Thursday, October 15, 2020

23. විසි දෙවෙනි දිගහැරුම (සඳක් සේ)

" සඳ..... සතුටින් ද ඔයා....?" උදාර ඇයගේ මුහුණ සෙමින් පිරිමදිමින් ඇසුවේය....
.
" ජීවිතේ මං සතුට හඳුන ගත්තෙ ඔයාගෙන් රත්තරනෙ....මං දැන් තරම් ජීවිතේ සතුටින් ඉඳල නෑ....." සඳමිණි ඒ සුරත සිප ගනිමින් පැවසීය.....
.
ඔස්ට්‍රේලියාවෙන් ලැබුණ අවස්ථාව ගැන ඇයට දැන්වීම කල මොහොතේ ඇය නෙතට කඳුලු පිරී එනු ඔහු දිටීය....
.
" මට සතුටුයි ..කියන්න බැරි තරම්ම සතුටුයි....ඔයා ඉන්න ඕන මෙහෙ මේ වගේ තැනක නෙවේ ...." සඳමිණි සෙනෙහසින් පැවසුවේ කඳුලු පිසලමිනි.....
.
" සඳ ඔයා මගෙ ජීවිතේ ට ආවෙ මේ හැම දේම අරන්..ඔයා නිසයි මට හරියන්නෙ.....අපි ඉක්මනින් බඳිමු....මට ඔයා නැතුව එහෙ යන්න බෑ...." උදාර සෙමින් පැවසීය.....
.
" ඒත් ප්‍රශ්න කීපයක් තියනව....."
.
සඳමිණි ඔහු දෙස විමසුම් ඇසින් බලා උන්නාය....
.
" එකක්...ඔයාගෙ එම්ෆිල් එක....ඒක කම්ප්ලීට් කරගන්න එක ආයෙම කල් යනව....
.
අනික මේ වැඩ එක්ක...ඔයාට ලස්සනම වෙඩින් එකක් දෙන්න මගේ තිබුණ බලාපොරොත්තුව මට නැති වෙනව.....මම හුඟක් ඒක ප්ලෑන් කරන්න උන්නෙ...." උදාර සුසුමක් හෙලීය....
.
" ඒ දෙකම මට ප්‍රශ්න නෙවෙයි .....එම්ෆිල් එක එහෙ ගිය කාලෙක පුලුවන් නම් කරනව නැත්තං මට එපා.....
වෙඩින් එක .....මේ අද මගෙ වෙඩින් එක කියල හිතන්නත් මට පුලුවන් ...." සඳමිණි ඉතා සැහැල්ලුවෙන් කීවාය....
.
" ආ එහෙමද නංගි....එහෙනම් මේ ගමන්ම හනිමූන් යංද....." උදාර ඇයගේ ගෙල වටා දෑත් යවමින් ඇසීය....සඳමිණි විලියෙන්.රතු වූවාය...
.
" අනේ ඉන්න...මං එහෙම එකක් කීවෙ නෑනෙ...." සඳමිණි ඇඹරෙන්නට වූවාය....
.
" ඉතින් බං.....අද වෙඩින් එක කියල හිතනව නම් අදම හනිමූන් කියල මං හිතුවම මොකෝ...." උදාර ඇයගේ නාසය මිරිකමින් ඇසීය.....
.
" කොහොම උනත් මං නිකම්ම ඔයාව උස්සන් යන්නෙ නෑ සඳ.....මට පුලුවන් දෙයක් කරනව මම....." සඳමිණි ඒ දෑස් දෙස ආදරය පිරුණු හදින් බලා උන්නාය....ඔහු තවමත් තමා වෙනුවෙන් සැලසුම් සදන්නේය...

**********************************

ජීවිතයේ සැලසුම් එකිනෙක සුන්දර ව සාර්ථක වන අතරට උදාර මඩුගල්ලේ ට සිය සොහොයුරිය ගේ අනේක විධ බලපෑම් හේතුවෙන් ඇතිවූ ගැහැටද නිමක් නොවීය....මුල දී මුලදී දිනපතා බැනවැදීම්, සඳමිණි හට සාප කිරීම් සහ හඬා වැලපීම් අතෝරක් නැතිව සිදුවුවද පසුව එය ඉඳහිටක බැණ වැදීමක් ව සහෝදර කම නැතැයි පුන පුනා කීමක් බවට පත්විය....මේ කිසිවක්ම සඳමිණි ගේ සවනට නොයන්නට උදාර වගබලා ගත්තේ....ඇය සුලුම හේතුවක් නිසා පවා බියපත් වන හෙයිනි.....
.
" සුදු මහත්තයා අදත් ලොකු මැණිකෙ කෑගැහුවනෙ...." සුමනේ මුලුතැන් ගෙහි සිට සිනහසෙමින් පැවසීය....උදාර නිහඬව ම කෑම මේසයට ඉඳගත්තේය...
.
" එයාම ඇතිවෙලාම නවත්තයිනෙ සුමනෙ....මං නෑහුණ වගෙ ඉන්නව...." ඔහු සුසුමක් හෙලා පැවසීය...සහොදර බැම්ම කෙතෙක් සවිමත් වුවද අක්කාගේ වලව් මාන්නය සහ ඉහවහා ගිය කුරිරු කම උදාර බෙහෙවින් නොරිස්සුවේය....
.
ජීවිතය පිළිබඳ කුදු මහත් තීරණයන් මේ බලපෑම් වලින් මිදී ගන්නා ආකාරය ගැන තමා වඩ වඩාත් උත්සුක විය යුතු බව ඔහු වටහා ගත්තේ....එදවස වූ මහා ගැටලුව ට අනතුරුවය...

********************************

" සඳ....මොකද කරන්නෙ...?" උදාර සිය බැල්කනියේ අසුනට බරදෙමින් ඇසීය....
.
" මොකුත් නෑ .....උන්නා ඉතින් ...." සිහින් සිනා සරින් ඇය පවසන්නිය....තව නොබෝ දිනකින් ඇය මේ බැල්කනියේ මේ අසුනේ තමා වෙත ඉන්නා බව හැඟෙන විට උදාර ට දැනෙන්නේ අප්‍රමණ සැනසුම් හැඟීමකි...ජීවිතය සම්පූර්ණයෙන් පිරෙන්නට නම් හදවතම පුරවනා ගැහැණියක් ලැබිය යුතු බව ඔහු දැන් විශ්වාස කරන්නේය......
.
" තව දින කීයද....ගණිනවද ...?" උදාර සිනහසෙමින් ඇසීය...ඒ සොඳුරු දිනයට තවත් ඇත්තේ සතියකට ආසන්න කාලයකි.....සඳමිණි ගේ මුවෙහි නැගෙන සිනහව ඔහුට මැවෙන්නට විය.....
.
" හ්ම්ම්ම්...." බොහෝ විට පිළිතුරු එසේය....ඉඳහිට තමා පවසන්නකට ඇය විලියෙන් හැකිලෙමින් සිනා නගන්නීය ......
.
" මට මේකිගෙ ලැජ්ජාව අරින්න සෑහෙන්න දවසක් යයි වගේ...." වරෙක දෝතේ මුහුණ සඟවා ඇඹරෙන ඇය දෙස බලමින් උදාර දිනෙක පැවසීය.....
.
ඔස්ට්‍රේලියාවේ ආයතනයේ පිරිනැමුණ රැකියා අවස්ථාව ලබා ගත් පසු මාස හයක් යනතුරු ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ එම කටයුතු කිරීමට ඔවුන්ගේ අනුමැතිය ලැබීමද සිතට සහනයකි...එසේ නොවුණා නම් ....සඳමිණි නොමැතිව තමා හට මුලින්ම විදේශගත වීමට සිදුවනු ඇත ....තමන්ගේ විවාහයට පසු ඒ අදාළ කටයුතු කරගැනීමට අවැසි කාලය ඔවුන් ලබා දීම සිතට මහා සහනයක් විය.....
.
කෙසේවතුදු සඳමිණි ගේ ආරක්ෂාව ගැන තමන්ට ඇත්තේ මහා වගකීමක් හෙයින් ඔහු කිසිම විටක ඇය නොමැතිව විදේශ ගතවීම ක් ගැන සිතුවේම නැත....

**********************************

සඳමිණි උන්නේ ද උතුරා ගලා හැලෙන සතුටකිනි...පෙම්වත් වන සිතේ හැඟීම් වල කෙළවරක් නොමැත....බියංකා හැම දෙයක් අතරම ඇය අසල සිටීම මහාම සතුටක් විය...
..
විවාහ උත්සවයක් ලොකූවට ගැනීමට උදාර හෝ සඳමිණි දෙදෙනා තුළම බලාපොරොත්තුවක් නොතිබූ හෙයින්...ඉතාම චාම් තේමාවක් ඔස්සේ සුන්දරම නිකේතනයක එය සූදානම් විය.....
.
විවාහයේ සියලුම වැඩ කටයුතු අදාල ආයතනයකට බාර දුන් හෙයින් සඳමිණිට එයට වෙහෙසවන්නට වත් උදාර ඉඩ නොදුන්නේය....
.
" ඉතින් ...ඉතින් ...කියමු බලන්න මගෙ නෝනට තව මොනවද ඕනෙ කියල...." උදාර මඩුගල්ලේ සිරිත් පරිදි හැන්දෑ යාමයේ ඇය සමග අවන්හල් කෙළවර අසුනකට බර වී ඇසීය....සඳමිණි ගේ දෑස් තිබුණේ ඔහු වත මතය....
.
" වෙන මොකුත්ම එපා...ඔය ආදරේ හැමදාම මට දෙන්න ...." දෑස් මත දෑසම පටලා සිහින් හඬින් පවසන්නී....ඒ පුලුල් උරහිස මත හිස හොවා ගත්තාය.....
.
උදාර සිය සුරත ඇය වටා යවමින් ඇයගේ හිස සිප ගත්තේය ....
.
" අපි පොඩි මඩුගල්ලෙලා පේලියක් හදමුද....ම්ම්ම්....." උදාර ඇයගේ වතට බරවෙමින් ඇසුවේය...සඳමිණි ගේ දෑස් කඳුලින් බරවන්නට විය...පවුලේ එකම දරුවා වී තමා විඳි ළතැවුල් මෙලොව කිසිම දරුවෙක් නොවිඳිය යුතු බව ඇය තදින් ඇදහුවාය....එහෙයින් දරුවන් දෙදෙනෙකු වත් ඇය ගේ හිතේ සිහින වල හැමදාම සිටියහ...ඒ සිහින උදාරගේ ආගමනයට පසු උපන් සිහින විය.... පරිපූර්ණ පවුලක ගෙවන ජීවිතයේ ආදරණීය සිහින ඇයගේ සිත තුළ ගොඩ නැගෙන්නේ එලෙසින්මය.....
.
" මට වගේ තනි වෙන ජීවිතයක් අපේ දරුවන්ට දෙන්න ඕන නෑ මට....දෙන්නෙක් වත් ඕන මට....." සඳමිණි ඔහුගේ දෑසේ එල්ලෙමින් පැවසුවාය....ජීවිතය කෙතරම්ම සොඳුරුද.....ආනන්ද ජනක ද.....ඔවුහු අත්වින්දේ එලෙසිනි.........

******************************************************************************
විවාහයට පෙර තාත්තා හමුවිය යුතු යැයි සඳමිණි ට සිතුණේ උදාර එය සිහිපත් කල විටය... තමා දරුකමින් පවා පිටමං කල පියා තමා මුණ ගැසීම ප්‍රතික්ෂේප කරන බව ඇය වටහා ගෙන උන්නාය...
.
" සඳ ...එයා එහෙම කරනව නම් ඒ එයාගෙ තත්වය...නමුත් ඔයා හොඳ දුවෙක්...ඔයා ඔයාගෙ යුතුකම ඉෂ්ට කරන්න....මං ඉන්නවනෙ...." උදාර සඳමිණි ගේ සිතට සවියක් වෙමින් පැවසීය.....
.
ඉනික්බිති ඉඩ ලැබූ ඉරිදාවේ පියා හමුවීමට වත්තට පැමිණි සඳමිණි පියා ගේ කාර්‍යාලයට ගියේ කුමකින් කුමක් වේදැයි සිතමිනි....ව්‍යාපාරික අභිප්‍රායන් හැර අන් කිසිම හැඟීමකින් නොපිරුණ හදවතක් තාත්තාට හිමි වූයේ කෙලෙසකදැයි සඳමිණි කල්පනා කලාය....
.
සඳමිණි කාර්‍යාලයේ දොරට වරක් තට්ටු කලේ උදාර දෙසද බලමිනි....ඇයට යන ලෙස හිසින් සන් කල ඔහු මඳක් දොරෙන් මෙපිට රැඳුණේ තත්වය වටහා ගනු රිසිනි....

" තාත්තේ...." සඳමිණි හඬ විවර කලා පමණක් ම විය ..
.
" මොකද උඹ....හති වැටිලා ආවද ආපහු.....කෙලෙහි ගුණයක් නැති හිඟන්නි....උඹ මගේ දරුවෙක් නෙවෙයි...පලයන් යන්න ..මම ගාඩ් ලා දාල පන්නන්න කලින් මෙතනින් පලයන්...." පියාගේ වියරුව වෙන මොහොතක වූවා නම් දරාගන්නට අපහසු වනු ඇත ..නමුත් තමා වෙනුවෙන් දොරට එපිටින් සිටින්නේ විසල් හදවතකි....සඳමිණි මඳ සිනහවකින් මුව සරසා ගත්තාය....
.
" නෑ මම ආවෙ ලබන සතියේ මම බඳිනව කියන්න...."
සඳමිණි සුපුරුදු සන්සුන් ස්වරයෙන් කීවාය...

" උඹව කරගහන්න තරම් කාලකණ්නි ඉන්නවද මේ ලෝකෙ...අර සැපට ඉන්න පුලුවන් එකෙක් ට දුන්නා ..උගෙන් අයින් උනා...දැන් කොහෙ යන හිඟන්නෙක්ද අල්ලගත්තෙ ඔව් උඹට පෑහෙන්නෙ එහෙම එකෙක්ම තමයි..." බිරුසන් දෙන පියාගේ හඬින් සඳමිණි තැතිගත්තේ උදාරට එවදන් ඇසේද කියා බියෙනි....
.
ඒ මොහොතේ කාමරයට ඇතුල් වූ උදාර මඩුගල්ලේ....
.
" එක්ස් කියුස් මී...මිස්ටර් දිසානායක ....මම උදාර මඩුගල්ලේ...මම හිතන්නෙ දන්නව ඇති මාව නමින් කීවම...මම තමයි සඳමිණි බඳින්න ඉන්න ඔබතුමා කියපු හිඟන්නා "

උදාර මඩුගල්ලේ ගේ ආගමනය, ඔහුගේ රුව සහ පෞරුෂය ,හඬ සියල්ල සඳමිණි ගේ පියා උන් අසුනෙන් පවා නැගිටවාලූවේය.......
.
" ඉතින් මේ ගමන සඳමිණි ආවේ මගේ පෙළඹවීමට..ඔබතුමාට මේ දුව අනවශ්‍ය ඇති...නමුත් මෙහෙම දුවෙක් හැදුවට ඔබතුමාට ස්තුතියි කියන්න මට ඕන වුණා...ඒකයි අපි ආවේ ...එහෙනම් අපි යන්නම් ..." පියාට වචනයක් හෝ අමතන්නට ඉඩ නොදී උදාර පවසන පැහැදිලි වචන අසා උන් සඳමිණි ගේ නෙතු තෙත් වන්නට විය.....
.
" යමු සඳ ...." උදාර මඩුගල්ලේ ඇයගේ කරවටා අතක් යවමින් කාමරයෙන් පිටව ආවේය....නවීන පන්නයේ සුඛෝපභෝගී වාහනයට ඇය නංවා දොර වසා ඉන් පසු රියට නැග ධාවනය කල උදාර මඩුගල්ලේ ගේ රිය දර්ශන පථයෙන් නොපෙනෙන තුරු දොර අසලට වී බලා උන් දිසානායක හට ජීවිතේ මුල්ම වතාවට ලැජ්ජාවක් ඇතිවිය..

ඔහු ඇයට සැලකූ අන්දම ....එය රැජිනකට සේය...ආදරයෙන් ඇයට දුන් වටිනාකම අදහන්නටද නොහැකිය......දිසානායක මේසයට අත්දෙක තබා හිස එයට බරකර ගත්තේය......
.
******************************

" අවුල් වෙන්න එපා සඳ....එයා ගේ ඇස් වල අන්තිමට මං දැක්කා මහ පසුතැවීමක්...." උදාර රිය නවතා සඳමිණි ගේ හිසට අතක් තැබුවේය....සඳමිණි ගේ මුවෙහි ඇතිවූයේ සැනසුම් සිනහවකි.....
.
" අද කියපු කතාවලට වඩා සියදහස් ගුණයක් නරක විදියට තාත්තා මට බැනල තියනව .....අර මිනිහාගෙන් වෙන් වෙලා ජීවත් වුණ දා පටන්ම...මට දුක ඔයාට හිත අවුල් වුණාද කියල.." සඳමිණි ඔහුගේ සුරත අල්වා ගත්තාය....

" මට දෙයක් කියන්න තියනව ...." සඳමිණි නැවත ඔහු දෙස බලා කතාව ඇරඹුවාය ...
.
" කියන්න ...." උදාර ඇයගේ හිස තම උරහිසට නැඹුරු කොට ගත්තේය...
.
" තාත්තා ඔය භුක්ති විඳින ඔක්කොම දේපල වල නීත්‍යානුකූල අයිතිය තියෙන්නෙ මට...මේ හැම දේම අම්මාගෙ නමට තියන...අම්මා මට ඉන් පස්සෙ පැවරෙන්න ලියූ දේවල්...
තාත්තා සුධීර එක්ක මාව බිස්නස් ඇමක් කරගත්තේ ඔය දේපල නිසයි ...." සඳමිණි ගේ ස්වරය ඉතාම ශෝකී බව හැඟුණද උදාර නිසොල්මනේ අසා උන්නේය....
.
" මං තීරණයක් අරන් උන්නේ....තාත්තා ජීවත් වෙනකල් එයා ඔය දේවල් ඔය ඉන්න විදියටම භුක්ති විඳපුවාවෙ..ඉන් පස්සෙ මම ළමා නිවාසයක ඔය ඔක්කොම ලියනව කියල...මොකද මට මං ගැන අරමුණක් බලාපොරොත්තුව ක් තිබ්බෙ නැති නිසා.....ජීවිතේ ....." සඳමිණි හිස ඔසවා උදාර දෙස බැලුවාය....
.
" සඳ..... ඔයා ගත්තු තීරණවත් ගන්නා තීරණවත්.....අපේ ජීවිත වලට බලපාන්නෙ නෑ ...අපි අපේ ජීවිත පටන් ගන්නෙ අලුතින්....අපිට උස්සන් යන්න ඔය බරවල් ඕනනෑනේද...?" උදාර ඉතා ම සැහල්ලුවෙන් ඇසුවේය.....සඳමිණි හට හිතට දැනුනේ මහා ම සැනසුමකි....මහ බරක් බිම තැබූ සේ හිතට සැහැල්ලුවක් දැනේ.....
.
******************************

" උඹ ගියාම පාලු මටයි සඳ ..." බියංකා නහයෙන් අඬන්නී....සඳමිණි විදෙස් ගතවන පුවත අසාය ....
.
" පාලු ..හොඳ පාලුව...මේ ඉන්නෙ....මං වෙනුවට ඇවිල්ල එක්කෙනෙක්...." නවමස් පිරුණ බියංකාගේ කුසට කණ තබමින් සඳමිණි සිනාසුණාය......
.
" උඹට ඉස්සරහට මට කෝල් එකක් වත් දෙන්න මේ බට්ටි ඉඩ දෙන එකක් නෑ ඔන්න බලපන්කො...." සඳමිණි සෙමින් බියංකාගේ කුස අතගාමින් පැවසුවාය.....
.
" පෙරේරා මිස්ට අතින් ලොකු ගාණක් ගෙවන්න උනාලු බං...අම්මෝ අවුරුදු කීයක් ජරාව කෑවද ඔය මනුස්සය....ඔය ඉතින් පල දුන්නෙ ...කරපුව...සර් නිසාම රස්සාව බේරල දුන්න මිසක් තව ටිකෙන් පෙන්ශන් එකත් නැතුව ගෙදර ගිහින් හූල්ලන්න වෙන්නෙ...." බියංකා නවතම ආරංචිය ගෙන හැර පෑවේ සඳමිණි ඒ ගැන නොදන්නා හෙයිනි....
.
සඳමිණි සැනසුම් සුසුමක් හෙලුවේ...ජීවිතය පුරා වචනයකින් හෝ ගැහැටක් කල අයෙක්ට හෝ නපුරක් නොමවන්න ට සිත පතා උන් හෙයිනි.....
.
බියංකාගේ කුසට සිහින් සිපුමක් දෙමින් නැගී උන් ඇය කාර්‍යාලයට ඇතුල් වූවාය...
.
" යාලුවාගේ බඩ ඉඹ ඉඹ ඉන්නව දැක්ක....මොකද බබාලට ආස ද ඔච්චරම ..ම්ම්....." උදාර සඳමිණි ගේ වතට ඇස් යොමමින් ඇසුවෙය....
.
" මූණ තිබ්බම මූණටත් පයින් ගහනව ...දඟ මල්ලක් වගේ...ආසාවෙ බෑ....." සඳමිණි ගේ දෑස් සතුටින් දිදුලනු ඔහුට පෙනෙයි....
.
" අපිත් ඉක්මනින් හදමු එහෙනම්....." ඒ දෑස් වල උතුරායන්නේ අප්‍රමාණ ආදරයක් කැටිව ගත් ආශානුරාවකි ....සඳමිණි විළියෙන් ඇකිල අසුනේ සැඟව ගත්තාය ..
.

*********************************

සිතකට ප්‍රේමය අඬගසන මොහොතක ජීවිතය කෙතරම් සුන්දර වේදැයි සිතාගත හැකි වේද.....?.. එතරම්ම මිහිරි හැඟුමක් මේ මිහිපිට වෙනත් කිසිවක ගැබ් නොවේ.....

නැත ලොවේ අන් රසඳුනා....
ආදරය සේ සුවදෙනා.....
.
යැයි කියවී ලියවී ඇත්තේ ඒ නිසාවෙන්මය.....
.
උදාර මඩුගල්ලේ දෑත් හිස යටට කොට බැඳ හෙට දවස ගැන කල්පනා කරමින් උන්නේය.....
.
මන්ද්‍ර ස්වරයකින් ගැයෙන ගීතයක සිත නතර වී තිබේ ....

ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුණ හසරැල් විලේ
හද දියව ගලා යයි රැළි ළමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ....ඔබ මගේ......
.
ළබැඳි ස්වරයෙන් අපූරු මාධූර්‍යයකින් හදවතට ඒ ඇසෙන ගී පද අතර මැවෙන්නේ ඇයගේ සොඳුරු වූ රුවමය.....ඉදින් ඒ හෙටය....ජීවිතයේ කල්‍ යල් බලා හදවත පුරා සක්මන් කරන ප්‍රේමය දෝතට වඩින්නේ හෙටය......


1 comment: