Thursday, October 15, 2020

18. දහ හත් වෙනි දිග හැරුම (සඳක් සේ)

කඳුමුදුනේ සිට හාත්පසින්ම පෙනෙන කඳුවලල්ල දෙස සඳමිණි දෑස් විසල් කොට බලා උන්නාය...මේ නම් සුරපුරයක් මය....ජීවිතේ කෙතරම් සුන්දර දේ මඟ හැරෙන්නට ඇත් ද ....?
.."
" සඳමිණි එන්න කෑම කාල ටිකක් ඉඳල අපි ආපහු යන්න ඕන...." උදාර හඬ උස් කොට ඇමතීය..
.
සඳමිණි ආපසු හැරී පැමිණෙන විට උදාර සිහින් ජල උල්පතක් අද්දර ඇකිලිය හැකි අතුරනයක් එලා ඒ මත බෑගය සහ කෑම සහ වතුර බෝතලය තබා තිබුණේය.
.
" සර් කෑමත් අරන් ආවද..?."
සඳමිණි විශ්මයෙන් ඇසුවාය....
.
" නැත්තං ඉතින් මම දුනු ඊතල අරං ඇවිල්ල සතෙක් එලාගෙන ගිනි ගොඩක් ගහල පුච්චන් කනව කියලද හිතන් උන්නෙ...." උදාර මහ හඬින් සිනාවිය...
.
" හයිකින් ට්‍රැවලින් කරනව නම් අත්‍යාවශ්‍ය දේවල් අනිවාර්යයෙන් අරන් යන්න ඕන....ඒක පුරුද්දක් ...මේ හදිසි ගමන නිසා මෙහෙම ආවට....ප්ලෑන්ඩ් එකකදි නම් ටෙන්ට් එක , ස්මෝල් ගෑස් එකක්...පවා ගෙනියනව..."
උදාර සිය අත්දැකීම් විස්තර කරමින්ම නවාතැනින් ගෙන ආ කෑම එක දිග හැරියේය...

" මං විතරනෙ එන්න උන්නෙ ...ඉතින් ලොකුවට කෑම එකක් නම් නෑ.. මේ ඇති...ගිහින් රෑට කන්න බැරියැ ....."
උදාර කෑම කන ලෙස අභිනයෙන් හඟවා කෑම පටන් ගත්තේය...
.
සඳමිණි ජීවිතයේ කිසිදාක නැති තරමින් සැහැල්ලු වූවාය.. සුන්දර පරිසරය, උදාරගේ හැසිරීමේ ඇති සරල බව...මේ සියල්ල ඇයට ගෙන ආවේ ආශ්වාදයක්මය....
.
" කොහොමද ගමන....සතුටින් ද....?"
උදාර ආපසු එනගමනේදී සඳමිණි ගෙන් විමසීය...
.
" මට කියන්න වචන නෑ සර්... ජීවිතේ මං කිසිම දාක මෙහෙම ඇවිදල නෑ...ඒකට ආස වුනත් ඉඩක් ලැබුණෙම නෑ...මට නිකම් ඉගිල්ලෙන්න හිතෙනව..."
ඇය දෑත් විදහා දෑස් පියාගෙන පැවසුවාය...උදාර නිහඬ සිනාවකින් ඇය දෙස බලා උන්නෙය ...
.
" එහෙම නම් මගේ ගමන සාර්ථක එකක් කියල මාත් හිතනව....." උදාර පැවසීය ....
.
ඔවුන් නැවත පුහුණු මධ්‍යස්ථානය ට එනවිට බියංකා මග බලා උන්නාය...සඳමිණි ගේ මුහුන පුරා ඇති සතුට ගමන ගැන කියාපායි.....ඇයට උදාරගෙන් සමුගන්නට ඉඩ දී බියංකා කාමරයට ගියාය...
.
" ආ...නංගී ......කොහොමද හයිකින් එක...." සඳමිණි කාමරයට එත්ම බියංකා ඇද පැද ඇසුවාය...
.
" අනේ මරු බං.....හම්මේ කකුල් නම් රිදෙනව දැන් ..." සඳමිණි ඇඳේ හිඳගනිමින්ම පැවසුවාය...
.
" කකුල් විතරමද රිදෙන්නෙ . .කෝ බලන්න..." බියංකා ඇයගේ මුහුණ ,ඇස්කන් මුවට එබෙමින් ව්‍යංගයෙන් පවසන දේ සඳමිණි ට වැටහිණ....
.
" නිකම් පද හදන්න එපා බං අර දෙවියෙක් වගෙ මනුස්සයට...." සඳමිණි ඇය පසෙකට තල්ලු කලාය....
.
" නෑ මං අහන්නෙ නිකම් නිකම් මොකුත්ම නැද්ද සිකේ වැඩක් නෑනෙ...තනිවම යවලත්...." බියංකා විහිලු කරන්නට පටන් ගත්තාය....
.
ඇයට රවා බලා නාන කාමරයට වැදුණ සඳමිණි වතුර කරාමය විවෘත කර උණුසුම් ජලයට එන සේ සකසා ගත්තාය....ගත දිගේ උණුසුම් ජලය ගලා යද්දී ඇයට ගමන යළි යළිත් සිහිවිය.....
.
ජීවිතය කෙතෙක් නම් සුන්දර ද.....එවැනි සුන්දර පරිසරයකදී සියලු දුක් දෝමනස්සයන් නිවී යන අපූරුව....කැමා කලිසමකින් සහ අත්දිග ටීශර්ටයකින් සැරසුණ උදාර මඩුගල්ලේ ගෙ කඩවසම් රුව ඇයගේ දෑස් අසල මැවෙන්නට විය....දෑස් තදින් පියාගත් සඳමිණි හිතට ඇතුල් වෙන්නට තතනන ආගන්තුක හැඟීම් පලවා හැරියාය....

*********************************

උදාර දහඩිය වැකි ඇඳුම් උනා දමා සිත්සේ නාගත්තේය....
පහසු ඇඳුමකින් සැරසී ඇඳට වැටුණ ඔහු කැමරාව අතට ගෙන එහි ගබඩා කල දත්ත පිරික්සීය...
.
සම්පූර්ණ චාරිකාවේ වැඩිම සේයාරූ ගොඩක ඉන්නේ ඇයය...
එක තැනක දියකඳුරකට අත තබා දිය බොමිනි..
තවකෙක...කැලෑමල් යායක දණ ගසා ගෙනය..
අනෙකක ඈත කඳු දෙස දෑත් විහිදාගෙනය...
එක එක ඉරියව් ය....
සැම එකක්ම සුන්දර ය...මේ කිසිවක් ගනු ඇයට ගණනකුත් නැත ...දන්නේද නැත ...
අහිංසකී ....ඔහු ඇයගේ විශාලනය කල සේයාරූ මුහුණතක අතයවමින් සෙමින් පැවසීය.....
.
තමා සිය ජීවිතයේ වින්දනය කල පරිසර චාරිකාවලින් එක දශමයක් ඇය විඳ නැත..මේ මුල්ම චාරිකා වය....එය උපරිමයෙන් විඳින ඇයගේ සතුට ඔහු සිත්සේ විඳ ගත්තේය..වෙනදා සේ ඇය ළං ළං ව පෙනෙන විට සිතට එන කලබලය අද දැනුනේම නැත.... ඒ තරම්ම සිත සැහැල්ලුය....
.
උදාර සිනහසෙමින් දෑස් මඳකට වසා ගත්තේය...ඒ වැසුණ දෑස් මත වූයේද සඳමිණි ගේ හිනැහෙන මුහුනමය.
.
*********************************

සාමාන්‍ය කාර්‍යාල ජීවිතයට යළි හුරු වුවද සඳමිණි උන්නේ පුදුමාකාර නැවුම් බවකිනි...ජීවිතය කෙතරම් සුන්දර දැයි ඇය කෙමෙන් කෙමෙන් වටහා ගනිමින් උන්නාය....
..
කොළඹත් ඒ අවටත් ඇවිද යන්නට පවා ඇයට ඉඩ ලැබුණේ සුධීරගෙන් මිදී ආ දිනට පසුය ..එහෙත් මේ ගෙන්දගම් පුරවරයේ ඇවිදින්නට නිදහසේ සැරිසරන්නට තැන් අල්පය..
..
නිවාඩු දින බලා දියත උයන, අපේ ගම, නිදහස් චතුරශ්‍රය ආදී තැන්වල කරක් ගැහුවද ...එයින් ලැබෙන මානසික තෘප්තිය අඩුය...
.
ජීවිතේ ගැහැණියක් වීම නිසා ඇවිදින්නට , නිදහස් වන්නට ඇති ඉඩ සීමිතය...ඒ සඳමිණි හැදී වැඩුණ රටාවය....එහෙත් පරෙස්සම් ඇතිව ජීවිතය විඳිය යුතුයැයි ඇයට යළි යළි සිතෙයි.....
.
පුලුවන් දවසක උදේ ගිහින් හවස එන්න පුලුවන් දුරක යන්න ඕන...කෝච්චියේ හරි බස් එකේ හරි.....සඳමිණි කල්පනා කලාය.

***********************************

උදාර මඩුගල්ලේ නැවත සති දෙකකට ඇමරිකාව බලා පියාසර කල යුතුව තිබුණි.ආචාර්‍ය උපාධි ප්‍රදානෝත්සවය යෙදී තිබුණේ හිතුවාට වඩා ඉක්මනිනි..

සඳමිණි නොදැක සති දෙකක් සිටීම කෙතරම්ම අසීරුදැයි ඔහු ට සිතාගත නොහැක....එහෙත් දෙදෙනා අතර කිසිම වාචික බැම්මකින් බැඳීමක්ද නැත....ඉඳහිට එහෙමෙහෙ වෙන ඇස් බැල්මවල් , නිරුත්තර වන මොහොතවල්...සහ මුවින් නොකියන හැඟීම් අතර දෙදෙනාම හුදෙකලා වූවෝ වෙති .....
.
ඒ හැඟීම් වලට ආසක්ත වෙමින් ජීවිතේ දින ගෙවා ලන්නට හුරු වුවද....මේ අනපේක්ෂිත මොහොත ගැන උදාර ට සිතාගන්නට නොහැක....
.
" සඳමිණි ....වැඩකද ඉන්නෙ...."
.
කිසිවක්ම නොකියා සඳමිණි නැගිට උදාරගේ මේසය අසලට ආවාය...
.
" සඳමිණි ට එදා ට්‍රිප් එකේ හයිකින් එකේ ෆොටෝස් ඕනද....?" උදාර ඇයගේ මුහුණ දෙස නොබලාම ඇසීය...
.
" අනේ සර් ...ඔව්..ඔව්...සර් පින්තූර ගත්තද...මට එහෙමවත් සිහියක් තිබුණෙ නෑනෙ.... අනේ තියනව නම් දෙන්නකො සර්..."
.
අතෝරක් නැතිව කියවාගෙන යන ඇයගේ මුව දෙස උදාර බලා උන්නේ සිනහසෙමිනි....
.
" මම ලබන සතියෙ ඇමරිකාවට යනව සති දෙකකට.... මම මේ පෙන් එකක පින්තූර ටික දැම්ම ලැප් එකයි කැමරාවයි ෆ්‍රී කරගන්න ඕන නිසා....ඔයාගෙ ඇතිනෙ පර්සනල් ලැප් එකක්...ඒකට දාගන්න ..."
.උදාර පෙන් එක ඇය අත තබමින් කීවේය ....
.
" සති දෙකක්....?" සඳමිණි ට ඉබේම කියවුණි....
.
උදාර ඇය දෙස ප්‍රශ්නාර්ථයෙන් බැලුවේ ඒ වචන කියවුණේ ඇගෙන්ම ද සිතාගනු නොහැකිවය...
.
" ඔව් අවෝඩින් සෙරමනි එකක් තියනව ...නෙ ...යුනිවර්සිටි එකේ....ඒකට....
මෙහෙ වැඩ ඉදිරි සති දෙකට තියන ඒව බලල කරන්න...මගෙ මීටින්ස් සති දෙකක් ඉස්සරහට දාන්න....." උදාර චකිතය සඟවාගනිමින් පැවසීය ....
.
සඳමිණි ගේ හිත නොදන්නා හැඟීමකින් සලිත වීගොස් තිබුණි....හැමදා උදෑසන උදාර මඩුගල්ලේ ගේ රුව තම දෑස සොයන බව ඇය දැන උන්නාය...සිතට වහන් වී මේ ගතකරන කාලය ඉදින් ඉදිරි සති දෙකෙහි අහිමි වනු ඇත...
..
" මම බලල කරන්නම් සර්..." සඳමිණි පෙන් එකද ගෙන අසුනට ඇවිද ගියේ හීනෙන් මෙනි.....

හිත කෙතෙක් නම් චංචල දැයි සඳමිණි ට නොතේරේ....මේ වෙනසට හේතුව කුමක්ද....තමා ඔහුට පෙම් කරනවාද...නැත ...එය එසේ විය නොහැක....
තමා දික්කසාද වූ ගැහැණියකි...ඔහු රටේ වැදගත් තනතුරක් හොබවන අයෙකි...වැදගත් කුල පරම්පරාවක එකම පුතුය ...වයස හතළිහක් වුවද ඔහුට විවාහයක බැඳෙන්නට එය නුසුදුසු කමක් නොවේ....
අනෙක තමා වෙත දක්වන විශේෂත්වය කිසිදු විටක ආදරයක සීමාවේ ඇතැයි ඔහු කියා නැත...ඇඟවෙන්නට සලස්වා ද නැත .....
.
මෙච්චර කලක් හිතට නොදැනුණ නොහැඟුණ හැඟීම් තමා අසරණ කරමින් තමා වටා කැරකෙනු සඳමිණි ට දැනේ...කියාගන්නට කිසිවෙක්ද නැතිකල...තනිවම දරාගනු මිස කුමක් කරන්නද....?

යලි හමුවෙමු



1 comment:

  1. අප්පට සිරි...
    ඔය තත්ත්වයේ ඉන්න යුවලකට සති දෙකක් කියන්නේ බොහෝම කාලයක් තමයි...
    දෙන්නාගේම හිත් වල ඔය කියන හැඟීම් තියෙද්දී කසාද දික් කසාද පවුල් සබඳතා ඔක්කෝම යටයි ඒ හැඟීම් වලට...

    ReplyDelete