දහම් කරුණු ජීවිතයට කෙතරම් අගනේදැයි විශ්වට පවා ඒ මොහොතේ සිතුණි.

ස්වාමීන් වහන්සේ නික්ම ගිය පසු රාත්‍රී ආහාරය සඳහා විශ්ව සහ නිසල්ට ඇරයුම් කල හෙයින් ඔවුන් නැවතුණ අතර දැහැමි ගේ අම්මා සහ මාලනී මුලුතැන්ගේ වෙත ගියේ ගමෙන් පැමිණි අසල්වැසි කීපදෙනෙක්ද උන් හෙයිනි. අම්මාගේ හදිසි අවමංගල කටයුතු වලට එන්නට නොහැකි වූ හෙයින් බණට සහ දානයට ඔවුන්ට පැමිණීමට අවශ්‍ය විය.ගමේ නිවස බලාකියාගන්නා අසල්වාසී අය කවදත් පාරමී ගේ අම්මාට සහ ඇයට හිතවත් වූහ.ඉදින් අම්මාගේ වියෝව ඔවුන්ටද මහා ශෝකයක් විය.

විශ්ව නිසල් සමගින් මිදුලට බැස්සේ පැමිණ සිටි අය ආලින්දයේ කතාබහේ යෙදෙන හෙයිනි.

මචං කෑම සුවඳක් නම් එනවා.බඩගින්න ඩබල් වෙනවා.

නිසල් බඩ අතගාමින් සෙමින් පැවසුවේය. 

ඉන්න ඉන්න ඉක්මනින් කෑම ලැස්ති කරන්නයි අම්මල ගියේ.

ඒ කතාව අසල උන් දැහැමිට ඇසේ යැයි නිසල් සිතුවේ නැත. විශ්ව " උඹට ඇත්ද?" යන බැල්මෙන් නිසල් දෙස බැලුවේය. තැන නොතැන නොබලා කියවන්නට ගොස් ලැජ්ජාවීම නිසල්ට ගාණක්ම නැත.

බඩගින්නට බඩගිනී නොකියා වෙන මක් කියන්නද නංගී, නේද ? 

නිසල් ගණනකට නොගෙන සිනහසුනේය.ආලින්දයේ උන් කිහිපදෙනා සමග කතාකරමින් උන් පාරමී ඈත මෑත බැලුවේ විශ්ව ලා පෙනෙන්නට නොමැති හෙයිනි.ඒ දුටු දැහැමි ඇයට අතවනා කතාකලාය.

සඳ එළිය මිදුලේ ගස් අතරින් බිමට පහත්වෙයි.කලුවර ඡායා අතරින් පෙරෙන සඳ එළිය හිතට එක්කරන්නේ ශාන්තිදායක හැඟීමකි.අම්මා සිටවූ දෑසමන් වැලේ පොහොට්ටු ඇහැරෙමින් ඇති බව දසත පැතිරෙන සුවඳ කියයි.පාරමී හෙමින් හමනා සුළඟට ඉව ඇල්ලුවාය.

විශ්ව උන්නේ ඔවුන්හට පිටුපාගෙන වැට අද්දරටම ගොසිනි.පාරමී නිසල් සහ දැහැමි ට නිවසට යන ලෙස පවසා විශ්ව උන් දෙසට ඇවිද ආවාය.වියළි කොල සර සර නදින් පෑගෙන හඬට විශ්ව හිස හරවා බැලීය.පාරමී මඳ සිනහවක් දරාගෙන ඔහු අසල නැවතුණාය.

මේ වගේ ටවුන් එකකට කිට්ටු තැනක මෙහෙම තැනක් තියෙයි කියල හිතාගන්නවත් බෑ

විශ්ව පැවසුවේ යළි පරිසරය දෙසට නෙත් හෙළමිනි. ඇස් කොණට ළං ළං ව පෙනෙනා ඇගේ රුව විඳගනිමින්ම ඔහු ඈත වෙල් යායට ඔබ්බෙන් අහසෙ පායා ඇති සඳවත දෙස බලාඋන්නේය.

මෙතන මට හම්බ වුණේ අහම්බෙන්. අම්මයි මාලනීයි හොරණ දාල මට ක්වාටර්ස් ඉන්න හිතුණෙ නෑ...ඉතින් ඒ නිසා මේ ගෙවල් හොය හොය යද්දි මේ ගේ අපිට හම්බ වුනේ..ඒත් අවුරුද්දකට කිට්ටු කාලයක්නෙ අපිට මේකෙ එකට ඉන්න ලැබුණෙ.දැන්නම් මේ ගෙවල් මොකටද කියල හිතෙනව

පාරමී දොඩමලු වූවාය.

මේක විකුණන්න නම් එපා.මනුස්සයෙක් ට ඉන්න හිතෙන වටිනම තැනක් මේක.කොච්චර හිත නිවෙනවද මෙහෙම තැනකට ආවම. අපි කොන්ක්‍රීට් මැදුරුවල හිරවෙලා..ඉතින් අපිට මෙන්ටල් ඉෂූස් එන එක අහන්න දෙයක්ද ?

විශ්ව තමාටම මෙන් කියාගත්තේය.

මේ කරදර අස්සෙ මට අහන්න මතක් වුණෙත් නෑ.ඔයාට දැන් කොහොමද මිස්ටර් ජයසූරිය? 

පාරමී ඇසුවේ ඔහු දෙස බලමිනි.

I prefer if you calling me Wishwa.

ඔහු ඇසූ පැනයට පිලිතුරු දීම පසෙක ලා පැවසුවේ පාරමී ගේ මේ ඇමතුම බෙහෙවින් සිතට යාන්ත්‍රික වූ හෙයිනි.

මොන මගුලක් ද බං.හැම තිස්සෙම මිස්ටර් ජයසූරිය කියනව.මට මල පනිනව. මෙච්චර පැහැදිලි නමක් තියන එකේ ඒකෙන් කතාකරන්න බැරිද ?

පෙර දවසක විශ්ව නිසල් හා කියෙව්වේද මේ ඇමතුම් ස්වභාවය ගැනය.

අම්මපා ඕයි, මම එදා මිස්ටර් පෙරේරා කියල චැනලින් එකේදි මට කීවම වටපිටත් බැලුණා වෙන කා හරි චැනල් රූම් එකේ ඉන්නවද කියලත්. ඔහොම තමා බං ඉතින් නම්බුදීලා කතාකරන එකත් ගැම්මක්නෙ හා නැද්ද ?

නිසල් මහ හඬින් සිනාවූයේ එසේ කියමිනි.

පාරමී විශ්වගේ ඒ ප්‍රකාශයට සිනාවී පිළිතුරු දුන්නාය.

වෙන රටවල් වලදි නම් අපි කාටවුනත් ෆස්ට් නේම් එකෙන් තමා කතාකලේ.ඒත් මේ ලංකාව අමුතුම රටක් වෙලානෙ.ඉතින් මෙහෙ ආවම මාත් ඒවට ගැලපෙන්න වෙනස්වුණා.

විශ්ව ඉවත බලා ගෙන හිස වැනුවේ පාරමී කියූ දේවල යම් සත්‍යයක් ඇති හෙයිනි. 

ඔයාගෙ බෙහෙත් ඉවරයි නේද දැන්? ආයෙ බෙහෙත් ඕනනෑ. 

පාරමී විශ්ව සමගින් නිවෙස වෙත ගමන් කරමින්ම පැවසුවාය.

අපොයි ඔව් මට ආයෙ බෙහෙත් එපා.මට කවුන්සලින් කරන්න කැමතිත් නෑනෙ ඉතින්. 

කුඩා කොලුවෙක්ගේ බඳු නෝක්කාඩු ස්වරයට පාරමී හිනැහුණේ බිම බලාගෙනය.

මදැයි මාත් ඉඳල ඉඳල ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න හිත හදාගත්ත.

මේ කියවිල්ල නම් ඉවරයක් නැති පාටය.විශ්ව යනු මේ අන්දමින් කතාකරන්නෙක් යැයි පාරමී සිතුවේද නැත.එහෙත් ඇය ඔහුගේ වදන් වලට පිළිතුරු දුන්නේද නැත.මුව පිපුණු මඳ සිනාවෙන් යුතුවම නිහඬ බව රකින ඇය දෙස විශ්ව මඳක් බලාඋන්නේය.

                                            

                                                                *** 

රාත්‍රී ආහාර ගත් පසු නිසල් විශ්ව වෙත පැමිණියේ... 

"යමන් දැන්වත් ගෙදර .උඹ මෙහෙ බින්න බහින්නද හදන්නෙ අදම"

...යැයි කුටුකුටුගාමිනි.අසල කිසිවෙක් නොවූවද විශ්ව සිය මිතුරාගේ නොනවතින කියවිල්ල ගැන බොහෝසේ නොරිස්සුම් වූයේ අනවශ්‍ය ගැටලුවක් ඇතිවේයැයි බයෙනි.

"කට කට ..ටිකක් තැන නොතැන බලල කියවපන්කො බං. නැත්නම් යන්න කලින් අපිව එළවයි.යමු යමු කොහොමත් දැන් රෑවෙලා."

පාරමී සහ දැහැමි ආලින්දයේ කතාබහක යෙදී උන් තැනට යමින් විශ්ව පැවසීය.ඔවුන් අසලට එත්ම අසුනෙන් නැගී උන් පාරමී ගේ මුහුණේ ද නොනැසුණ මඳ සිනහවක් විය.

"අපි එහෙනම් ගිහින් එන්නම් ඩොක්ටර්"

විශ්ව පැවසූවේ පාරමී දෙස බලාගත්වනමය.

"මොකක්ද විශ්ව අයියා.මේ හොස්පිට්ල් එකවත් ඔයා පාරමීගෙ ලෙඩෙක්වත් නෙවේනෙ මෙතන.හැම තිස්සෙම ඩොක්ටර් ඩොක්ටර් ගාන්නෙ.ඒ ළමයට නමක් තියෙනවනෙ."

දැහැමි පැවසූ දෙයට පාරමී ද හිස වැනුවාය.

"මං ඉතින් කොහොමත් බෙහෙත් ගන්න ආව ලෙඩානෙ නංගි.ඩොක්ටර් මාව බාරගත්තෙ නෑනෙ."

විශ්වගේ මේ කතාව නවතින පාටක් නැත. පාරමී මඳ රැවුමකින් ඔහු දෙස බැලුවාය.ඒ රවා බැලීමට විශ්වගේ මුහුණේ ඇඳුණේ දඟ සිනහවකි.පාරමී නිහඬව ඉවත බලා ගත්තාය.

"එහෙනම් අපි යනවා.ගුඩ් නයිට් දෙන්නටම.යමු නේද මචං"

විශ්ව නිසල් දෙස බලමින් ඇසීය.

"හෙට උදේ ඔෆිස් යන ගමන් මේ පැත්තෙන් පුළුවන් නම් එන්න.උදේ දානය අපි පන්සලට සකස් කරල දෙන්නෙ.හැබැයි ආවොත් කන්න දෙනවා."

දැහැමි පැවසුවේ මිතුරන් දෙදෙනාටමය.

"හෙට එන්න වෙන එකක් නෑ නංගි. අපි දෙන්නට හෙට නුවර යන්න වෙනවා පොඩි වැඩකට."

විශ්ව පැවසුවේ නිසල්ගේ දෑස් විශ්මයෙන් ලොකු කරමිනි.
මම දන්නෙ නැති නුවර ගමන මොකක්ද යකෝ...නිසල් සිතින් සිතමින් දෙමිතුරියන්ගෙන් සමුගත්තේය.

"මොකක්ද බං නුවර ගමනක් කීවෙ...අපි එහෙම එකක් දාගත්තා ද?"

වාහනය මාවතට පිවිසි පසු නිසල් විශ්වගෙන් ඇසුවේ සිය මතකය පිරික්සා එසේ යොදාගත් ගමනක් නොවූ හෙයිනි.

"නෑ ඒක බොරුවක්.මචං මෙහෙමයි, එයාල එන්න කියන පලියට අපි එහෙම යන්නම ඕනනෑනෙ.පාරමීත් එක විදියක මනුස්සයෙක්.උඹට ඒක පේනවනෙ.අපි ඕනවට වඩා පැනල දෙන්න ඕන නෑ..."

විශ්ව පැවසූවේ කල්පනවේ යෙදෙමින්ම් වාහනය ප්දවන අතරේදීය.

"ඒකත් ඇත්ත , පාරමී හැදුණ විදිය බැලුවම එයාව වැදගත් තාලෙට අම්මා හදල තියෙන්නෙ.මෙච්චර කල් නොහිටි පිරිමි යාලුවො එකපාරට කඩා පාත්වෙනකොට ඔය ඇවිල්ල උන්න අය උනත් වරදවා හිතන්න පුළුවන් තමා"

නිසල් සිය අදහස එක්කලේය.
              
"හොඳ කොල්ලො දෙන්නා මොක උනත්..."

ඔවුන් පිටත්ව යන දෙස බලා උන් දැහැමි පැවසුවේ තමන්ටම මෙනි.පාරමී ඒ නෑසුණාක් මෙන් මාවත දෙසටම යොමුවූ නෙතින් බලා උන්නාය.විශ්ව ජයසූරිය යනු ඇත්තෙන්ම විශේෂ පුද්ගලයෙකි.ඔහු තමාට හමුවූ දා පටන් අද වනතුරු හමුවූ අවස්ථා පාරමීට හොඳින් මතකය.මානසික අසමතුලිත භාවයකින් යුතුව තමාගෙන් ප්‍රතිකාර ගන්නට ආ විශ්ව ජයසූරියත් මේ අද උන් ඔහුත් එක් අයෙකු නොව දෙදෙනෙකු යැයි සිතෙන තරමට හැසිරීම සහ සිතුම් පැතුම් වෙනස් ය.

"උඹ ලොකු කල්පනාවක.."

දැහැමි පාරමී ගේ උරහිසට අත තබා පැවසුවාය .වෙන මොහොතක වුණා නම් විහිලුවක් කරන්නට පසුබට නොවන මුත් මේ අම්මාගේ වියෝවේ තුවාල වල වේදනාව තවම ඇති කාලය හෙයින් දැහැමි ඉතා ඉවසීමෙන් වචන හැසිරුවාය.

"මම කල්පනා කලේ විශ්ව ගැන.එයා හරි වෙනස් මනුස්සයෙක්.මම එදා උඹට කිව්වනෙ නහරයක් පුපුරළා මැරෙන්න යන තරම් කේන්ති ගන්න කෙනෙක් කියල. ඒ වගේම මාරම ආවේගශීලියි . ඒත් මේ දවස් වල වෙනම මනුස්සයෙක් වගෙ හැසිරුණෙ"

පාරමී පැවසුවාය.සිය යෙහෙළිය පිරිමි අයෙක් ගැන මෙසේ තමා සමග කතාකලාම වෙන්නට ඇත.ඔහු ඇයට යම් ප්‍රමාණයකින් හෝ විශේෂ බවක් දැහැමිටද වැටහෙමින් තිබුණි. 

"විශ්ව අයියාට ඔහොම වුණේ එයාගෙ අම්මා නිසයි කියල මට හිතුණෙ අපේ අම්මලා කියපු ඒවා ඇහුවම."

දැහැමි පැවසුවාය.පාරමී ට සිහිවූයේ පසු දවසක නිසල් තමා හමුවට විත් පැවසූ දෑය.එවන් දරදඬු පාලනයක උන් විශ්ව අද මෙසේ හැසිරීම අමුතු දෙයක් නොනොවන බව පාරමී අත්දැකීම් තුළින්ම ඇදහුවාය.

දරුවකුගේ පෞරුෂය ගොඩනැඟෙන්නේ නිවස තුලිනි.මූලිකවම දරුවකුගේ අභ්‍යන්තර සහ බාහිර සංවර්ධනයට නිවෙසේ පරිසරය සහ නිවැසියන්ගේ චර්‍යා රටා මහා බලපෑමක් කරයි.පෙර පාසලකට හෝ පාසලකට යන්නට පෙර දරුවකු නිවසේ ගතකරන කාලය තුල ඔවුන් ගේ මුල් අත්‍තිවාරම දැමීම දෙමවුපියන් විසින් බොහෝ ප්‍රවේශමෙන් කල යුතුය . තමන් අතින් සිදුවන ඉරිතැලීම් දරුවාගේ අනාගත දිවියටම බලපාන අන්දම සමහර දෙමවුපියන් වටහා ගන්නේ නැත.

"විශ්ව ගෙ මුල් හැසිරීම් එක්ක බැලුවම මේ දවස් කීපයෙ එයා හැසිරුණ විදිය හුඟක් වෙනස්.මාරම වගකීමෙන් අවබෝධයක් ඇතුව ඉවසීමෙන් අනෙක් අයට ප්‍රතිචාර දැක්වුවෙ.ඇත්තෙන්ම එයාට උදව් කළාට කමක් නෑ කියල මට හිතෙනවා."

පාරමී කල්පනාවේ ගැලෙමින්ම පැවසුවාය.

"ඒක ඇත්ත බං. මොකක් උනත් මනුස්සයෙක් ගොඩගන්න එකනෙ වටින්නෙ.අනික එයාගෙ විදියට අනුව ලේසියෙන් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න කැමති වෙන්නෙ නැතුවලුනෙ උන්නෙ.ඔය උඹ ගාවට ආවට"

දැහැමි පැවසුවේ පාරමීගේ අදහස අනුමත කරමිනි.

"ඔච්චර විස්තර කොහොමද දන්නෙ උඹ ?මේ ටිකට..."

දැහැමි දෙසට හැරුණ පාරමී ඇසුවෙ නලලතද රැලිකරගනිමිනි.

"අර රෑට කන්න කලින් අපි මිදුලෙ ඉද්දි නිසල් අයියා මා එක්ක කතාකලේ විශ්ව අයියා ගැන.ඒ වෙලාවෙ තමයි ඕවා කිව්වෙ.මිනිහට උඹව මාරම ට්‍රස්ටින් ලු.ට්‍රීට්මන්ට් ගන්න කැමති වුනේ උඹෙන් විතරමයි කීවා.ඒ නිසා අපි ටිකක් බලමුනේද ?"

"නිසල් තව මොනවද කිව්වෙ?"

කුතුහලය මැඩ ගත නොහැකිව පාරමී ඇසුවාය.

"ඔය අම්මාගෙන් එන ප්‍රෙශර් එක වැඩි දවසට මිනිහා ඔෆිස් එකේ යකාම නටනවලු.අන්තිමට ගිහින් නවතින්නෙ පබ් එකකලු.බීලාම නාස්තිවෙයි කියල බයෙන් උන්න කාලෙකලු ඔයා ගාවට එක්ක ආවෙත්..."

දැහැමි පැවසූ කාරණා පෙරදවසක නිසල් තමාහටත් පැවසූ බව පාරමී ට සිහිවිය.

"ඊට වඩා ප්‍රශ්න ගොඩක් විශ්වට තියනව ඩොක්ටර් , ඒත් ඒවා අතිශය පෞද්ගලික කාරණා.ඒ නිසා මට ඒවා කියන්න බෑ.නමුත් ඩොක්ටර් එයාට කවුන්සලින් කරන්න ගත්තොත් විශ්ව අනිවාර්යයෙන් ඩොක්ටර්ට ඒවා කියනව"

එදා නිසල් පැවසු බවද පාරමී ට මතකය.කෙසේ වතුදු නිසල් යනු විශ්වට සිටිනා සමීපතම මෙන්ම විශ්වාසවන්තමද කෙනා බව එදින පාරමී වටහාගත්තාය.

"හ්ම්ම්....බලමුකො.."

පාරමී හිස දෙපසට මඳක් සලා නැගී උන්නේ ගෙතුළට යාමටය. ඈතින් හමා එන දෑසමන් සුවඳ තවමත් ආලින්දයේ සැරිසරමින් පවතිනු ඒ මොහොතේත් ඇයට දැනුණි.

                                                                    *** 

යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)


2 comments: